Thursday, August 17, 2017

බූරුවා පැනගොස් දෙවසරක් ගෙවී තිබේ!


හරියටම වසර දෙකකට පෙර 2015 අගෝස්තු 17 වෙනිදා ඉකොනොමැට්ටාගේ වත්පොත් පිටුවේ පළ කළ සටහනක් ගැන වත්පොත්බොට්ටන් විසින් උදේ පාන්දරම මතක් කර දුන්නේය. මේ වත්පොත්බොට්ටන්ට හා එවැනි වෙනත් බොට්ටන්ට මේ වන විට මෑතක් වන තුරු මිනිසුන්ට පමණක් කළ හැකිව තිබුණු බොහෝ දේ කළ හැකිය. විශේෂයෙන්ම ඔවුන්ට වෙනසක් නොපෙනෙන පරිදි සාමාන්‍ය පුද්ගලයින් මෙන් මිනිසුන් සමඟ චැට් කිරීමට පමණක් නොව ඇතැම් දේ ගැන දක්ෂ ලෙස හෙට්ටු කිරීමට පවා පුළුවන්කම තිබේ. එය ඔවුන්ට කෙතරම් දක්ෂ ලෙස කළ හැකිද කියනවානම් තමන් චැට් කරන්නේ සැබෑ පුද්ගලයෙකු සමඟ නොවන බව ඔවුන් සමඟ චැට් කරන අයට හිතෙන්නේවත් නැත. තාක්ෂනය දියුණු වෙමින් පවතින වේගය අනුව තව වසර කිහිපයක් යන විට මෙවැනි හෙට්ටු කිරීම් වචන වලින්ම කරන්නටත්, සිංහලෙන් කරන්නටත් ඉඩ ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

සිය ගණුදෙනුකරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා බොට්ටන් යොදාගැනීම මේ වන විටත් බොහෝ සමාගම් විසින් කරන්නකි. බැංකු, රක්ෂණ සමාගම්, ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින් හා ගුවන් සේවා සමාගම් වැනි පුළුල් පරාසයක විහිදෙන ආයතන ගණනාවක් විසින් විකිණීම, අලෙවිකරණය හා පාරිභෝගික සේවා සැපයීම වැනි කාර්යයන් ගණනාවක් සඳහා බොට්ටන් යොදාගැනීම ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ප්‍රවණතාවයකි. 

මේ ඇතැම් ආයතනයක වෙබ් පිටුවට ගිය වහාම "ඇන්ජෙලා" වැනි සාමාන්‍ය නමක් ඇති කවුරු හෝ පැමිණ ඔබට අදාළ කරුණ ගැන චැට් කිරීමට අවශ්‍යදැයි විමසයි. ඔබ කැමතිනම් ඔබට ඇන්ජෙලා සමඟ චැට් කළ හැකිය. එහෙත්, බොහෝ විට මේ ඇන්ජෙලා ලේ, මස්, නහර වලින් හැදුණු හෝමෝ සේපියන්ස් දියණියක් නොවේ. සමාගම් විසින් ඇන්ජෙලා වැනි නම් ඇති බොට්ටන් සේවයට යොදවා ගැනීම ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර මේ හරහා ප්‍රතිස්ථාපනය වන්නේ ඉන්දියාව වැනි රටවල දැනට පවත්වාගෙන යන කෝල් සෙන්ටර් වලට ඇති ඉල්ලුමයි.

ෆේස්බුක් ආයතනය ඇතුළු සමාගම් සැබෑ මිනිසුන් ලෙස පෙනී සිටින හා කටයුතු කරන බොට්ටන් වැඩි දියුණු කරමින් සිටිද්දී විවිධ හේතූන් මත සාමාන්‍ය පුද්ගලයින් විසින් තමන්ගේ නීත්‍යානුකූල නම නොවන වෙනත් නම් වලින් වත්පොත් ගිණුම් අරඹති. මේ වන විට බිලියන දෙක ඉක්මවා ඇති වත්පොත් ගිණුම් ප්‍රමාණයෙන් මිලියන 83ක් පමණ මෙවැනි "ෆේක් ප්‍රොෆයිල්" බව ඇස්තමේන්තු කර තිබේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඒවා සියල්ලම වංචනික පරමාර්ථයකින් හදා ඇති වත්පොත් ගිණුම් බව නොවේ. මේ ගිණුම් බොහොමයක් ඒවා මෙහෙයවන පුද්ගලයින් විසින් හදා ඇත්තේ කිසියම් ව්‍යවසායයක් හෝ මතවාදයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ 2015 මැයි 18 දිනයි. එයින් දින පහකට අනතුරුව ඉකොනොමැට්ටා (ඉකොනො මැට්ටා) නමින් වත්පොත් ගිණුමක්ද අරඹනු ලැබුවේය. ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් සමාජජාලා හරහා සිංහලෙන් ලිවීම ඇරඹුවේ ඊට මාස කිහිපයකට පෙරය. ඒ සඳහා භාවිතා කළේ එක්තරා වත්පොත් පිටුවකි. එසේ කළේ ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මිතුරෙකුගේ යෝජනාවක් හා ඉල්ලීමක් අනුවය. එසේ පළකළේ ලිපි සීමිත ගණනක් පමණක් වුවත් එම ලිපි ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු විසින් පෞද්ගලිකව දැන නොසිටි බොහෝ දෙනෙකුගේද අවධානයට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලිකව නොදන්නා බොහෝ දෙනෙකුගෙන් මිතුරු ඉල්ලීම් එන්නට පටන් ගත්තේය. 

ඒ වන තුරු ඉකොනොමැට්ටා ලියන ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුම සම්බන්ධව ලියුම්කරු විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ පෞද්ගලිකව නොදන්නා අයගේ මිතුරු ඉල්ලීම් අනුමත නොකර සිටීමයි. එහෙත්, ඉහත වත්පොත් පිටුව හරහා හඳුනාගත් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් එසේ අනුමත නොකර සිටීම අසීරු විය. මේ කිහිපදෙනා තවමත් ලියුම්කරුගේ පෞද්ගලික වත්පොත් ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටින අතර ඔවුන් නිසා මෙතෙක් කිසිදු අසීරුතාවයක් ඇති වී නැත.

කෙසේ වුවත්, ඉහත තත්ත්වය ලියුම්කරුට සිය වත්පොත ගිණුම ගැන නැවත හිතන්නට පෙළඹුවේය. එක අතකින්, වත්පොත් ගිණුම යනු ලියුම්කරුගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප ඇති ඉතා පෞද්ගලික තැනකි. එමෙන්ම, එය ලියුම්කරුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ හා සමීප මිතුරන්ගේ පෞද්ගලිකත්වයද නිරාවරණය කෙරෙන තැනකි. ඒ නිසා, එහි ඇති දෑ පොදු අවකාශයකට විවෘත කිරීමට හැකියාවක් නොතිබුණේය. අනෙක් අතට, ලියුම්කරුව පෞද්ගලිකව නොදත්, එහෙත් කවර හෝ හේතුවක් නිසා ඔහු සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින සැලකිය යුතු පිරිසක්ද සිටින බව පෙනෙන්නට තිබුණේය.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල ආරම්භ කළේ ලියුම්කරු ලියන දේ කියවන්නට කැමති පෞද්ගලිකව නොදන්නා අයටද ඒ සඳහා ඉඩ සැලසීම සඳහාය. ඒ අතරම, ලියුම්කරු පෞද්ගලිකව දන්නා එහෙත් මෙහි ලියන වැල්වටාරම් කියවන්නට උනන්දුවක් නැති අයද සිටින නිසා මේ වියුණුව අවශ්‍ය අයෙකුට හොයා ගන්නට ඉඩ හරිනු හැර එය පෞද්ගලික මිතුරන් අතර හෝ ප්‍රචාරණය කළේ නැත. ඒ අයුරින්ම, ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම ඇරඹුවේ මෙහි ලියන දේ ඇසුරින් ඉකොනොමැට්ටාව හඳුනාගෙන ඉකොනොමැට්ටා සමඟ සම්බන්ධ වීමට අවශ්‍යයැයි සිතන අය වෙනුවෙනි. පසුව, 2016 ආරම්භයේදී ඉකොනොමැට්ටාගේ සතපහ ආරම්භ කිරීමෙන් පසුව ඒ වෙනුවෙන්ද වත්පොත් පිටුවක් අරඹනු ලැබුවේය.

වත්පොත් ගිණුමක් විවෘත කිරීමෙන් පසුව තමන්ට සම්බන්ධ වන්නට අවශ්‍ය අය වෙත මිතුරු ඉල්ලීම් යැවීම බොහෝ දෙනෙකු විසින් කරන සාමාන්‍ය දෙයකි. පෙර කී පරිදි, ඉකොනොමැට්ටා ලියන ලියුම්කරු වෙත ඔහුගේ පෞද්ගලික වත්පොත් ගිණුමට එවැනි මිතුරු ඉල්ලීම් පැමිණි විට ඒවා අනුමත කළේ ඉල්ලීම එවූ තැනැත්තා පෞද්ගලිකව දන්නේනම් පමණි. ඉතා සීමිත අවස්ථා ගණනකදී පමණක් පොදු මිතුරු ලැයිස්තුව හා අනෙකුත් තොරතුරු පරීක්ෂා කර එවැනි ඉල්ලීම් අනුමත කර තිබේ. 

තමන්ගේ වත්පොත් මිතුරන් තෝරාගැනීමේදී අනෙකුත් බොහෝ දෙනෙකුද එසේ සැලකිලිමත් වන බව ඉකොනොමැට්ටා දන්නා නිසා ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමෙන් මෙතෙක් කිසිවෙකුටත් මිතුරු ඉල්ලීම් යවා නැත. එහෙත්, වියුණුව හරහා බ්ලොග්කරුවෙකු ලෙස ඉකොනොමැට්ටාව හඳුනාගත් අයගෙන් වරින් වර ඒ වෙත මිතුරු ඉල්ලීම් ලැබුණු අතර මෙතෙක් එසේ ලැබුණු මිතුරු ඉල්ලීම් කිසිවක් ප්‍රතික්ෂේප කරද නැත. මේ වන විට එම ගිණුම හා අදාළ මිතුරු ලැයිස්තුවේ 312 දෙනෙකු සිටිති.

ඉහත ගිණුම ඇරඹීමේදී ඉකොනොමැට්ටා විසින් ඇමරිකන් නීතිය අනුව වරදක් කර නොතිබුණු අතර ලියුම්කරුගේ අනන්‍යතාවය හඳුනාගත හැකි පෞද්ගලික තොරතුරු ෆේස්බුක් සමාගමට ලබාදී තිබුණේය. කෙසේවුවද, 2015 දෙසැම්බරයේදී පමණ ෆේස්බුක් සමාගමේ ෆේක් ප්‍රොෆයිල් හා අදාළ ප්‍රතිපත්තිය දැඩි විය. මේ අනුව, එක් පුද්ගලයෙකුට හැකියාව ඇත්තේ තමන්ගේ නීත්‍යානුකූල නමින් එක් වත්පොත් ගිණුමක් පවත්වාගෙන යාමට පමණි. 2016 වසර මුල සිට පවත්වාගෙන එන  "ඉකොනොමැට්ටාගේ සතපහ" පිටුව වැනි පිටු නඩත්තු කිරීමේ හැකියාවක් ඇතත්, වත්පොත් ගිණුමක් පවත්වාගෙන යා හැක්කේ කිසියම් පුද්ගලයෙකුගේ සැබෑ නමින් පමණි.

ඉහත ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන අයගේ වත්පොත් ගිණුම් වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබේ. ෆේක් ප්‍රොෆයිල් එකක් වීම නිසා හෝ වෙනත් හේතුවක් මත කිසියම් වත්පොත් ගිණුමක් සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කළ විට බොහෝ විට නඩු අසා තීන්දුව දෙන්නේ වත්පොත්බොට්ටන් විසිනි. ඔවුහු මේ කටයුත්ත සෑහෙන තරම් පරීක්ෂාකාරී ලෙස හා දක්ෂ ලෙස කරති. ටික දවසකට පෙර චානුක වත්තේගම විසින් දමා තිබුණු පෝස්ට් එකක් අනුවත්, දේශකයාගේ බ්ලොග් පෝස්ට් එකක් අනුවත් පෙනී යන්නේ මේ වත්පොත්බොට්ටන්ට ෆේක් ප්‍රොෆයිල් ගැන තොරතුරු සැපයීම සඳහා ලංකාවේ ටීම් එකක් ස්වේච්ඡාවෙන් පූර්ණකාලීනව කටයුතු කරන බවයි.

"ඉකොනොමැට්ටාගේ සතපහ" වත්පොත් පිටුවත්, ඉකොනොමැට්ටා වත්පොත් ගිණුමත් ඒවා ආරම්භ කළ දින සිටම භාවිතා කළේ අදාළ වියුණු වල පළ කෙරෙන සටහන් වලට සබැඳි දැමීම සඳහාය. ඒ හැරුණු විට, වෙනත් දේ පළ කිරීමට හා වත්පොතෙහි අදහස් දැක්වීමට මේ ගිණුම හා පිටුව භාවිතා කර ඇත්තේ ඉතාම සීමිතව වන අතර ජාති, ආගම් වැනි කරුණු මත කිසිවෙකුට ගැරහීමට හෝ අසභ්‍ය දේ පළ කිරීමට එම ගිණුම් කිසිවිටෙකත් යොදාගෙන නැත. කෙසේවුවද, ඉකොනොමැට්ටා වත්පොත් පිටුවද කෙටි කාලාන්තරයක් තුළ සැලකිය යුතු පිරිසක් විසින් වාර්තා කර තිබීමෙන් පෙනෙන්නේ මෙය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව කර ඇති දෙයක් බවයි.

කෙසේ වුවත්, අප වරදක් කර නැති නිසා වත්පොත්බොට්ටන් සමඟ පමණක් නොව ෆේස්බුක්හි සේවය කරන හෝමෝ සේපියන්ස්ලා සමඟත් ගණුදෙනු කර ඔවුන්ගේ උදවුවෙන් අවුලක් ලෙහා ගන්නට අපට බැරිකමක් නැත. උදාහරණයක් ලෙස, "Restaurant Economatta" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වන "ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වැනි නමක් ඇති ව්‍යවසායයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වත්පොත් පිටුවක් නඩත්තු කිරීම ෆේස්බුක් ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම එකඟය. වත්පොත්බොට්ටන් විසින් ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම් පිටුව මෙන්ම පෙනෙන වත්පොත් පිටුවක් හදා ගිණුමේ මිතුරු ලැයිස්තුවේ සිටි සියලු දෙනාගේම මිත්‍රත්වයන් ප්‍රියතා (like) බවට හරවන්නට උදවු කිරීමට තරම් කාරුණික වූ නිසා දැන් ඉකොනොමැට්ටා නමින් මිතුරන් 312ක් සිටින ගිණුමක් මෙන්ම, ප්‍රියතා 312ක් සහිත එනමින්ම වූ වත්පොත් පිටුවක්ද තිබේ. 

අප විසින් අපගේ වියුණු ලිපි බෙදාහැරීම සඳහා ඉදිරියේදී ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වෙනුවට එනමින්ම ඇති ඉකොනොමැට්ටා වත්පොත් පිටුව භාවිතා කෙරෙනු ඇති අතර පෙනුමෙන් මේ දෙකේ සැලකිය යුතු වෙනසක් නැත. ඉකොනොමැට්ටා වත්පොත් ගිණුම වත්පොත්බොට්ටන් විසින් අක්‍රිය කරනු ඇතැයි අප සිතා සිටියත්, සතියක් ගතවීමෙන් පසුවද තවමත් එයද ක්‍රියාත්මකව පවතී. 

එහෙත්, කොයි මොහොතක හෝ එම ගිණුම අක්‍රිය වීමට හෝ ෆේස්බුක් ප්‍රතිපත්ති සමඟ අනුගත වෙමින් අප විසින්ම අක්‍රිය කරනු ලැබීමට ඉඩ තිබේ. යම් හෙයකින් එසේ නොකළද, අප විසින් ඉදිරියේදී එම ගිණුම භාවිතයට නොගැනෙනු ඇත. එහෙත්, එහි මිතුරු ලැයිස්තුවේ සිටි සියල්ලන්ටම අලුත් වත්පොත් පිටුව හරහා අප සමඟ පැවති සම්බන්ධතාවය තවදුරටත් පවත්වා ගත හැකි අතර ඒ වෙනුවෙන් අමතර කිසිවක් කළ යුතු නැත.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ වත්පොත් පළ කිරීම 2015 අගෝස්තු 16 දින ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙහි පළ කෙරුණු ලිපියක් හා අදාළ වූවකි. ඒ ලිපිය මුලින්ම ලියා දැන් වසර 27ක් පමණ ගත වී ඇත. ඒ කාලයේ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවුණු එම සටහන දෙවසරකට පෙර නැවත මෙහි පළකළේ එය පළ කළ දිනට පසුදින එනම් 2015 අගෝස්තු 17 දින පැවති මහ මැතිවරණය පැවැත්වෙන්නට ආසන්නව තිබියදීය. 

මේ අනුව, ආණ්ඩුව පිහිටුවා දෙවසරක් ගතවී ඇති බවද වත්පොත්බොට්ටන්ගේ දැනුම් දීම නිසා මතක් විය. මේ අවුරුදු දෙක ඇතුළත බොහෝ දේ වෙනස් සිදුවිය. බ්ලොග්කරුවන්ගේ හා කමෙන්ට්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් වලින් පිළිබිඹු වන්නේද පසුගිය දෙවසරක කාලය තුළ සිදුවූ මේ වෙනස්කම්ය. ඒවා ගැන කතා කිරීම අපි පසුවට තබමු.

(Image: https://www.pinterest.com/scrib9877/cakes-donkey/)

Monday, August 14, 2017

දහයෙ කොළේ කතන්දරේ



අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.

ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.

වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.

දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)

මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.

නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.

ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.

මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.




ලංකාවේ මුදල් නෝට්ටු අතරින් සුන්දර නිමාවක් ඇත්තේ දහයේ නෝට්ටුවේ පමණක් නොවේ. උදාහරණයක් ලෙස රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගත්තත් එහි මෙවැනි රූප සටහන් ගණනාවක් තිබේ.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද මහනුවර ලංකාතිලක විහාරයේ රූප සටහනක් දැකිය හැකිය. මේ විහාරය දාහතර වන සියවසේදී හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බව සැලකේ. ගම්පොළ සිට රාජ්‍ය කළ බුවනෙකබාහු රජු මේ විහාරය ඉදි කිරීමේ කටයුත්ත සේනාලංකාධිකාර මහ ඇමතියාට පවරා ඇති අතර ඔහු විසින් විහාරය සැලසුම් කිරීම දකුණු ඉන්දියානුවෙකු වූ ස්ථාපතිරායර් වෙත පවරා තිබේ. මෙහි සැලැස්මෙහි දකුණු ඉන්දීය හින්දු සංස්කෘතික ලක්ෂණ පමණක් නොව ඉන්දුචීන සංස්කෘතික ලක්ෂණද දැකිය හැකිය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද ලංකාතිලක විහාරයට අමතරව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ද්විත්ව කුළුණු හා ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල දැකිය හැකිය. මහ බැංකු ගොඩනැඟිල්ල හා හිල්ටන් හෝටලය ඇතුළු වැදගත් තැන් රැසක් පිහිටි මේ ප්‍රදේශය ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස සැලකිය හැකි අතර කිහිප වරක්ම එල්ටීටීඊ ප්‍රහාර වලටද ලක්විය.

මේ අනුව, පන්සීයේ නෝට්ටුවේ මැද හරියේ ඇති සංකේත වලින් පිළිබිඹු කරන්නේ ලංකාවේ ප්‍රමුඛ සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් සංස්කෘතීන් හා මිශ්‍රව ඇති ආකාරය හා තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගොස් ඇති ලංකාවේ වත්මන් සේවාමූලික ආර්ථිකයයයි. ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක වන්නේද පන්සීය කොළයේ මැද ඇති රූප සටහන් වලින් සංකේතවත් වන සංස්කෘතික හා ආර්ථික කරුණුය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස දකුණු පැත්තේ අළු ගිරවෙකු දැකිය හැකිය. ගිරවා ප්‍රසිද්ධව සිටින්නේ එකම දෙය පුනරුච්චාරනය කිරීමේ හැකියාව ඇති සතෙකු ලෙසය. ලංකාවේ මැතිවරණ ආසන්නව මෙන්ම ඉන් පසුවද එකම කතාව එපා වන තුරු නැවත නැවත අසන්නට ලැබීම සුලභ සිදුවීමකි.

නෝට්ටුවේ ඉදිරිපස වම් පැත්තේ පෙනෙන්නට ඇත්තේ සමනලයෙකි. මේ සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික Ceylon Indigo Royal වර්ගයේ සමනලයෙකි. පහුගිය දවස්වල සමනල විප්ලව ගැනද කතාබහ සිදුවිය. 

පන්සීයේ නෝට්ටුවේ පසුපස ඉහළින්ම පද්මනිධි බහිරවයාගේ රූපයක් සහිත මුරගලක් දැකිය හැකිය. මුරගල් වලින් සංකේතවත් කෙරෙන්නේ සම්පත් වල ආරක්ෂාවයි. පරිස්සමට තබන දේවල් ඈලියාවට ගොස් සම්පත් අතුරුදහන් වූ විට බහිරවයා ගිල්ලා වගේ කියාද කියයි.

නෝට්ටුවේ පසුපස මැද ඇත්තේ තෙල්මේ නැටුම නටන නැට්ටුක්කාරයෙකුගේ හා යක් බෙරයක් වයන බෙරවායෙකුගේ රූපයකි. තෙල්මේ නැටුම 'තෙල් මෙහෙය' කිරීමේ අරමුණින් පවත්වන පහතරට සම්ප්‍රදායේ නැටුමකි. මේ නැටුමට ඇත්තේ දකුණු ඉන්දීය මූලයකි. දකුණු ඉන්දීය සංස්කෘතිකාංග සුමට ලෙස සිංහල සංස්කෘතිය තුළට අවශෝෂණය කරගෙන ඇති ආකාරය ගැන ලංකාතිලක විහාරය මෙන්ම තෙල්මේ නැටුමද හොඳ උදාහරණයකි. යක්බෙරය වාදනය කරන්නේද පහතරට නැටුම් වෙනුවෙනි.

බෙර වලින් ලොකු සද්දයක් ආවත් බෙරේ මැද හිස්ය. ඒ නිසා, බෙර පලා කිසිවක් ලබාගත නොහැකිය. ඒ වුනත්, නැට්ටුක්කාරයෙකුට බෙරේ සද්දය වෙනත් සද්ද වලින් වෙන් කර හඳුනා ගන්නට බැරිකමක් නැති නිසා හැංගි හැංගි වෙස් බඳින නැට්ටුක්කාරයින්ට බෙරේ සද්දේ ඇහෙන විට එළියට ඇවිත් නටන්නේ නැතුව සිටින්නට නොහැකිය. එහෙම නටන්නට ආවත් අන්තිමේදී සමහර නැට්ටුක්කාරයින් නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

දහයේ කොළේ කතාව වගේම අවශ්‍ය කෙනෙකුට පන්සීයේ කොළේ කතාවක් වුවත් හදාගන්නට පුළුවන. මම කළේ එහෙම හදාගන්නට අවශ්‍ය කෙනෙක්ට වැදගත් විය හැකි තොරතුරු ටිකක් සටහන් කිරීම පමණය.



Saturday, August 12, 2017

රෙදි හොරකමෙන් පසු...


පෙර ලිපියේ ලියූ පරිදි, ඉකොනොමැට්ටා පේරාදෙණියේ සිටි කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාරයකට පැමිණි රෙදි හොරෙකුට ස්තුතිවන්ත වන්නට, එම සිදුවීමෙන් ටික කාලයක් යන තුරු ඉකොනොමැට්ටාට හෝදන්නට තිබුණු රෙදි ප්‍රමාණය විශාල ලෙස අඩු විය. කාලය ඉතිරි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ තවත් ධනාත්මක දෙයක් වූයේ ඉකොනොමැට්ටාගේ සම්පත් උපයෝගීතාවය විශාල ලෙස ඉහළ යාමයි. රවී නිතරම කියන "පොසිටිව් තින්කින්" හෙවත් ශුභවාදී දැක්ම ගැන ඒ දවස්වලත් ඉකොනොමැට්ටා දැන සිටියේ ඩේල් කානගීගේ පොත් කියවා තිබුණු නිසා වන්නට ඇත. රවී කිවුවේ තවමත් මංගල සමඟ කටක රාශියේ සිටින රවී ගැන නොව නිදහස් සිතුවිලි රවී ගැනය.

ඩෙනිමක්, තවත් කලිසමක් හා ටී ෂර්ට් දෙක තුනක් එක දිගටම මාරුවෙන් මාරුවට අඳිමින් සිටි ඉකොනොමැට්ටාගේ සම්පත් උපයෝගීතාවය ඉහළ යවන්නට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් මේ ඇඳුම් අතුරුදහන් කළාදැයි සිතෙන්නේ පේරාදෙණියේ නේවාසිකාගාරයක් ඇතුළට රිංගා ඇඳුම් හොරකම් කිරීම දුවගේ යාලුවෙක් අරන් දෙන නිවසක කුලියට ඉන්නවාටත් වඩා අවදානම් කටයුත්තක් බැවිනි.

පසුදින උදේ එළියට යන්නට පෙර ඉකොනොමැට්ටාට චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ කියා සිතමින් සිටින මීයෙක්ට මෙන් විශාල තේරීමක් කරන්නට නොතිබුණු නිසා ඒ කාලයද ඉතිරි විය. වෙනදාටනම් ඩෙනිමද අඳින්නේ නැත්නම් කාකි කලිසමද අඳින්නේ කියා හිතමින් තවත් තත්පර ගණනක් හෝ නාස්ති කරන්නට සිදු වේ. 

මිනිස්සුන්ට තේරීම් නැති වූ විට ජීවිතය සරලය. එවැනි මිනිසුන් තමන්ට නැති තේරීම් ගැන වද නොවී තියෙන දෙයින් සතුටු වීම නරක නැතත්, අඩුම වශයෙන් වැඩි තේරීම් ඇති අනාගතයක් ගැන සිහින දැකීම තමන්ගේ තේරීමක් කර ගැනීමට බැරිකමක් නැත. හැබැයි සිහින දකිමින්ම නොසිට ඒ සිහින සැබෑ කර ගන්නට මහන්සි වෙන්නටද අවශ්‍යය. වැඩි තේරීම් ඇති ජීවිතයකින් මිදී සරල ජීවිතයකට පලායන මිනිසුන්ද සිටින නමුත් එය බොහෝ මිනිසුන් හැසිරෙන සාමාන්‍ය තත්ත්වය නොවේ.

රෙදි නැතිවීමෙන් පසු ඉකොනොමැට්ටාට අඳින්නට හාල්පොත වගේ ඉතිරි වී තිබුණේ එක් කලිසමකි. මේ කලිසම ඉකොනොමැට්ටා අඳින්නට එතරම් ප්‍රිය නොකළ තරමක් පරණ කලිසමකි. එහි බොත්තම් පියවිය හැකි වුනේද තරමක් අසීරුවෙනි. මෙය ඒ දවස්වල ඉකොනොමැට්ටා අඳින්නට ප්‍රිය කළ (තවමත් අඳින්නට කැමති) ඩෙනිම් හෝ කාකි කලිසමක් නොවීය. අසූව දශකයේ අග කාලයේ ආ හාරා රෙද්දෙන් මැසූ කලිසමකි.

ඒ වගේම, ඒ දවස් වල ඉකොනොමැට්ටා කමිස වලට වඩා ප්‍රිය කළේ ටී ෂර්ට් වලටය. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අලිඛිත ඩ්‍රෙස් කෝඩ් එක අනුව, කිසිවකු කොලරය නැති ටී ෂර්ට් ඇන්දේ නැති නිසා නිතර ඇන්දේ රෙදි හොරා විසින් රැගෙන ගොස් තිබුණු කොලරය සහිත ටී ෂර්ට් දෙක හෝ තුනයි. රෙදි ෆෙස්ටිවල් එකකින් පසුව ඇරඹෙන රෙදි චක්‍රයේ පළමු දින මේ ටී ෂර්ට් දෙක තුන අතරින් තේරීමක් තිබුණේය. ඒවා හෝදන ගොඩට එකතු වන විට තේරීම් අඩු විය.

රෙදි අතුරුදහන් වීමෙන් පසුව, ටී ෂර්ට් කිසිවක් ඉතිරිව නොතිබුණු අතර අඳින්නට සිදු වුණේ එතරම් ප්‍රිය නොකල අත් දිග කමිසයකි. හානිය ප්‍රතිපූරණය කර ගන්නා තෙක් මේස්, යට ඇඳුම් ආදිය දිනපතා සෝදන්නට සිදු විය. එක අතකින් බැලූ විට රෙදි හොරා විසින් ඉකොනොමැට්ටාට පිළිවෙලකට වැඩ කිරීම ගැන පාඩමක්ද කියා දී තිබුණේය.

රෙදි හොරකම සිදු නොවුනේනම් ඉහත කී ඇඳුම් පාවිච්චියට ගනු ලැබිය හැකිව තිබුණේ ඉතා කලාතුරකිනි. දැන්නම් මෙවැනි ඇඳුම් සෑහෙන තොගයක් එකතු වී තිබේ. ලංකාවේදී අප පුරුදු වන්නේ එදිනෙදා භාවිතයේදී අවශ්‍ය නොවන කුණු කන්දල් සියල්ල කොහේ හෝ ගොඩගසාගෙන සිටින්නටය. මෙය ඇතැම් විට ලංකාවට පොදු නැති මා සමීපව ඇසුරු කර ඇති අයගේ පුරුද්දක් විය හැකිය. 

මගේ පියාගේ එක් පුරුද්දක් වන්නේ පාරේ හෝ මිදුලේ වැටී ඇති ඇතැම් දේවල් අහුලාගෙන විත් ඒවා එකතු කිරීමයි. මෙසේ එකතු කරන දේ වලට උදාහරණයක් ලෙස ඉස්කුරුප්පු ඇණ හෝ යකඩ ඇණ සඳහන් කළ හැකිය. කොහේ හෝ බිම වැටී ඇති ඇණයක් ඇත්නම් ඔහු ඒවා කිසියම් භාජනයක ඇති ඔහුගේ ඇණ එකතුවට එක් කරයි. මේ අයුරින් "කුණු ගොඩවල් එකතු කිරීම" බොහෝ විට අපේ විවේචනයට ලක් විය. එවිට ඔහුගේ ප්‍රතිචාරය වන්නේ "හදිස්සියට උඹලටමයි ඕව ඕනැ වෙන්නේ!" යන්නයි. 

ඔහු කියූ කතාවනම් සම්පූර්ණ ඇත්තකි. ඔහු එකතු කළ මේ "කුණු ගොඩවල්" වල තිබුණු දේ කොයි වෙලාවක හෝ ඕනෑ වුනෙත් අපටමය.

ලංකාවේ ගෙවල් වල පරම්පරා ගණනක් තිස්සේ ගොඩගසා ගත් අනවශ්‍ය දේ තිබේ. මෙසේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය නොවන දේ ගොඩගසා ගෙන සිටීම ඇමරිකානුවන්ගේ පුරුද්දක් නොවේ. මෙවැනි දේ එකතු වන විට "ගරාජ් සේල්" දැමීම ඇමරිකානුවන්ගේ පුරුද්දකි. (වෙනත් බටහිර රටවලද මෙය මේ අයුරින්ම හෝ තරමක් වෙනස් අයුරකින් සිදු වනවා විය හැකිය.)

ලංකාවෙන් පැමිණි කාලයේදී මේ ගරාජ් සේල් ක්‍රමයේ මට තේරුම් ගන්නට අමාරු ගොඩක් දේවල් තිබුණේය. එහෙත්, ටික කලක් යද්දී, මට පැහැදිලි වූයේ මේ ගරාජ් සේල් යනු බිම් මට්ටමේදී ඇමරිකාවේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්  බවයි.

ගරාජ් සේල් වලදී කෙරෙන්නේ යමෙකුට අනවශ්‍ය බඩු ඉතා අඩු මිලකට විකිණීමයි. ඇතැම් විට මේ මිල ඇමරිකන් ඩොලරයකටත් අඩු ඉතා සුළු මුදලක් වන්නට පුළුවන. එහෙත්, කිසියම් භාණ්ඩයක් මුදල් නොගෙන නොමිලේ දෙන්නේ ඉතා කලාතුරකිනි. 

අප ඇමරිකාවට පැමිණි කාලයේ මෙවැනි ගරාජ් සේල් එකකින් ඉතා හොඳ තත්ත්වයේ, 9"ක පමණ කුඩා තිරයක් සහිත රූපවාහිණී යන්ත්‍රයක් ඩොලර් තුනකට මිල දී ගත්තෙමු. ඒ අපේ දරුවෙකු වෙනුවෙනි. මේ කුඩා රූපවාහිණී යන්ත්‍රයට ඔහු ඉතා කැමති වූ අතර නිවස මාරු කරද්දී අප මෙය දමා ආවේ ඔහුගේ දැඩි අකැමැත්ත මධ්‍යයේය. ඔහු වසර කිහිපයක්ම ඔහුගේ කාමරයේ සිට කාටුන් බැලුවේ මේ කුඩා රූපවාහිණී යන්ත්‍රයෙනි. ඒ නිසා, ඒ කාලයේදී ඔහු වෙනුවෙන් රූපවාහිනියේ නාලිකා මාරු කරන්නට අවශ්‍ය නොවීය.

ඩොලර් තුනක් කියන්නේ ඒ කාලයේ ලංකාවේ මුදලින් බැලුවත් රුපියල් දෙසිය පණහකට මඳක් වැඩි, තුන් සීයකට අඩු මිලකි. මෙය ඇමරිකාවේ හැටියට ඉතාම සුළු මුදලකි. ඒ දවස් වල ලංකාවේදී මා විසින් මෙවැනි රූපවාහිණී යන්ත්‍රයක් විකුණන්නට සිතන්නේ අඩු වශයෙන් රුපියල් දෙතුන් දාහකවත් අතට ලැබෙන්නේනම් පමණි. එවැන්නක් රුපියල් තුන්සීයකට වඩා වැඩි මිලකට විකිණිය නොහැකිනම් බොහෝ විට මා විසින් කරනු හැකිව තිබුණේ එය නොවිකුණා පැත්තක තබා ගැනීමයි. එසේ නැත්නම් කාට හෝ නොමිලේ දීමයි. 

ඇමරිකානුවන් සිතන්නේ ඒ ආකාරයට නොවේ. 

ඉහත කී රූපවාහිණී යන්ත්‍රය මිල දී ගැනීමට මා විසින් ඩොලර් තුනක මුදලක් වැය කළේ එහි වටිනාකම මට ඩොලර් තුනකට වඩා බොහෝ වැඩි වූ නිසාය. මට සාපේක්ෂව එහි වටිනාකම හා මා ගෙවූ මිල අතර වෙනස මගේ පාරිභෝගික අතිරික්තයයි. මගේ පාරිභෝගික අතිරික්තය මා ලබන වාසියක් නිසා රූපවාහිණී යන්ත්‍රය මිල දී ගන්නට ඩොලර් තුනක් ගෙවන්නට වීම ගැන මට කිසිදු කණගාටුවක් නැත. 

අනෙක් අතට මේ රූපවාහිණී යන්ත්‍රය විකිණූ තැනැත්තිය ඒ වන විට එය ප්‍රයෝජනයට නොගෙන පැත්තකට කර තිබුණු නිසා ඇයට එහි වටිනාකම ශුන්‍යයක් හෝ ඇතැම් විට සෘණ අගයක් විය හැකිය. ඒ නිසා, ඇය ලද ඩොලර් තුන ඇගේ ලාභයකි. ඇගේ ආදායම් මට්ටම අනුව මේ මුදල ඉතා සුළු මුදලක් විය හැකි වීම වෙනම කරුණකි. ගනුදෙනුවෙන් අප දෙදෙනාටම සිදු වුණේ වාසියකි.

මේ ගරාජ් සේල් එක බලන්නට එහි ගිය පළමු තැනැත්තා මා නොවේ. මට පෙර බොහෝ දෙනෙකු එහි ගොස් තිබුණත් කිසිවකු විසින් ඩොලර් තුනක් ගෙවා මේ රූපවාහිණී යන්ත්‍රය මිලදී ගෙන නොතිබුණේ ඒ කිසිවකුට එහි ඩොලර් තුනකවත් වටිනාකමක් නොතිබුණු බැවිනි. එහෙත්, එය නොමිලේ ගෙන යන්නට ඉඩ දී එහි තබා තිබුණේනම්, එය ඇත්තටම අවශ්‍ය නොවූවත් කවරෙකු විසින් හෝ එය රැගෙන යා හැකිව තිබුණේය. 

සත විසිපහක් හෝ ගෙවන්නට සිදු වූ විට ඕනෑම කෙනෙකු දෙවරක් සිතයි. ඩොලර් තුනක් ගෙවා ඉහත කී රූපවාහිණිය රැගෙන ගියේ එය ලබාගත හැකිව තිබුණු පුද්ගලයින් අතරින්, එය වැඩියෙන්ම අවශ්‍ය කළ පුද්ගලයාය. එය නොමිලේ ගෙන යන්නට ඉඩ හැර තිබුණේනම් මා යන තුරු එය එහි ඉතිරි වන්නේ නැත. මිල සාධකයට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් එය වඩාත්ම අවශ්‍ය පුද්ගලයා අතට පත් කිරීමේ හැකියාව තිබේ. එය කිසිවකුගේ සැලසුමකින් තොරව ස්වභාවික ලෙසම සිදු වන්නකි.

ලංකාවේදී බොහෝ විට සිදුවන්නේ මෙවැනි අනවශ්‍ය භාණ්ඩ "කවද හරි ප්‍රයෝජනයක් වෙයිනේ!" කියා ගොඩගසාගෙන සිටීමයි. එසේ නැත්නම් කාට හෝ නිකම් දීමයි. නිකම් දෙන මෙවැනි දේ රැගෙන යන්නට අය සොයා ගැනීම අපහසු නැත. එහෙත් එසේ නිකම් ගෙන යන අය බොහෝ විට කරන්නේද එය "කවද හරි ප්‍රයෝජනයක් වෙයිනේ!" කියා ගොඩගසාගෙන සිටීමයි.

ඇතැම් විටෙක, මෙවැනි එක් අයෙකුගේ දෙයක් ගෙන යන අයෙකු එයින් ලොකු ප්‍රයෝජනයක් ගන්නා අවස්ථාද තිබේ. එවැන්නක් දකින බොහෝ විට එය නොමිලේ දුන් පුද්ගලයා එය ලබාගත් පුද්ගලයාට ඊර්ශ්‍යා කරන්නට පටන් ගනී. නොමිලේ එය දීම ගැන දුක් වන්නටද පටන් ගනී. "අන්න තමුසෙ කැඩුන කියල නිකං දන්දුන්න ටීවී එක අර මනුස්සය හදාගෙන. ඔය යස අගට රූප පේන්නේ!" වැනි දෙබස් ලංකාවේ ගෙවල් වලට නුහුරු ඒවා නොවේ.

සත විසිපහක් හෝ ලබාගත් විට තමන් සතුව පෙර පැවති භාණ්ඩයේ දේපොළ අයිතිවාසිකම් ගැන තිබුණු ආශාව අත හරින්නට පහසුය. එහෙත්, නිකම් දුන් විට හිතෙන්නේ තවමත් ඒ භාණ්ඩයට තමන්ටත් අයිතියක් තිබෙන බවයි. 

ඇමරිකාවේ ගරාජ් සේල් වල විකුණන දේවල් අතර පරණ ඇඳුම්ද සුලභය. ඇමරිකාව වැනි රටක මිනිසුන් අනුන් ඇඳපු ඇඳුම් අඳිනු දැකීම මුල් කාලයේ තරමක් අවුල් සහගත දෙයක් ලෙස පෙනුණත් මෙයද ඇමරිකානු ධනවාදයේ පැතිකඩකි.

ඇමරිකාවේ නිපදවෙන භාණ්ඩයක් කුණු බක්කියකට යන්නේ එය අතින් අත ගොස් විශාල පිරිසක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් අනතුරුවය. එසේ නැතුව සල්ලි තියෙන ඇමරිකානුවන් විසින් අවශ්‍ය සහ අනවශ්‍ය හැම කෙහෙම්මලම සල්ලි දී මිල දී ගෙන ගොඩ ගසාගෙන සිටීමක් හෝ ඒ නිසා සල්ලි නැති අයට ජීවත් වන්නට අවශ්‍ය මූලික දේවල්වත් නොලැබීමක් සිදු වන්නේ නැත. ඒ අර්ථයෙන් බැලූ විට ඇතැම් අය කියන "භාණ්ඩයක් හිමි කර ගැනීම සඳහා පමණක්ම එය මිල දී ගන්නා පරිභෝජනවාදීන්" ලංකාවේ තරම් ඇමරිකාවේ නැත. මොනවා හෝ නිකම් ලැබෙන නිසා එය ගොඩගසා ගෙන සිටීමද ඉහත අර්ථය අනුවනම් පරිභෝජනවාදයකි.

ඇමරිකාවේ මුදල් යහමින් ඇති අය අලුත් මාදිලියක මෝටර් රථයක් පැමිණි විට පරණ එක විකුණා අළුත් එකක් මිල දී ගනිති. පරණ කාර් එක තවත් කෙනෙක් අතට යයි. මෙය දිගින් දිගටම සිදු වේ. අන්තිමට මෝටර් රථයක මිල හිතන්නටත් බැරි තරමට පහළ වැටේ. ඒ නිසා ඉතාම අඩු ආදායමක් ලබන අයෙකුට වුවත් මෝටර් රථයක හිමිකරුවෙකු වන්නට පුළුවන. 

දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති ආයතනයක සේවය කරන මගේ තජිකිස්ථාන මිතුරෙක් ඔහුගේ ශිෂ්‍ය අවධියේදී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා වැය කළේ ඩොලර් සීයක් පමණි. නිෂ්පාදිත වසර දශක කිහිපයක් පැරණි වුවත්, ඉතා හොඳ තත්ත්වයෙන් තිබුණු මේ මෝටර් රථය මුල් අයිතිකරු විසින් ඩොලර් පනස් දහසකට මිලදී ගෙන තිබුණු සුඛෝපභෝගී මෝටර් රථයකි. ඔහු රැකියාව සඳහා ස්විට්සර්ලන්තයට පිට වී යද්දී මේ මෝටර් රථය නැවතත් කිසියම් මිලකට අලෙවි කර ගියේය. 

මෝටර් රථ හා අදාළව ලංකාවේ සිදුවන්නේද මෙවැනිම දෙයක් නිසා මෙය තේරුම් ගැනීම අපහසු නැත. ඇඳුමක් වැනි දෙයක් හා අදාළව ලංකාවේදී මෙවැනි දේ ඉතා කලාතුරකින් හැර සිදු නොවෙතත් ඇමරිකාවේ එසේ වෙයි. ගෘහ භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වැනි දේ විශාල ලෙස අතින් අත සංසරණය වෙයි. 

ගරාජ් සේල් දමා විකුණන්නට නොහැකි වන දේවල් නොමිලේ ලබාදෙන්නේනම් බොහෝ විට ඇමරිකානුවෙකු විසින් කරන්නේ එවැනි දේ පුණ්‍ය කටයුතු සදහා පවත්වාගෙන යන වෙළදසැලකට (charity shop) ප්‍රදානය කිරීමයි. මෙවැනි ආයතන ඇමරිකාවේ සෑම නගරයකම වාගේ තිබේ. ඒවායේ ලාබ යොදා ගැනෙන්නේ කිසියම් නිශ්චිත සුබසාධන කටයුත්තක් හෝ කිහිපයක් වෙනුවෙනි. උදාහරණයක් ලෙස ඇතැම් වෙළදසැල් වල ලාභ ඇමරිකානු පිළිකා සංගමයට යයි.

මෙවැනි තැනකට මුදල් නොගෙන ලබාදෙන දේ වෙනුවෙන්ද රිසිට් පතක් ලැබේ. ලබාදුන් භාණ්ඩ වල වටිනාකම එහි සඳහන් වන නිසා, වසර අවසානයේදී බදු ගොනුගත කිරීමේදී එමඟින් යම් මුදල් වාසියක් ලැබීමේ හැකියාවක්ද තිබේ. මේ ආකාරයේ වෙළදසැල් වල සේවය කරන බොහෝ දෙනෙක් එසේ කරන්නේ ස්වේච්ඡා පදනමිනි.

ඉහත කී චැරිටි ෂොප් වලින් මුදල් වැය නොකර ලබාගන්නා දේ විකුණන්නේ වෙනත් වෙළඳසැල් වල විකුණන මුදලට වඩා තරමක් අඩුවෙන් නිසා එවැනි තැන් වලින් බඩු මිලදී ගන්නා සැලකිය යුතු පාරිභෝගික පිරිසක්ද සිටිති. ඇතැම් විට වෙළඳපොළේ සොයා ගැනීමට අපහසු යල් පැනගිය උපකරණයක අමතර කොටසක් වැනි දෙයක් මෙවැනි තැනකින් සොයා ගන්නට පුළුවන.

බෞද්ධ භික්ෂුවක් විසින් සිවුරකින් ප්‍රයෝජන ගන්නා ආකාරය සද්ධර්ම රත්නාවලියේ විස්තර කර තිබේ. වෙනත් ප්‍රයෝජනයක් ගන්නටම නොහැකි තරම් දිරා ගිය පසු වැරහැලි වුනු රෙදි කැබලි අවසාන වශයෙන් මැටි සමඟ අනා බිත්තියට ගසන තුරු එය ප්‍රයෝජනයට ගන්නා ආකාරය  සද්ධර්ම රත්නාවලියේ අදාළ තැනින් උපුටා දක්වන්නට තිබුණානම් හොඳ වුවත් කාල වේලා මඳකම එයට බාධාවකි. එහිදී වෙන්නේ අදාළ සිවුර එකම අයෙකු විසින් හැකිතාක් ප්‍රයෝජනයට ගනු ලැබීමයි.

ඇමරිකාවට එන අළුත් ඇඳුමක් බොහෝ විට අවසන් ගමන් යන්නේ කිහිප දෙනෙකුගේම විලි වැසීමට වරින් වර උදවු කිරීමෙන් අනතුරුවය. මෙය සිදුවන්නේ මිල යාන්ත්‍රනය හරහාය. මෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස ජීවත් වන්නට අවශ්‍ය බොහෝ පාරිභෝගික භාණ්ඩ මුදල් යහමින් ඇති අයෙකුට විශාල මිලක් ගෙවා මිල දී ගන්නටත්, අතේ වැඩි මුදලක් නැති අයටත් සුළු මුදලක් ගෙවා මිල දී ගන්නටත් ඇමරිකානු ධනවාදය විසින් ඉඩ සලසයි. මුදල් යහමින් ඇති අයෙකුට විශාල තේරීමක් ඇතත් මුදල් වැඩිපුර නැති අයෙකුට එවැනි තේරීමක් කිරීමේ හැකියාවක් නැත. එහෙත්, එවැන්නෙකුට වුවද බොහෝ විට අවශ්‍ය දෙය නොලැබී නොයයි.

ඇමරිකානුවන් අනවශ්‍ය බඩු හැකි ඉක්මණින් ඉවත් කිරීමත්, ලංකාවේ බොහෝ දෙනෙක් එසේ නොකිරීමත් ලාංකිකයින් විසින් කරන "වැරැද්දක්" නොවේ. ඇමරිකාවේ ජීවත් වන අයෙකුට හදිස්සියකට යකඩ ඇණයක් හෝ ඉස්කුරුප්පු ඇණයක් අවශ්‍යනම් ලඟම ඇති සුපිරි වෙළඳසැලකට ගොස් මහ රෑ මැද්දේ වුවත් ඇමරිකානුවෙකුගේ ආදායමට සාපේක්ෂව ඉතා සුළු මුදලක් ගෙවා එය මිලදී ගැනීමේ හැකියාව තිබේ. වෙනත් බොහෝ දේ සම්බන්ධවද තත්ත්වය මෙසේය. එහෙත්, ලංකාවේදීනම් ප්‍රායෝගිකව කළ හැකි හොඳම දෙය ගෙදර යකඩ ඇණයක් හොයාගන්නට නැත්නම් අල්ලපු ගෙදර හෝ ඇත්දැයි සොයා බැලීමයි. 

ඉකොනොමැට්ටා අඳින්නට එතරම් ප්‍රිය නොකළ පරණ හාරා කලිසම ඇතුළු ඇඳුම් කෑලි දෙක තුන හෝ නොතිබුණානම් රෙදි හොරකමෙන් පසුව ඉකොනොමැට්ටාට සිදුවිය හැකිව තිබුණු සන්තෑසිය අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැත. ඒ නිසා මගේ පියාගේ යකඩ ඇණ එකතු කිරීම වැනි පුරුදු සමාජ පරිණාමය සමඟ ස්වභාවික ලෙසම වෙනස් වීමට නියමිත පුරුදු මිස, ඇමරිකානු සමාජය හෝ වෙනත් බාහිර සමාජයක් දෙස බලා කෘතීම ලෙස වෙනස් කිරීම හැමවිටම අවශ්‍යම දේවල් නොවේ.

තමන්ට ඇති තේරීම් ගණන අඩු වන විට කරන්නට වෙන්නේ එසේ ඉතිරිව ඇති සීමිත තේරීම් අතරින් තේරීමක් කරන්නටය. රෙදි හොරකමෙන් පසුව ඉකොනොමැට්ටාට සිදු වුණේ එයයි. රටේ දේශපාලනය වැනි වඩා "බරපතල" තේරීමක් කිරීමේදී වුවත්, ඒ තේරීම කරන්නට වෙන්නේ තිබෙන විකල්ප අතරිනි. 

Thursday, August 10, 2017

මොන රෙද්දක්වත් නැතුව...


පසුගිය කාලයේ ඉකොනොමැට්ටා විසින් බ්ලොග් වල ලිපි පළ කර ඇති ආකාරය නිරීක්ෂණය කළ විට එහි කිසියම් රටාවක් දැකිය හැකිය. ඉකොනොමැට්ටා විසින් ටික කාලයක් දිනපතාම වාගේ බ්ලොග් ලිපි පළ කරයි. සමහර දවස් වල ලිපි දෙකක් අතර පරතරය පැය 24කටත් අඩුය. සමහර විට, මෙසේ ටික දවසක් ෆෙස්ටිවල් දමා ලිපි පළ කිරීමෙන් පසුව දවස් ගානක් යන තුරු ඉකොනොමැට්ටාගේ සද්දයක්වත් නැත.

අවුරුද්දකට පමණ කලින් ඉකොනොමැට්ටා බ්ලොග් යාවත්කාලීන කර ඇත්තේ මීට වඩා ක්‍රමවත් රටාවකය. පත්තරයක් එළියට දානවා හෝ ටෙලි නාට්‍යයක් විකාශනය කරනවාක් මෙන් පිළිවෙලකට සතියේ නිශ්චිත දවස් තුනක නියමිත වෙලාවක ඉකොනොමැට්ටා විසින් බ්ලොග් යාවත්කාලීන කළ කාලයක්ද තිබුණේය. එහෙත්, ඒ ඉතා ටික කාලයකි.

ඇත්තටම කියනවානම් මුල සිටම ඉකොනොමැට්ටා බ්ලොග් ලිපි ලිවුවේ දැන් ලියන ආකාරයටමය. ඒ කියන්නේ, වෙලාවක් ලැබුණු විට ලිපි ගණනාවක් ලිවීමත්, වැඩ වැඩි වූ විට කිසිවක් නොලියා දවස් ගණනක් සිටීමත් මුල සිටම කළ දෙයක් බවය. එහෙත්, සමහර කාල වලදී මෙය පාඨකයින්ට නොතේරුනේ ලිපි පළකලේ ලියන රටාව අනුවම නොවූ බැවිනි. 

ඉහත කී ආකාරයෙන් පිළිවෙලකට ලිපි පළ කරන කාලයේ ඉකොනොමැට්ටා විසින් කළේ ලියන ලිපි ඉදිරි දිනයක පළවන පරිදි පෝලිම්ගත කර තැබීමයි. ඒ නිසා, බොහෝ විට ලියා අවසන් කළ ලිපි තුන හතරක් හෝ ඇතැම් විට හත අටක් ඉදිරියට පළවන්නට නියමිතව පෝලිමේ තිබුණේය. සංචිතයේ ලිපි ප්‍රමාණය අඩු වන විට ඉකොනොමැට්ටා එයට එකවර ලිපි ගණනක් එකතු කළේය.

මේ කියන කාලයේ ඉකොනොමැට්ටාගේ පාඨකයින් වැඩි දෙනෙක් මෙහි පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර් හා බ්ලොග් රෝල් හරහාය. එවැනි තත්ත්වයක් යටතේ පිළිවෙලකට ලිපි පළකිරීමේ කිසියම් උපාය මාර්ගික වාසියක් තිබුණේය. කාලයක් ලිපි පළ නොකරන විට සින්ඩිකේටර් වල හා බ්ලොග් රෝල් වල ඉකොනොමැට්ටාගේ බොජුන්හල පහළට ගොස් නොපෙනී යයි. අනෙක් අතට, එක ළඟ ලිපි දෙකක් පළ කළ විට පළමුවැන්න වෙනුවට දෙවැන්න ආදේශ වන නිසා පළමුවැන්න පාඨකයින්ට මඟ හැරේ. ඒ නිසා, හොඳම උපාය මාර්ගය වූයේ දින 2-3කට වරක් ලිපියක් පළ කිරීමයි.

කෙසේ වුවත්, මේ වන විට ඉහත තත්ත්වය වෙනස් වී තිබේ. දැන් වැඩි දෙනෙකු මෙහි පැමිණෙන්නේ වත්පොත හෝ ගූගල් හරහාය. එසේ පැමිණෙන බොහෝ අය ලිපි එක දිගට පළවන විට අලුත් ලිපි ඇත්දැයි බැලීමට නැවත නැවත මෙහි පැමිණෙති. ලිපි පළ නොවන විට නොපැමිණෙති. මෙහි පළවන ලිපි කියවන්නට කිසියම් අයුරකින් "ඇබ්බැහි වී" සිටින අයට ඉකොනොමැට්ටාගේ අපිළිවෙළ රටාව බාධාවක් වුවත්, ඔවුන් වැඩි දෙනෙක් මෙහි අලුත් ලිපියක් පළවූ විට පසුව හෝ එය කියවති. ඇත්තටම කියනවානම් ඉකොනොමැට්ටාගේ බොහෝ ලිපි ලියූ වහාම කියවිය යුතු ඒවා නොවේ. ඇතැම් ලිපි වල කරුණු වසර කිහිපයකට පසුව කියවූවද ප්‍රශ්නයක් නැති ආකාරයේ ඒවාය. ඒ නිසා, ටික කාලයක සිට ඉකොනොමැට්ටා විසින් කරන්නේ ලියා අවසන් වූ වහාම ලිපි මෙහි පළ කිරීමයි. ලිපි ලියන්නේ ෆෙස්ටිවල් රටාවට නිසා ඒවා පළවන්නේද ෆෙස්ටිවල් රටාවටය.

මේ ෆෙස්ටිවල් රටාව ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකට පමණක් සීමා වුවක් නොවේ. දැන් අමාරුවෙන් තරමක් දුරට වෙනස් කරගෙන සිටියත්, ඉකොනොමැට්ටා කුඩා කාලයේ සිටම වැඩ කළේ මේ ෆෙස්ටිවල් රටාවටය. පාසැල් කාලයේ සාමාන්‍යයෙන් විභාග වලින් හොඳ ප්‍රතිඵල ලැබුණත් එය එසේ වුණේ දිනපතා පිළිවෙලකට එදිනෙදා කළ යුතු වැඩ කොටස කිරීම නිසා නොව විභාගය අත ළඟට පැමිණි විට එක දිගට දින ගණනක් ෆෙස්ටිවල් දමා විභාගයට සූදානම් වීම නිසාය. 

ඉකොනොමැට්ටා ප්‍රථම උපාධිය හදාරන කාලයේ අනුගමනය කළේත් මේ ෆෙස්ටිවල් රටාවමය. ඒ අනුව, වසර පුරා අනෙක් සියළු වැඩ කරමින් සිට විභාග වෙනුවෙන් වැඩ කරන්නට පටන් ගත්තේ අධ්‍යයන නිවාඩු ලැබුණු පසුවය. අධ්‍යයන වැඩ වලට අමතරව අනෙක් පෞද්ගලික කටයුතු කළේද මේ විදිහටමය. හොඳම උදාහරණය ඉකොනොමැට්ටා පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර වල ජීවත් වෙද්දී රෙදි සේදූ ආකාරයයි.

ඒ කාලයේදීත් අපි අනිත් අයගේ රෙදි සේදුවේ නැතිවාක් මෙන්ම අපේ රෙදි සෝදන්නට වෙනත් අය සිටියේද නැත. අද මෙන්ම එදාත් අප කළේ අපේ රෙදි අපිම සෝදා ගැනීමයි. හැබැයි ඉතින් මේ වැඩේ කළේත් අර පෙර කී ෆෙස්ටිවල් රටාවටමය. 

අඳින්නට සේදූ ඇඳුම් තිබෙන තාක් රෙදි සේදීම පස්සට යයි. අන්තිමේදී ෆෙස්ටිවල් දමා රෙදි හෝදන්නට අතගහන්නේ එළියට බහින්නට සේදූ ඇඳුමක් නැති වන තැනටම වැටුණු පසුවය.

ඔහොම කිවුවාට සේදූ රෙදි නැත්තටම නැති වී ගියාමත් නොවේ. 

එදා මෙන්ම අදත් ඉකොනොමැට්ටා ඇඳුම් ගැන ලොකු සැලකිල්ලක් නැත. දැන් ජීවත් වන රටේත්, කරන රැකියාවේත් ඉකොනොමැට්ටාට ඇති එක් විශේෂ වාසියක් වන්නේ මොන රෙද්දක් ඇඳගෙන ගියත් ප්‍රශ්නයක් නැති වීමයි. 

මෙයින් අදහස් වන්නේ ඉකොනොමැට්ටා ඕනෑම රෙද්දක් ඇඳගෙන වැඩට යන්නට නොපැකිළෙන බව නොවේ. ලොකු තේරීම් නොකළත් ඉකොනොමැට්ටාට ඇඳුම් පිළිබඳ රුචිකත්වයන් තිබේ. ඒ නිසා ප්‍රායෝගිකව සිදුවන්නේ කොයි තරම් ඇඳුම් තිබුණත් බොහෝ විට ඇඳෙන්නේ වඩා කැමති ඇඳුම් කිහිපයෙන් එකක් වීමයි. ඉතිරි ඇඳුම් බොහෝ විට ඔහේ පැත්තක තිබේ.

සරසවියේ හිටි කාලයේ ඉකොනොමැට්ටාට අද තරම් ඇඳුම් නොතිබුණත්, ඒ කාලයේදීත් අඳින්නට එතරම් ප්‍රිය නොකළ ඇඳුම් තිබුණේය. කොහොමටත් ඉතින් අඳිනවා කියා ඕනෑම රෙද්දක් අඳින්නට නුපුළුවන. ඒ නිසා, ඇත්තටම වුනේ මෙසේ අඳින්නට අකමැති ඇඳුම හෝ දෙක අඳින තැනට වැටෙන තෙක් ඉකොනොමැට්ටාගේ රෙදි සේදීම ප්‍රමාද වීමයි.

මේ කියන කාලයේදී අප නැවතී සිටියේ පේරාදෙණිය සරසවියේ ජේම්ස් පීරිස් ශාලාවේ දෙවන මහලේ කාමරයකය. නැවතී සිටියේ කියා කිවුවත් ගෙදර ගියේ මාසයකට වරක් පමණ බැවින් ජීවත්ව සිටියේ කියා කීම වඩා නිවැරදිය. ඒ නිසා, රෙදි සෝදා ගැනීම හා වේලා ගැනීම වැනි දේ කරන්නට වුනේ ඕක ඇතුළේමය.

පිටතින් දකින අයෙකුට අසුන්දර දසුනක් විය හැකි වුවත්, නේවාසිකාර කාමරයේ සඳලුතල කොටස ඇතුළේ වැලක් අදින්නට කාටවත් තහනමක් නොතිබුණේය. වැලක් කිවුවේ රෙදි වැලක් ගැනය. ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා සෝදන රෙදි වනන්නට මේ නේවාසිකාගාර කාමරයේ සඳළුතලයේ ගැට ගසා තිබුණු රෙදි වැලද ප්‍රමාණවත් නොවූ අතර, බොහෝ විට එහි කොට බිත්තිය දිගේද රෙදි ඇතිරුණේය. මෙසේ වනන රෙදි වේලෙන්නට දිනක් හෝ දෙකක් ගත වෙයි.

මේ කියන දවසේත් ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා වැල මෙන්ම කොට බිත්තියද පිරෙන්නට රෙදි අතුරා තිබුණු දවසකි. රාත්‍රියේ රෙදි සෝදා වැනීමෙන් පසුව උදේ පාන්දර සඳළුතලයට පිවිසි ඉකොනොමැට්ටාගේ ඇස ගැටුණේ ඉතා සුන්දර දසුනකි. රාත්‍රියේ වැලේ හා බිත්තිය මත වැනූ රෙදි කිසිවකුත් එහි නැත!

මේ හොරා විසින් කලිසම් කමිස පමණක් නොව අඩු වශයෙන් යට ඇඳුම්වත් ඉතිරි කර නොතිබුණේය. ඉකොනොමැට්ටාගේ සරම් කිහිපයෙන් ඉතිරිව තිබුණේ ඇඳගෙන සිටි සරම පමණි. ෆෙස්ටිවල් දමන සමහර දිනවල තුවායක් ඇඳගෙන අන්තිම සරමත් හෝදන නමුත් හොඳ වෙලාවට එදා එසේ කර නොතිබුණු නිසා ඒ සරම හෝ ඉතිරි විය. නැත්නම්, ඉතිරි වන්නේ තුවාය පමණි.

ඉකොනොමැට්ටාට සිදු වූ ඉහත අකරතැබ්බය ඒ දවස් වල පේරාදෙණියේ නේවාසිකාගාර කිහිපයකම ජීවත් වූ සිසුන් ගණනාවක් විසින්ම මුහුණ දුන් අකරතැබ්බයකි. කිසියම් පුද්ගලයෙක් විසින් හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් ඒ කාලයේ පේරාදෙණියේ නේවාසිකාගාර වල සිසුන්ගේ රෙදි හොරකම් කිරීම වාර ගණනක් දිගින් දිගටම සිදු විය. මෙය සිදු වුනේ හිතාගන්නටවත් අමාරු ආකාරයකිනි. 

පේරාදෙණිය සරසවිය කියන්නේ අද මෙන්ම එදාත් "මුදා නොගත්" භූමියකි. මෙහි පැමිණ රෙදි හොරකම් කරන්නට සිතන අයෙකු විසින් ගන්නේ සුළුපටු අවදානමක් නොවේ. යම් හෙයකින් මේ හොරකම කරන්නට ගොස් මාට්ටු වුනේනම් රටේ නීතිය ක්‍රියාත්මක වන්නට පෙර කැම්පස් නීතිය ක්‍රියාත්මක වන අතර, සිසුන් සිටි මානසික තත්ත්වය අනුව, හොරාගේ වෘෂණ කෝෂ දෙකවත් ඉතිරි නොවන බව ඉඳුරාම කිව හැකිය. ඒ දවස්වල එසේ හොරා මාට්ටු වූයේනම් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉකොනොමැට්ටාද පෝලිමේ ඉදිරියෙන්ම සිටිය හැකිව තිබුණේය.

කොහොම වුවත් හොරා අහුවුනේ නැත.

ඉකොනොමැට්ටාගේ රෙදි නැති වන විටත් අවස්ථා ගණනාවක මෙවැනි හොරකම් සිදුවී තිබුණු බව ඉකොනොමැට්ටා දැන සිටියේය. එහෙත්, ඒ එක්කෝ පළමු මහලේ කාමරයකය. එසේ නැත්නම්, දෙවන මහලේ එක් අන්තයකට වන්නට තිබුණු කාමරයකය. ඉකොනොමැට්ටාගේ කාමරය තිබුණේ දෙවන මහලේ මැද හරියේ නිසා හොරෙකුට එහි ළඟා විය හැකි බවක් පෙනෙන්නට නොතිබුණේය. රෙදි වැනීමේදී එතරම් සැලකිලිමත් නොවුණේ ඒ නිසාය. 

එහෙත්, ඉකොනොමැට්ටාගේ රෙදි නැති විය. හොරා අහුවුනේ නැත.

රෙදි නැති වූ පසු ඉකොනොමැට්ටාට සමාජයට මුහුණ දෙන්නට සිදු වූ අපහසුව මෙහි විස්තර කරන්නට යන්නේ නැත. කෙටියෙන් කියන්නට තියෙන්නේ අඳින්නට රෙද්දක්වත් නැති වූ විට පත්වන අසරණ භාවය ගැන ඉකොනොමැට්ටාට පළමෝත අත්දැකීම් ඇති බවයි. ඉන්පසු ඔලුව උස්සන එක ලේසි නැත. කාට වුවත් ඒක එහෙමය.

මෙසේ රෙදි නැති වුනේ ඉකොනොමැට්ටාගේ පමණක් නොවේ. තවත් සිසුන් ගණනකට මේ අකරතැබ්බයට මුහුණ පාන්නට සිදු වූ අතර සමස්තයක් ලෙස සියළුම සිසුන්ට තමන්ගේ රෙදි පරිස්සම් කර ගැනීම ගැන නිබඳ සිතන්නට සිදු විය. සිසුහු  කණ්ඩායමක් ලෙස සාමූහිකව කාල වේලා වෙන් කරගෙන රෙදි හොරා අල්ලන්නට නිදි වැරීම පවා කළත් හොරා අහු වුණේ නැත. 

ඇස් පනා පිටම වාගේ රෙදි හොරකම දිගටම සිදු වුණේය. හොරාව අල්ලන්නට සිසුහු මහන්සි වූහ. එහෙත් හොරා අහු වුනේ නැත. හොරකම දිගටම සිදු වුණේය. හොරෙක් නැතුව හොරකමක් සිදු විය නොහැකි වුවත් හොරා අහු වුණේ නැත. 

තත්ත්වය මෙසේ තිබියදීම අධ්‍යයන වර්ෂය අවසන් වූ අතර ඉකොනොමැට්ටාගේ ඊළඟ නවාතැන වූයේ ජයතිලක ශාලාවයි. මේ ශාලාව පිහිටියේ විද්‍යා පීඨය ඉදිරිපිටය.

පේරාදෙණිය සරසවිය ලංකාවේ රජයේ සරසවි අතරින් වැඩිම නේවාසිකාගාර පහසුකම් ඇති සරසවිය ලෙස සැලකිය හැකි වුවත්, එහිද කාමර පහසුකම් සැපයුම ඉල්ලුමට වඩා බොහෝ අඩුය. ඒ නිසා, තමන් කැමති නේවාසිකාගාරයක කාමරයක් ලබාගැනීම පහසු කටයුත්තක් නොවේ. 

ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා විසින් ඉංජිනේරු පීඨ සිසුවෙකුට ජයතිලක ශාලාවේ කාමරයක් වෙන් කිරීමට දැක්වූයේ ඉතා අඩු උනන්දුවකි. ඔහුගේ තර්කානුකූල තීරණයට හේතුව වූයේ ජයතිලක ශාලාව ඉංජිනේරු පීඨයට ඈතින් පිහිටීම හා ඉංජිනේරු පීඨයට ආසන්නව අක්බාර්-නෙල් ශාලාව තිබීමයි. ඒ නිසා, ජයතිලක නේවාසිකාගාරයේ කාමර ලබා දීමේදී ප්‍රමුඛතාවය ලැබුනේ එයට ආසන්නව පිහිටි විද්‍යා පීඨයේ සිසුන්ට හා වෛද්‍ය, දන්ත වෛද්‍ය, කෘෂි විද්‍යා වැනි පීඨ වල සිසුන්ටය.

තමන්ගේ පීඨයට ආසන්නව පිහිටි නේවාසිකාගාරයක නවාතැන් ගැනීම බොහෝ සිසුන්ගේ කැමැත්ත වුවත් වෙනත් ප්‍රමුඛතා ඇති සිසුහු ඕනෑ තරම් සිටිති. එහෙත්, පේරාදෙණි ශිෂ්‍ය නේවාසිකාගාර වලට සිසුන් අනුයුක්ත කිරීම භාරව සිටි නිලධාරියා, මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන වෙනත් බොහෝ අය මෙන්ම, සිතා සිටියේ එක් එක් සිසුවාට හොඳම නේවාසිකාගාරය කුමක්ද කියා ඔවුන්ට වඩා හොඳින් ඔහු දන්නා බවයි. මෙය ක්‍රමයේ ප්‍රශ්නයක් මිස ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ.

මධ්‍යගත සැලසුම් වලින් පාරිභෝගික ඉල්ලුම නිසි පරිදි නොසැපිරෙන විට තමන්ගේ ප්‍රමුඛ තේරීම ලබා ගැනීම සඳහා පාරිභෝගිකයෝ තමන්ට හැකි දේ කරති. ජනප්‍රිය පාසැල් වලට දරුවන් ඇතුළු කර ගැනීම සඳහා දෙමවුපියන් විසින් දරන විවිධ ප්‍රයත්නයන් උදාහරණ වේ.

ඉකොනොමැට්ටා ඇතුළු ඉංජිනේරු පීඨයේ සුළුතර සිසු පිරිසකට අවසන් අධ්‍යයන වසර අරුණාචලම් හෝ ජයතිලක ශාලා දෙකෙන් එකක නේවාසිකව සිටින්නට අවශ්‍යව තිබුනේය. එහෙත්, ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා දැඩි ලෙස කියා සිටියේ එම නේවාසිකාගාර වල දැනට පුරප්පාඩු කිසිවක් නැති බවයි. පෙර වසරේ ජේම්ස් පීරිස් ශාලාව ඉල්ලා සිටි විට අපට ලැබුණේද මෙවැනිම පිළිතුරකි. ඒ නිසා, අපි දෙවන වසරේ සිටියදී සිටම මේ නිලධාරියා සමඟ ගනුදෙනු කර සාර්ථක වූ උපක්‍රමය නැවත වරක් යොදා ගත්තෙමු.

අපේ බලකිරීම නිසාත්, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් වූ (හා ඒ නිසාම මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්ද වූ) සිසුන් අපේ කණ්ඩායමේ සිටීමත් නිසා අදාළ නේවාසිකාගාර වල ඇති කාමර ගණන් හා එක් එක් පීඨ වලට අයත් සිසුන් ගණන් පිළිබඳ සංඛ්‍යාලේඛණ අපට මේ නිලධාරියාගෙන් ලබා ගත හැකි විය. මේ කටයුත්ත අප දැන් මෙසේ කරන්නේ තෙවන වරටය. පෙර දෙවසරේදීමත් අප මෙය මෙලෙසම කළෙමු. මේ උපක්‍රමය මඟින්, සාමාන්‍යයෙන් නේවාසිකාගාර පහසුකම් නොලැබෙන දෙවන වසරේදීද අපට නේවාසිකාගාර පහසුකම් ලබාගත හැකි විය.

පෙර පළපුරුද්ද නිසා, අදාළ ශාලා වල නේවාසිකව සිටින එක් එක් පීඨ වලට අයත් සිසුන්ගේ එකතුවත්, නේවාසිකාගාරයක ඇති කාමර ගණන එක් කාමරයක සාමාන්‍යයෙන් සිටින සිසුන් ගණනින් වැඩි කළ විට ලැබෙන ගණනත් අතර වෙනසක් ඇති බව සොයා ගන්නට අපට වැඩි වෙලාවක් ගියේ නැත. ජයතිලක හා අරුණාචලම් ශාලා වල ඇති නීත්‍යානුකූල ලෙස නොපිරවූ කාමර පුරප්පාඩු ගණන අපේ කණ්ඩායමට ප්‍රමාණවත් බව අපට පෙනී ගියේය.

කෙසේ වුවද, අදාළ ශාලා වල මේ පුරප්පාඩු තිබෙන්නේ කුමන කාමර වලද යන්න අදාළ නිලධාරියා නොදන්නා බව ඔහු පවසන්නේ ඇත්තටම බවද මේ වන විට අප දැන සිටි නිසා අප විසින් ඊළඟ පියවර කරා යා යුතුය. මේ පුරප්පාඩු සාමාන්‍යයෙන් තිබෙන්නේ හිස් කාමර වල නොවේ. බොහෝ විට සිදු වන්නේ සහකාර නේවාසිකාගාර පාලක කෙනෙකු විසින් පුරප්පාඩු තුනක් ඇති කාමරයකට දෙදෙනෙකු පමණක් අනුයුක්ත කිරීමයි. එසේ කරන ඔහු කාමරයේ පුරප්පාඩුවක් ඇති බව ශිෂ්‍ය සුබසාධන නිලධාරියාට දැනුම් නොදී සිටියි. එවැනි දැනුම් දීමක් නොලැබෙන තාක් සුබසාධන අංශයේ දත්ත අනුව නේවාසිකාගාර වල පුරප්පාඩු නැත.

සහකාර නේවාසිකාගාර පාලකවරුන් විසින් මෙසේ කිරීමට හේතුවක් තිබුණේය. ඒ මේ කාමර වල ඇත්තටම කිසියම් සිසුවෙක් හෝ සිසු පිරිසක් ජීවත් වීමයි. එහෙත්, ඒ නීත්‍යානුකූල ලෙස නොවේ. එවැන්නෙක් එක්කෝ ශිෂ්‍ය දේශපාලනය හෝ වෙනත් කිසියම් පක්ෂයක දේශපාලනය කරමින් වසර ගණනක් තිස්සේ සරසවි ඇතුළේම ජීවත් වන අයෙකි. එසේ නැත්නම්, දේශපාලනය නොවන වෙනත් හේතු මත විභාග දිගින් දිගටම අසමත් වුවත් සරසවිය ඇතුළේම රැඳී සිටින අයෙකි. 

මේ කාණ්ඩ දෙකෙන් කවරකට අයත් වුවත් බොහෝ විට මෙවැනි සිසුවකු ජනප්‍රිය සිසුවෙකු වූ අතර සාමාන්‍යයෙන් කා සමඟත් හොඳින් සිටි අයෙකි. කෙසේ වුවත්, මෙවැන්නෙකු සිටින තැනක් අධ්‍යයන කටයුතු සඳහා සුදුසු තැනක් හෝ පෞද්ගලිකත්වයක් ඇති තැනක් නොවීය. ඒ නිසා, අවස්ථාවක් ලැබුණත් එවැනි කාමරයක සිටින්නට බොහෝ සිසුන් කැමති නොවුණේය. එවැනි විටක එවැනි කාමරයකට අනුයුක්ත කරනු ලබන සිසුවකු බොහෝ විට සහකාර නේවාසිකාගාර පාලක හමු වී වෙනත් කාමරයක් ඉල්ලා සිටී. මෙය දිගින් දිගටම සිදුවන විට එවැනි පුරප්පාඩුවක් නොපුරවා ප්‍රශ්නයෙන් බේරීමට සහකාර නේවාසිකාගාර පාලකවරු පෙළඹුණෝය.

මෙයට තවත් හේතුවක් තිබුණේය. මේ සහකාර නේවාසිකාගාර පාලකවරු බොහෝ විට වසර දෙක තුනකට පෙර උපාධිය ලබාගත් අයයි. ඒ නිසා, ඉහත කී ලෙස නේවාසිකාගාර කාමර වල නීත්‍යානුකූල නොවන ලෙස පැලපදියම් වී සිටි අය ඇතැම් විට ඔවුන්ගේ බැචාලාය. එසේ නැත්නම් යාලුවෝ හෝ ඇතැම් විට සීනියර්ස්ලාය. ඒ නිසා, මේ සහකාර නේවාසිකාගාර පාලකවරුන්ට එවැනි අයෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට උවමනාවක් හෝ ඇතැම්විට ප්‍රායෝගික හැකියාවක් හෝ නොතිබුණේය. නේවාසිකාගාර පාලකවරු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වුවත් ඔවුන් විසින් දැරුවේ නාමික තනතුරකි. නේවාසිකාගාර පරිපාලනය සිදුවුනේ ඉහත කී සහකාර නේවාසිකාගාර පාලකවරුන් අතිනි.

දැන් මේ පුරප්පාඩු තිබෙන කාමර සොයා ගැනීම පහසු දෙයක් නොවේ. ඒ සඳහා කාමරයෙන් කාමරයට තට්ටු කර එහි සිටින සිසුන් සමඟ සෘජුව හෝ වක්‍රව කතා කර කරුණු දැනගත යුතුය. මේ අසීරු කාර්යය හරහා එවැනි පුරප්පාඩු ඇති කාමර හඳුනා ගැනීමෙන් පසුව සහකාර නේවාසිකාගාර පාලක හමු වී එම කාමර වල නීත්‍යනුකූලව සිටින සිසුන් ගැන තොරතුරු විමසා සිටිය යුතුය. ඔහුට එවැනි පැහැදිලි කිරීමක් කළ නොහැකිනම් කාමරයේ පුරප්පාඩුවක් ඇති බව පිළිගන්නට සිදුවන අතර ඒ බව තහවුරු කර අදාළ තොරතුරු ශිෂ්‍ය සුබසාධන අංශයට යවන මෙන් ඔහුට බල කරන්නට පුළුවන. එසේ කිරීමෙන් පසුවද ප්‍රමුඛතාවය මත අදාළ කාමර වෙනත් අයෙකුට ලැබෙන්නට ඉඩ තිබෙන නිසා එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද කලින්ම ගත යුතුය. අවුරුදු තුනක්ම අපට අවශ්‍ය තැන් වලින් අප කාමර සොයා ගත්තේ මේ සෙල්ලම කිරීමෙනි.

මෙසේ අමාරුවෙන් කාමරයක් ලබාගත්තත් මෙවැනි කාමරයක ජීවත් වීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මෙවැනි ඇතැම් කාමරයක, නීත්‍යානුකූල ලෙස නොවූවත්, සිසුහු හතර පස් දෙනෙක්ම සිටියහ. එවැනි තැනක ජීවත් වීම මාර ඇණයක් බව කියන්නට අවශ්‍ය නැත. පසුව වෙනත් කාමරයක් ඉල්ලාගෙන පැමිණියාට ඔහුට කරන්න දෙයක් නැති බව සහකාර නේවාසිකාගාර පාලක විසින් කලින්ම අවවාද කර තිබෙන නිසා ලබාගත් කාමරයෙන්ම ගොඩ යා යුතුය. ටික කාලයක් උත්සාහ කිරීමෙන් පසුව අන්‍යෝන්‍ය හුවමාරු වලට සිසුන් කැමති කරගෙන තැන් තැන් වල කාමර වල වෙනත් අය සමඟ සිටින අපේ කණ්ඩායමට නැවත එකතු වන්නට පුළුවන. එහෙත්, මෙය පහසු වැඩක් නොවේ. බොහෝ විට මෙවැනි කාමර වලදී හමුවන සිසුන් අපට වඩා දරාගැනීමේ ශක්තියක් ඇති ඇම්ඩන්ලා නිසා ඔවුන්ට කාමරය මාරු කිරීමට පෙළඹවීම පහසු නැත. 

හතරවන වසර මුලදී ජයතිලක ශාලාවෙන් හොයා ගත් කාමරයද මේ ජාතියේ කාමරයකි. පළමු මහලේ කැන්ටිම කිට්ටුව තිබුණු මේ කාමරය විද්‍යා පීඨයේ පොදු කාමරයක් වැනිය. වසර හත අටක සිටම සරසවියේ ඉගෙනුම ලබා තිබුණු, බොහෝ විට උපාධි පාඨමාලාව සම්පූර්ණ නොකළ, සිසුන්ගේ සටහන් පොත් මෙන්ම ඇඳුම් පවා මේ කාමරයේ නිරුපද්‍රිතව තිබුණේය. උපාධිය සම්පූර්ණ කර රැකියා විරහිතව සිටි, පෙම්වතිය සරසවි සිසුවියක වීම නිසාත් වෙනත් කරන්නට දෙයක් නැති නිසාත් සරසවිය ආශ්‍රිතවම සිටි සිසුන්ද මේ අතර වූහ. මෙවැනි කාමරයක ජීවත් වෙද්දී දත් බුරුසුව පවා පොදු දේපොළක් වන්නට පුළුවන. අනිත් ඒවා ගැනනම් කියන්නත් දෙයක් නැත.

විද්‍යා පීඨයේ සිසුන් ගණනාවක් ළඟ මේ ජයතිලක කාමරයේ යතුරු තිබුණු නිසා කාමරය වසා තිබීම තේරුමක් නැති දෙයකි. අනෙක් අතට සමහර සිසුන් හා ආදි සිසුන් උදේම කාමරයට පැමිණ කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කාමරයේ ඇති සබන් කෑල්ලක් ගෙන වොෂ් එකක් දමාගෙන, කොණ්ඩය පීරා, ගමන් මල්ලක් එහි දමා පෙම්වතිය බලන්නට යන්නේ නැවත පැමිණෙන විට දොර අගුළු නොදමා තබන මෙන් ඉල්ලීමක් කරමිනි. කොහේ හෝ ගොස් කාමරයට ආපසු එන්නට වැඩිපුර පරක්කු වුනොත්, එන කොට ඇඳේ කවුරු හෝ නිදාගෙනය. අල්ලපු ඇඳේ නිදා සිටින්නේ කලින් දැක නැති අයෙකු බව ඇතැම් විට දැනගන්නට ලැබෙන්නේ උදේ නැගිටින විටය. 

මේ තරම් ජනාකීර්ණ කාමරයටත් රෙදි හොරා ආවේය. ඒ වන විට ඉකොනොමැට්ටාගේ රෙදි වරක් නැති වී තිබුණු නිසාත්, මේ දෙවන දිනය ඉකොනොමැට්ටා විසින් ෆෙස්ටිවල් දමා රෙදි සෝදා තිබුණු දවසක් නොවූ නිසාත් එවර ඉකොනොමැට්ටාගේ රෙදි නැති නොවුණත්, රෙදි පමණක් නොව බයිසිකලයක් හා ගණක යන්ත්‍රයක් ඇතුළු කාමරයේ සිටි වෙනත් සිසුන්ගේ බඩු රැසක් එවර අතුරුදහන් විය. නැති වුනු බයිසිකලය මුලින්ම කෘෂි විද්‍යා සිසුවෙකුට අයිතිව තිබී කාමරයට උරුමයෙන් හිමිව තිබුණු අයිතිකරුවකු නොසිටි පොදු දේපොලක් විය. හොරා එවර කාමරය ඇතුළටම පැමිණ තිබුණේය. කාමරයේ සිසුහුද නිදා සිටියහ. එහෙත්, හොරා අහු වුණේ නැත.

මෙසේ ජයතිලක ශාලාවේ (කාමරය මාරු කර වෙනත් කාමරයක) සිටියදී පසුව අසන්නට ලැබුණේ පොලීසියට රෙදි හොරාව කොටු වී සිටින බවයි. එහෙත් ඒ පොලීසිය රෙදි හොරකම අල්ලන්නට සිදුකළ විමර්ශනයක් හේතුවෙන් නොව, වෙනත් වරදකට අත්අඩංගුවට ගෙන තිබුණු අයෙකු පාපෝච්චාරණය කිරීම හේතුවෙනි. අනෙක් අතට ඉකොනොමැට්ටා ඇතුළු රෙදි නැති කරගත් කිසිදු සරසවි සිසුවකු විසින් පොලීසියට පැමිණිලි කර නොතිබුණු බැවින් එවැනි විමර්ශනයක් කිරීම සඳහා පොලීසියට හේතුවක්ද නොතිබුණේය.

පොලීසිය විසින් හොරකම් කළ රෙදි සොයාගැනීමෙන් පසුව, හොරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රෙදි නැති වූ සරසවි සිසුන්ට පොලීසියට පැමිණ පැමිණිල්ලක් දමන මෙන් මහනුවර ආසන්නව ජීවත් වූ සිසුවෙකු අතේ පොලීසියෙන් පණිවුඩයක් එවා තිබුණත් දන්නා තරමින් කිසිවකු ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා, පොලීසියට රෙදි හොරාට විරුද්ධව චෝදනා ගොනු කරන්නට නොහැකි වූවා විය හැකිය. ඒ නිසා, හොරා නීතිය ඉදිරියේ වරදකරුවකු නොවූවා වන්නටද පුළුවන.

ලංකාවේ විවිධ ආකාරයේ හොරකම් විවිධ මට්ටම් වලදී සිදුවේ. හොරෙක් කියන්නේ මූලික වශයෙන් දේපොළ අයිතිවාසිකම් ගරු නොකරන්නෙකි. වෙනත් රටවලද හොරු සිටිති. අඩුම වශයෙන් ඇමරිකාව හා ලංකාව ගැන මගේ පෞද්ගලික සංසන්දනාත්මක අත්දැකීම වන්නේ ලංකාවේ ජීවත් වන්නේනම් හැම මොහොතේම හොරු ගැන ඇස ගසාගෙන සිටින්නට වන බවයි. සුදු රෙදි හොරු හා සිවුරු හොරු පමණක් නොව තවත් විවිධ වර්ග වල ආවේණික හොරුන්ගෙන් ලංකාව ස්වයංපෝෂිතය. ඇමරිකාවේත් හොරකම් සිදුවුවත්, මෙහි ජීවත් වීමේදී ලංකාවේදී මෙන් හැම මොහොතකම හොරු ගැන සිතමින් පරීක්ෂාවෙන් සිටීම අවශ්‍ය නැත.

හොරකම් නිසා මිනිස්සු විශාල ලෙස පීඩාවට පත් වෙති. ඉකොනොමැට්ටාගේ රෙදි නැති වූ දිනයේ ඉකොනොමැට්ටා පත් වූ අසරණ භාවය මෙන්ම ඉන් පසුව මුහුණ දුන් එවැනි අවස්ථා ගණනාවක සිටි මානසිකත්වය ඉකොනොමැට්ටාට අමතක නැත. හොරකමක් සිදුවී කාලයක් ගත වූ පසු හොරා අල්ලාගෙන දඬුවම් දීමෙන් හැම විටම වින්දිතයාගේ හානිය පූරණය වන්නේ නැත. රෙදි හොරාට එරෙහිව ඉකොනොමැට්ටා පොලීසියට පැමිණිලි කළේනම් දින ගාණක් උසාවියේ රස්තියාදු වීමෙන් පසුව ඉකොනොමැට්ටාට නැති වූ ඇඳුම් ටික ලබාගත හැකිවන්නට ඉඩ තිබුණේය. එහෙත්, ඒ වන විට ඉකොනොමැට්ටා රෙදි නැති වීමේ හානිය විඳ, ප්‍රශ්නයට මුහුණ දී එය විසඳාගෙන අවසන්ය. ඒ වන විට, පරණ රෙදි වලින් ඉකොනොමැට්ටාට වැඩක් නොතිබුණේය. 

නීතිය ක්‍රියාත්මක කිරීම මඟින් හොරකම් යම් තරමකට පාලනය කළ හැකි වුවත් මිනිසුන්ට හොරකම් කිරීමට ඇති ස්වභාවික පෙළඹුම කාලයත් සමඟ පරිණාමය වීමෙන්ම අඩු විය යුත්තකි. මිනිසුන් අනෙක් අයගේ දේපොළ අයිතිවාසිකම් වලට ගරු කරන්නට පුරුදු වන තරමට හොරකම් කරන්නට ඇති ස්වභාවික පෙළඹුමද අඩු වේ. හොරකම් අඩුවීමත්, දේපොළ අයිතිවාසිකම් ගැන ඇති සැලකිල්ල වැඩි වීමත් රටකට ඉදිරියට යන්නට උදවු වේ.

(Image: https://www.rodalesorganiclife.com/home/organic-way-dry-your-clothes)

Friday, August 4, 2017

දෙවෙනි ඉනිමේ ගුරුතුමියට විනය මතක් වුනේ බ්ලොග් නිසාද?


දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය මේ දින වල ප්‍රචාරය වන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. එය 13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලෙහි ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙසද තේරී ඇත. නාට්‍යයේ ජනප්‍රියත්වයට හේතුව ඒ තුළ ලංකාවේ පාසැල් ජීවිතය බොහෝ දුරට යථාරූපී ලෙස නිරූපණය වීම විය හැකිය. 

පසුගිය කාලයේ ලංකාවේ දකින්නට ලැබුණු ජනප්‍රිය රැල්ලක් වූයේ මැදි වයසේ ගැහැණුන් හා මිනිසුන් පාසැල් නිල ඇඳුම් ඇතුළට රිංගා නැවතත් පාසැල් යාමයි. බැලූ බැල්මටම විකාරයක් මෙන් පෙනෙන මේ හැසිරීමෙන් පිළිබිඹු වූයේ ලංකාවේ මැදි වයසේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ එක්තරා ආකාරයක නොසන්සිඳුණු ඉල්ලුමකි. 

එක පැත්තකින් පාසැල් කාලය දැන් මැදි වයසේ සිටින බොහෝ දෙනෙකුගේ සුන්දර සිහිනයකි. අතේ සතේ නැතිව ගෙවුණු ඒ කාලයේ කරගන්නට බැරි වුනු දේවල් වල වටිනාකම හොඳින්ම තේරෙන්නේ යහමින් අතේ සල්ලි ගැවසෙන මැදි වයසේදීය. නැවතත් පාසැල් යන්නට මෙසේ සුදු ඇඳුමට රිංගන වැඩි දෙනෙකු දැන් යමක් කමක් ඇති, එහෙත් පාසැල් කාලයේ විවිධ සීමාවන් නිසා හිතේ තිබුණු ආශාවන් බොහොමයක් ඉටු කරගන්නට ඉඩ නොලැබූ අයයි. අනෙක් පැත්තෙන්, අද පාසැල් සිසුන් භුක්ති විඳින සම්පත් හා නිදහස ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට තිබුණේ නැත. (හරියටම කල්පනා කළොත් ඒ පරම්පරාව තමන්ගේ නිදහස භුක්ති වින්දේ තරමක් වෙනත් ආකාරයකටය.) මේ නිසා දැනෙන අඩුවක්ද බොහෝ දෙනෙකුට තිබේ.

දෙවෙනි ඉනිම කණ්ඩායම විසින් ඉතා දක්ෂ ලෙස මේ නොසන්සිඳුණු ඉල්ලුම හඳුනාගෙන තිබේ. එහි ජනප්‍රියත්වයේ රහස එයයි. 

පසුගිය ජූලි 14 වෙනි දින "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ  "මොණරි" විසින් මේ ටෙලි නාට්‍යය ගැන "දෙවෙනි ඉනිම වෙනසකට වඩා විනාශයකි" යන මාතෘකාව යටතේ විචාරයක් පළ කළ තිබුණේය. එහිදී ඇය මේ ලිපියේ චරිත හැසිරවීම් විවේචනය කර තිබුණේ මෙසේය.

"මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?"

ඉහත ලිපිය වත්පොත හරහාද හුවමාරු වූ අතර මොණරිගේ අදහසට පක්ෂව හා විපක්ෂව තවත් අය අදහස් පළකර තිබුණේය. (මේ ලිපියේ අරමුණ එවැන්නක් නොවේ). එසේ අදහස් පළකර තිබුණු පිරිස අතර දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණිද විය. ඔහුගේ අදහස් දැක්වීම හා එයට ප්‍රතිචාරයක්ද සමඟ "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ තවත් ලිපියක් පළ වී තිබුණේය.

මේ සංවාදයට තවත් බ්ලොග්කරුවෙකු වන සුරෝෂණ ඉරංගද එකතු වී තිබුණේය. ඔහු පළකර තිබුණේ මොණරිගේ අදහසට වඩා වෙනස් අදහසකි. 

සමාජජාලා වල වටිනාකම වන්නේ අස්සයා පැන යන්නට පෙර ඉස්තාලයේ අයිතිකරුවාට අනතුරු අඟවන්නට ඒවාට ඇති හැකියාවයි. මේ ඇතැම් අනතුරු ඇඟවීම් අනවශ්‍ය අනතුරු ඇඟවීම් (false alarm) විය හැකි වුවත් බොහෝ විට දුමක් නඟින්නේ ගින්නක් නිසා බැවින් අනතුරු ඇඟවීම් වලට සංවේදී වී සිටීම වැදගත්ය. සමාජ ජාලා හරහා කෙරෙන අනතුරු ඇඟවීම් නොසලකා හරින හෝ ඒවාට සංවේදී නැති කලාකරුවන්, දේශපාලනඥයින් මෙන්ම අවශේෂ පුද්ගලයින්ද සුනාමි වලට අහුවෙන්නට වැඩි ඉඩක් තිබේ.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අද (අගෝස්තු 04) විකාශනය වුණු කොටසේ දැකිය හැක්කේ පාසැලේ විනය භාර ගුරුතුමිය විසින් නාට්‍යයේ ප්‍රධාන චරිත වන ගැහැණු ළමුන්ගේ ගවුම්, නියපොතු ආදිය පරීක්ෂා කරන දර්ශනයකි (2:13 මිනිත්තුව බලන්න).

මේ කොටස ටෙලිනාට්‍ය පිටපතේ මුල සිටම තිබුණු කොටසක්ද?


(Image: http://www.saaravita.lk/On-location/524300/on-location-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8)

Thursday, August 3, 2017

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති


මේ වන විට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ ඉතා සීමිත පිරිසකි. ආණ්ඩුව පිහිටවීමට මුල් වූ, ආණ්ඩුවට සෘජුව සම්බන්ධ පමණක් නොව ආණ්ඩුවේම කොටස් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙක්ද දැන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනු නොපෙනේ.

මෙය දෙවසරකට පෙර පැවති තත්ත්වයෙන් විශාල ලෙස අපගමනය වීමකි. ඒ දවස් වල රැල්ල තිබුණේ කලින් ආණ්ඩුවේ වැරදි පෙන්වන පැත්තේය. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම ඒ දවස් වල ජනප්‍රිය රැල්ලයි. දැන් රැල්ල ආණ්ඩුවට බැනීමයි.

රටින් බැහැරව ජීවත් වන ඉකොනොමැට්ටාට ලංකාවේ වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සෘජු සම්බන්ධයක් නැත. පරණ ආණ්ඩුවවට සම්බන්ධව සිටි, මේ ආණ්ඩුවට සම්බන්ධ නැති අය සමඟද කිසිදු සෘජු සම්බන්ධයක් නැත. අඩු වශයෙන් ලංකාවේ ජීවත් වූ කාලයේදීවත් ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි හෝ නොසිටි කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සෘජු සම්බන්ධයක් තිබුණේ නැත.

කෙසේ වුවද, ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම ඉකොනොමැට්ටාට ලංකාවේ දේශපාලනය ගැනත්, ලෝක දේශපාලනය ගැනත් උනන්දුවක් තිබුණේය. ඒ උනන්දුව තවමත් එසේම තිබේ. ලංකාවේ ජීවත්ව සිටියදීද අපට ලංකාවේ දේශපාලනය දෙස එයින් බාහිරව සිටිමින් බලන්නට හැකියාව තිබුණේය. රටින් බැහැරව සිටිද්දී එය වඩාත් පහසුවෙන් කළ හැකිය.

ආර්ථික විද්‍යාව යනු ඉකොනොමැට්ටා ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම අතැඹුලක් සේ දැන සිටි විෂයයක් නොවේ. එය අප පසුව හැදෑරූ විෂයයකි. එයට අමතරව එක පැත්තකින් මේ විෂයයේ ආකෘති (න්‍යාය) ගොඩනඟන්නට සුළු හෝ දායකත්වයක් දෙන්නටත්, අනෙක් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබන්නටත් අපට ඉඩකඩ ලැබී තිබේ. ඒ නිසා, ලංකාවේ ආර්ථිකය ගැන විමසන්නට අපට අනුන්ගේ කන්නාඩි අවශ්‍ය නැත.

එහෙත් එයින් කියවෙන්නේ අප මේ විෂයයේ කෙළ පැමිණ ඇති බව හෝ අප මෙහි ලියන හැම දෙයක්ම සර්ව සම්පූර්ණ බව නොවේ. අප ලියන්නේ අපේ නැණ පමණිනි. අප ලියන්නේ අප දන්නා දේ මත පදනම්වය. අප ලියන දෙයෙහි වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඇත්නම්, ඕනෑම කෙනෙක් විසින් නාමිකව හෝ නිර්නාමිකව එවැනි දේ පෙන්වාදීම පිළිබඳව අප අවංකවම සතුටු වන අතර පිළිගත හැකි අයුරින් පෙන්වා දුන් විටක එවැනි වැරැද්දක් හෝ අඩුපාඩුවක් පිළිගැනීමට අප පැකිලෙන්නේ නැත.

ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට වඩා සුදුසු ආර්ථික විද්‍යා ආකෘතියක් යොදා ගන්නටත්, එවැනි සුදුසු ආකෘතියක් නැති විට ප්‍රථම මූලධර්ම අනුව යමින් ගැලපෙන ආකෘතියක් හදා ගන්නටත් අපට බැරිකමක් නැත. එහෙත්, එසේ ආකෘති තෝරාගන්නට හෝ හදාගන්නට වෙන්නේ අප දන්නා තොරතුරු වලට සාපේක්ෂව වීම වැළැක්වීමට නොහැකිය. ඒ නිසා, නොදන්නා තොරතුරු දැනගන්නට ලැබෙන විට අප හිතන හා ප්‍රශ්න විග්‍රහ කරන ආකාරයද වෙනස් වන්නට ඉඩ තිබේ. අපට වඩා වැදගත් වන්නේ වඩා නිවැරදි දෙය සොයා යාම මිස ප්‍රතිරූප ගොඩනගාගැනීම හෝ පවත්වාගැනීම නොවේ.

අප නොදන්නා දේ බොහෝ වුවත්, මෙහි පළවන ඇතැම් බ්ලොග් ලිපි වල මාතෘකාවට අදාළ හැම දෙයක්ම පුළුල් ලෙස සාකච්ඡා නොකිරීමට එකම හේතුව එය නොවේ. බ්ලොග් ලිපි ලියන්නේ ඒවා කියවන සාමාන්‍ය පාඨකයින් ඉලක්ක කරමිනි. සිංහලයන් නොවන සුළු පිරිසක් මෙය කියවන පාඨකයින් අතර සිටියත්, මේ බ්ලොග් කියවන වැඩි දෙනෙකු සිංහලයෝ වෙති. මෙහිදී සිංහලයන් ලෙස අදහස් කරන්නේ වැඩි වශයෙන්ම සිංහලෙන් හිතන අයයි. මේ සිංහලයන් අතර ශ්‍රී ලාංකිකයින් නොවන සැලකිය යුතු පිරිසක්ද සිටිති.

ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන රටවල් අය අතරින් 40%ක් පමණම ලංකාවෙන් පිට ජීවත් වන අයයි. වෙනත් බොහෝ සිංහල බ්ලොග් වල පාඨක සංයුතියද මීට සමානය. මේ අය අතර, තාවකාලිකව රටින් පිටව සිටින්නන් මෙන්ම ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටක් තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයෝද විශාල පිරිසක් සිටිති. ඔවුන්ගෙන් ඇතැම් අය මේ වන විට ශ්‍රී ලාංකිකයෝ නොවෙති. එහෙත්, ඔවුහු තවදුරටත් සිංහලයෝ වෙති. ජීවත් වන හෝ ඉපදුණු රට කුමක් වුවත් සිංහලයෙකුට හොඳින්ම තේරෙන්නේ සිංහලෙන් කියවන විටය.

ඉංග්‍රීසියෙන් කියවන අයට කියවන්නට දේවල් අඩු නැතුව තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් සිංහලෙන් ලියා ඇති දේ පමණක් කියවන අයට කියවන්නට එතරම්ම දේවල් නැත. ලංකාවේ සිට ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන බොහෝ දෙනෙක් කියවීම සඳහා සිංහලෙන් ලියා ඇති දේ සොයන අයයි. ඔවුන් බොහෝ විට හොයන්නේ සිංහලෙන් කියවන්නට නොලැබෙන දේවල්ය.

ලංකාවෙන් පිට ජීවත් වන අය අතරත් වැඩිපුරම ලංකාවේ පත්තරම බලන, ලංකාවේ ටෙලිනාට්‍ය නැරඹීම සඳහා විශාල කාලයක් යොදවන, තමන් ජීවත් වන රටේ ජනමාධ්‍ය සාපේක්ෂව අඩුවෙන් පරිශීලනය කරන සැලකිය යුතු පිරිසක් සිටිති. එමෙන්ම, ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් ලියා ඇති දේ වැඩිපුර කියවන, ඒ අතරට සිංහල බ්ලොග් වැනි දේ වෙනුවෙන්ද යම් කාලයක් වැය කරන අයත් සිටිති. මේ අය සිංහල බ්ලොග් කියවන්නේ ලංකාවේ සංස්කෘතිය සමඟ තමන්ගේ ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව නොකඩවා පවත්වා ගැනීම පිණිසය. ඔවුන්ට ලංකාවේ දේශපාලනය ගැනද උනන්දුවක් තිබේ.

අප බ්ලොග් ලිපි ලියන්නේ මේ සියලු වර්ග වල පාඨකයින් වෙනුවෙනි. බොහෝ විට, ඔවුන් උනන්දුවක් දක්වන මාතෘකා අපට පහසුවෙන් හඳුනාගත හැකිය. ඇතැම් විට, ඇතැම් දේවල් විස්තර කරන මෙන් අපට පෞද්ගලික (ඊමේල් හෝ ඉන්බොක්ස් හරහා) හෝ පොදු (කමෙන්ට් ලෙස) ඉල්ලීම් ලැබේ. අප අපේ අදහස්, විමර්ශන හෝ තොරතුරු ඉදිරිපත් කරන්නේ කාගේවත් පෞද්ගලික තීරණ බලහත්කාරයෙන් වෙනස් කිරීමට නොවේ. අපට එවැන්නක් කළ නොහැකිය.

අප විශ්වාස කරන පරිදි, ඒකීය පුද්ගලයන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට ස්වභාවික හැකියාවක් තිබේ. ඒකීය පුද්ගලයින් වෙනුවෙන් හිතන්නට සුවිශේෂී පුද්ගලයින් අවශ්‍ය නැත. එහෙත්, ඕනෑම පුද්ගලයෙකුට තමන්ට හොඳම දෙය තෝරා ගන්නට වෙන්නේ තමන්ගේ දැනුමට හා අත්දැකීම් වලට සාපේක්ෂවය. මේ දැනුම හා අත්දැකීම් සීමිතය. අප නොදන්නා දේ දන්නා දේ වලට වඩා බොහෝ වැඩිය. වෙනත් අයගේ දැනුම් හා අත්දැකීම් මගේ නිම්වළලු පුළුල් කරයි. එය වඩා හොඳ තීරණයක් ගැනීම පහසු කරයි. මෙහි ලියන ලිපි මඟින් ඉකොනොමැට්ටා අපේක්ෂා කරන්නේද එවැන්නක් අනෙකුත් අය වෙනුවෙන් පෙරළා කිරීමයි. ඉකොනොමැට්ටා විසින් ඉදිරිපත් කරන තොරතුරු හෝ විමර්ශන මත කැමති කෙනෙකුට කැමති තීරණයක් ගන්නට නිදහස තිබේ. කියන දේ අපැහැදිලිනම් පැහැදිලි කිරීමටත්, වැරදිනම් නිවැරදි කිරීමටත් ඉකොනොමැට්ටා සූදානම්ය.

මෙහි පළවන ලිපි කියවන හැම දෙනෙක්ම එක්කෝ තමන් විසින් මේ බ්ලොග් එක හොයාගත් අයෙකි. එසේ නැත්නම්, වෙනත් අයෙකුගේ මඟපෙන්වීම අනුව පැමිණි අයෙකි. ඉතා සීමිත අවස්ථා කිහිපයකදී හැර, ඉකොනොමැට්ටා විසින් ඔහුගේ පෞද්ගලික මිතුරන් තබා පවුලේ සමීපතම සාමාජිකයින් අතරවත් මෙය ප්‍රචාරණය කර නැත. ඒ ප්‍රචාරණයේ වැරැද්දක් ඇතැයි ඉකොනොමැට්ටා සිතන නිසා නොවේ. අප වැඩි බරක් තබන්නේ තබන්නේ මිනිසුන්ගේ රුචිකත්වයන් වෙනස් කර ගන්නට බලපෑම් කරමින් කෘතීම ලෙස ඉල්ලුමක් ඇති කිරීම කෙරෙහි නොව පවතින ස්වභාවික ඉල්ලුම හඳුනාගැනීමින් පවතින ඉල්ලුම සැපිරීම කෙරෙහි බැවිනි.

අපට ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්නට අවශ්‍ය නැත. ආණ්ඩු පවත්වාගෙන යන්නට උදවු කරන්නටද අවශ්‍ය නැත. ඒ තීරණ ලංකාවේ ඡන්දදායකින් විසින් සාමූහිකව ගත යුතු තීරණයි.

එහෙත්, ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ජීවත් වන මිනිසුන්ගේ අනාගත ජීවිත වඩා යහපත් වනු දකින්නට අප කැමතිය. ලංකාවෙන් බැහැරව සිටියත් ලංකාව යනු අපට තවත් එක් රටක් නොවේ. ලංකාවේ ආර්ථිකය හෝ සංස්කෘතිය විනාශ වනු දැකීම අපේ අභිප්‍රාය නොවේ.

ලංකාවේ ආර්ථිකය හා එහි විවිධ සංරචක පිළිබඳව අපේ න්‍යායාත්මක දැනුම, අපට ලැබී ඇති අත්දැකීම් හා අප විසින් පරිශීලනය කර ඇති සංඛ්‍යාලේඛණ මත පදනම් වූ විග්‍රහයක් අපට තිබේ. අප ලංකාවේ ආර්ථිකය ගැන ලියන්නේ මේ මූලික විග්‍රහය මත පදනම්වය.

අප දකින පරිදි, ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්න සියල්ලකම වාගේ මුල මූලික අසමතුලිතතාවන් දෙකකි. පළමුවැන්න, රාජ්‍ය අයවැය හිඟයයි. දෙවැන්න, ගෙවුම් ශේෂ හිඟයයි. අනෙක් ප්‍රශ්න බොහොමයක්ම මේ මූලික ප්‍රශ්න දෙකේ ව්‍යුත්පන්නයි. බොහෝ දෙනෙකු විසින් කතා කරන ණය අර්බුදයද හේතුවක් නොව ඵලයකි.

මේ මූලික ප්‍රශ්න දෙක මේ ආණ්ඩුව කාලයේ හෝ පසුගිය ආණ්ඩුව කාලයේ ඇති වූ ප්‍රශ්න නොවේ. ජේආර් විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ඇති වූ ප්‍රශ්නද නොවේ. ලංකාව නිදහස ලැබූ කාලයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රශ්න දෙකකි.

පැවති ආණ්ඩු විසින් වරින් වර මේ ප්‍රශ්න වලට විවිධ ආකාර වල විසඳුම් සෙවුවේය. ඒ විසඳුම් වලින් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බැව් අප නොකියමු. එහෙත්, සමස්තයක් ලෙස මේ ප්‍රශ්න කාලයත් සමඟ වර්ධනය වී තිබේ.

ඇතැම් අය අසන්නේ ධනවාදය නිසා ලංකාවට ලැබුණු දේ මොනවාද යන්නයි. ධනවාදය නිසා ලංකාවට මොනවා ලැබුණේද යන්න ප්‍රශ්නයක් වන්නේ කවදා හෝ ලංකාවේ ධනවාදයක් තිබුණේනම් පමණි. ලංකාවේ සාතිශය බහුතරය ධනවාදය කියා කියන්නේ කුමක්දැයි නොදන්නා බව මේ ප්‍රශ්නය විසින්ම පැහැදිලි කරයි.

වෙනත් අය තබා මේ ගැන බොහෝ කලක් යන තුරු අප දැන සිටියේද නැත. සමාජවාදය උගන්වන්නට ලංකාවේ බොහෝ අය සිටියත්, ධනවාදය කුමක්දැයි කියා දිය හැකි අය ලංකාවේ නොසිටි තරම්ය. ඒ නිසා, ධනවාදය ගැන අප දැන සිටියේද සමාජවාදීන් විසින් ඒ ගැන කියා දුන් දෙයයි. දුප්පතුන්ට මූලික පහසුකම්වත් නැතිව මැරෙන්නට අරිමින්, ධනවතුන්ට පමණක් රිසි සේ මුදල් සොයන්නට උදවු කරන ක්‍රමයක් වෙනුවෙන් කවර හෝ හෘද සාක්ෂියක් ඇති පුද්ගලයෙකුට පෙනී සිටින්නට නුපුළුවන. ධනවාදය ගැන සමාජවාදීන් විසින් කියා දුන් මේ දේවල් ගැන මෙන්ම ඇමරිකාව ගැනත්, වෙනත් බටහිර රටවල් ගැනත් අප "දැන සිටි" බොහෝ දේවල් ගැන අපට සැබෑවටම දැනගන්නට ලැබුණේ ඒ රටවල සමාජයන් හා ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය හරියටම නිරීක්ෂණය කරන්නට ලැබීමෙන් පසුවය.

අප ලංකාවේ පමණක් ජීවත්ව සිට තිබුණු කාලයේ උගත් බොහෝ ආර්ථික න්‍යායයන් සැබෑ ලෝකයේදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවක් අපට නොපෙණුනේය. වෙනත් බොහෝ අය මෙන්ම අප මෙය අවබෝධ කරගත්තේද න්‍යායයන්හි පවතින අඩුපාඩු ලෙසිනි. එහෙත්, මේ බොහෝ න්‍යායයන් වැරදි නොවන බවත්, ඒවා ක්‍රියාත්මක වන තැන් ලෝකයේ ඇති බවත් දැන් අප දනිමු. ලංකාවේදී, මේ දේවල් කියන අයුරින්ම සිදු නොවන්නේ ඇයිද යන්නත් අපට මේ න්‍යායයන් ඇසුරින්ම තේරුම් ගන්නට පුළුවන.

ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර ප්‍රශ්නයක් නිවැරදිව හඳුනාගත යුතුය. ඒ සඳහා ප්‍රශ්නයේ මුලට යා යුතුය. ප්‍රශ්නය හඳුනාගත්තද, ප්‍රශ්නයකට විසඳුම් ඇත්තේ එකක් පමණක් නොවේ. නිවැරදි විසඳුම් ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ විසඳුම් අතරින් හොඳම විසඳුම ඇතැම් විටක පැහැදිලිව පෙනෙන්නට තිබුණත් බොහෝ විට එය එසේ නැත.

කිසිවකු විසින් හෝ සාර්ථක ලෙස ධනවාදය ලංකාවට හඳුන්වා දෙනු නොලැබුවත්, බොහෝ දෙනෙකු විසින් පසුගිය සියවසේ මුල සිටම ලංකාවට සමාජවාදය හඳුන්වා දෙනු ලැබුණේය. මා මේ කතා කරන්නේ දාස් කැපිටාල්හි හෝ වෙනත් පොතක ඇති සමාජවාදයක් ගැන නොවේ. (කාල වේලා ලැබෙන පරිදි ඒ පැත්තත් කතා කිරීම වැදගත්යයි සිතන නමුත් මෙය විශාල කාලයක් වැය කළ යුතු කටයුත්තකි.) ලෝකයේ බොහෝ රටවල පැවති, විවිධ දේශපාලන පක්ෂ විසින් ලංකාවේද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ හා කරන මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැනය.

ඓතිහාසිකව ලංකාවට සමාජවාදය පැමිණියේ ධනවාදයේ අනෙකා ලෙස නොවේ. අධිරාජ්‍යවාදයේ අනෙකා ලෙසය.

යුරෝපීයයන් ලංකාවට පැමිණෙන්නට පෙර ලංකාවේ රාජ්‍යය වූයේ රජු හා ඔහු වටා සිටි සීමිත පිරිසකි. එහෙත්, මේ කාලයේ වුවද රාජ්‍යයේ අඬුපඬු සමාජ ජීවිතයේ සෑම අස්සක් මුල්ලකටම පැතිරී තිබුණේ නැත. මේ කාලයේ රටේ ජනතාවට නඩත්තු කරන්නට වූ රාජ්‍යය එතරම් විශාල නොවූ නිසා එහි ලොකු බරක් නොතිබුණේය. මෙයින්  අදහස් වන්නේ එසේ වූ කාල වකවානු නොතිබුණු බව නොවේ. සමාජයේ ස්ථර අතර පැහැදිලි ධුරාවලියක් තිබුණත් රජා බොහෝ විට "අපේම එකෙක්" විය. ඒ නිසා, ඒ රජාව නඩත්තු කිරීමෙන් ජනතාවට ලැබුණු මොනවා හෝ දෙයක් තිබුණේය. අඩු ගානේ "අපට රජෙක් ඉන්නවා" කියා කියන්නට හෝ හැකි විය. රජු  "අපේම එකෙක්" නොවූ විට එවැනි රජුන් එළවන්නට ජනතාව ඉදිරියට ආවේය. (එය සිදුවුණු ආකාරය පැහැදිලි කරන්නට අප මෙහි උත්සාහ දරන්නේ නැත.)

පැවති ධුරාවලිය රටේ මිනිසුන් විසින් පවතින තත්ත්වය ලෙස පිළිගෙන තිබුණු නිසා ඒ හේතුවෙන් ජනතාව පීඩනයකින් සිටියේ නැත. පීඩනයක් දැනෙන්නේ පවතින තත්ත්වය පැවතිය යුතු සාමාන්‍ය තත්ත්වය නොවන බව දැනගත් විටය. අතීතයේ ජීවත් වූ මිනිසුන් හිතූ පැතූ ආකාරය අද සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙකුට අතීතයට රිංගා නිරීක්ෂණය කළ නොහැකිය.

රජුට රටේ ඉඩම් වල හිමිකම තිබුණු නිසා, ඕනෑම ගැටිස්සියක අන්තඃපුරයට කැඳවිය හැකිව තිබුණු නිසා හෝ රාජ සභාවේ කිවිසුමක් යැවූ අයෙකුගේ හිස ගසා දැමිය හැකිය වූ නිසා ලංකාවේ රාජ්‍යය අදට වඩා විශාල රාජ්‍යයක් වූ බව අයෙකුට කියන්නට පුළුවන. ඉහත වාක්‍යයේ ඇති බොහෝ දේ අර්ධ සත්‍යයි. රජවරුන්ට අභිමතය ක්‍රියාත්මක කරන්නට ලැබුණු පැහැදිලි රාමුවක් තිබුණේය.

යුරෝපීයයන් එන්නට පෙර ලංකාවේ වැසියන් හා රජු අතර තිබුණේ ඉතා ලිහිල් සම්බන්ධතාවයකි. සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දේවල් ඒ කාලයේදී රජය විසින් කළේ නැත. රජය මඟින් අවධානය යොමු කළේ විදේශ වෙළඳාම ඇතුළු විදේශ ප්‍රතිපත්තිය, නීතිය හා සාමය රැකීම, නියාමනය (තහනම් කැලෑ ආදිය) ආදී රාජ්‍ය මැදිහත්වීමක් නැතිවම බැරි කරුණු කෙරෙහිය. වැව් අමුණු හැදීම හා වෙහෙර විහාර හැදීම වැනි මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන වෙත රජය යොමු වුණේ සමාජ අතිරික්තයක් තිබුණු අවස්ථාවලදී මිස බදු වැඩි කරමින් හෝ ණය ගනිමින් නොවේ. (වෙහෙර විහාර හැදීම ආයෝජනයක් වන්නේ කෙසේද යන්න තමන් දැන් ජීවත් වන සංස්කෘතික රාමුවෙන් පිටත දැකිය නොහැකි අයට ප්‍රශ්නයක් විය හැකිය.) රජයේ ආරක්ෂක වියදම් වැඩි කෙරුණේ රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ කාල වලදී පමණි. එවැනි කාල වලදී ඒ වියදම් දරන්නට ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

යුරෝපීයයන් ලංකාවට පැමිණීමත්, අන්තිමේදී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් වීමත් සමඟ ඉහත තත්ත්වයේ ආකෘතිමය වෙනසක් සිදු විය. 1815න් පසුව, ලංකාවේ රජය යනු බ්‍රිතාන්‍ය රජයේ කොටසක් විය. රජු තවදුරටත් "අපේ එකෙක්" නොවූ අතර, ඒ ගැන සතුටට පත් නොවූ රටේ ජනතාව විසින් තත්ත්වය වෙනස් කරගන්නට දැරුණු උත්සාහයන් සාර්ථක වුනේද නැත. ප්‍රායෝගිකව ලංකාවේ ජීවත් වූ හැම "සුද්දෙක්ම" වාගේ (බ්‍රිතාන්‍ය) රජයේ නියෝජිතයෙක් විය. ඔවුන් රජයේ රැකියාවක නිරතව සිටීම හෝ නොසිටීම මෙහිදී අදාළ කරුණක් නොවේ. සුද්දා සිවිල් සේවකයෙකු වුවත්, මිෂනාරියෙකු වුවත්,  වැවිලිකරුවෙකු වුවත් ඔවුන් සියල්ලන්ම විසින් කළේ බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාවේ පවත්වාගෙන යාමයි.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහයද විශාල ලෙස වෙනස් කළේය. මෙයින් සමස්තයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි විය. එහෙත්, එහි අතිරික්තය හිමි කර ගත්තේ ඉහතින් විස්තර කළ රජයේ පාර්ශ්වකරුවන් විසිනි. ඒ අතිරික්තයෙන් කොටසක් යටිතලපහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කෙරුණු අතර එවැනි ආයෝජන සිදු කළේ අනාගත ආදායම් ප්‍රවාහ අපේක්ෂා කරමින් මිස පාඩු ලබන්නට නොවේ. ආර්ථික ව්‍යුහයේ සිදුවූ වෙනස්වීම් නිසා රටේ ජනජීවිතයද සැලකිය යුතු ලෙස වෙනස් වූ අතර ඒ කෙරෙහි රාජ්‍යයේ බලපෑම තවදුරටත් නොසලකා නොහළ හැකි තරමට ව්‍යාප්ත විය.

ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදී රාජ්‍යය යනු ඉංග්‍රීසින් විය. ජනතාව වූයේ ලාංකිකයින්ය. ඒ නිසා, එක පැත්තකින් රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට විරුද්ධ වීමක් විය. රාජ්‍යය නඩත්තු කිරීම සඳහා ජනතාවට ගෙවන්නට වූ මිලට සරිලන දෙයක් ඉල්ලා සිටීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණේය. ජනතාවට ආපසු දිය යුතු දෙය තීරණය කළේ රජයයි. යුරෝපීයයන් පැමිණෙන්නට පෙර තිබුණු රාජ්‍යය තුළද මෙය සිදු වුනේ මේ ආකාරයෙන්ම වුවත්, ඒ කාලයේ රාජ්‍යය එතරම් පුළුල්ව නොතිබුණු නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැත.

ඉංග්‍රීසි පාලනය ව්‍යාප්ත වෙද්දී, ඇතැම් ලාංකිකයින්ටද ලංකාවේ පැවති (ඉංග්‍රීසි) රාජ්‍යයේ කොටස් බවට පත් වෙන්නට හැකි විය. නිදහස ලැබෙන කාලය වන විට ලංකාවේ පැවති ඉංග්‍රීසි රාජ්‍යයේ ඉංග්‍රීසින්ට වඩා සිටියේ ස්වදේශිකයින්ය.

පෙර කී පරිදි, ඉංග්‍රීසින්ගේ ආර්ථික උපාය මාර්ග හේතුවෙන් ලංකාවේ නිෂ්පාදන ඵලදායීතාවය සැලකිය යුතු ලෙස වැඩි විය. එහෙත්, මේ අතිරික්තයෙන් විශාල කොටසක් වත්මන් ලංකාවේ භූමි සීමා ඇතුළත නොරැඳුනේය. ඇමරිකාවේ කොලනි වල පදිංචිව සිටි ඉංග්‍රීසින්ගෙන් බ්‍රිතාන්‍ය රජය විසින් එකතු කරගත් බදු මුදල් වෙනුවෙන් පවා ප්‍රමාණවත් යමක් බ්‍රිතාන්‍ය රජය වෙතින් ඔවුන්ට ආපසු නොලැබුණු පසුබිමක, ලංකාවේ එවැන්නක් සිදුවන්නට ඉඩක් නොතිබුණේය.

ඉංග්‍රීසින් විසින් ලංකාව ලාභ මධ්‍යස්ථානයක් (profit center) ලෙස දිගටම පවත්වා ගැනුණු අතර, අතිරික්තයෙන් සැලකිය යුතු කොටසක් බ්‍රිතාන්‍යයට ගියේය. ඉතිරිය බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාව තුළ පවත්වා ගෙන යන්නට උදවු කළ ලාංකිකයින් හා මෙහි ජීවත් වූ යුරෝපීයයන් අත ඉතිරි විය. මේ ක්‍රමය තුළ ඉංග්‍රීසි රාජ්‍යයෙන් බැහැරව සිටි විශාල ලාංකිකයින් පිරිස, විශාල ලෙස නොවූවත්, ශුද්ධ අලාභ විඳින්නෝ වූහ. පසුගිය සියවසේ මුල වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයකි.

ඉහත තත්ත්වය තුළ, වැඩ වර්ජන හා විරෝධතා වැනි "සමාජවාදී උපක්‍රම" ජනප්‍රිය වීම තේරුම් ගන්නට අපහසු නැත. නිදහසට පෙර ලංකාවේ සමාජය සියල්ලන්ටම සමාන අවස්ථා තිබුණු සමාජයක් නොවීය. (එය තවමත් එසේමය.) සාමාන්‍ය ජනතාවට පෙනුණු පරිදි පීඩකයා වූයේ සුද්දාය. සුද්දා සමඟ කළු සුද්දෝද සිටියහ. සුද්දා මෙන්ම සුද්දා වටා සිටි කළු සුද්දන් විසින්ද නියෝජනය කළේ රජයයි. ඒ නිසා, සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන්නට තිබුණු පරිදි රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට එරෙහි විරෝධයක්ද විය. මේ ආක්‍රමණිකයාව ඉතිහාසයේ වෙනත් ආක්‍රමණිකයින්ව එළෙවුවාක් මෙන් දුනු ඊතල වලින් සටන් කර එළවිය නොහැකි බව මේ වන විට ඔවුහු දැන සිටියහ. විකල්පයක් නැතිව සිටි මිනිසුන්ට පැරණි වාමාංශික පක්ෂ වල නායකයින් විසින් සතුරාව මෙල්ල කළ හැකි අලුත් ආයුධ හඳුන්වා දුන්නේය. ලංකාවේ වර්ජන හා විරෝධතා ජනප්‍රිය වුණේ එවැනි පසුබිමකය.

පැරණි වාමාංශික පක්ෂ වල හෝ වෘත්තීය සමිති වල මෙහෙයවීමෙන් වර්ජන හා විරෝධතා වලට එක් වුනු බොහෝ ලාංකිකයින්ට ලංකාවේ සමාජවාදය බිහි කරන්නට උවමනාවක් තිබුණේ නැත. එහෙත්, රාජ්‍යය හා වැසියන් අතර විශාල පරතරයක් තිබුණු මේ කාලයේ වර්ජන හා විරෝධතා යනු ඔවුන්ට තිබුණු අඩු හෙට්ටු කිරීමේ හැකියාව වැඩි කරගත හැකි සාර්ථක ක්‍රමයක් විය. සහනාධාර යනු තමන්ගෙන් එකතු කර ගන්නා බදු මුදල් වලින් කොටසක් ආපසු ලබාගත හැකි ක්‍රියාවලියක් විය.

වඩාත්ම නිවැරදිව කියනවානම් ලංකාවට වර්ජන සංස්කෘතිය හඳුන්වා දුන්නේ වාමාංශික පක්ෂ විසින්ද නොවේ. එක්සත් ජාතික පක්ෂයේ මූල පක්ෂයක් ලෙස සැලකිය හැකි කම්කරු පක්ෂය හා එයට අනුබද්ධ වූ වෘත්තීය සමිති විසිනි. වාමාංශික පක්ෂ වෘත්තීය සමිති තුළ පෙරමුණට පැමිණියේ කම්කරු පක්ෂය විසින් සංවිධානය කළ 1929 ලේක්හවුස් වර්ජනය අසාර්ථක වීමෙන් පසුවය. ඊට පෙර, කම්කරු පක්ෂයේ මෙහෙයවීම යටතේ සිදුවුණු වරාය, දුම්රිය සේවක ඇතුළු වර්ජන ගණනාවක් සාර්ථක ලෙස අවසන් විය. 1920 දශකයේදී ඇරඹුණු ඇතැම් වර්ජන පොලීසිය සමඟ ගැටී පොලීසි ගිණි තැබීම දක්වා දුර දිග ගියේය. (මේ කාලය ගැන අපේ පවුලේ දැනට ජීවත්ව නැති වැඩිහිටියන්ගෙන් දැනගත් තොරතුරුද අපේ මතකයේ තිබේ.) මේ කාලයේ ආණ්ඩුව "අපේ" නොවූ නිසා මේ වර්ජන සිදු වුණේ රජයට එරෙහිව මෙන්ම ආක්‍රමණිකයෙකුටද එරෙහිවය.

නිදහස ලබා ගැනීමෙන් පසුවද ලංකාව විසින් පවත්වා ගෙන ගියේ ඉන් පෙර පැවති සාර්ව ආර්ථික ආකෘතියමය. එහෙත්, එක් පැහැදිලි වෙනසක් සිදු විය. ඒ, විදේශ සමාගම් සතුව පැවති ව්‍යවසායයන් ක්‍රමයෙන් ලංකාවේ රජයේ පාලනය යටතට ගනු ලැබීමයි.

උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වුවත්, එය එසේ වූ පමණින්ම එක රැයකින් ලංකාව ඉංග්‍රීසි ජාතිකයින්ට හෝ වෙනත් බටහිර රටවල උපන් අයට පැමිණ ජීවත් වන්නට හෝ ව්‍යාපාර කරන්නට සුදුසු ක්ෂේම භූමියක් වුනේ නැත. බටහිර රටක සිට ලංකාවට පැමිණ ජීවත්වීම ගැන හෝ ව්‍යාපාර කිරීම ගැන සිතන බොහෝ දෙනෙකුට අද මුහුණ පාන්නට සිදු වන ප්‍රශ්න බොහොමයක් එදාත් තිබුණේය. ඔවුන්ට සෞම්‍ය දේශගුණයක් වෙනුවට කටුක දේශගුණයක් තෝරාගන්නට සිදු විය. තමන්ගේ සංස්කෘතියෙන් දුරස් වන්නට සිදු විය. ලංකාවට රැගෙන එන ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ නිශ්චිත සහතිකයක් නොවීය. මේ සියල්ල පිළිබඳවම යම් තරමකින් සෑහීමකට පත් විය හැකි වුවත්, ලෝකය පුරා තිබුණු වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි වෙනත් බොහෝ තැන් සමඟ සසඳමින් තේරීමක් කළ යුතු විය.

මුල් කාලයේදී ඉංග්‍රීසි රජයට ලංකාවේදී දරන්නට සිදුවූ වියදම් ඔවුන් විසින් සොයාගත්තේ අසීරුවෙනි. ලංකාවේ ව්‍යාපාර කරන්නට, ජීවත් වන්නට හා සංචාරය කරන්නට මවු රටේ ජීවත් වූ ඉංග්‍රීසීන්ව පෙළඹවීමට ඔවුන්ට විශාල උත්සාහයක් දරන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජයේ මිලිටරි හෝ සිවිල් සේවකයින් නොවූ සාමාන්‍ය ඉංග්‍රීසි ජාතිකයෝද ක්‍රමයෙන් ලංකාවට පැමිණීමටත්, ව්‍යවසාය ඇරඹීමටත් පටන් ගත්තේය. මේ ඇතැම් ව්‍යවසාය අසාර්ථක විය. තවත් ඒවා සාර්ථක විය. පසුකාලීනව, ඉංග්‍රීසින් අනුයමින් වෙනත් බටහිර රටවල වැසියන්, ජාතික සමාගම් හා බහුජාතික සමාගම් ලංකාවේ ව්‍යාපාර ඇරඹුවේය.

නිදහසට පෙර ලංකාවේ පැවති විදේශිකයින්ට අයත් වූ ව්‍යාපාර බොහොමයක් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරුණු ලාභ ලැබූ ව්‍යාපාරයි. කිසියම් ව්‍යාපාරයක් ලාබ ලැබීම යනු ශ්‍රමය සූරාකෑමේ ප්‍රතිඵලයක් ලෙස ලඝු කළ හැකි දෙයක් නොවේ. එයට අවදානම් කළමනාකරණය, නවීන තාක්ෂනය, ව්‍යවසායකත්වය වැනි විවිධ කරුණු බලපායි.

සමස්තයක් ලෙස, බටහිර රටවල සිට ලංකාවට පැමිණ ව්‍යාපාර ඇරඹුවේ අවදානම් ගන්නට කැමති වුනු, ව්‍යවසායකත්වය අතින් ඉදිරියෙන් සිටි අයයි. මේ අය විසින් ඉපැයූ ලාභ සියල්ලම නොවේනම්, අඩු වශයෙන් එයින් වැඩි කොටසක් ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි. එසේ නැතුව, ලංකාවෙන් හෝ වෙනත් අයගෙන් සූරාගත් ධනයක් නොවේ. ඔවුන් ලංකාවට පැමිණ ව්‍යාපාර නොඇරඹුවේනම් එවැනි ධනයක් ලංකාව තුළ නිර්මාණය නොවිය හැකිව තිබුණි.

කෙසේ වුවද, ඉහත කී අයුරින් ලංකාව තුළ විදේශිකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් සෑහෙන කොටසක් ඔවුන්ගේ මවු රටවලටම ගියේය. ලංකාව තුළ ඉතිරි වුණේ එයින් කොටසක් පමණි. එසේ වූ පමණින් ලංකාවට අයහපතක් වුණේද නැත. ව්‍යවසායයන්හි නැවත ආයෝජනය කළ ප්‍රාග්ධනය ලෙසත්, රජය විසින් බදු හරහා අය කරගෙන යටිතලපහසුකම් වෙනුවෙන් වැය කළ මුදල් ලෙසත්, රට ඇතුළත සිදු කෙරුණු පරිභෝජන වියදම් ලෙසත් ලාබයෙන් කොටසක් රට තුළ ඉතිරි විය. මේ ව්‍යවසායයන් වෙත ශ්‍රමය විකිණූ ලාංකිකයින් විසින් ලබාගත් අතිරික්තයක් ඇත්නම් එයත් ලංකාවට ලැබුණු ශුද්ධ ලාභයකි.

නිදහස ලැබෙන තුරු ලංකාවේ පැවතුණේ ලංකාවට විදේශ ප්‍රාග්ධනය ගලා එන රැල්ලකි. නිදහසින් පසු මේ ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු හැරුණේය. ලංකාවේ දේශපාලනය හා සංස්කෘතික සාධක මෙහි ජීවත් වූ ඉංග්‍රීසින් ඇතුළු බටහිරයන්ගේ අපේක්ෂිත අවම තත්ත්වයන්ගෙන් විතැන් වෙද්දී මෙය අපේක්ෂා කළ යුතු දෙයකි. කෙසේ වුවද, ලංකාවේ ආණ්ඩු විසින් ගත් ඇතැම් ක්‍රියාමාර්ග නොවීනම් මෙය සුමට ලෙස හා හානිකර නොවන ලෙස සිදු විය හැකිව තිබුණි.

ලංකාවේ ව්‍යවසායයක් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි ජාතිකයෙකු කවර හෝ හේතුවක් නිසා එය විකුණා දමා රටින් පිටවන්නට හිතන්නේනම්, එසේ විකුණන්නේ තමන්ට එය විකිණිය හැකි වැඩිම මිලටය. ලංකාව නිදහස ලැබීමෙන් පසුව ආසන්න කාලය වැනි, රට තුළ සංස්කෘතික වෙනස්කම් සිදුවන කාලයක මෙවැනි ව්‍යවසායයක් මිල දී ගන්නට බොහෝ විට ඉදිරිපත් වන්නේ දේශීය ව්‍යවසායකයින්ය. එවැනි දේශීය ව්‍යවසායකයින් අතරින් වැඩිම මිලක් ගෙවන්නට සූදානම් වන පුද්ගලයා යනු අදාළ ව්‍යාපාරයෙන් වැඩිම ලාභ අපේක්ෂා කරන්නාය. මේ පුද්ගලයා දේශීය ව්‍යවසායකයින් අතරින් අදාළ ව්‍යාපාරය වඩාත්ම කාර්යක්ෂම ලෙස කරගෙන යා හැකි පුද්ගලයාද වේ. ඒ නිසා, එවැනි පුද්ගලයෙකු විසින් මෙහෙයවෙන ව්‍යාපාරයක් පෙර තරම් ලාභ නූපයනු ඇති වුවත්, ලාබ විශාල ලෙස අඩු වන්නේද නැත. අනික් අතට ලංකාවේ දිගටම ජීවත් වන්නට අදහස් නොකරන විදේශිකයකු විසින් තමන්ගේ ලාභ වලින් කොටසක් හෝ රටින් පිටතට ගෙන යන නිසා ඉහත කී ආකාරයේ නිදහසේ සිදුවන ව්‍යාපාර හිමිකම් සම්ප්‍රේෂණයකදී ලංකාවේ නිර්මාණය වී ලංකාව තුළ ඉතිරිවන නව ප්‍රාග්ධනය ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබුණේය.

මෙයට අමතරව, සිදුවෙමින් පැවති සංස්කෘතික වෙනස්කම් හමුවේ වුවද තවදුරටත් කිසියම් විදේශික ව්‍යවසායකයින් පිරිසක් රට තුළ රැඳී සිටිනු ඇති අතර ඔවුන් තවදුරටත් ලාභ ලැබුවත්, ඒ ලාභ රට තුළම රැඳෙනු ඇත. ඔවුන් කෙසේ වුවත්, ඔවුන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන් ක්‍රමයෙන් ලාංකික සංස්කෘතිය තුළට අවශෝෂණය වනු ඇත. නිදහස ලැබෙන විට ලංකාවේ සිටි බර්ගර් ජාතිකයින් ලෙස හැඳින්වුණු අයගෙන් පැවතෙන්නන් මෙන්ම විප්ලවයෙන් පසු චීනයෙන් සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන්ද බොහෝ දෙනෙකු මේ වන විට සංස්කෘතික ලෙස සිංහලයෝය.

කෙසේවුවද, මේ ව්‍යවසාය හිමිකම් සම්ප්‍රේෂණය ඇත්තටම සිදුවුනේ මේ තරම් සුමට ලෙස නොවේ. ව්‍යවසාය ජනසතු කිරීමේ නාමයෙන් රජය සතු කිරීම ඇරඹුනේය. ඒ නිසා, රජය සතු වූ ව්‍යවසායයන්ගේ කළමණාකරුවන් වුණේ ස්වභාවික ලෙස මේ හුවමාරුව සිදුවන්නට ඉඩ හැරියේනම් ඒවායේ කළමණාකරුවන් විය හැකිව තිබුණු රට තුළ සිටි දක්ෂම ව්‍යවසායකයින් නොවේ. ජනසතු කිරීම් හමුවේ ඇතැම් විදේශිකයින් විසින් සිය ව්‍යවසායයන් කඩිමුඩියේ කීයකට හෝ විකුණා යද්දී ඒවා හිමි කරගත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වුවද, බොහෝ විට, ඒ ව්‍යවසායයන් කළමනාකරණය කිරීමට වඩාත්ම සුදුසු අය නොවීය.

එහෙත්, ජනසතු කිරීම් ලෙස හැඳින්වුනු රජය සතු කිරීම් ඒ කාලයේ ජනප්‍රිය තේරීම් විය. බොහෝ දෙනා මේ ක්‍රියාවලිය දැක්කේ ආක්‍රමණිකයා සතුව තිබූ සම්පත් "අපේ රජය" වෙත ලැබීමක් ලෙසය. මේ "අපේ රජය" තවදුරටත් අපේ නොවන රජයක් බව වැඩි දෙනෙකු තේරුම් ගෙන නොසිටි අතර මේ තත්ත්වය වසර හැත්තෑවකට පසුවද ලොකුවට වෙනස් වී නැත.

ජනසතු කිරීම් වලින් පසුව සිදු වූ හොරකම්, දූෂණ හා නාස්ති ගැන බොහෝ දෙනෙක් කතා කරති. මේවා විශාල ප්‍රශ්න බව ඇත්තකි. එහෙත්, මේ ජනසතු කිරීම් වල තිබුණු ලොකුම ප්‍රශ්නය හොරකම්, දූෂණ හා නාස්ති නොවේ. හොරකම් හා දූෂණ නිසා රජය සතු විය යුතු ධනයක් වෙනත් අයෙකු අතට යයි. එහෙත්, රටක් ලෙස සැලකූ විට මේ ධනය රට තුළ කාගේ හෝ අතේ තිබේ. නාස්ති සම්බන්ධව මේ තර්කය සම්පූර්ණයෙන් නිවැරදි නොවන නමුත් නාස්තියේ ස්වභාවය අනුව නාස්ති කරන මුදල් වලින් වුවද කොටසක් රට තුළ ඉතිරි විය හැකිය.

හොරකම්, දූෂණ හා නාස්ති ආදිය අප කිසිසේත්ම අනුමත නොකරන නමුත් රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප හඳුන්වන්නේ මේ දේවල්ම නොවේ. හොරකම්, දූෂණ හා නාස්ති ආදිය හේතුවෙන් රජයට අහිමි වන්නේ කවුරු හෝ විසින් නිර්මාණය කළ ධනයයි. වෙනත් අයුරකින් කියනවානම් දිගින් දිගටම හොරකම්, දූෂණ හා නාස්ති කිරීම පිණිස වුවද අලුතින් ධනය නිර්මාණය කළ යුතුය. එසේ අලුතින් ධනය නිර්මාණය නොවේනම් කලක් යද්දී හොරකම් කරන්නටවත් දෙයක් ඉතිරි නොවේ.

රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප මූලික වශයෙන් හඳුන්වන්නේ ඉහත කී අයුරින් කවරෙකු හෝ විසින් නිර්මාණය කළ ධනයක් රජයට සම්බන්ධ පිරිස් විසින් හොරකම් කිරීම හෝ විනාශ කිරීම නොවේ. රජයේ පාලනය හේතුවෙන්, වෙනත් අයෙකු විසින් නිර්මාණය කළ හැකිව තිබුණු අලුත් ධනයක් නිර්මාණය වීම සිදු නොවීමයි.

මෙය පැහැදිලි කර ගැනීමට අපි උදාහරණයක් දෙස බලමු.

අපේ උදාහරණය ලෙස අපි "නිල් මොණරා" නම් වූ මනඃකල්පිත ගුවන් සේවයක් ගැන සිතමු. මේ ගුවන් සේවය වෙනුවෙන් රජය විසින් රුපියල් බිලියනයක ආයෝජනයක් කර තිබේ. ගුවන් සේවය වසරකට රුපියල් මිලියන 10ක පමණ සාමාන්‍ය ලාභයක් උපයයි. ගුවන් සේවය සාමාන්‍යයෙන් පාඩු නොලබයි. එහි පරිපාලකයෝ කිසිවෙකු හොරකම් නොකරති. දූෂණ නොකරති. එසේනම්, මෙය කාර්යක්ෂමද?

රජය භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් වසරකට 10%ක පොලියක් ගෙවන්නේයැයි සිතමු. එසේනම්, රුපියල් බිලියනයක් වසරක් හිරකර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් මිලියන 100කි. එහෙත්, "නිල් මොණරා" ගුවන් සේවයට හිරකර ඇති රුපියල් බිලියනය වෙනුවෙන් වසරකට ලැබෙන්නේ රුපියල් මිලියන 10ක් පමණි. මෙවැනි ව්‍යවසායයක් පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් කිසි විටකත් නඩත්තු කරන්නේ නැත. රජයකට වුවද එවැන්නක් දිගින් දිගටම නඩත්තු කිරීමේ හැකියාවක් නැත.

රජය දැන් මේ දිගටම ලාබ ලබන ගුවන් සමාගම රුපියල් මිලියන 800 කට විදේශ සමාගමකට විකුණයි. (රජය ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියනයක් හෙවත් මිලියන 1000කි.) එය එම සමාගම විකිණිය හැකි ඉහළම මිලයි. මෙය නරක තීරණයක්ද?

නැත. බැලූ බැල්මට රජයට රුපියල් මිලියන 200ක අලාභයක් සිදු වේ. එහෙත්, එය ගනුදෙනුවේ නියම අලාබය හෝ ලාබය නොවේ.

ගුවන් සේවය විකුණා ලැබුණු මුදල් නිසා රජයේ ණය බර රුපියල් මිලියන 800කින් අඩු කරගත හැකි වන අතර වාර්ෂික පොලී වියදම රුපියල් මිලියන 80කින් පහළ යයි. ගුවන් සේවයෙන් ලැබුණු වාර්ෂික ලාබය වූ රුපියල් මිලියන 10 අහිමි වී ඇතත්, ගනුදෙනුව නිසා රජයට රුපියල් මිලියන 70ක වාර්ෂික ශුද්ධ වාර්ෂික ලාබයක් ලැබේ. ඒ නිසා, මේ ගනුදෙනුව නරක නැත.

විදේශ සමාගම විසින් "නිල් මොණරා" ගුවන් සේවය මිල දී ගන්නේ ඔවුන්ට එයින් ලාබ ලැබිය හැකි බව දන්නා නිසාය. ඔවුන්ගේ කළමනාකරණය යටතේ එහි වාර්ෂික ලාභ රුපියල් මිලියන 200 දක්වා ඉහළ යයි. එහෙත්, ඔවුන් ලාබ වැඩි කරගන්නේ සමාගමේ සේවය කළ ලාංකිකයින්ව "සූරාකෑම" මඟින් නොවේ. සමාගම යටතේ සේවක වැටුප්ද ඉහළ යන අතර ගුවන් සේවයේ ගුණාත්මක භාවයද ඉහළ යයි. වාර්ෂික ලාභයෙන් රුපියල් මිලියන 50ක් බදු ලෙස රජයට ගෙවන අතර ඉතිරි රුපියල් මිලියන 150 රටෙන් එළියට යයි. එහෙත්, සමාගම විසින් එසේ රටෙන් එළියට ගෙන යන්නේ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි.

සමාගම විසින් ගෙවන බදු මුදල්ද සමඟ ගුවන් සේවය නිසා රජයට ලැබෙන වාර්ෂික වාසිය රුපියල් මිලියන 120 දක්වා ඉහළ  යයි. එහෙත්, විදෙස් සමාගම විසින් උපයන ඉහළ ලාභ දකින රජය සිය ගුවන් සේවය ආපසු මිල දී ගන්නට තීරණය කරයි. ඒ වෙනුවෙන්, රජයට රුපියල් මිලියන 1,500ක් ගෙවන්නට සිදු වේ. ඊට වඩා අඩුවෙන් එය ආපසු විකිණීමට සමාගම එකඟ කර ගත නොහැකිය.

රජය විසින් පත් කළ අලුත් විධායකයින් විසින් ගුවන් සේවයේ ලාබ සමාගම යටතේ පැවති මටටමේම දිගටම පවත්වා ගන්නා නමුත් මේ අය අවංක පුද්ගලයෝ නොවෙති. ඔවුන් යටතේ හොරකම් හා මූල්‍ය වංචා සිදු වේ. ඒ නිසා, සැබෑ ලාභය රුපියල් මිලියන 200ක් වුවත් ගුවන් සේවය විසින් පෙන්වන ලාබය රුපියල් මිලියන 100ක් පමණි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී රජයට බදු ලෙස වාර්ෂිකව ලැබුණේ රුපියල් මිලියන 50ක් පමණි. මුලින්ම සිටි හොරකම් නොකරන අවංක විධායකයින් විසින් වාර්ෂිකව උපයා දුන්නේ රුපියල් මිලියන 10ක් පමණි. එසේනම්, අලුත් විධායකයින් විසින් හොරකම් කළත් ආණ්ඩුවට ලාබද?

ගුවන් සේවය විසින් රුපියල් මිලියන 100ක වාර්ෂික ආදායමක් උපයන නමුත් ගුවන් සේවය වෙනුවෙන් කර ඇති ආයෝජනයේ ආවස්ථික පිරිවැය (10%ක පොලිය) රුපියල් මිලියන 150කි. ඒ නිසා, ඇත්තටම දැන් රජයට සිදුවන්නේ රුපියල් මිලියන 50ක අලාබයකි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී ලැබුණු, දැන් නොලැබෙන රුපියල් මිලියන 50ක බදු මුදලද සැලකූ විට ශුද්ධ අලාභය රුපියල් මිලියන 100කි.

රජය විසින් පත්කළ අලුත් විධායකයා විසින් හොරකම් නොකළේනම් ගුවන් සමාගමේ ලාබ රුපියල් මිලියන 200ක් විය හැකිව තිබුණේය. එහෙත්, ඔහු හොරෙකි. ඔහුට එසේ අවංකව කටයුතු කරන්නට උවමනාවක් නැත. හොරෙක් වුවත් දක්ෂයෙකු වන ඔහු සමාගම හොඳින් කළමනාකරණය කර ලාබ වැඩි කර ඇත්තේ ඔහුට හොරකම් කරන්නට ලැබුණු ඉඩප්‍රස්තාව නිසාමය.

එසේනම්, මේ හොරාව ඉවත් කර මුලින්ම සිටි අවංක විධායකයාව නැවත පත් කළ යුතුද? ඔහු හොරෙක් නොවේ. එහෙත්, ඔහු දෙවන්නා තරම් දක්ෂ පුද්ගලයෙකුද නොවේ. ඔහු විසින් හොරකම් නොකළත්, ඔහු යටතේ සමාගම විසින් උපයනු ඇත්තේ රුපියල් මිලියන 10ක ලාබයක් පමණි. ඒ නිසා, අවසාන වශයෙන් සිදුවන්නේ රජයේ වාර්ෂික ශුද්ධ අලාභය තවත් රුපියල් මිලියන 90කින් වැඩි වීම පමණි.

ජාතික අවශ්‍යතා වැනි වෙනත් කවර හෝ හේතුවක් නිසා ඉහත විකල්ප දෙක අතරින් ආර්ථික වශයෙන් වාසිදායක විකල්පය වන විදෙස් සමාගමකට ගුවන් සමාගම දීම අත හැරියොත් ඉතිරි වන විකල්ප දෙකම රජයට අවාසිදායක නරක විකල්පයි.  ඇතැම් වෙලාවට තේරීමක් කිරීම යනු නරක විකල්ප දෙකක් අතරින් අඩු නරක තෝරා ගැනීමයි. මේ උදාහරණයේදී මෙන්, ඇතැම් විටෙක දක්ෂ හොරෙක්, අවංක එහෙත් අදක්ෂ පුද්ගලයෙකුට වඩා හොඳ තේරීමක් වන්නට පුළුවන.

කෙසේ වුවද, ජනතාවගේ සිහිනය අවංක හා දක්ෂ පුද්ගලයින්ය. එසේ සිතා තෝරා ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු කලින් හිතූ තරම් දක්ෂ නැති බව, අවංක නැති බව හෝ දෙකෙන් එකක්වත් නැති බව දැනගන්නට ලැබෙන්නේ තේරීම කිරීමෙන් පසුවය. එවිට එවැනි පුද්ගලයෙකු ඉවත් කර වෙනත් පුද්ගලයෙකු තෝරා ගන්නට සිදුවේ. මෙය රාජ්‍යය සම්බන්ධ මූලික ප්‍රශ්නයකි. රාජ්‍යය විශාල වන තරමට එවැනි තේරීම් වැඩි ගණනක් කරන්නට සිදුවේ. මධ්‍යගත පාලන ක්‍රමයක් අකාර්යක්ෂම වීමට බලපාන ප්‍රධාන හේතුව මෙයයි.

නිදහස් වෙළඳපොළ ක්‍රමය මේ ප්‍රශ්නය ස්වභාවික ලෙසම විසඳයි. මෙහිදී පුද්ගලයින් ස්වඅභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම වෙනත් අයට ප්‍රශ්නයක් නොවනවා පමණක් නොව, එයම පද්ධතිය කාර්යක්ෂමතාවය කරා මෙහෙයවන යාන්ත්‍රනය බවටද පත්වේ. අදක්ෂ පුද්ගලයින් ස්වභාවික ලෙසම ඉවතට විසිවන අතර, පුද්ගලයින් කටයුතු කරන්නේ තමන්ගේම අභිවෘද්ධිය වෙනුවෙන් නිසා මධ්‍යගත පාලන ක්‍රමයකදී මෙන් වංක භාවය ප්‍රශ්නයක් වන්නේ නැත. මෙවැනි ක්‍රමයක කාර්යක්ෂමතාවය සමඟ මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට කෙසේවත් තරඟ කළ නොහැකිය.

සැබෑ තත්ත්වය මෙවැන්නක්නම්, මුල් යුගයේ වාමාංශික නායකයින් විසින් ලංකාව රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් වෙත තල්ලු කළේ ඇයි?

මෙය ඇත්තටම ඔවුන් විසින් ඒ කාලයේ කළ "වැරැද්දක්" බව කියන්නට නුපුළුවන. මේ නායකයින්ගෙන් බොහෝ දෙනෙකු රට වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් යමක් කරන්නට අවංකවම සිතූ හා ඒ වෙනුවෙන් ක්‍රියා කළ අයයි. මේ පරමාර්ථය වෙනුවෙන් ඔවුහු තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය වැය කළහ. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති පරිදි ඔවුන් මහන්සි වී ඇත්තේ අවසාන වශයෙන් අකාර්යක්ෂමතාවයට හා රටේ ජනතාවගේ අයහපතට හේතුවෙන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වීම වෙනම කතාවකි.

ආර්ථික දියුණුව කරා යාමේදී සමාජවාදී ප්‍රතිසංස්කරණ අකාර්යක්ෂම වුවත්, සමාජවාදී ප්‍රතිසංස්කරණ හරහා ආර්ථික විෂමතාවයන් අවම කිරීම වැනි වෙනත් ඉලක්ක කරා ළඟා වන්නට පුලුවන. කෙසේ වුවද, අඩු වශයෙන් විප්ලවයෙන් පසුව ගත වුනු මුල් අඩ සියවසක පමණ කාලය තුළ සෝවියට් දේශයට කැපී පෙනෙන ආර්ථික ජයග්‍රහණයයන්ද අත්පත් කරගත හැකි විය. සමාජවාදය මුල් කාලයේදී ජනප්‍රිය වීමට හේතු වුනේ මෙසේ ආර්ථික ජයග්‍රහණ හා වෙනත් ආර්ථික නොවන ඉලක්ක එකවර ළඟා කරගනිමින් සෝවියට් දේශය විසින් පෙන්වූ සාර්ථකත්වයයි. මේ ක්‍රමය යටතේ රජයේ මධ්‍යගත පාලනය යටතේ සිදුවුණු නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලිය හරහා රජය විසින් උපයාගත් ලාභය රටේ ජීවත් වූවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් වැය කෙරුණේය. මෙය සමාජයේ පහළ ස්ථර වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් රටේ ආදායම් විෂමතාවයන් අඩු කිරීමටත් හේතු විය.

රාජ්‍ය සුබසාධන ප්‍රතිපත්ති හේතුවෙන් රටේ පහළ ස්ථර වෙත සම්පත් සම්ප්‍රේෂණය වන විට එවැන්නන්ට තමන්ගේ රටේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක බව දැනේ. එහෙත් රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. රජයක් විසින් සුබසාධනය හරහා බෙදා හරින්නේ, අදාළ සමාජයේම කිසියම් පිරිසක් විසින් නිර්මාණය කරන සම්පත් වලින් කොටසකි. එවැනි සම්පත් දායකයින් තමන්ගේ සම්පත් වලින් කොටසක් රජය විසින් උදුරා ගනු ලැබීම පිළිබඳව සතුටු නොවුවත්, ඒ පිරිස විශාල ධනයක් උපයන සුළු පිරිසක් හා ඔවුන් උපයන දෙයින් වාසි ලබන කණ්ඩායම විශාල පිරිසක්නම් එවැනි ක්‍රමයකට සැලකිය යුතු කාලයක් බිඳ නොවැටී පැවතෙන්නට පුළුවන. එහෙත්, කාලයත් සමඟ මෙසේ ධනය උපයන සුළු පිරිස අධෛර්යමත් වීමත්, ඔවුන්ගේ ධනය  ක්‍රමයෙන් ක්ෂය වීමත් සමඟ මෙවැනි ක්‍රමයක් අර්බුදයට යයි.

සුබසාධන ප්‍රතිපත්ති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන සමාජවාදී නොවන රටවල් අදටත් තිබේ. ඒ අතර, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්කැන්ඩිනේවියානු රටවල් හා මැදපෙරදිග ඇතැම් රටවල් ඉහළින්ම සිටී. මේ රටවල පුරවැසියන්ට කිසිදු ආදායමක් නූපදූවත් රජයෙන් බොහෝ දේ ලැබේ. මේ රටවල් හා විප්ලවයෙන් පසු සෝවියට් දේශය එකතු කළ හැකි පොදු කුලකයක් තිබේ. ඒ, මේ රටවල් සියල්ලම එම රටවල ජනගහණයට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයකට හිමිකම් කීමයි.

කිසියම් රටක අලුතින් ධනය නිර්මාණය වීමට හේතුව වන්නේ ඒ රටේ මිනිසුන්ගේ මහන්සියට වඩා වාසනාවනම්, එනම් කිසියම් රටක විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇත්නම්, එවැනි රටක මිනිසුන්ගේ ව්‍යවසායකත්වය අඩු වුවද යහපත් ජීවන මට්ටමක් කාලයක් පවත්වා ගැනීමට බැරිකමක් නැත. එවැනි ස්වභාවික සම්පත් වල ප්‍රතිලාභ රටේ කිහිප දෙනෙකු අත තිබෙනවාට වඩා සියලු දෙනා අතර බෙදීයාම සාධාරණ වනවා පමණක් නොව එවැනි සම්පත් රජය විසින් කළමනාකරණය කිරීම හේතුවෙන් අකාර්යක්ෂමතා වැඩි වීමක් සිදුවන්නේද නැත (සාපේක්ෂ ප්‍රකාශයකි). මේ ස්වභාවික සම්පත් වලට ඉඩම්ද ඇතුළත්ය.

ලංකාව ඉහත කී රටවල් තරම් වාසනාවන්ත රටක් නොවේ. කුඩා ඉඩක සැලකිය යුතු ජනගහණයක් ගාල් වී සිටින ලංකාවේ මිනිසුන්ගේ බඩවල් පුරවන්නට ස්වයංජාත හාල් පහළ වන්නේ නැත. පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් රටට අලුතින් ධනය නිර්මාණය කිරීමට රටට ව්‍යවසායකයින් අවශ්‍යය. ව්‍යවසායකයින් දිරිමත් වන්නේ ඔවුන්ට ලාබ ලැබීමට ඇති හැකියාව තුළය. මේ ලාබ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කරන ධනය මිස වෙනත් අයගෙන් සූරාකන හෝ හොරාකන ධනයක් නොවේ. එසේ කරන්නෝ ව්‍යවසායකයෝ නොවෙති.

ලංකාවට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් සංචිතයකට හිමිකම් කියන ඇමරිකාවේ ආර්ථිකය ඉදිරියට එළවන්නේ ඒ සම්පත් වලින් නොවේ. ව්‍යවසායකත්වය තුළිනි. සමාජවාදී රටක් වුවත් දැන් චීනයේ සිදුවන්නේද එයයි.

සෝවියට් දේශයේ රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකය අවසානයේදී බිඳ වැටුනත් එය සෑහෙන කාලයක් අල්ලා සිටියේය. එහෙත්, සමාජවාදය හේතුවෙන් වෙනත් රටවලට එවැනි ආර්ථික දියුණුවක් ලැබුණේ නැත. චීනය හැර අනෙක් සෑම සමාජවාදී රටක්ම වාගේ සෝවියට් දේශයෙන් අඩු වැඩි වශයෙන් යැපුණු පරපෝෂිතයෝ වූහ. කෙසේ වුවද, නිදහසෙන් පසු පළමු දශක තුන තුළ ලංකාවේ ආර්ථිකය සැලසුම් කළ ඇතැම් අයට සෝවියට් දේශය පරමාදර්ශී රාජ්‍යයක් ලෙස පෙනීම අදට සාපේක්ෂව බලා වැරැද්දක්යැයි කිව නොහැකිය.

ඉංග්‍රීසින් විසින් ලංකාව කළමනාකරණය කළේ පාඩු ලබමින් නොවේ. ලංකාවේ ආර්ථිකය හොඳින් කළමනාකරණය ඔවුහු එයින් සැලකිය යුතු ලාබයක් ලැබූහ. ලංකාවේ අනාගත යහපත ගැන හිතමින් නොවූවත් ඔවුහු ඒ ලාබයෙන් කොටසක් මෙහි ආයෝජනය කළෝය. ඉතිරිය රටෙන් පිටට රැගෙන ගියහ. මෙසේ රටෙන් පිටට ගෙන ගිය කොටස ගැන කතා කරන බොහෝ දෙනෙක් අමතක කරන්නේ ඔවුන් එසේ රැගෙන ගියේ ඔවුන් විසින් නිර්මාණය කළ ධනය බවයි. (මේ කියන්නේ ආර්ථික වටිනාකමකට වඩා වෙනත් වටිනාකම් ඇති, ලංකාවෙන් රැගෙන ගිය, ඔවුන් විසින් නිර්මාණය නොකළ ඇතැම් දේ ගැන නොවේ.)

නිදහසින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවට "අපේ ආණ්ඩුවක්" ලැබීමෙන් පසු ලාංකිකයින්ට අවශ්‍ය වුනේ කලින් සුද්දා රැගෙන ගිය අතිරික්තය තමන් අතරේ බෙදාගෙන හැකි ඉක්මණින් භුක්ති විඳින්නටය. සුබසාධන ආණ්ඩු වලින් මේ ලාබ මිනිස්සුන්ට ලැබුණේය. ඒ නිසා, ආණ්ඩුව තමන්ගේ එකක් බව මිනිස්සුන්ට දැනුණේය.

ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණේ අද මෙන් අයවැය හිඟයක් හෝ ගෙවුම් ශේෂ හිඟයක් තිබුණු ආර්ථිකයක් නොවේ. දේශීය හෝ විදේශීය ණය ගොඩ ගැසුණු ආර්ථිකයක්ද නොවේ. රටේ සීමිත විදේශ ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාල විදේශ සංචිත ප්‍රමාණයක් ඉතිරිව තිබුණු ශක්තිමත් ආර්ථිකයකි. ඒ නිසා, සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාම මුල් කාලයේදී ගැටලුවක් වූයේ නැත. ඒ කාලයේ රටේ සිටි දුප්පත් මිනිස්සුන්ට රජයෙන් ඇත්තටම යමක් ලැබුණේය.

මේ තත්ත්වය වෙනස්  වන්නට වැඩි කලක් නොගියේය.

(ඉන්පසු සිදුවුණේ කුමක්ද? මාතෘකාව ගැන කතා නොකරම වචන 5000ක් පමණ ලියැවී ඇත. ඒ නිසා, සෙස්ස පස්සට තබමු.)

(Image: https://www.colombotelegraph.com/index.php/two-immoral-acts-of-sirisena-ranil-government/)

Gadget

This content is not yet available over encrypted connections.