Thursday, April 6, 2017

රුසියානු ඇමරිකාව


ඇමරිකාවේ හතලිස් නවවන ප්‍රාන්තය වන ඇලස්කාව භූමි ප්‍රමාණය අනුව ඇමරිකාවේ ලොකුම ප්‍රාන්තයයි. එය ලංකාව මෙන් 26 ගුණයක් විශාල වන අතර ඇමරිකාවේ දෙවෙනියට විශාලම ප්‍රාන්තය වන ටෙක්සාස් ප්‍රාන්තය මෙන් 2.5 ගුණයක්ද, තෙවෙනියට විශාල කැලිෆෝර්නියාව මෙන් සිවුගුණයක්ද විශාලය. ඇලස්කාව නොවීනම් ඇමරිකාව චීනයට හා බ්‍රසීලයට වඩා කුඩා ඕස්ට්‍රේලියාවට වඩා යාන්තමින් විශාල රටකි. 

ඇලස්කාව මහාද්වීපික ඇමරිකාව ලෙස හැඳින්වෙන ඇමරිකාවේ මුල් ප්‍රාන්ත 48න් භූගෝලීය වශයෙන් වෙන්ව කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට බටහිරින්ද, රුසියාවට නැගෙනහිරින්ද පිහිටියේය. ඇලස්කාවේ උතුරු කොටස් සමසකට වරක් දිවා රෑ මාරුවන ආක්ටික් වලයේ පිහිටා ඇති අතර ලෝකයේ බටහිර හා නැගෙනහිර වෙන් කරන රේඛාවද ඇලස්කාවට අයිති දිවයිනක් හරහා ගමන් කරයි. ඒ නිසා, ඇමරිකාව සතු වඩාත්ම උතුරට, වඩාත්ම නැගෙනහිරට හා වඩාත්ම බටහිරට වන්නට ඇති බිම්කඩවල් තිබෙන්නේ ඇලස්කාවේය.

ඇලස්කාව ඇමරිකාවේ කොටසක් බවට පත් වුණේ 1867 වසරේදී රුසියාව විසින් මෙම විශාල භූමි ප්‍රදේශය ඇමරිකන් ඩොලර් මිලියන 7.2කට ඇමරිකාවට විකිණීම හේතුවෙනි. මෙය අද ඩොලරයක වටිනාකම අනුව වුවද ඇමරිකන් ඩොලර් මිලියන 113ක මුදලකි. ඇලස්කාවෙන් අක්කරයක් මිලදී ගැනීමට ඇමරිකාවට වැය වී ඇත්තේ ඇමරිකන් සත දෙකකටත් අඩු මුදලකි. අද වටිනාකම අනුව වුවද, ඇලස්කාවේ අක්කරයකට ඇමරිකාව ගෙවා ඇත්තේ ඇමරිකන් සත විසිපහක පමණ මුදලකි.

ඇලස්කාව මිලදී ගැනීමට ගත් තීරණය ඒ දවස් වල  ඇතැම් ඇමරිකානුවන්ගේ හා මාධ්‍ය වල විවේචනයට හා සමච්චලයට හේතු වී තිබේ. රුසියාව විසින් සියළු සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව, වැඩකට නැති අයිස් ගොඩක් ඇමරිකාවේ ඇඟේ ගැසූ බව ඒ දවස්වල මේ විවේචකයින් විසින් පවසා තිබේ.

මෙවැනි විවේචන මධ්‍යයේ සිදුකළ ගණුදෙනුවක් වුවත්, ඇලස්කා ගණුදෙනුව ඇමරිකාවට ඉතාම වාසිදායක ගණුදෙනුවක් විය. ඇලස්කාව සතු වූ සත්ත්ව සම්පත් වලින් පමණක් වුවද ඇලස්කාව වෙනුවෙන් වැය කෙරුණු මුදල සොයාගන්නට ඇමරිකාවට වැඩි කාලයක් ගතවී නැත. එහෙත්, ඇලස්කා පොළොවේ හා ඇලස්කාවට අයත් මුහුදු ප්‍රදේශ තුළ සැඟවී තිබී මේ වන විට මුදල් කර ඇති ඇති ස්වභාවික සම්පත් වල වටිනාකම ඊට වඩා බොහෝ විශාලය. ඇලස්කාවේ දැනටත් ඉතිරිව ඇති ඇති හඳුනාගත් රන්, තඹ මෙන්ම ස්වභාවික වායු හා ඛනිජතෙල් සංචිත වල වටිනාකම පමණක් වුවද ඇලස්කාව වෙනුවෙන් ගෙවූ මිල මෙන් දහස් ගුණයකටත් වඩා වැඩිය.

එසේනම් රුසියාව විසින් ඇලස්කාව විකුණා දැමීම අදූරදර්ශී ක්‍රියාවක්ද?

ඇලස්කාව ඇමරිකාවට විකිණීමට ආසන්න කාලයේදී ඇලස්කාව මෙන්ම වත්මන් ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ තවත් බිම් පෙදෙස්ද රුසියාව සතුවිය. මෙම ප්‍රදේශ පොදුවේ රුසියානු ඇමරිකාව ලෙස හැඳින්වුනේය.

ක්‍රිමියන් යුද්ධයෙන් හෙම්බත්ව සිටි රුසියාවට තමන්ගේ රටෙන් ඈතින් පිහිටි ඇමරිකන් බිම් ආරක්ෂා කරගැනීම අසීරු හා වියදම් අධික කාර්යයක් විය. ඉතිරි පෙදෙස් අතහැර දැමීමෙන් පසුව තවදුරටත් රුසියාව සතු වූ ඇලස්කාව කොයි වෙලාවක හෝ බ්‍රිතාන්‍යය විසින් පහසුවෙන් අල්ලා ගත හැකිව තිබුණේය. බ්‍රිතාන්‍යය සමඟ සිදුවිය හැකිව තිබුණු යුද්ධයකදී ඇලස්කාව ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් රුසියාව සතු නොවීය.

මේ කාලයේ රුසියාවේ ප්‍රධාන සතුරා වූයේ බ්‍රිතාන්‍යය මිස ඇමරිකාව නොවේ. තමන්ගේ ප්‍රතිවාදියා විසින් යටත් කර ගැනීමට ඉඩ තිබුණු ඇලස්කාව, ස්වාධීන රටක් ලෙස එවකට රුසියාව විසින් සැලකූ ඇමරිකාව සතු වීම එක අතකින් රුසියාවට යුදමය ලෙස වාසිදායක වූ අතර අනෙක් අතින් මේ ගණුදෙනුව රුසියාවේ අහිතකර මූල්‍ය තත්ත්වයට පිළියමක්ද විය. වෙනත් විදිහකින් කියනවානම් රුසියාව විසින් ඒ වෙලාවේ මේ ගණුදෙනුව සිදු නොකළද ඇලස්කාව බොහෝ දුරට රුසියාවට අහිමි විය හැකිව තිබුණි. එවැනි පසුබිමක ඇලස්කාව විකිණීමෙන් ලැබුණු මුදල රුසියාවටද විශාල වාසියක් විය.

ඒ අතරම, රුසියාව ඇමරිකාවට විකුණුවේ "අනුන්ගේ ඉඩමකි". සියවස් එකහමාරක පමණ සිට රුසියානුවන් ඇලස්කාවේ ජනපද හදමින් සිටියත් මේ ගණුදෙනුව සිදුවන විටත් එහි වැඩිපුර ජීවත් වුණේ ඇලස්කාව නිජබිම කරගත් ඇස්කිමෝවරුන්ය. එවකට ඇලස්කාවේ පදිංචිව සිටි රුසියානුවන් හා රුසියන්-ඇස්කිමෝ මිශ්‍ර විවාහ වල දරුවන් ගණන දෙදහසක් පමණ වෙද්දී ඇලස්කාවේ රුසියාවේ පාලනයට නතුව නොපැවති පෙදෙස් වල ජීවත්වූ ඇස්කිමෝ ජනගහණය අඩු වශයෙන් පනස් දහසක් පමණවත් විය. මෙය සමාන කළ හැක්කේ ලංකාවේ වෙරළබඩ නගර කිහිපයක් අල්ලා ගැනීමෙන් පසු පෘතුගීසීන් විසින් මුළු ලංකාවම ඉංග්‍රීසින්ට හෝ ලන්දේසීන්ට විකුණා දැම්මේනම් ඇති විය හැකිව තිබුණු තත්ත්වයටය.

ඇලස්කා පොළොවේ සැඟව තිබුණු ස්වභාවික සම්පත් පිළිබඳව ඇලස්කාව විකිණූ රුසියාව මෙන්ම එය මිලදී ගත් ඇමරිකාවද දැන සිටියේ නැත. එවකට දැනසිටි පරිදි ඇලස්කාවෙන් ලබා ගත හැකිව තිබුණු ප්‍රධාන වාණිජ භාණ්ඩ වූයේ එහි විසූ දළ තල්මසුන්ගේ (walrus) දළ හා වලස් සම් වැනි දේවල්ය. ඇලස්කාව ඇමරිකාවට විකුණන කාලය වන විට රුසියානුවන් මේ සතුන් සෑහෙන දුරකට දඩයම් කර අවසන්ය.

ඇමරිකාව පැත්තෙන් ගත් විට ඇලස්කා ගණුදෙනුව නිසා රුසියාව ඇමරිකානු මහාද්වීපයෙන් ඈත්ව සිටීම තහවුරු වුණේය. ඇමරිකාව බලාපොරොත්තු වුණේ මේ උපක්‍රමික වාසියයි. ඒ අතරම, ඇමරිකාවට ආසියා පැසිෆික් කලාපය වෙත ව්‍යාප්ත වීමටත්, ලෝක බලවතෙකු ලෙස මතුවීමටත් මේ ගණුදෙනුව නිසා ඉඩක් සැලසුණේය.

මේ අතර ඇලස්කාවේ ජීවත් වූ ඇස්කිමෝ වරුන් විසින් දිගින් දිගටම කියා සිටියේ තමන් විසින් තමන්ගේ නිජ භූමිය වන ඇලස්කාව කිසිවෙකුට විකුණා නැති බවයි. සියවසකටත් පසුව, ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන සැලකිල්ලට ගැනුණේ 1971දී කොංග්‍රසයේ සම්මත කෙරුණු පණතක් මඟින් ඇලස්කා ඉඩම් සඳහා ඇස්කිමෝ වරුන්ට ඇති අයිතිය පිළිගැනීමෙන් පසුවය.

ඇමරිකාවේ ආර්ථිකය අර්බුදයට ලක්ව තිබුණු පසුගිය කාලයේ ඇලස්කාව විකුණා දමා ඇමරිකාවේ රාජ්‍ය ණය පියවිය යුතුයැයි යෝජනා කළ අයද සිටියේය.

19 comments:

  1. "මේ කාලයේ ඇමරිකාවේ ප්‍රධාන සතුරා වූයේ බ්‍රිතාන්‍යය මිස ඇමරිකාව නොවේ."

    මෙතන නිවැ‍රැදි කිරීමක් අවශ්‍යයි වගේ..

    මේකෙන් පේන්නේ මොන තත්ත්වය යටතේ සිදු කළත් ඉඩම් මිලදී ගැනීම අනාගතයේදී බොහෝ විට වාසි ගෙනෙන බවයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සෙන්නා! වැරැද්ද හැදුවා.

      Delete
  2. හොඳ ලිපියක් මේ කරුනුබොහෝ දුරට දැනගෙන සිටි ඒවා වුනත් මෙහි දත්තයන් සහිත නිසා ලිපිය බොහෝම වටිනවා.
    ඇමරිකාවේ ලෝක දේශපාලනික අරමුණු වලට මේ බිම් කඩෙහි වටිනාකම ගැන ඔබ කියන කරුන ඉතාම තර්කානුකූලයි.

    ReplyDelete
  3. අසාද්ට වාසි සහගත ලෙස යුද්දය පවතින වෙලාවක සරින් ගෑස් ගැහීමට තරම් අසාද් මෝඩද ? එසේ නැත් නම් ට්රම්ප්ගේ මතය වෙනස් කිරීමට මෙය CIA එකින් කල වැඩක් ද ?

    ReplyDelete
    Replies
    1. සීඅයිඒ විසින් අප්‍රසිද්ධියේ කරන වැඩ ගැනනම් මට දැනුමක් නැහැ.

      Delete
  4. වටිනා සටහනක්... ස්තුතී ඔබට..

    ReplyDelete
  5. රුසියාව ඔවුන් ගේ වරායක් සහ තෙල් ටැංකි හෙම ඇමරිකාවට හෝ වෙනත් රටකට විකුණා නැති ද?

    ReplyDelete
    Replies
    1. ඇලස්කාව පිහිටා තියෙන්නේ භූගත තෙල් ටැංකි සංකීර්ණයක් උඩ බව ගනුදෙනුව සිදුවන විට ඇලස්කාව විකිණූ රුසියාව හෝ එය මිලදීගත් ඇමරිකාව හෝ දැන සිටියේ නැහැ. වරායක් මිලදී ගන්න ගිහින් විශාල ඉඩම් ප්‍රමාණයක් ලැබුණු හැටි ගැන ඊළඟ ලිපියෙන්.

      Delete
  6. ඇලස්කාව මිලදී ගැනීමට ගත් තීරණය ඒ දවස් වල ඇතැම් ඇමරිකානුවන්ගේ හා මාධ්‍ය වල විවේචනයට හා සමච්චලයට හේතු වී තිබේ. රුසියාව විසින් සියළු සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව, වැඩකට නැති අයිස් ගොඩක් ඇමරිකාවේ ඇඟේ ගැසූ බව ඒ දවස්වල මේ විවේචකයින් විසින් පවසා තිබේ.//////// අදූරදර්ශී විචාරකයෝ

    ReplyDelete
    Replies
    1. හැම දෙකම හොඳ නරක තීරණය වෙන්නේ කාලයත් එක්ක. මලයාසියාව නිදහස ලබද්දී සිංගප්පුරුව අයින් කළා. පසුව සිංගප්පුරුව මලයාසියාවට වඩා කලින් දියුනුවුනා. නමුත් දැන් මලයාසියාවත් එයට නොදෙවැනි දියුණුවක් ලබා තිබෙනවා. මේක හරියට පරිණාමය වග තමයි එක කාලෙකට උචිත සත්තු තදබල විපර්යාසයකට පසු අනුචිත වෙනවා. එතකොට තවත් කාණ්ඩයක් ඉස්මතුවෙනවා.

      Delete
    2. ඔවු, ඒක ඇත්ත. පරිණාමය වගේ නෙමෙයි පරිණාමයම තමයි. ලෝකයේ පවතින තත්ත්වයන්ට වඩාත් හොඳින් ප්‍රතිචාර දක්වන රටවල් උඩට එනවා.

      Delete
  7. ස්තූතියි ඉකෝන්..රසවත් ලිපියක්...:)

    ReplyDelete
  8. ඇමරිකාව රුසියාවේ කැල්ලක් සල්ලිවලට ගත්තා
    රුසියාව ට්‍රුම්ප්ව ජනාදිපති කරලා මුළු ලෝකෙම අල්ලාගන්න හදනවා

    ReplyDelete
  9. බැලුවා
    ඉගෙනගත්තා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.