Thursday, April 20, 2017

ඕස්ට්‍රේලියාවේ අනාගතය කෙසේද?

පසුගිය සිංහල අවුරුදු දින රසික විසින් "ඕස්ට්‍රේලියාවේ අනාගතය ලංකාවේ ජ්‍යොතිශ්‍යයෙන් කීම හෙවත් විනෝද සමය" නමින් ලිපියක් පළ කර  "ඉකොනොමැට්ටා බ්ලොග්කරු මේ ලිපිය කියවා ප්‍රතිචාරයක් දක්වතැයි" බලාපොරොත්තු වන බව සටහන් කර තිබුණේය.

රසිකගේ විචාරයක්ද සමඟ පළ කර තිබුණු මේ ලිපිය මෙල්බර්න් නගරයේ පළවන සිංහල සඟරාවක් වන සිහනද මාසිකයේ පලවූවක් බව ඔහු සඳහන් කර තිබුණේය. ස්ටැන්ලි ධර්ම කුමාර නම් වූ මේ ලිපියේ රචකයා විසින් ඕස්ට්‍රේලියාවේ වත්මන් අගමැති වන මැල්කම් ටර්න්බුල්ගේත්, විපක්ෂ නායක බිල් ශෝටන්ගේත් උපන්දින, වේලාවන් හා ස්ථාන අනුව කේන්ද්‍ර සටහන් සාදා එම කේන්ද්‍ර සටහන් අනුසාරයෙන් ඔවුන්ගේ ජීවිත වල පසුගිය කාල පරිච්ඡේද වල සිදුවී තිබුණු දේ ජ්‍යෝතිෂ සිද්ධාන්ත අනුව පැහැදිලි කර තිබුණු අතර, එයින් අනතුරුව ඕස්ට්‍රේලියාවේ අනාගතය ගැන අනාවැකිද ගණනාවක්ද ඉදිරිපත් කර තිබුණේය.

මා කලින් පැහැදිලි කර ඇති ආකාරයට කේන්ද්‍ර සටහනක් යනු පොළොවේ කිසියම් තැනක සිට, කිසියම් නිශ්චිත වෙලාවක ඉර, හඳ ඇතුළු ග්‍රහයින් දැකිය හැකි ආකාරයේ සිතියමකි. මේ සිතියම යම් සීමාවන් යටතේ අනන්‍ය සටහනක් නිසා එම සටහන ප්‍රති-ඉංජිනේරුකරණය කර කේන්ද්‍රයට අදාළ උපන් වේලාව හා ස්ථානය (ආසන්නව) සොයාගන්නටද පුළුවන.

මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍ර සටහනේ මුද්‍රණ දෝෂයක් විය හැකි අඩුපාඩුවක් හැර වැරැද්දක් පෙනෙන්නට නොතිබුණත්, බිල් ශෝටන්ගේ කේන්ද්‍ර සටහන ලිපියේ පළකර තිබුණු උපන්දිනය හා වෙලාව සමඟ නොගැලපෙන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබුණේය. උපන්දිනය වැරදියට මුද්‍රණය වී තිබීමට ඉඩ ඇති නිසා විකිපිඩියාව බැලූ විට පෙනුණේ උපන්දිනය ඇත්තටම වැරදි බවයි. පසුව, තව දුරටත් ඒ ගැන සොයා බලා එහි කමෙන්ටුවක් දැම්මෙමි. කමෙන්ටුවේ අදාළ කොටස (වෙනත් වචන වලින්) මෙසේය.

"බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය තනිකරම වැරදිය. 1967.2.12 දින ග්‍රහ පිහිටීම් මෙසේ විය නොහැක. විකිපීඩියා අනුව ඔහු ඉපදී ඇත්තේ 1967.5.12 දිනය. මේ ග්‍රහ පිහිටීම් එදිනටද වැරදිය."

"බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය ලෙස මෙහි ඉදිරිපත් කර ඇති කේන්ද්‍රය 1954 ඔක්තෝබර් 7 ලංකාවේ වේලාවෙන් පස්වරු 10:45ට (22:45 පැය) ලංකාවේ උපන් කෙනෙකුගේ වීමට ඉතාම ඉහළ සම්භාවිතාවක් තිබේ."

ඉහත ඉහළ සම්භාවිතාව 99% ඉක්මවන බව මට ස්ථිරවම කියන්නට පුළුවන. මා මෙය මේ තරම් ස්ථිරව කියන්නේ සාමාන්‍යයෙන් ජ්‍යෝතිර්වේදීන් අතේ ඇති පොත්පත් හෝ ලිත් ආදී කිසිවක් මා සතුව නොතිබියදීය.

මා මේ නිගමනයට පැමිණි ආකාරය, කේන්ද්‍රය යනු කුමක්දැයි මා විසින් පැහැදිලි කරමින් ලියා ඇති පසුගිය ලිපි කියැවූ අයෙකුට ඉතා පහසුවෙන් තේරුම් කළ හැකිය.

පළ කර ඇති කේන්ද්‍ර සටහන අනුව බිල් ශෝටන්ගේ ලග්නය මිථුන ලග්නයයි. එහි හතරවන කොටුවේ රවි හෙවත් සූර්යයා සිටින බව ලකුණු කර තිබේ. එයින් අදහස් වෙන්නේ ඉර උදාවෙන්නට පොළොව වටයකින් 4/12=1/3ක් හෙවත් තවත් අංශක 120ක් පමණ කැරකෙන්නට තිබෙන බවයි. එසේනම්, උපන් වෙලාව රාත්‍රී 10-12 අතර විය යුතුය.

මිථුන ලග්නයෙන් හතර වන ලග්නය කන්‍යා ලග්නයයි. පොළොව ඉර වටා යන ගමනේදී කන්‍යා ලග්නයට අයත් ප්‍රදේශයේ ඉර පිහිටන්නේ ආසන්න වශයෙන් සැප්තැම්බර් 14- ඔක්තෝබර් 14 අතර කාලයේය.

කේන්ද්‍රය සමඟ පළකර ඇති බිල් ශෝටන්ගේ උපන්දිනය වන පෙබරවාරි 12 හෝ විකිපීඩියා අනුව උපන් දිනය වන මැයි 12 දින ඉර පිහිටන්නේ පිළිවෙලින් මකර හා මේෂ රාශි වලය. එමෙන්ම උදේ 10.45ට උපන් කෙනෙකුගේ කේන්ද්‍රයේ ඉර තිබිය යුත්තේ හතර වන කොටුවට ප්‍රතිවිරුද්ධ දහවන කොටුවේය. ඒ නිසා මේ කේන්ද්‍රය වැරදි බව ඉතා පැහැදිලිය.

උඩින් ඇති මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍රයේ සෙනසුරු හෙවත් ශනි ලකුණු කර ඇත්තේ එහි ලග්නය වන මකර සිට දහවන රාශිය වන තුලා රාශියේය. බිල් ශෝටන්ගේ ලෙස ඉදිරිපත් කර ඇති කේන්ද්‍රයේ ලග්නය වන මිථුන රාශියේ සිට පස්වන රාශියද තුලා රාශියයි. එහි ශනි සිටී. එමෙන්ම කේන්ද්‍ර දෙකේම ශනි සිටින රාශියට කොටු හතරක් පසුපසින් ගුරු හෙවත් බ්‍රහස්පති සිටී. ඉරේ සිට ඈතින්ම පිහිටි බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන් දෙදෙනා කේන්ද්‍ර දෙකේම ලකුණු කර ඇත්තේ එකම රාශි වලය.

සෙනසුරු ග්‍රහයාට ඉර වටා වටයක් යාමට ආසන්නව වසර 30ක් ගත වේ. බ්‍රහස්පති ග්‍රහයාට ඒ සඳහා වසර 12ක් පමණ ගතවේ. ඒ නිසා මේ ග්‍රහයින් දෙදෙනාට එක් රාශියක් පසු කිරීමට පිළිවෙලින් වසර 2.5ක් හා වසරක් පමණ ගත වේ. ඒ නිසා මේ ග්‍රහයන් දෙදෙනාම එකම රාශියක සිටිය හැක්කේ වසර 60කට වරකි. බිල් ශෝටන්ගේ හා මැල්කම් ටර්න්බුල්ගේ උපන්දින අතර වසර 60ක වෙනසක් තිබිය නොහැකිය. එසේනම්, ඒ මේ කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීම් එකම වසරක පැවති පිහිටීම් බව සෑහෙන දුරට විශ්වාස කළ හැකිය. ඒ වසර 1954 වසරයි.

ඉරේ පිහිටීම අනුව මේ කාලය 1954 සැප්තැම්බර් 14- ඔක්තෝබර් 14 බව තීරණය කළ හැකිය. ආසන්න වශයෙන් මාසයක් තුළ හඳ පොළොව වටා වටයක් යන නිසා හඳේ පිහිටීම (උපන් නැකත හා මහා දශා ශේෂය) අනුව දිනය හා වෙලාව හරියටම හොයාගන්නට පුළුවන. ඒ අතරම උපන් ලග්නය අනුව, උපන් වෙලාව රාත්‍රී 10-12 අතරද විය යුතුය.

පෙර ලිපි වලින් විස්තර කර ඇති පරිදි, කේන්ද්‍රයක ලග්නය තීරණය වන්නේ ඉර උදාවේ සිට ගත වුනු පැය ගණන අනුවය. මේ කේන්ද්‍රයේ ලග්නයට අදාළ වෙලාව ඉර උදාවේ සිට පැය 22-24 පමණ ගතවූ පසු කාලයකි. කෙසේවුවද, ලෝකයේ විවිධ තැන් වලට ඉර පායන්නේ එකම වෙලාවක නොවන නිසා එකම අවස්ථාවේ ලෝකයේ විවිධ තැන්වලට අදාල ලග්න සමාන නැත. 

මෙල්බර්න් වලට ඉර පායන්නේ ලංකාවට ඉර පායන්නට පැය හයකට කිට්ටු කාලයක් කලින්ය. ඒ අනුව ලංකාවට උදාවන ලග්නයක් පැය හයකට පමණ පෙර මෙල්බර්න් නගරයට උදාවේ. පැය හතරක් තුළ හඳේ පිහිටීම සැලකිය යුතු තරමින් වෙනස් වේ.

ඒ නිසා ඉහත මාසය තුළ ඉරේ හා හඳේ පිහිටීම් කේන්ද්‍රයේ දක්වා ඇති පරිදි වන අවස්ථාවක් මෙල්බර්න් නගරයට අදාළව සිදු නොවේ. එහෙත්, ලංකාවට අදාළව සිදුවේ.

ඒ නිසා මේ කේන්ද්‍රය නිවැරදිව හදා ඇති එකක්නම් 1954 ඔක්තෝබර් 7 ලංකාවේ වේලාවෙන් පස්වරු 10:45ට (22:45 පැය) ලංකාවේ උපන් කෙනෙකුගේ එකකි.

මෙහිදී උපයෝගී කරගත් මූලධර්මය GPS වලදී යොදාගන්නා මූලධර්මයමය. භූ-ස්ථායී නොවූවත් ග්‍රහයින් පොළොව වටා නිශ්චිත පථයක යන චන්ද්‍රිකා සේ සැලකිය හැකිය. මේ ග්‍රහයින්ගේ පිහිටීම් නිවැරදිව දන්නා නිසාත්, ඒවා චලනය වන්නේ එකම වේගයකින් නොවන නිසාත් හරියට හැදූ කේන්ද්‍රයක් යනු ඉතාම නිවැරදි GPS එකකි.



(අනාවැකි කොටස ගැන වෙනම කතා කරමු.)

9 comments:

  1. ලංකාවේ කේන්දරකරුවන් විසින් ඕස්ටේ‍ර්ලියාවේ උපන් අයට කෙන්දර හදන්නට ගොස් තවත් වරද්දා ගන්නා තැනක් නම් ලංකාවේ දී දළ වශයෙන් උදැසන හයට ආසන්නව හිරු පෑව්වාට මෙල්බර්න් වැනි තැනක එසේ නොවේ යන කාරණය.

    සිසිරයේ මැද උදේ 730ට හිරු පායන දවසුත් එනවා. නමුත්, සමර් කාලයේ හිරු උදා වෙන්නේ පහට පමණ.

    හිරු උදාව කලින් සිදුවීම ආරම්භයේ දී ඔක්තෝබරයේ දී, ඔර්ලෝසු පැයක් ඉස්සරහට කරකවන නිසාත්, ඊළඟට අප්‍රියෙක් මාසයේ දී ආපස්සට පැයක් කරකවන නිසාත්, උපන් වෙලාව කියා සඳහන් කර ගන්නා වේලාව පිළිබඳ තවත් අවුලක් ඇති වෙනවා.

    සිඩ්නි හෝ බ්‍රිස්බර්න් හෝ පර්ත්වල හෝ තත්වය ඊට වෙනස්.

    ReplyDelete
    Replies
    1. මේවානම් ලංකාවේ කේන්ද්‍ර හදන අය (කලාතුරකින් අයෙක් හැර) සැලකිල්ලට ගන්නා මූලික දේවල්ය. ලංකාවේද ඔරලෝසු වරින් වර ඉදිරියට හා පසුපසට යවා තිබෙන බැවින් එය නොදන්නා අය ඉන්නේ ඉතා අඩුවෙනි. ජ්‍යෝතිෂවේදීන් සතු මූලික අත්පොත වන පංචාග ලිත් වල ලෝකයේ හැම ප්‍රදේශයකම වෙලාව වෙනස්වන දවස් මෙන්ම බොහෝ නගර වල අක්ෂාංශ හා දේශාංශ මුද්‍රණය කර තිබේ. ලංකාවේම වුවද නැගෙනහිර වෙරළේ සිට බටහිර වෙරළ දක්වා ඉර පායන වෙලාව ක්‍රමයෙන් වෙනස් වේ. එමෙන්ම, ලංකාවේ සම්මත වෙලාව යනු දේශාංශ අනුව ලංකාවේ කිසිම තැනක පවතින 'නියම' වේලාවක්ද නොවේ. නැගෙනහිර දේශාංශ 82.5ට පමණක් නිවැරදි වේලාවකි. මේ දේශාංශය තිබෙන්නේ ලංකාවේ නැගෙනහිර ගොඩබිම් සීමාවෙන්ද ඔබ්බේ මුහුදේය. වෙනත් රටවලටද එසේය. කේන්ද්‍ර සෑදීමේදී පළමුව කරන්නේ නිවැරදි අක්ෂාංශය හා දේශාංශය අනුව වේලාව ගැලපීමයි. මේ ලිපිවල පැහැදිලි කිරීමේ පහසුවට පැය දෙකකට වරක් හා මාසයකට වරක් ලෙස ලග්න ගෙවෙන ආකාරය ගැන කිවුවත් වසරේ එක් එක් මාස වල "ඉර තාරකා රාශි හරහා යාමට" හෝ දවසක් තුළ එසේ යාමට ගත වන කාල සමාන ලෙස සලකන්නේ නැත. සිංහල ක්‍රමයට දවස ඇරඹෙන්නේ මධ්‍යම රාත්‍රියේ හෝ ඔරලෝසුවේ නිශ්චිත වෙලාවක නොව ඉර පායන මොහොතේය. එමෙන්ම ජ්‍යෝතිෂයේ කාලය ගෙවෙන්නේ ඔරලෝසුවේ මෙන් රේඛීය ලෙස නොවේ. ග්‍රීෂ්ම කාලයේ දිවා පැයක් මෙන්ම ලග්නයක් ගෙවීමට ගතවන කාලයද ඔරලෝසු කාලයට සාපේක්ෂව දිගුවන අතර රාත්‍රියේදී කෙටි වේ. ස්ථානයේ අක්ෂාංශය අනුව එය ගණනය කරන සංකීර්ණ ක්‍රමවේදයක් තිබේ. මේ දේවල් හතරවන සියවසේ පමණ සිට දැන සිටි මූලික දේවල්ය. එහෙත්, විදේශයක උපන් අයගේ උපන් වෙලාව ලංකාවේ වෙලාව සමඟ ගැලපීමෙන් පසු ඒ වෙලාවේ ලංකාවට ගැලපෙන පරිදි කේන්ද්‍ර හදන අය සිටිති. එය තරමක් වැඩිපුර කෙරෙන (වැරදි) දෙයකි. එමෙන්ම ග්‍රහයන් සමහර කාලවල 'වක්‍ර වන්නේ' සාපේක්ෂ චලිතය නිවැරදිව ගණනය කරන නිසාය.

      Delete
  2. Astrology gone under down-under !

    ReplyDelete
  3. ඕස්ට්‍රේලියාවේ අනාගතය...කොයිවෙලේ හරි තම්බිගෙන් පරිප්පුවක් කන්න බලාසිටි.බාලි දුපතේදී කෑවාසේ

    ReplyDelete
    Replies
    1. නරක අනාවැකියක් නෙමෙයි!

      Delete
  4. ග්‍රහ තරු වලට කුමක් කළ හැකිද

    ReplyDelete
    Replies
    1. ඇතැම් රටවල ආණ්ඩු වෙනස් කළ හැකිය!

      Delete
  5. ජ්‍යෝතිෂය යනු ශාස්ත්‍රයක්. එය නිසි ලෙස දන්නා අය නිසි අනාවැකි කියයි. බාගෙට දන්නා අය නිසා ශාස්ත්‍රය වලපල්ලට යමින් පවතී..
    කෙසේ වුවද මෙලොව ජිවත්වන අයට ග්‍රහ තරුවල බලපෑමක් ඇත. විද්‍යාවට එය ග්‍රහණය කරගැනීමට බැරිවීම විද්‍යාවේ අඩුවක් මිස ජ්‍යෝතිෂයේ අඩුවක් නොවේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.