වෙබ් ලිපිනය:

Sunday, April 2, 2017

ගෑණු කේන්දර හා නොවරදින අනාවැකි

ලංකා හේතුවාදී සංගමයේ මූලාරම්භක හා පළමු සභාපති වූ ඒබ්‍රහම් ටී කොවූර් විසින් 1963 වසරේදී ප්‍රසිද්ධ අභියෝගයක් කරමින් සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි, එහෙත් ඇතැම් පුද්ගලයින්ට කළ හැකියැයි බොහෝ දෙනෙකු සිතන දේවල් 23ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මේ ලැයිස්තුවේ ඇති දේවල් වලින් එකක් පිළිගත හැකි තත්ත්වයන් යටතේ සිදු කර පෙන්වන අයෙකුට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ප්‍රසිද්ධ කළේය. 1978දී කොවූර් මියයන තුරුත් විවෘතව පැවති මේ අභියෝගය කිසිවකුට ජයගත නොහැකි විය.

කොවූර්ගේ ලැයිස්තුවේ අවසාන අයිතමය වූයේ ඔවුන් විසින් මිනිත්තුවක නිරවද්‍යතාවයක් සහිතව ලබාදෙන පුද්ගලයින් දහදෙනෙකුගේ (හෝ විසිදෙනෙකුගේ) උපන් වේලාවන් හා ඔවුන් උපන් ස්ථාන භාවිතා කරමින් එම පුද්ගලයින්ගේ කේන්ද්‍ර පිටපත් සාදා ඒ අනුසාරයෙන් (හෝ ඔවුන් විසින් ලබා දෙන හස්ත රේඛා සටහන් අනුසාරයෙන්) අදාළ පුද්ගලයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හා ජීවත්ව සිටිනවාද නැද්ද යන්න 95%ක නිරවද්‍යතාවයක් සහිතව පැවසිය යුතු බවයි. මෑතකදී, කාලෝ ෆොන්සේකා විසින් ත්‍යාග මුදලද ඉහළ දමමින් මේ අභියෝගය නැවත අළුත් කළ බව වාර්තා වී තිබුණු අතර මා සිතන පරිදි එම අභියෝගය තවමත් විවෘතව පවතී.

පුද්ගලයෙකුගේ උපන් වේලාව ඇසුරෙන් එම පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය 95%ක නිරවද්‍යතාවයකින් කියන්නට පුළුවන් කමක් නැත. මෙය දරුවන්ගේ උපන් වේලාවන් පරීක්ෂා කිරීමෙන් සංඛ්‍යානමය ලෙස තහවුරු කරගත හැකි දෙයකි. ඒ නිසා, අද වුවද මේ අභියෝගය භාර ගැනීමට කිසිදු ජ්‍යෝතිර්වේදියෙකු ඉදිරිපත් වේයැයි සිතිය නොහැකිය.

මේ සම්බන්ධව අද බොහෝ ජ්‍යෝතිර්වේදීන් විසින් ලබාදෙන ජනප්‍රිය පිළිතුරක් තිබේ. ඒ, තමන්ගේ සේවාදායකයින් කිසිවකු කේන්ද්‍රය හිමි පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය දැන ගැනීමට ජ්‍යෝතිර්වේදියෙකු වෙත නොපැමිණෙන බවයි. මේ කතාව ඇත්තකි. එමෙන්ම, බොහෝ විට කේන්ද්‍ර සටහන සහිත ලේඛණයක උපන් වේලාව සමඟ ස්ත්‍රී පුරුෂ භාවයද සටහන් කරන නිසා ජ්‍යෝතිර්වේදියෙකුට මෙය අනුමාන කරන්නට අවශ්‍යතාවයක්ද නැත.

කෙසේ වුවද, කොවූර්ගේ අභියෝගය මුලින්ම ප්‍රකාශයට පත් කරන්නට දශක කිහිපයකට පෙර කාලය දක්වාම ලංකාවේ ජ්‍යෝතිර්වේදියෙකුට එම කාලයේ ජීවත්ව සිටි අයෙකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සැලකිය යුතු තරම් නිවැරදිව අනුමාන කරන්නට පුළුවන්කම තිබුණේය. ජ්‍යෝතිර්වේදියෙකු වෙත පැමිණෙන සේවාදායකයෙකු එසේ පැමිණෙන්නේ කේන්ද්‍රහිමියාගේ ස්ත්‍රී-පුරුෂ භාවය දැනගන්නට නොවූවත්, එය නිවැරදිව පැවසීම මඟින් ජ්‍යෝතිර්වේදියෙකුට තමන් ප්‍රකාශ කරන අනෙකුත් අනාවැකි වල නිරවද්‍යතාවය පිළිබඳව සිය සේවාදායකයා තුළ විශ්වාසය තහවුරු කළ හැකිය.

අඩ සියවසකට පමණ පෙරත් ලංකාවේ බොහෝ ජ්‍යෝතිර්වේදීන්ට තිබුණු ඉහත හැකියාව අද වන විට නැති වී ඇත්තේ ඇයි?

වසර දහස් ගණනකට පෙරද, ඉර හඳ හා අනෙකුත් ආකාශ වස්තූන්ගේ චලනයන් ගැන හොඳ දැනීමක් පෙර අපර දෙදිග විද්‍යාර්ථීන් සතු විය. එහෙත්, ඒ දැනුමට සාපේක්ෂව ජීව විද්‍යාව පිළිබඳව තිබුණේ ඉතා අඩු මට්ටමක දැනුමකි. අළුත ඉපදෙන දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය තබා දරුවකු බිහිවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ඉතා මෑතක් වන තුරු පෙර අපර දෙදිගම තිබුණේ සීමිත දැනුමකි.

ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය පමණක් නොව, දෙමවුපියන්ගේ ලක්ෂණ දරුවන්ට ලැබීම, කාලයකට පෙර මියගිය පවුලේ වැඩිහිටියෙකුගේ ලක්ෂණ අළුත ඉපදෙන දරුවෙකුට ලැබීම මෙන්ම ඇතැම් දරුවන් උපතින්ම යම් රෝගාබාධ සහිතව බිහිවීම සඳහා හේතුවන කරුණු මිනිසුන් විසින් නිවැරදිව තේරුම් ගෙන සියවස් කිහිපයකය වඩා ගත වී නැත. මේ ඇතැම් දැනුම් තවමත් බහුතරයකගේ දැනුමක් බවට පත් වී නැත.

මිනිසාගේ ජීවී ක්‍රියාවලිය මිනිසුන් විසින් මෑතක් වන තුරුම නිවැරදි ලෙස අවබෝධ කරගෙන නොතිබුණත්, මේ කරුණු ගැන මිනිසාගේ කුතුහලය වසර දහස් ගණනක් තිස්සේම නොඅඩුව පැවතුණේය. ඒ නිසා, මේ නොදන්නා කරුණු ගැන පැහැදිලි කිරීම් කරමින් කලින් කලට ප්‍රවාද ඉදිරිපත් විය. ඒ ඇතැම් ප්‍රවාද කලින් කලට සමාජයේ පිළිගැනීමට ලක් විය. මෙසේ පිළිගැනුණු ප්‍රවාද වලින් ඇතැම් ඒවා පසුව ප්‍රතික්ෂේප විය. තවත් ඒවා වැඩි කාලයක් ප්‍රතික්ෂේප නොවී පැවතුණේය.

අළුත උපන් දරුවෙකුගේ ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වන ආකාරය උපන් වේලාව මත තීරණය වන බවට ප්‍රවාදයක් යම් අවස්ථාවක කිසිවෙකු අතින් ඉදිරිපත් වුණු අතර, මේ සංසිද්ධිය පැහැදිලි කළ හැකි වඩා හොඳ ප්‍රවාදයක් නොතිබුණු බැවින් එම ප්‍රවාදයට යම් පිළිගැනීමක් ලැබිණි.

පෙර ලිපියකින් විස්තර කළ පරිදි, කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය තීරණය වන්නේ ඔහු හෝ ඇය උපන් වේලාව ඇතුළත් වන ආසන්න වශයෙන් පැය දෙකක කාල පරාසය මතය. මේ කියන කාලයේදී, බොහෝ දෙනෙකුට කාලය අද මෙන් නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නොතිබුණත්, පැය දෙකක කාල වෙනසකට සමාජය සංවේදී විය. ඒ නිසා, පැය දෙකක කාලය තුළ, එකම ලග්නය හා ලග්න කේන්ද්‍රය සහිතව ගැහැණු හා පිරිමි දරුවන් ඉපදෙන බව බොහෝ දෙනෙකුට රහසක් නොවීය. එසේනම්, ගැහැණු පිරිමි උපත් තීරණය වීම ඊට වඩා කුඩා කාල පරාසයක් තුළ සිදුවන දෙයක් විය යුතුය.

පුද්ගලයෙකුගේ කේන්ද්‍ර සටහනක ලග්න කේන්ද්‍රයට අමතරව නවාංශක කේන්ද්‍රය නම් වූ තවත් සටහනක් තිබේ. මෙයින් කරන්නේ ආසන්න වශයෙන් පැය දෙකක් පමණ වන ලග්නයක කාලය තවත් කොටස් නවයකට බෙදීමයි. ඒ අනුව, නවාංශකයක් ගෙවීමට ගතවන කාලය ආසන්න වශයෙන් මිනිත්තු 13ක් පමණ වේ. ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කිසියම් අයෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රවාදය අනුව කිසියම් නවාංශකයක් ගෙවීමට ගතවන විනාඩි 13කට මඳක් වැඩි කාලය තුළ ඉපදෙන්නේ ගැහැණු හෝ පිරිමි දෙවර්ගයෙන් එක් වර්ගයකට අයත් දරුවන් පමණි.

ඉහත ප්‍රවාදය ඉදිරිපත් වන කාලයේදී මෙන්ම, බොහෝ දරු උපත් නිවෙස් වලම සිදුවුණු පසුගිය සියවසේ මුල් කාලය දක්වාත් රෝහල් වලින් පිටත සිදුවූ ලංකාවේ දරු උපත් සිදුවූ වේලාවන් හරියටම සටහන් කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකු වෙත යන අයෙකු ඉදිරිපත් කළේ ආසන්න වෙලාවක් මිස උපත සිදුවූ නිවැරදිම වෙලාව නොවේ. අද වුවත් අප බොහෝ විට වෙලාව සටහන් කරන්නේ මිනිත්තුවකට ආසන්නව මිස හරියටම තත්පරයට නොවේ. සියවසකට පෙර, ඔරලෝසු භාවිතා නොකළ ලංකාවේ බොහෝ නිවෙස් වල වෙලාව සටහන් වන්නට ඇත්තේ පැය භාගයකට පමණ ආසන්නව වන්නට පුළුවන.

ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කලකට පෙර පිළිගැනුණු ප්‍රවාදය අනුව ස්ත්‍රී නවාංශක හා පුරුෂ නවාංශක මාරුවෙන් මාරුවට ගෙවෙන බව බොහොමයක් ජ්‍යෝතිර්වේදීහු විශ්වාස කළහ. තමන් වෙත වේලාපත්කඩයක් (තාවකාලික කේන්ද්‍ර සටහනක්) සාදා ගැනීමට එන අයෙකු බොහෝ විට දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයද දැනුම් දුන් බැවින් මෙය පරීක්ෂා කිරීම අපහසු නොවීය. සේවාදායකයා දැනුම්දෙන වෙලාවට අදාළ නවාංශකය ඇතැම් විට (50%ක සම්භාවිතාවකින්) දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය සමඟ ගැලපුණේය. ඇතැම් විට එය එසේ නොවුණේය.

මේ කාලයේදී දරුවාගේ උපත සිදුවූ වේලාව ලෙස සේවාදායකයා දැනුම් දෙන වෙලාව හරියටම නිවැරදි නොවන බව පොදු දැනුමක් විය. ජ්‍යෝතිර්වේදියාගේ කාර්ය භාරයේ කොටසක් වූයේ මේ "වෙලාව සුද්ද කිරීමයි". තමන් පිළිගත් ප්‍රවාදය අනුව, දරුවාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ නිරීක්ෂණ උපයෝගී කරගනිමින්, දරුවාගේ ලිංගය සමඟ ගැලපෙන නවාංශකයක් දරුවාට ලැබෙන පරිදි මිනිත්තු හතකට නොවැඩි කාලයක් සේවාදායකයා විසින් දැනුම් දුන් වෙලාවට එකතු කරමින් හෝ අඩු කරමින් ජ්‍යෝතිර්වේදියා දරුවා ඉපැදුණු වෙලාව "හරියටම" හොයාගත්තේය. දරුවා අඩු වයසින් මිය නොගියේනම්, පසුව  ස්ථිර කේන්ද්‍ර ලේඛණයක් පුස්කොළයක ලිවුවේ මුලින් මෙසේ "සුද්ද කරනු ලැබූ" දරුවාගේ "නිවැරදි" වෙලාව උපයෝගී කර ගනිමිනි.

ඉහත පරිදි ජ්‍යෝතිර්වේදීන් බහුතරයක් කේන්ද්‍ර සටහන් හැදුවේ දරුවන්ගේ උපන් වේලාවන් "නිවැරදි කිරීමෙන්" පසුව නිසා, බොහෝ විට ගැහැණු දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ ස්ත්‍රී නවාංශකයක් තුළය. පිරිමි දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ පුරුෂ නවාංශකයක් තුළය. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකුට තමන් අතට ලැබෙන කේන්ද්‍ර සටහනක් පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය හරියටම වාගේ කියන්නට පුළුවන් විය.

ඉහත පරිදි, කලාතුරකින් හෝ උපන් වෙලාවක් හරියට සුද්ද කර නොතිබුණේනම් ස්ත්‍රී-පුරුෂ භාවය ගැන ජ්‍යෝතිර්වේදියාගේ අනාවැකිය වැරදුණු අතර, බොහෝ විට සේවාදායකයා එවිට කළේ වෙනත් ජ්‍යෝතිර්වේදියෙකු වෙත යාමයි. එහෙත්, දෙවැන්නාත් ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය කරන්නේ වැරදියටය. එවිට, වැරැද්ද ඇත්තේ ජ්‍යෝතිර්වේදියාගේ නොව කේන්ද්‍රයේ බව මේ පුද්ගලයා අවබෝධ කරගනී. ඒ අනුව, ජ්‍යෝතිර්වේදියෙකු හමු වී පසුව හෝ කේන්ද්‍රය හරියට හදා ගනී. ඉන්පසුව, නැවත ජ්‍යෝතිර්වේදියෙකු වෙත ගිය විට ස්ත්‍රී-පුරුෂ භාවය නොවරදී.

ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය සෑහෙන කාලයක් සමාජයේ පොදු දැනුමක් වී තිබුණේය. මේ පොදු දැනුම ආධිපත්‍යය උසුලන තාක් කල්, ඒ ප්‍රවාදය මත පදනම්ව තීරණද ගැනුණු නිසා ප්‍රවාදය "වැඩ කළේය".  එහෙත්, දරුවකු ඉපදෙන වෙලාව වෙනස් කර ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක හැකියාවක් නොතිබුණු නිසා, රජෙකුට වුවද මේ  දැනුම උපයෝගී කරගෙන  දුවෙකු වෙනුවට පුතෙකු ලබා ගැනීමට හැකියාවක් නොතිබුණේය.

කොවූර්ගේ අභියෝගය පිළිගත් අයෙකු වෙත ඉදිරිපත් කෙරුණු උපන් වේලාවන් ලබා ගත්තේ පසුගිය සියවසේ මුල භාගයේ හෝ ඊට පෙර ඉපදුණු පුද්ගලයින්ගේ කේන්ද්‍ර සටහන් වලින්නම්, කොවූර්ගේ රුපියල් ලක්ෂය අහිමි වන්නට වුවද කිසියම් ඉඩක් තිබුණේය!

කේන්ද්‍ර සටහන පරීක්ෂා කර පුද්ගලයෙකු ජීවත්ව සිටිනවාද යන්න පැවසීම එතරම්ම සරල නැතත්, එහි ග්‍රහ පිහිටීම් අනුව පුද්ගලයෙකු මේ වන විට ජීවත්ව සිටීමට ඉඩක් නොමැති බව ස්ථිරව කියන්නට ඇතැම් විට බැරිකමක් නැත. ඒ, ග්‍රහ පිහිටීමක් නැවත ඒ ආකාරයෙන්ම ඇති වීමට ගත වන කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි නිසාය.

මිනිසුන් හා සමාජය සම්බන්ධ අනාවැකි වල නිරවද්‍යතාවය කිසියම් සමාජයක මිනිසුන් හැසිරෙන ආකාරයට, පොදු දැනුමට හා සංස්කෘතියටද සාපේක්ෂය. බහුතරයක් විසින් නිදහස් වෙළඳපොළ ක්‍රමය පිළිබඳව විශ්වාසය තබන ඇමරිකාව වැනි රටක කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වන ඉල්ලුම හෝ එහි මිල ගැන පුරෝකථනය කළ හැකි තරම් පහසුවෙන් ලංකාවේදී එය කළ නොහැක්කේ ලංකාවේ බොහෝ දෙනෙකු අතාර්කික හා අහඹු තීරණ ගන්නා බැවිනි. (ඒ තීරණ ගන්නා අයට මේවා තාර්කික තීරණ ලෙස පෙනෙනවා විය හැකිය.) ඒ නිසා, ලංකාවේ පොලී අනුපාතික, විණිමය අනුපාතික ආදී සාර්ව ආර්ථික විචල්‍ය වල උච්ඡාවචනයන් සිදුවිය හැකි ආකාරය පිළිබඳව ඇත්තේ විශාල අවිනිශ්චිතතාවයකි.

මිනිසුන් බොහෝ දෙනෙකු කිසියම් විශ්වාසයක එලැඹ සිටින විට ඒ මත පදනම්ව ඇතැම් "අනාවැකි" කියන්නට පුළුවන. ලංකාවේ බොහෝ දෙනෙකු දරුවන්ට නම් තැබීමේදී, උපන් වෙලාව අනුව ශුභ අකුරු තෝරා ගනිති. මේ පුරුද්ද නිසා දරුවෙකුගේ නම පරීක්ෂා කිරීමෙන් පමණක් වුවත්, එම දරුවා ගැන ඇතැම් දේ දැනගන්නට පුළුවන. සේතික සේනිය වැනි නමක් ඇති දරුවෙකු පුවපුටුප නැකතේ ප්‍රථම පාදයෙන් ඉපදී තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඒ ඔත්තුව ඔස්සේ තවත් දේවල් සොයාගන්නට පුළුවන. එහෙත්, දරුවෙකුට නම තබා ඇත්තේ උපන් වෙලාව නොසලකමින්නම් එවැන්නක් කිරීමේ හැකියාවක් නැත.

මේ වන විට ආසන්න මිනිත්තුවට වෙලාව දැනගැනීම සරල කරුණකි. ඒ නිසා දරුවෙකු උපන් වෙලාව නිවැරදි නොවන බව සිය සේවාදායකයාට තහවුරු කිරීමට ජ්‍යෝතිර්වේදියෙකුට නුපුළුවන. ඒ නිසා, ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය තවදුරටත් වැඩ නොකරන අතර කේන්ද්‍ර පිටපතක් පරීක්ෂා කර ස්ත්‍රී-පුරුෂ භාවය නිවැරදි ලෙස පැවසීමේ හැකියාවක් දැන් ජ්‍යෝතිර්වේදියෙකුට නැත.

කෙසේවුවද, ඇතැම් මිනිසුන් ඇතැම් දේ විශ්වාස කිරීම මතම ඇතැම් සිදුවීම් ගැන නිවැරදි අනාවැකි පළ කරන්නට පුළුවන. යාපනය සරසවියේ මානව හිමිකම් සඳහා වන සරසවි ඇදුරු සංසදයේ නිරීක්ෂණ අනුව, එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාන්විත අරඹා ඇත්තේ 5, 14, 23 වැනි එකතුව පහක් වන දින වලදීය. රජයේ ආරක්ෂක හමුදා විසින් එසේ කර ඇත්තේ 8, 17, 26 වැනි එකතුව අටක් වන දින වලදීය. ඒ නිසා, උතුරේ සාමාන්‍ය ජනතාව එවැනි දින වල වඩා සුපරීක්ෂාකාරීව සිට "මාරක වලින් බේරී" තිබේ.


(Image: www.123rf.com/)

17 comments:

  1. ජෝතිෂ්‍යය අංක විද්‍යාත්මක පදනමක් ඇතුව නිවැරදිව කළ හැකිව තිබුණත්, සියල්ල මුදලට යට වන නිසා ජෝතිෂ්‍යයද ඊට යට වූවාට කරන්නට දෙයක් නැත.

    ඒ අතරම ජෝතිෂ්‍යය සහ බෞද්ධාගම එකට පටලවන පැවිද්දන් නිසා ආගමටත් ධර්මයටත් වූ බලපෑම දුක්ඛිතය.

    ReplyDelete
    Replies
    1. ඓතිහාසිකව ජ්‍යෝතිෂයේ ශාස්ත්‍රීය අංශය වැඩි දියුණු වුණේ ඒ වෙනුවෙන් විශාල කාලයක් මිඩංගු කළ විද්‍යාර්ථින්ට අනාවැකි කීම මඟින් තමන්ගේ වියදම සොයාගත හැකි වූ බැවිනි. ග්‍රහ පිහිටීම් නිවැරදිව දැන ගත හැකි ගණනය කිරීම් තේරුම් ගැනීමට අද වුවද විශාල කාලයක් මිඩංගු කළ යුතුය.

      Delete
  2. තාරකා කිසි දෙයක් කීවේ නැත
    නිහඞව දිලිසුනා පමණි
    අනාගතය ගැන කීමට
    තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
    එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
    අප දුටුවේ විශ්වය හරහා එන
    එහි ආලෝක ධාරව පමණි
    ශුන්‍ය වූ ස්කන්ධයක
    අතීත පිහිටීම සලකා
    අනාගතය ගැන කියන
    පේන විශ්වාස කරන
    බයින් හැකිලී
    ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා
    මරු සිටින දිශාව දෙස නොබලා ,
    රාහු කාලය නිසා
    අත පය බැඳ
    හිස් නුබ කුස් දෙස බලා සිටියි.

    ReplyDelete
    Replies
    1. //තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
      එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
      අප දුටුවේ විශ්වය හරහා එන
      එහි ආලෝක ධාරව පමණි//
      මෙය අප දකින හැම දෙයකටම අදාළයි. ඇතැම් දේවල් විනාශ වී "බොහෝ කල් ගතවී" නොතිබීම පමණයි වෙනස.

      Delete
  3. උපන් වේලාව සහ ස්ථානය දුන්නම ස්ත්‍රී පුරුෂ භාවය ඔය කියන නිරවද්‍යතාවයෙන් කියන්න පුළුවන් අය ඉන්නව. හොඳට අයිටී දන්න, පුලිදෙ එකේ වැඩකරන අයට පුළුවන් ඩේටාබේස් එකෙන් බලල කියන්න :-)

    ReplyDelete
    Replies
    1. ජාතික හැඳුනුම්පත් අංකය දන්නවනම්, අයිටී දැනගන්නවත්, ඩේටාබේස් එක බලන්නවත් ඕනෑ නැහැ. ජාතික හැඳුනුම්පත් අංකයේ තුන්වන ඩිජිට් එක 0-3 අතරනම් පිරිමි. 5-8 අතරනම් ගැහැණු.

      Delete
  4. නිවැරදිද කියා හරියටම නොදන්නා උපන් වෙලාව එපා, NID එක විතරක් දුන්නොත් මම කියන්නම්,

    ReplyDelete
    Replies
    1. ජාතික හැඳුනුම්පත් අංකය දන්නවනම්, වයස, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය සහ පුරවැසියෙකු වුනේ උපතින්ද ලියාපදිංචියෙන්ද කියන කරුණු ක්ෂණිකව හා පහසුවෙන් දැනගත හැකියි.

      Delete
    2. " පුරවැසියෙකු වුනේ උපතින්ද ලියාපදිංචියෙන්ද " meka hoyanne kohomada

      Delete
    3. අගට යෙදෙන අකුරෙන්

      Delete
  5. “The stars have a strong effect on our daily shopping lives. Hollywood is astrology’s only credible conspiracy.”
    ― Bauvard


    “I don't differentiate much, except in degree, between people who believe in religion from those who believe in astrology, magic or the supernatural.”
    ― Andy Rooney

    ReplyDelete
    Replies
    1. I would add those who "believe in science" (vs. those who understand the method of science) to the list. The difference is, again, in degree.

      Delete
  6. ජ්‍යෝතිශය ගැන විද්‍යාත්මක පදනමකින් ඔබ ලියන මේ ලිපි හරිම වටිනවා.
    ජ්‍යෝතිශයේ පදනම වටහා ගත්විට ඒක මොනතරම් විශ්වාස ජනකද කියන එක පැහැදිලි වෙනවා.

    ReplyDelete
  7. ඉතා හොඳ විග්‍රහයක්....

    ReplyDelete
  8. අද ජ්‍යෝතිෂයටත් පාරම්පරික වෙදකමට වෙච්ච දේම වෙලා,
    ඕකට අර මැරුණු දීපාල් සිලවා කිව්වේ
    "නිස්ස්සෝ සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩ දෙනවා යමරෙට" කියල

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: