Sunday, April 16, 2017

අවුරුදු නැකැත් හා මීතොටමුල්ලේ ඛේදවාචකය


අවුරුද්ද දවසේ, මේෂ සංක්‍රාන්තිය සිදු වීමට පෙර, මම මගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ලෝක ගෝලයේ හරියටම අනිත් පැත්තේ පිහිටි ඇමරිකාවේ සිට ලංකාවේ සිටින්නෙකුට කතා කිරීමේදී දෙපාර්ශ්වයටම අපහසුවක් නොවන පරිදි මෙය කිරීමට හැක්කේ උදේ හා හැන්දෑවේ සීමිත කාල පරාසයන් දෙකක් තුළ පමණි. එදින මා සේවය සඳහා නිවසින් බැහැර යායුතු දිනයක් වූ අතර රාත්‍රී කාලයේද නවය පසුවන තුරු කාලසටහන පිරී තිබුණු බැවින් දුරකථන ඇමතුම සඳහා වෙන් කළ හැකි වූයේ උදය කාලයේ සුළු වේලාවක් පමණි.

මා ලංකාවට කතා කරන විට මේෂ සංක්‍රාන්තිය සිදුවී නොතිබුණා පමණක් නොව, නොනගතයද ඇරැඹී නොතිබුණේය. මෙවර අවුරුදු නැකැත් සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් පැවති බව මම ඒ වන විට සමාජ ජාල හරහා දැනුවත්ව සිටියෙමි. පෞද්ගලිකව මට වැදගත් කරුණක් නොවූවත්, මගේ පියා මා දන්නා කාලයේ සිට අවුරුදු නැකැත් වැරැද්දුවේ නැති අයෙකු වූ නිසා මම ඔහුගෙන් මේ අවුරුද්දේ නැකැත් වේලාවන් ගැන විමසුවෙමි.

"මේ පාර ආණ්ඩුව මහා අවුලක් කරගෙනනේ තියෙන්නේ. ලොකු පුතා පොඩ්ඩක් දන්න නිසා කියන්නේ. අටේ චන්ද්‍රයා නීච කරල නැකත හදල තියෙන්නේ. මෙහෙම නැකැත් හදන්නේ මිනී පෙට්ටි උස්සන්න."

ජීවිතයේ නවවන දශකය ගෙවන මගේ පියා සමඟ මෙවැනි දේවල් ගැන වාදකර මා දැන් ඔහුගේ හිත රිදවන්නේ නැත. "දැන්" කියා කීවේ බොහෝ කාලයක් එවැනි දේ කර ඇති බැවිනි.

මා කුඩා කාලයේ සිටම අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර හරියටම වෙලාවට සිදු කෙරුණේය. මෙය අද දක්වාම එසේම සිදුවේ. මේ කියන්නේ මගේ දෙමවුපියන් ජීවත්වන නිවස ගැන මිස දැන් මා ජීවත්වන නිවස ගැන නොවේ.

සාමාන්‍යයෙන් අපේ ජීවිත වලට කුඩා කාලයේදී වුවත් වැඩිපුර ඇඟිලි නොගැසූ මගේ පියා මේ චාරිත්‍ර අනුගමනය කළ යුතු බවට අපට නීති පනවා නොතිබුණත්, අඩු වශයෙන් අවුරුද්ද දවසේවත් නැකැත් පිළිපදිනු දැකීමෙන් සතුටු විය. මේ කාලයේදී අපට ඇසුරු කිරීමට ලැබුණු අපේ අසල්වැසි හෝ ඥාති නිවෙස් බොහොමයක අවුරුදු "සැමරීමට" මිස නැකැත් පිළිපැදීමට ප්‍රධාන තැනක් නොලැබුණේය. ඒ අතින්, මත්පැන් සාද ආදිය පවත්වමින් අවුරුද්ද සැමරුවේ නැති අපේ ගෙදර තරමක් වෙනස් විය.

අපේ ගෙදර තිබුණු මේ සුවිශේෂී තත්ත්වයට අමතරව, හැමදාමත් පොදු තැනක් වූ, තවමත් එසේම වන අපේ ගෙදර අවුරුද්ද දවසේද පොදු තැනක්ම විය. අපේ වෙනත් ඥාතීන් හෝ පවුලේ මිතුරන් කවුරු හෝ කිහිප දෙනෙකු සෑම අවුරුදු කාලයකම වාගේ අපේ නිවසේ ගත කළේය. අවුරුදු නැකැත් වෙලාවට මේ ටීම් එකට තවත් අසල්වැසියෝ කිහිප දෙනෙක්ද එකතු වූහ.

නොනගතය වෙලාවේ ආහාර ගැනීම අපට තහනම් කර තිබුණේ නැත. එහෙත්, මේ වෙලාවේ අපට වෙනදා මෙන් පිඟානට බෙදා බත් එකක් ලැබුණේ නැත. ගෙදර කුස්සියෙන් කාගෙවත් අතින් කෑම නොලැබුණත් අවශ්‍යනම් මේසය මත වූ රසකැවිල්ලක් හෝ කෙසෙල් ගෙඩියක් භුක්ති විඳීමට අපට බාධාවක් තිබුණේ නැත.

නොනගතය ලැබීමට නියමිතව තිබුණේ කෑම ගන්නා වෙලාවකට ආසන්නවනම් අපේ බත් පිඟන් වෙනදාට වඩා කලින්ම මේසයට ආවේය. මෙවැනි අවස්ථා වල මම බොහෝ විට හිතාමතාම ආහාර ගැනීම ප්‍රමාද කළෙමි.

"තාම කෑවේ නෑ නේද? කාල හිටියනම් හරිනේ?"

මගේ කාමරයට ඔළුව දැමූ දෙමවුපියන්ගෙන් කෙනෙකු එසේ කීවේ නොනගතය ලබන්නට ආසන්න බව කෙළින්ම ප්‍රකාශ නොකරමිනි. ඒ, එසේ කීවේනම් ලැබිය හැකිව තිබුණු ප්‍රතිචාරය දැනගෙන සිටි නිසාය. එහෙත්, මේ එන්නේ මොකාටදැයි දැන සිටි බැවින් මේ කියන කාලයේදී මා බඩගින්න තිබුණත් එය ඉවසාගෙන නොනගතය ලබන තුරුම බලා සිටියේ නොනගතය වෙලාවේ ආහාර අනුභව කොට සම්මතය බිඳීමෙන් සතුටක් ලැබීමටය.

නොනගතය තුළ ඒ අයුරින් ක්‍රියා කළත්, අඩුම වශයෙන් ගැටවර වියට පෙර කාලයේදී, පොතක පිටු කිහිපයක් කියවීමෙන් වැඩ අල්ලා පියාගේ අතින් ලැබෙන තල, හකුරු, ගිතෙල් වැනි මොනවා හෝ මිශ්‍ර කිරිබත් ගුලියක් කා දෙමවුපියන්ට වැඳීමනම් නොකර සිටි දෙයක් නොවේ. ඒ, මෙසේ වැඳුම් ලබන වැඩිහිටියන් සියළු දෙනාම කිසියම් මුදලක් අතේ තැබූ නිසාය. මේ මුදල් රැගෙන බොහෝ විට කළේ, පැරදී මුදල් අවසන් වන තුරු කැට ගැසීමයි. ඇතැම් අවුරුදු වල කලින්ම මුදල් ඉවර කරගෙන ගෙදර පැමිණ බුම්මාගෙන සිටින විට තවත් කීයක් හෝ අත මිට මෙලවුණේය.

මෙයට අමතරව පවුලේ වැඩිමලා වූ මට අපේම පවුලේ අනෙක් අයත්, මගේ පියාගේ අතින් අවුරුදු බත් ගුලිය කන්නට බලාසිටි ඥාති, හිතමිත්‍ර, අසල්වැසි කණ්ඩායමක් අතරින් පෝලිමේ මුල් තැන ලැබීමේද පොඩි ගතියක් තිබුණේය.

සම්මතය කඩා වැඩිහිටියන්ගේ හිත රිදවීමේ අරමුණින් හිතාමතා නැකැත් වැරැද්දීම ආසන්න වශයෙන් පාසැල් කාලය අවසන් වන තුරු කළත්, ඉන්පසුව මා එසේ කර නැත. නැකැත් වෙලාවට සිය දරුවන් සියළු දෙනාටම බත් කටක් කවන්නට ලැබීමෙන් මගේ පියා විශාල ලෙස සතුටු වූ අතර ඒ සතුට බිඳින්නට මට අවශ්‍ය නොවීය. මට පෙර විවාපත් වූ මගේ බාල සොයුරා ඇතැම් වසර වල අවුරුදු දවස ඔහුගේ බිරිඳගේ මහගෙදර ගත කිරීම ගැන වුවද මගේ පියා පහන් සිතකින් පසු නොවුණේය. ඒ නිසා, හැකි හැම විටකම අවුරුදු දවස මගේ දෙමවුපියන්ගේ නිවසේ ගතකිරීමට මම උත්සාහ කළෙමි.

රටින් බැහැරව සිටියදීද, හැකි හැම විටෙකම අළුත් අවුරුද්දේ වැඩ අල්ලන වෙලාවට ගෙදරට දුරකථන ඇමතුමක් දීමට මම උත්සාහයක් දැරුවෙමි. ඒ, ඒ වෙලාවේ ලංකාවේ අපේ ගෙදර සිදුවන දේ සිතින් මවාගෙන නොස්ටැල්ජික් වීමට නොවේ. එසේ කිරීමෙන් මගේ මුල් පවුලේ සමීපතමයින් බොහෝ දෙනෙකු සතුටු වූ බැවිනි.

බොහෝ විට මේ දුරකථන ඇමතුම දිගු එකක් වූයේ, අපේම පවුලේ අයට අමතරව ඒ අවුරුද්දේ මගේ මහගෙදර අවුරුදු නැකැත් ඇල්ලූ, සාමාන්‍යයෙන් මා දුරකථනයෙන් කතා නොකරන, වෙනත් ඥාතීන්, හිතමිතුරන් කිහිප දෙනෙකු සමඟද කථා කරන්නට මේ අවස්ථාවේදී ඉඩ සැලසෙන බැවිණි. කෙසේ වුවත්, මේ අවුරුද්දේ අවුරුදු නැකැත් යෙදී තිබුණු ආකාරය හා ඒ කාලය තුළ මා ඉතා කාර්ය බහුලව සිටීම නිසා මෙය කරන්නට ඉඩක් නොතිබුණේය. මෙවර අවුරුදු නැකැත් වලට කලින්ම ගෙදරට කතා කළේ එබැවිනි.

පියා සමඟ කළ කතාවෙන් පැහැදිලි වූ පරිදි ඔහු මෙවර ආණ්ඩුවේ නැකැත් වලට වැඩ ඇල්ලීමට සූදානම්ව නොසිටියේය. මට තේරුණු විදිහට ඔහු වැඩ අල්ලන්නට ලෑස්ති වී සිටියේ කලක් ලේක්හවුස් ආයතනය විසින් පළ කරන
ජ්‍යෝතිෂ පුවත්පත්කද ප්‍රධාන කතෘ වරයාව සිටි පියසේන රතුවිතාන විසින් සකස් කළ නැකැත් වලටය. අවුරුදු නැකැත් සම්බන්ධව මගේ පියා මට කියූ කරුණු වලට බොහෝ සමාන කරුණු සතියකට පෙර පියසේන රතුවිතාන මහතා විසින් දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබුණේය.

අද ඉරිදා මගේ නිවාඩු දිනයක් බැවින් හා මෙවර අවුරුදු නැකැත් වේලාවේ ගෙදරට කතාකරන්නටද නොහැකි වූ බැවින් ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තෙමි. මේ වේලාවේ මගේද හදවත දැඩි ලෙස සසල කළ පුවතක් වූ මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන මගේ පියා අදහස් පළ කළේ අවුරුදු නැකැත් වල පැවති අවුල ඒ සමඟ සම්බන්ධ කරමිනි. මා ඔහු සමඟ තර්ක කරන්නට නොගිය බව කිවයුතු නොවේ.

කෙසේවුවද, මීතොටමුල්ලේ ඛේදවාචකය ආණ්ඩුවේ අවුරුදු නැකැත් හැදිල්ලෙන් සම්පූර්ණයෙන් පරිබාහිර සිදුවීමක් නොවේ. මේ දෙක අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබේ.

නැකැත් යනු ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත වල අවියෝජනීය කොටසකි. ඒ අයට නැකැත් කියන්නේ මොනවාද කියා මුල සිට කියා දෙන්නට අවශ්‍ය නැත. එහෙත්, මා කුඩා කාලයේදී මෙන්ම දැනුත් නැකැත් සතපහකට ගණන් නොගන්නා විශාල පිරිසක්ද ලංකාවේ සිටිති. මේ අය, වෙනුවෙන් මුලින්ම මේ නැකැත් යන වචනය පිළිබඳ ඉතා කෙටි පැහැදිලි කිරීමක් කළ යුතුය.

නැකැත් යන සිංහල වචනයෙන් මෙන්ම නක්ෂත්‍ර යන සංස්කෘත වචනයෙන්ද අඩුම වශයෙන් එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් තේරුම් තුනක් හෝ හතරක් මතු කරයි. නක්ෂත්‍ර යන වචනය සම්භාව්‍ය සංස්කෘතය බිහිවන්නට පෙර එහි මුල් ස්වරූපය වූ වෛදික සංස්කෘත භාෂාවේද භාවිතා වී ඇති වචනයකි. ලිඛිත භාෂාවක් නොවූ, සම්භාව්‍ය සංස්කෘත භාෂාවේ මෙන් දැඩි ව්‍යාකරණ නීති නොතිබුණු, වෛදික සංස්කෘත භාෂාව භාවිතා වුණේ බ්‍රාහ්මී අක්ෂර මාලාව දියුණු වීමටද බොහෝ කලකට පෙරය. මේ භාෂාව නැගෙනහිර ඉරානීය භාෂා ප්‍රභේදයට අයත් ඉතා පැරණි මළ භාෂාවක් වන අවෙස්තා භාෂාවෙන් බිඳී ආවකි. ශරතුෂ්ත්‍ර ආගමික ගාථා ලියා ඇත්තේ මේ අවෙස්තා භාෂාවෙනි.

නක්ෂත්‍ර යන වචනයේ පළමු අදහස තාරකාව යන්නයි. ජ්‍යෝතිෂයේදී තාරකා අහසේ ස්ථිර තැන් වල පිහිටා ඇති සේ සලකා එම තාරකා වලට සාපේක්ෂව ඉර, හඳ හා ග්‍රහයින්ගේ පිහිටීම් හඳුනා ගැනේ. "න
ක්‍ෂරති න සරති ඉති ක්‍ෂත්‍රඃ"  (न क्षरति न सरति इति नक्षत्रः) ලෙස විස්තර කෙරෙන පරිදි (අනෙකුත් තාරකා වලට සාපේක්ෂව) චලනය නොවන්නේද, (දීර්ඝ කාලයක්) ආලෝකය නැති වී නොයා ස්ථිරව පවතින්නේද නක්ෂත්‍ර නම් වේ. මේ අර්ථය අනුව, අහසේ පෙනෙන සියළුම තාරකා නක්ෂත්‍ර නමින් හැඳින්විය හැකිය. නැකැත් යන සිංහල වචනය වර්තමානයේදී මේ මුල් අර්ථයෙන් නොයෙදේ.

දෙවන අර්ථය අනුව මේ වචන අහසේ හඳුනාගත් සුවිශේෂී තාරකා හෝ තාරකා රාශි විසි හතක් වෙනුවෙන් භාවිතා වේ. මේ තාරකා වල සිංහල නම් එකවර පෙනෙන්නට තිබෙන අරුතින් තේරුම් ගැනීම අපහසු වුවත් ඒවායේ මුල් සංස්කෘත නම් වෛදික සාහිත්‍යය සමඟ මනාව ගැලපේ. 


ඇතැම් වචන අදාළ තාරකා පන්තියේ හැඩයට සම්බන්ධය. උදාහරණයක් ලෙස විසා යන නැකතේ නමත්, වෙසක් යන මාසයේ නමත් දෙකම හැදී ඇත්තේ විශාඛ යන වචනය මුල් වීමෙනි. විශාඛ යන්නෙන් දහස් වන්නේ ගසක අතු වලින් බෙදුණු රිකිල්ලකි (ශාඛ → විශාඛ). අදාළ තාරකා පන්තියේ මේ හැඩය අදත් හඳුනාගන්නට පුළුවන.

තෙවනුව, රාශි චක්‍රය ලෙස අපට දැකිය හැකි අහස කොටස් 12කට බෙදා ඇති පරිදිම නක්ෂත්‍ර හෝ නැකැත් ලෙස හඳුන්වන කොටස් 27කටද බෙදා තිබේ. මේ නැකැත් හා ලග්න අතර ඇති සම්බන්ධයද, නැකැත් සංකල්පය විකාශනය වූ ආකාරයද දීර්ඝ ලෙස විස්තර කළ යුතු බැවින් මා එය දැන් කරන්නේ නැත. මේ තෙවන අර්ථදැක්වීම අනුව නක්ෂත්‍ර හෝ නැකැත් යනු කාලය මනින ඒකකයකි.

අවුරුදු නැකැත් ගැන කතා කරන විට අදහස් කරන අර්ථය ඉහත අරුත් තුනටම වඩා වෙනස්ය. මෙයින් අදහස් කරන්නේ කිසියම් කටයුත්තක නිරතවීම සඳහා ශුභ මුහුර්ථයක් යන්නයි.

මේෂ සංක්‍රාන්තිය යනු නිශ්චිත වෙලාවක සිදුවන භෞතික සිදුවීමකි. ඒ නිසා, ගණනය කිරීමේ වැරැද්දක් නැත්නම් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතු නොවේ. මේ අයුරින්ම, කිසියම් පුද්ගලයෙකුගේ කේන්ද්‍රයේ ඇති බොහෝ තොරතුරු පදනම් වන්නේද නිශ්චිත භෞතික කරුණු මත නිසා කේන්ද්‍ර සටහනක් සැදීම ජ්‍යෝතිෂය විශ්වාස කිරීමට හෝ නොකිරීමට සම්බන්ධයක් නැති තාක්ෂණික කටයුත්තකි. එය පරිගණ
වැඩසටහනක් යොදා ගනිමින් ඉතා පහසුවෙන් කළ හැකිය.

එහෙත්, ශුභ මුහුර්ත සෑදීම යනු භෞතික සිදුවීම් වන ග්‍රහ චලන මත පාදක වුවත්, ඉහත ආකාරයේ තාක්ෂණික කටයුත්තක් නොව විශ්වාස මත පදනම් වන්නකි. නැකැත් හැදීමේ ක්‍රමවේදය ජ්‍යෝතිෂ සිද්ධාන්ත මත පදනම් වූවත් එම සිද්ධාන්ත වල නිරවද්‍යතාවය කිසිවෙකු විසින් පර්යේෂණාත්මකව තහවුරු කර නොමැත. ඒ නිසා ඒ සිද්ධාන්ත පිළිගන්නා අය එසේ කිරීමේ පදනම වන්නේ මේ සිද්ධාන්ත දීර්ඝ කාලයක් තිස්සේ යොදාගෙන තිබීම හා පැරණි පොත් වල සටහන්ව තිබීමයි.

ජ්‍යෝතිෂයේ  තාරකා විද්‍යාත්මක කොටස බටහිර විද්‍යාව සමඟ ගැලපෙනවා පමණක් නොව බටහිර විද්‍යාව දියුණු වන විට ඒ සමඟ වෙනස් වේ. එසේ ගතික ලෙස වෙනස් නොවන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත සමඟ සම්බන්ධ කොටස පදනම් වන්නේ සම්ප්‍රදායික දැනුම් මත නිසා විවිධ ගුරුකුල අතර පොදුවේ එකඟ වන කරුණු මෙන්ම මතභේදද තිබේ.

සිංහල අවුරුදු උත්සවය දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ පැවැත්වී ඇති උත්සවයක් වුවත්, ඓතිහාසිකව මේ උත්සවය පැවැත්වී ඇත්තේ එය අද පැවැත්වෙන ආකාරයෙන්ම නොවේ. අවුරුදු උත්සවයට සමගාමීව සිදුවී ඇති එක් වැදගත් දෙයක් වන්නේ චන්ද්‍ර දින දර්ශනය හා සූර්ය දින දර්ශනය අතර රිද්මය පවත්වා ගැනීමයි (synchronize). මේ ගැනද වැඩි විස්තර බොහෝ ලිවිය යුතු වුවත් දැනට නොලියමි. 


සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ පළමුවෙන්ම ඇත්තේ අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සඳ බැලීම හා අභිනව සූර්ය වර්ෂය සඳහා සඳ බැලීමයි. දිවා රාත්‍රී වෙනස නිසා දවස වෙනස් වීමත්, හඳේ රටාව අනුව මාසය වෙනස් වීමත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකි වුවත් දැන් මෙන් අයිපෑඩ් තබා මුද්‍රිත දින දර්ශන හෝ නොතිබුණු කාලයේ අවුරුද්ද මාරුවීම ඒ තරම් පහසුවෙන් දැන ගත නොහැකිය. මාසයක් පුරා පැවැත්වුණු සිංහල අවුරුදු උත්සවය හේතුවෙන් අවුරුද්දක් ගත වුනු බව පහසුවෙන් මතකයේ රඳවා ගත හැකි විය.

ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට පෙර අපරදිග රටවලද දින දර්ශනය දේශපාලනික කරුණක් වූ අතර අවුරුද්දක් ගෙවුණු බව හරියටම දැන ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට ක්‍රමයක් නොතිබුණේය. මෙහි වාසිය ගත් පාලකයෝ දින දර්ශනය ගණනය කළ පූජකයින්ට සන්තෝෂම් දී තමන්ගේ අභිමතය පරිදි අවුරුද්දේ දිග අඩු වැඩි කළහ. ජුලියන් කැලැන්ඩරය හඳුන්වාදීමට පෙර බටහිර දින දර්ශන වල තිබුණේ මාස දහයක් පමණි. ඉන්පසුව එළඹුණු මාස දෙකක පමණ දීර්ඝ ශීත කාලයට නමක් තිබුණේ නැත. පෙරදිග දින දර්ශන වල ඒ තරම්ම අවුලක් නොතිබුණත් ඒවායේද ප්‍රශ්න තිබුණේය. ඒ කොටසද පසුවට තබමු.

මාසයක් පුරා පැවැත්වුණු අවුරුදු සැමරීම දැන් දිනකට හෝ දෙකකට කෙටි වී තිබේ. මේ සමඟම ඒ දින දෙක තුළ සිදු කරන කටයුතු වලට වැඩි වැදගත්කමක් ලැබී ඇත. නව සඳ බැලීම, රැකියා සඳහා පිටත් වීම වැනි දේ සඳහා සුබ නැකැත් අවුරුදු නැකැත් සීට්ටුවේ ඇතත් ඒවා භාවිතා කරන අය සිටින්නේද යන්න සැකයකි.

අවුරුදු දහස් ගණනක් පුරා ලංකාවේ සිංහල අවුරුදු උත්සවය සමරන්නට ඇතත් අද මෙන් රටම එක නැකතකට වැඩ ඇල්ලීමේ සිරිතක් ඉතිහාසයේ තිබුණේ නැත. එය දේශපාලනික හේතු මත මෑතකදී එකතු වූ දෙයකි. ඓතිහාසිකව මෙය අද මෙන් රජය විසින් කරන මධ්‍යගත කටයුත්තක් නොව ගම් මට්ටමින් විමධ්‍යගත ලෙස සිදුවූ කටයුත්තක් විය. කුල ක්‍රමය මත සංවිධානය වී සිටි ගම් වල සිටි නැකතියෝ අවුරුදු මාසය ඇරඹෙන්නට පෙර ගමේ ගෙවල් වලට නැකැත් සීට්ටුව බෙදා ගෙන ගියේය. එහි හිලවුවට ඔහුගේ මල්ලට වී සේරු කිහිපයක් වැටුණේය.

කේන්ද්‍රය යනු නිශ්චිත මොහොතක් හා නිශ්චිත ස්ථානයක් අනන්‍ය ලෙස හඳුනාගැනීමට උපකාරී වන සටහනකි. ඒ නිසා ඒ මත පදනම්ව හදන නැකැත්ද, එකම සිද්ධාන්ත අනුගමනය කළත් රටක හැම තැනකටම සමාන වන්නේ නැත. ලංකාව වැනි රටක මේ වෙනස්කම් විශාල නොවුණත්, උතුරේ හා දකුණේ ඉර පායන වෙලාවල් හරියටම සමාන නැත. ගමේ නැකතියා නව සඳ බැලිය යුතු දවස ඇතුළු නැකැත් හැදුවේ මේ කරුණු සැලකිල්ලට ගැනීමෙනි. ඒ නිසා එකම දින රටේ සියල්ලන්ටම නව සඳ බලන්නට නොහැකි වීම වැනි දේ ප්‍රශ්නයක් වුනේ නැත.

1854 හෝ ආසන්න වසරකදී ඈපා පංචාංග ලිත මුද්‍රණය කිරීමට පටන් ගැනීමත්, පසුව ඈපා බිත්ති ලිත මුද්‍රණය කිරීමට පටන් ගැනීමත් සමඟ අවුරුදු නැකැත් සම්බන්ධව කිසියම් ඒකාධිකාරයක් ඇති වෙන්නට පටන් ගත්තත් වසර පණහකට හැටකට පෙර කාලයේත් ඇතැම් ගම්වල නැකැත් සීට්ටු බෙදා හැරුණේය. 1975 පමණ කාලයේදී දෛවය, ශ්‍රීධර ආදී වෙනත් පංචාංග ලිත් කරලියට ආවත් ඈපා ලිතට අවුරුදු නැකැත් සම්බන්ධව වූ ඒකාධිකාරිය නැති වුණේ නැත. රජයේ ගුවන් විදුලියේ ඒකාධිකාරය හරහා ගම්වල පැවති විමධ්‍යගත නැකැත් සීට්ටු ක්‍රමය නැත්තටම නැති වී ගියේය. කෙසේ වුවද, 1980 දශකයේ පමණ සිට වෙනත් පංචාංග ලිත් ඈපා ලිතට තරඟයක් දෙන්නට පටන්ගත්තේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ කිසියම් වසරක අවුරුදු නැකැත් සම්බන්ධව ලංකාවේ විශාල පිල් බෙදීමක් ඇති වුණේය. මේ අවුරුද්දේ ප්‍රධාන පංචාංග ලිත් දෙකකින් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කළ අතර කණ්ඩායම් දෙක අතර විශාල විවාදයක් ඇති විය. පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නොතිබුණු මේ යුගයේ අවුරුදු නැකැත් ජනගත කිරීමේ ඒකාධිකාරය හිමිව තිබූ රජයේ ගුවන් විදුලිය හා රූපවාහිණියද මේ වෙලාවේදී ප්‍රශ්නයකට මුහුණ පෑවා වන්නට පුළුවන.

දේශපාලනඥයින් බලා සිටින්නේ මේ ජාතියේ ප්‍රශ්නයක් එන තුරුය. ලේසියෙන් ගොඩ දැමිය හැකි මේ වගේ ප්‍රශ්නයක් අල්ලාගත් විට සැබෑ ප්‍රශ්න ගණනාවක් අමතක කර තමන් මහා ලොකු සේවයක් කරන බව පහසුවෙන් රටට ඒත්තු ගන්වන්නට පුළුවන. මේ කාලයේ සංස්කෘතික ඇමතිවරයා වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර විසින් ඒ අනුව රාජ්‍ය නැකැත් කමිටුවක් පිහිටුවා අවුරුදු නැකැත් හැදීමේ කටයුත්ත බදු ගෙවන ජනතාවගේ මුදලින් සිදුකරන රජයේ කටයුත්තක් බවට පත් කළේය. අද දක්වාම ඒ තත්ත්වය නොවෙනස්ව පවතී.

ලොකු බණ්ඩාර ඇමතිවරයාගේ මුල් අකුරු ඒ දවස්වල ඇතැම් අය කියෙවුවේ "විජ්ජාවෙන් ජනතාව මුලාකරන" යනුවෙනි. ඔහුට පෞද්ගලිකව කෙසේවුවත් පොදුවේ ලංකාවේ මෙන්ම වෙනත් රටවලද බොහෝ දේශපාලනඥයින්ට මේ යෙදුම ගැලපේ. රටේ වෙනත් මිනිසුන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට හැකියාවක් නැති බවත්, ඔවුන්ට හොඳම දේ තෝරා දෙන්නට දන්නේ තමන් බවත් ඔවුහු සිතති. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය නඩත්තු කළ යුතු බවද ඔවුහු සිතති. දේශපාලනඥයින් නොවන බොහෝ දෙනෙක්ද මේ අයුරින්ම සිතමින් තමන්ට තනිව හෝ සාමූහිකව කරගත හැකි දේ වෙනත් අය කර දෙන තුරු බලා සිටින නිසා එහි මිලද එය කර දෙන දේශපාලනඥයින්ට ගෙවීමට ඔවුන්ට සිදුවේ. පොඩි අවුලකට තියෙන්නේ එසේ නොසිතන අයටද මේ මිල ගෙවන්නට වී තිබීමයි.

රටේ සාමාන්‍ය ජනතාව දුම්වැටි භාවිතා කිරීමෙන් සිදුවන සෞඛ්‍යමය හානි ගැන නොදන්නා බැවින් දේශපාලනඥයෝ ඒ බව ඔවුන්ට පැහැදිලි වන පරිදි මිල වැඩි කරති. ඔවුන් ආරක්ෂාකාරී නොවන වාහන භාවිතා කරන නිසා එය වැළැක්වීමට ආනයන බදු වැඩි කරති. ඔවුන් ඖෂධ වෙනුවෙන් වැඩිපුර මුදල් වියදම් කරන නිසා මිල අධික ඖෂධ වෙළඳපොළට පැමිණීමේ ඉඩකඩ අහුරා ඒ තත්ත්වය වළක්වති. නිවැරදි අවුරුදු නැකැත් සීට්ටුව තෝරාගැනීමට මේ නැකැත් පිළිපදින අයට නොතේරෙන බැවින්, නැකැත් විශ්වාස නොකරන අය ඇතුළු සියළු දෙනා රජය නඩත්තු කිරීමට ගෙවන බදු මුදල් වැය කරමින් ඔවුන්ට නැකැත් තෝරා දෙති. මේ අතර ඔවුන් ජනතාව වෙනුවෙන් ගොඩගසන කුණු කඳු වලට යටවී මිනිස්සු මිය යති.


(Image: http://www.dailymail.co.uk/news/article-4414116/16-killed-Sri-Lankan-rubbish-mountain-collapse.html)

16 comments:

  1. වැදගත් කරුණු අඩංගු ලස්සන ලිපියල්. ඔබ කාලෙකින් මැදහත් සිතින් යුතුව ලිපියක් ඉදිරෙපත් කර තිබෙනවා.

    ReplyDelete
  2. "නක්ඛකතං පතිමානෙන්තං
    අතෙථා බාලං උපචචගා
    අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා”

    නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු වලින් ඇති ඵලය කිම?ධම්මපදය

    ReplyDelete
  3. බුදු හාමුදුරුවෝ බොහෝ ප්‍රකාශ කර ඇත්තේ සංයුක්තවයි.
    එමනිසා ඔය කීව ගාථාව කාට, කුමන අවස්ථාවකදැයි සොයා බැලිය යුතුයි.
    ඒ ගැන මමත් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලිකරන්න.
    නමුත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.
    නිවන් අවබෝධයට නැකත්වලින් බලපෑමක් නැහැ කියන අදහස ‍කීවා වියහැකියි.
    පින් කිරීම වුනත් සමහරවිට නිවනට බාදාවක් වනබව මතක තබාගත යුතුයි.
    තෘෂ්ණාව වඩන දේවල් වලට නැකැත්වල බලපෑමක් තියෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //බුදු හාමුදුරුවෝ බොහෝ ප්‍රකාශ කර ඇත්තේ සංයුක්තවයි.
      එමනිසා ඔය කීව ගාථාව කාට, කුමන අවස්ථාවකදැයි සොයා බැලිය යුතුයි.//
      ජගත් සමඟ එකඟයි. මටත් මෙහි නිධාන කතාව දැන් මතක නැහැ.

      Delete
  4. 'ඒ අතින්, මත්පැන් සාද ආදිය පවත්වමින් අවුරුද්ද සැමරුවේ නැති අපේ ගෙදර තරමක් වෙනස් විය. '

    'ජීවිතයේ නවවන දශකය ගෙවන මගේ පියා සමඟ මෙවැනි දේවල් ගැන වාදකර මා දැන් ඔහුගේ හිත රිදවන්නේ නැත.'

    කිසි ජොලියක් නැතුව අවුරුදු අනූ ගානක් ජිවත් උනේ ඇයි කියලා මං මේ කල්පනා කරේ.

    ReplyDelete
    Replies
    1. ඒ හරිය බොලයි අම්ම ගෙන් අහගන්.....

      Delete
    2. මේ ඇනෝනිමස් කමෙන්ට්කරුවා [April 17, 2017 at 3:13 AM] නිර්නාමිකව එන්නේ තමන් ගේ ගණිත දැනුම දුර්වල වීමේ ලැජ්ජාවෙන් ගැලවෙන්න දෝ හිතුණා!

      ජීවිතයේ "නවවෙනි දශකය" යන්නෙන් කියවෙන්නේ වයස 80 සිට 89 අතර බවයි. ඒ ආකාරයෙන් ම වයස අනූ ගණනක් (90-99) ජීවත් වෙන්නෙකු ගෙවන්නේ ජීවිතයේ දහවෙනි දශකයයි!

      Delete
    3. මා වෙනුවෙන් මෙය පැහැදිලි කළාට රසිකට ස්තුතියි!

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. මට පෙනෙන පරිදිනම් Anonymous April 17, 2017 at 3:13 AMගේ කොමෙන්ටුවේ වරද ඇත්තේ ඉකොනෝ මහතාගේ පියාගේ වයස නිර්ණය කිරීම නොව, ජිවිතයේ ජොලියක් ලැබීමට මත්පැන් භාවිත කලයුතුයි සිතීමයි! සම-හරක් ජේෂ්ඨ බ්ලොග් කරුවෝද ඉකොනෝ මහතාගේ පියාවැනි අය 'එළවලු ජිවිත' ලෙස අපහාසයට ලක්කර තිබේ.

      Delete
    7. AnonymousApril 17, 2017 at 10:45 AM
      සතුට කියන එක එක් එක් පුද්ගලයින්ට සාපේක්ෂ දෙයක්නේ, ඇනෝ. මගේ පියා හෝ දරුවන් සතුටු වන්නේ මම සතුටු වන දේවල් වලින්ම විය යුතු නැහැ. එහෙත්, අප බොහෝ දෙනෙක් සිතන්නේ වෙනත් අය සතුටු වන්නේත් අප සතුටු වන දේවල් වලින්ම කියායි. අප වෙනත් අය වෙනුවෙන් තේරීම් කරද්දී බොහෝ සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි. රටක් වශයෙන් ගත් විට තනි පුද්ගලයින්ට තමන්ට හොඳම තෝරා ගැනීම් කළ හැකි වාතාවරණයක් හැදීමයි නිවැරදි දේශපාලනය විය යුත්තේ. එහෙත්, බොහෝ විට සිදුවන්නේ රටේ ජනතාවට හොඳ දෙය ආණ්ඩු විසින් තෝරා දීමට යාමයි.

      Delete
    8. අනේ බොල කාලකන්නි තට්ටයෝ, අනුන්ගේ කොමෙන්ට් අස්සේ රෙන්නේ නැතුව ආන්න බලපන් ගිහිං තොගේ දුව වේස කමේ යනවා. ඒක හොයපන්.

      Delete
  5. මම නම් කරන්නේ ඔය මොකක් හරි තියෙන අවුරුදු නැකත් ටිකක් බලලා ඒවායින් අපිට ප්‍රැක්ටිකල් වෙලාව තෝරාගෙන ඒක සමරන එක. ඒ කරන්නේ අපි පවුලක් විදියට එහෙම සැමරීමෙන් සතුටක් ලැබෙන නිසා විතරයි.
    මෙදා නම් ලිප ගිනි මෙලවීම - හෙවත් රයිස් කුකර් එක ඕන් කිරීම විතරයි නැකතට කරේ. උයල ඉවර වෙන කොට කන නැකත පහු වෙලා!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.