Wednesday, April 12, 2017

පහන් තරුව ඔබ...

මේ ලිපිය සමඟ පළවන්නේ දැන් ටික වෙලාවකට කලින් ගත් ඡායාරූප තුනකි. දිනය අප්‍රේල් 11 ලෙස සටහන්ව ඇත්තේ කැමරාවේ දිනය නිවැරදිව සකස් කර නැති බැවිනි. නිවැරදි දිනය අප්‍රේල් 12 විය යුතුය. එමෙන්ම, ඡායාරූප ගත් කැමරාව හොඳ එකක් නොවීමත්, ඉකොනොමැට්ටා හොඳ ඡායාරූප ශිල්පියෙකු නොවීමත් නිසා මේ ඡායාරූපනම් කිසිම කමකට නැත.



අද උදේ 6.45ට පමණ එළියට බහින විට නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ඉහළින් දීප්තිමත්ව දකින්නට ලැබුණු පහන් තරුව හෙවත් සිකුරු ග්‍රහයා මනරම් දසුනක් විය. සැලකිල්ලෙන් බැලුවොත් පළමු ඡායාරූපයේ මැද තරමක් දකුණට වන්නට කුඩා තිතක් ලෙස ඔබට සිකුරු ග්‍රහයා දැකිය හැකිය.

අද අපට ඉර උදාවුණේ උදේ 7.10 ටය. නැවත නිවසට පැමිණ කැමරාව එළියට ගෙන ඉහත පළමු ඡායාරූපය ගන්නා විට උදේ 6.50ට පමණ විය. ඒ අනුව, ඒ වන විට අපේ ඉර උදාව සිදුවීමට මිනිත්තු 20ක් පමණ තිබුණේය. පොළොව මිනිත්තු 20ක් තුළ අංශක 5ක් පමණ භ්‍රමණය වෙයි. ඒ නිසා ඉර උදාවීමටනම් පොළොව තවත් අංශක 5කින් භ්‍රමණය විය යුතුය. වෙනත් විදිහකින් කියනවානම් මේ වෙලාවේ ඉර තිබිය යුත්තේ නැගෙනහිර ක්ෂිතිජයට අංශක 5ක් පමණ පහළිනි.

අප දන්නා පරිදි, ඉර මේ දවස්වල ගමන් කරන්නේ මීන රාශියේය. තවත් දින දෙකකින් ඉර මේෂ රාශියට ගමන් කිරීමට නියමිතය. මේ එක් රාශියකට අංශක 30ක් අයත් වේ. මේෂ රාශියේ මුල සිට ගණන් ගත් විට මීන රාශියට අයත් වන්නේ අහසේ අංශක 330-360 අතර කොටසයි.

ඉර තවමත් මීන රාශියේ ගමන් කළත් මේ වන විට එහි අවසන් කොටසට පැමිණ සිටී. ඉර ආසන්න වශයෙන් දිනකට එක් අංශකයක් ගමන් කරන අතර දින දෙකකින් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමට නියමිත නිසා මේ වන විට ඉන්නේ 358වන අංශකයේ හෙවත් මීන රාශියේ 28 වන අංශකයේය.

මේ දවස් වල සිකුරු ග්‍රහයා සිටින්නේද මීන රාශියේය. එහෙත්, මීන රාශියේ මුලම හරියේ දෙවන අංශකයේය. එනම්, ඉරට අංශක 26ක් දුරින් 332 අංශකයේය. පළමු ඡායාරූපය ගත්තේ ඉර උදාවීමට මිනිත්තු 20කට පෙර හෙවත් ඉර නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවීමට අංශක 5ක් තිබියදීය. ඒ අනුව, මේ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි.

මීන රාශියේ 28වන අංශකයේ සිටි ඉර මේ වන විටද තිබුණේ ක්ෂිතිජයට පහළින් වුවත්, මීන රාශියේ දෙවන අංශකයේ සිටි සිකුරු ඒ වන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි අංශක 21ක් ගමන් කර අවසන්ය. ඒ අනුව, පළමු ඡායාරූපයේ සිකුරු ග්‍රහයා දක්නට ලැබෙන්නේ නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 21ක් ඉහළිනි.

මේ ඡායාරූපය ගෙන ආපසු හැරෙන විට දකින්නට ලැබුණු අනෙක් මනහර දසුන බටහිර ක්ෂිතිජයෙහි ගිලී යන්නට පෙර අහසේ බැබළෙමින් සිටි පූර්ණ චන්ද්‍රයාය. ඊයේ බක් පුර පසළොස්වක දිනයයි. පුර පසළොස්වක දින හඳ තිබෙන්නේ පොළොවෙන් ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේය. එනම් ආසන්න වශයෙන් අංශක 180ක දුරිනි. 




ආසන්න ලෙස වසරක් තුළ නක්ෂත්‍ර තාරකා හරහා වටයක් සම්පූර්ණ කරන ඉර දවසකට ගමන් කරන්නේ එක් අංශකයක් වුවත්, මසකට පමණ වරක් වටයක් සම්පූර්ණ කරන හඳ දිනකට අංශක 12කට මඳක් වැඩියෙන් ගමන් කරයි. ඊයේ 180 වැනි අංශකය අවසානයේ දැකිය හැකි වූ හඳ අද පෙනෙන්නේ 193 වන අංශකය එල්ලේය. මෙය හත්වන රාශිය වන තුලා රාශියේ 23 වන අංශකයයි.

මෙහි දෙවන ඡායාරූපය ගත්තේද පළමු ඡායාරූපය ගත් වහාම, උදේ 6.50ට පමණය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා බටහිර ක්ෂිතිජයේ තිබුණේ එයට ප්‍රතිවිරුද්ධ 173 වන අංශකය හෙවත් හයවන රාශිය වන කන්‍යා රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා, 193 වන අංශකයේ වූ හඳ තිබෙන්නේ බටහිර ක්ෂිතිජයට අංශක 20ක් ඉහළිනි.

ඡායාරූප ගන්නා වෙලාවේ සිකුරු ග්‍රහයා හා හඳ අහසේ දෙපැත්තේ ආසන්නව සමාන ඉහළකින් පෙනුණේ සිකුරු ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ අංශක 21ක් ඉහළිනුත්, හඳ බටහිර ක්ෂිතිජයේ අංශක 20ක් ඉහළිනුත් පැවති නිසාය. හඳ හා සිකුරු අතර අංශක 139ක කෝණයද මේ වෙලාවේ ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. මේ කෝණය එළෙසම පැවතෙද්දී, සිකුරු ග්‍රහයා ක්‍රමයෙන් නැගෙනහිර අහසේ ඉහළට නැඟීමත්, හඳ බටහිරින් බැස යාමත් ඡායාරූපය ගැනීමෙන් පසුව නිරීක්ෂණය කළ හැකි වුවත්, ඉර උදාව ආසන්න වෙද්දී ඉර එළිය හේතුවෙන් සිකුරු ග්‍රහයා නොපෙනී ගියේය.

හරියටම උදේ 7.10ට ඉර උදාව සිදු වූ අතර තෙවන ඡායාරූපය ගත්තේ ඒ මොහොතේය.




උදෑසන ව්‍යායාම පිණිස හෝ වෙනත් කටයුත්තක් සඳහා ඇවිදින්නට යන අයෙකුට අහස නිරීක්ෂණය කිරීම නරක විනෝදාංශයක් නොවේ. මෙය ලෝකයේ පැරණිම විනෝදාංශයක් ලෙසද සැලකිය හැකිය. මේ දවස්වල අනෙකුත් ග්‍රහයින්ද නිරීක්ෂණය කිරීම එතරම් අමාරු නැති අතර, විශේෂයෙන්ම බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් ඉර බැස යාමෙන් පසුව හඳ ආසන්නව දකින්නට පුළුවන.


පසු එකතු කිරීම:

අද අපේ ඉර බැස්සේ පස්වරු 8.20ටය. අද උදේ 358 වන අංශකයේ වූ ඉර බටහිර ක්ෂිතිජයෙන් බැස යන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 178 අංශකයයි. ඉර බැස පැයකට පසු මා අහස නිරීක්ෂණය කරන විට තවත් අංශක 17කින් පමණ රාශි චක්‍රය භ්‍රමණය වී ඇති නිසා නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 195 අංශකය හෙවත් තුලා රාශියේ මැදයි. බටහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 15 අංශකය හෙවත් මේෂ රාශියේ මැදයි.

මේ දිනවල කන්‍යා රාශියේ 23 වන අංශකයේ හෙවත් මේෂ රාශියේ මුල සිට 173වන අංශකයේ සිටින බ්‍රහස්පති ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 22ක් ඉහළින් ඉතා පැහැදිලිව දැකිය හැකිය. වෘෂභ රාශියේ මුල, 30 වන අංශකයේ සිටින අඟහරු ග්‍රහයාද බටහිර ක්ෂිතිජයේ අංශක 15ක් ඉහළින් රතු පැහැයෙන් දැකිය හැකිය. පියවි ඇසින් ඉතා පැහැදිලිව  හැකි වුවත් මගේ කැමරාව එතරම් හොඳ එකක් නොවන නිසා මේ ග්‍රහයින් දෙදෙනා ඡායාරූප වල පැහැදිලිව සටහන් වී නැත.

මීන රාශියේ හා මේෂ රාශියේ ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වුවත් පසළොස්වක පෝය අවසන් වුනා පමණක් නිසා අහසේ තරු රටා බොහොමයක් පැහැදිලිව දර්ශනය නොවේ.

ඔබ මේ ගැන උනන්දුවක් දක්වනවානම් හෙට දිනයේද ඉර පායන්නට ආසන්නව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් සිකුරු ග්‍රහයාද, ඉර බැස ගොස් පැයකට පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් බ්‍රහස්පති ග්‍රහයාද, බටහිර ක්ෂිතිජය ආසන්නව රතු පැහැයෙන් අඟහරු ග්‍රහයාද දැක ගන්නට පුළුවන් වනු ඇත. තාරකා මෙන් නිවී නිවී නොදැල්වෙන බැවින් හා ප්‍රමාණයෙන් සාමාන්‍ය තාරකාවකට වඩා විශාල නිසා (පොළොවට පෙනෙන පරිදි) මේ ග්‍රහයින් පහසුවෙන් හඳුනාගත හැකිය. අඟහරු ග්‍රහයා ප්‍රමාණයෙන් විශාල නොවූවත් එහි වෙනස් පැහැය නිසා හඳුනාගත හැකිය. 



දෙවන පසු එකතු කිරීම:

අද උදේ ඉර උදාව ආසන්නව 193 අංශකයේ තිබුණු හඳ පැය 16කට පමණ පසුව ඉහත ඡායාරූපය ගන්නා විට 200 වන අංශකයට පැමිණ ඇත. ඉර බැස ගොස් දෙපැයක් ගෙවී ඇති බැවින් දැන් නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 208 වන අංශකයයි. ඒ අනුව, නැගෙනහිර ක්ෂිතිජයට අංශක 8ක් පමණ ඉහළින් හඳ දර්ශනය වේ. මේ වන විට බ්‍රහස්පති ග්‍රහයා දැකිය හැක්කේ අංශක 35ක් ඉහළිනි. ඡායාරූපයේ පැහැදිලිව සටහන් වී නැත. තවත් දෙපැයක් පමණ බලා සිටියහොත් සෙනසුරු ග්‍රහයාද දැකගන්නට පුළුවන් විය හැකිය.

23 comments:

  1. ඉර පොළව වටා කැරකෙමින් තාරකා රාශි වටා යනවා වෙන්න ඕනා නේද. ඒ කියන්නේ පොළවත් තාරකා රාශියෙන් රාශියට ගමන් කරණවා ද ?

    ඉකොනොමැට්ටා කොපර්නිකස්ට ගැලීලියෝට බඩේ පහර ගහලා ආයෙත් පෘතුවි කේන්ද්‍රවාදය කරලියට ගෙනෙයි වගේ....

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නේ පොළවත් තාරකා රාශියෙන් රාශියට ගමන් කරණවා ද ?//
      පෘථිවි කේන්ද්‍රීය ආකෘතියකදී සලකන්නේ පොළොව නිසලව තිබියදී තාරකා රාශි පොළොව වටා ගමන් කරන බවයි. ඒ අතරම ඉරත් වෙනම වේගයකින් පොළොව වටා ගමන් කරන බව සැලකිය හැක්කේ ඔරලෝසුවේ කටු ගමන් කරන ආකාරයටයි. වඩා හොඳ පැහැදිලි කිරීමක් ලෙස මුහුණතද කැරකෙන ඔරලෝසුවක් ගැන හිතන්න. මෙහි ඉලක්කම් 12 රාශි දොළහ ලෙස ගන්න. දැන් හැම විටම උඩින්ම තියෙන්නේ 12 නෙමෙයි. එය පැය දෙකකට වරක් වෙනස් වෙනවා. කටු කැරකෙන්නේ මුහුණත කැරකෙන වේගයෙන්ම නම් කිසි විටක වෙලාව වෙනස් වෙන්නේ නැහැ. වෙලාව බලන්න ඔලුව කරකවන්න වෙනවා පමණයි. එහෙත් කටු කැරකෙන වේග සමාන නොවන නිසා කටු වලට අදාළ ඉලක්කම්ද වෙනස් වෙනවා.

      Delete
    2. පැහැදිලි මදි ඉකොනො. සූර්යයාට පොළව වටා රවුමක් යන්න පැය විසිහතරයි. තාරකා රාශිත් පැය දෙකෙන් දෙකට වෙනස් වනවා කියන්නේ තාරකා රාශියටත් වටයක් යන්න පැය විසිහතරයි. එහෙනම් සූර්යයාට මීන රාශියේ ඉදලා මේෂ රශියට එන්න අවුරුද්දක් යන්නෙ කොහොමද ?

      Delete
    3. පැහැදිලි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ තමයි. පැය දෙකෙන් දෙකට කියා කිවුවේ ආසන්නවයි. එය හරියටම නිවැරදි නැහැ. ඉරට පොළොව වටා යාමට පැය 24ක් ගත වුණත්, තාරකා රාශියකට ඒ සඳහා ගත වන්නේ පැය 23 මිනිත්තු 56 තත්පර 4.098903691ක් පමණයි. (එනම්, පොළොවට වටයක් කරකැවීමට ගත වන කාලය. මේ දෙකෙන්ම පැහැදිලි කරන්නේ එකම සංසිද්ධිය.) ඒ නිසා ඉර උදාවන් දෙකක් අතර තාරකා රාශි එක් වටයකට වඩා තව පොඩ්ඩක් ගමන් කරනවා. ආසන්න වශයෙන් අංශකයක්. ඒ නිසා අද ඉර පායන විට නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබුණු තාරකාවක් හෙට ඉර පායන්නට මිනිත්තු 4කට පමණ පෙර නැගෙනහිර ක්ෂිතිජයෙන් මතු වෙනවා. මිනිත්තු හතරකින් ඉර පායන විට එය පෙනෙන්නේ ක්ෂිතිජයේ සිට අංශකයක් පමණ උඩින්. මාසයකට පසු එය පෙනෙන්නේ අංශක 30ක් උඩින්. ලග්න ලෙස හඳුනා ගන්නා තාරකා රාශි 12 තියෙන්නේ අහසේ එකිනෙකට අංශක 30ක පමණ දුරින්. ඒ නිසා ආසන්න ලෙස මාසයකට පසුව ඉර උදාවන විට දකින්නට ලැබෙන්නේ වෙනත් තාරකා රාශියක්. ආසන්නව පැය දෙකකට වරක් තාරකා රාශියක් ක්ෂිතිජයෙන් මතු වුනත් මේ මිනිත්තු හතරේ වෙනස නිසා හැමදාම මේ රටාව පටන් ගන්නේ කලින් දවසට වඩා මිනිත්තු හතරක් පමණ කලින්. මෙසේ ආරම්භක ස්ථානය වෙනස්වෙමින් ගොස් අද පිළිවෙලටම හරියටම නැවත තාරකා රාශි මාරු වෙන්නේ වසරකට පසුවයි.

      Delete
    4. තවත් විදිහකට කිවුවොත් රවුම් පිට්ටනියක ධාවකයින් 13 දෙනෙක් ගැන හිතන්න. මෙයින් දොළොස් දෙනෙක් පිට්ටනියේ සම දුරින් ඉන්න අතර සමාන වේගයෙන් දුවනවා. ඒ නිසා ඒ අය අතර සාපේක්ෂ දුර වෙනස් වෙන්නේ නැහැ. දහතුන්වෙනියා දුවන්නේ පොඩ්ඩක් හිමින්. ඔහු හැම දවසකම අවසානයේ පොඩ්ඩක් පස්සට යනවා. ඔහු කිසියම් දවසක පළමු ක්‍රීඩකයා සිටින තැනින් පටන් ගත්තොත් දවස් 30 කට පසුව ටික ටික පහු වී දෙවන ක්‍රීඩකයා සිටින තැනට වැටෙනවා. මෙසේ දිනපතාම පහුවෙමින් අන්තිමේදී වසරකට පසුව නැවත පළමු ක්‍රීඩකයා සිටි තැනට එනවා. හැබැයි ඒ රවුමක් අඩුවෙන් දුවමින්.

      Delete
    5. දැන්නම් පොඩ්ඩක් තේරුම් ගියා වගේ.. එතකොට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්නේ වසරකට පසුව නැවත ඔය ආරම්භක ස්ථානය සම්මුඛ වෙන එකද ?

      ඕක සූර්යය කේන්ද්‍ර වාදයෙනුත් පැහැදිලි කරන්න පුළුවන්ද? සූර්යය කේන්ද්‍ර වාදයේදී තාරකා රාශි සූර්යයා වටා යනවා කියලා පිළිගැනෙනව ද ?

      Delete
    6. //එතකොට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්නේ වසරකට පසුව නැවත ඔය ආරම්භක ස්ථානය සම්මුඛ වෙන එකද ? //
      ඔවු.

      //ඕක සූර්යය කේන්ද්‍ර වාදයෙනුත් පැහැදිලි කරන්න පුළුවන්ද?//
      ඔවු, පුළුවන්. තරු වලට පොළොවේ සිට ඇති ආලෝක වර්ෂ ගණනක විශාල දුරට සාපේක්ෂව ඉර හා පොළොව අතර තිබෙන ආලෝක මිනිත්තු අටක දුර ඉතාම ආසන්න දුරක්. ඒ නිසා යම් හෙයකින් ඉර මත සිටින නිරීක්ෂකයෙක් ගැන උපකල්පනය කළොත් ඒ නිරීක්ෂකයාට පෙනෙන තරු රටා පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට පෙනන තරු රටාම තමයි. එවැනි ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කරනවානම් ලග්න දොළහ තියෙන්නේ පොළොව ඉර වටා යන පථයේ විවිධ කොටස් එල්ලේ. ඉර සිටින රාශිය කියන්නේ ඒ පථයේ ඉරේ සිට පොළොවට විරුද්ධ පැත්තේ තියෙන රාශියයි. කොහොම වුනත්, ඉරේ සිට තාරකා නිරීක්ෂණය කළ නොහැකි නිසා මෙය සූර්ය කේන්ද්‍ර ප්‍රවාදයෙන් පැහැදිලි කිරීම තේරුමක් නැහැ.

      //සූර්යය කේන්ද්‍ර වාදයේදී තාරකා රාශි සූර්යයා වටා යනවා කියලා පිළිගැනෙනව ද ?//
      නැහැ. මම හිතන්නේ උඩ පිළිතුරෙන් මෙය පැහැදිළි වනු ඇති බවයි.

      (ලිපිය අගට තව කොටසක් එකතු කළා. එයත් කියවන්න.)

      Delete
    7. ස්තුතියි ඉකොනො..

      මේකට කෙලින්ම අදාල නැති තව ප්‍රශ්ණයක් තියනවා.. මේ ළඟදි පුතා මගෙන් ඇහුවා මට උත්තර නැති ප්‍රශ්ණයක්.. එයාගේ ප්‍රශ්ණෙ වුනේ..

      සඳ, පසලොස්වක, අමාවක ආදී වශයෙන් වෙනස් වෙනස් තත්ත්වයන් ගන්නේ කොහොම ද කියන එක.. මම ඒ වෙලාවේ එයාට ඒ හඳ පොළව වටේ කැරකෙන නිසා කියලා කිව්වට මටම තේරුණා මගේ උත්තරේ සම්පූර්ණ නෑ කියලා.. මේ ගැන පැහැදිලි කිරීමක් හෝ කළින් කරණ ලද පැහැදිලි කිරීමක ලින්ක් එකක් දෙන්න පුළුවන්නම් හොඳයි. ඔහේටත් පෝය පහු වුනේ ඊයේ පෙරේද කියුවම මට තවත් ප්‍රශ්ණයක් ආවා.. ඒකටත් පිළිතුරු ඔබගේ පැහැදිලි කිරීමේන් ලැබෙයි කියලා හිතනවා...

      Delete
    8. මෙය රූප සටහන් සහිතව පැහැදිලි කළ යුතු දෙයක්. මම හිතන්නේ පාසැල් විද්‍යා පොත් වලත් ඇතියි කියා. කොහොම වුණත්, පසුව වෙනම පෝස්ට් එකක් දමන්නම්! දෙවන ප්‍රශ්නයත් මට හිතාගන්න පුළුවන්. එයත් එවිට පැහැදිලි වෙයි.

      Delete
    9. බොහොම ස්තූතියි ඉකොනො..

      Delete
  2. මිනිස්සු මේ වගේ දේ ගැන අවධානය යොමු කරනවා අඩුයිනේ...
    සටහන අපූරුයි..

    ReplyDelete
    Replies
    1. හෙට උදේත් ඉර පායන්න පැය භාගයකට පමණ පෙර ඉර පායන දිශාව බැලුවොත් සිකුරු ග්‍රහයා දීප්තිමත්ව බබලනු දැකිය හැකියි.

      Delete
  3. මාතෘකාව "පහන් තරුව ඔබ " කියල දැක්කහම මම හිතුවේ කවියක් හරි නිසඳැසක් හරි වගේ එකක් වෙන්න ඇති කියලා. ඒත් ඉකොනොමැට්ටාගේ කියල දැක්කහම හිතුවා තාරකා විද්‍යාව සම්බන්ධ ලිපියක් වෙන්න පුළුවන් කියලා.
    මගේ අනුමානය හරි.
    ස්තුතියි, ඔබේ මේ ලිපි හරිම වැදගත් මම ඒවා නැවත නැවත කියවනවා. මේ ගැන වැඩි දුරට හදාරා නැති අපිට මේ කරුනු එක එල්ලේ වැටහෙන්නේ නැහැ. ඒත් ඔබගේ රචනා දක්ශතාව්ය නිසා ආසාවෙන් කියවන්නත් වටහා ගන්නත් හැකියි.

    ReplyDelete
    Replies
    1. රාත්‍රී කාලයේ කිසිදු ලෙසකින් අපේ ඉහල අහසට නොනගින. දිවා කාලයේ ඉහල අහසට නැගුනට ඉර එළියේ සැඟවෙන සිකුරුගේ ගමන් මග හරිම අපූරුයි නේද?

      Delete
    2. මෙය වැදගත් කරුණක්. බුධ සහ සිකුරු ග්‍රහයින් ඉර වටා භ්‍රමණය වන ඉලිප්සය තියෙන්නේ (සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව) පොළොව ඉර වටා යන ඉලිප්සය ඇතුළේ. ඒ නිසා, හැමවිටම පොළොවට එම ග්‍රහයින් පෙනෙන්නේ ඉර තිබෙන තැන දෙපැත්තේ කුඩා කෝණයක් තුළ පමණයි. ඉරේ සිට පොළොවට වඩා ඈතින් පිහිටි අඟහරු, බ්‍රහස්පති හෝ සෙනසුරු මෙන් මේ ග්‍රහයින් දෙදෙනා පොළොව වටේම යන්නේ නැහැ. ඒ නිසා, බුධ හෝ සිකුරු කිසි විටෙකත් ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටන්නේ නැහැ. මධ්‍යම රාත්‍රියේ ඉර තිබෙන්නේ පොළොවේ ප්‍රතිවිරුද්ධ පැත්තේ නිසා රෑ අහසේ බුධ හෝ සිකුරු මුදුන් වෙන්නේ නැහැ. දවාලට මුදුන් වුනත් ඉර එළිය නිසා පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ඉරට ආසන්නවම පිහිටි මේ ග්‍රහයින් නිරීක්ෂණය කළ හැක්කේ ඉර උදාව ආසන්නව පාන්දර හෝ ඉර බැස යාමෙන් පසුව හැන්දෑ යාමයේ පමණයි.

      Delete
  4. අන්න පොළොව පැතලියි, හිරු, තරු, ග්‍රහලෝක, සඳ පොළොව වටා ගමන් කරනවා ය කියා පීඑච්ඩී තීසිස් එකක් ලියලා.

    ReplyDelete
    Replies
    1. දැනුමට එකතු කරල තියෙන අළුත් දේ මොකක්ද?

      Delete
  5. පියවි ඇසට හසුකරගැනීමට අපහසු සංසිද්ධියක් අළුත් අවුරුදු උදාවට යොදාගන්න ඇත්තේ, වඩා පාරදෘශ්‍ය සංසිද්ධියක් යොදාගත්ත නම්, ඉස්සර මුස්ලිම් අයට නව සඳ උදාව බලන්න ගිහින් අද හඳ එළියට ආවේ නෑ හෙටත් ඇවිත් බලමු කියන්න වුනා වගේ වේවි කියා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. //පියවි ඇසට හසුකරගැනීමට අපහසු සංසිද්ධියක් අළුත් අවුරුදු උදාවට යොදාගන්න ඇත්තේ//
      මුල් කාලයේදී මෙය පියවි ඇසට අසු කරගත හැකි තවත් දේවල් සමඟ සමපාත වුණා. එතැනට එන්න තව ගොඩක් දේවල් ලියන්න වෙනවා.

      Delete
  6. පිස්සු වගේ අප්පා.. කිසි දෙයක් තේරුනේ නෑ
    ඇත්තටම තේරුම් ගත්තෙනෑ මුල ටික විතරයි තේරුණේ ඒ උවමනාවෙන් කියව්ව හින්ද... මේ පට්ට දාවලේ ඉකොනොගෙ ලිපියක් තරං නිදිමත හැදෙන තවත් මක හරි තියේද..

    ම්ම්ම්ම්
    නොප්

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන අපහාසයක් හෝ අවතක්සේරුවක් නොවේ.. මට කම්මැලි හිතුණ එපමණයි.

      Delete
    2. ඔබේ අවංක අදහසට ස්තුතියි, මහේෂ්! කම්මැලි හිතෙනවනම් මේවා අත ඇරලා දමන්න. සමහර දේවල් මම ලියන්නේ ඒවා ලියා තැබීම දිගුකාලීනව ප්‍රයෝජනවත් නිසා. වරින් වර මාතෘකා මාරු කරන්නේ කියවන අයගේ රුචිකත්වයන් වෙනස් නිසා එක දිගට එකම දෙයක් කතා කරන විට ඒ ගැන උනන්දුවක් නැති අයට බ්ලොග් එකම එපා වෙන නිසයි. ඒ වගේම මම උත්සාහ කරන්නේ විවිධ වෙනස් අදහස් ඇති අය මගේ බ්ලොග් එකට ඇදගෙන ඒ අය සාමාන්‍යයෙන් කියවන්න අකැමැති දේවලුත් කියවන්න පෙළඹවීමටයි. මෙය කිරීමට එක් එක් අය කියවන්න කැමති දේවල් මිශ්‍ර කරන්න වෙනවා.

      Delete
  7. අවුරුදු දහස් ගානකට කලින් මේක නිරීක්ෂණය කරලා ගණිත වගුවකට හදපු යට තරම් ඉකොනෝ ට වෙලාව නැතිවුනත් බොහොම ලස්සනට පැහැදිලි කරලා. මේ විස්තර එක්ක තව තොරතුරු ටිකක් මතකයේ තියාගත්තොත් පංචාංග ලිත නැතුවම තත්කාල කේන්ද්‍රයක් හදන්න පුළුවන්. Thanks Mate!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.