වෙබ් ලිපිනය:

Monday, January 16, 2017

ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?


ලංකාවේ පාරවල් වල දුවන මිලියන හය ඉක්මවූ වාහන තොගයෙන් අඩකට වඩා මෝටර් බයිසිකල් වන අතර ඉතිරි අඩෙන් තුනෙන් එකක් පමණ ත්‍රිරෝද රථයි. පසුගිය කාලය තුළ අඩු වියදමින් නඩත්තු කළ හැකි පෞද්ගලික වාහනයක් ලෙසත්, පොදු ප්‍රවාහන සේවා සඳහා වන විකල්පයක් ලෙසත් ත්‍රිරෝද රථ වල ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ත්‍රිරෝද රථ භාවිතය නියාමනය කරමින් පසුගිය සඳුදා (ජනවාරි 9) රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව, ලංකාව තුළ ත්‍රිරෝද රථ ධාවනය අනු කොන්දේසි ගණනාවක් ඇතුළත්, ප්‍රධාන නියාමන කොන්දේසි එකොළහකට යටත් වේ. මීට පෙර ලංකාවේ මාර්ග වල ධාවනය වන වාහන ප්‍රමාණය සීමා කිරීමේ අරමුණින් රජය විසින් ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුළ ලංකාවට ආනයනය කෙරුණු ත්‍රිරෝද රථ ඇතුළු වාහන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව අඩකින් පමණ අඩු විය.

පොදු යහපත පිණිස රජයක් විසින් කිසියම් කර්මාන්තයක් නියාමනය කිරීමේ වරදක් නැත. එසේ කිරීමේදී නියාමනය හේතුවෙන් සිදුවන යහපත පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. මේ අළුත් නියාමන නීති වලින් රජය අපේක්ෂා කරන දෙය බොහෝ දුරට පැහැදිලිය. කොන්දේසි වැඩි ගණනක අරමුණ රථයේ ගමන් කරන මගීන්ගේ හා රියදුරාගේත්, පාරේ පයින් හෝ වෙනත් වාහනයකින් ගමන් කරන පුද්ගලයින්ගේත් සුරක්ෂිතතාව තහවුරු කිරීම බව පෙනේ. මේ කොන්දේසි වලින් ඉතා පුළුල් කරුණු පරාසයක් ආවරණය කෙරේ. ඇතැම් කොන්දේසි වලින් කුලීරථ සේවා ලබාගන්නා මගීන්ගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන අතර එක් කොන්දේසියකින් ශබ්ද දූෂණය වැළැක්වීම අරමුණු කර ඇති බව පෙනේ.

කෙසේ වුවද පහත උපුටා දැක්වෙන අවසන් නියාමන කොන්දේසියෙන් ඉටුවන යහපතනම් එතරම්ම පැහැදිලි නැත.

"මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් එහි නිෂ්පාදක විසින් ඒ මත ලකුණු කරනු ලබන විස්තරාත්මක තොරතුරු හැර මෝටර් ට්‍රයිසිකලයේ ඉදිරිපස හෝ පසුපස අකුරු, ඉලක්කම් හෝ සංඛ්‍යා ලකුණු කර නොමැති බවට සහතික විය යුතුය."


මේ ලංකාවේ ත්‍රිරෝද රථ සාහිත්‍යට නැවතීමේ තිතක් තබමින් 'සදාචාරය' හෝ 'උසස් රසවින්දනය' ජනතාවට බලෙන් ලබා දීම අරමුණු කරගත් නියාමන රෙගුලාසියක්ද?

ලංකාවේ ත්‍රිරෝද රථ වල විවිධ වැකි සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි. මේවා කාණ්ඩ කිහිපයක් යටතේ වර්ග කළ හැකිය. ප්‍රමුඛම කාණ්ඩය වන්නේ ආගමික ස්වරූපයක් ගන්නා වාක්‍යයන්ය. "බුදු සරණයි!" "ජේසු පිහිටයි!" "අල්ලාහු අක්බර්" ආදී මෙවැනි වැකි සිංහල, ඉංග්‍රීසි, දෙමළ මෙන්ම අරාබි හා පාලි භාෂා වලින්ද ලියැවී තිබෙනු දැකිය හැකිය. තවත් ඇතැම් වැකි ත්‍රිරෝද රථ වෘත්තියට අදාළය. මේ අතර, මෙම රැකියාවේ යෙදෙන සමාජ ස්ථරය මුහුණ දෙන ප්‍රශ්න පිළිබිඹු කෙරෙන, බොහෝ විට පෙම් සබඳතා හා අදාළ වැකිද අඩු නැත.

ලෝකේශ්වරී කරුණාරත්න විසින් කොළඹ, මහනුවර, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික්ක වල නගර පහළොවක ත්‍රිරෝද රථ 831කින් එකතු කරගත් වැකි 2291ක් විශ්ලේෂණය කරමින් ලංකාවේ ත්‍රිරෝද රථ සාහිත්‍යයේ බෞද්ධ ආභාෂය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් වසර කිහිපයකට පෙර පළ කර තිබේ. සිංහල හා ඉංග්‍රීසි වැකි වලට පමණක් සීමා වූ ඇගේ නියැදියේ වැකි වලින් හතරෙන් එකක පමණ කිසියම් බෞද්ධ ආභාෂයක් තිබේ.

ඉහත පර්යේෂිකාව විසින්ද තහවුරු කර ඇති පරිදි ත්‍රිරෝද රථ හිමිකරුවන් හෝ රියදුරන් විසින් පෙර මුද්‍රණය කර ඇති වැකි සහිත ස්ටිකර් මිල දී ගැනීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ තමන්ට අවශ්‍ය වැකියක් මුද්‍රණකරුට දැනුම්දී මුද්‍රණය කර ගැනීමයි. ඒ නිසා මේ ත්‍රිරෝද රථ වැකි අදාළ සමාජ ස්ථරයේ ජන විඥානය පිළිබිඹු කරන කැඩපතකි. එක අතකින් මෙය ජනතා සාහිත්‍යයකි. මේ වැකි වෙනුවෙන්ම වෙන්වුන වත්පොත් අඩවියක් වන '3නේ කවි' පිටුවේ රසවත් ත්‍රිරෝද රථ වැකි රැසක් පළවී තිබේ. මේ ඒවායින් කිහිපයකි.

"සමවැදී ඉන්නේ මගේ දැහැන් බිඳින්නෙපා
ඒ කියන්නේ මගේ ආතල් කඩන්නෙපා"

"බිම බලාගෙන යන මට අහක බලාගෙන යන වලාකුළු කුමටද?"

"ඇට නැති වරකා නැත
කටු නැති මාළු නැත
වස නැති ගෑනු නැත"

"නංගි හදාගන්න බැරි දේවල් කඩාගන්න එපා...පරිස්සමෙන් රැකගන්න..."

"කෙල්ලො හරියට පන්සලේ ගලවන සෙරෙප්පු වගේ
කොයිවෙලේ කවුරු දාගෙන යයිද දන්නෑ"

"සුදු නැන්දේ මේ අහන්න දුව පොඩ්ඩක් හදාගන්න
දුවට ගවුම අන්දවන්න අපේ ඩෙනිම අපට දෙන්න"

"කට්ට කපටි ඔබේ හිත ළඟ පට්ට ලපටි මගේ ආදරෙත් පට්ට පදිරි වෙලා ගියා නංගි"

"උරුමක්කාරී හමුවන තුරු කරුමක්කාරීට අහු නොවන්න"

"පාඩුවෙ ගමන් යද්දී දාන්න එපා වෙට්ටු
අවුස්සගත්තොත් අපි උඹලට වඩා සත්තු"

"අම්මා ලස්සනයිනම් බබා වඩාගන්න තාත්තලා ගොඩයි"

"මල සිපගත්තට මල තලන්නෙ නැහැ මනුදම් දන්න නිසා"

"Defender එක දීපන් ළමයෙකුට"

"දුක තමයි රංජනී අද රෑටත් පාන් තමයි"


පුද්ගලික පාවිච්චිය සඳහා පමණක් යොදාගන්නා ත්‍රිරෝද ඇතුළු සියළු ත්‍රිරෝද රථවල "නිෂ්පාදක විසින් ඒ මත ලකුණු කරනු ලබන විස්තරාත්මක තොරතුරු හැර" වෙනත් යමක් නොතිබිය යුතුය යන්න දැඩි නියාමන කොන්දේසියකි. ත්‍රිරෝද රථවල තරම් සුලභ නැතත් වෙනත් වාහන වලද විවිධ ස්ටිකර් ප්‍රදර්ශනය කෙරේ. ධීවර බෝට්ටු, ලොරි, පුද්ගලික බස්රථ වල පමණක් නොව මිල අධික මෝටර් රථ වලද විවිධ ස්ටිකර් ප්‍රදර්ශනය කෙරේ. වෙනස ඇත්තේ ප්‍රදර්ශනය කරන දේවල් වලය. 


ඉහළ මධ්‍යම පාන්තිකයෙකුගේ මෝටර් රථයක වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වැනි තමන්ගේ වෘත්තිය මෙන්ම තමන් ඉගෙනගත් සරසවිය හෝ පාසැල ප්‍රදර්ශනය කරන ස්ටිකර් දැකගන්නට ලැබීම දුලබ දෙයක් නොවේ. එවැනි දේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇතිබවක් දැනගන්නට නැත. අදාළ සමාජ ස්ථරය සතු බලය හමුවේ රජයට එවැන්නක් කිරීමේ හැකියාවක්ද නැත.

යමෙකුගේ වාහනය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික දේපලකි. එහි තමන්ට අවශ්‍ය දෙයක් ප්‍රදර්ශනය කිරීම පාසැල් තාප්පයක, බස් නැවතුම්පලක හෝ වෙනත් පොදු ස්ථානයක වෙළඳ දැන්වීම් හෝ දේශපාලන සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමට සාපේක්ෂව පරිසරයට හානිකර දෙයක්ද නොවේ. ඇතැම් විට මේ රෙගුලාසිය මඟින් ඉටුකරගත හැකි, මා නොදකින වෙනත් සමාජ යහපතක් තිබෙනවා විය හැකිය.

ත්‍රිරෝද රථ සාහිත්‍යය ඉදිරියේදී දඩ කොළ වලින් වැසී යයිද?

පහතින් ඇත්තේ ඉහත වත්පොත් පිටුවේම පළවී ඇති කඹුරුපිටියේ එස්. සමරවීරගේ කවියකි.

"හැටහුටමාරක් බදු සමඟ
ගෙවා පළමු වාරිකය
ගත්ත ත්‍රිරෝද රථයේ
ඇලෙව්වා මිලට ගෙන ස්ටිකරය
මේ බුදුන් වැඩි මගේ දේශයයි!
ගෙවා ගමේ ප්‍රා. සභාවේ
වැසිකිලියටත් බදු මුදල්
මුත්‍රා කර එන ඇසිල්ලට
කවුද අසමජ්ජාතියෙක්
හූරලා එහි අකුරු ඉස්පිලි පාපිලි
දැන් තියෙන්නේ
'මේ බදු වැඩිම දේශයයි' "


(Image: ElaKiri.com)

16 comments:

  1. ඔය කවිය නං පත්තරෙ තියනව මමත් දැක්ක.
    ඇත්තටම ඔය "පට්ට වදන්" තහනං කරන්නෙ ඇයි ඒවැං වෙන හානිය මොකද්ද
    එතකොට ඇයි ඒව වීල් වලට විතරක් කියන එක නං තේරෙන්නෙම නෑ
    හොද වැඩක් කලත් ගොම නාගන්න එක ආණුඩුවෙ පුරුදදක් වෙලා
    කාගෙං වත් කුණුහබ්බයක්පනාහ වැඩක් කරන්න කවදාවත් කවමදාවත් ඉගෙන ගන්නෑ

    ReplyDelete
  2. අලුත් නීති ඕන නෑ. තියෙන නීති සතියක් හරියට ක්‍රියාත්මක කලානම් කට්ටිය ලස්සනට නියාමන කර ගන්න තිබ්බ. වැදගත්ම දේ තමා වැඩ වර්ජන වගේ විහිළු වලදී ආණ්ඩුව කොන්ද පණ ඇතුළු ඉන්න ඕන.

    ReplyDelete
  3. බුකිවාසීන්ට හපන්න විසිකරපූ තවත් එක චුවිංගම් එකක්.එහෙම ඒවා ගොඩා.....යි.
    ජයවේවා..!!

    ReplyDelete
  4. matath awe me prashnemayi. koi anduwath sadachare balen powanna thamayi hadanne.

    ReplyDelete
  5. ඔය ඔක්කොම හොඳයි කියමුකෝ. ඒත් අලුත් නීතිවල ඒවා පැදවියයුතු හැටි ගැන වචනයක්වත් නැහැ. වාහන පේලි දෙකක් මැදින් ඉරි කපාගෙන ඉදිරියට යාම, අනිත් වාහන අස්සට රිංගා යාම වගේ දේවල් එහෙමමයි. ඒවා පොලිසියටත් පේන්නේ නැහැනේ. මේ විදිහට ත්‍රී වීල් එලවිල්ලයි, මෝටර් සයිකල් පැදිල්ලයි නැත්නම් අපේ පාරවලුත් පාරවල් තමයි.

    ReplyDelete

  6. ආගම, ජාතිය ගැන සඳහන් වැකි හැර අනෙක් ඒවා අවුලක් නෑ කියලයි මගේ හැඟීම.

    මේ ගොල්ලො සීගරි කාලෙ හිටියනම්, අද කැටපත් පවුරක් නෑ එහෙනම්..

    ReplyDelete
  7. අර උඩ ඇනෝවෙක් කියල තියෙනව වගේ තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක කරන්නෙ නැතුව අලුතෙන් නීති දාන එක බොරු වැඩක්. ඔය අලුතින් දාල තියෙන නීති වල තියෙන වාහනවල අධික ශබ්දයෙන් වාදන යන්ත්‍ර ක්‍රියාකරවීම තහනම් කරන එක මම දන්න තරමින් කාලෙකට කලින් දාපු නීතියක්. ඒ උනාට ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක ඕනතරං පේනව.

    ReplyDelete
    Replies
    1. වාදක යන්ත්‍ර අධික ශබ්දයෙන් දාගන නැවතුම්පලේ ඉන්න තෙසක් රියදුරන්ට,වාහනය ඉදිරිපිටට විත් නොනවත්වා රිද්මයට උසුළු විසුළු නැටීමට වරක් පොලිස් ස්ථානාධිපතිවරයෙක් නියම කලා.ඝෝශාකාරී වාදන යන්ත්‍ර ස්වෙච්ඡාවෙන් ගලවා දැමීමට මහ වෙලාවක් ගියේ නෑ.

      Delete
    2. එහෙම හරි වැඩේ කරන එක හොඳයි. නමුත් බොහෝ ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක කරන ඈයො ඔය වැඩේ කරන්නෙ නෑ.

      Delete
  8. නීති වලින් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැහැ.. නීති දාන්න දාන්න මිනිස්සු ඒ නීති කඩන විදි හොයාගන්නවා..
    රටක ජන සමාජය යහපත් කරන්නනම් ඒ යහපත් දෑ මිනිසුන්ට ඉගැන්විය යුතුයි කියලයි මගේ අදහස.. බහුතරයක් ජනතාව පොදු ප්‍රවාහන සේවා වලින් ප්‍රවාහන අවශ්‍යතාවය ඉටුකරගන්නා රටක මගී ප්‍රවාහනය කරන රියදුරන් අනිවාර්යෙන් හැදාරියයුතු පාඨමාලාවක් සකස් කරලා ඒ පාඨමාලාවෙන් සමත්වෙන උදවිය වෙනුවෙන් ලැබෙන වෙනම බලපත්‍රයක් අනිවාර්ය කරානම්, වැරදි කරන උදවියගේ මගී ප්‍රවාහන බලපත්‍රය උසාවියෙන් අත්හිටුවන වැඩපිළිවලක් තිබුන නම් මගී ප්‍රවාහන රියදුරන් බොහොම විනය ගරුකව තමුන්ගේ රැකියාව කරාවි කියලයි මගේ අදහස..එහෙම දෙයක් තිබුනානම් ඔවුන්ගේ වුර්තීයන් වලට ලැබෙන පිළිගැනීමත් වැඩියි.

    බටහිර රටවල මගී ප්‍රවාහනය කරන රියදුරන්ට වෙනම විභාගයකින් සමත් වීම අනිවාර්යයි. අනතුරුදායක ලෙස රිය පැදවීම එම බලපත්‍රය අහෝසිවෙන්න හේතුවක් වෙන නිසා කිසම මගී ප්‍රවාහන රියදුරෙක් නීති කඩන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //නීති වලින් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැහැ.. නීති දාන්න දාන්න මිනිස්සු ඒ නීති කඩන විදි හොයාගන්නවා.. //


      //බටහිර රටවල මගී ප්‍රවාහනය කරන රියදුරන්ට වෙනම විභාගයකින් සමත් වීම අනිවාර්යයි. අනතුරුදායක ලෙස රිය පැදවීම එම බලපත්‍රය අහෝසිවෙන්න හේතුවක් වෙන නිසා කිසම මගී ප්‍රවාහන රියදුරෙක් නීති කඩන්නේ නැහැ.//

      :D

      Delete
    2. /බටහිර රටවල මගී ප්‍රවාහනය කරන රියදුරන්ට වෙනම විභාගයකින් සමත් වීම අනිවාර්යයි. අනතුරුදායක ලෙස රිය පැදවීම එම බලපත්‍රය අහෝසිවෙන්න හේතුවක් වෙන නිසා කිසම මගී ප්‍රවාහන රියදුරෙක් නීති කඩන්නේ නැහැ.//

      මගී ප්‍රවාහන රියදුරෙක් වීමට කොතරම් මහන්සියක්, සහ මුදලක් යටකරනවාද කියා ඔවුන් දන්නා නිසා, අකුරටම නීතිය රකිනවා. බස් නැවතුමට අමතරව හදිසියකටවත් බස් එක නවත්තන්න බයයි.

      Delete
  9. මේකනම් හරිම වටින ලිපියක්.
    මේ තහනම ගැන ප්‍රවෘත්තිය අහපු ගමන් මටත් හිතුනේ මේක දියුනු වෙමින් එන නව සාහිත්‍යයක ගෙල සිඳ දැමීමේ පියවරක් ලෙසයි.
    ඇත්තෙන්ම මේ විශය ගැන පර්යේශන පත්‍රිකා පවා පල වී ඇති බවක් මා දැන සිටියේ නැහැ.
    මම දකින විදියට මේක හරිම අන්තගාමී දරදඬු නීතියක්.
    තව ටික කාලෙකින් අපේ ගේදර බිත්තියේ අපි ගහල තියෙන පින්තූර වලටත් නීතියක් පැනවෙයිද?
    රටේ රාජ්‍ය නායකයාගේ, දෙවැනියාගේ හා ප්‍රාදේශීය නායකයාගේ පින්තූර හැර අන් කිසි පින්තූරයක් නිවෙස්වල ප්‍රදර්ශණය කිරීම තහනම් කියලා....?

    ReplyDelete
  10. ත්‍රී රෝද රථ සාහිත්‍යය වැනසීම නං කිසිම තේරුමක් නැති ගොං තීරණයක්. අසභ්‍ය නොවේ නං අයිතිකාරයට ඕනෙ වැකියක් දාගත්තම අනෙක් උංට මොන අමාරුවක්ද..

    ReplyDelete
  11. මේ ස්ටිකර් තහනමට වඩා වෙන වැඩ නැද්ද මන්දා. සියළුම මගී ප්‍රවාහන සේවා එක් නියාමන ආයතනයකට යටත්ව, මගීන් සහ සේවකයින්ගේ පහසුවත්, නීතිය පිලිබඳව උපදෙස් සහ වගකීමුත් බලාගන්නවා මිසක්, සරුව පිත්තල ගැජට් කෑලීම තමයි නීති නීති කියලා එල්ලන්නේ.

    ReplyDelete
  12. ඇත්තෙන්ම මේ ත්‍රීවීල් සටහන් හරිම අපූරුයි. ඒවා යින් කරන්න ගත්තු තීරණේ නම් පට්ට ගොන්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: