Monday, December 26, 2016

බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවිඩයක්...


කවුරුත් දන්නා 'බැඳුම්කර මගඩිය' පිළිබඳ කතාබහ මෑතකදී නැවත වරක් කරලියට පැමිණියේය. මේ හා අදාළ මුල් සිදුවීම සිදු වී දැන් මාස විසිදෙකකි. ඉකොනොමැට්ටා සිංහලෙන් බ්ලොග් ලියන්නට පටන් ගත්තේද මේ සිදු වීමෙන් මාස ගණනකට පසුවය. ඇත්තටම කියනවානම් මේ බැඳුම්කර සිද්ධිය ඉකොනොමැට්ටාට සිංහලෙන් වියුණුවක් අරඹන්නට උත්තේජනයක් සැපයූ කරුණු අතර එක් කරුණකි.

මතභේදයට තුඩුදුන් බැඳුම්කර වෙන්දේසිය සිදුවූ අළුත ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මිතුරන් කිහිප දෙනෙකුම මේ සිදුවීම පිළිබඳවත්, ඒ හා අදාළ ඇතැම් තාක්ෂනික කරුණු ගැනත් ඉකොනොමැට්ටාගෙන් විමසුවේය. එවැනි ඇතැම් මිතුරන්ට විද්‍යුත් තැපෑලෙන් ලබා දුන් පිළිතුරු ඔවුන් විසින් ඉකොනොමැට්ටාගේ අවසරය ලබාගෙන ඔවුන්ගේ වෙනත් මිතුරන් වෙතද යොමු කර තිබුණේය. 

මෙයින් පෙනී ගියේ ආර්ථික විද්‍යාව, මූල්‍යකරණය, ගිණුම්කරණය වැනි විෂයයන් විධිමත් ලෙස හදාරා නැති, එහෙත් වෙනත් වෘත්තීය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් වන හා නිසි පැහැදිලි කිරීමක් කළ විට තමන්ගේ ක්ෂේත්‍රයෙන් බාහිර තාක්ෂනික කරුණක් පහසුවෙන් තේරුම් ගත හැකි තවත් බොහෝ දෙනෙක් එදිනෙදා සිදුවීම් ගැන ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින් දකින දේ දැනගන්නට උනන්දුවක් දක්වන බවයි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල අරඹන විට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නට අදහසක් තිබුණත්, වියුණුව අරඹා සෑහෙන කලක් ගතවන තුරු ඉකොනොමැට්ටා මේ සිදුවීම ගැන වැඩිපුර කතා කර නැත. එයට හේතු රැසක් තිබුණේය. පළමු හේතුව වූයේ මේ සිදුවීම ගැන සිදු කෙරෙන කතාබහ බොහොමයකදී තාක්ෂණික මට්ටම ඉක්මවා එහි දේශපාලනික කරුණු ඉස්මතු වීමයි. දෙවැන්න, මේ ගැන අදහසක් පළ කිරීමට සැලකිය යුතු කාලයක් මිඩංගු කර ඉතා පුළුල් අධ්‍යයනයක් කළ යුතු වීමයි. ඒ සඳහා මූලික දත්ත හා තොරතුරු රැසක් විමර්ශනය කළ යුතු වූ අතර ඉකොනොමැට්ටාට මේ අවශ්‍ය දත්ත හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නොතිබුණේය. මේ අතර, හිටපු මහ බැංකු අධිපතිගේ ධුර කාලය අවසන් වීමත්, නව මහ බැංකු අධිපති වරයෙකු පත් කරනු ලැබීමත් සිදුවූ අතර, 'බැඳුම්කර මගඩිය' පිළිබඳව රටේ පැවති උනන්දුව යම් තරමකින් තුනී වී ගියේය.

මෙසේ යටපත් වූ ප්‍රස්තුත සිදුවීම නැවතත් පුවත් මවන්නට පටන් ගත්තේ කෙටි කාලයක් තුළ අළුතින් 'එළියට ආ' ලේඛණ තුනක් නිසාය. පළමුවැන්න හිටපු මහබැංකු අධිපති වරයාගේ බෑනාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වාර්ෂික ගිණුම් ප්‍රකාශනයි. දෙවනුව, එම සමාගම හා අදාළව මහ බැංකුව විසින් සිදුකළ සුපරීක්ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත 'ලීක් විය'. තෙවනුව, 'බැඳුම්කර මගඩිය' ගැන සොයා බලන්නට පත් කළ සියළු ප්‍රධාන දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගෙන් සමන්විත වූ කෝප් කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ විය. 

සිදුවීමට අදාළ ප්‍රාථමික දත්ත හෝ තොරතුරු විමර්ශනය කිරීමට ඉඩක් නොලද ඉකොනොමැට්ටාට ඉහත ලේඛණ තුන ඇසුරෙන් මේ සිදු වීම ගැන සෑහෙන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. මේ ලේඛණ තුනට අමතරව කලකට පෙර මේ සම්බන්ධව පළ කෙරුණු නීතිඥයින් තිදෙනෙකුගේ වාර්තාවද ඉකොනොමැට්ටාට කියවන්නට ලැබුණු නමුත් මුලින් කී ලේඛණ තුනට සාපේක්ෂව එය විශ්ලේෂණයක් සඳහා එතරම් ප්‍රයෝජනවත් වාර්තාවක් නොවීය. ඉහත ලේඛන ඇසුරින් ඉකොනොමැට්ටා විසින් 'බැඳුම්කර මගඩිය' ගැන ලියූ ලිපි මාලාවේ කොටස් විස්සක් මේ වන විට ඉකොනොමැට්ටාගේ සතපහ වියුණුවේ පළකර තිබේ. 

අදාළ සිද්ධිය තේරුම් ගැනීමට උදවු විය හැකි තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමේ අරමුණින් පසුගිය දෙමසක කාලය තිස්සේ ලියා ඇති මේ ලිපි මාලාවේ අපැහැදිලි  තැන් ඇත්නම් පැහැදිලි කිරීමට මෙන්ම පළකර කර ඇති කරුණු සම්බන්ධව විචේචන ඇත්නම් පිළිතුරු දීමටද ඉකොනොමැට්ටා සූදානම්ය.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පළමු කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (හයවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (හත්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (අටවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (නවවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (එකොළොස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දොළොස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහතුන්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහහතරවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පහළොස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහසයවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහහත්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහඅටවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහනවවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (විසිවන කොටස)

 

(Image: http://www.dailymirror.lk/article/Take-action-against-Arjun-Aloysius-COPE-117997.html)

Saturday, December 24, 2016

ඩොලරය කීයට යයිද?

මහ බැංකුව විසින් නිකුත් කර ඇති අළුත්ම පුවත් නිවේදනයකට අනුව පෙනී යන්නේ ඇමරිකානු ඩොලරය රුපියල් 150 මට්ටමේ රඳවා තබා ගැනීමට ටික කලක සිට දැරූ උත්සාහයෙන් මහ බැංකුවට හති වැටී ඇති බවයි. මේ අනුව, රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා විදේශ සංචිතයේ ඩොලර් විකුණමින් සිටි මහ බැංකුව එසේ විණිමය අනුපාතිකය වෙත මැදිහත්වීම් කිරීමෙන් වැළකෙන්නට තීරණය කර තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී කෙටි කාලයක් තුළ රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වනු ඇත.

විණිමය අනුපාතිකය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නට ඉඩ හරින්නේනම් රටක් ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ පාන්නට ඇති ඉඩකඩ ඉතා සීමිතය. එහෙත්, මහ බැංකුව විසින් විණිමය අනුපාතිකයේ තාවකාලික උච්ඡාවචනයන් වැළැක්වීමේ අරමුණින් විදේශ විණිමය වෙළදපොලට කරන මැදිහත්වීම් බොහෝ විට අවසන් වන්නේ රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීමේ උත්සාහයන්ගෙන් හා ඒ පසුපස ගොනු පසුපස ඇදෙන ගැලමෙන් පැමිණෙන ගෙවුම් ශේෂ අර්බුද වලිනි.

පසුගිය වසර කිහිපය තුළ ඇමරිකන් ඩොලරය රුපියල් 100, 115, 130 හා 145 සීමාවන්හි දිගු කලක් රැඳී තිබුණේ මහ බැංකුව විසින් මැදිහත්වීම් කරමින් එම සීමා ආසන්නයේ ඩොලරය සෑහෙන කලක් ස්ථාවරව තබාගත් බැවිනි. මේ එක් එක් අවස්ථාවේදී, මෙසේ ඩොලරය අදාළ මට්ටමේ රඳවා ගැනීම අසීරු වන විට මහ බැංකුව විසින් විණිමය අනුපාතිකය වෙත මැදිහත් වීම නැවැත්වීමත්, ඉන් පසු ඉතා කෙටි කලක් තුළ රුපියලේ අගය විශාල ලෙස පහත වැටීමත් සිදුවිය.

මෙවරද, මහ බැංකුව විසින් මැදිහත්වීම් නැවැත්වීමත් සමඟ ඉදිරි මසක පමණ කාලය තුළ ඩොලරයේ අගය රුපියල් 160 පමණ දක්වා ඉහළ යන්නට ඉඩ තිබේ.

රුපියල අවප්‍රමාණය වන්නට ඉඩහැරීම මහ බැංකුව විසින් ගෙන ඇති නිවැරදි තීරණයකි. රුපියලේ වටිනාකම කෘතීම ලෙස ඉහළින් තබා ගැනීම නිසා ලංකාවේ ආර්ථිකයට සිදුවී ඇති හානිය විශාලය. මේ තීරණය වුවද තරමක් කලින් ගත්තේනම් පසුගිය කාලයේදී විදේශ සංචිතයෙන් වැය කෙරුණු විදේශ විණිමය ප්‍රමාණය ඉතිරි කරගත හැකිව තිබුණි.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ මෑතකාලීන ශක්තිමත් වීම හමුවේ රුපියල අවප්‍රමාණය වන්නට නොදී තබාගැනීම රටේ අපනයන තරඟකාරිත්වයට ඉතා නරක ලෙස බලපායි. ඒ නිසා, මෙසේ රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැරීම අපනයනකරුවන්ට වාසිදායකය. අනෙක් අතට, මෙය ආනයනික භාණ්ඩ වල මිලගණන් ඉහළ යාමටත්, රජයේ විදේශ ණය වල රුපියල් අගය ඉහළ යැවීමටත් හේතු වනු ඇත.

මහ බැංකුවේ මැදිහත්වීම නැවැත්වීමෙන් පසුව රුපියල එහි වෙළදපොළ අගය දක්වා සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී නැවත ස්ථාවර වනු ඇත. ඉන් පසුව, මහ බැංකුව විසින් කළ යුත්තේ මේ චක්‍රය නැවතත් පුනරාවර්තනය නොකරමින් එතැන් සිට රුපියලට වෙළදපොළ සාධක අනුව නිදහසේ අවප්‍රමාණය වන්නට ඉඩහැරීමයි. රටකට ගෙවුම් ශේෂ අර්බුද වලට නිතර මුහුණ පාන්නට සිදුවේනම් එය එම රටේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයකි.

Thursday, December 22, 2016

අධිවේගයේ ආතල් එක සහ කුණු නැති අගනුවරක ආතල් එක

ලංකාවේ අධිවේගී මාර්ග වල ප්‍රවේශ ගාස්තු වලින් ලැබෙන ආදායම එම ව්‍යාපෘති වල ප්‍රාග්ධන පිරිවැය සමඟ සසඳමින් මා පළ කර පෙර ලිපියට ලැබී ඇති ප්‍රතිචාර වලින් මගේ එක් නිරීක්ෂණයක් තහවුරු වී තිබේ. ලාබ අලාබ මොනවා වුණත් මේ ව්‍යාපෘති සම්බන්ධව ලංකාවේ වැඩි දෙනෙකුට ඇත්තේ ප්‍රසාදයකි. මගේ වියුණුව හෝ වෙනත් වියුණු නොකියවන ලංකාවේ ජීවත්වන බොහෝ  දෙනෙකුගේත්, ලංකාවෙන් පිටත ජීවත්වන ලංකික සම්භවයක් ඇති බොහෝ දෙනෙකුගේත් ස්ථාවරය මෙයම බව මගේ විශ්වාසයයි.

ඉහත ප්‍රකාශයෙන් අදහස් වන්නේ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ විවේචන නැති බව නොවේ. මේ ව්‍යාපෘති සඳහා වැය වූ පිරිවැය සම්බන්ධවත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සමාගම් වලට පැවරීමේදී සිදුවූවේයැයි කියන කොමිස් ගැහිලි ගැනත් විවේචන තිබේ. මේ කරුණු ගැන ඉකොනොමැට්ටා විසින් සීරියස් මට්ටමේ අධ්‍යයනයක් කර නැති නිසා ඒ ගැන මෙහි කතා කරන්නට සූදානමක් නැත. කෙසේවුවද, මෙවැනි විවේචන කරන අයත් පසුගිය කාලයේ ලංකාවේ සිදු කෙරුණු අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළු මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිදු නොකර සිටිය යුතුව තිබුනේයයි නොකියති.

පසුගිය කාලයේ අධිවේගී මාර්ග ව්‍යාපෘති වල සිට ගම්වල අඩිපාරවල් කොන්ක්‍රීට් කිරීම් දක්වා ලංකාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක විය. මේ ව්‍යාපෘති නිසා ලංකාවේ මාර්ග සංවර්ධනයේ සිදු වී ඇති ප්‍රගතිය වසර කිහිපයකින් පසු ලංකාවට පැමිණෙන කෙනෙකුට ඉතා පැහැදිලි ලෙස පෙනේ. කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදය කොයිතරම් ප්‍රශ්නයක් වුවත්, විශාල ලෙස වාහන වැඩිවී ඇති පසුබිමක වුවද අගනුවර ආශ්‍රිත මාර්ග වල ගමනාගමනය වසර දහයකට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයක ඇති බව මගේ පෞද්ගලික අදහසයි.

රියදුරන්ගේ හැසිරීම වුවද, බටහිර රටක් සමඟ සැසඳිය නොහැකි වුවත්, වසර දහයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස දියුණු වී තිබේ. උදාහරණයක් ලෙස ලංකාවේ වාහන නලා නාද කිරීම් දැන් සිදුවන්නේ දශකයකට පෙර සිදුවූවාට වඩා අඩුවෙනි. මේ සියල්ල මගේ පෞද්ගලික නිරීක්ෂණයි. යටිතලපහසුකම් ඇතුළු භෞතික පහසුකම් දියුණු වන විට පුද්ගල චර්යාවන්ද දියුණු වන බව මගේ අදහසයි. අගනුවර පිරිසිදුව තබා ගැනීම සම්බන්ධව පසුගිය කාලයේ ගැනුණු ක්‍රියාමාර්ග ගැනද රට තුළ හා රටින් පිටත ජීවත්වන බොහෝ ලාංකිකයන්ගේ ඇත්තේ ප්‍රසාදයකි. මාර්ග සංවර්ධනය හා නගර අලංකරණය යන අංශ දෙකෙන්ම පසුගිය කාලයේ ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලැබුවේය.

මාර්ග සංවර්ධනය හා නගර අලංකරණය අතින් ඉදිරියෙන් සිටින රටවල ජීවත් වන ඇතැම් ලාංකිකයනට නිවාඩුවකට ලංකාවට පැමිණි විට ලංකාවේ බොහෝ දෙනෙකු දැක නැති අධිවේගී මාර්ග හා කුණු නැති නගර වැනි දේ ගැන 'පොර ටෝක් දෙන්නට' තිබුණු අවස්ථාව දැන් නැති වී ඇති බව පසුගිය දිනෙක වෙනත් තැනෙක පලවී තිබුණු, කිහිප දෙනෙකුම අනුමත කර තිබුණු අදහසකි. ඒ ගැන කතා කිරීම ඉදිරි ලිපියකට ඉතිරි කර දැනට අපි මේ අධිවේගී මාර්ග හා කුණු නැති නගර වලින් ලැබෙන 'ආතල් එක' ගැන කතා කරමු.

ප්‍රවේශ ගාස්තු ගෙවා අධිවේගී මාර්ගයකට ඇතුළුවන අයෙකු එසේ ප්‍රවේශ ගාස්තු ගෙවීමෙන් පසුවද ලබන 'ආතල් එකක්' තිබේ. මේ ආතල් එකට ආර්ථික විද්‍යා භාෂාවෙන් කියන්නේ පාරිභෝගික අතිරික්තය කියාය. රජය විසින් දියත් කරන කිසියම් ව්‍යාපෘතියක් හෝ ප්‍රතිපත්ති තීරණයක් නිසා සමස්ත පාරිභෝගික අතිරික්තය විශාල ලෙස වැඩි වේනම් එයින් සමාජයට සමස්තයක් ලෙස සිදුවන්නේ යහපතකි. මෙසේ ලැබෙන වාසිය මුළුමනින්ම රජයට ආදායමක් ලෙස ආපසු නොලැබෙන බැවින් සමස්තයක් ලෙස සමාජයට යහපතක් වෙද්දී රජයට පාඩුවක් වෙන්නටත් පුළුවන් කමක් තිබේ.

කෙසේ වුවද, අධිවේගයෙන් ලැබෙන ආතල් එකට වගේම කුණු නැති නගරයකින් ලැබෙන ආතල් එකටත් සීමාවක් තිබේ. අදාළ ව්‍යාපෘති සඳහා වැයවන මුදල එයින් ලැබෙන ආතල් එකට වඩා වැඩිනම් මෙවැනි ව්‍යාපෘතියකින් සමස්තයක් ලෙස සමාජයට සිදුව ඇත්තේ අයහපතකි. ලැබෙන ආතල් එක සමස්තයක් ලෙස වැය කළ පිරිවැයට වඩා වැඩිනම් සිදුවී ඇත්තේ යහපතකි. ඇතැම් විට මේ ආතල් එකෙන් කොටසක් රජයට ආදායමක් ලෙස නොලැබීම නිසා ව්‍යාපෘතියෙන් රජයට පාඩුවක් වුනත් සමස්තයක් ලෙස සමාජයට අවාසියක් වී නොතිබෙන්නට පුළුවන.

ධනවාදී ක්‍රමයක මුදලේ කාර්ය භාරය වන්නේ මේ ආතල් එකේ සීමාව සොයා ගැනීමයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් එක් එක් පුද්ගලයා ලබන සතුට එම පුද්ගලයින් හැර වෙනත් අයට සෘජුව නිරීක්ෂණය කළ නොහැකිය. මුදල් හරහා ගනුදෙනු වන සමාජයක එක් අයෙකු මෙසේ ලබන ආතල් එක ගැන වෙනත් අයෙකුට අදහසක් ලබා ගැනීමට ඉඩ සැලසේ.

දක්ෂිණ අධිවේගය හෝ කටුනායක අධිවේගය භාවිතා කරන ඔබට ඒ හේතුවෙන් සිදුවන කාල ඉතිරිය, ඉන්ධන ඉතිරිය ආදී සියළුම වාසිත්, ඒ නිසා ලැබෙන ආතල් එක හෝ වෙනත් එවැනි සියළුම වාසිත් එකතු කළ විට මේ අධිවේගී මාර්ග නිසා ඔබ ලබන සමස්ත වාසියට නිශ්චිත මිලක් තිබේ. එය අසීමිත නැත. රජය විසින් දක්ෂිණ අධිවේගයේ ප්‍රවේශ ගාස්තු දිනකට රුපියල බැගින් දිනපතා වැඩි කරගෙන ගියහොත් දැනට එය භාවිතා කරන ඔබ වැඩේ අතහැර දමන දවසක් කවදා හෝ පැමිණේ. එදින ප්‍රවේශ ගාස්තු මිල ඔබේ මුළු අධිවේගී ආතල් එකට සමානය. මේ ආතල් එක ඉක්මවන මිලක් ගෙවා ඔබට තවදුරටත් මිලට සරිලන ආතල් එකක් නොලැබිය හැකි බැවින් එදින ඔබ වැඩේ අතහැර දමයි.

මේ ආකාරයෙන්ම කුණු නැති අගනුවරක් තිබීම ආතල් වුනත් ඒ ආතල් එක තියෙන්නේ ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ලැබෙන ආතල් එකට වඩා අඩුවන තාක් පමණි.

කාලයක් පිටරටක සිට හෝ පිටරටක සංචාරය කර එන අයෙකුගේ පොර ටෝක් වලින් පමණක් අධිවේග හා කුණු නැති නගර ගැන අසා තිබුණු අයෙකුට රටේ මේ දේවල් ඇති වී තිබීම නිසාම ලැබෙන ආතල් එකක් තිබේ. මේ ආතල් එක අධිවේගය භාවිතා නොකළත්, කොළඹ නිතර නොගියත් ලැබෙන එකකි. අධිවේගය භාවිතා කරන අයෙකුගේ ආතල් එක ප්‍රවේශ ගාස්තු හරහා මුදල් කර ගැනීමට රජයට හැකි වුවත්, ඒවා භාවිතා නොකරන අයෙකුට අධිවේගී මාර්ග රටේ තිබීම නිසා ලැබෙන ආතල් එක වෙනුවෙන් මුදලක් අය කර ගැනීම අසීරුය. මේ හේතුවෙන් ඔවුන් වෙත ඉතිරි වන පාරිභෝගික අතිරික්තය මැතිවරණ ආදියේදී ක්‍රියා කරන ආකාරයෙන් පිළිබිඹු විය හැකිය.

මගේ අදහස අනුව රටේ අධිවේගී මාර්ග තිබීම නිසා ලැබෙන තරම් ආතල් එකක් බොහෝ දෙනෙකුට හම්බන්තොට ගුවන් තොටුපොළ නිසා නොලැබේ. හම්බන්තොට වරාය නිසා ලැබෙන ආතල් එක ඊටත් වඩා අඩු බව පෙනේ. රුපියල් දෙතුන් සීයක ප්‍රවේශ ගාස්තුවක් ගෙවා අධිවේගය වරක් හෝ භාවිතා කිරීම ලංකාවේ පහළ ආදායම් ලබන අයෙකුට වුවත් කළ හැකි දෙයකි. අධිවේගී මාර්ග විවෘත කළ කාලයේ බොහෝ අය අධිවේගය බලන්නටම ට්‍රිප් ගියේය. ඒ නිසා අධිවේගයේ ආතල් එක බොහෝ දෙනෙකුගේ ඇඟට දැනෙන දෙයකි. නමුත්,
හම්බන්තොට ගුවන් තොටුපොළ භාවිතා කර ආතල් එකක් ගන්නට ඒ ප්‍රදේශයේම සාමාන්‍ය අයෙකුට වුවත් පහසු දෙයක් නොවේ. වරායනම් කොහොමටත් සාමාන්‍ය ජන ජීවිතයෙන් බැහැරව ඇති දෙයකි.

ඉහත කරුණු අනුව, වරායෙන් හා ගුවන් තොටුපොළෙන් රටට ලැබෙන සමස්ත ලාභය බොහෝ දුරට එමඟින් ලැබෙන මුදල් ලාභයයි. එහෙත්, අධිවේගී මාර්ග ව්‍යාපෘති වල හා කුණු නැති අගනුවරක එසේ රජයට ලැබෙන මුදල් ආදායම් වලට අමතරව රජයට මුදල් ලෙස එකතු කර ගැනීමට අසීරු සමාජයට ලැබෙන 'ආතල් එකක්ද' තිබේ.

රටක අධිවේගී මාර්ග ඇතුළු මාර්ග සංවර්ධන ව්‍යාපෘති දියත් වීමත්, නගර පිරිසිදුව තිබීමත් පැහැදිලිවම හොඳ දේවල්ය. කෙසේ වුවත්, වැදගත්ම දෙය වන්නේ මේ හැම හොඳ දෙයකටම නිශ්චිත මිලක් ඇති බවයි. ඒ නිසා මේවායින් ආතල් ගන්නා විට මෙවැනි දේ වෙනුවෙන් ගෙවන්නට සිදු විය හැකි මිල ගැනද සැලකිලිමත් විය යුතුය.


(Image: http://www.dw.com/en/thailands-military-government-lifts-martial-law/a-18357063)

Tuesday, December 20, 2016

ට්‍රම්ප් ඇත්තටම ජනාධිපති ධුරයට!

පසුගිය නොවැම්බර් 8 වන දින පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ බව කවුරුත් දන්නා පරණ කතාවකි. එහෙත්, එදින ඇත්තටම සිදු වූයේ මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයාව තෝරාපත්කරගැනීම නොවේ. ඒ කටයුත්ත කරන මැතිවරණ සාමූහිකය (electoral college) සඳහා නියෝජිතයින් 538 දෙනෙකු පත් කර ගනු ලැබීමයි.

මෙසේ එදින පත් කරගැනුණු නියෝජිතයින් අතරින් 306 දෙනෙකු රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයෝද ඉතිරි 232 දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයෝද වූහ. ඇමරිකානු ජනාධිපතිවරයාව ඇත්තටම තෝරන්නේ මේ නියෝජිතයින්ගේ ඡන්දයෙන් වන අතර ජනාධිපති ධුරයට පත් වීම සඳහා මැතිවරණ සාමූහිකයේ ඡන්ද වලින් අවම වශයෙන් 270ක් අවශ්‍ය වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ඇමරිකානු ජනාධිපති වරයා ලෙස සැලකුනේ ඔහු මැතිවරණ සාමූහිකයේ ඡන්ද 306ක්ම හිමිව තිබුණු රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයා වූ බැවිනි.

කෙසේ වුවද, මැතිවරණ සාමූහිකයේ සාමාජිකයින් තමන්ව තෝරා පත් කර ගැනුණු ඡන්දදායකයින්ගේ කැමැත්ත නියෝජනය නොකරමින් වෙනත් අපේක්ෂකයෙකුව ජනාධිපති ලෙස යෝජනා කරමින් ඡන්දය භාවිතා කිරීමේ හැකියාවක්ද තිබේ. ඇතැම් ප්‍රාන්ත වල නීතියෙන් මේ තත්ත්වය වලක්වා ඇතත් සෑම ප්‍රාන්තයකම එවැනි තත්ත්වයක් නොමැති නිසා මෙවැන්නක් නිතර සිදු නොවුණත්, එවැනි දේ සිදු නොවනවාම නොවේ.

ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ සැබෑ ඡන්දය වන මැතිවරණ සාමූහිකයේ ඡන්දය ඊයේ (දෙසැම්බර් 19) පැවැත්විණ. මෙහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් පහසුවෙන් ජයග්‍රහණය කළත් ඔහුට ලැබුණේ රිපබ්ලිකන් නියෝජිත ඡන්ද 306න් 304ක් පමණි. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට මැතිවරණ සාමූහිකයේ ටෙක්සාස් ප්‍රාන්ත නියෝජිතයින් දෙදෙනෙකුගේ තේරීම වූයේ පිළිවෙලින් මේ වන විට ලිබටේරියන් පාක්ෂිකයෙකු වන රොන් පෝල් හා ඔහායෝ ප්‍රාන්තයේ වත්මන් ආණ්ඩුකාර ජෝන් කේසික්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉහත පරිදි රිපබ්ලිකන් ඡන්ද දෙකක් අඩුවෙද්දී, හිලරි ක්ලින්ටන්ට ඩිමොක්‍රටික් ඡන්ද 232න් පහක්ම නොලැබී ගියේය. මේ ඡන්ද පහෙන් එකක් හවායි ප්‍රාන්තයේ ඡන්දයක් වූ අතර ඉතිරි හතර වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්දයි. හවායි නියෝජිතයාගේ ඡන්දය ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා හිලරි ක්ලින්ටන් සමඟ තරඟ කළ බර්නි සැන්ඩර්ස්ටත්, වොෂින්ටන් ඡන්ද හතරෙන් තුනක් හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවල්ටත්, ඉතිරි ඡන්දය රතු ඉන්දියානු නායකයෙකු වන ෆේත් ස්පොටඩ් ඊගල්ටත් හිමි විය. මෙය ඇමරිකානු මැතිවරණ සාමූහිකයේ ඡන්දයක් රතු ඉන්දියානුවෙකුට හිමි වුනු ප්‍රථම අවස්ථාවයි. මීට අමතරව ජෝන් කේසික් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට උත්‍සාහ කළ කොලරාඩෝ ඩිමොක්‍රටික් නියෝජිතයෙකුගේ හා බර්නි සැන්ඩර්ස් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ/ එසේ උත්‍සාහ කළ මිනසෝටා හා මේන් ප්‍රාන්ත වල තවත් ඩිමොක්‍රටික් නියෝජිතයින් දෙදෙනෙකුගේත් ඡන්ද එම ප්‍රාන්ත වල නීති අනුව අවලංගු කර හෝ වෙනත් විකල්ප නියෝජිතයෙකු යොදවා හිලරි ක්ලින්ටන් වෙත ලැබෙන්නට සැලැස්වූයේ නැතිනම් ඇගේ ඡන්ද ගණන තවත් තුනකින් අඩු විය හැකිව තිබුණේය.

පසුගිය සියවස තුළ මෙවැනි සිදුවීම් වී ඇත්තේ අටවරක් පමණි. ඒ, මැතිවරණ අටකදීය. මේ අයුරින් එකවර මැතිවරණ සාමූහිකයේ ඡන්ද හතක්ම වෙනත් අයට භාවිතා කර තිබීම සුවිශේෂී සිද්ධියකි.


(Image: http://www.democraticunderground.com/10028093015)

Thursday, December 15, 2016

වරාය පාඩුනම් අධිවේගය ලාබද?

දිවයින පුවතකට අනුව, මෙම වසර තුළ අධිවේගී මාර්ගවලින් ලද වැඩිම දිනක ආදායම පසුගිය සෙනසුරාදා (10 දා) වාර්තා වී තිබේ. ඒ අනුව එදින දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ලද වාහනවලින් රුපියල් මිලියන 17.59 ක්‌ද, කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 8.96 ක්‌ද උපයා ගෙන ඇත.

අදාළ සටහන අනුව, දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ දිනක සාමාන්‍ය ආදායම මිලියන රුපියල් මිලියන 11.5ක් වන අතර කටුනායක අධිවේගී මාර්ගයේ දිනක සාමාන්‍ය ආදායම මිලියන රුපියල් මිලියන 6.5කි.

මේ අනුව, දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 4.20ක් පමණද, කටුනායක අධිවේගී මාර්ගයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 2.37ක් පමණද වන බව පෙනේ.

හම්බන්තොට වරායේ ලාබ පාඩු ගැන මේ දවස්වල වැඩිපුර කතාබහ කෙරේ. හම්බන්තොට වරායේ හා ගුවන් තොටුපලේ ලාබ අලාබ ගැන කතා කරන බොහෝ දෙනෙක් ඒ කාලයේම වාගේ හැදුණු අධිවේගී මාර්ග වල ලාබ පාඩු ගැන කතා කිරීමට වැඩි උනන්දුවක් නොදක්වති.

අධිවේග වලිනුත් රජයට පාඩුද? නැත්නම් ලාබද?

ඉහත සංඛ්‍යාලේඛණ අනුව කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ග වලින් රජයට ලැබෙන ආදායම රුපියල් බිලියන 6.57ක් පමණ බව පෙනේ. මේ ගණන රටේ නිවාස ඒකක ගණනින් බෙදු විට රටේ එක් පවුලක් වාර්ෂිකව අධිවේගයට ප්‍රවේශ වීමේ ගාස්තු ලෙස රුපියල් 1,300ක් පමණ ගෙවන බව පෙනේ. මෙය සැලකිය යුතු මුදලකි. කිසියම් පුද්ගලයෙකු සිය කැමැත්තෙන් ගාස්තු ගෙවා අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමෙන් පෙනෙන්නේ එම පුද්ගලයාට අධිවේගී මාර්ගය  භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය (උපයෝගීතාවය) ගෙවන ප්‍රවේශ ගාස්තුවට වඩා වැඩි හෝ සමාන බවයි.

කෙසේවුවද, වැදගත් කරුණ වන්නේ රජයට පාඩුද ලාබද යන්නයි. මෙය පරීක්ෂා කරන්නට වෙන්නේ අධිවේගී මාර්ග තැනීම සඳහා ආයෝජනය කළ මුදලට සාපේක්ෂවය. මොරටුව සරසවියේ මහාචාර්ය අමල් කුමාරගේගේ අධ්‍යයන වාර්තාවකට අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ පිරිවැය ඩොලර් මිලියන 1,697ක්ද, කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ පිරිවැය ඩොලර් මිලියන 385ක්ද වේ. මේ මුදල් වැයකෙරුණු වසර වල සිදුවූ මුදලේ කාල වටිනාකමේ වෙනස්කම් අතහැර මේ ගණන් එකතු කළ විට මුළු පිරිවැය ඩොලර් මිලියන 2,082කි. ප්‍රවේශ ගාස්තු ලෙස වාර්ෂිකව ලැබෙන මුදල ඩොලරයක් රුපියල් 150ක් සේ සලකා ඩොලර් වලට හැරවුවහොත් ඩොලර් මිලියන 43.8කි. මෙය ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස 2.1%කි.

කිසියම් ආයෝජන ව්‍යාපෘතියකින් ලැබෙන ආදායමෙන් එම ව්‍යාපෘතියකට යෙදවුණු අරමුදල් වෙනුවෙන් ගෙවිය යුතු පොලී මුදල් ගෙවූ පසු මුල් මුදල පියවා ගැනීමට තරම් ඉතිරියක් වේනම් එවැනි ව්‍යාපෘතියක් ලාභදායී බව කිව හැකිය. ඉහත ව්‍යාපෘති සඳහා ලබාගත් ණය මුදල් වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික 2.1% ඉක්මවන බව මගේ අදහසයි. එය එසේනම්, මේ ව්‍යාපෘති සඳහා ලබාගත් ණය ආපසු ගෙවන්නට තබා ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වාරික ගෙවන්නට තරම්වත් ආදායමක් රජයට නොලැබේ.

අධිවේගී මාර්ග සඳහා ආයෝජනය කිරීමෙන් රජයට සැලසෙන ආර්ථික වාසිය ප්‍රවේශ ගාස්තු ආදායම පමණක් නොවන බවට යමෙකුට තර්ක කළ හැකිය. එය වැරදි තර්කයක් නොවේ. අධිවේගී මාර්ගයේ පිටාර ප්‍රතිඵල (spillover effects) නිසා වක්‍ර ලෙස රජයේ බදු ආදායම්ද යම් තරමකින් වැඩි වනවා විය හැකිය. එහෙත්, එවැනි ආදායම් එකතු කළද සමස්ත චිත්‍රය වෙනස් වන්නට ලොකු ඉඩක් නැති බව මගේ අදහසයි.

ඉහත කුමාරගේ වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි, 2009 පමණ සිට 2014 වසර පමණ දක්වා ක්‍රමක්‍රමයෙන් අධිවේගී මාර්ග තැනීම සඳහා වැය වන සාමාන්‍ය මුදල 'අසාමාන්‍ය ලෙස' සීඝ්‍රයෙන් වැඩි වී තිබේ. තරඟකාරී ලෙස පිරිනැමුණු ව්‍යාපෘති වලට සාපේක්ෂව, 'කතාබහ කරගෙන' පිරිනැමුණු ව්‍යාපෘති සඳහා වැය වී ඇති මුදල 55%කින් වැඩි බව මෙම වාර්තාවේ සංඛ්‍යානමය ලෙස පැහැදිලි කර තිබේ. 2014 අවසාන වන විට මේ 'අසාමාන්‍ය ලෙස වැඩි' වියදම ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. වාර්තාවට අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හා බෙලිඅත්ත අතර කොටස ඉදිකිරීමට වැය වුනු මුදල 545%කින් වැඩි මුදලකි. දක්ෂිණ අධීවේගී මාර්ගය තැනීමට ගිය වියදමෙන් ඩොලර් මිලියන 795ක්ම වැය වී ඇත්තේ එහි අවසන් කිලෝමීටර 30 තැනීමටය.

කුමාරගේ වාර්තාවේ කරුණු අනුව ලංකාවේ තැනුණු අධිවේගී මාර්ග ඒ වෙනුවෙන් වැය කළ මුදලට වඩා බොහෝ අඩු මුදලකින් නිම කර ගැනීමට තිබුණු හැකියාව බැහැර කළ නොහැකිය. යම් හෙයකින් කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ග වෙනුවෙන් වැය කෙරුණු මුදල ඉහත සඳහන් ඩොලර් මිලියන 2,082ක මුදලින් අඩක් වීනම්, ප්‍රතිලාභ අනුපාතිකය 2.1% නොව 4.2%ක් විය හැකිව තිබුණි. එසේ වුවද, මේ ව්‍යාපෘති ලාබ උපයන
ව්‍යාපෘති ලෙස සැලකිය හැක්කේ වැය කළ අරමුදල් වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික ඉහත ප්‍රතිලාභ අනුපාතිකයට වඩා අඩු මට්ටමක පැවතියේනම් පමණි.

අධිවේගී මාර්ග ව්‍යාපෘති වලින් රජයට ලාභයක් ලැබීම නොකළ හැකි දෙයක් නොවේ. එහෙත්, ඒ සඳහා තරඟකාරී ලෙස ටෙන්ඩර් කැඳවීම මඟින් හැකිතාක් අඩු වියදමකින් මේ මාර්ග ඉදිකිරීමත්, අඩු පොලියකට අරමුදල් සපයා ගැනීමත් අත්‍යවශ්‍ය සාධක වේ. එසේ නැත්නම්, මේ මාර්ග වල ඵලදායී ජීවිත කාලය ගෙවෙන තුරුම වැය කළ පිරිවැය වෙනුවෙන් පොලී ගෙවමින් සිටිනු හැර ලාභයක් ලබනු තබා මුල් ණය මුදල පියවීම වුවද අසීරු කරුණක් වනු ඇත.


ඉන්ධන ටැංකිය හිස්ව තබාගෙන 'එක්සිට් නැති හයිවේ වලට' ඇතුළු වීම අනතුරුදායකය. එයට අමතරව ඉන්ධන ටැංකියේ සිදුරු තිබේනම් එය ඉතාම අනතුරුදායකය!

(Image: http://www.pri.org/stories/2011-11-28/sri-lanka-opens-first-highway)

Monday, December 12, 2016

උතුර බලාගෙන දකුණට පහරන බල්ලෝ


බලු වැඩ ගැන අප කාටත් හොඳ අවබෝධයක් තිබේ. ඒ බල්ලා සත්ත්ව ලෝකයේ සිටින මිනිසාට සමීපතම සතා නැත්නම් සතෙක් වන නිසාය. සහශ්‍ර ගණනක සිට ගෘහස්තකරණය වී සිටින සතෙක් වන බල්ලාගේ බලු වැඩ අප හොඳින් නිරීක්ෂණය කර ඇති අතරම මිනිසුන් සමඟ කාලයක් තිස්සේ ජීවත් වන බල්ලන්ට මිනිස්සුන්ගේ මිනිස් වැඩත් රහසක් නොවන්නට ඉඩ තිබේ.

බල්ලන්ට පහරන්නට හෝ සුළුදිය හෙලන්නට තැනක් වේලාවක් නැතැයි කීවොත් එය නිවැරදි නොවන්නේ ඒ කටයුතු කර ගැනීම සඳහා ඉඩහරිමින් දම්වැලෙන් ලෙහන තුරු ඉවසා සිටින්නට බල්ලන්ට බැරි කමක් නැති නිසාය. එසේ ඉඩ හළ පමණින් බල්ලෝ මේ කටයුතු එතැනම නොකරති. තමන්ට අවශ්‍ය තැනක් සොයා යති. මේ තැන ගහක්, වාහනයක ටයරයක් හෝ අල්ලපු වත්ත විය හැකිය. මේ අනුව පෙනී යන්නේ බල්ලන්ට පහරන්නට හෝ සුළුදිය හෙලන්නට තැනක් වේලාවක් ඇති බවයි.

මේ ලිපිය බල්ලන් පහරන හා සුළුදිය හෙලන තැන් මෙන් වැඩි දෙනෙකු නිරීක්ෂණය කර නොමැති දෙයක් විය හැකි කරුණක් ගැනය. බල්ලන්ට මේ කටයුතු කරන්නට තැනක්, වෙලාවක් මෙන්ම දිශාවක්ද තිබේ!

චෙකොස්ලොවැකියානු හා ජර්මානු සරසවි දෙකකට අනුබද්ධ පර්යේෂක කණ්ඩායමක් විසින් බලු වර්ග 37කට අයත් බල්ලන් 70ක් වසර දෙකක පමණ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර ලබාගත් දත්ත විශ්ලේෂණය කරමින් වසර කිහිපයකට පෙර පළ කළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව බල්ලන් බොහෝ විට මළපහ කරන්නේ එක්කෝ උතුර බලා දකුණට පස්ස හරවාගෙනය. එසේ නැත්නම් දකුණ බලා උතුරට පස්ස හරවාගෙනය!

මේ පර්යේෂණය සඳහා අදාළ පර්යේෂණ කණ්ඩායමට මේ බල්ලන් 1,893 වරක් පහරන තුරුත් 5,582 වාරයක් සුළුදිය හෙලන තුරුත් බලා සිටින්නට විය. පර්යේෂණ දත්ත එකතු කිරීම යනු ඇතැම් විට බල්ලෙකු පහරන තෙක් බලා සිටීම වැනි අප්‍රසන්න කටයුත්තකි.

බල්ලන් මළපහ කරන විට අනුගමනය කළ මේ රීතිය සුළු දිය හෙලන විට ඒ අයුරින්ම අනුගමනය නොකළත්, බැල්ලියෝනම් අවස්ථා දෙකේදීම ශුභ දිශාව බලන්නට අමතක නොකරති.

මේ චර්යාවට හේතුව පැහැදිලි නැතත් බල්ලන් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට සංවේදී බව මේ පර්යේෂණය තහවුරු කරයි. පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය එතරම් ප්‍රබල නොවූ අවස්ථාවල බල්ලන්ගේ ඉහත චර්යාව එතරම් පැහැදිලිව නොපෙනුණේය.

මෙසේ උතුර බලා දකුණට හෝ දකුණ බලා උතුරට පහරන්නේ බල්ලන් පමණක් නොවේ. වෙනත් පර්යේෂණයකට අනුව ගොන්නු තණ කන්නේද මෙවැනිම චර්යාවක් ප්‍රදර්ශනය කරමිනි.

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් හා සෘජු නිරීක්ෂණ ඇසුරෙන් හරක් පට්ටි 308ක හරක් (හා එළදෙනුන්) 8,510ක්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමෙන් පෙනී ගියේ හරකුන් බොහෝ විට තණ කන්නේත්, විවේක ගන්නේත් උතුර බලා දකුණට පස්ස හරවා බවයි. 


මේ චර්යාව හරකුන්ට අමතරව මුවන් විසින්ද පෙන්වූවකි. පරවියන් හා වවුලන් වැනි ඇතැම් පක්ෂීන් හා ක්ෂීරපායීන් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට සංවේදී බව කලක සිටම තහවුරු වී ඇති කරුණකි.

මින් පසු බල්ලෙක් පහරනු හෝ ගොනෙක් තණ කනු දුටු විට ඌ එය කරන්නේ කවර දිශාව බලාගෙනදැයි නිරීක්ෂණය කර බලන්න.


(Image: http://www.livescience.com/44732-eliminating-pet-poop-pollution.html)

Saturday, December 10, 2016

අද මානව හිමිකම් දිනයයි!

අද, දෙසැම්බර් 10, මානව හිමිකම් දිනයයි. ලංකාව නිදහස සැමරූ 1948 වසරේ අද වැනි දිනෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය සම්මත කර ගැනුණු අතර ඊට දෙවසරකට පසු 1950දී එම සංවිධානය විසින් සියළුම සාමාජික රාජ්‍යයන්ට හා මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන සංවිධාන වලට වාර්ෂිකව දෙසැම්බර් 10 දිනය මානව හිමිකම් දිනය ලෙස සමරන මෙන් ආරාධනා කළේය.

"මානව හිමිකම්" වල "හිමිකම්" කොටස ගැන පමණක් නොව "මානව" කොටස සම්බන්ධව පවා ලෝකයේ විවිධ සමාජ අතර තවමත් ඒකමිතියක් නැත. එහෙත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය සම්මත කර ගැනුණු තැන් සිට ගත වූ දශක හයකට වැඩි කාලය තුළ මේ සම්බන්ධව ලෝකය සමස්තයක් ලෙස ගමන් කර ඇත්තේ ප්‍රගතියේ දිශාව දෙසට බව නොකියා නොහැක.

විශ්ව මානව හිමිකම් ගැන කතා කළත්, මානව හිමිකම් කියන්නේත් සංස්කෘතියට සාපේක්ෂ සංකල්පයකි. ඒ නිසා, මානව හිමිකම් නම් වූ සංකල්පයද කාලයත් සමඟ පරිණාමය වන අතර එය ලෝකයේ සෑම තැනකම සමගාමී ලෙස සිදුවන්නේ නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය මේ පරිණාමය කිසියම් අයුරකින් සමගාමීව සිදුකිරීමේ උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

මානව හිමිකම් සංකල්පය සංස්කෘතියකට සාපේක්ෂ සංකල්පයක් වුවත්, තමන්ගේ සංස්කෘතියේ ඇති මානව ප්‍රගතියට බාධා කරන සංරචක හඳුනාගෙන බැහැර කිරීමටත්, වෙනත් සංස්කෘතියක ඇති වඩා සාධනීය දේ උකහාගැනීමටත් එය බාධාවක් නොවිය යුතුය.

අද දින වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටී.

Monday, December 5, 2016

චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ?

පොල් ලෙලි ගහන මැෂිමක් හැදීමට සම්බන්ධ වූ ඉකොනොමැට්ටාගේ කැම්පස් යාළුවෙක් ගැන ඉකොනොමැට්ටා කලකට පෙර ලිපියක් ලිවුවේය. මේ යාළුවා ටිකක් "ලොකු වී" වතුරෙන් දුවන කාර් එකක් සැලසුම් කළ බවද එහිම සටහන් කෙරුණු දෙයකි. තෙල් ගසන්නට අතින් වියදම් නොකර වතුරෙන්ම කාර් දුවවන්නට බලා සිටින බහුතරයක් සිටින රටක මෙවැනි නිර්මාණයකට හොඳ ඉල්ලුමක් තිබිය හැකිව තිබුණේය. මෙසේ නව නිර්මාණ දෙකකටටම දායකත්වය සැපයූ, එන්ජිමා ලෙස මා හැඳින්වූ මේ මිතුරා සැලසුම් කළ වෙනත් දේවල් අතර මී කතුරක්ද තිබුණේය.

එන්ජිමා විසින් සැලසුම් කළ මී කතුරේ තාක්ෂනය ඉතා සරලය. එහෙත්, මේ මී කතුරෙන් මීයෙකුට ලේසියෙන් ගැලවෙන්නට බැරි බව ඔහු සපථ කර සිටියේය. ඔබත් මීයන්ගේ කරදරයෙන් වද විඳිනවාද? එසේනම්, ඔබටත් මී කතුරක් ගෙදරදීම හදා ගැනීම සඳහා දැන් මා හදන්නේ මේ එන්ජිමාගේ මී කතුරු තාක්ෂනය ඔබට ලබා දෙන්නටය. මීයන් අල්ලා, මීයන් නිසා සිදු වූ නාස්තිය හා දූෂණය නැති කර සෞභාග්‍යය උදා කරන්නට පොරොන්දු දුන් අය එසේ නොකරනවානම් මේ තාක්ෂනය යොදාගෙන ඔබටම මීයන් අල්ලා ගන්නට පුළුවන.

මීයන් ඇල්ලීමේ තාක්ෂණයේ විප්ලවීය නව සොයාගැනීමක් වන මේ මී කතුර සැලසුම් කිරීමට පෙර එන්ජිමා වෙනත් සැලසුම් රැසක්ද සලකා බැලුවේය. මුලින්ම ඔහු සැලසුම් කළේ අර පෙර කී පොල් ලෙලි ගහන මැෂිමේම දිගුවකි. එන්ජිමා සැලසුම් කළේ පොල් ලෙලි ගසන මැෂිමේ සැලසුමේ කුඩා වෙනස්කම් හෙවත් මොඩිෆිකේෂන් හතරක් කිරීමෙන් එය මී උගුලක් බවට වෙනස් කර ගත හැකි බවයි. කොහොමටත් ඒ කාලයේ අප වැඩිපුර පුහුණු වුනේ මේ ආකාරයට වෙනත් අයෙක් කලින් කළ දෙයක් හොයාගෙන පොඩ්ඩක් වෙනස් කර තමන්ගේ වගේ ඉදිරිපත් කිරීමටය.

පසුව අතහැර දමනු ලැබූ මේ පළමු සැලසුම පොල් ලෙලි ගහන මැෂිමෙන් වෙනස් වූයේ මෙහි පෙට්ටිය හෙවත් කේසින් එක ප්‍රමාණයෙන් කුඩා වීම, සිදුරු දෙකක් වෙනුවට එක සිදුරක් තිබීම, පොල් උලක් අවශ්‍ය නොවීම හා පොල් ලෙලි ගහන්නට දන්නා තරුණයෙකු වෙනුවට මීයන් අල්ලන්නට දන්නා පූසෙකු යොදාගැනීම යන කරුණු වලිනි.

පොල් ලෙලි ගහන මැෂිමේ ඉන්පුට් එකක් මෙන්ම අවුට්පුට් එකක් තිබිය යුතු වුවත් මීයන් අල්ලන යන්ත්‍රයට ඉන්පුට් එකක් තිබීම පමණක් ප්‍රමාණවත් වූ බැවින් (බදු කෙතරම් ගෙවුවත් ඒවායින් කෙරෙන දෙයක් පේන්නට නැති සමහර රටවල ආණ්ඩු වලට වගේ) සිදුරු දෙකක් අවශ්‍ය නොවීය. පූසෙකුට තරුණයෙකුට තරම් ඉඩක් අවශ්‍ය නොවන නිසා යන්ත්‍රය ප්‍රමාණයෙන් කුඩාවට සැලසුම් කිරීමට හැකිවිය.

මේ යන්ත්‍රයටද පෙර යන්ත්‍රයට මෙන් බාහිර ශක්ති ප්‍රභවයක් අවශ්‍ය නොවීම සැලසුමේ වූ සාධනීය අංගයකි. විදේශීය ණය වෙනුවට දේශීය ණය ගන්නා විට මෙන් ශක්තිය යන්ත්‍රය අභ්‍යන්තරයෙන්ම ලැබේ.

සැලසුමේ පෙනෙන්නට වරදක් නොතිබුණේය. එහෙත්, මේ සැලසුම විමර්ශනයට ලක් කළ රිවීව් බෝඩ් එක පෙර පොල් ලෙලි ගසන යන්ත්‍රයේ සැලසුම අසාර්ථක වූ බව අවධානයට ලක් කළේය. ඒ අනුව, පූසාටද එන්ජිමාට මෙන් නින්ද යාමට ඇති ඉඩකඩ සලකා බලමින් මේ සැලසුම අනුමත කෙරුණේ නැත.

පූසෙක් යනු අයවැය විවාදයට සහභාගී වන මහජන නියෝජිතයෙක් මෙන් සිතීම නිවැරදි නොවන බවට රිවිව් බෝඩ් එකේ ඇතැම් අය අදහස් පළ කළත් එය බහුතරයේ මතය නොවීය. මීයන් අල්ලන බව කියා පොරවල් වෙන පූසන් බොහෝ විට පසුව මීයන් ඇල්ලීමේ නොහැකියාව හෝ මීයන් ඇල්ලීමට උවමනාවක් නැති කම ප්‍රදර්ශනය කරන බැවින් මීයන් අල්ලන පූසෙක් හොයා ගැනීම ලොකු අභියෝගයක් විය හැකි බව වැඩි සහයෝගයක් ලැබුණු මතයකි.

පළමු සැලසුම අසාර්ථක වුවද, එන්ජිමා වැඩේ අත ඇරියේ නැත. ඔහුගේ රිවීව් බෝඩ් මිතුරන්  "තින්ක් අවුට් ඔෆ් ද බොක්ස්!" කියා දුන් උපදෙස් මලලසේකර ශබ්දකෝෂය බලා හරියටම තේරුම් ගෙන, සමහර ආණ්ඩු අයිඑම්එෆ් එකේ උපදෙස් පිලිපදින්නාක් මෙන් අකුරටම පිළිපදිමින්, මෙවර ඔහු සැලසුම් කළේ පෙට්ටියක් නැති විවෘත මී උගුලකි. ඒ නිසා, එහි ක්‍රියාකාරීත්වය පෙර සැලසුමේ මෙන් රහසක් වූයේ නැත. මීයන් මැරීම වුවත් හොරෙන් නොකර විනිවිදභාවයක් ඇතුව, කාටත් පෙනෙන්නට කිරීම යහපාලනයයි. මේ අනුව, පෙර සැලසුමේ තිබුණු විනිවිදභාවයක් නැති කමේ අඩුවද මේ අලුත් සැලසුමෙන් මඟ හැරුණේය.

එන්ජිමාගේ සැලසුම අනුව මී කතුරක් හදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ පැතලි ලෑලි කෑල්ලක්, කියත් පටි කෑල්ලක්, චීස් කෑල්ලක් හා බටර් කෑල්ලක් පමණි. පළමුව, කියත් පටි කෑල්ල එහි දැති උඩට හිටින පරිදි ලෑල්ලේ සවි කර ගත යුතුය. කිසියම් උපකරණයකින් ලෑල්ලේ කාණුවක් හාරා කියත් පටිය එහි බැස්සවීමෙන් මෙය කළ හැකිය. ඉන්පසුව කියත් පටිය දෙකොණෙහි (දෙපැත්තේ නොවේ) චීස් කෑල්ල සහ බටර් කෑල්ල තැබිය යුතුය. (ගෙවුම් ශේෂ ප්‍රශ්න එන්නට ඉඩ තිබෙන නිසා දේශීය චීස් හා බටර් යොදා ගැනීම වඩා උචිතය.) දැන් ඔබේ සරල එහෙත් ඉතාම කාර්යක්ෂම මී කතුර හදා අවසන්ය.

මේ මී කතුරෙන් මීයන් මැරෙන හැටි පැහැදිලි නොකළොත් ඔබ මේ සැලසුම කෙතරම් හොඳ සැලසුමක්දැයි පිළි නොගන්නට ඉඩ තිබේ. පැහැදිලි කිරීම් කිසිවක් නැතිව, අපිට දුන්නොත් කොරල පෙන්නනන්නම් කියූ පමණින් පිළිගන්නා අයත් ඕනෑ තරම් ඉන්නා නිසා එවැනි පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන්නටද පුළුවන. ඒ වුණත්, මී කතුරක ක්‍රියාකාරීත්වය භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක නිකුතුවේ ප්‍රමාණය හෝ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමක කොන්දේසි මෙන් රහසිගතව තියා ගත යුතු දෙයක් නොවන නිසා මෙසේ ඔන්නොහේ කියා දමනු ලැබේ.



එන්ජිමා විසින් පැහැදිලි කළ ආකාරයට මීයා මැරෙන්නේ මෙසේය. චීස් සහ බටර් සුවඳට මීයා ගුලෙන් එළියට එයි. සුවඳ අනුව ඉව කරමින් ඔලුව වන වන ඔෆිස් වෙලාවට පාරට දැමූ ප්‍රයිවෙට් බස් එකක් මෙන් හැටට හැටේ එන මීයා නවතින්නේ හරියටම කියත් පටිය තියෙන තැනට පැමිණ කියත් පටියේ ඉදිරි ගාත් වැදෙන විටය. කියත් පටි බැරියරය දකින මීයා ට්‍රැෆික් බයිසිකලයක් දැක විසිපන්දාහ මතක් වූ රියදුරෙක් මෙන් බරාස් ගා බ්රේක් ගසයි. දැන් මීයා කියත් පටිය ඉදිරියේ නැවතී සිටින අතර මීයාගේ බෙල්ල හරියටම තියෙන්නේ කියත් පටියේ දැති වලට ඉහළිනි.

මීයාට දැන් විශාල ප්‍රශ්නයකි.

"චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ?"

හරියටම ආණ්ඩුවට ඇති බරපතලම ප්‍රශ්නය වන දේශීය ණයද ගන්නේ නැත්නම් විදේශීය ණයද ගන්නේ වගේ ප්‍රශ්නයකට දැන් මීයා මුහුණ පා සිටී. කැලරි හිඟයෙන් පීඩා විදිමින් මන්දපෝෂණයෙන් පෙලෙන විට චීස් වගේම බටරුත් හොඳ ශක්ති ප්‍රභව දෙකකි. හැබැයි කිහිප වරක්ම වල ගැට්ටට ගොස් ආපසු පැමිණ, කොලෙස්ටරෝල් අඩු කරගන්නට දඟලමින් ඉන්න විට චීස් වගේම බටරුත් අන්තිම නරකය. මේ දෙක දෙකක් වුනත්, දෙකෙන් එකක්වත් පාලනයකින් තොරව වැඩිපුර ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳ නැත.

චීස් කෑල්ල දෙසත්, බටර් කෑල්ල දෙසත් මාරුවෙන් මාරුවට බලමින්, දෙපැත්තට ඔළුව වනමින් මීයා කල්පනා කරයි.

"චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ?"

ඔළුව තියෙන්නේ කියත් පටියේ දැති උඩ බව මීයාට වගක්වත් නැත. කාර් පර්මිට් හා පාර්ලිමේන්තු කෑම ආදියට වහ වැටුණු මහජන නියෝජිතයෙක්ට ඡන්ද පදනම ටිකෙන් ටික දියවන බව මතක් නොවනවාක් මෙන්, චීස් වල හා බටර් වල සුවඳට වහ වැටී සිටින මීයාට ඔළුව වනන වාරයක් පාසා බෙල්ල ටිකක් කැපෙන බව නොතේරේ.

අන්තිමේදී මීයාගේ බෙල්ල සම්පූර්ණයෙන්ම කැපී කඳින් වෙන් වන තුරුම මීයා දන්නේ නැත!

(මැටිකතාවකි)


පසු සටහන: වියදම් අධික චීස් සහ බටර් යොදාගැනීමෙන් සිදුවන (අයවැය හිඟ, ගෙවුම් ශේෂ ප්‍රශ්න වැනි) ආර්ථික අවාසි ගැන සලකා එන්ජිමා සිය සැලසුම පසුව තවදුරටත් වැඩි දියුණු කළේය. (මෙය මතක් කර දුන් පහළ ඇනෝ කමෙන්ට් එක දමා ඇති මිතුරාට විශේෂ ස්තුතිය!) ඒ අනුව, අලුත්ම සැලසුමේ ඇත්තේ ලෑල්ලේ සවිකළ කියත් පටිය පමණි. චීසුත් නැත. බටරුත් නැත. දැන් මීයා පෙර මෙන්ම කියත් තලය ඇති තැනට පැමිණේ. දහසක් පොරොන්දු දී බලයට පත් වී හිස් භාණ්ඩාගාරයක් භාරගත් අළුත් ආණ්ඩුවක් මෙන් මීයා ඉන් පසුව දෙපැත්තට ඔළුව වනන්නේ මෙසේ සිතමිනි.

"චීසුත් නෑ! බටරුත් නෑ!!...චීසුත් නෑ! බටරුත් නෑ!!"

අන්තිමේදී මීයාට චීසුත් නැත. බටරුත් නැත. බෙල්ල කැපෙනකල්ම දන්නේත් නැත. මහන්සියක් නැතුව චීස් සහ බටර් නොමිලේ කන්නට බලාගෙන ඉන්නා මීයන්ට ඔයිට වඩා වෙන්නට දෙයකුත් නැත.



(Image:
123RF.com)

Thursday, December 1, 2016

ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද?


පසුගිය ලිපියෙන් මා කතා කළේ විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී බදු වැඩි කිරීම වැනි ක්‍රම වලින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සොයාගැනීමට අමතරව රුපියල් ඩොලර් බවට හැරවීමේ දෙවැනි ප්‍රශ්නයක්ද ඇති බවයි. රටේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමක තිබේනම් මෙය ගැටළුවක් නොවේ.

දශක ගණනක සිටම ලංකාවේ විදේශ ණය ප්‍රමාණය විදේශ සංචිත වලට වඩා කිහිප ගුණයක් වැඩිව තිබුණේය. පසුගිය රජය කාලයේ විදේශ සංචිත වැඩි වුවත්, විදේශ ණය ප්‍රමාණය ඊට වඩා වැඩි විය. කෙසේ වුවද, මෙය බරපතල ප්‍රශ්නයක් වන්නේ විදේශ ණය සියල්ල එකවර ගෙවන්නට වුවහොත්ය. සාමාන්‍යයෙන් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවේ. කෙටිකාලීන ණය ගෙවීමට අවශ්‍ය තරම් විදේශ මුදල් සංචිත මහ බැංකුව සතුව පැවති බව මගේ අදහසයි.

මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේද අළුතින් විදේශ ණය නොගෙන දැනට ඇති ණය ගෙවා දමන්නේනම් පමණි. ණය ගෙවන ප්‍රමාණයට වඩා සුළු වශයෙන් හෝ වැඩි ප්‍රමාණයක් නැවත ආපසු ලබා ගන්නේනම් විදේශ සංචිත පිලිබඳ ගැටළුවක් ඇති නොවේ.

මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නට ඇත්තටම ආණ්ඩුව ශුද්ධ ලෙස විදේශ ණය ආපසු ගෙවනවාද? එනම් අළුතින් විදේශ ණය ගන්නවාට වඩා පරණ ණය ආපසු ගෙවන ප්‍රමාණය වැඩිද? ඩොලර් ප්‍රශ්නයක් මතුවන්නේ එසේ කරන්නේනම් පමණි.

ආණ්ඩු මාරුවට පෙර, 2014 වසර අවසානයේදී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9 ක් විය. වසරකට පසු මේ ණය මල්ල රුපියල් බිලියන 8,503.2 ක් දක්වා විශාල විය. තවත් සමසකට පසු, 2016 ජූනි වන විට ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,062.2 ක් දක්වා වැඩි වී තිබේ. මෙය මාස 18ක් තුළ 22.6%ක ණය වර්ධනයකි. ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුනහමාරක සිට ලක්ෂ හතරහමාරක් පමණ දක්වා වැඩි වීමකි. ණය ආපසු ගෙවීමක් සිදුවනවානම් මේ අයුරින් ණය වැඩි විය නොහැක.



ඉහත වගුවෙන් පෙනෙන පරිදි, මේ රජය විදේශ ණය ගන්නවාට වඩා දේශීය ණය ගන්නට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. දේශීය ණය 26.0%කින් වැඩි වෙද්දී, විදේශ ණය වැඩි වී ඇත්තේ 17.9%කින් පමණි. දේශීය ණය විදේශ ණය තරම් හානිකර නැතැයි ආණ්ඩුව විශ්වාස කරනවාද? අපි මේ ගැන වෙනම ඉදිරි ලිපියකින් කතා කරමු.

කෙසේ වුවද වැදගත් කරුණ වන්නේ විදේශ ණයද 17.9%කින් වැඩි වී තිබීමයි. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව අළුතින් විදේශ ණය ගැනීම නොවේ. රුපියල පිරිහීම නිසා කලින් පැවති ණය ප්‍රමාණයේ රුපියල් අගය වැඩි වීමයි. එසේ වුවත්, මේ සාධකය ඉවත් කළද රජය සුළු වශයෙන් හෝ වැඩිපුර ණය ගෙන ඇතුවා මිස විදේශ ණය ආපසු ගෙවා නැත. ගෙවන්නට උත්සාහ කරන බවක්ද නොපෙනේ. ඒ නිසා, ණය ගෙවන්නට විදේශ ව්‍යවහාර මුදල් නැතැයි යන කතාව කතන්දරයක් පමණි.

ආණ්ඩු මාරුවට පෙර 2014 දෙසැම්බර් වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,208.4ක් වූ අතර පසුගිය අගෝස්තු වන විට මේ ප්‍රමාණය ඩොලර් මිලියන 6,598.9ක් දක්වා අඩු වී ඇත. මෙසේ නිල විදෙස් මුදල් සංචිත 19.6කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇත්තේ විදෙස් ණය ගෙවීම නිසා නොවේ. විදෙස් ණය තවදුරටත් වැඩි වෙද්දීය! ආණ්ඩුව රටේ අනාගත විදේශ ණය බැරකම් ගෙවීම විශාල බරක් ලෙස අවංකවම සිතනවානම් කළ යුත්තේ මෙසේ විදේශ සංචිත විකුණා දැමීම වෙනුවට විදේශ සංචිත තර කර ගැනීමයි.

ආණ්ඩුව විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමේ ප්‍රතිපත්තියකට විතැන් වී ඇත. ප්‍රශ්නයට මුල රජයේ අකාර්යක්ෂමතාවය, ඒ හා බැඳුණු නාස්තිකාර වියදම් හා එහි ප්‍රතිඵලය වන අඛණ්ඩ අයවැය හිඟය බැවින් මේ මූලික ප්‍රශ්න නොවිසඳා කොට්ට මාරු කිරීම විසඳුමක් නොවේ. වඩා හොඳ දේශීය ණයද නැත්නම් විදේශීය ණයද යන ප්‍රශ්නය හරියට වඩා හොඳ සීනිද නැත්නම් කොලෙස්ටරෝල්ද යන ආකාරයේ ප්‍රශ්නයකි. ඔය දෙකෙන් එකක්වත් හොඳ නැත. (වැඩි විස්තර පසු ලිපියක) කෙසේ වුවද, මේ ණය දෙවර්ගයේ වෙනස්කම් තිබේ. මහජනතාවගේ පැත්තෙන් බැළුවොත්නම් මෙය 'හාට් ඇටෑක්' හැදී මැරෙනවද නැත්නම් 'කිඩ්නි නරක් කරගෙන' මැරෙනවාද ආකාරයේ වෙනසකි.

මහජනතාවගේ පැත්තෙන් වැඩි වෙනසක් නැතත්, දේශීය ණය ගැනීමේ එක් වාසියක් රජයට තිබේ. රජයට 'සල්ලි අච්චු ගසා' දේශීය ණය ආපසු ගෙවිය හැකිය. එහෙත්, ඩොලර් හෝ යුරෝ එසේ අච්චු ගසන්නට නුපුළුවන!

ඇත්තටම දැන් සිදු වෙන්නට පටන් ගෙන ඇත්තේත් එයයි. මේ වසරේ පළමු මාස අට තුළ පමණක් මහ බැංකුවේ සංචිත මුදල් 16.7%කින් වැඩි වී ඇත. මෙයින් අදහස් වෙන්නේ රටේ මුදල් ප්‍රමාණය මාස අටක් තුළ එපමණකින් වැඩි වී ඇති බවයි. වසර අවසන් වන විට මේ වර්ධනය 20% ඉක්මවන්නට ඉඩ තිබේ!

මහින්ද රාජපක්ෂ පළමු වරට ජනාධිපති වීමෙන් පසුවද මෙවැනිම ප්‍රතිපත්තියක සිටියේය. ඒ අනුව, ඔහුගේ මුල් අවුරුදු වලදී විදේශ ණය වැඩිපුර නොගත් අතර දේශීය ණය ලබා ගැනීම සඳහා අලෙවි කළ භාණ්ඩාගාර බිල්පත් (දැන් මෙන්ම) මහ බැංකුවට අලෙවි විය. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නේ මුදල් අලුතින් මුද්‍රණය කර ඒවා වැය කරමිනි. අළුතින් මුදල් අච්චු ගැසූ පසු උද්ධමනය එන තුරු අවුරුදු 2-3ක 'ඉන්ටවල් එකක්' ලැබේ. ඒත් පහු වී තැපෑලෙන් බඩු ෂුවර්ය. පසුගිය රජය 2004-06 කාලයේ අළුතින් අච්චු ගැසූ මුදල් වල රිසල්ට් එන්නට පටන් ගත්තේ 2007-2008 දීය. අන්තිමේදී උද්ධමනය 30% ඉක්මවීය. ඒ කාලය වන විට මුදල් සැපයුම සීමා කර තිබුණත් ඒ වන විට පරක්කු වැඩිය. රාජපක්ෂ රජය විදේශ ණය ගැනීම පටන්ගෙන වේගවත් කළේ ඉහත කී අසාර්ථක පරීක්ෂණයෙන් පසුවය.

දැන් මේ ආණ්ඩුව නැවත කරන්නේ රාජපක්ෂ රජය විසින් මුලින්ම කළ අසාර්ථක පරීක්ෂණයයි. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල තවත් දෙවසරකින් පමණ ලැබෙනු ඇති අතර ඉන්පසුව හෝ ඊට පෙර මේ ආණ්ඩුවද නැවතත් විදේශ ණය ගැනීමට තල්ලු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

තත්ත්වය මෙසේ වුවත් මෙය තනිකරම මේ ආණ්ඩුවේ වැරැද්දක් ලෙස දැකීම ආණ්ඩුවට කරන අසාධාරණයකි. දශක ගණනාවක් අයවැය හිඟයක් පවත්වාගත් රජයක එම අයවැය හිඟය වසරකින් හෝ දෙකකින් නැති කළ නොහැකිය. එය ක්‍රමයෙන් අඩු කරගත යුතුය. ආණ්ඩුව ඒ සඳහා සැලකිය යුතු උත්සාහයක් දරයි.

අයවැය හිඟය අඩු කරගත්තත් එය සම්පූර්ණයෙන්ම නැති කර ගන්නා තුරු රජයට තව තවත් අළුතින් ණය ගන්නට සිදු වේ. ඒ නිසා, ආණ්ඩුවට ණය මල්ල තරවීම නැවැත්විය නොහැක. කළ හැකි එකම දෙය එය තර වන වේගය පාලනය කර ගැනීමයි. වැඩි කරන බදු වලින් පරණ ණය නොගෙවුවත්, අළුතින් ගන්නා ණය ප්‍රමාණය අඩු කරගන්නට මේ වැඩි කළ බදු උදවුවකි.


(Image: http://time.com/4077757/sri-lanka-china-financial-crisis-ravi-karunanayake-interview/)

Gadget

This content is not yet available over encrypted connections.