Sunday, October 9, 2016

දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!

ලංකාවේ දොස්තරලාගේ කාර් සිහිනය ගැන පසු ගිය දවස් වල බොහෝ දෙනා ඇති තරම් කතා වුණේය. ලංකාවේ රෝහල් කිහිපයකම වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති රුවන් ජයතුංග ඒ ගැන මෙසේ ලියා තිබුණේය.

"නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු
සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති."

ඔහු වැඩි දුරටත් මෙසේ කියයි.

"රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්‍ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්‍රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති."

මේවා වෛද්‍ය රුවන් ජයතුංගගේම පෞද්ගලික අත්දැකීම් බැවින් මෙය සැබෑ තත්ත්වය ලෙස සලකන්නට මට අමාරුවක් නැත. කෙසේවුවද, මෙහි කියා ඇති දේ, විශේෂයෙන්ම රාජකාරි වෙලාවේ හොරෙන් පීපී කිරීම හැර දෙවන කොටසේ ඉතිරි කරුණු, සේවය අරඹන සෑම වෛද්‍යවරයකු විසින්ම හෝ බහුතරයක් විසින් කරන දෑ නොවන බව මගේ අදහසයි. රුවන් විසින් එසේ කියාද නැත.

මා මේ ලිපියෙන් අවධානය කරන්නේ කමෙන්ටුවේ පළමු කොටසේ ඇති කරුණටය. ඇත්තටම බොහෝ වෛද්‍යවරු සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. ලංකාවේ වෛද්‍ය පීඨ වල සිසුන්ගේ සමාජ ආර්ථික පසුබිම අනුව එය එසේ වීමේ පුදුමයක් හෝ වැරැද්දක් නැත. වැරැද්ද ඇත්තේ සීමාවාසික පුහුණුවට යාමට පෙරම පෞද්ගලික වාහනයක් මිල දී ගැනීමට හා එය නඩත්තු කිරීමට තරම් හැකියාවක් ඇති අයට පමණක් වෛද්‍යවරුන් වන්නට සිදුවේනම්ය. මුලින්ම වෘත්තිය අරඹන ඉංජිනේරුවෙකුගේ හෝ නීතිඥයෙකුගේ තත්ත්වයද මීට වඩා වෙනස් නැත.

මෙසේ සමාජ ධුරාවලියේ පියවරක් ඉහළට තබන පහළ මධ්‍යම පාන්තික සමාජ ආර්ථික පදනමක් ඇති වෘත්තිකයින්ට මෝටර් රථයක් හැකි ඉක්මණින් මිලදී ගැනීමේ සිහිනයක් තිබේ. එහිද කිසිම වරදක් නැත. (එහෙත්, ඒ වෙනුවෙන් වෛද්‍යවරුන් කරන බව පසුව සඳහන් කර ඇති බොහෝ දේ නිවැරදි නැත.) එමෙන්ම, සිය සේවා කොන්දේසි අනුව බාධාවක් නැත්නම් රාජකාරි කාලයෙන් පසුව පීපී කිරීමේද වරදක් නැත. මුදල් සෙවීම සඳහා පීපී කරන වෛද්‍යවරුන් කරන්නේද වැදගත් සේවයකි. එහෙත් එය වෙනත් අය නොකරන අමුතු හෝ විශේෂ සේවයක් නොවේ. ඕනෑම ව්‍යාපාරිකයෙකු කරන ආකාරයේ, පාරිභෝගික ඉල්ලුම සැපිරීමේ සේවයකි.

වෘත්තිය අරඹන වෛද්‍යවරයෙකුගේ කාර් සිහිනය පිටුපස 'පංතිය මාරුකිරීම' වැනි අරමුණු තිබෙන්නට පුළුවන. එහෙත්, මා මේ ලිපියෙන් පෙන්වා දෙන පරිදි කාර් එක යනු බෙහෙත්, වෙද නලාව මෙන්ම පීපී කිරීම සඳහා වෛද්‍යවරයෙකුට අත්‍යවශ්‍යම උපාංගයකි. මෙය ඉංජිනේරුවෙකු මුහුණ නොදෙන එහෙත් වෛද්‍යවරුන් හා නීතිඥයින් වැනි වෘත්තිකයින් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයකි. ඇලෝපති වෛද්‍යවරයෙකු හැකි ඉක්මණින් කාර්පති සුදුසුකම සම්පූර්ණ කරගන්නට දිවා රෑ මෙන්ම සති අන්ත වලද වෙහෙසෙන්නේ  මේ හේතුව නිසාය.

මෙය පැහැදිලි කිරීමට මම උපුටාගන්නේ ලංකාවේ සේවය කර ඇති තවත් වෛද්‍ය වරයෙකු වන කවිඳු ජයසිංහගේ හෙල්මළු වියුණුවේ කොටසකි. අදාළ ලිපියේ ඔහු සිය වෘත්තීය ජීවිතයේ මුල් අදියරේදී මෝටර් රථයක් නොමැතිකමින් මුහුණ දුන් තත්ත්වයන් මෙන්ම ඒ සිහිනය සැබෑ කර ගැනීමට ගත් උත්සාහයද මැනවින් විස්තර කර තිබේ.

"ඒ කාලයේ මගේ මාසික කුලිය රුපියල්  හාර දහසකි. රුපියල් දොළොස් දහසක මාසික වේතනයක් ලැබූ මට විශ්ව විද්‍යාල වැටුපෙන් පමණක් කල හැකි දේ ඉතාමත් සීමිත විය.

මාසිකව මුදලක් අම්මලාට යැවීමටත්  නිවසේ කුලිය ගෙවීමත් හැරුණු කොට මට ඉතිරි කල හැකි දෙයක් නොවිය.

පරිවාස කාලයේදීම පුද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නට මා පෙලඹෙන්නේ ඒ නිසාමය.

උදේ අටේ සිට හවස හතර දක්වා විශ්ව විද්‍යාලයේ සේවය කල මම හවස  හතරෙන් පසු  පිළිමතලාව පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන ගියෙමි.

මුල් කාලයේ පාරේ බස් එකේ ගමන් බිමන් ගිය මට මෝටර් රථයක් අත්‍යාවශ්‍ය බව හැඟුනේ  පුද්ගලික වෙදකම ආරම්භ කිරීමත් සමගයි.

"මම හිතුවේ මහත්තයා අද ඇවිත් නෑ කියලා. කෝ කාර් එක පේන්න තිබුණේ නෑ නේ "

යැයි  කියමින් මා හමුවට එන ලෙඩුන් පවසන්නට පටන් ගැනීමත් සමග මේ අවශ්‍ය තාවය  තදින්ම දැනෙන්නට විය.

"නෑ මම තාම කාර් එකක් ගත්තේ නෑ . දැනට කාර් එකක් හොය හොයා ඉන්නේ "

මම ලෙඩා අස්වසාලන්නේ  කාර් එක ළඟ ලඟම එන බව ඉඟි කරමිනි."


මෙය කවිඳුගේ පුද්ගලික අත්දැකීමක් පමණක් නොවේ. මුලින්ම සේවය අරඹන බොහෝ වෛද්‍යවරුන්ගේ තත්ත්වයයි. ඔහු මෙහි විස්තර කර ඇති පරිදි වෛද්‍යවරයෙකුගේ මෝටර් රථය යනු ඔහුගේ මෙන්ම ඔහුගේ පාරිභෝගිකයන්ගේද අවශ්‍යතාවයකි. ඒ ඇයි?

වෛද්‍ය සේවා වෙළඳපොළ විශාල තොරතුරු අසමමිතියක් ඇති වෙළඳපොළකි. හාල් සේරුවක් පොල් ගෙඩියක් මිලදී ගන්නා විට හෝ කරණවෑමියෙකුගේ සේවය ලබා ගන්නා විට මෙන් තමන් මුදල් ගෙවා මිලදී ගන්නා දෙය පිළිබඳ නිවැරදි දැනුමක් පාරිභෝගිකයාට නැත. ඒ නිසා සේවය සපයන වෛද්‍යවරයකුට සිය පාරිභෝගිකයින් රවටන්නට ඉඩක් තිබේ. වෛද්‍ය රුවන් ජයතුංග සටහන් කර ඇති පරිදි ඇතැම් වෛද්‍යවරු ඇත්තටම එසේ කරති.

"එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති."


එහෙමනම් නරක වෛද්‍යවරයෙකුගෙන් හොඳ වෛද්‍යවරයෙකු වෙන්කර හඳුනාගන්නේ කෙසේද?

සාමාන්‍ය පුද්ගලයෙකුට මෙය කළ හැකි එකම ක්‍රමය වෛද්‍යවරයෙකු නැවත නැවත පරික්ෂාවට ලක් කිරීමයි. පළමු වර එක බේත් වේලෙන් ලෙඩේ සුව වීනම් පාරිභෝගිකයා දෙවන වරටත් ඒ වෛද්‍යවරයා වෙත යන්නට නොපැකිලේ. කෙසේවුවද, එක් පාරිභෝගිකයෙකුට නියමිත කාලයක් තුළ වෛද්‍යවරයෙකු වෙත විශාල වාර ගණනක් යන්නට සිදු නොවන බැවින් මේ පරික්ෂාවේ ප්‍රායෝගික සීමාවක් තිබේ. ඒ නිසා, වඩා හොඳ ක්‍රමයක් වන්නේ වෙනත් පාරිභෝගිකයින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමයි.

වෛද්‍යවරයෙකු වෙත පාරිභෝගිකයින් විශාල පිරිසක් යන්නේනම් එයින් අදහස් වන්නේ ඒ වෛද්‍යවරයා ගැන වැඩි දෙනෙකු සෑහීමකට පත්වන බවයි. එය වෛද්‍යවරයාගේ සේවයේ ගුණාත්මක භාවය හඟවන නිරීක්ෂණය කළ හැකි සංඥාවකි.

මෙය නීතිඥයින්, මංගල ඡායාරූපකරුවන්, මංගල උත්සව සඳහා ඇඳුම් අන්දවන්නන් වැනි නිතර අවශ්‍ය නොවන, වැරදීමක් වුවහොත් පාරිභෝගිකයාට වන හානිය ඉතා වැඩි වෙනත් සේවා සපයන්නන් බොහෝ දෙනෙකුට පොදු දෙයකි. මේ කවර සේවා වෙළඳපොළේත් වැඩිම ඉල්ලුමක් ඇති සේවා සපයන්නන් වෙත යන්නට සියළුම පාරිභෝගිකයෝ පොරකති. එවැනි ඉල්ලුමක් නැති අය වෙත යන්නට කිසිවෙකු කැමති නැත.

කාර් එකක් නැති දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි නැති දොස්තර කෙනෙකි. සල්ලි නැති දොස්තර කෙනෙක් කියන්නේ සෙනඟ නැති, ඒ නිසා ආදායමක් නැති දොස්තර කෙනෙකි. සෙනඟ නැති දොස්තර කෙනෙක්නම් ඒ හොඳ දොස්තර කෙනෙක් වෙන්නට නොහැකිය. එසේනම්, කාර් එකක්වත් නැති දොස්තර කෙනෙක් වෙත යන්නට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.

පාරිභෝගිකයින් සිතන්නේ මේ ආකාරයෙන් නිසා කාර් එකක් ගන්නා තුරු දොස්තර කෙනෙක්ට සිය ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කිරීම අභියෝගාත්මක දෙයකි. කාර් එක ළඟ ලඟම එන බව කියමින් ලෙඩා අස්වසාලන්නට කවිඳුට සිදුවන්නේ ඒ නිසාය. කාර් එක නැති දොස්තර කෙනෙක් යනු අස්සයෙක් නැති කවුබෝයි කෙනෙකි.

හොඳ දොස්තරලාට සෙනඟ අඩුවක් නැත. ඒ නිසා සල්ලි අඩුවක් නැත. මේ පාරිභෝගිකයින් සිතන ආකාරයයි. එහෙත් බැංකුවේ ඇති මුදල් පාරිභෝගිකයින්ට නොපෙනේ. තමන්ගේ වත්කම් පාරිභෝගිකයින්ට පෙන්විය හැකි හොදම ක්‍රමය වෛද්‍යවරයාගේ වටිනා, අළුත්ම මාදිලියේ මෝටර් රථයයි. මේ අළුත්ම මෝටර් රථය පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ වෛද්‍යවරයාගේ ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියකි. ඒ ඉඟිය නමට පිටුපසින් ඇති අකුරු ගණනටත් වඩා වටිනා ඉඟියකි. ඒ නිසා වෛද්‍යවරුන්ගේ කාර් තරඟය යනු වක්‍රව වෛද්‍යවරුන් අතර පාරිභෝගිකයින් දිනාගැනීම සඳහාද වන තරඟයේම ප්‍රකාශනයකි.

දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස මෙයයි!

Saturday, October 8, 2016

වෙදමහත්තුරුන්ගෙන් උරුම වුණු පීපී ඉල්ලුම

ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පූර්වගාමීන් වූ වෙද මහත්වරුන්ගෙන් උරුම වූ දේවල් කිහිපයක් ගැන මම පෙර ලිපියකින් කතා කළෙමි. ඔවුන්ට වෙද මහත්වරුන්ගෙන් උරුම වී තිබෙන්නේ ගුරු මුෂ්ඨි, වැඩිපුර බෙහෙත් දීම හා කියවිය නොහැකි කසාය සීට්ටු පමණක් නොවේ. දොස්තරලාට ලැබෙන සමාජ ගෞරවයට මෙන්ම පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර (පීපී) සඳහා වන ඉල්ලුම වෙනුවෙන්ද දොස්තරලා වෙද මහත්වරුන්ට ණයගැති විය යුතුය.

පෙර ක
වෙද මහත්තුරු පීපී කළේ නැත. එහෙමනම් මේ කතාවේ තේරුම කුමක්ද?

ඒ දවස්වල වෙද මහත්තුරු මුදල් අයකර පීපී කළේ නැත. එහෙත්, අද පීපී කරන දොස්තරලාගෙන් ඉටුවන කාර්යය එදා වෙද මහත්තුරුන්ගෙන් ඉටුවුණේය.

ලංකාවේ අතිමහත් බහුතරයක් තවමත් වෛද්‍යවරයෙකු හමුවන්නේ රෝග නිවාරණ ප්‍රතිකාර හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා නොවේ. කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව රෝගය සුව කර ගැනීම සඳහාය. කලකට පෙර කෙසේ වුවත් දැන් බටහිර රටවල බොහෝ විට සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි.

කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු හමු වීමට සිදුවේ. බටහිර රටක මෙසේ තමාගේ පවුලේ වෛද්‍යවරයා වුවද අවශ්‍ය වෙලාවක හදිසියේ හමුවීමේ හැකියාවක් ඇත්නම් ඒ ඉතා සීමිතවය. ඒ සඳහා කල් ඇතුව වෙලාවක් වෙන් කර ගත යුතුය. කෙසේ වුවද හදිසි ප්‍රතිකාර සඳහා වෙනත් විකල්ප තිබේ. එහෙත්, ලංකාවේදී කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවත් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයෙකු හෝ විශේෂඥ වෛද්‍ය වරයකු දවස තුළම වුවද හමුවීමට විශාල ඉඩකඩක් තිබේ.

පෙර ගම් වල සිටි වෙද මහත්තුරුන්ට රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට වෙලාවක් අවේලාවක් නොතිබුණේය. මධ්‍යම රාත්‍රියේ වුවද රෝගියෙකු රැගෙන විත් දොරට තට්ටු කරන විට වෙද මහත්තයා එය කරදරයක් ලෙස සැලකුවේ නැත. රෝගියා වෙද මහත්තයා වෙත රැගෙන එන්නට තරම් මට්ටමක නොසිටියේනම් වෙද මහත්තයා හුළු අත්තක් පත්තු කරගෙන රෝගියා සිටින තැනට ගියේය. මෙය වෙද මහත්තයෙකුගෙන් බලාපොරොත්තු වුණු සාමාන්‍ය දෙයකි. ඒ වෙනුවෙන් ඔහුට (හෝ ඇයට) සමාජයේ ගෞරවය හිමි විය.

මුලින්ම රජයේ පත්වීම් ලබා ග්‍රාමීය රෝහල් වලට හෝ ඩිස්පැන්සරි වලට ගිය ඇපෝතිකරි වරුන්ට හෝ උපාධිධාරී වෛද්‍යවරුන්ට හමුවුනේ මේ වෙද මහත්තුරුන්ට පුරුදු වී සිටි සමාජයකි. ඒ නිසා, ඒ අයට අටපහ රස්සාව කර හවසට ගෙදරට වී නිදහසේ ඉන්නට ලැබුණේ නැත. රෝගියෙකු රැගෙන පිරිසක් පැමිණ ගෙදර දොරට තඩිබාන විට මධ්‍යම රාත්‍රියේ වුවද දොර විවෘත නොකළේනම් වෛද්‍යවරයෙකුට ග්‍රාමීය පෙදෙසක පැවැත්මක් නොතිබුණේය. ඇතැම් විට මේ වෛද්‍යවරයාට සිය ඩිස්පැන්සරිය විවෘත කර කිසියම් ඖෂධයක් රැගෙන එන්නට විය.

මෙය දිගින් දිගටම වන විට හදිසියේ රාජකාරි වේලාවෙන් පසුව ගෙදරට එන රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා බෙහෙත් ටිකක් ඩිස්පැන්සරියෙන් ගෙදර ගෙනවිත් තබා ගැනීමත්, මෙය මහා පරිමාණයෙන් කළ නොහැකි වන විට මූලික බෙහෙත් වර්ග මිලදී ගෙන ගෙදරම තබා ගන්නට වීමත්, ඒ බෙහෙත් වල හා තමන්ගේ කාලයේ වටිනාකම වෙනුවෙන් මුදලක් අය කරන්නට වීමත් එකින් එක සිදුවන තාර්කික සිදුවීම් පෙළකි.

අද වන විට එදාට වඩා බෙහෙවින් කාර්ය බහුලව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ රාජකාරි වේලාවෙන් පසුව වෛද්‍යවරයෙකු හමුවීම සඳහා ඇති ඉල්ලුම ඉතා විශාලය. විනාඩි කිහිපයක හමුවක් වෙනුවෙන් කෙතරම් රස්තියාදු වන්නට සිදු වුවත්, දවසක් හෝ  වරුවක් නිවාඩු දැමීමට සාපේක්ෂව එහි ආවස්ථික පිරිවැය එතරම් විශාල නැත. බොහෝ දෙනෙකු 'බැණ බැණ වුවත්' පොඩි ලෙඩකට පවා වෛද්‍යවරයෙකු වෙත යන්නේ ඒ නිසාය.

අනෙක් අතට දවසේ සාමාන්‍ය පැය ගණන සේවය කිරීමෙන් අනතුරුව විවේකයෙන් සිටීම සඳහා හෝ සිය පවුලේ සාමාජිකයින් සමඟ ගත කිරීම සඳහා වැය කළ හැකි තමන්ගේ පෞද්ගලික කාලය කාලය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවන වෛද්‍යවරයෙකුගේ කාලයේ ආවස්ථික පිරිවැය ඉතා අධිකය. ඒ අතරම, වෛද්‍යසේවා සැපයුම සීමිතය. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නටනම් වෛද්‍යවරයාට දිනකට වැය කළ හැකි සීමිත කාලය විශාල රෝගීන් ගණනක් අතර බෙදී යා යුතුය. දොස්තරලාට උඩින් පල්ලෙන් ලෙඩුන් බලන්නට වීම මෙහි ප්‍රතිඵලයයි.


මීළඟ ලිපිය: දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!

Wednesday, October 5, 2016

ඇයි මේ ටියුෂන්?

මා ප්‍රාථමික පංති වල ඉගෙන ගත් හැත්තෑව දශකයේදී, අද මෙන් ටියුෂන් රැල්ලක් නොතිබුණත් ඒ කාලයේත් ටියුෂන් නොතිබුණා නොවේ. මා සිතන ආකාරයට විශාල පරිමාණයේ ටියුෂන් පංති මුලින්ම ජනප්‍රිය වූයේ විද්‍යා විෂයයන්ගෙන් දෙවන හෝ තෙවන වරට උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අය අතරය. මේ අය වෙනුවෙන් පාසැල් පංති නොපැවැත්වීමත්, විද්‍යා විෂයයන් කලා විෂයයන් මෙන් "පාඩම් කිරීමෙන්" පමණක් සමත් වන්නට අපහසු වීමත් මෙයට හේතු වන්නට ඇත. සරසවි ප්‍රවේශය වඩා තරඟකාරී වූ කොළඹ දිස්ත්‍රික්කයේ ටියුෂන් මීට වඩා ජනප්‍රියව තිබෙන්නට ඇත.

අසූව දශකය වන විටත් ඇතැම් දිස්ත්‍රික්ක වල ඇතැම් විෂය ධාරා යටතේ සරසවි ප්‍රවේශය සඳහා අවශ්‍ය වූයේ ලකුණු එකසිය අසූවේ මූලික සුදුසුකම සැපිරීම පමණි. විශේෂයෙන්ම මේ තත්ත්වය පැවතියේ ගණිත විෂය ධාරාව හා අදාළවය. අසූව දශකයේ මැද පිට පිට වසර දෙකක්ම දිවයිනේ භෞතික විද්‍යා පීඨ වල පැවති පුරප්පාඩු ගණන පුරවන්නට අවශ්‍ය තරම් පිරිසකට මේ මූලික සුදුසුකම ලබා ගැනීම අපහසු විය. ඒ නිසා එක් වසරකදී සරසවි ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ලකුණු මට්ටම 180 සිට 160 දක්වා පහත හෙළීමත්, තවත් වසරකදී පෙර වසර 5ක කාලය තුළ උසස් පෙළ ලියූ සිසුන්ට අයදුම් කිරීමට ඉඩදීමත් සිදුවිය. මෙවැනි තත්ත්වයක් යටතේ ටියුෂන් පංති වල කාර්ය භාරය වූයේ සිසුවෙකුට හෝ සිසුවියකට වෙනත් සිසු-සිසුවියන් සමඟ තරඟ කරන්නට උදවු කිරීම නොව ඔවුන්ව අවශ්‍ය පරිසාධන මට්ටම දක්වා ඔසොවා තැබීමයි. ජීව විද්‍යා හා කලා වැනි අනෙකුත් විෂය ධාරාවන්ගේ තත්ත්වය මෙවැනිම නොවූවත් ඒවායේද පැවතියේ අදට සාපේක්ෂව අඩු ඉල්ලුම් සැපයුම් පරතරයකි.

සරසවි ප්‍රවේශ සුදුසුකම් ලබන සිසුන් ගණන වසරින් වසර වැඩි වෙද්දී එයට සමානුපාතිකව අවස්ථාවන් වැඩි වුණේ නැත. ඒ නිසා සරසවි පිවිසුම එන්න එන්නම අමාරු කාර්යයක් වී අනෙකුත් සිසු-සිසුවියන් සමඟ කළ යුතු අමාරු තරඟයක් බවට පත් විය. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලබන සිසුන් අතරින් එම අවස්ථාව හිමි වුණේ ලකුණු වැඩියෙන්ම ගන්නා (දළ ප්‍රකාශයක් ලෙස) "වඩාත්ම දක්ෂ" කොටසටය. දෙවන පෙළ සිසුන්ට මේ අවස්ථාව අහිමි විය. ඔවුන්ට සරසවි වරම් ලබා ගත හැකි වූයේ අර පළමු පෙළ සිසුන් කෙසේ හෝ අභිබවා යාම මඟිනි. මුදල් වැය කර ලබා ගන්නා ටියුෂන් වලින් මේ තල්ලුව ලැබුණේය.

උසස් අධ්‍යාපන අවස්ථා සඳහා විශාල ඉල්ලුම් සැපයුම් පරතරයක් ඇති විට දෙවන පෙළ සිසුවෙකු ටියුෂන් වලින් උත්තේජනයක් ලැබීම යනු පළමු පෙළ සිසුවෙකුගේ අවස්ථාව අහිමි වීමයි. ඒ නිසා දැන් පළමුපෙළ සිසුන්ටද ටියුෂන් යන්නට සිදුවේ. එවිට, මේ පළමුපෙළ සිසුවා නැවතත් දෙවන පෙළ සිසුවාට වඩා ඉදිරියෙනි. අවසාන වශයෙන් සියල්ලන්ම ටියුෂන් තරඟය තුළ හිර වුණත් ලැබෙන ප්‍රතිඵලය මුල් ප්‍රතිඵලයට වඩා විශාල ලෙස වෙනස් නැත. කෙසේවුවද, ටියුෂන් යාමෙන් දෙවන පෙළ සිසුවෙකුට සරසවි ප්‍රවේශයට ඉඩක් ඇර ගැනීමට කිසිම ඉඩක් නැත්නම් ඔහු (හෝ ඇය) මේ තරඟයෙන් ඉවත් විය යුතුය. එය එසේ සිදු නොවන්නේ ඒ සඳහා සුළු හෝ ඉඩක් ඇති බැවිනි. අනෙක් අතට, පළමු පෙළ සිසුවෙකුට ටියුෂන් නොගියත් සරසවි වරම් අහිමි වීමේ අවදානමක් නැත්නම් ඔහුට හෝ ඇයට ටියුෂන් යාමේ අවශ්‍යතාවයක් නැත. එය එසේද සිදු නොවේ. ඒ, ටියුෂන් නැත්නම් එවැන්නෙකුට දෙවන පෙළ සිසුන් හමුවේ පරදින්නට වන නිසාය.

ටියුෂන් සඳහා වැය කෙරෙන යම් නිශ්චිත මුදලක් "වාසිදායක මුදලක්" වන්නේ කවර තත්ත්වයන් යටතේද? මෙය තීරණය වන්නේ සරසවි වරම් අහිමි වීමේ ආවස්ථික පිරිවැය හා ටියුෂන් වලින් සරසවි පිවිසුමට ඉඩකඩ විවර කරදීමේ සම්භාවිතාව මතය. පළමුවැන්න ඉතා විශාලනම්, දෙවැන්න කුඩා වුවත් ටියුෂන් පවතිනු ඇත. රජයේ වෛද්‍ය පීඨ වරම් අහිමි වූ අයෙකුට වෙනත් අයුරකින් ඒ අවස්ථාව ලබා ගැනීමේ පිරිවැය ලක්ෂ 50ක් යැයි සිතමු. දෙවසරක ටියුෂන් වියදම ලක්ෂ 5ක් යැයි සිතමු. එසේනම්, සරසවි වරම් ලැබීමේ 10%ක ඉඩකඩ වෙනුවෙන් ලක්ෂ 5ක් වැය කර ටියුෂන් යාම නරක අදහසක් නොවේ.

එවැනි විකල්ප අවස්ථාවක් නැත්නම් තත්ත්වය කුමක්ද? දැන් සැසඳීම කළ යුත්තේ රජයේ වෛද්‍ය පීඨයකට යාම හා පෞද්ගලික වෛද්‍ය පීඨයකට යාම යන විකල්ප දෙක අතර නොවේ. වෛද්‍යවරයෙකු වීම හා නොවීම යන විකල්ප දෙක අතරේය. වෛද්‍ය උපාධියක් ලබා ගැනීම නිසා ජීවිත කාලය තුළ අපේක්ෂා කළ හැකි ආර්ථික වාසිය ලක්ෂ 100ක් යැයි සිතමු. එසේනම්, සරසවි වරම් ලැබීමේ 5%ක ඉඩකඩ වෙනුවෙන් වුවද ලක්ෂ 5ක් වැය කර ටියුෂන් යාම වාසිදායකය.

සරසවි ප්‍රවේශය වඩා තරඟකාරී වන තරමට හා ඒ සඳහා වෙනත් විකල්ප අඩු වන තරමට සරසවි වරම් ලැබීමේ සුළු ඉඩක් වෙනුවෙන් වුවද ටියුෂන් සඳහා මුදල් වැය කරන්නට පිරිස් එකතු වන නිසා ටියුෂන් ඉල්ලුම තව තවත් වැඩිවේ. රජයේ සරසවි වෙනුවට මිල අඩු විකල්ප ඇති වන තරමට ටියුෂන් සඳහා ඉල්ලුම අඩු වනු ඇත.


ඊළඟ ලිපිය: වෙදමහත්තුරුන්ගෙන් උරුම වුණු පීපී ඉල්ලුම

(Image: www.sltt.lk- edited by economatta)

Monday, October 3, 2016

සමනලකන්ද හා වේ තුඹස

මා කුඩා කළ මගේ මවගේ මහගෙදර ඉඳහිට පැමිණ දින හෝ ඇතැම් විට සති කිහිපයක් නැවතී සිටි පුද්ගලයෙකු වූයේ දහනානෙකයි. දහනායක හෝ දසනායක විය හැකි ඔහුගේ නම මගේ කටට හුරුව තිබුණේ දහනානෙක ලෙසිනි. මා එසේ කිවූ නිසා ගෙදර වැඩිහිටියෝද එළෙසම ඔහුව ඇමතුවේය. දහනානෙක පිළිබඳ මෙහි ලියන කරුණු මගේ මතකයේ හොඳින් තැන්පත්ව ඇත්තේ ඒ කරුණු සිදුවූ කාලයේ සිට එක දිගට මතක තිබීමට වඩා මගේ ඇතැම් වැඩිහිටියන් විසින් දිගින් දිගටම මතක් කිරීම නිසාය.

මගේ මවගේ පියාගේ කිසියම් ආකාරයක මිතුරෙකු වූ දහනානෙකගේ ගම්පළාත වූයේ දඹුල්ල හෝ සීගිරිය ආසන්න ප්‍රදේශයකි. ඔහු මැදිවිය ඉක්මවූ අවිවාහකයෙකු විය. අප සමඟ නැවතී සිටි දින වල ඔහුට නිශ්චිත වැඩක් කරන්නට කිසිදු බලකිරීමක් මා හැර වෙනත් කිසිවකු නොකළත් ඔහු බොහෝ විට කැත්තක්, උදැල්ලක් හෝ වක්පිහියක් ගෙන වත්තේ පාත්තියක් හදා මිරිස් වැනි දෙයක් හිටවීම හෝ ගස් වල අතු පෑහීම වැනි බර වැඩත්, පන්සල් යන්නට හෝ ගෙදර පූජා කරන්නට හවසට මල් කඩා දීම වැනි සිල්ලර වැඩත් කළේය. මා ඉල්ලා සිටි විට තැඹිලි හෝ කුරුම්බා ගෙඩියක් කපා දී පසුව පලා දීම මෙන්ම ගොක්කොළ ගිරවෙක් හෝ නෙළුම් මලක් හදා දෙන්නටත් ඔහු කිසිවිටෙක අදිමදි කළේ නැත.

මගේ වැඩිහිටියන්ගේ කතාබහ අනුව දහනානෙක නොදන්නා මඟුලක් තිබුණේ නැත. ඔහු වැඩට වගේම කතාවටත් දක්ෂය. ඔහුගේ රටතොට දැනුමට අද කාලයේ තෙසක්රියකරුවෙකු පරාදය.

ඇතැම් විට ඔහු හවස් වරුවේ ගෙදරට ගෙන එන පුවත්පතක් පෙරළාගෙන බලයි. ඉඳහිට මගේ කතා පොතක් හෝ වෙනත් පොතක් ඉල්ලාගෙන බලයි. මේ කියන දවසේ දහනානෙක මගෙන් ඉල්ලා ගත්තේ පෙර ලිපියේ ලිවූ පරිදි මා වරක් කටපාඩම් කරන්නට උත්සාහ කළ දෙවන ශ්‍රේණියේ සිංහල පෙළ පොතයි.

මේ පෙළ පොතේ මතක හැටියට "පුංචි වේයා" නම් පාඩමක් තිබුණේය. ඒ පාඩම සමඟ "වේ තුඹස" යන සඳහනද සමඟ වේ තුඹසක රූපයක්ද තිබුණේය. දහනානෙක පෙරළාගෙන බලා සිටියේ මේ රූපය තිබුණු පිටුවයි. දහනානෙක කිසිදිනක පුවත්පත් වැරදි පැත්තෙන් බලා "කොළඹ වරායේ නැවක් පෙරළී ඇති බව" වැනි කතා නොකී හෙයින් ඔහුගේ සාක්ෂරතාවය පිළිබඳව ගෙදර කිසිවෙකුත් මේ දවස වන තුරු සැක නොකළේය.

වැඩේ අවුල් වුණේ මේ කියන දවසේ තමන් ගැන අධි තක්සේරුවකට පැමිණි දහනානෙක සිය සාක්ෂරතාවය තහවුරු කර පෙන්වන්නට උත්සාහ කිරීමත් සමඟය.

"දහනානෙක මොකක්ද කියවන්නේ පුතාගෙ පොත නේද?"

මගේ මවගේ බාල සොයුරිය ඔහුව විමසීය.

"ඔවු, මේ පොතක් කියවනවා."

එසේ කීම පමණක් ප්‍රමාණවත් නැතැයි දහනානෙක සිතන්නට ඇත. ඒ නිසා ඔහු එහි මුද්‍රිත අකුරු හඬ නැඟෙන පරිදිම කියවීය.

"ස-ම-න-ල-ක-න්-ද..."

දහනානෙකගේ සාක්ෂරතාවය ගැන ගෙදර අය හරියටම දැනගත්තේ ඉන් පසුවය.

කොහොමටත් අප දකින දේ අප තේරුම් ගන්නේ අපේ දැනුමට සාපේක්ෂවය. ඒ නිසා, කෙනෙකුට වේ තුඹස සමනල කන්ද ලෙසත් තවත් අයෙකුට සමනල කන්ද වේ තුඹසක් ලෙසත් පෙනෙන්නට පුළුවන.

දැනුම වැඩි කර ගැනීම සඳහා අප කරන ආයෝජන අපේ පෞද්ගලික තෝරාගැනීම්ය. මෙහිදී, අප තෝරා ගන්නේ අප දන්නා අප සතු විකල්ප අතරින් හොඳම එකයි. මෙහි ඇති ගැටළුව වන්නේ ඇතැම් විට අප සතු විකල්ප සියල්ල ගැන දැනුමක් අප සතු නොවීමයි.

අධ්‍යාපනය හා අදාළ තීරණ ගැනීමේදී ඒ සඳහා අපට ඇති විකල්ප ගැන අප බොහෝ විට දැනගන්නේ අපේ වැඩිහිටියන්ගෙනි. ඒ නිසා අප සතු විකල්ප ගැන අපේ දැනුමත්, ඒ මත පදනම්ව කරන තේරීමුත් අපේ දෙමවුපියන් ප්‍රධාන වැඩිහිටියන්ගේ දැනුම් සීමාවන්ට යටත්ය.

දහනානෙක අවිවාහක අයෙකු වුවත් ඔහු මෙන් සාක්ෂරතාව නොමැති බොහෝ අය එදත් විවාහකව දරුවන් ලබා සිටියහ. අදත් සිටිති. කිසියම් අයුරකින් ආර්ථික ශක්තියක් තිබුණද මේ දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන සිදුවන්නේ ඔවුන් දන්නා ලෝකය තුළ ගන්නා ප්‍රසස්ථ තීරණ ලෙස මිස නිරපේක්ෂ ප්‍රසස්ථ තීරණ ලෙස නොවේ.

දහනානෙකට වඩා ඉගෙනුමක් ලබා සිටි මගේ වැඩිහිටියන්ට මගේ අධ්‍යාපනය හා අදාළ තීරණ ගැනීමට මට උදවු වූ විකල්ප පෙන්වා දීමට වැඩි හැකියාවක් තිබුණේය. එහෙත්, මේ හැකියාවද සීමාරහිත එකක් නොවීය. දෙමවුපියන්ට සිය දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන පිළිබඳ උපදේශන සැපයීමේ හැකියාව දරුවන් ඉහළ පන්ති වලට යද්දී ක්‍රමයෙන් අඩු වී එක් අවස්ථාවකදී නැති වී යයි. මේ අවස්ථාව තීරණය වන්නේ දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම අනුවය.

දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ සීමාවන් සඳහා වන දෙමවුපියන්ගේ සමාජ ආර්ථික පදනමේ බලපෑම ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පවුලේ ආදායම් මට්ටමට වඩා දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම හරහාය.


ඊළඟ ලිපිය: ඇයි මේ ටියුෂන්?

Sunday, October 2, 2016

දෙකේ පංතියේ පාඩම

මා හෝඩියේ පන්තියේ හෙවත් පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදීම මට දෙවන ශ්‍රේණියේ පෙළපොත්ද ලැබුණු බව පෙර ලිපියේ ලිවුවෙමි. එහෙත්, පාසැල් වැඩ වලට අවශ්‍ය වුනේ එම ශ්‍රේණියට අදාළ පෙළ පොත්ය. අපේ  පළමු ශ්‍රේණියේ සිංහල පොතේ මුල් පිටුවේ "අම්මා" යන වචනය සමඟ අම්මෙක්ගේ රූපයක්ද, දෙවන පිටුවේ "අයියා" යන වචනය සමඟ අයියෙක්ගේ රූපයක්ද ඉන් පසුව "අම්මා අන්න අයියා" වැනි වචන තුනක් සමඟ ගැහැණු ළමයෙකු සිය මවට අයියාව පෙන්වන රූපයක්ද තිබුණේය. මේ ලියන්නේ දැන් මගේ මතකයේ ඇති දෙයයි. එය නිවැරදි නොවන්නට පුළුවන.

පළමු ශ්‍රේණියේදී අප බොහෝ විට කළ දෙයක් වූයේ ගුරුවරියගේ අණින් අසුනින් නැඟිට මේ පෙළ පොතෙහි අදාළ පිටුව කියවීමයි. මේ කටයුත්ත මට කිසිදු අපහසුතාවයක් නැති දෙයක් වුවත් ඇතැම් සිසුන් මෙය කළේ "අ-ම්-මා ... අ-යි-යා..." ලෙස අමාරුවෙන් අකුරු අමුණමිනි. කිසියම් සිසුවකු හෝ සිසුවියක අකුරක් කියවිය නොහැකිව හිරවන විට ගුරුවරිය උදවු කළේය. මේ "පාඩම කියවීම" කිසියම් සිසුවකු විසින් නැඟිට හඬ නඟා කරද්දී අනෙක් සිසු-සිසුවියෝද තමන්ගේ පෙළ පොත බලාගෙන මේ වචන හෙමින් හෝ හඬ නැඟෙන පරිදි කියවූහ. බොහෝ දින වල මෙසේ "පාඩම කියවීමේ" අවස්ථාව මට ලැබුණු බව දැන් සිහි කරන විට මට දැන් සිතෙන්නේ මේ කටයුත්ත සඳහා කවර හෝ හේතුවක් නිසා අනෙක් සිසුන්ට වඩා වැඩි අවස්ථාවක් මට ලැබෙන්නට ඇති බවයි.

පල් හෝඩියේ පොල් ගාමින් දෙකට යන්න බඩගාන සිසුවෙකුට තමන් සිටින තැන වේ තුඹසක්නම් දෙකේ පංතිය සමනල කන්දකි. ඒ වයසට සාපේක්ෂව බලන විට මෙය අධ්‍යාපන ඉනිමඟේ ඉතා ලොකු පියවරකි. මෙයට වඩා ලොකු පියවරක් ලෙස සැලකිය හැකි පෙර පාසැල් සිසුවකු පාසැලක පළමු ශ්‍රේණියට මුලින්ම ඇතුළු වීම මගේ අත්දැකීමක් නොවූයේ පෙර පාසැල් අත්දැකීම මට කිසිදා නොලැබුණු දෙයක් වූ බැවිනි. ඒ අනුව, පළමු ශ්‍රේණියේ ගත කළ අවසන් කාලයේදී අපි දෙකේ පංතියේ "අයියෙකු" වීම ගැන සිහින මවමින් සිටියෙමු.

මේ දවස් වල මගේ හෝඩියේ පංතියේ "යමක් දන්නා කියන" මිතුරෙකුගෙන් මට දැනගන්නට ලැබුණු වැදගත් තොරතුරක් වූයේ දෙකේ පංතියේදී හෝඩියේදී මෙන් පොත බලාගෙන පාඩම කියවන්නට නොලැබෙන බවයි. ඔහුගෙන් මා දැනගත් පරිදි දෙකේ පංතියේදී පාඩම කියවිය යුත්තේ පොත නොබලා කටපාඩමිනි. මේ තර්කානුකූල කතාව අවිශ්වාස කරන්නට කිසිදු හේතුවක් නොතිබුණේය. හෝඩියේ පංතියේ කරන දෙයම කරන්නටනම් දෙකේ පංතියට පාස් කරන්නේ මොකටද?

මේ වටිනා තොරතුර මට ලබා දුන් මිතුරා අපේ විදුහලේම ඉගැන්වූ ගුරු යුවලකගේ දරුවෙකි. ඒ නිසා ඔහු සතුව මෙවැනි  "අභ්‍යන්තර තොරතුරු" පිළිබඳ දැනුමක් තිබෙන්නට පුළුවන. දෙමවුපියන් දන්නා දේ දරුවෝද, මාමලා දන්නා දේ බෑනලාද දැන සිටින්නට වැඩි ඉඩක් තිබේ. ඒ නිසා, පළමු ශ්‍රේණියෙන් දෙවන ශ්‍රේණියට යන්නට පෙර ගතවුණු දෙසැම්බර් නිවාඩුවේදී මේ අභ්‍යන්තර තොරතුරෙන් නිසි ප්‍රයෝජන ගන්නට මම සැලසුම් කළෙමි.

දෙකේ පොත එකේ පොත මෙන්  "අම්මා අන්න අයියා" ආකාරයේ ලොකු අකුරු වලින් මුද්‍රිත කෙටි වචන හා සෑම පිටුවකම චිත්‍ර පිරී තිබුණු පොතක් නොවීය. එහි අකුරු කුඩා වූ අතර දිග වාක්‍ය සහිත ඡේද තිබුණේය. කළු සුදු රේඛා චිත්‍ර රැසක් තිබුණත් ඒ පිටු දෙකකට හෝ තුනකට එකකි. මේ පොත මුළුමනින්ම කට පාඩම් කිරීමනම් ලේසිපාසු කටයුත්තක් නොවීය. කෙසේවුවද, දෙකේ පංතියට උසස් වීමක් ලැබූ මා එම උසස්වීමට සුදුසු බව කෙසේ හෝ පෙන්විය යුතුය. ඒ නිසා, දෙකේ පොතේ පළමු පාඩම කටපාඩම් කරගන්නට නිවාඩු කාලය තුළ මහත් පරිශ්‍රමයක් දැරුවෙමි. එහෙත්, බොහෝ විට මතක තබා ගත හැකිවූයේ ඡේද දෙකක් හෝ තුනක් පමණි. එතනින් එහාට පාඩම් කරගන්නා විට මුල් ඡේද අමතක වේ.

මුළු පාඩමම මතක තබා ගැනීම කෙසේවත් කළ නොහැකිය. අන්තිමේදී මම අවදානමක් ගත්තෙමි. පළමු ශ්‍රේණියේදී සිදු වූ පරිදිම පාඩම කියවීමේ අවස්ථාව මුලින්ම මට ලැබෙනු ඇතැයි උපකල්පනය කර මුල් ඡේද හොඳින් කටපාඩම් කරගත්තෙමි. සාමාන්‍යයෙන් එක් සිසුවෙකුට කියවන්නට ලැබෙන්නේ ඡේද කිහිපයක් පමණක් නිසා "වැඩේ මාට්ටු වෙන්නට පෙර" ටෝකනය වෙනත් සිසුවෙකුට පාස් වනු ඇත.

දෙවන ශ්‍රේණියේ පළමු පාසැල් දිනය ඇරඹුනේය. මා පුරෝකථනය කළ පරිදිම පාඩම කියවීමේ පළමු අවස්ථාව මට හිමි විය. (අළුත් ගුරුවරියක යටතේ මෙය කෙසේ සිදුවීදැයි මට දැන් සිතාගත නොහැකිය.) පෙරළා තිබුණු පොත මත අත තබාගෙනම පොතෙන් දෑස් ඉවත් කර උඩ බලාගෙන මම පාඩමේ පළමු හා දෙවන ඡේද කියෙවුවෙමි.

ගෙදරදී පාඩම් කර පැමිණියද තෙවන ඡේදය හරියටම මතක් නොවේ. ගුරුවරිය පාඩම කියවීම නවත්වන්නට සන් කරන පාටක්ද නැත. දැන් ඉතිං මොකද කරන්නේ?

ගුරුවරියගේ අවධානය ඇත්තේ මා දෙස නොවන බව මට එක් වනම පසක් විය. මම ක්ෂණිකව පාඩම් පොත දෙස බලා තෙවන ඡේදය මතක් කර ගත්තෙමි. එහි මුල් වචන "හොරෙන් බලා ගැනීමෙන්" පසු එම ඡේදයද පහසුවකින් තොරව කියවූයෙමි. ගුරුවරිය තවමත් කියැවීම නවත්වන්නට සන් නොකරයි.

නැවතත් හොරෙන් පොත දෙස බැළුවෙමි. ඉතුරු ටිකනම් පොත නොබලා කියවන්නට කොහෙත්ම නොහැකිය. දැන් ගුරුවරියගේ අවධානයද මා වෙතය. වෙන දෙයක් වෙන්නට ඇර පොත දෙස බලාගෙන ගුරුවරියගේ දෑස දෙස නොබලා පාඩමේ ඉතිරි ටික කියවූයෙමි. දැන් දැන් වැඩේ මාට්ටු වී වේවැල් පාරක් කන්නට වෙතැයි සිතුවත් එවැන්නක් වන පාටක් නැත. ගුරුවරිය මෙය නොදැක්කා වන්නටත් නුපුළුවන. එසේනම්, මගේ මිතුරාගෙන් ලැබුණු "අභ්‍යන්තර තොරතුර" නිවැරදි එකක් නොවේද?

ගුරුවරිය අවසානයේදී පාඩම කියවීම නවතන්නට සන් කළේ "බොහොම හොඳයි!" එකක්ද සමඟිනි. එහෙමනම්, දෙකේ පංතියේ ඉගෙන ගැනීමත් හෝඩියේ පංතියේදී හිතාගෙන සිටි තරම් මහා ලොකු දෙයක් නොවේ.

ඉන් පසුව, මම මෙසේ දෙකේ පංතියේ පෙළපොත කටපාඩම් නොකළෙමි. එහෙත්, අවශ්‍ය වූ විට අවශ්‍ය දෙයක් වැඩි අමාරුවක් නැතිව කටපාඩම් කරගත හැකි තරමේ ස්මරණ ශක්තියක් මට දිගටම තිබුණේය. ඒ ස්මරණ ශක්තිය ලැබුණේ සතත අභ්‍යාසය නිසාද නැත්නම් ජීව විද්‍යාත්මක හෝ වෙනත් පාරිසරික වාසියක් නිසාද යන්න මා හරියටම දන්නේ නැත. මේ සියල්ලේ එකතුවක් නිසා වියහැකිය.


මීළඟ ලිපිය: සමනලකන්ද හා වේ තුඹස 

(Image: www.livemint.com)

Saturday, October 1, 2016

මගේ පළමු ටියුෂන් පංතිය


මා කුඩා කාලයේදී ලංකාවේ ටියුෂන් සංස්කෘතිය අද තරමට "පිස්සුවක්" වී තිබුණේ නැත. ඒ කාලයේදී මා තේරුම් ගත් ආකාරයට ටියුෂන් ගැනීම "වැඩ බැරි ළමයින්ගේ" වැඩකි. මෙය එතරම් නම්බුකාර දෙයක් නොවීය.

කුඩා පන්ති වල සිසු-සිසුවියන් සඳහා පැවැත්වෙන ටියුෂන් පන්ති එකල අද මෙන් සුලභව හෝ ජනප්‍රියව නොපැවතියේ වුවද ඒවා නොතිබුණාම නොවේ.

මට මේ ආකාරයෙන් මුලින්ම "ටියුෂන් ගන්නට" සිදු වුණේ මා දෙවන ශ්‍රේණියේ සිටියදීය. ඒ, මා ඒ කාලයේදී පාසැල් වැඩ වලින් අනෙක් සිසු-සිසුවියන්ට වඩා පිටුපසින් සිටි නිසා නොවේ. ඇත්තටම කියනවානම් එයට වක්‍රව හේතු වුණේ මා ඒ කාලයේදී පාසැල් වැඩ වලින් අනෙක් සිසු-සිසුවියන්ට වඩා ඉදිරියෙන් සිටීමයි.

මමත්, මගේ සොයුරු සොයුරියනුත්, විශේෂයෙන්ම පහළ පන්ති වලදී, අපේ පන්ති වල අනෙක් බොහෝ සිසුන්ට වඩා ඉදිරියෙන් සිටියෙමු. එහෙත්, ඒ අප අනෙක් සිසු-සිසුවියන් නොකළ මහා අමුතු දෙයක් කළ නිසා නොවේ. පාසැල අවසන්ව නිවසට පැමිණි පසු අපි සාමාන්‍යයෙන් පාසැලෙන් දෙන ගෙදර වැඩක් කරනු හැර වෙන අමුතු කිසිවක් නොකළෙමු. ඉතිරි කාලය බොහෝ විට කෙළි දෙලෙන් ගත කළෙමු. කිසියම් වෙනසක් පැවතියේනම්, ඒ ඉතා අඩු වයසකින් සාක්ෂරතාවය ලබාගත් අප කුඩා කල සිටම කියවීම සඳහා වැඩි කාලයක් යෙදවීමයි.

කෙසේ වුවද, අපේ ඇතැම් ඥාතීන් සිතුවේ අපේ ගෙදර ළමයින්ට ඉගෙනීමෙන් ඉදිරියට යාමට උදවුවන කිසියම් "මැජික් එකක්" ඇති බවයි. මේ නිසා, අප කුඩා කාලයේ සිටම දිගින් දිගටම අපේ ඥාති සොයුරන් හෝ සොයුරියන් කෙනෙකු, දෙදෙනෙකු හෝ තිදෙනෙකු පාසැල් යනු පිණිස අපේ ගෙදර නැවතී සිටියේය. ඇතැම් විට, ඥාතීන් නොවූ අයද මෙසේ අපේ ගෙදර නැවතී සිටියේය.

මුලින්ම, මට අවශ්‍යතාවයක් නැතිවම, මෙසේ ටියුෂන් ගන්නට වුනේ ඒ කාලයේ අපේ ගෙදර නැවතී සිටි මගේ වයසේම ඥාති සොයුරෙකු පාසැල් විෂයයන්ට දුර්වල බව ඔහුගේ දෙමවුපියන් සිතූ බැවිනි. පාසැලේ ශ්‍රේණිය අනුව යමින් මගේ වයසේම කිවුවත්, එකම පාසැලේ සමාන්තර පන්ති වල සිටි අප දෙදෙනාගේ උපන් දින අනුව ඇත්තටම ඔහු මට වඩා වසරකින් වැඩිමල් නොවූයේ දින ගණනකනි.

දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අප දෙදෙනාට ටියුෂන් දීමට පැමිණියේ මා දැන් සිතන පරිදි එවකට වයස විස්සක් හෝ විසි දෙකක් පමණ වූ මුස්ලිම් තරුණියකි. මේ කාලයදී අපට මුස්ලිම් අය "අමුතු සත්තු" ලෙස පෙනුණේ නැත. මගේ ඥාති සොයුරාට තනිවම ටියුෂන් දෙනවා වෙනුවට ඔහුටත් මටත් එකට ටියුෂන් දීමේ කිසියම් වාසියක් අපේ වැඩිහිටියන් දැක්කා විය හැකිය.

මේ කාලය වන විට පාසැල් පොත් නොමිලයේ දීම ඇරඹී නොතිබුණේය. ඒ නිසා, පවුලේ වැඩිමලා වූ මා වෙනුවෙන් මගේ දෙමවුපියන්ට පාසැල් පොත් අළුතින්ම  ගන්නට සිදු වී තිබුණේය. එසේ වුවද, පාසැල් යන්නට වසරකට හෝ දෙකකට පෙරම පළමු ශ්‍රේණියේ පාසැල් පොත් මට ලැබුණේය. පාසැල් යාම අරඹන විට මා ස්වයං අධ්‍යයනයෙන් හෝ වෙනත් වැඩිහිටියන්ගේ උදවුවෙන් මේ පෙළ පොත් සම්පූර්ණයෙන් හදාරා අවසානය.

කෙසේ වුවද, පාසැලට ඇතුළු වන විට මට අළුත් පෙළ පොත් ගන්නට උවමනා විය. පළමු ශ්‍රේණියේ පෙළ පොත් ඒ වන විටද මා සතු වූ බැවින්, පළමු ශ්‍රේණියට ඇතුළත් වන අවස්ථාවේදී  මට දෙවන
ශ්‍රේණියේ පෙළපොත් සියල්ල ලැබුණේය. මෙය පුරුද්දට ගොස්, දෙවන ශ්‍රේණියට ඇතුළත් වන විට මට මගේ දෙමවුපියන් විසින් මිල දී ගනු ලැබ තෙවන ශ්‍රේණියේ පෙළපොත් සියල්ල ලැබී තිබුණේය.

පාසැලේදී මේ පෙළපොත් උගන්වන විට මා ඒවා වරක් අධ්‍යයනය කර අවසන්ව තිබූ බැවින් දෙවන වරට කරන පාසැල් වැඩ "ගේමක් නැති හා බෝරිං" කටයුත්තක් විය. මෙවැනි තත්ත්වයක සිටි මට මගේ පළමු ටියුෂන් පන්තියේදී තවත් වරක් මේ "බෝරිං" දෙය කිරීම එතරම් ප්‍රසන්න කටයුත්තක් නොවීය.

අපේ ටියුෂන් ගුරුවරිය කැඳවා තිබුණේ අපට ගණිතය හා සිංහල භාෂාව ඉගැන්වීමටය. ඇය වරකට පැය දෙකක් පමණ මේ වෙනුවෙන් ගත කළාය. එහෙත්, මගේ ඥාති සොයුරාට පැය දෙකක් ගතවන ගණිත හා සිංහල අභ්‍යාස අවසන් කරන්නට මට පැය බාගයක්වත් ගත වුණේ නැත. ඒ නිසා, මගේත් මගේ ටියුෂන් ගුරුවරියගේත් අන්‍යොන්‍ය අවබෝධයෙන්, ඉතිරි කාලය තුළ මම වෙනත් දේ ඉගෙන ගත්තෙමි.

මේ වෙනත් දේ අතර මගේ දෙමවුපියන්ගේද අනුමැතිය මත ඉගෙනගත් පළමු දෙය වූයේ ඉංග්‍රීසි භාෂාවයි. අපේ කාලයේදී රජයේ  පාසැල්  වල ඉංග්‍රීසි විෂයය ඉගැන්වීම ඇරඹුණේ තෙවන ශ්‍රේණියේදී නිසා මේ වන විට ඉංග්‍රීසි භාෂාව මගේ පාසැල් විෂයයක් නොවීය. එහෙත්, තෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොත මා සතු විය.

ඇත්තටම මේ තෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතද මා වැඩිහිටියන්ගේ උදවු ඇතිව මේ වන විට හදාරා තිබුණේය. මගේ ගුරුවරිය මට ලබා දුන්නේ ඊට වඩා වැඩි මට්ටමක ඉංග්‍රීසි දැනුමකි.

කවුරුත් දන්නා දෙයක් ලෙස ඒ දවස් වල මා සිතා සිටි සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා දෙකම හොඳින් දැන සිටි මේ ටියුෂන් ගුරුවරිය මට පෙනුණේ වීරවරියක ලෙසිනි. මගේ වැඩිහිටි ඥාතීන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයත්, මගේ මවගේ පියාට එයට අමතරව පාලි හා යම් තරමක සකු බස් දැනුමකුත් තිබුණත් මේ කිසිවකුට සැලකිය යුතු දෙමළ දැනුමක් නොතිබුණේය. ඔවුන්ගේ දැනුම කිසියම් කුලී වැඩකට පැමිණෙන දෙමළ කම්කරුවෙකු සමඟ හුවමාරු කරගන්නා වචන කිහිපයකට සීමා විය.

මගේ පළමු ටියුෂන් පන්තිය ඇරඹෙන විට මගේ දෙමළ දැනීම දෙමළෙන් ලියැවුණු යමක් යාන්තම් කියවීමේ හැකියාවට සීමා විය. මේ හැකියාව තනිකරම ස්වයං අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විය. එය කළේ, කිරිපිටි, සබන්, සිගරැට් ආදියේ දවටන වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තෙබසින්ම මුද්‍රණය කර තිබුණු වෙළඳ නාම සැසඳීමෙනි. මේ කටයුත්ත වැඩිදුර ගෙන යාමට උදවු කරගත හැකි කිසිදු වැඩිහිටියෙකු අපේ ගෙදර හෝ අපේ විස්තෘත පවුලේ සිටියේ නැත.

ගණිතය, සිංහල හා ඉංග්‍රීසි ඉගෙනීමෙන් පසුව ඉතිරිවන කාලය මම දෙමළ ඉගෙනීමට යෙදෙවුවෙමි. "ට්‍රැක් එකෙන් පිට යාමට" තරමක් අදිමදි කළත් මගේ පෙරැත්තයෙන් බේරෙන්නට බැරි නිසාත්, ටියුෂන් පංතියේ නියමිත වැඩ කොටස මා ඕනෑවටත් වඩා හොඳින් කරන නිසාත් මගේ මේ පළමු ටියුෂන් ගුරුවරිය මේ සඳහා අවසානයේදී එකඟ කරවා ගත හැකි විය.

මගේ පියා ලැබූ ස්ථාන මාරුවක් සමඟ අපට පදිංචිය වෙනස් කරන්නට වූයෙන් මගේ මේ පළමු ටියුෂන් පංතිය දෙතුන් මසකට වඩා පැවතුණේ නැත. මගේ ඥාති සොයුරාද අපේ පදිංචිය වෙනස් කිරීමට සමාන්තරව වෙනත් පාසැලකට හා වෙනත් "බෝඩිමකට" ගියේය.

මගේ පළමු ටියුෂන් පංතියට මෙසේ නැවතීමේ තිත වැටීමෙන් පසුව, මා නැවතත් ටියුෂන් පන්තියකට ගියේ වසර හත අටකටම පසුවය. කෙසේ වුවද, ඊට බොහෝ පෙර මම ටියුෂන් දීම පටන් ගත්තෙමි. මා වෘත්තීය ටියුෂන් ගුරුවරයෙකු වූයේ හයවන ශ්‍රේණියේ සිටියදීමය. ඒ ගැන මා මීට පෙරද සඳහන් කර තිබේ.



(Image: http://sashikaenglish.blogspot.com/2012/12/how-about-sinhala-tamil-english.html)

Gadget

This content is not yet available over encrypted connections.