Friday, September 30, 2016

ටියුෂන් බයෝ... ටියුෂන් ඉකෝන්...


ලංකාවේ වෛද්‍ය සිසුන්ගේ සමාජ ආර්ථික පදනම පිළිබඳව සාකච්ඡා කෙරුණු පසුගිය ලිපියකට ප්‍රතිචාර ලෙස වෛද්‍ය රුවන් ජයතුංග (ට්‍රාන්ස්සිල්වේනියා), සෙරන්ඩිපිටි, රොබට් ඇතුළු කිහිප දෙනෙකුම ඔවුන්ගේ නිරීක්ෂණ හා අදහස් සමඟ දිගු කමෙන්ටු දමා තිබුණේය. ඔවුන් මතු කරන කරුණු සියල්ල ගැන පුළුල්ව කතා කිරීම ලොකු කාලයක් මිඩංගු කළ යුතු කාර්යයකි.

සෙරන්ඩිපිටිගේ තර්කය වන්නේ උසස්පෙළ තරඟය ජය ගැනීමට නැතුවම බැරි පෞද්ගලික උපකාරක පන්ති වෙනුවෙන් එක් දරුවෙකු සඳහා දෙමවුපියෙකු විසින් මසකට රුපියල් 20,000ක පමණ මුදලක් වැය කළ යුතු බවත්, එවැනි මුදලක් වැය කිරීමේ හැකියාවක් නැති පවුලක දරුවෙකුට වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ හැකියාවක් නොමැති බවත්ය. මෙයට කිට්ටුවෙන් යන අදහසක් ඊට පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස ඉලෙක්ට්‍රොනික් විසින්ද මතු කර තිබුණේය. එසේනම්, සෙරන්ඩිපිටි හා ඉලෙක්ට්‍රොනික් කියන පරිදි පහළ සමාජ ආර්ථික මට්ටමකින් එන දරුවන් වෛද්‍ය පීඨ තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවේද? එසේ නියෝජනය නොවේනම් එයට හේතු මොනවාද?

පහත වගුවෙන් පෙනෙන පරිදි මේ තර්කයට පදනමක් තිබේ. එහි පළමු සිරස් පේළියේ ඇති දත්ත සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2012/13 වසර වල සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ නිවාස ඒකක වල ආදායම් ව්‍යාප්තියයි. දෙවන සිරස් පේළියේ දත්ත මා පෙර සඳහන් කළ සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වමින් සිය පවුලේ ආදායම් කාණ්ඩය වාර්තා කළ කොළඹ වෛද්‍ය පීඨ සිසුන්ගේ පවුල් වල ආදායම් ව්‍යාප්තියයි.



ඉහත දත්ත අනුව පෙනෙන්නේ රුපියල් ලක්ෂය ඉක්මවූ ආදායමක් ඇති පවුල් වල එක් සාමාජිකයෙකු නියෝජනය කිරීමට, කොළඹ වෛද්‍ය පීඨය තුළ වෛද්‍ය සිසුන් දෙදෙනෙකු සිටින බවයි. එහෙත්, පවුලේ ආදායම රුපියල් විසිදහසට අඩු පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු වෙනුවෙන් කොළඹ වෛද්‍ය පීඨය තුළ සිටින්නේ එක් සිසුවෙකු පමණි. අනෙකුත් වෛද්‍යපීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ ආදායම් ව්‍යාප්තියෙන් මේ තරම් වෙනස් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එමෙන්ම, වෙනත් පීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ තත්ත්වයට වඩා ආසන්න විය හැකිය. එසේ වතුදු, සරසවියකට ඇතුළු වීමට පවුලේ ආදායම් මට්ටම බලපාන බව බැහැර නොකළ හැකි කරුණකි.

එසේනම්, අධ්‍යාපනය සඳහා මුදල් අය නොකරන ලංකාවේ සරසවියකට ඇතුළු වීමටද මූලික මූල්‍ය ආයෝජනයක් අවශ්‍යය. මෙයට හේතුව ටියුෂන්ද?

පළමුව, අප සොයා බැලිය යුත්තේ ටියුෂන් සඳහා ඉල්ලුම ඇති වන්නේ කෙසේද යන්නයි. සැපයුමක් ඇත්තේ ඉල්ලුමක් ඇති නිසාය.

කිසියම් සිසුවකුගේ අධ්‍යාපනය සඳහා වැය වන මුළු මුදලම එම සිසුවා/ සිසුවිය හෝ පවුලේ සාමාජිකයින් විසින් දැරිය යුතුනම් අධ්‍යාපනය සඳහා යමෙක් ආයෝජනය කරන්නේ ආන්තික ආයෝජන පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වන මට්ටම දක්වා පමණි. ඇමරිකාවේ ඇත්තේ මෙයට ආසන්නව සමාන තත්ත්වයකි (ඇමරිකාවේද වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු උසස් අධ්‍යාපනය එක්තරා මට්ටමකට සුබසාධනය කෙරේ).

වෛද්‍ය වෘත්තීය ඇමරිකාවේ වැඩිම සාමාන්‍ය ආදායමක් ලබා ගත හැකි වෘත්තියයි. තමන්ගේ විශේෂඥතාව ඇති ක්ෂේත්‍රය අනුව, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට වසරකට ඩොලර් 204,000-443,000 අතර සාමාන්‍ය ආදායමක් ලැබිය හැකිය. එහෙත්, වෛද්‍යවරයෙකු වීම සඳහා වැය කළ යුතු කාලය, මුදල හා වෛද්‍යවරයෙකු වීමෙන් පසු බොහෝ විට වැඩ කරන වැඩි පැය ගණන සැලකූ විට වෛද්‍ය වෘත්තිකයෙකු වීම සඳහා කරන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය වෙනත් වෘත්තියකට සාපේක්ෂව විශාල ලෙස වෙනස් නැත. ඒ නිසා, හැම විටම වාගේ වෛද්‍ය වෘත්තියට පිවිසීමට උනන්දු වන්නේ ඒ සඳහා අවශ්‍ය කුසලතාවන් හෝ විශේෂ කැමැත්තක් ඇති අයයි (මෙය ආනුභාවික දත්ත මත කරන ප්‍රකාශයකි). මෙය වෙනත් වෘත්තීන්ටද අදාළය.

අධ්‍යාපන පිරිවැය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජනයක්නම් විවිධ වෘත්තියකයින් සඳහා රටේ පවතින ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියෙන් අනෙක් වෘත්තීන්ට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබෙන විට වැඩි දෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් ආයෝජනය කරන්නට පෙළඹේ. එවිට, වෛද්‍ය වෘත්තිකයින්ගේ සැපයුම වැඩි වී ඔවුන්ට රැකියා සොයා ගැනීම අපහසු වීමත්, ඔවුන්ගේ සාමාන්‍ය ආදායම පහළ වැටීමත් සිදුවේ. දැන් එම වෘත්
තිය සඳහා කරන ආයෝජනය තව දුරටත් වැඩි ප්‍රතිලාභ ගෙන නොදෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම අඩු වී නැවතත් වෙළඳපොළ සමතුලිත වේ. මෙය වෙනත් විෂය ක්ෂේත්‍රයන්ටද අදාළය. ඒ නිසා "රැකියා විරහිත උපාධිධාරීන්ගේ" ප්‍රශ්නයක් ඇති නොවේ.

කිසියම් රටකට කිසියම් හේතුවක් නිසා එම රටේ කිසියම් වෘත්තිකයක යෙදෙන ප්‍රමාණය ඉහත සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි කිරීමට අවශ්‍ය විය හැකිය. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියම සලකමු. එක් පුද්ගලයෙකු වඩා නිරෝගී වූ විට එම පුද්ගලයාට සම්බන්ධයක් නැති වෙනත් බොහෝ දෙනෙකුටද යම් සමාජ ප්‍රතිලාභයක් ලැබීම මේ තීරණයට පදනම් වනවා විය හැකිය. 


රජය මැදිහත් වී සමාජයේ මේ පොදු තීරණය ක්‍රියාත්මක කළ හැකි එක් ක්‍රමයක් වන්නේ වෛද්‍ය අධ්‍යාපන පිරිවැය සුබසාධනය කිරීමයි. එවිට, වෛද්‍ය අධ්‍යපනය වඩා ප්‍රතිලාභ ගෙනෙන කටයුත්තක් වන නිසා "දෙපැත්තට වැනි වැනී" සිටි ටික දෙනෙකු වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට යොමුවීමෙන් රටේ වෛද්‍ය සේවා සැපයුම සමතුලිත මට්ටමට වඩා වැඩි වේ.

ඇතැම් විට කිසියම් වෘත්තියක සැපයුම සමතුලිත ප්‍රමාණයට වඩා වැඩිවීම ස්වභාවිකවම සිදුවන්නටද පුළුවන. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි විෂය හදාරණ අයට ලැබෙන ශුද්ධ ප්‍රතිලාභය සෘණ අගයකි. මේ අය උසස් අධ්‍යාපනය නොලැබ සිටියෝනම් ඔවුන්ට මූල්‍යමය ලෙස වැඩි වාසියක් සිදු වේ. එහෙත්, මූල්‍යමය අවාසියක් ලබමින් ඔවුන් මේ විෂය හදාරන්නේ එයින් ඔවුන්ට ලැබෙන සතුට හෝ වෙනත් එවැනි මූල්‍යමය නොවන වාසියක් වෙනුවෙන් විය යුතුය. වෛද්‍ය වෘත්තිය හා අදාළව මෙවැනි තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට නැත. 


ලංකාවේ උසස් අධ්‍යාපනය ඉතා විශාල ලෙස සුබසාධනය කර තිබේ. මේ නිසා රජයේ සරසවියක උසස් අධ්‍යපනය ලැබීමේ අවස්ථාව ලැබූ අයෙකු ඒ සඳහා කළ යුතු ආයෝජනයෙන් සැලකිය යුතු කොටසක් පොදු ආයෝජනයක් ලෙස සමාජය විසින් දැරීමත්, ඒ හේතුවෙන් සිසුවාගේ හෝ සිසුවියගේ පෞද්ගලික ආන්තික පිරිවැය සැලකිය යුතු ලෙස පහත යාමත් සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය මුළුමනින්ම පෞද්ගලික ආයෝජනයක් වීනම් එය නොකරන සැලකිය යුතු පිරිසක් උසස් අධ්‍යපනය ලබා ගැනීමට යොමු වේ.

ලංකාවේ උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම සිදුවන්නේ නිදහස් වෙළදපොළ සමතුලිතතාවය වෙනස් කිරීම යුක්තියුක්ත කිරීමට ඇති සාධාරණ කරුණු සලකා බලමින් සැලසුම් සහගත ලෙස නොවේ. එය ඔහේ යන විදිහට යයි. ඒ නිසා, මෙසේ උසස් අධ්‍යපනය ලබා ගැනීම සඳහා යොමු වන ප්‍රමාණය රජයේ වෙළඳපොළ මැදිහත් වීම නිසා වැඩි වුවද අදාළ රැකියා සඳහා ඉල්ලුම සමානුරූපීව වැඩි නොවේ. ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ ඇතැම් වෘත්තිකයින් සඳහා වෙළඳපොළ ඉල්ලුම හා රටේ අවශ්‍යතාවයන් ගැලපීමට ප්‍රමාණවත් සැපයුමක් තිබියදී උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම මඟින් කෘතීම ලෙස සැපයුම තවත් වැඩි කිරීම නිසාය.

කෙසේ වුවද, වෛද්‍ය හා ඉංජිනේරු වැනි ඇතැම් වෘත්තීන් සඳහා පවතින ඉල්ලුම ගැලපීමට හැකි තරම් සැපයුමක් සුබසාධනය යටතේ එම වෘත්තිකයින් නිෂ්පාදනය කරන රජයේ සරසවි මඟින් සිදු නොකරයි. සැපයුම ප්‍රමාණවත් නොවන නිසා මේ වෘත්තිකයින්ගේ "මිල" සමතුලිත මට්ටම් ඉක්මවා ඉහළ යයි. එවිට එම වෘත්තීන්ට පිවිසීමේ ප්‍රතිලාභ හේතු දෙකක් නිසාම ඉහළ යයි. පළමුව, නිෂ්පාදන පිරිවැය සුබසාධනය වී ඇත. දෙවනුව, සැපයුම සීමා කර ඇති නිසා තරඟකරුවන් අඩුවී ලාභ වැඩි වේ. ඉංජිනේරු, පරිගණක හා තොරතුරු තාක්ෂණ හා ගණකාධිකාරී වැනි වෙනත් ජනප්‍රිය වෘත්තීන්ට සාපේක්ෂව වෘත්තියට පිවිසීමේ විකල්ප අවස්ථා හොඳටම අඩු වෛද්‍ය වෘත්
තිය හා මේ කරුණ විශේෂයෙන්ම අදාළය. 

ඉහත පරිදි, ලංකාවේ සරසවි වල 'ජනප්‍රිය' පාඨමාලාවක් හැදෑරීම සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දුන්නත් මේ අවස්ථාව සියල්ලන්ටම හිමි නොවේ. මේ අය අතරින් සැලකිය යුතු පිරිසක් අධ්‍යාපන ආයෝජන පිරිවැය මෙතරම් (හෝ කොහෙත්ම) සුබසාධනය වී නොතිබුණද එම වැඩි (සමස්ත) පිරිවැය පෞද්ගලික ආයෝජනයක් ලෙස දරන්නට සූදානමින් සිටින අයයි. ඒ අයට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකිය. එසේ නොහැකිවීම නිසා නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති වේ.

නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති විට එහි ව්‍යාපාරික අවස්ථාවක් තිබේ. ලාභ ලැබීමේ ඉඩකඩක් තිබේ. පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු මේ නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් ලාභ ලබන ව්‍යවසායකයෝය. දැන් යමෙකුට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකි වුවත්, වක්‍රව එය කර ගැනීමට ක්‍රමයක් තිබේ. ඒ අනුව, උපකාරක පන්ති සඳහා මුදල් වැය කිරීමේ හැකියාව ඇති අය ස්ව-කැමැත්තෙන් එසේ කරති.

එසේනම්, කොළඹ වෛද්‍ය පීඨය තුළ ලංකාවේ ඉහළ ආදායම් ස්ථර වල නියෝජනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත්තේ සහ අඩු ආදායම් ස්ථර වල නියෝජනය එලෙසම අඩු වී ඇත්තේ ටියුෂන් වියදම නිසාද?

මෙය අපි දෙවනුව කතා කරමු.


(Image: https://www.flickr.com/photos/cerno/1522828591)

Wednesday, September 28, 2016

බාබර්ලා දෙන්නා

"එක් ව්‍යාපාරිකයෙක් කිසියම් කටයුත්තක් සඳහා ප්‍රත්‍යන්ත නගරයකට ගියේය. තමන් පැමිණි කටයුත්ත අතරවාරයේ ලැබුණු මඳ ඉසිඹුවකින් ප්‍රයෝජනයක් ගන්නට සිතූ මේ ව්‍යාපාරිකයා පාරට බැස කොණ්ඩය කපා ගැනීම සඳහා කෙස් කැපුම්හලක් ඇත්දැයි සොයා බැළුවේය. ඔහුට දැනගන්නට ලැබුණු පරිදි මේ කුඩා නගරයේ කෙස් කැපුම්හල් තිබුණේ දෙකක් පමණි. ඔහුට තවදුරටත් දැන ගන්නට ලැබුණේ මේ කෙස් කැපුම්හල් දෙකම නගරයේ එකම තැන පාර දෙපස මුහුණට මුහුණ ලා පිහිටා ඇති බවයි.

දැන ගන්නට ලැබුණු පරිදි ව්‍යාපාරිකයා සිටි තැන සිට මේ කියන තැනට වැඩි දුරක් නොතිබුණු බැවින් ඔහු හෙමින් ඇවිදගෙන එහි ළඟා විය. පළමු කෙස් කැපුම්හලට ඇතුළු වූ ඔහුට දකින්නට ලැබුණේ තැන තැන කෙස් කොට වැටී තිබුණු අපිළිවෙල තැනකි. ඒ මදිවාට කරණවෑමියාගේ හිසකේ කපා තිබුණු ආකාරයද කිසිම කමකට නැත.

ව්‍යාපාරිකයා පාර පැන දෙවන කෙස් කැපුම්හලට ඇතුළු විය. එය පළමු කෙස් කැපුම්හල මෙන් නොව මනා පිළිවෙලකින් යුතු තැනක් විය. කරණවෑමියාගේ හිසකේද ඉතා ක්‍රමානුකූල ලෙස කපා සකස් කර තිබුණේය. ක්‍ෂණිකව කෙස් කැපුම්හල් දෙක සැසඳූ ව්‍යාපාරිකයා පාර පැන නැවත පළමු කෙස් කැපුම්හලට ගොස් සිය හිසකේ කොට කරගත්තේය.

ඔහු කොණ්ඩය කැපීමට පළමු කරණවෑමියාව තෝරාගත්තේ ඇයි?"



ඉහතින් ඇත්තේ ඉතා ප්‍රසිද්ධ "රිඩ්ල්" එකක් නැත්නම් "බ්‍රේන්ටීසරයකි". (ගූගල් ගොස් "Two barbers" ලෙස සර්ච් කර බලන්න.) මෙහි සම්මත පිළිතුර මෙවැන්නකි.

"කිසිවකුට තමන්ගේ හිසකේ කපාගත නොහැකිය. නගරයේ සිටින්නේ කරණවෑමීන් දෙදෙනෙකු පමණක් නිසා පළමු කරණවෑමියාගේ හිසකේ අපිළිවෙල ලෙස කපා ඇත්තේ දෙවන කරණවෑමියා විය යුතුය. දෙවන කරණවෑමියාගේ හිසකේ ක්‍රමානුකූලව කපා ඇත්තේ පළමු කරණවෑමියා විය යුතුය."



තිලකසිත ලියන තිලක් පදිංචිව සිටි අගනුවර ආසන්න නගරයකත් ඔය වගේම කරණවෑමීන් දෙදෙනෙකු සිටියේය. පළමුවැන්නා ඌව පළාතෙන් සංක්‍රමණය වූ අයෙකි. දෙවැන්නා සබරගමු පළාතෙන් ආ අයෙකි. මේ දෙන්නා ගැන වැඩි විස්තර මා මෙහි නැවත ලියන්නේ නැත. කියවා නැත්නම් කරුණාකර එහි ගොස් ඒ ලිපිය කියවා නැවත එන්න. සබැඳිය පහත තිබේ. හැබැයි ඔන්න ආපහු එන්න ඕනෑ!

කරණවෑමි දෙපළ හෙවත් ඒ බාබර් හා මේ බාබර්

කියවල ආපහු ආවද? දැන් දන්නවනේ ඒ බාබර්ගේ හා මේ බාබර්ගේ වෙනස. අර තිලක්ට තියන ප්‍රශ්නය තවත් අයටත් තියෙන්නට පුළුවන.

"මේ බාබර්ලා දෙන්නාගේ ඉරණම් මේ ආකාරයන්  වෙනස් වූයේ කෙසේද?"

මේ කතාව කියවූ වහාම මට හිතුනේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක පරිච්ඡේදයක ආරම්භයට සුදුසු කතාවක් බවයි. රුවන් ජයතුංග කොහේදෝ සටහන් කර තිබුණාක් මෙන් මිනිහෙක් කියන්නේ තනිකරම පාඨ ග්‍රන්ථයකි. බාබර්ලාත් මිනිස්සු නිසා මෙතන දෙකකි.

මුදල් වල වටිනාකම අපි කවුරුත් දන්නෙමු. ඒ වගේම කාලයේ වටිනාකම ගැනත් දන්නෙමු. (බ්ලොග් වලට මේ තරම් කාලය යොදවන්නේ ඒ නිසාය.) මම අද මුලින්ම කියන්නට යන්නේ "මුදලේ කාල වටිනාකම" හෙවත් "Time value of money" කියන එක ගැනය.

අපි කිසිවෙකුට අවුරුද්දකින් ලැබෙන්නට නියමිත රුපියල් සීයක් අද අතේ තියෙන රුපියල් සීයක් තරම් වටින්නේ නැත. අනාගතයේ ලැබෙන්නට නියමිත රුපියල් සීයක් වටින්නේ අද ලැබෙන රුපියල් සීයකට වඩා වඩා කීයක් අඩුවෙන්ද? මෙය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි. එක් අයෙකුට අනාගතයේ ලැබෙන රුපියල් සීයක අද වටිනාකම රුපියල් අනූ නවයක්ද, තවත් අයෙකුට අනූ පහක්ද, තුන් වැන්නෙකුට අසූවක්ද වන්නට පුළුවන. එය පුද්ගල ස්වභාවය අනුව තීරණය වන්නකි. කිසියම් පුද්ගලයෙකු ඉතිරි කරන්නෙකු වෙනවාද නැත්නම් ණය කාරයෙකු වෙනවාද යන්න තීරණය වන්නේ මෙසේ පුද්ගලයෙකු අනාගතයට සාපේක්ෂව වර්තමානයට බර තබන අනුපාතය අනුවය.

දැන් අපි වෙළඳපොළෙහි පොලී අනුපාතිකය සියයට පහක් යැයි සිතමු. පළමුවැන්නා අද රුපියල් අනූ පහක් ණයට ගත්තොත් ඔහුට වසරකින් පසු ගෙවන්නට වෙන්නේ රුපියල් සියයකට ආසන්න මුදලකි. (හරියටමනම් රුපියල් 99.75කි. සත විසිපහ අතාරිමු.) එමෙන්ම, අද රුපියල් 95ක් ඉතිරි කළොත් වසරකින් (ආසන්නව) රුපියල් සියයක් ලැබේ. එසේනම් කළ යුත්තේ ණය ගැනීමද නැත්නම් ඉතිරි කිරීමද?

මෙය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ මුදලේ කාල වටිනාකම අනුවය. මෙහි පළමුවැන්නාට වැඩි යහපතක් වන්නේ ඉතිරි කිරීමෙනි. අනාගතයේ ගෙවිය යුතු රුපියල් සියයේ ඔහුගේ අද වටිනාකම රුපියල් 99කි. එයින් රුපියල් 95ක් පමණක් ඉතිරි කර ඔහුට අනාගතයේ රුපියල් සියයක්, එනම් අද වටිනාකම අනුව රුපියල් 99ක් ලැබිය හැකිය. එවිට, ඉතිරිවන රුපියල් 4 ඔහුට ලැබෙන වාසියකි. දෙවැන්නාට ණය වීමෙන් හෝ ණය ගැනීමෙන් සිදුවන විශේෂ වාසියක් නැත. තෙවැන්නාට වැඩි යහපතක් වෙන්නේ ණය වීමෙනි. අද රුපියල් අනූ පහක් ණය වුවහොත් ඔහුට අනාගතයේදී රුපියල් සියයක් ගෙවන්නට වේ. ඔහුට අනුව ඒ රුපියල් සීයේ අද වටිනාකම රුපියල් අසූවකි. එහෙත්,
අද ඔහු අතට රුපියල් අනූපහක් ලැබේ. මේ වැඩිපුර රුපියල් පහළොව ඔහුට ලැබෙන වාසියකි.

මෙහි පළමුවැන්නා වර්තමානයට සාපේක්ෂව අනාගතයට වැඩි බරක් තබයි. තෙවැන්නා අනාගතයට තබන්නේ ඉතා අඩු බරකි. සමාජයක ජීවත් වන පුද්ගලයින් අතරින් අනාගතයට වැඩි බරක් තබන අය බොහෝ විට ඉතිරි කරන්නෝ නැත්නම් ආයෝජකයෝ වෙති. ඔවුහු සිය අනාගත පරිභෝජනය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් වර්තමාන පරිභෝජනය කැප කරති. එසේම, අනාගතයට අඩු බරක් තබන්නෝ ණයකරුවෝ වෙති. ඔවුන් බොහෝ විට බලන්නේ වර්තමානය තුළ ණය වී හෝ හැකිතාක් පරිභෝජනය කිරීමටය.

සමාජයක මේ දෙවර්ගයේම පුද්ගලයින් සිටින නිසා ඔවුන් අතර ණය ගණුදෙනු සිදුවේ. ණය පොලිය තීරණය වන්නේ සමාජයේ විවිධ පුද්ගලයින්ගේ මුදලේ කාල වටිනාකම අනුවය. මේ පරාසය තුළ සිටින ණය දෙන්නන් හා ණය ගන්නන් අතර සමතුලිතතාවයක් ඇති වන සේ පොලී අනුපාතිකය සකස් වේ.

මෙහි පළමුවැන්නා වැනි අය සිය අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි දේ ගැන සැලකිලිමත් වීමේ ඉඩකඩ වැඩිය. තෙවැන්නා වැනි අය බලන්නේ අද දවස හැකිතාක් සතුටින් ගත කරන්නටය. තිලක්ගේ කතාවේ කරණවෑමියන් දෙදෙනාගේ පුද්ගල ස්වභාවය පැහැදිලි කරන තවත් කරුණු තිබේ.

"මුලින්ම මම සැලුන් එකක වැඩ කරා. ඊට පස්සේ මම කොණ්ඩේ කැපීම ගැන පුහුණුවකට  ගියා. පස්සේ මමම සැලුන් එකක් දැම්මා."

මේ අනුව දෙවැනි කරණවෑමියා මානව ප්‍රාග්ධනය ලබාගැනීමට මෙන්ම භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන්ද ආයෝජන කර ඇත. ඒ ඔහු අනාගත පරිභෝජනයට වැඩි බරක් තබන නිසාය.

තිලක්ගේ ගම් පළාතෙන් පැමිණි පළමු කරණවෑමියා එහි අනික් පැත්තයි.

"මාගේ කොණ්ඩය කපමින්  සිටියදී තවත් පාරිභෝගිකයකු පැමිණීම නිසා ඔහු ඕනිවට එපාවට කඩිමුඩියේ මගේ වැඩය නිම කරන්නට  උත්සාහ කළේය. ඔහුට ඕනි වුනේ අනෙක් කස්ටමර් වෙන සැලුනයක් සොයා යෑම වලක්වා ගැනීමටය. මගේ මේ පැමිණීම ඔහුට වැදගත් වී නැති සැටියකි."

ඔහු උත්සාහ කරන්නේ අද දවසේ අර අළුතින් පැමිණි පාරිභෝගිකයාගෙන් ලැබෙන මුදල කෙසේ හෝ අය කරගන්නටය. ඒ උත්සාහයේදී ඔහුට ඔහුගේ වත්මන් පාරිභෝගිකයෙකු නැති වන නිසා දිගුකාලීනව වෙන්නේ අවාසියකි. එහෙත්, එය ඔහුට මහ ලොකු ප්‍රශ්නයක් නොවේ. අනාගතයේ මේ පාරිභෝගිකයා නැති වීම ප්‍රශ්නයක් වන්නේ අනාගතයට වැඩි බරක් තබන කෙනෙකුටය. ඔහු ලබාගෙන ඇති ණය මුදලට ගෙවන පොලී අනුපාතිකය අනුව පෙනෙන්නේ මේ පළමු කරණවෑමියා වර්තමානයට සාපේක්ෂව අනාගතයට තබන බර ඉතාම කුඩා බවයි.



(Images: layton.wikia.com, twitter.com)

Tuesday, September 27, 2016

එක පියෙකුගෙ දරු කැල ලෙසිනා...

මහා පරාක්‍රමබාහු රජු ලංකාවේ රාජ්‍ය කරන කාලයේදී මොන්ගෝලියාවේ ගෝත්‍රයක ප්‍රධානියෙකුගේ දරුවෙකු ලෙස උපන් ජෙන්ඝීස් ඛාන්ට සිය මැදි වයස වන විට මොන්ගෝලියාවේ සියළු ගෝත්‍ර එක්සේසත් කිරීමටත්, වයස අවුරුදු 65ක්ව මියයන විට වත්මන් ආසියාවේ හා යුරෝපයේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු ලෝක ඉතිහාසයේ ලොකුම අධිරාජ්‍යයක් ගොඩ නැඟීමටත් හැකි විය. ජෙන්ඝීස් ඛාන්ගේ අනුප්‍රාප්තිකයින් විසින් තවදුරටත් පුළුල් කෙරුණු මේ අධිරාජ්‍යය තුදුස්වන සියවසේ මුල තෙක්ම මෙසේ තනි අධිරාජ්‍යයක් ලෙස පැවති අතර ඉතිහාසයේ විවිධ පාලකයින් විසින් ගොඩනඟා ඇති අධිරාජ්‍යයන් අතරින් එය ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ අප වඩා හොඳින් දන්නා ඉංග්‍රීසි අධිරාජ්‍යයට පමණි.

යුද්ධ හෝ අධිරාජ්‍ය ගොඩනැඟීම් කවර කලෙකවත් මනුෂ්‍ය සංහතියේ යහපත පිණිස හේතු නොවීය. ඒ අතරින්ද, රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම හරහා ගොඩනඟාගන්නා අධිරාජ්‍යයන්ට සාපේක්ෂව තනිකරම බලය යොදා යටත් කරගැනීම මඟින් අධිරාජ්‍යයන් ගොඩනැඟීම වඩා විනාශකාරීය. ජෙන්ඝීස් ඛාන් සිය අධිරාජ්‍යය ගොඩනැඟීම පිණිස හැමවිටම වාගේ යොදාගත්තේ දෙවන ක්‍රමයයි. තමන්ට ප්‍රතිරෝධයක් දක්වන ජන කණ්ඩායම් මුළුමනින්ම සමූලඝාතනය කර දැමීම හා කාන්තාවන් දූෂණය කිරීම ජෙන්ඝීස් ඛාන්ගේ යුධ ක්‍රමෝපායයේ අවියෝජනීය කොටසක්ව පැවතී ඇති බව පෙනේ.

අළුතින් යටත් කරගන්නා ප්‍රදේශවල කාන්තාවන්ගෙන් "හොඳම කොටස" මුලින්ම වෙන් කර ගෙන ඇත්තේ ජෙන්ඝීස් ඛාන් විසිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජෙන්ඝීස් ඛාන්ට දාව ඉපදී ඇති දරුවන් ගණන 1000-2000 අතර ප්‍රමාණයක් ලෙස සැලකේ. ජෙන්ඝීස් ඛාන්ගේ දරුවෝද, කුබ්ලායි ඛාන් වැනි මුණුපුරෝද මේ පිළිවෙත ඉදිරියට ගෙන ගියහ. මෙහි අවසාන ඵලය ලෙස, අද වන විට ලෙස ජෙන්ඝීස් ඛාන්ගෙන් පැවතෙන්නෝ විශාල ගණනකි.

පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමේදී වයි-ක්‍රොමසෝමය උරුම විය හැක්කේ පියාගෙන් පමණි. මේ නිසා යම් පුද්ගලයකුගේ වයි-ක්‍රොමසෝමය අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ පීතෘ පාර්ශ්වයීය සම්භවය ගැන දැනගත හැකිය. ටික කලකට පෙර සිදු කෙරුණු මෙවැනි අධ්‍යයනයකදී හෙළිවූ කරුණක් වූයේ, සාමාන්‍යයෙන් ජනගහණයක එක සමාන වයි-ක්‍රොමසෝම දෙකක් හමුවීම සුලභ සිදුවීමක් නොවුණත් තෝරාගත් නියැදියේ විශාල පිරිසක් සතුව එක්තරා සුවිශේෂී වයි-ක්‍රොමසෝමයක් ඇති බවයි. 2003 වසරේදී පළ කෙරුණු මේ පර්යේෂණ පත්‍රිකාවට අනුව  පැරණි මොන්ගෝලියානු අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වල ජනගහණයෙන් 8%කටම ඇත්තේ මේ එකසමාන වයි-ක්‍රොමසෝමයයි. මෙය ලෝක ජනගහණයෙන් 0.5%කට ආසන්න ප්‍රමාණයකි. ආකෘති මඟින් පෙනෙන පරිදි මේ වයි-ක්‍රොමසෝමය මෙසේ ව්‍යාප්ත වීමේ මූලාරම්භය ජෙන්ඝීස් ඛාන් ජීවත් වූ කාලයට ආසන්නය.

ඉහත අධ්‍යයන ප්‍රතිපලය අනුව ඔවුන්ගේ නියැදිය අහඹු නියැදියක්ය යන උපකල්පනය මත ලෝකයේ සෑම 200කින් එක් අයෙකුම ජෙන්ඝීස් ඛාන්ගෙන් පැවතෙන්නෙකි. පසුව සිදු කෙරුණු වෙනත් අධ්‍යයන අනුව, මෙසේ වත්මන් ලෝක ජනගහණය තුළ තමන්ගේ ජාන විශාල ලෙස නියෝජනය කරන එකම ඓතිහාසික චරිතය ජෙන්ඝීස් ඛාන් පමණක් නොවේ. 2005දී පළවූ අධ්‍යයනයක් මඟින් චින් රජපෙළපතේ (Qing Dynasty) සාමාජිකයෙක්ද, තවත් අධ්‍යයනයකින්  අයර්ලන්තයේ Uí Néill/ O'Neill වාසගම් දරන අයගේ ආදිතමයෙක්ද මේ අයුරින් හඳුනාගෙන තිබේ.

ලෝකය ඉදිරියට යද්දී මෙසේ වැඩි වශයෙන් ශේෂ වන්නේ යහපත් මිනිසුන්ගේ ජාන නොවේ. හොඳින් හෝ නරකින් අනෙක් මිනිසුන් සමඟ තරඟකර ජය ගන්නා අයගේ ජානයි.






(උඩම ඡායාරූපය ලබාගත්තේ අන්තර්ජාලයෙනි. මෙය උලන් බතාර්හි ඇති ජෙන්ඝීස් ඛාන් ස්මාරකයකි. එම ස්ථානයේම සාදා ඇති පහළ ඡායාරූප වල ඇති ඉතිරි ස්මාරක ඉකොනොමැට්ටා විසින් වසර කිහිපයකට පෙර ගත් ඒවාය. සමාජවාදය බිඳ වැටීමෙන් පසු නැවතත් ජෙන්ඝීස් ඛාන් මොන්ගෝලියානු ජාතික වීරයෙකු ලෙස සැලකුම් ලබයි.)

Saturday, September 24, 2016

බවලත්තු හොයන බලවත්තු

දේශපාලන, ව්‍යාපාරික, වෘත්තීය, මිලිටරි හා කලා ක්ෂේත්‍ර ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වල සිවිල් බලයක් ගොඩ නඟාගෙන සිටින පුද්ගලයින්ගේ විවාහ සංස්ථාවෙන් පිට අනිසි සබඳතා ගැන තොරතුරු වරින් වර කරලියට පැමිණේ. එසේ නොපැමිණියද, මෙවැනි 'ලොක්කන්' බොහෝ දෙනෙකු මලින් මලට පියඹා තුඩින් තුඩග රොන් ගැනීම සිය ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරගෙන සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ.

ලංකාවේදීනම් මෙවැනි හැසිරීම් සාමාන්‍යයෙන් මෙවැනි සිවිල් බලයක් ඇති ලොක්කන්ගේ වෘත්තීය ජීවිතය අවදානමට ලක් නොකරයි. ඒ නිසා, එවැනි චර්යාවන් පාලනය කිරීමට විශාල පෙළඹුමක් ඇති නොවීම පුදුම සහගත දෙයක් නොවේ.

ඇමරිකාවේදී මෙවැනි සිදුවීම් මෙවැනි 'ලොක්කෙකුගේ' වෘත්තීය ජීවිතය අවදානමෙහි හෙලීමේ වැඩි සාපේක්ෂ ඉඩකඩක් තිබේ. එහෙත්, එවැනි තත්ත්වයක් යටතේ වුවද තහනම් රස සොයමින් අන් මල් වල රොන් ගන්නට පෙළඹෙන්නෝ නොඅඩුය.

බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවින්ස්කි ගැන නොදන්නා අය ඇත්නම් ඒ ඉතා අඩුවෙනි. ලෝක බැංකු සභාපතිව සිටි පෝල් වුල්ෆොවිට්ස්ට සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කෙරුණු ශාහා රිසා සමඟ වූ සම්බන්ධතාවයද බොහෝ දෙනාට අමතකව තිබිය නොහැකිය. ව්‍යාපාරික ලෝකයෙහි, හැව්ලට්-පැකාර්ඩ්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී මාක් හර්ඩ් මෙන්ම, බෝයිංහි ප්‍රධාන විධායක නිලධාරී වූ හැරී ස්ටෝන්සයිපර්ටද රස්සා නැති කරගන්නට වුනේ මෙවැනිම අනියම් සම්බන්ධතා නිසාය. මේ කිසිවකු මේ අවදානම් නොදත්තෝ නොවූහ. එසේනම්, ඔවුන් අනියම් සබඳතාවක් වෙනුවෙන් මෙසේ සිය වෘත්තීය  අනාගතයම පරදුවට තබන්නට තරම් 'මෝඩ වෙන්නේ' ඇයි?

පළමුව, අප විමසා බැලිය යුත්තේ මෙය ඇත්තටම සිවිල් බලවතුන්ගේ සුවිශේෂී චර්යාවක්ද යන්නයි. ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ මෙවැනි චර්යාවක් ගැන සමාජ ජාල වල පුවතක් සංසරණය වන බොහෝ විට දක්නට ලැබෙන සුලභ ප්‍රතිචාරයක් වන්නේ මෙවැන්නකි.

"දැන් ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ xxx කරපු නිසා. ඕක සාමාන්‍ය කෙනෙක් කළානම් කවුරුවත් කතා කරන්නෙවත් නැහැ."

ඇත්තටම මෙතැන තියෙන්නේ සිවිල් බලවතුන්ගේ පෞද්ගලික ජීවිත හාරා ඇවිස්සීමට සාමාන්‍ය පුද්ගලයින්ට ඇති කුතුහලය නිසා ජනමාධ්‍ය මඟින් එවැනි සිද්ධීන්ට වැඩි ප්‍රචාරයක් දීම නිසා ඇති වන තත්ත්වයක්ද?

නෙදර්ලන්තයේ ටිල්බර්ග් හා ග්‍රොනින්ගන් සරසවි වල ජොහිස් ලැමර්ස් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් 2010දී පලකළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව මෙය එවැනි තත්ත්වයක් නොවේ. වෘත්තිකයින් 1,561 දෙනෙකු යොදාගෙන සිදු කළ මේ පර්යේෂණයෙන් පෙනී යන්නේ සිවිල් බලය වැඩිවන තරමට අනියම් සම්බන්ධතා සඳහා වන පෙළඹුම වැඩි වන බවයි. එහෙම වෙන්නෙ ඇයි?

මේ සඳහා පරිනාමීය මනෝවිද්‍යාවෙහි පැහැදිලි කිරීමක් තිබේ. පරිනාමීය මනෝවිද්‍යා විශ්ලේෂනයක් බොහෝ විට පදනම් වන මූලික ගොඩනැඟුම් වලින් එකක් වන්නේ වර්ගයා බෝ කිරීමේ කාර්යයහිදී ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති ජීවවිද්‍යාත්මක හැකියාවන්ගේ අසමමිතියයි.

නිවුන් දරු උපත් සිදු නොවුවහොත්, ගැහැණියකට සාමාන්‍යයෙන් දස මසක් තුළ එක් දරුවෙකුට වඩා බිහිකළ නොහැක. දරුවෙකු පිළිසිඳගත් තැන් සිට එම දරුවා බිහිවන තුරුත්, තවත් කෙටි කාලයක් යන තුරුත් නැවත දරුවෙකු බිහි කිරීමට දායක වීමට ඇයට ජීව විද්‍යාත්මක බාධාවක් තිබේ. ඒ නිසා, ප්‍රශස්ත තත්ත්වයන් යටතේ වුවත් ගැහැණියකට සිය ජීවිත කාලය තුළ දරුවන් සියයකට වඩා බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාව නොගිණිය හැකි තරම් කුඩාය. දැනට පවතින වාර්තා අනුව මෙතෙක් වැඩිම දරුවන් ගණනක් බිහි කර ඇති ෆියදෝර් වසිලියෙව්ගේ පළමු බිරිඳ විසින් බිහිකර ඇති දරුවන් ගණන 69කි. ගැහැණියක ලිංගික සබඳතා පවත්වන සහකරුවන් ගණන කොපමණ වැඩි වුවද මේ සීමාව ඉහළ නොයයි.

පිරිමින් හා අදාළව ඇත්තේ මෙයට වඩා බොහෝ වෙනස් තත්ත්වයකි. පිරිමියෙකුට අවශ්‍ය පමණ ලිංගික සහකාරියන් සිටීනම් දිනකට දරුවන් ගණනාවක් වුවද බිහි කිරීමේ හැකියාව තිබේ. දරුවන් සියය ඉක්මවා බිහිකළ පිරිමින් ගැන වාර්තා සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ. මොරොක්කෝවේ ඉස්මයිල් ඉබන් ශරීෆ් විසින් අඩු වශයෙන් දරුවන් 867 දෙනෙකුද, ජෙන්ගීස් ඛාන් විසින් දරුවන් 1000-2000 අතර ප්‍රමාණයක්ද බිහි කිරීමට දායක වී ඇත. මේ ජීව විද්‍යාත්මක වෙනස ගැහැණුන් හා පිරිමින්ගේ ඇතැම් චර්යාත්මක වෙනස්කම් පැහැදිලි කරයි.

වෙනත් ඕනෑම සතෙකුට මෙන්ම මිනිසෙකුටද සිය වර්ගයා වැඩි වැඩියෙන් බෝ කිරීම සඳහා ස්වභාවික ජීව විද්‍යාත්මක තෙරපුමක් තිබේ. එය ජාන වලින්ම එන්නකි. පිරිමියෙකුට මෙය වඩාත්ම සාර්ථක ලෙස කළ හැක්කේ හැකි පමණ කාන්තාවන් සමඟ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් ලිංගිකව එක් වීමෙනි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය පමණ සහකාරියන් නොමැති නිසා පිරිමින්ට අනෙක් පිරිමින් සමඟ තරඟ කිරීමට සිදුවේ.

ඉතිහාසයේ වැඩි කාලයක් සහකාරියන් ලබා ගැනීමේ තරඟයෙන් ජයගත්තේ ශරීර ශක්තියෙන් වැඩි අයයි. මේ නිසා ශරීර ශක්තිය වැඩි, උස මහත පිරිමින්ට දරුවන් හදන්නට එතරම් ශරීර ශක්තියක් නැති පිරිමින්ට වඩා වැඩි අවස්ථාවන් ලැබුණේය. ඒ නිසා කාලයත් සමඟ උස මහත පිරිමින්ගෙන් පැවතෙන්නෝ වැඩි වූහ. සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා ගැහැණුන් උසින් අඩු මේ නිසාය.

යම් ගහණයක සිටි ශක්තිමත් පිරිමි ගැහැණුන් හා එක්වූයේ හැමවිටම ඔවුන්ගේ කැමැත්තෙන්ම නොවේ. මෙය බොහෝ විට බලහත්කාරයෙන්ද සිදු විය. පිළිසිඳ ගැනීම සිදු වූයේ කැමැත්තෙන් එක්වීමෙන් වුවද, නොවුවද ගැබ්බර වන කාන්තාවකට දරුවා බිහි කර ලොකු මහත් කරන්නට සිදු වූ නිසා ස්ත්‍රී දූෂකයින්ගේ ජාන ගහණයෙන් ඉවත් නොවීය. ඒ නිසා, අඩු වැඩි වශයෙන් අප සියල්ලෝම ස්ත්‍රී දූෂකයන්ගෙන් පැවතෙන්නෝය.

ඉහත ප්‍රවාදය අනුව, මිනිස් ගහණයක තිබිය යුත්තේ කුකුළු කොටුවක වැනි තත්ත්වයකි. එය එසේ නොවී එක් සහකරුවෙකු සමඟ කුටුම්භයක් හදන තැනකට මිනිසුන් යොමු වුණේ ඇයි?

පිරිමින් හා අදාළ තත්ත්වය ඉහත පරිදි වුවත් ගැහැණුන් සම්බන්ධව එය එසේම නොවීය. සහකරුවන් වැඩි වූ පමණින් ගැහැණුන්ට ඉහත ආකාරයේ වාසියක් නොලැබේ.

පිරිමියෙකු විසින් ගැහැණියක ගැබ්බර කිරීමෙන් පසු ඔහුගේ කාර්යය අවසන් වුවද ඇයගේ කාර්යය එතැනින් අවසන් නොවේ. ඇගේ ජාන ඉදිරියට ගෙන යා හැක්කේ මේ කළලය ප්‍රවේශම් කරගෙන, නිරෝගී දරුවෙකු බිහි කර එම දරුවා දරුවන් බිහි කරන තෙක් රැක ගත හැකි වුවහොත් පමණි.

මේ තත්ත්වය පිරිමින්ටද අදාළ වුවත් එය බලපාන්නේ එකම අයුරින් නොවේ. ගැබ්බර කළ කාන්තාව නිරෝගී දරුවෙකු බිහි නොකළහොත් ඔහුගේ ආන්තික පිරිවැය විනාඩි පහක දහයක කාලයයි. එහෙත්, ගැහැණියට එය වසරක පමණවත් කාලයකි. ඒ නිසා, ගැබ්බර වූ පසු ගැබ රැක ගැනීමට ගැහැණියකට ඇති උවමනාව පිරිමියෙකුට නැත.

දරුවෙකු සැදීමේ ජීව විද්‍යාත්මක කාර්යයේදී ගැහැණියක ගෙවන මිල පිරිමියෙකු ගෙවන මිලට වඩා ඉතාම විශාලය. ඒ අතරම, සහකරුවන් තෝරා ගැනීමේ තරඟයෙන් ජය ගන්නා පිරිමින්ට සිය ජාන ඉදිරියට ගෙන යන්නට විශාල ඉඩකඩක් ඇතත් මේ තරඟයෙන් පැරදෙන බොහෝ පිරිමින්ට සිදු වන්නේ සහකාරියන් නොමැතිව වේලෙන්නටය. මෙවැනි තත්ත්වයක් දෙපාර්ශ්වයකටම වාසි සලසන ගණුදෙනුව
ට ඉඩකඩ සලසයි.

සහකාරියන් සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුමක් නැති නිසා ගැහැණුන්ට මිල ඉහළ දැමීමේ හෙවත් ගණන් ඉස්සීමේ හැකියාවක් තිබේ. මේ අනුව, ගැහැණිය පිරිමියාට මිලක් නියම කරයි. ඒ සිය දරුවා ලොකු මහත් කර ගැනීමට උදවුවකි. එසේ වැඩිපුර උදවු කරන, ගැහැණියට වැඩි සම්පත් සැපයීමේ හැකියාවක් ඇති පිරිමින්ට දැන් සහකාරියන් සොයා ගැනීමේ වැඩි අවස්ථා හිමි වේ.

කෙසේ වුවද, මෙතැනදීත් වැඩි අවස්ථා ඇත්තේ වඩා ශක්තිමත් පිරිමින්ටය. ඔවුන්ට දඩයම් කිරීමේ හෝ වෙනත් අයුරකින් සම්පත් ජනනය කිරීමේ හැකියාව වැඩිය. ඒ නිසා, ඔවුන්ට සහකාරියන් වැඩි ගණනක් හිමි වේ. නමුත්, සහකාරියන් ගණන වැඩි වෙද්දී සීමිත සම්පත් ප්‍රමාණය වැඩි දෙනෙකු අතර බෙදන්නට සිදුවන නිසා සහකාරියන් අසීමිත ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. මේ හේතුවෙන්, වැඩි උසමහත නැති පිරිමින්ටත් සහකාරියක් සොයා ගැනීමට යම් ඉඩකඩක් සැලසේ.

කෙසේ වුවද, අවසාන වශයෙන්ද තමන් සතු සහකාරියන් ගණනින් පිරිමියා තෘප්තිමත් වීමක් සිදු නොවේ. සම්පත් හිඟය ඔහුව එතැනට තල්ලු කරයි. බොහෝ පිරිමින්ට වෙන්නේ තමන්ගේ සහකාරිය රැක ගැනීම සඳහා ඇයට විශ්වාසවන්තව සිටීමටය. වැඩිපුර හොයන්නට ගියොත් තියෙන එකත් නැති කර ගන්නට සිදු වේ.

ක්‍රීඩා, කලා, ව්‍යාපාරික හෝ දේශපාලන ක්ෂේත්‍රයකින් ඉදිරියට ගොස්  'පොරක්' වූ විට මේ අවදානම අඩුය. සම්පත් හිඟයක් නැති නිසා සහකාරියන් සොයා ගැනීම අපහසු නැත. ඒ නිසා තියෙන එක නැති වීමේ අවදානමක්ද නැත. ජෝහිස් ලැමර්ස් ඇතුළු පිරිස පෙන්වා දෙන පරිදි, සිවිල් බලවතුන් අනියම් සබඳතා වලට පෙළඹෙන්නේ මේ අවදානම ඉතා අඩු බවට ඔවුන් තුළ ආත්ම විශ්වාසය තහවුරු වී ඇති බැවිනි.

එසේනම්, ඉහත ආත්ම විශ්වාසයේ හා එයට පාදක වන සිය සිවිල් බලයේත් පදනම වන සිය වෘත්තීය ජීවිතයේ අනාගතය පවා කැප කර මෙවැනි සබඳතා සඳහා යොමු වන්නේ ඇයි?

මේ සඳහාද සරල පිළිතුරක් තිබේ. මිනිස්සු සිවිල් බලය ගොනු කර ගැනීමට උත්සාහ කරන්නේම සම්පත් සීමාවන් ඉක්මවා වැඩි සහකාරියන් පිරිසක් ඇසුරු කිරීමට ඇති ජීව විද්‍යාත්මක පෙළඹුම නිසාය. එසේනම්, ඉතා මහන්සියෙන් ගොඩ නඟා ගත් මේ  සිවිල් බලය යොදා ගත යුත්තේ වෙන මොන කෙහෙම්මලකටද?


(Image: www.youtube.com)

Thursday, September 22, 2016

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

"මගේ හුදෙකලා වාසස්ථානය පිහිටියේ නගරයෙන් බැහැරවය. මෙය කුලියට ගෙන වාසයට පැමිණීමෙන් පසුව මම වැසිකිළිය පිහිටි තැන සොයා බැළුවෙමි. එය පෙනෙන තැනක නැත. ඇත්තටම එය තිබුණේ නාන කාමරය තිබෙන අහලකවත් නොවේ. නිවස පිටුපසය. මම විමතියෙන් එය පිරික්සා බැළුවෙමි. එය මැද විවරයක් සහිත ලී පෙට්ටියකි. මා කුඩා කාලයේදී, චිලියේ ගම්බද පෙදෙසකදී මෙයට තරමක් සමාන දෙයක් භාවිතා කෙරුණු බව මට සිහි විය. එහෙත්, අපේ වැසිකිළි මෙසේ හදා තිබුණේ ගැඹුරු ලිඳකට හෝ ගලා යන ජලය ඇති තැනකට ඉහළිනි. මෙහි ඒ වෙනුවට තිබුණේ ලී පෙට්ටියේ සිදුර යටින් තබා තිබුණු සරල, ලෝහ බාල්දියකි.

සෑම උදෑසනකම මේ බාල්දිය පිරිසිදුව තිබුණේය. එහෙත්, එහි අඩංගු වූ දේ අතුරුදහන් වූ ආකාරය මට තේරුම් ගත නොහැකි විය. එක් උදෑසනක මම වෙනදාට වඩා කලින් අවදි වුනෙමි. මෙතෙක් කල් සිදුව ඇති පුදුම සහගත දෙය එදින මට දැකගත හැකි විය.

අඳුරු පිළිමයක් මෙන් නිවස පිටුපසට පිය නඟමින් සිටියේ මෙතෙක් මා ලංකාවේදී දැක සිටි රූමත්ම ලඳයි. ඇය පරයා කුලයේ දෙමළ කතකි. ඈ ඉතා බාල වර්ගයේ රත් හා රන් පැහැ සාරියකින් සැරසී සිටියාය. නිරාවරණය වූ දෙවළලුකර බර ලෝහයකින් තැනූ වළලු පැළඳ සිටියාය. ඇගේ නාසය දෙපස කුඩා රත් පැහැ යමක් දිස්නය දෙමින් තිබුණේය. මේවා නොවටිනා සාමාන්‍ය වීදුරු කැබලි වන්නට ඇති වුවත්, ඇගේ රුවින් ඔප වැටුණු මේ වීදුරු කැබලි මට පෙනුණේ අගනා රතු කැට ලෙසිනි.

ඈ ගරු ගාම්භීර ලෙස වැසිකිළිය වෙත පිය මැන්නේ මා දෙස හොරැහින් හෝ නොබලමිනි. මා පසෙක සිටින බැව් තඹයකට මායිම් නොකරමිනි. අප්‍රසන්න මළ බාල්දිය හිස මත තබා ගත් ඈ දෙවඟනක ලෙස සෙමින් පා සොලවමින් අතුරුදහන් වූවාය.

ඇගේ දසුනින් මා කෙතරම් වශී වූවාද යත්, ඇගේ රැකියාව කෙතරම් පහත් එකක් වුවත්, මට ඈ මගේ සිතින් බැහැර කිරීම අපහසු විය. ලජ්ජාශීලී කැලෑ සතෙකු බඳු වූ ඈ අයිති වූයේ වෙනත් පැවැත්මකටය. වෙනත් ලොවකටය. මා ඇයට කතා කරන්නට උත්සාහ කළෙමි. එය නිෂ්ඵල කටයුත්තක් විය. ඇතැම් විට මා ඈ එන මඟ කිසියම් පළතුරක් හෝ සේද රෙද්දක් වැනි තිළිණයක් තබා බලා සිටියෙමි. ඈ නොදුටු සේ ඒවා පසු කර ගියාය. ඇගේ අඳුරු පැහැ පියකරු රුව විසින් ඈ නිරතව සිටි අගෞරවනීය කාර්යය කිසිවකු නොතකන රැජිනියක විසින් අභිමානයෙන් සිදුකරන වතාවතක් බවට පෙරළා තිබුණේය.

එක් උදෑසනක, මෙහි කෙළවරක් දකින්නට මම තීරණය කළෙමි. මම එක්වනම ඇගේ මැණික්කටුව දැඩිව අල්ලාගෙන ඇගේ දෑස් වෙත සෘජු බැල්මක් හෙළුවෙමි. මගේ මුව ගොළුව තිබුණේය. මුවෙහි මන්දහාසයකුදු නොමැතිව, මට ඇවැසි පරිදි ඇවැසි තැනකට ඇදගෙන යන්නට ඉඩ හැර නිසොල්මන්ව සිටි ඈ තවත් මොහොතකින් මගේ සයනය මත නිරුවත්ව සිටියාය. ඇගේ සිහින් ඉණ, පිරුණු නිතඹ හා සිනාසෙන තිසර තුඩු විසින් සිහි ගැන්වූයේ වසර දහස් ගණනක් පැරැණි දකුණු ඉන්දියානු පිළිමයෙකි. එය මිනිසකු පිළිමයක් සමඟ එක් වීමක් විය. මුළු කාලය තුළම ඈ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් දෑස් පුළුල්ව විවර කරගෙන සිටියාය. ඈ මට කළ අවමන වැරදි නැත. මම මේ කටයුත්ත නැවත නොකළෙමි."

උඩින් ඇත්තේ නොබෙල් ත්‍යාගලාභියෙකුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ කොටසක පරිවර්තනයකි. මේ කොටස කියවීමෙන් පසු මෙහි සිදුවී ඇත්තේ ඉතා පහත් මට්ටමේ ස්ත්‍රී දූෂණයක් බව මටනම් පැහැදිලිව පෙනේ. මෙහිදී අදාළ ස්ත්‍රිය හා මේ පුද්ගලයා අතර ඇති දැවැන්ත සමාජ පරතරය ස්ත්‍රී දූෂකයා විසින් නිර්දය ලෙස සිය වාසිය පිණිස යොදා ගනී. ඒ සඳහා ඔහු පෙළඹවෙන හේතු මෙහි පැහැදිලිව ලියැවී තිබේ. මෙහිදී අදාළ කාන්තාව විසින් වචනයකින් තබා බැල්මකින් හෝ අනුබල දීමක් නොකරයි. ස්ත්‍රී දූෂකයා සිය කාර්යය කලක් තිස්සේ සැලසුම් කරන්නේ සතෙකුව උගුලකට හසු කර ගැනීමට තතනන දඩයක්කරුවෙකු ලෙසිනි. එහෙත්, ඈ උගුල වෙත පියමං නොකරයි. අන්තිමේදී ස්ත්‍රී දූෂකයා ව්‍යාඝ්‍රයෙකු සේ සිය ගොදුර වෙත කඩා පනී. ඔහුගේ සයනයේදීද ඈ පිළිමයක් සේ දෑස් අයාගෙන නිසොල්මනේ සිටිනු මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි.

මේ ස්ත්‍රී දූෂකයා වනාහී 1971 වසරේදී සාහිත්‍ය
සඳහා නොබෙල් ත්‍යාගය දිනූ, පැබ්ලෝ නෙරුඩා යන ආරුඪ නමින් කාව්‍යකරණයේ යෙදුනු, රිකාඩෝ එලීසර් නෙෆ්ටලී රීස් බැසෝල්ටෝ (Ricardo Eliécer Neftalí Reyes Basoalto) නම් වූ චිලියානුවාය. පැබ්ලෝ නෙරුඩා ලෙස බොහෝ දෙනෙකු හඳුනන මේ පුද්ගලයා චිලී රාජ්‍යයේ සෙනෙට් සභිකයෙකු ලෙසද කටයුතු කර ඇති ප්‍රසිද්ධ කොමියුනිස්ට්වාදියෙකි. 1970දී චිලියේ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා ලැබූවෙකි. චිලී රාජ්‍යය නියෝජනය කරමින් රටවල් ගණනාවකම කටයුතු කර ඇති රාජ්‍යතාන්ත්‍රිකයෙකි. ඔහු ඉහත ඔහු විසින්ම වාර්තා කර ඇති ස්ත්‍රී දූෂණය සිදු කරන්නේ එසේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.

මේ සිදුවීම ගැන මා මුලින්ම දැනගත්තේ අනූව දශකයේ මුල හෝ අසූව දශකයේ අග රාවය හෝ යුක්තිය කලාපයක පළවූ ලිපියක් මඟිනි. මගේ මතකය පරිදි එහි මේ සිදුවීමට ලබා දී තිබුණේ වෙනස් අර්ථකථනයකි. එම ලිපියට අනුව, මානව දයාවෙන් පිරිපුන් මහා කවියෙකු හා කොමියුනිස්ට්වාදියෙකු වූ නෙරුඩාගේ සන්තානයේ සිය මළ බාල්දිය දිනපතා ඉවත් කිරීමෙහි යෙදුණු මේ අඩු කුල කාන්තාව කෙරෙහි ඇතිවන මානුෂික හැඟීම කෙළවර වන්නේ දෙදෙනා අතර ඇතිවන ලිංගික සම්බන්ධතා
කිනි. ඉන්පසුව ගතවුණු වසර විසිපහක පමණ කාලය තුළ මගේ මතකයේ කොනක රැඳී තිබුණු මේ සිදුවීම ගැන වැඩි යමක් හිතන්නට ඉඩකඩක් විවර වුනේ නැත. සතියකට පමණ පෙර නැවතත් මේ ගැන හිතන්නට මා යොමු වුණේ ඇනෝ කෙනෙකු විසින් කළ මතක් කර දීමක් හේතුවෙනි. (එම ඇනෝට ඉකොනොමැට්ටාගේ ස්තුතිය හිමි වේ.)

නෙරුඩාගේ චරිතාපදානය කියවන විට ඔහුගේ ජීවිතයේ මෙවැනි අඳුරු පැති තවත් ඕනෑ තරම් හමුවේ. කාන්තාවන් ඇසුරු කිරීම ඔහුගේ ජීවිතයේ සාමාන්‍ය අංගයක්ව පැවතී ඇති බව පෙනේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ සෙල්ලම් බඩු වී සිටින කාන්තාවන් ගැන අනුකම්පාවෙන් කතා කරන නෙරුඩාගේ ඒ අනුකම්පාව අවසන් වන්නේ එවැනි කාන්තාවන් සමඟ යහන්ගත වීමෙනි. ඔහු හමුවීමට දුරු රට සිට පැමිණෙන පැරණි පෙම්වතියක් බලාපොරොත්තු කඩ කරගෙන ආපසු නැව්  නඟින්නට පෙර නෙරුඩාගේ පාවහන් යුවලෙහි මුහුණ පිසිමින් හඬා වැටෙද්දීත් ඔහුගේ මානුෂික හදවත මෙලෙක් නොවේ. ඈ මුහුණෙහි තැවරුණු සපත්තු පොලිෂ් සමඟම රටින් පිටවේ.

නෙරුඩාගේ චරිතයේ මේ කිසිදු දුර්ගුණයක් හේතුවෙන් ඔහුගේ කවීත්වය බාල වෙන්නේ නැත. එමෙන්ම, ඔහුගේ පෞද්ගලික දේශපාලන අදහස් හා ඔහුගේ චරිත ලක්ෂණ අතර සෘජු සම්බන්ධයක්ද නැත. වැරැද්ද ඇත්තේ නෙරුඩා වැනි කිසියම් අංශයකින් හෝ අංශ කිහිපයකින් සුවිශේෂතා දක්වන පුද්ගලයින් පරමාදර්ශී චරිත ලෙස සැලකීමෙහිය. වීරයින් නඩත්තු කිරීම එතරම් හොඳ දෙයක් නොවේ.

නෙරුඩා මියගොස් හෙටට (සැප්තැම්බර් 23) වසර 43කි.


(Image: www.theodysseyonline.com)

Tuesday, September 20, 2016

දොස්තරලා වෙන්නේ සල්ලිකාරයෝද?



උසස් පෙළ විභාගයෙන් වැඩිම ලකුණු ලබා, ලංකාවේ වෛද්‍ය පීඨ වලට ඇතුළත්ව වෛද්‍ය වෘත්තිකයින් බවට පත්වන්නේ කවර සමාජ ආර්ථික පසුබිමකින් එන්නන්ද?

සරසවි සිසුන් ගැන සමීප අත්දැකීම් ඇති බොහෝ දෙනෙකු දන්නා කරුණක් වන්නේ ගුරුවරුන් වැනි පහළ මධ්‍යම පාන්තික රැකියා කරන්නන්ගේ දරුවන් වැඩි වශයෙන් සරසවි වලට පැමිණෙන බවයි. වෛද්‍ය හා ඉංජිනේරු වැනි පීඨ ඉහළ මධ්‍යම පාන්තික පවුල් වල දරුවන්ටද ආකර්ෂණීය විකල්පයකි. කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසු නියැදියක් විසින් 2013 සැප්තැම්බර්හිදී වාර්තා කළ ඔවුන්ගේ පවුල්වල ආදායම් ව්‍යාප්තිය මඟින් පෙන්වන්නේ බැලූ බැල්මටම පෙනෙන ඉහත නිරීක්ෂණය වැරදි නොවන බවයි.


මේ 374ක නියැදියෙන් 42%කගේ පවුලේ ආදායම රුපියල් 40,001-100,000 අතර වේ. මේ අයගෙන් වැඩි දෙනෙකු මවුපිය දෙපළම ගුරු, ලිපිකරු වැනි රජයේ රැකියා කරන පහළ මධ්‍යම පාන්තිකයින් ලෙස සැලකිය හැකිය. එසේ නැත්නම් පෞද්ගලික අංශයේ එවැනි රැකියා කරන්නන් විය හැකිය. තවත් 24%කගේ පවුලේ ආදායම රුපියල් 20,001-40,000 අතර වේ. බොහෝ දුරට මේ කාණ්ඩයට අයත් වන්නේ පවුලේ එක් වැඩිහිටියෙකු පමණක් රැකියාව කරන අය විය හැකිය. දෙදෙනාම රැකියා කරන අයද මේ ආදායම් සීමාවේ සිටින්නට පුළුවන. මේ අයද පහළ මධ්‍යම පාන්තිකයෝය. මේ අනුව, ර‍ජයේ වෛද්‍ය පීඨ වල රුපියල් 20,001-100,000 අතර ආදායම් ලබන පවුල් වල නියෝජනය 66%ක් පමණ වේ.

වෛද්‍ය පීඨවල රුපියල් 100,000 ඉක්මවූ ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන්ගේ නියෝජනය 15%කි. මේ අය බොහෝ විට දොස්තරලා, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, කළමනාකරුවන් වැනි වෘත්තිකයන්ගේ දරුවන් විය හැකිය. ඔවුන් සැලකිය හැක්කේ ඉහළ මධ්‍යම පාන්තිකයින් ලෙසය. ඉතා පහළ මට්ටමේ රුපියල් 20,000ට නොවැඩි ආදායම් ලබන පවුල් වල දරුවෝද කොළඹ වෛද්‍ය පීඨයේ උගනිති. ඔවුන්ගේ නියෝජනය 13%කි. 


මේ කාලයේම වාගේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ සාමාන්‍ය අගය රුපියල් 77,723ක් වන අතර බස්නාහිර පළාතේ සාමාන්‍ය අගය රුපියල් 64,152කි. (බස්නාහිර පළාත හැරුණු විට ලංකාවේ පෝසත්ම දිස්ත්‍රික්කය සිතාගත හැකිද?)

කොළඹ වෛද්‍ය පීඨයට පැමිණෙන සිසුන් අතර බස්නාහිර පළාතේ නියෝජනය වැඩි බව උපකල්පනය කළ හැකිය. වෛද්‍යපීඨ සිසුන්ගේ පවුල් වල ආදායම් ව්‍යාප්තිය දෙස බැලූ විට පෙනෙන්නේ එය රටේ සාමාන්‍ය ආදායම් ව්‍යාප්තියට වඩා තරමක් වැඩි වුවත් එම තත්ත්වයෙන් සංඛ්‍යානමය ලෙස වෙනස් නැති බවයි. රටේ වෙනත් වෛද්‍ය පීඨ වල ආදායම් ව්‍යාප්තිය මීට වඩා තරමක් හෝ අඩු මට්ටමක පැතිරී තිබෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

ඉහත දත්ත අනුව, වෛද්‍යවරුන් ලෙස සේවය අරඹන බහුතරයකට මෝටර් රථයක් මිලදී ගැනීම වැනි සිය වෘත්තිය සඳහා 'නැතුවම බැරි අවශ්‍යතා' වෙනුවෙන් වන මූලික පිරිවැය පියවා ගැනීම මෙන්ම රටින් පිටතට සංක්‍රමණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමද විශාල අභියෝගයකි. එහෙත්, දිගුකාලීනව ඔවුහු සිය ඉලක්ක සපුරා ගනිති.

රජයේ වෛද්‍ය පීඨයකින් ඉගෙනුම ලබන සිසුවෙකුට වඩා අවාසිදායක තත්ත්වයකට මුහුණ දෙමින්, සැලකිය යුතු මුදලක් වැය කර පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ගැනීමට පෝලිමක් ඇති වී තිබෙන්නේ එවැනි වියදමක් දැරීමෙන් පසුවද
දිගුකාලීනව මේ වෘත්තියෙහි ලාභ ඇති බැවිනි.

(Image: www.mommd.com)

Monday, September 19, 2016

දොස්තරලා සනීපෙන්ද?


මානව ඉතිහාසය සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයකි. වෙනත් ප්‍රවාද ඇතත්, නැගෙනහිර අප්‍රිකාවේ බිහිවුණු හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලා අතරින් පාරුවකින් රතු මුහුද තරණය කර මැද පෙරදිගට සංක්‍රමණය වූ කුඩා කණ්ඩායමක් හේතුවෙන් ලෝකයේ ඉතිරි පෙදෙස් වල මිනිස් ආධිපත්‍යය පැතුරුණු බව බොහෝ ප්‍රචලිත මතයකි.

මිනිස්සු මෙන්ම අනෙක් සත්තුද සංක්‍රමණය වෙති. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් වෙනත් පෙදෙසකට සංක්‍රමණය වීම අවදානමක් දැරිය යුතු කටයුත්තකි. මිනිසුන් මෙන්ම වෙනත් සතුන්ද මේ අවදානම ගන්නේ එහි ඇති වාසි ගන්නා අවදානමට තරම් වේනම් පමණි. මේ අවදානම හා වාසි ගණනය කරන්නේ තමන්ගේ පවතින දැනුමට සාපේක්ෂව වීම වෙනම කරුණකි.

සංක්‍රමණයෙන් බලාපොරොත්තු වන වාසිය 'සනීපෙට' ජීවත් වීමයි. මේ වචනයෙන් අප බොහෝ විට අදහස් කළේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම පමණක් නොවේ. හොඳ කෑම බීම කමින් හෝ වඩා ප්‍රශස්ත දේශගුණයක් ඇති පෙදෙසක ජීවත් වීමද සනීපෙට ජීවත්වීමකි. ළමා රක්ෂණ නීති හඳුන්වාදීමට පෙර යුගයේ දරිද්‍රතාවයෙන් පෙළුණු ගම්බද පවුලක දරුවෙකු හෝ දැරියක කොළඹ බංගලාවක මෙහෙකාරකමට එවීමට දෙමවුපියන් කැමති වුනේ ළමයා බඩ කට පිරෙන්නට කෑම කා සනීපෙන් සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙනි. මුහුදුබඩ පළාතක කෙනෙක් නිවාඩුවකට නුවරඑළි හෝ වෙනත් සීතල පැත්තක සංචාරය කළේ සනීප ගන්නටය.

අදටත් ලංකාවේ බොහෝ දෙනෙකුට වෙනත් රටකට සංක්‍රමණය වීමේ සිහිනයක් තියෙන්නේ එසේ කිරීමෙන් ලංකාවේදී කළ නොහැකි 'සනීපෙට ජීවත් වීමක්' කළ හැකියැයි ඔවුන් සිතන නිසාය. පවතින සීමිත සම්පත් සඳහා පුද්ගලයින් අතර තරඟය අඩු තැන්වල සනීපෙට ජීවත් වීම සඳහා වැඩි ඉඩකඩක් තිබේ. මේ තරඟය අඩු වීමට සම්පත් වඩා සුලභ වීම, තරඟකරුවන් අඩුවීම හෝ මේ දෙකරුණම හේතු විය හැකිය.

ලංකාවේ 'සනීපෙට ජීවත් වීමට' ඇති ඉඩකඩ ඉතා වැඩිනම් සංක්‍රමණය පුද්ගලයෙකුගේ තෝරාගැනීමක් වීමට ඇත්තේ අඩු ඉඩකි. එසේනම්, උසස්පෙළ තරඟය ජයගෙන, වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී, අවසානයේ දොස්තරලා වී, සමාජයේ වෙනත් බොහෝ කණ්ඩායම් වලට නැති වරප්‍රසාද 'කෙක්කෙන් හෝ කොක්කෙන්' ලබා ගනිමින්, සනීපෙට ජීවත් වනවාක් මෙන් පෙනෙන ලංකාවේ දොස්තරලාට සංක්‍රමණික අභිප්‍රායයන් නැද්ද?

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය (Post Graduate Institute of Medicine) හරහා 1980 අප්‍රේල් මස සිට 2009 ජූනි මාසය දක්වා වැඩිදුර ඉගෙනීම සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් 1,915ක් අතරින් 215 දෙනෙකු (11%ක්) නැවත ආපසු පැමිණ නැත. මොවුන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ ගමනාන්තය වී ඇත්තේ ඕස්ට්‍රේලියාවයි. කෙසේ වුවද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු රජය සමඟ අත්සන් කළ බැඳුම්කර පියවා හෝ පියවීම අරඹා තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර, සිවුවන වසර හා පූර්ව-සීමාවාසික පුහුණුව ලබන 'වෙන්ඩ දොස්තරලා' 374 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයකට අනුව මේ නියැදියෙන් 89 දෙනෙකු (23.8%) විදෙස් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටිති. මොවුන්ගෙන් තුනෙන් එකක් පමණ (34.8%) ලංකාවේදී පශ්චාත් උපාධියක් ලබාගැනීමෙන් පසුවත්, තවත් 46%ක් සීමාවාසික පුහුණුව අවසන් කළ වහාම හෝ තවත් අවුරුද්දක් දෙකක් ලංකාවේ සේවය කර ආරම්භක ප්‍රාග්ධනයක් සොයා ගැනීමෙන් පසු පශ්චාත් උපාධි සඳහා නොරැඳී විදේශගත වීමට සූදානමෙන් සිටිති. කිසියම් දිනක ලංකාවේ සේවය කිරීමේ අවස්ථාවද නැති කරගනිමින් සීමාවාසික පුහුණුව නොලබාම රටින් පිටවීමට බලා සිටින කිහිපදෙනෙක්ද (6.7%) මේ අතර සිටිති. මේ වෙන්ඩ දොස්තරලාගේ ජනප්‍රියම ගමනාන්ත වන්නේ ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය හා එංගලන්තයයි.

ඉහත කී ලෙස රටින් පිට වීමට තීරණය කර සිටින කණ්ඩායමට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් (32.4%) දෙපැත්තට වැනි වැනී සිටින අයයි. ලංකාවේ සිටීමට තීරණය කර ඇති අයගෙන්ද 17.3%ක් මුලින් සංක්‍රමණය වීමේ අදහසින් සිට පවුලේ ඥාතීන් හා සමීපව සිටීමේ උවමනාව ප්‍රධාන වෙනත් හේතු මත මුල් අදහස වෙනස් කරගත් අයයි.

මේ තොරතුරු අනුව පෙනෙන්නේ ලංකාවේ දොස්තරලා ඉන්නේත් ඒ තරම්ම සනීපෙන් නොවන බවයි.

(Image: http://articles.economictimes.indiatimes.com/2011-08-20/news/29909305_1_indian-doctors-physicians-of-indian-origin-british-association)

Sunday, September 18, 2016

අක්ෂි වෛද්‍ය විශේෂඥ ගල්පියද්දේ මද්දුං අප්පෝ


ජෝන් විට්චර්ච් බෙනට් සිය බිරිඳත් සමඟ ත්‍රිකුණාමලය වරායෙන් මුලින්ම ලංකාවට ගොඩ බසින්නේ 1816 ජූලි 25 වනදාය. ඒ වන විට උඩරට ගිවිසුම අත්සන් කර වසරක් ගත වුනා පමණි. ලන්දේසීන්ගේ සංස්කෘතික ආධිපත්‍යය පැතිරවීමේ වුවමනාව පෘතුගීසීන්ගේ හෝ ඉංග්‍රීසින්ගේ තරමටම ප්‍රබල නොවූ නිසා මේ කාලය වන විටද ලංකාවේ සැලකිය යුතු පෘතුගීසි ජනගහණයක් රැඳී සිට ඇති බව පමණක් නොව ඉහළ කුල වල සිංහලයින්ට පෘතුගීසි භාෂා දැනුමක්ද තිබී ඇති බව පෙනේ.

දශකයක පමණ කාලයක් ලංකාවේ සිවිල් නිලධාරියෙකු, හමුදා නිලධාරියෙකු හා විනිසුරු වරයකු ලෙස කටයුතු කරමින් රැඳී සිටි බෙනට් මේ කාලය තුළ ලංකාවේ වෘක්ෂලතා, සතුන් හා මත්ස්‍යයන් පිළිබඳවත්, ජන ජීවිතය පිළිබඳවත් අධ්‍යයනය කරමින් ඒ යුගය ගැන වැදගත් තොරතුරු රැසක් අනාගතයට ඉතිරි කර තිබේ. ලංකාවේ වෘක්ෂලතා ගැන හැදෑරීමේදී බෙනට්ට විශාල පිටිවහලක් වී ඇත්තේ එවකට ගාල්ල ආසන්නයේ ගල්පියද්ද ගමේ ජීවත් වූ මද්දුං අප්පෝ (Madung Appo) නම් වූ දේශීය වෛද්‍යවරයාය.

ලංකාවේ වෘක්ෂලතා වල ඇති විවිධත්වයත්, ඒවායේ ඖෂධීය ගුණ ගැන රටවැසියන් සතු වූ දැනුමත් බෙනට් වැනි යුරෝපීයයන්ගේ විස්මයට හේතු වී තිබේ. එමෙන්ම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර වල සාර්ථකත්වය ගැන විශ්වාසය තැබූ ඉංග්‍රීසීන් ඇතුළු යුරෝපීය ජාතිකයින්ද එකල අඩු නැතුව සිට ඇති බව පෙනේ.

ඇස් පෙනීම නැතිව ගිය, යුරෝපීය වෛද්‍යවරුන් සිවු දෙනෙකු විසින් 'සුව කළ නොහැකි බව' තහවුරු කර පැත්තකට කර තිබුණු සත් වසක පෘතුගීසි දැරියකට මද්දුං අප්පෝ විසින් සති හයක කාලයක් තුළ පෙනීම ලබාදුන් ආකාරය බෙනට් විසින් වාර්තා කර ඇත.

එවකට රටේ ප්‍රසිද්ධියට පත්ව සිටි, යුරෝපීයයන් ලඟින් ඇසුරු කිරීමට තරම් සමාජ තත්ත්වයක්ද තිබුණු බව පෙනෙන මද්දුං අප්පෝ විසින් මුලින්ම මේ දැරිය සුව කිරීම ගැන යෝජනා කරන විට ඔහුව සමච්චලයට ලක් වී තිබේ.

"ඉංග්‍රීසි දොස්තර මහත්තුරු හතර දෙනෙක්ම බෑ කියන ලෙඩාව උඹ කොහොමද සනීප කරන්නේ?" බොහෝ දෙනෙකු අසා ඇත.

"හතර දෙනෙක් නෙමෙයි සිය දෙනෙක් බෑ කිවුවත් ඒකෙන් මට ඇති කාරියක් නෑ. මට ඕනෑ විදිහට ප්‍රතිකාර කරන්න බාර දුන්නොත් මං ලෙඩාව සති හයෙන් සනීප කරනවා!" මද්දුං අප්පෝ නොපසුබටව වැඩේට ඉදිරිපත් වී ඇත.

මේ වන විට, මේ දැරිය තවත් ඉංග්‍රීසි වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබමින් සිටියත් ඒ ප්‍රතිකාර නවත්වා ලෙඩාව මද්දුං අප්පෝට භාර කිරීමට දැරියගේ මව තීරණය කර තිබේ.

"හොඳයි ලෙඩාව සනීප කරන්න උඹට කීයක් ඕනෑද?"

මද්දුං අප්පෝ සිය ගාස්තුව ඉදිරිපත් කරයි. එය රික්ස් ඩොලර් තිහක මුදලකි.

"හැබැයි, මම ගාස්තුව ගන්නේ ලෙඩාව සනීප වුණොත් විතරයි. සති හයෙන් දරුවට ඇස් නොපෙනුනොත් මම මගේ මහන්සියටවත්, බෙහෙත් වලටවත් එක පැන්සයක්වත් ගන්නේ නෑ."

මද්දුං අප්පෝ ලෙඩාට කිරි ආහාරයක් නියම කරයි. සති හයක්ම ඇයට වෙනත් ආහාරයක් නොලැබේ. ඒ අතර ඒ කාලයේ මැලේරියා ප්‍රතිකාරයක් ලෙස යොදාගත්, සින්කෝනා ගසේ පොත්තෙන් නිස්සාරණය කරගෙන නිපදවූ, කුයිනීන් (Quinine) වල පෙනුම ඇති සුදු කුඩක් ඇයට නිශ්චිත කාලාන්තර තුළ ලබා දේ. මෙවැනිම පෙනුම ඇති සුදු කුඩක් මද්දුං අප්පෝ විසින් වරින් වර දැරියගේ ඇස් වලටද කුරුළු පිහාටුවක උදවුවෙන් පිඹී.

සියල්ලන්ම පුදුමයට පත් කරමිනි සති හයකට පසුව දැරියට පෙනීම ලැබේ. මෙතෙක් ලබා දුන් කිරි ආහාරය දිගටම ලබා දෙන ලෙස නියම කරන මේ අක්ෂි වෛද්‍යවරයා ආහාරය ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ආහාරයක් දක්වා වෙනස් කරයි. එමෙන්ම, තවත් ටික කලක් යන තුරු සැර ආලෝකය දෙස කෙලින්ම නොබලන ලෙසද අවවාද කරයි. ඒ හැරුණු විට සති හයෙන් දැරිය සුවපත්ය.

"උඹ මොනවාද ලෙඩාගේ ඇස් වලට දාපු බෙහෙත?" බෙනට් මද්දුං අප්පෝගෙන් අසයි.

"ඒක මට හරියටම කියන්න විදිහක් නැහැ." මද්දුං අප්පෝ පිළිතුරු දෙන්නේ එසේ කළහොත් කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් තමන්ට විපතක් වීමට ඉඩ ඇති බව හඟවමිනි. "හැබැයි මේවා ගස් වල පොතු වලින් හදපුවා කියල විතරක් කියන්න පුළුවන්!"

බටහිර වෛද්‍ය විද්‍යාව වර්ධනය වුනේද, අනෙක් විකල්ප ප්‍රතිකාර ක්‍රම වර්ධනය වූ ආකාරයටම අත්දැකීම් හරහා ලබාගත් දැනුම ආශ්‍රිතවය. මුල් කාලයේදී එය සිදුවුණේ අනෙකුත් බටහිර විද්‍යාවන් මෙන් පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරින් නොවේ. මද්දුං අප්පෝලා ජීවත් වූ කාලයේ ඇතැම් අංශ වලින් බටහිර වෙදකමට වඩා දේශීය වෙදකම ඉදිරියෙන් සිටින්නට ඇත.

මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාව සාක්ෂි මත පදනම් වූ ව්‍යවහාරික විද්‍යාවක් ලෙස (evidence based practice) සම්පූර්ණයෙන්ම පාහේ රූපාන්තරණය වී තිබේ. එහෙත්, බටහිර වෛද්‍ය විද්‍යාව සමඟ තරඟ කරන විකල්ප ප්‍රතිකාර ක්‍රමවේදයන් මේ වැදගත් ඉදිරි පියවර කරා යොමු වී නැත.

මද්දුං අප්පෝලාගේ පරම්පරාවේ අය අදත් ජීවත් වනවා විය හැකිය. ඒ ඇතැම් අය සතුව මද්දුං අප්පෝ සතුව පැවති පාරම්පරික දැනුම තිබෙනවාද විය හැකිය. එවැනි දැනුමක් ඇත්නම් එය අද ඇති බටහිර වෛද්‍ය විද්‍යා දැනුමට සාපේක්ෂව වටිනා දැනුමක්ද යන්න තීරණය කළ හැක්කේ  ඒවා රහසිගතව තබා ගැනීමෙන් නොව නිසි පර්යේෂණය
න් කෙරෙහි යොමු කිරීම මඟිනි. 

මීළඟ ලිපිය: දොස්තරලා සනීපෙන්ද?
 (Image: www.srisalike.com)

Saturday, September 17, 2016

ඉංග්‍රීසි බෙහෙත් හා සිංහල බෙහෙත්

මා මගේ ජීවිතයේ මුල් මාස දෙක තුන ගත කර ඇත්තේ මගේ මවගේ මහ ගෙදරයි. මේ නිවස පිහිටියේ ග්‍රාමීය ප්‍රදේශයක වුවත් ඒ හේතුවෙන් මේ නිවස 'ග්‍රාමීය පසුගාමිත්වයේ ගිලී තිබුණු' නිවසක් ලෙස හැඳින්විය නොහැක්කකි. පසුගිය අඩ සියවස තුල ලෝකය හා සමාජය කිසියම් දියුණුවක් ලබා ඇතැයි සලකනවානම් එසේ සැලකීමට යොදාගන්නා බොහෝ නිර්ණායක අනුව, මගේ මවගේ මහගෙදර විසූවෝ ඉදිරිගාමීහුය. හැටේ දශකයේදී සිසේරියන් සැත්කමක් මඟින් මා මෙලොව එළිය දැකීම මෙන්ම තිහේ දශකය මුල මගේ මව රෝහලක උපත ලැබීමද ඒ කාල වකවානුවලදී ගැනුණු ඉදිරිගාමී පියවර ලෙස සැලකිය හැකිය.

මා කුඩා කළ මගේ මවගේ මහගෙදර මෙන්ම අපේ ගෙදරත් බිත්ති වල ප්‍රථමාධාර පෙට්ටි සවි කර තිබුණේය. මේවා ඇතුළේ  ජෙන්සන් වයලට්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ගෝස් රෝල් හා ප්ලාස්ටර් වැනි බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලදී යොදාගන්නා දේවල් රැසක් තැන්පත් කර තිබුණේය. අප කුඩා කාලයේ තුවාලයක් කර ගත් විට වහාම එය විෂබීජ නාශකයකින් පිරිසිදු කර බෙහෙත් දැමීමේ මූලික දැනුම මගේ මවගේ සොහොයුරු සොහොයුරියන් කාටත් වගේ තිබුණේය. මගේ මවගේ පියා හැමදාම වාගේ හවසට පරීක්ෂණ නලයකට මුත්‍රා සාම්පලයක් දමා එයට තවත් මොනවාදෝ එකතු කර අමුතු ලාම්පුවකට අල්ලා රත් කරමින් පාට වෙනස් වනවාදැයි බැලූ අතර, එසේ කළේ දියවැඩියාවෙන් පෙළුණු ඔහුගේ සීනි පරීක්ෂා කිරීම සඳහා බව අපි දැන සිටියෙමු. මෙවැනි තත්ත්වයක් පැවතියද එවකට අපේ විස්තෘත පවුලේ කිසිදු සාමාජිකයෙකු හෝ සාමාජිකාවක සෞඛ්‍ය සේවයට සම්බන්ධ රැකියාවක නිරතව සිටියේද නැත.

අපේ මවු පාර්ශ්වයේ අය මෙසේ 'ඉදිරිගාමී' වූයේ ඔවුන් ලොකු සල්ලිකාරයන් වූ නිසා නොවේ. ඉඩකඩම් හා දේපල හිමිකාරිත්වය අතින් වඩා ඉදිරියෙන් සිටි මගේ පියාගේ මහගෙදර ඒ කාලයේම පැවතුණේ මෙවැනිම තත්ත්වයක් නොවේ. කෙසේ වුවද, එවැනි 'ඉදිරිගාමී' තැනක සිටි අපේ ගෙදර හෝ මගේ මවගේ මහගෙදර උදවිය වුවද ඒ කාලයේ හැම ලෙඩකටම බටහිර ප්‍රතිකාර ගත්තේ නැත. අර මා කිවූ ප්‍රථමාධාර පෙට්ටි ඇතුළේද පෙර කී 'ඉංග්‍රීසි බෙහෙත් බඩු' වගේම හදිසි අජීර්ණයකට දෙහි ඇඹුලෙන් දිය කර බොන්නට සුදු ගුලි වැනි දේද තිබුණේය.

මේ කාලයේ ඇතැම් අය 'ජීවිතේට ඉස්පිරිතාලෙකට ගිහින් නැති' බව කිවුවේ මහත් ආඩම්බරයෙනි. පොලීසියකට, උසාවියකට යාම වගේම ඉස්පිරිතාලෙකට යාමද ඒ කාලයේ නම්බුකාර දෙයක් ලෙස සැලකුණේ නැත. 'ඉස්පිරිතාලෙකට යන්න තරම් මට ඇති ලෙඩක් නෑ' කියා බොහෝ දෙනෙක් කිවුවේ රෝහල්ගත වීම මාරාන්තික ලෙඩක් ඇති අය විසින් පමණක් කළ යුතු දෙයක් ලෙස සලකමින් මෙනි.

ඒ කාලයේ අපේ ගමේ ඇතැම් ගෙවල් වල අයට මෙන් අපේ ගෙදර අයට බටහිර ප්‍රතිකාර අසාත්මික නොවූවත්, ඔය කාලයේ අපේ ගෙදර අයගේත් අදහස වුණේ ඇතැම් ලෙඩ වලට බටහිර වෙදකම හරියන්නේ නැති බවයි. ඒ නිසා, එවැනි ලෙඩක් හැදුණේනම් ඔවුන් ප්‍රතිකාර ගැනීමට ඉඩ තිබුණේ දේශීය වෛද්‍යවරයෙකුගෙනි. මෙසේ දේශීය ප්‍රතිකාර වඩා සාර්ථක ලෙස සැලකුණු රෝග ලැයිස්තුවේ කැඩුම් බිඳුම්, සර්ප දෂ්ඨ, අංශභාගය, පිස්සු බලු රෝගය ආදිය උඩින්ම තිබුණේය.

ගමේ හෝ ගමෙන් පිට විසූ දන්නා හඳුනන වයස්ගත අයෙකු මැරෙන්නට 'පණ අදින' බවට අවුරුද්දකට කිහිප වරක් අපට ආරංචි ලැබුණේය. මේ 'පණ ඇදිල්ල' දවස් දෙක තුනක සිට සතියක් දෙකක් දක්වා කල් ගත් දෙයකි. ඒ වගේ වෙලාවට ඒ ගෙවල් වල කිසිවකු එවැනි රෝගීන් රෝහල් වෙත රැගෙන ගියේ නැත. ඒ මැරෙන්න යන ලෙඩාට තවත් වද දෙන්නට අවශ්‍ය නැති බව කියමිනි. බොහෝ දෙනෙකුට ඕනෑ වුණේ එවැනි කෙනෙකුට 'මැරෙන්න කලින් බත් කටක් කවන්නට', 'වතුර ඩිංගක් පොවන්නට' හෝ එයත් කළ නොහැකිනම් 'දොඩම් ඉස්ම ඩිංගක්වත් තොලේ ගාන්නට'ය.

කුඩා කාලයේදී අපට පණු අමාරුවට 'ඇන්ටිපා' වැනි බටහිර බෙහෙත් මෙන්ම 'කළුදුරු අටවගේ කසාය' වැනි සිංහල බෙහෙත්ද ලැබුණේය. මේ ගැන 'දන්නා කියන' අයගේ මතය වුණේ ඇන්ටිපා වලට පණුවන් හැලෙන බවත්, සිංහල බෙහෙත් වලින් කරන්නේ පණුවන් 'හීන් කිරීම' පමණක් බවත්ය. හරියට කෑම දිරවන්නටනම් බඩේ පණුවන් යම් ප්‍රමාණයක් සිටීමද අවශ්‍ය කරුණක් නිසා නිතර ඇන්ටිපා බී බඩේ පණුවන් වඳ කර ගැනීම සුදුසු නැත.

කෙසේ වුවද, අපට වරින් වර ඉංග්‍රීසි පණු බේත් ලැබුණේය. වයස අවුරුදු තුන හතරක් වූ කාලයේ එසේ පණු බේත් පානය කළ ඇතැම් දවසකට අප මළපහ කළේ මිදුලේ හබරල කොළයකටය. වැඩිහිටියෙකු විසින් මේ මළ ඉවත් කළේ කෝටුවකින් අවුස්සා  පණුවන් සිටියේද නොසිටියේද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

ඇන්ටිපා වුවද, කළුදුරු අටවගේ කසාය වුවද අපට පෝය දවස්වල දුන්නේ නැත. ඒ, පෝය දවසට පණුවන් මැරීම හෝ පණුවන්ට වදදීම නුසුදුසු නිසාය. එහෙත්, අපේ පවුලේ ඇතැම් වැඩිහිටියන් පෝය දිනවල අටසිල් හෝ දසසිල් සමාදන් වූ අතර ඒ අයගේ බඩවල්වල සිටි පණුවන්ට පෝය දවසට බඩගින්නේ ඉන්නට වීම ගැන ඒ කාලයේ මට පැහැදිලි පිළිතුරක් නොලැබුණේය. පාතරාසය සඳහා කිසියම් කැඳ වර්ගයක් පිළියෙළ කෙරුණු දවසටනම් අපට නොවරදවා හකුරු කෑල්ලක් හෝ මීපැණි ටිකක්ද ලැබුණේය. ඒ බඩේ සිටින කැඳ නොබොන පණුවෙකු වෙනුවෙනි. පැණිරස දෙයක් නොලැබුණහොත් කෝපයට පත්වන මේ පණුවා බඩවැල් හපා කන්නට පුළුවන.

බඩේ පණුවන් සිටිය යුතු කතාව කෙසේ වුවත් ඊට සංකල්පීය ලෙස සමාන කතාවක් මම පසු කාලයක ඉගෙන ගත්තෙමි. ඒ ආහාර මාර්ගයේ ආම්ලිකතාවය අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනීම සඳහා ආහාර මාර්ගය ආශ්‍රිතව වසන ඇතැම් බැක්ටීරියාවන්ගෙන් සිදුවන කාර්ය භාරයයි. එක දිගට ප්‍රතිජීවක ඖෂධ ගන්නා විට මෙවැනි හිතකර බැක්ටීරියාවන්ද විනාශ වීම නිසා ආහාර මාර්ගයේ ආම්ලිකතාව ඉහළ යාම හා තුවාල ඇති වීමත්, ඒ හේතුවෙන් අධික පාචනය හා මළ සමඟ ලේ පිටවීමත් දක්වා තත්ත්වය උග්‍ර වීමත් සිදුවිය හැකිය.


මෙවැනි තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීම සඳහා කළ හැකි එක් දෙයක් වන්නේ ආම්ලිකතාවය නිසි මට්ටමේ පවත්වාගැනීම මඟින් කෑම දිරවීමට උදවු වන එවැනි හිතකර බැක්ටීරියා ආහාර මාර්ගයට නැවත එකතු කිරීමයි. යෝගට් හා මීකිරි ආදියේ ඇති ලැක්ටෝබැසිලස් කාණ්ඩයේ බැක්ටීරියා හා වෙනත් ඇතැම් කිරි නිෂ්පාදන වල ඇති බිෆිඩොබැක්ටීරියම් කාණ්ඩයේ බැක්ටීරියා 'බඩේ තිබිය යුතු' මෙවැනි හිතකර බැක්ටීරියා සඳහා උදාහරණයි. මේ කාණ්ඩ වල සජීවී බැක්ටීරියා අඩංගු 'ප්‍රෝබයෝටික්ස්' ද කලක සිට වෙළඳපොළේ අළෙවි කෙරේ.

ලෙඩ ගැන මෙන්ම ප්‍රතිකාර ක්‍රම ගැනද දැනුම කාලයත් සමඟ අළුත් වේ. මේ දැනුම සමාජයේ විවිධ ස්ථර වෙත සම්ප්‍රේෂණය වන්නේ එකම වර නොවේ. වෛද්‍ය සේවා සඳහා ඇතිවන ඉල්ලුමේ ස්වභාවය තීරණය වන්නේ ලෙඩ හා ප්‍රතිකාර ක්‍රම ගැන දැනුම  පොදු සමාජය වෙත සම්ප්‍රේෂණය වී ඇති තරම අනුවය. 

මීළඟ ලිපිය: අක්ෂි වෛද්‍ය විශේෂඥ ගල්පියද්දේ මද්දුං අප්පෝ

(Image: http://www.canadianfamily.ca/parents/health-and-fitness/fine-balance/)

Friday, September 16, 2016

වෙළඳපොළ තරඟය ජයගත් ලංකාවේ දොස්තරලා...




මා මාස තුනකට අඩු බිළිඳෙකුව සිටියදී වැළඳී ඇති උණ රෝගයකට ආසන්න නගරයේ පිහිටි දේශීය වෛද්‍යවරයෙකුගෙන් ලබාගෙන තිබුණු බෙහෙත් පිළිබඳව මගේ මව විසින් තැබුණු දිනපොත් සටහනක් ගැන පසුගිය ලිපියෙන් කතා කළෙමි. මෙය මේ අයුරින් සිදු වී තිබුණත් මට මතක ඇති කාලයේ සිට රෝගී වූ අවස්ථා වලදී අපව බොහෝ විට රැගෙන ගියේත්, පවුලේ අනෙකුත් වැඩිහිටියන් ප්‍රතිකාර ගැනීමට ගියේත් බටහිර වෛද්‍යවරුන් වෙත මිස දේශීය වෛද්‍යවරුන් වෙත නොවේ.

බටහිර වෛද්‍යවරුන්යැයි කීවත් මා ජීවත් වූ ප්‍රදේශයට ආසන්නව තිබුණු මේ නගරයේ බටහිර ප්‍රතිකාර කළ වැඩි දෙනෙකු උපාධිධාරී වෛද්‍යවරු නොවූහ. එම නගරයේ එම්බීබීඑස් උපාධිය තිබුණු අයෙකුට හිටියේ එකම එක වෛද්‍යවරයෙකු පමණි. යාපනයේ දෙමළ ජාතිකයෙකු වූ ඔහු සිය උපාධිය ලබාගෙන තිබුණේ මදුරාසියේ කිසියම් වෛද්‍ය විද්‍යාලයකිනි. පෞද්ගලික වෛද්‍ය ශාලා පවත්වා ගෙන ගිය ඉතිරි බටහිර වෛද්‍යවරුන් තුන් හතර දෙනාගේ නම් ඉදිරියෙන් තිබුණේ ඒඑම්පී හෝ ආර්එම්පී  යන අකුරු කට්ටල එකක් හෝ දෙකම මිස පෙර කී දෙමළ වෛද්‍යවරයාගේ නම ඉදිරියේ සටහන්ව තිබුණු එම්බීබීඑස් හෝ එෆ්ආර්සීඑස් වැනි අකුරු කට්ටල නොවේ.

කෙසේවුවද, මේ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නට පැමිණි බොහෝ රෝගීන්ට ඔය අකුරු වල වගක් නොතිබුණේය. අරුම පුදුම මැජික් උපකරණයක් වන වෙදනලාව කරේ තිබේනම් ඒ දොස්තර කෙනෙකි. වෙන කතා වැඩක් නැත. ඒ නිසා නගරයේ සිටි එකම උපාධිධාරී වෛද්‍යවරයාට අනෙක් බටහිර වෛද්‍යවරුන්ට නොතිබුණු මහා ලොකු ඉල්ලුමක් තිබුණේද නැත. ඉන්පසුව, මා ජීවත් වූ නගරයක පැවතියේද මීට කිට්ටු තත්ත්වයකි. සහකාර වෛද්‍ය නිලධාරීන් හෝ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් තුන් හතර දෙනෙකු සමඟ තරඟ කළ එකම උපාධිධාරී වෛද්‍යවරයා එම නගරයේ අඩුම ඉල්ලුමක් තිබුණු වෛද්‍යවරයාය.

පෙර කී පළමු නගරයේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර කළ දොස්තරලා කිහිප දෙනාට අමතරව දේශීය වෙදකම් කළ වෙද මහත්තුරුද හතර පස් දෙනෙක්ම සිටියහ. ඒ අය අතර 'ගම්පහ කුලයේ' අයත් වෙනත් අයත් වූහ. අප වැඩිපුර නොගියත් මේ බෙහෙත්ශාලා වලද සැලකිය යුතු සෙනඟක් නිතරම සිටියේය.

සියවස් ගණනකම සිට දේශීය වෛද්‍යවරයෙකුගේ රෝග පරීක්ෂාවේ මූලිකම අංගයක් වූයේ නාඩි පරීක්ෂාවයි. බොහෝ දෙනෙකු විශ්වාස කළ පරිදි, මෙසේ නාඩි පරීක්ෂා කර ලෙඩේ හරියටම අල්ලා ගැනීමට පුළුවන් විය. මේ වැඩේම කරන්නට බටහිර වෛද්‍යවරුන්ට මැජික් උපකරණයක් තිබුණේය. ඒ ස්ටෙතස්කෝපය හෙවත් වෙද නලාවයි. බටහිර වෛද්‍යවරයෙකු වෙත යන බොහෝ රෝගීන් හිතුවේ මේ වෙද නලාවෙන්ද ඕනෑම ලෙඩක් හරියටම අල්ලා ගන්නට හැකි බවයි.

දේශීය වෛද්‍යවරයෙකු වෙත යන විට බොහෝ රෝගීහු බෝතලයක් හෝ කිහිපයක් රැගෙන ගියහ. ඒ, වෙද මහත්තයා දෙන තෙල්, අරිෂ්ඨ ආදිය දාගෙන එන්නටය. මේ රෝගීන් දොස්තර මහත්තයා ලඟට ගියේත් ඔය විදිහටම බෝතලයක් හෝ දෙකක් අරගෙනය. අරිෂ්ඨ මෙන් රස නැතත් ඔය බෝතලයටත් බොහෝ විට රතු පාට හෝ රෝස පාට බෙහෙත් වතුරක් ලැබුණේය.

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ වුණු කාලයේ සිටම කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් මෙන්ම ඇපෝතිකරිලා හෙවත් පසුව හැඳුන්වුනු පරිදි සහකාර වෛද්‍ය නිලධාරීන්ද පුහුණු කෙරුණේය. වසරක පුහුණුවකින් හා සයමසක සායනික පුහුණුවකින් පසු සේවයට යොදවනු ලැබූ මොවුන්ට වසර අටකට පසු ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් හෙවත් ආර්එම්පීලා වීමට හැකි විය. අසූව දශකය පමණ වන තුරුත් බොහෝ ප්‍රාදේශීය නගර වල උපාධිධාරී වෛද්‍යවරුන්ට වඩා වැඩිපුර හිටියේ මේ ඇපෝතිකරිලාය. අනූපහ වසරේදී (මගේ මතකය පරිදි වෛද්‍ය සංගමයේ බලපෑම මත) මේ සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීම නතර විය.

මා කුඩා කළ බොහෝ ග්‍රාමීය පෙදෙස් වල බටහිර ප්‍රතිකාර ලබාදෙන පෞද්ගලික බෙහෙත්ශාලා නැත්නම් ඩිස්පැන්සරි පවත්වාගෙන ගියේ ඇපෝතිකරිලාය. ඒ අතරම, හරි හරියට දේශීය බෙහෙත්ශාලාද තිබුණේය.

මේ දේශීය බෙහෙත්ශාලා ආකෘතිමය ලෙස බටහිර බෙහෙත්ශාලා වලින් වෙනස් වූයේ නැත. දෙපිරිසම කළේ මුදල් අයකර බෙහෙත් දීමයි. ෆාමසි වලින් බෙහෙත් ගැනීමක් ඒ කාලයේ වැඩිපුර කෙරුණේ නැත.

හැත්තෑව දශකය වන විට දේශීය වෛද්‍ය සේවා සැපයීමද බටහිර වෛද්‍ය සේවා සැපයීම මෙන්ම සෑහෙන දුරකට වාණිජකරණය වෙමින් තිබුණේය. බුලත් අතක් ගෙන වෙද මහත්තයා බැහැ දැකීමට යාම වෙනුවට නගරයේ වෙදමැදුරට ගොස් නොම්මරයක් ගෙන පෝලිමේ සිට වෙද මහත්තයා හමුවීම දක්වා වන පරිවර්තනය මේ වන විටද සිදු වී තිබුණේය. පසුව, වෙළඳපොළ තරඟය තුළ වෙද මහත්තුරුන් ඇපෝතිකරිලාගෙනුත්, ඇපෝතිකරිලා දොස්තරලාගෙනුත් ප්‍රතිස්ථාපනය විය. මේ වන විට සාමාන්‍ය දොස්තරලාව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිස්ථාපනය වීම නාගරික ප්‍රදේශ වලින් ඇරඹී තිබේ.


ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළෙහි කලින් කලට සිදු වී ඇති සුසමාදර්ශ පෙරළි වලට සැපයුම් සාධකද  සැලකිය යුතු සේ දායක වී ඇතත්, වැඩිපුරම හේතු වී ඇත්තේ ඉල්ලුමෙහි ඇති වූ වෙනස්කම්ය.

Thursday, September 15, 2016

වෙදුන්ගේ දරුවන් වන ලංකාවේ දොස්තරලා...


දෙමසකට පෙර මම මගේ මවගේත් පියාගේත් දිනපොත් සටහන් හැදෑරීම සඳහා වෙලාවක් වෙන් කළෙමි. 'බැක් ටු ද ෆියුචර්' චිත්‍රපටයේ මාටි මෙන් කාල තරණය කර මගේ දෙමවුපියන්ගේ තරුණ දිවිය ගෙවුණු හැටි දැක ගැනීමේ හැකියාවක් නොතිබුණත් මේ දිනපොත් සටහන් වල උපකාරයෙන් මට තරමක් දුරට තරුණ වියේ සිටි මගේ දෙමවුපියන් හමුවීමේ ඉඩකඩක් ලැබුණි.

මගේ දරුවන් කෙරෙන් මට බොහෝ විට කාලයේ හා අවකාශයේ වෙනස්කම් වලින් වැසී ඇති මගේ ළමා කාලයේ පිළිබිඹු පෙනේ. මෙය දෙමවුපියන්ගේ දිනපොත් හා වෙනත් සටහන් හැදෑරීමට පෙළඹුමක් ඇති කළ එක් කරුණකි. මා කුඩා කාලයේම මෙලොව හැර ගිය මගේ මව පිළිබඳව මා දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. මගේ පියා මව මෙන් භෞතිකව මගෙන් දුරස් නොවූවත් ඔහුගේ දැවැන්ත සමාජ ජීවිතයට සාපේක්ෂව පෞද්ගලික ජීවිතය ඉතා කුඩා වපසරියක පැතිරුණු එකක් වූ අතර ඔහුගේ
සමාජ ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ බොහෝ තොරතුරු පිළිබඳව දැනටත් මගේ දැනුම එතරම් පුළුල් නැත.

මේ ලිපියට මා ප්‍රවේශ වන්නේ හැටේ දශකයේ දිනක මගේ මව විසින් ලියා ඇති දිනපොත් සටහනකිනි. මේ දිනය වන විට මගේ වයස ආසන්න වශයෙන් මාස තුනකි. මේ වකවානුවේදී මගේ මව සිය කුළුඳුල් දරුවාද සමඟ සිය දෙමවුපියන්ගේ නිවස ආසන්නයේම වූ අපේ නිවසේත්, මගේ පියා වෙනත් දුර බැහැර නගරයක (ගමක) රැකියාව කරමිනුත් ගත කර තිබේ. ඒ කාලයේදී මගේ පියාට සති අන්තයේ (හෝ සති දෙක තුනකට වරක්) ගෙදර එන තුරු සිය බිරිඳගේ හා දරුවාගේ දුක සැප දැන ගැනීමට ජංගම දුරකථන වැනි සන්නිවේදන මාධ්‍ය නොතිබුණු බව නොකිවමනාය.

මේ කියන දවසේ තෙමස නොපිරුණු මේ දරුවාට දරුණු උණ රෝගයක් වැළඳී තිබේ. උණ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයකැයි යමෙකුට කිව හැකිය. රෝග යන සංකල්පයත් අපේ දැනුමට සාපේක්ෂය. එනයින්, සංස්කෘතියට හා කාලයට සාපේක්ෂය. මේ කාලයේදී ලංකාවේ වැඩි දෙනෙකුට උණ යනු රෝගයක් මිස රෝග ලක්ෂණයක් නොවීය.

උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා මේ දරුවා රැගෙන ගොස් ඇත්තේ අසල නගරයේ වෛද්‍යශාලාවක් පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ වෙදමහතෙකු වෙතය. මගේ වයස අවුරුදු හතක් පමණ වන කාලයේත් මේ බෙහෙත් සාප්පුව එම නගරයේ පැවති බවත්, වෙදමහතා ජනප්‍රියව සිටි බවත් මගේ මතකයේ තිබේ. දිනපොත් සටහන් වල වියදම්ද සටහන් කර ඇති නිසා මේ ගමනට ටැක්සියක් හයර් කර ඇති බවද පෙනේ. එසේ කරන්නට ඇත්තේ උණ හොඳටම වැඩි වී තවත් බලා ඉන්නට බැරි තැනය.

වෙද මහතා විසින් නියම කර ඇති ප්‍රතිකාර අතර ගුලි, කල්ක, තෙල් ආදී බෙහෙත් වර්ග රැසකි. මේ බෙහෙත් දුන් වෙලාවල් මගේ මවගේ දිනපොත් පිටුවේ හරියටම සටහන් කර තිබේ. මේ ගුලි, කල්ක ආදිය දෙහි ඇඹුලෙන් හා මී පැණියෙන් දිය කර දෙපැයකට වරක් පමණ ලබා දී තිබේ. මගේ පියාට අනුව, මව විසින් මෙසේ මේ විස්තර හරියටම දිනපොතේ සටහන් කර තිබෙන්නේ සති අන්තයේ මගේ පියා ගෙදර පැමිණි විට දරුවාට කරන්නට තිබුණු සියල්ල අකුරටම කළ බව පෙන්වන්නටය.

මේ දිනපොත් සටහන අනුව මාස තුන නොසපිරූ දරුවෙකුට දී ඇති බෙහෙත් කන්දරාව දුටු මට ඇති වුනු විස්මය ගැන අමුතුවෙන් කිව යුතු නැත. දැන් මේ වයසේ දරුවෙකුට කිසියම් බෙහෙතක් දෙන්නේ නොදීම බැරි විටක පමණි. බටහිර රටවලදී නම් බෙහෙතක් දෙන්නේම නැති තරම්ය.

ලංකාවේ බටහිර වෛද්‍යවරුන් වෙත බොහෝ විට කෙරෙන චෝදනාවක් වන්නේ ඕනෑවට වඩා බෙහෙත් දෙන බවයි. මෙය කැපී පෙනෙන්නේ ඇමරිකාව හෝ එංගලන්තය වැනි රටකට සාපේක්ෂවය. විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේදී ලංකාවේ බටහිර වෛද්‍යවරු බටහිර රටක දොස්තර කෙනෙකු මෙන් පැකිළෙන්නේ නැත.

මගේ මිතුරන් හෝ ඥාතීන් වන ලංකාවේ ඇතැම් බටහිර වෛද්‍යවරු මේ අයුරින් වැඩිපුර බෙහෙත් දෙන්නට හේතු සාධාරණීකරණය කරන්නේ මෙසේය.

"ඇමරිකාවෙ වගෙ නෙමෙයි, හරියට කෑමක්වත් නැති මිනිස්සු අපි ගාවට බෙහෙත් ගන්න එන්නේ. මේ අයට ගොඩක් වෙලාවට බෙහෙත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා සයිඩ් ඉෆෙක්ට් එන්න කලින්ම අපි ඒවටත් එක්ක බෙහෙත් දෙනවා."

"ඇමරිකාවේ වගේ ඕනෑ වෙලාවක හදිස්සියේ බෙහෙත් ගන්න එන්න මේ මිනිස්සුන්ට බෑ. එහෙම කීප සැරයක් එන්න වෙලාවවත්, සල්ලිවත් ඇත්තෙත් නැහැ. ඒ නිසා එක පාරෙන් සනීප වෙන්න ටිකක් වැඩිපුර බෙහෙත් දෙනවා."

මේ කතා වල ඇත්තක් නැතුවාම නොවේ. දැනටත් ලංකාවේ බොහෝ ගම්, නගර වල 'වන්ෂොට්' දොස්තරලා ජනප්‍රියව සිටින්නේ දොස්තර කෙනෙකු වෙත යන ලංකාවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව 'එක බෙහෙත් වේලෙන්' ලෙඩේ සනීප කර ගැනීම නිසාය.


කෙසේ වුවත්, මගේ මවගේ දිනපොත් සටහන දැකීමෙන් පසු මට හිතෙන්නේ මේ වැඩිපුර බෙහෙත් දීම වගේම ලෙඩක් නැතත් මොනවා හෝ බෙහෙතක් දීම ලංකාවේ බටහිර වෛද්‍ය වරුන්ට උරුම වී ඇත්තේ ලංකාවේ සම්ප්‍රදායික වෙද මහත්තුරුන්ගේ ආභාෂයෙන් බවයි.

ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පියවරුන් වූ සිංහල වෙද මහත්තුරුන්ගෙන් උරුම වී ඇති එකම පුරුද්ද වැඩිපුර බෙහෙත් දීම පමණක් නොවේ. සිංහල වෙද මහත්තුරුන්ට පුරුදු වී සිටි සමාජයක ඉල්ලුම සපුරාලමින් ඔවුන් වෙනුවට සාර්ථකව ආදේශ වීමේදී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් වෛද්‍ය විද්‍යාලයේදී ඉගෙන නොගත් තවත් බොහෝ දේ සමාජයෙන් ඉගෙනගෙන තිබේ.

ලංකාවේ බටහිර වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු පුරුද්දක් ලෙස සිය සටහන් ලියන්නේ ලේසියෙන් කියවන්නට බැරි අයුරිනි. නීතිමය ප්‍රශ්නයක් ඇති වූ විට ගැලවීමේ පහසුව වැනි අපේක්ෂාවන්ද මෙහි තිබිය හැකි වුවත් මේ පුරුද්දේ මුලත් දේශීය වෛද්‍යවරුන්ගේ කසාය සීට්ටු ලිවීමේ ක්‍රමයෙන් ආවා විය හැකිය. ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සටහන් වල යොදන කේත ඇමරිකාවේ හෝ එංගලන්තයේ වෛද්‍යවරයෙකුට තේරුම් ගත නොහැකිය.

දේශීය වෛද්‍යවරුන් සිය දැනුම පවුලෙන් හෝ පරම්පරාවෙන් පිට නොදී රෝගියා හා වෙදා අතර දැනුම් පරතරය පවත්වාගත් අයුරින්ම ලංකාවේ බටහිර වෛද්‍යවරුද රෝගය පිළිබඳව රෝගියාට හොඳින් පැහැදිලි කිරීමට පසුබට වෙති. 'මිඩ් ඉයර් ඉන්ෆෙක්ෂන්' කියා සරලව ඉංග්‍රීසියෙන් නොකියා 'ඔටිටිස් මෙඩියා' කියා ලතින් වලින් කියන්නට ඔවුහු කැමැත්තෝය. උණ හෝ 'ෆීවර්' යන වචන භාවිතා නොකර 'හයිපර්තර්මියා' ගැන කතා කරන වෛද්‍යවරුන්ද මට හමු වී තිබේ. වත්ත පහළ ඉබේට වැවෙන පැලෑටියක් සාමාන්‍ය භාවිතයේ ඇති, කවුරුත් දන්නා නමින් හඳුන්වනවා වෙනුවට ආයුර්වේදයේදී භාවිතා වන සංස්කෘත නමකින් හැඳින්වීම ඇතැම් දේශීය වෙද මහතුන්ගේ පුරුද්දක් විය.


ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ අද පවතින තත්ත්වයට විකාශනය වීම පිටුපස මෙවැනි ඓතිහාසික සමාජ පසුබිමක්ද තිබේ. ඉදිරි ලිපියකින් මේ ගැන තව දුරටත් කතා කරමු. 

(Image: http://esceptica.org/category/desahogos/)

Sunday, September 11, 2016

ව්‍යවසායකයින් වී නවතින ලංකාවේ දොස්තරලා...

මේ ලංකාවේ දොස්තරලා ගැන කතාබහ වැඩි වී ඇති කාලයකි. ලංකාවේ දොස්තරලාගෙන් අතිමහත් බහුතරය වැටුප් පිණිස රජය වෙනුවෙන් සේවය කරන්නෝය. එහෙත්, මේ අයගෙන් වැඩි දෙනෙකු ඊට අමතරව කුඩා පරිමාණ ව්‍යවසායකයින් ලෙසද කටයුතු කරන අතර රජයෙන් වැටුප් ලෙස ලබා ගන්නා මුදලට වඩා වැඩි මුදලක් එමඟින් උපයති. හේතු ඇතිව මෙන්ම නැතුවද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වන්නේ ඔවුන්ගේ මේ දෙවන ආදායම් මාර්ගයයි.

මේ විදිහට දොස්තරලා ව්‍යවසායකයින් වෙන්නේ ඇයි?

මෙයට හේතු ඇත්තේ එකක් පමණක් නොවේ. ආර්ථික විද්‍යා කෝණයෙන් බැළුවත් එවැනි හේතු රැසක් තිබේ. වෙනත් හේතුද තිබේ. මේ ලිපියෙන් අදහස් කරන්නේ ඒ හේතු අතරින් එකක් ගැන කතා කරන්නටය. ප්‍රාරම්භයක් ලෙස මේ ප්‍රශ්නයෙන් පටන් ගනිමු.

ලංකාවේ දොස්තරලා වෙන්නේ කවුද?

ලංකාවේ දොස්තරලා වෙන්නේ උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ගන්නා අය බව මේ ප්‍රශ්නයට ජනප්‍රිය පිළිතුරක් විය හැකිය. එහෙත්, එය සම්පූර්ණ පිළිතුරක් නොවේ.

අප ප්‍රශ්නයේ මුලට යා යුතුය.

උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ගෙන ලංකාවේ දොස්තරලා වෙන්නේ කවුද?

ඕනෑම ගහණයක ව්‍යවසායකත්වය ඇති කිසියම් පිරිසක් සිටිති. ඔවුන්ට තමන් සතුව හෝ සමාජය සතුව ඇති සීමිත සම්පත් වඩා කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් තමාගේ, තම පවුලේ සාමාජිකයින්ගේ හෝ මුළුමහත් සමාජයේ ජීවන තත්ත්වය වඩා යහපත් කළ හැකි ක්‍රම 'පෙනේ'. මේ බොහෝ අයට මෙසේ තමන්ට 'පෙනෙන' දෙය ක්‍රියාත්මක කිරීමට ලොකු 'කැසිල්ලක්' ද තිබේ.

ව්‍යවසායකත්වය යනු වැඩි දියුණු කළ හැකි හා වැඩිදියුණු කරගත හැකි කුසලතාවයකි. ඇතැම් සමාජ ක්‍රම තුළ හා සමාජ තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් යෙදවේ. වෙනත් තැන්වල එය එසේම සිදු නොවේ. කෙසේ වුවද, මේ අයුරින් වැඩිදියුණු කළ හැකි කුසලතාවයක් වුවත් ව්‍යවසායකත්වය යනු බොහෝ විට කෙනෙකුගේ 'ඇඟේම' ඇති දෙයකි. සමාජයේ වැඩි ආදායම් ලබන ස්ථර වලින් මෙන්ම මැදි හා අඩු ආදායම් ලබන ස්ථර වලින්ද ව්‍යවසායකත්වය ඇත්තෝ බිහි වෙති.

ව්‍යවසායකත්ව කුසලතාවයන්ගෙන් පිරිපුන් අයෙකුට සාර්ථක ව්‍යාපාරිකයෙකු විය හැකිය. එහෙත්, ව්‍යාපාරයක් ඇරඹීමට ව්‍යවසායකත්වය තිබීමම ප්‍රමාණවත් නැත. ප්‍රාග්ධනය තිබීම හෝ ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ මාර්ග විවෘතව තිබීමද අවශ්‍යය. බොහෝ බටහිර රටවල ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් අහිමි, පහළ හා මැදි ආදායම් ස්ථර වලින් මතුවන ව්‍යවසායකයින්ට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට මාර්ග සෑහෙන මට්ටමකට විවෘතව ඇත. (එහෙත්, එම රටවලද මෙය සර්ව සම්පූර්ණ ලෙස සිදු නොවේ.)

බටහිර රටවල ඇති ඉහත තත්ත්වය ලංකාවේ නැත. මේ නිසා බොහෝ විට ලංකාවේ ව්‍යාපාරිකයන් වන්නේ ව්‍යවසායකත්වය ඇති අය නොවේ. ප්‍රාග්ධනය හිමි අයයි. මේ අයගෙන් ඇතැම් අය ව්‍යවසායකත්ව කුසලතා අතින් ඉදිරියෙන් සිටියත් බොහෝ දෙනෙකු එතැන නැත. එවැන්නන් කරන්නේ සිය පෙර
පරම්පරාවෙන් හෝ ඊටත් පෙර පරම්පරාවෙන් උරුම වූ ප්‍රාග්ධනය ඔවුන් විසින්ම ඇරැඹු ව්‍යාපාරයක හෝ වෙනත් අළුත් ව්‍යාපාරයක ආයෝජනය කරමින් එම ප්‍රාග්ධනයේ හිමිකම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.

ව්‍යවසායකත්ව කුසලතා නැති, එහෙත් සැලකිය යුතු ප්‍රාග්ධනයක් හිමි අයෙකුට ව්‍යාපාරිකයෙකු ලෙස සැලකිය යුතු ආදායමක් උපයාගත හැකි වුවත් බොහෝ විට එම ආදායම ඔහුගේ හෝ ඇයගේ එම වත්කම් ආයෝජනය කර උපයාගත හැකි උපරිම ආදායම නොවේ. ලංකාවේ බොහෝ සමාගම් වල ප්‍රතිලාභ අනුපාතය (Rate of return) භාණ්ඩාගාර බැඳුම්කර සඳහා රජය විසින් ගෙවන පොලී අනුපාතිකයටද වඩා අඩුය. වෙනත් අයුරකින් කිවහොත්, එවැන්නෙකුට සිය ව්‍යාපාරය විකුණා ලැබෙන මුදල අවදානම් රහිත (හෝ අවදානම ඉතාම අඩු) ආයෝජනයක යෙදවීමෙන් වැඩි වාසියක් ලැබිය හැකිය.

අනෙක් අතට ව්‍යවසායකත්ව කුසලතා ඇති, එහෙත් ප්‍රාග්ධනය ප්‍රයෝජනයට ගැනීමට ප්‍රමාණවත් ප්‍රවේශ මාර්ග නැති අඩු හා මැදි ආදායම් ලබන සමාජ ස්ථර වල බොහෝ දෙනෙකුට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය නොමැති වීම නිසාම රටේ ආර්ථිකයට වැඩි අගය
ක් එකතු කිරීමේ අවස්ථාව මඟ හැරේ. ප්‍රාග්ධනයේ හිමිකරුවන් අතින් ව්‍යවසායකත්වය ඇති අය අතට ප්‍රාග්ධනය භාවිතා කිරීමේ අයිතිය (ප්‍රාග්ධනයේ අයිතිය නොවේ) කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය වේනම් එහි වාසිය සෘජු ලෙස එම කණ්ඩායම් දෙකටම ලැබෙනවාට අමතරව වක්‍ර ලෙස තෙවන පාර්ශ්වයන්ටද ලැබේ. ලංකාවේ සිදු නොවන්නේ මෙයයි.

ඉහත තත්ත්වය නිසා භෞතික ප්‍රාග්ධනය අහිමි අනාගත ව්‍යවසායකයෙකුට භෞතික ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීම අසීරු වුවත්, මානව ප්‍රාග්ධනය හා අදාළව තත්ත්වය එසේ නොවේ. ප්‍රමාණවත් ප්‍රවේශ මාර්ග ඇත්ද යන්න විවාදිත කරුණක් වුවත්, අඩු හා මැදි ආදායම් ස්ථර වලින් බිහිවන ව්‍යවසායකයින්ට මානව ප්‍රාග්ධනය හිමිකර ගැනීමට ප්‍රමුඛ ප්‍රවේශ මාර්ගයක් තිබේ. ඒ, නියම මිලට වඩා අඩුවෙන් ලැබෙන උසස් අධ්‍යාපනයයි.

ව්‍යවසායකත්වය ඇති, එහෙත් භෞතික ප්‍රාග්ධනය හෝ භෞතික ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ මාර්ග අහිමි, විචක්ෂණශීලී තරුණයෙකුට හෝ තරුණියකට සිය කුසලතාවයන් ප්‍රායෝගිකව සිදු කළ හැකි ආයෝජනයක් වෙත යොමු කිරීම වඩාත්ම තාර්කික තීරණය ලෙස පැහැදිලිවම පෙනේ. සිය දරුවකුට භෞතික ප්‍රාග්ධනය උරුම කරදීමේ හැකියාව අහිමි දෙමවුපියෙකුටද කළ හැකි හොඳම දෙය මෙයයි. එහෙත්, මෙසේ ආයෝජනය කළ යුත්තේ වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ඇති ආකාරයේ මානව ප්‍රාග්ධනයක් එකතු කර ගැනීම පිණිසය. දොස්තරලා, ඉංජිනේරුවන් වීමට ඇති ඉල්ලුම ඇතිවන්නේ මෙවැනි පසුබිමකය.

සරසවියකට ඇතුළුව උපාධියක් ලබා ගැනීම සඳහා වෙහෙසෙන ලංකාවේ තරුණයෙකු හෝ තරුණියක ඒ සඳහා ඉතා විශාල පෞද්ගලික ආයෝජනයක් කරයි. මේ අතරින්ද වැඩිම පෞද්ගලික ආයෝජනයක් කරන්නේ වෛද්‍ය උපාධිය සඳහා ඉගෙන ගන්නා සිසු සිසුවියන්ය. මා මේ කියන්නේ පාඨ ග්‍රන්ථ, නේවාසික ගාස්තු, ආහාර පාන හා ප්‍රවාහන වියදම් ආදිය සඳහා වැය වන මුදල ගැන නොවේ, එය සමස්ත පිරිවැයේ එක් කොටසක් පමණි.

උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ බුද්ධිමය කුසලතාවන් අතින් එසේ සුදුසුකම් නොලබන කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටින පිරිසකි. වෛද්‍ය පීඨයක සිටින විචාර බුද්ධියෙන් අඩුම සිසුවාත් එසේ සුදුසුකම් නොලබන විචාර බුද්ධියෙන් වැඩිම සිසුවාට වඩා ඉදිරියෙන් සිටින බව එයින් අදහස් නොවේ.

විවිධ හේතූන් මත වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වූ එහෙත් යම් හෙයකින් එම අවස්ථාව ලැබුනේනම් ඉතා සාර්ථක ලෙස එම පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව තිබුණු අය සිටින්නට පුළුවන. එමෙන්ම, කිසියම් 'වැරදීමකින්' වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව හිමි වූ අයද සිටින්නට පුළුවන. මෙවැනි, 'වැරදීම්' ඕනෑ තරම් තිබිය හැකි වුවත් සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයෙන් වැඩි ලකුණු ගන්නේ බුද්ධිමය කුසලතාවන් අතින් අනෙක් අයට වඩා ඉදිරියෙන් සිටින අයයි. මේ විභාගය බුද්ධිමය කුසලතාවයන් මැනීමේ පරිපූර්ණ නිර්ණායකයක් නොවූවත් හොඳ නිර්ණායකයකි.

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබීමේ හැකියාව ඇති තරුණයෙකුට හෝ තරුණියකට එම අවස්ථාව යම් හෙයකින් නොලැබුණේනම් ඔහු හෝ ඇය උසස් අධ්‍යාපනය වෙනුවෙන් යොදවන වසර තුනක, හතරක හෝ පහක කාලය නිකම් ඉන්නේ නැත. විශේෂයෙන්ම, උසස් අධ්‍යාපනය කරා යොමුවන ව්‍යවසායකත්වය ඇති අයෙකු මෙම කාලය තුළ වෙනත් රැකියාවක, ස්වයං රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතව සැලකිය යුතු මුදලක් උපයනු ඇත. උසස් අධ්‍යාපනය කරා යොමුවීමේ හේතුවෙන් මේ තරුණයා හෝ තරුණිය එසේ උපයාගත හැකිව තිබුණු විශාල ආදායමක් අහිමි කරගනී. මේ ආවස්ථික පිරිවැය ඔහු හෝ ඇය සිය මානව ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමේ කාර්යයේදී සිදු කරන ආයෝජනයකි. ඒ ආයෝජනය ඉතා විශාල මුදලකි.

ලංකාවේ සරසවි සිසුන් අතරින් අධ්‍යාපනය සඳහා වැඩිම පෞද්ගලික ආයෝජනයක් කරන්නේ වෛද්‍ය සිසුන් ලෙස සැලකිය හැකිය. ඔවුහු සිය ප්‍රථම උපාධි පාඨමාලාව සඳහා වසර පහක්ද, සීමාවාසික පුහුණුව නිමකර පත්වීම් ලබන තුරු තවත් කාලයක්ද තමන්ගේ විකල්ප ආදායම් අවස්ථාවන් කැප කරමින් කරන්නෝ විශාල ආයෝජනයකි. මේ කණ්ඩායම ව්‍යවසායකත්ව කුසලතා අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් නිසා මෙසේ ඔවුන් අහිමි කරගන්නා ආදායම සැලකිය යුතු මුදලකි.

ලංකාවේ බොහෝ තරුණ තරුණියන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වන්නට සිහින මවන්නේ එම වෘත්තීන් සඳහා ඇති නැඹුරුවට වඩා තමන් තුළ ඇති ව්‍යවසායකත්වය පිබිදවීමට ඉඩකඩක් විවර කරගත හැකි ප්‍රවේශ මාර්ගය ඇත්තේ උසස් අධ්‍යාපනය හරහා බැවිනි. මේ බොහෝ දෙනෙකු වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වුවත් ඔවුන්ගේ ඇතුළේ ඉන්නේ ව්‍යවසායකයෙකි. ඉඩක් ලැබුණු විටම මේ ව්‍යවසායකයා එළියට පනී.

වෛද්‍යවරයෙකුට පොඩි 'කඩයක් ඇරීමට' විශාල භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඒ නිසා, අවශ්‍ය මානව ප්‍රාග්ධනය රැස් කරගත් වහාම ඔවුහු වැඩේට බසිති. ඉංජිනේරුවෙකුට මේ අයුරින්ම 'කඩයක් ඇරීමට' සැලකිය යුතු භෞතික ප්‍රාග්ධනයක්ද අවශ්‍ය වේ. ඒ නිසා ඔවුන්ට 'වැඩේට බහින්නට' උපාධිය ලබා වසර දහයක්, පහළොවක් බලා ඉන්නට සිදු වේ.

වැදගත් කරුණ වන්නේ මෙහිදී ඇත්තටම වෙන්නේ දොස්තරලා ව්‍යවසායකයින් වීම නොවන බවයි. ව්‍යවසායකයින් වීමේ විභවයක් සහිතව සිටි අය ඒ සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තා නැති බැවින් දොස්තරලා, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින් වීමයි.

Friday, September 9, 2016

කටුස්සාත් බෑ කිවුවානම්...


විචාරක විසින් පළ කළ, ඉකොනොමැට්ටාගේ විශ්ලේෂණයට පාත්‍ර වූ, වටු කිරිල්ලියගේ කතාවේ දෙගල් අස්සේ හිර වුණු වටු බිජුව එළියට ගන්නට අන්තිමේදී ඇයට හැකි විය. මේ කටයුත්තේදී ආන්තික තල්ලුව ලැබුණේ කටුස්සාගෙනි. අටු, පුටු හෝ බුලත් නොඉල්ලා වටු කිරිල්ලියට උදවු කරන්නට කටුස්සා ඉදිරිපත් විය.

වටු නංගියේ      තටු    ගසමින්  නාඬන්නේ
අටු නැති ඔබට  පුටු    නැති බව මා දන්නේ 
කටුසයියාව       දුටු   විට අලි බය වෙන්නේ 
තුටු වී ඉතින් හොටු       ටික පිහදාගන්නේ  

ඔහොම කියපු කටුස්සා වටු කිරිල්ලියගෙන් කිසිදු ගාස්තුවක් අය නොකර අලියාගේ හොඬේ අස්සේ රිංගන්නට ඉදිරිපත් විය. එතැන් සිට වටු කිරිල්ලියට බිත්තරය හිමිවීම දක්වා සියළු කටයුතු ඉතා සුමටව සිදු වූ බව අපි දැන් දනිමු.

මේ කතාව අසා සිටි ට්‍රාන්ස් මෙවැනි ප්‍රශ්නයක් අසයි.

"විචාරකගේ කතාව කියවන විට මට ආ ගැටළුව නම් යම් ලෙසකින් කටුස්සාද අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන කීවානම්?"

ඇත්ත නේන්නම්!

කටුස්සාත් ගාස්තු ඉල්ලුවානම් වටු බිජු තවමත් ගල් දෙබොක්කාව අස්සේය. මේ වගේ නිස්සරණාධ්‍යාසයෙන් වටු කිරිල්ලියන්ට උදවු කරන්නට ඉදිරිපත් වන කටුස්සන් එතරම් සුලභ නැත. ඒ නිසා වටු කිරිල්ලිය විසින් විශාල සෙවුම් පිරිවැයක් දැරීමෙන් පසුවද අවශ්‍ය කාර්යය ඉටු නොවිය හැකිව තිබුණි. නිෂ්පාදකයින්ට නිෂ්පාදන හැකියාව තිබියදී අවශ්‍ය ඉල්ලුම නැති වීම නිසා නිෂ්පාදනය සිදු නොවන අවස්ථා එමටය.

මෙය තේරුම් ගැනීමට අපි වටු කිරිල්ලියගේ කතාව ටිකක් වෙනස් කරමු. මේ වටු කිරිල්ලියගේ කතාවේ ඉකොනාමැට්ටා වර්ෂන් එකයි. කතා මොන විදිහට කිවුවත් අහන අය ඒවා තේරුම් ගන්නේ තමන් කැමති පරිද්දෙන් නිසා මේ කතාව ටිකක් වෙනස් කළා කියා වැරැද්දක් තිබිය නොහැකිය. අනං මනං කතා නවත්වා ඔන්න එහෙනං කතාවට!


ඔන්න එකෝමත් එක රටක වටු කිරිල්ලියක් හිටියා. [මාස දෙක තුනකට කලින් උඩවලව ජාතික වනෝද්‍යානයට ගිය වෙලාවේ ඉකොනොමැට්ටට මේ වටු කිරිල්ලියෝ කිහිප දෙනෙක්ම දැකගන්න හැකි වුනා. ඔය උඩවලව හම්බන්තොට වගේ පැති වල වටු කිරිල්ලියෝ සෑහෙන්න ඉන්නවා. බාගවිට ඔය එකෝමත් එක රට තිබුණේ ඔහොම පැත්තක වෙන්න පුළුවන්.] මේ වටු කිරිල්ලී පඳුරු වලින් වැහිල තිබිච්ච ගල් තලාවක් උඩ බිත්තර දෙකක් දැම්මා.

වටු කිරිල්ලී බිත්තර දැමිල්ල අහවර කරලා බලන කොට බිත්තර දෙක ගල් තලාවේ පැලුමක් තිබුණු තැනක හිර වෙලා. [වටු කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් ශක්‍යතා අධ්‍යයන කරන්නෙ නෑනේ...] දැන් ඉතිං වටු කිරිල්ලී සෑහෙන වෙලාවක් තටමලා දාපු බිත්තර දෙකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැති වෙන්නයි යන්නේ.

නොගැලපෙන තැනක බිත්තර දාල ඇණ ගත්ත වටු කිරිල්ලී දැන් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හොයනවා. දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හොයනවා [ඕනෑ නැති තැන්වල බිත්තර දාල හිර වුනාම තමයි පැත්තක ඉන්න අයව මතක් වෙන්නේ]. වටු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා. [ඔය වටු කිරිල්ලියෝ විශේෂඥ උපදෙස් නොසලකා ගල් තියෙන තැන්වල බිත්තර දාල ඇණ ගත්තට පස්සෙ විශේෂඥ උපදෙස් හොයනවා.]

"අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, අනේ ඒ දෙක අරන් දීපන් ගල් වඩුවෝ..."

"රිදී කාසියක් ගෙන!" ගල් වඩුවා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, බිත්තර දෙක අරන් දුන්නොත් එයින් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා."

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මට මගේ දරුවන්ට කන්න කටුවල හොයන්න තියෙනවා. උඹට උදවු කරන්න ආවොත් මට කටුවල හොයන්නවත්, හාරන්නවත් වෙන්නේ නැහැ. එහෙම වුනොත් මගේ දරුවෝ හාමතේ! "

"හොඳයි, මම උඹට කටුවල හොයා දුන්නොත් උඹ මට බිත්තර දෙක අරං දෙනවාද?"

"කටුවල හොයා දුන්නොත් මම උඹට බිත්තර දෙක අරන් දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී අඬ අඬා යනවා. යනකොට, යනකොට, ඌරෙක් හම්බ වෙනවා.

"අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. මට කටුවල තියෙන තැනකින් හාරලා දීපන් ඌරෝ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" ඌරා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කටුවල හාරා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම මරුවැල් ඇදලා. මම ඇවිදින්නෙත් හරිම පරිස්සමෙන්. මේ මරුවැල් එක්ක කැලේ පුච්චලා දැම්මොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්! "

"හොඳයි, මම උඹට කැලේ ගිණි තියලා දුන්නොත් උඹ මට කටුවල හාරලා දෙනවාද?"

"කැලේ ගිණි තියලා දුන්නොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, ගිණි ගොඩක් හම්බ වෙනවා.

"අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. කැලේ හැමතැනම දුවලා කැලේ පුච්චලා දීපන් ගින්දරේ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" ගිණි ගොඩ වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කැලේ ගිණි තියලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම දුවලා කැලේ ගිණි තිබ්බහම මට හරිම පිපාසාවයි. ඒ වෙලාවට මගේ ඇඟට වතුර ටිකක් දාන්න කවුරුවත් නෑ. මගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"

"හොඳයි, මම උඹේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට කැලේ ගිණි තියලා දෙනවාද?"

"ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, වතුර වලක් හම්බ වෙනවා.

"අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දීපන් වතුරේ..." වටු කිරිල්ලී වතුරට කියනවා.

"රිදී කාසියක් ගෙන!" වතුර වල වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද,  ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මේ වතුර වලේම හිරවෙලා ඉඳලා මට දැන් එපා වෙලයි තියෙන්නේ. මාව මෙතනින් කොහාටවත් ගෙනියන්න කවුරුවත් නෑ. රටතොට බලන්න මාව ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙන්නම්!"

"හොඳයි, මම උඹව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙනවාද?"

"රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම එය කරන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, අලියෙක් හම්බ වෙනවා.

"අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා.  උඹේ ඔය ලොකු හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනිහින් දීපං අලියෝ..." වටු කිරිල්ලී අලියාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" අලියා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"උඹ මේ මඟුලක් කතා කරනවා. මට මොකටද වටු බිත්තර? මගේ හොඬේ අස්සේ කූඹි රිංගලා මම මේ දෙලෝ රත්වෙලා ඉන්නවා!"

"හොඳයි, මම උඹේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් උඹ මට වතුර වල කියන තැනකට ගෙනිහින් දෙනවාද?"

"හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් මම වතුර වල කියන තැනකට ගෙනිහින් දෙන්නම්!"

වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, කටුස්සෙක් හම්බ වෙනවා. [කටුස්සා තාමනං කොළ පාටයි. ඌ  පාට වෙනස් කරන්න සුදුසු වෙලාව එනකං ඔළුව වන වන ඉන්නවා.]

"අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා.  අලියා හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනියන්න උගේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා ඉල්ලනවා. අලියගේ හොඬේ අස්සේ රිංගලා කූඹි අයින් කරලා දීපං කටුස්සෝ..." වටු කිරිල්ලී කටුස්සාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" කටුස්සා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒ යෝජනාව නරක නැහැ. ඒත් මට උඹව විශ්වාස නැහැ. ඉස්සෙල්ලා බිත්තරේ ගෙනත් දීපං. ඊට පස්සේ මම අලියගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දෙන්නම්!"

"ඒක කරන්නේ කොහොමද? උඹට බිත්තරයක් දෙන්නනම් ගල් වඩුවා ගල කඩලා බිත්තර එළියට ගන්න ඕනෑ. ගල් වඩුවා එය කරන්නේ උන්දෑට ඌරා කටුවල හොයා දුන්නොත් විතරයි. ඌරා කටුවල හොයා දෙන්නේ ගිණි ගොඩ කැලේ ගිණි තිබ්බොත් විතරයි. ගිණි ගොඩ කැලේ ගිණි තියන්නේ වතුර වල උන්දෑගේ පිපාසාව නිවනවනම් විතරයි. වතුර වල ගින්දරේ පිපාසාව නිවන්නේ අලියා උන්දෑව කියන තැනකට ගෙනියනවනම් විතරයි. අලියා වතුර වල කියන තැනකට ගෙනියන්නේ උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් විතරයි. ඒ නිසා උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා නොදුන්නොත් මම කොහොමද උඹට බිත්තරයක් දෙන්නේ?"

ඇත්තටම කොහොමද? සමහර වෙලාවට රටක ආර්ථිකය ඔය වගේ තැනක රවුමට හිරවෙයි. පහත කතාවේ ඇත්තේත් ඒ වගේ අවස්ථාවකි. 




රෝලට ණය ආර්ථිකේ...


මේ වෙලාවට ආර්ථිකය ගොඩදමන්නටනම් ඔරිජිනල් වටු බිත්තර කතාවේ කටුස්සා වැනි අභ්‍යන්තර උත්ප්‍රේරකයක් හෝ රෝලට ණය කතාවේ ඇමරිකන් කාරයා වැනි බාහිර උත්ප්‍රේරකයක් අවශ්‍ය වේ. මතක තබා ගන්න- උත්ප්‍රේරකයක් කියන්නේ එක් සමතුලිතතාවයක සිට තවත් සමතුලිතතාවයකට මාරු වීමේදී වෙනස ඇරඹීමට අවශ්‍යම දෙයක් වුවත් වෙනසින් පසු වැය නොවී ඉතිරි වන දෙයකි.

අළුත් කටුසු කතාවේ අවසානය සිදු විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. මේ එයින් එකකි.

"උඹ කියන දෙය මට තේරෙනවා. ඒත් එක වටු බිත්තරයක් වෙනුවෙන් මේ අවදානම ගන්න මට බෑ. උඹ අඩු ගානේ මට වටු බිත්තර තුනක් දෙනවානම් මම උඹ කියන දෙය කරන්නම්!"

"මම කොහොමද උඹට වටු බිත්තර තුනක් දෙන්නේ. තියෙන්නෙම වටු බිත්තර දෙකයි. ඒ දෙකම උඹට දුන්නොත් මට මුකුත්ම නෑ. ඒ නිසා මට උඹට දෙන්න වෙන්නේ එක වටු බිත්තරයයි."

"එහෙමනං උඹ දැනට මට එක බිත්තරයක් දීපං. ඉතිරි දෙක පස්සේ දීපං. හැබැයි උඹ ණය ගෙවලා ඉවර කරනකං මට පොලිය විදිහට දවසකට බිත්තරේ ගානේ ඕනෑ."

වටු කිරිල්ලී මේ ඩීල් එකට කැමති විය. ඉන්පසු සියල්ල ඔරිජිනල් කතාවේ මෙන් අපූරුවට සිදුවිය. කටුස්සාට එක් වටු බිත්තරයක් වහාම ලැබුණේය. දැන් වටු කිරිල්ලිය දවසකට බිත්තර දෙක ගානේ දමයි. ඒ දෙකෙන් එකක් ඇගේ එදිනෙදා වියදමටය. අනෙක් බිත්තරය කටුස්සාගේ පොලිය ගෙවීමටය. ඒත් කටුස්සාට වූ බිත්තර දෙකේ ණය අද දක්වාම එහෙමමය.


(Image: www.ox.ac.uk)

Monday, September 5, 2016

වටු කිරිල්ලිය හා ඇගේ බිත්තරය


කුඩා කාලයේදී ඇසූ වටු කිරිල්ලියගේ කතාව විචාරක විසින් නැවත මතක් කර දී තිබේ. මෙය ඔහුට මෑණියන් විසින් කුඩා කාලයේදී කියාදුන් අයුරින්ම අපූරුවට සටහන් වී තිබේ.

ඔහුගේ ලිපියේ ඇති ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ යන එක දිගට කියාගෙන යන කොටස විචාරක විසින් 'අටුවක් ගෙනෙන්, පුටුවක් ගෙනෙන්, තට්ටු හතක බුලත් ගෙනෙන්’ කියා වෙනස් කළේනම් ඔහුගේ මව මේ කතාව ඔහුට කියාදුන් රිද්මය එසේම සිතේ මැවෙන්නේ නැත.

පසුගිය සියවසේ මැද පමණ දක්වාම වටු කිරිල්ලියගේ කතාව වැනි ජනකතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුණේ මෙසේ අම්මලා, ආච්චිලා හෝ වෙනත් වැඩිහිටියන් විසින් කුඩා කාලයේ දරුවන්ට කියා දුන් කතා ඒ දරුවන් වැඩිහිටියන් වී වෙනත් දරුවන්ට කියා දීමෙනි. මවගේ හා පියාගේ සොයුරු සොයුරියන් රැසක් ඇතුළු බොහෝ වැඩිහිටියන්ගෙන් කුඩා කාලයේදී මෙවැනි කතා අසන්නට මා වාසනාවන්ත වී ඇතත්, මා මෙන් විස්තෘත පවුලක ඇසුර ලැබීමේ වාසනාව අහිමිව වැඩුණු මගේ දරුවන්ට මේ කතා බොහෝ විට අහන්නට ලැබී ඇත්තේ මගෙන් පමණි.

විචාරක විසින් ඔහුගේ මවගෙන් අසාගත් පරිදි මේ කතාවේ ඉන්නේ වඩු කිරිල්ලියක වුවත් මා අසා ඇති පරිදි කතානායිකාව වටු කිරිල්ලියකි. වඩු කිරිල්ලියක් සාමාන්‍යයෙන් (විචාරකගේ ලිපිය සමඟ පළ කර ඇති) ඇගේ අපූරු කූඩුවෙන් පිටත බිත්තර නොදමන බැවින් මේ කතාව වඩා ගැලපෙන්නේ පොළොව ආශ්‍රිතව බිත්තර දමන වටු කිරිල්ලියකටය. කටින් කට සම්ප්‍රේෂණය වෙද්දී වටු කිරිල්ලිය ඉතා පහසුවෙන් වඩු කිරිල්ලියක වන්නට ඇත.

මේ කතා මුලින්ම කාගේ හෝ හිතේ මැවුණු අදහසකින් හෝ ඇසූ දුටු දෙයකින් පටන්ගෙන පසුව කාලයක් තිස්සේ තවත් බොහෝ දෙනෙකු අතින් පෝෂණය වුණු 'කතා' ලෙසම සැලකිය හැකි කතා වුවත්, ඒ කතා සැලකිල්ලෙන් විමසන විට අපේ පැරණි ජන සමාජය ගැන අදහසක් ගත හැකිවාක් මෙන්ම කතාවේ කෙළින්ම කියා නැති දේවල් ගැන කතා කරන්නටත් බැරිකමක් නැත. උදාහරණයක් ලෙස කතාවේ වස්තු බීජය හේනක් මැද පිහිටි අතරින් පතර ගස් වැවුණු ගල්තලාවක පැල්මක් අතර සිරවී තිබුණු වටු බිත්තරයක් හෝ කිහිපයක් දැක එය ගන්නට වෙනත් අයෙකුගෙන් උදවු ඉල්ලන කාන්තාවක් විය හැකිය. මේ කතාවේ ගල් වඩුවාගෙන් මෙන්ම, ඌරාගෙන්ද, ගිණි ගොඩෙන්ද, වතුර වලෙන්ද, අලියාගෙන්ද, කටුස්සාගෙන්ද සංකේතවත් වන්නේ සමාජයේ ජීවත්වන විවිධ දක්ෂතා හා දුර්වලතා ඇති මිනිසුන් විය හැකිය.

සමාජයක ජීවත් වන විවිධ පුද්ගලයින්ට විවිධ දක්ෂතා තිබේ. අයෙකුට බිත්තර නිෂ්පාදනය කිරීමටත්, තවත් අයෙකුට ගල් කඩන්නටත්, වෙනත් අයට බල ශක්ති ප්‍රභව සැපයීමට, ගිණි නිවීමට, ජල කළමනාකරණයට හා ජල කලමණාකරන උපාංග පාලනයට වැනි වෙනස් කටයුතු වලට විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබිය හැකිය. කිසියම් පුද්ගලයෙකු හෝ රටක් තමන්ට මෙසේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුත්තක නිරත වූ විට වැඩි ඵලදායිතාවයකින් නිෂ්පාදන කාර්යයෙහි යෙදිය හැකිය. සමාජයක් ඉදිරියට යන්නේ මෙසේ එක් එක් තැනැත්තා තමන්ට වඩාත් හොඳින් කළ හැකි දේ කරන අතරම භාණ්ඩ හා සේවා හුවමාරුව (හෝ වෙළඳාම) හරහා එක් ඒකකයක් ලෙස සම්බන්ධ වූ විටය.

කිසිවෙකු තමන්ගේ කාර්යය තනිව කිරීමට උත්සාහ ගන්නේනම් තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් නැති කටයුතු වලද නිරත වන්නට සිදුවේ. එවිට තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුතු අතපසු වන නිසා එය අකාර්යක්ෂමතාවයන්ට හේතු වේ. ඒ නිසා වටු කිරිල්ලියගේ බිත්තරය ගල් දෙබොක්කාවේ හිර වූ විට එය තමන් විසින්ම ගන්නට කාලය යොදවනවාට වඩා ඒ පිළිබඳ  විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ගල් වඩුවාගේ සේවය ලබා ගැනීම හොඳ තීරණයකි.

කෙසේ වුවද, ගල් වඩුවා වටු කිරිල්ලියට නොමිලේ සේවය සපයන්නට කැමති නැත. බිත්තර ඉවත් කිරීමට වටු කිරිල්ලියට උදවු කිරීමෙහි ආවස්ථික පිරිවැයක් තිබේ. එය වටු කිරිල්ලිය විසින් නොසැපයේනම් වටු කිරිල්ලියට අඩු මිලකට (නොමිලේ) සේවය කිරීමට ඉදිරිපත් වීම ගල් වඩුවා දකින පරිදි තාර්කික තීරණයක් නොවේ. ඒ නිසා ඔහු සිය මිල ඉල්ලා සිටී.

‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’

මෙය සැලකිය යුතු මිලකි. මේ සියල්ල ඉතා මෑත කාලයක් දක්වා සාමාන්‍ය ලාංකිකයෙකුගේ සුඛෝපභෝගී භාණ්ඩයි. අටුව යනු පැරණි ගම්බද නිවසක සබ්බ සකල මනාවම සුරක්ෂිත ලෙස ගබඩා කර තබන තැනයි. උදාහරණයක් ලෙස අටු කොස් කියන්නේ එසේ ගබඩා කර තබාගෙන පසුව ආහාරයට ගන්නා කොස්ය. සාමාන්‍ය ගැමියෙකුට අටු දෙකක ගබඩා කරන්නට තරම් දේවල් නැත. ඒ නිසා ගල් වඩුවාට දෙන්නට වැඩිපුර අටුවක් නැත. තියෙන එකම අටුව ඉල්ලීම මස් රාත්තලම ඉල්ලීමකි.

පුටුවද එවැනිම සුඛෝපභෝගී භාණ්ඩයකි. බොහෝ පැරණි ගැමි නිවෙස් වල බංකු, මැහි මිස පුටු නොතිබුණේය. පුටුවක් තිබුණේනම් ඒ ගමේ හාමුදුරුවන් වැඩිය විට සුදු රෙද්දක් එලා අසුන් ගන්නට දෙන්නට හෝ ගම් ප්‍රධානියෙකු පැමිණුනු විට මකුළු දැල් පිස දමා වාඩි වෙන්නට දෙන්නටය. එය පෙර කී අටුව මෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවීය. බොහෝ ගෙවල් වල පුටුවක් නොතිබුණේ පුටුවක් හදාගන්නටවත් ආර්ථික ශක්තියක් නොතිබුණු බැවිණි. ඇතැම් වඩුවන්ගේ ගෙවල් වල පවා පුටු නොතිබුණේය. ඒත් සමහර අයනම් තමන්ට අත්‍යවශ්‍ය උපාංගයක් වන අටුව කඩා හෝ පුටුවක් හදා අනුන්ට පෙනෙන්නට ප්‍රදර්ශනය කරන අවස්ථා ඒ කාලයේදීත් තියෙන්නට ඇත.

තුන් වැන්න බුලත් තට්ටු හතයි. බත මෙන්ම බුලතද සෞභාග්‍යයයේ සංකේතයි. අල, බතල, කොස්, දෙල්, කුරහන් වැනි විවිධ ආහාර රැසක් අතර බත් යනු 'පොෂ්' කෑමකි. අමුත්තෙකු නිවසට පැමිණි විට නිවසේ ඇති අටුව හා පුටුව ප්‍රදර්ශනය කිරීම මෙන්ම කොස්, දෙල්, කුරහන් වලින් නොසලකා බතක්ම උයා දීමත්, බුලත් පිරුණු හෙප්පුවක් පෙන්වීමත් කළ හැක්කේ ප්‍රමාණවත් තරම් සල්ලියක් අතේ ඇති අයෙකුටය. හෙප්පුවේ ඇති බුලත් කල් තබා ගත නොහැකිය. ඒ නිසා තට්ටු හතක් උසට බුලත් පුරවන්නට වෙන්නේ ජයට ගන්නා මඟුලක් වැනි අමුත්තන් රැසක් ගෙදරට එන වෙලාවකටය.

අතේ පිච්චිය නැති, එදා වේල සරි කරගැනීමට දඟලන බහුතර ගැමියන්ට 'අටුවක්, පුටුවක් හා තට්ටු හතක බුලත්' යනු සිහිනෙන් දිව ගෑ සුවඳකි. වටු කිරිල්ලියගෙන් ගල් වඩුවා ඉල්ලන්නේ මෙවැනි ඉහළ මිලකි. මෙයින් ජනකතාකරුවා විසින් අහිංසක වටු කිරිල්ලියට දරා ගත නොහැකි මිලක් ගල් වඩුවා ඉල්ලන බව අතිශයෝක්තියට නඟමින් පවසයි. වටු කිරිල්ලිය ඒ මිල ගෙවීමට සූදානම් නැත. ඒ නිසා ගනුදෙනුවක් සිදු නොවේ. එහෙත්, ඇය බලාපොරොත්තු අත් නොහරී. අඩුවෙන් වැඩේ කරගත හැකි තැනක් සොයමින් 'ෂොප් කරයි'.

ඈ ඌරා, ගිණි ගොඩ, වතුර වල හා අලියා යන වෙනත් සැපයුම්කරුවන් සිවුදෙනෙකු වෙතම යන නමුත් ඔවුන් බලාපොරොත්තු වන අවම මිලද ඇය ගෙවන්නට කැමති මිලට වඩා වැඩිය. ඒ නිසා ගණුදෙනුවක් සිදු නොවේ.

කෙසේවුවද, අවසානයේ වටු කිරිල්ලිය සිය බලාපොරොත්තු ඉටු කරගනී. කටුස්සා ඇයට දරා ගත හැකි මිලකට (කිසිවක් අය නොකරම) ඇයට අවශ්‍ය දෙය ඉටු කර දීමට ඉදිරිපත් වේ. ඇතැම් විට, කටුස්සාට අලියාගෙන් 'ඇරියස් එකක් ඇල්ලීමට' තිබුණු අවශ්‍යතාවය සමඟ වටු කිරිල්ලියගේ අවශ්‍යතාවය සම්පාත වූවා විය හැකිය. එසේ නැත්නම්, නිකම්ම ඔළුව වන වන පැත්තකට වී සිටි කටුස්සාගේ ශ්‍රමයේ ආවස්ථික පිරිවැය ශුන්‍ය වූවා විය හැකිය. එසේත් නැත්නම්, සරලවම කටුස්සා අනුන්ට උදවු කිරීමෙන් තමන්ට සතුටක් ලැබිය හැකි අයෙකු වූවා විය හැකිය.

වටු කිරිල්ලිය අන්තිමේදී ඇගේ වැඩේ 'කොහොම හරි' ගොඩ දා ගත්තේය. ඒත්, ඒ කිසිදු පිරිවැයක් නොදරමින් නොවේ. සැපයුම්කරුවන් හය දෙනෙකු හමුවෙමින්, මිල හෙට්ටු කරමින් ඇය විසින්ද සැලකිය යුතු සෙවුම් පිරිවැයක් (search cost) දරා තිබේ. 



[ලිපියට අදාළ නොවන, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන අනවශ්‍ය පරිදි යොදාගැනෙන කමෙන්ට් පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවැනි කමෙන්ට් පළවී ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි එම කමෙන්ට් ඉවත් කරනු ලැබේ.]

(Image: http://orientalbirdimages.org/)

Gadget

This content is not yet available over encrypted connections.