Tuesday, May 31, 2016

දැල්වී, දැවී යන රුපියල් හා ජීවිත


පසුගිය 2015 වසර සඳහා වූ ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව අනුව එම වසර තුළ සමාගම විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 106.5 කි. මෙය පෙර වසරේ ආදායම වූ රුපියල් බිලියන 87.9 ට සාපේක්ෂව 21.2% ක සැලකිය යුතු වර්ධනයකි. දුම්කොළ සමාගම විසින් සිය ආදායම මෙසේ ඉහළ නංවාගෙන ඇත්තේ සමාගමේ නිෂ්පාදන මත රජය විසින් පනවන බදු පසුගිය වසර තුළදීද විශාල ලෙස වැඩි කර තිබියදීය.

දුම්කොළ සමාගම විසින් පසුගිය වසර තුළ රජයට බදු ලෙස ගෙවා ඇති මුදල රුපියල් බිලියන 91.6 කි. මේ අනුව, සිය ආදායමෙන් 86%ක්ම එම සමාගම විසින් රජයට බදු ලෙස ගෙවා තිබේ. දුම්කොළ මත පනවන බදු වලින් රජය විසින් ලබන ආදායම පෙර වසරට (රුපියල් බිලියන 73.6) සාපේක්ෂව 24.5%කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව, රුපියල් බිලියන 12.6 ක ඉහළ ගිය ආදායමෙන් රුපියල් බිලියන 12.0 ක්ම ලබාගෙන ඇත්තේ රජය විසිනි.
රජයට බදු මුදල් එකතු කර දීම වසර ගණනාවකම සිට දුම්කොළ සමාගම හරහා සිදුවන ප්‍රමුඛ කාර්යයක් බව කිව හැකිය. කෙසේවුවද, දුම්කොළ සමාගමේ ලාභ පෙර වසරේ වූ රුපියල් බිලියන 8.6 ට සාපේක්ෂව රුපියල් බිලියන 10.6 ක් දක්වා 23.3%කින් වර්ධනය වී තිබේ.

දුම්කොළ සමාගමේ ආයෝජකයෙකුට වසර මුලදී රුපියල් 1060.10 කට මිල දී ගත හැකිව තිබුණු කොටසක් සඳහා රුපියල් 45.15 ක ලාභාංශ හිමි වී ඇතත් වසර අවසානය වන විට කොටස් මිල රුපියල් රුපියල් 992.50 දක්වා අඩු වී ඇති බැවින් අවසාන වශයෙන් කොටසකට රුපියල් 22.45 ක, එනම් 2.1%ක ශුද්ධ අලාභයක් සිදු වී තිබේ. ඒකාධිකාර පවත්වා ගන්නා ව්‍යාපාර වල හිමිකරුවන්ට පවා හැමවිටම ලාභ නොලැබේ. එමෙන්ම, සමාගමක් ලබන ලාභ හා එහි හිමිකරුන්ට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අතර හැමවිටම සෘජු සම්බන්ධතාවයක් නැත.


මේ වන විට (2015 ජූලි) ලංකාවේ වැඩිහිටියන්ගෙන් (මෙහිදී අදහස් කෙරෙන්නේ වයස 15ට වැඩි අයයි) 31%ක් පමණ දුම්වැටි උරති. ඔවුන්ගෙන් 91%ක්ම සිගරැට්ද 8% ක් බීඩිද ඉතිරි 1% ප්‍රධාන වශයෙන් සුරුට්ටුද උරති. ඔවුන්ගෙන් 70.7%ක් පමණම දිනපතා පුරුද්දක් ලෙස දුම්වැටි උරන්නෝය.

නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශ වල දුම්වැටි භාවිතය විශාල ලෙස වැඩිවීමෙන් පෙනෙන්නේ මේ පුරුද්දේ ඇති හානි පිළිබඳ දැනුම නගරයේ සිට ගමට යන්නේ ඉතා සෙමින් බවයි. මොණරාගල වැසියන්ගෙන් 50%ක් දුම්වැටි උරද්දී (2014 දෙසැම්බර් දත්ත) කොළඹ මේ ප්‍රතිශතය මේ වන විට 23% දක්වා අඩු වී තිබේ.

දුම්වැටි උරන්නන්ගෙන් 30.8%ක් ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද, 26.7%ක් කිසිදු විශේෂ හේතුවක් නැතිවද, 16.3%ක් එයින් සතුටක් ලැබේයැයි සිතන බැවින්ද, 15.9ක් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද, 5.8%ක් ප්‍රශ්න අමතක කිරීමටද, 4.2%ක් තනිකම මකා ගැනීම සඳහාද දුම්වැටියෙකින් සැනසෙති. වයස 24ට අඩු අය ප්‍රධාන වශයෙන් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද 40ට වැඩි අය ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද දුම්වැටි උරති. මේ අයගෙන් 73.5%ක්ම වයස 20 එළැඹීමට පෙර දුම්වැටි භාවිතය ඇරැඹු අයයි.


දුම්වැටියක මිලෙන් 86%ක් බදු ලෙස අය කිරීම බැලූ බැල්මටම අසාමාන්‍ය තත්ත්වයක් බව පෙනේ. කෙසේ වුවද, ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල දුම්වැටි සඳහා අයකරන බදු ප්‍රමාණය මේ වන විට විකුණුම් මිලෙන් 75-80% පමණ මට්ටමක පවතී. එවැනි, ඉහළ බදු අනුපාතයක් පවතිද්දීද දුම්කොළ සමාගම් සාමාන්‍යයෙන් ලාභ ලබයි. ලංකා දුම්කොළ සමාගමට අනුව මේ තරම් දැඩි නියාමනයක් යටතේ වුවද ඉහළ ගිය ඒක පුද්ගල ආදායම හා අඩු උද්ධමනය ලංකාවේ දුම්වැටි සඳහා වන ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇති බැවින් ඔවුන්ට සිය ලාභ වැඩි කරගැනීමට හැකි වී තිබේ.

දුම්වැටි පාරිභෝගිකයින් බහුතරය අඩු ආදායම්ලාභීන්ය. ඒ නිසා දුම්වැටි මත අය කරන බදු වලින් සිදුවන්නේ රටේ අඩු ආදායම් ලබන කොටස් අත ඇති සීමිත සම්පත් රජය වෙත අවශෝෂණය කර ගැනීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව රජයයන් විසින් මෙසේ බදු ලෙස අයකරගන්නා මුදල දුම්වැටි නිවාරණය සඳහා වැය කරන මුදල මෙන් 269 ගුණයකි. මේ අනුව, පෙනෙන්නේ බදු වැඩි කිරීමේදී බොහෝ විට රජයයන්හි සැබෑ අභිප්‍රාය දුම්වැටි නිවරණයම නොවන බවයි. කෙසේවුවද, මේ ඉහළ බදු හේතුවෙන් දුම්වැටි භාවිතය අධෛර්යමත් වීම හෙමින් වුවත් සිදු වෙමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිතය ජගත් සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස කලක සිටම හඳුනාගෙන ඇත. එම සංවිධානයට අනුව වසරකට ලොව පුරා මරණ මිලියන හයකට පමණ වගකියන්නේ දුම්වැටි භාවිතයයි. මේ මරණ වලින් 600,000ක් පමණ දුම්වැටි නොඋරන වෙනත් අය උරණ දුම් ආශ්වාස කරන්නෝය. දුම්කොළ සමාගම් විසින් නිර්දේශ කරන පරිදි දුම්වැටි භාවිතා කළහොත් දුම් උරන්නන්ගෙන් අඩක් පමණ පිරිසක් ඒ හේතුවෙන් මිය යාමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දුම්වැටි යනු මෙවැනි මට්ටමේ සෞඛ්‍ය හානියක් සිදුකරන එකම නීත්‍යානුකූල පාරිභෝගික භාණ්ඩයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දුම්වැටි මිලෙන් අවම වශයෙන් 70%ක් බදු ලෙස අය කරගත යුතු බවයි. ඔවුන්ගේ අධ්‍යයනයන් අනුව, දුම්වැටි මිල 10%කින් වැඩි කළ විට මැදි ආදායම් රටක දුම්වැටි භාවිතය 5%කින් පමණ අඩුවේ. එමෙන්ම, රටේ ආදායම හා උද්ධමනය සලකා බලමින් දුම්වැටි භාවිතය වැඩි නොවන පරිදි දිගින් දිගටම බදු ඉහළ නැංවිය යුතුබවද නිර්දේශයකි. ඒ අතරම, මිල අඩු බීඩි වැනි ආදේශක වෙත පාරිභෝගිකයින් යොමු වීම වැළැක්වීම සඳහා එවැනි නිෂ්පාදන මතද සමාන්තරව බදු නොපැනවුවහොත් අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය නොලැබෙන්නට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේම තවත් නිර්දේශයක් වන්නේ දුම්වැටි අසුරනයක මතුපිට වර්ග ප්‍රමාණයෙන් අඩු වශයෙන් 50%ක්වත් ආවරණය වන පරිදි දුම්වැටි භාවිතයේ ආදීනව පෙන්වන රූපමය දැනුවත් කිරීම් මුද්‍රණය කර තිබිය යුතු බවයි. ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියෙන්ම සිටින රටකි.

කෙසේවුවද, අසුරණයේ රූප දැන්වීම් මුද්‍රණය කිරීම ලංකාවේදී එතරම්ම ඵලදායී කටයුත්තක් බව නොපෙනේ. පවතින ඉහළ මිල යටතේ බහුතරය අඩු ආදායම්ලාභීන් වන ලංකාවේ දුම් උරන්නන් 95%කට පමණ දුම්වැටි පැකට්ටුවක් එකවර මිලදී ගැනීමේ හැකියාව නැත. ඔවුන් දුම්වැටි මිලදී ගන්නේ වරකට එකක් හෝ කිහිපයක් බැගින් නිසා දුම්වැටි අසුරන වල ඇති රූප අවවාද කිසිවිටෙකත් ඔවුන්ගේ ඇස නොගැටේ. සිගරැට් පැකට්ටුවක් වරකට මිලදී ගැනීමේ හැකියාව ඇති බොහෝ දෙනෙකු දුම්පානයේ ආදීනව කොහොමටත් හොඳින්ම දන්නා "හාඩ් කස්ටමර්ස්ලා"ය.

දුම්වැටි නිවාරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ මේ සඳහා අළුතින් එකතු වන අඩුවයස් පාරිභෝගිකයින් අධෛර්යමත් කිරීම කෙරෙහිය. ලංකාව සඳහා වඩා සුදුසු ක්‍රමවේදයක් ලෙස මා සිතන්නේ සිගරැට් විකුණන සෑම ස්ථානයකම දැනට සිගරැට් අසුරණයේ මුද්‍රණය කරන ආකාරයේ රූපමය අවවාද සහිත විශාල පෝස්ටර් හෝ කටවුට් ප්‍රදර්ශනය කිරීමට නියම කිරීමයි. මෙයද දුම්කොළ සමාගම හරහාම ක්‍රියාත්මක කරවිය හැකිය.

අද (මැයි 31) ලෝක දුම්වැටි නිවාරණ දිනයයි!


(Image: synergyy.com)

Saturday, May 28, 2016

තෙසක්රියක ගමනක්...


මේ වන විට ලංකාවේ ලියාපදිංචි වාහන ගණන ලංකාවේ මුළු පවුල් ගණනට වඩා වැඩිය. මේ වාහන වලින් අඩකටත් වඩා මෝටර් සයිකල්ය. පසු ගිය වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් සයිකල් ගණන 3,359,501 කි. පසුගිය 2015 වසර තුළ අළුතින් ලියා පදිංචි කර ඇති මෝටර් සයිකල් ගණන පමණක් 370,889 කි.

වාහන කාණ්ඩ අතරින් දෙවන තැන ගන්නේ ත්‍රිරෝද රෝද රථයි. පසුගිය වසර තුළදී ලියාපදිංචි කර ඇති රථ 129,547ක් ද සමඟ පසුගිය වසර අවසානය වන විට රට තුළ වූ ත්‍රිරෝද  රථ ගණන මිලියනය ඉක්මවා (1,059,042) ඇත. මේ අනුව, පවුල් පහකින් එකක් ත්‍රිරෝද රථයකට හිමිකම් කියයි. 


බොහෝ දෙනෙකු ත්‍රිරෝද රථයක් මිලදී ගනු ලබන්නේ පෞද්ගලික පරිහරණය සඳහාම නොවේ. ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවාවන් සපයා ආදායමක් ලබා ගැනීම සඳහාය. ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවා සැපයුම වැඩි බවත්, හන්දියක් හන්දියක් ගානේ ත්‍රිරෝද රථ කුලියට දීම සඳහා බලා සිටින්නන් සුලභ බවටත්, ඔවුන් බොහෝ විට නිකරුණේ කාලය ගත කරන බවටත් මැසිවිලි නැඟෙනු පෙනේ.

මා සිතන පරිදි ලංකාවේ වත්මන් ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවා සැපයීමේ වෙළඳපොළ අඩුම වශයෙන් සාධනීය ලක්ෂණ දෙකක් පෙන්වයි. පළමුව, මේ වෙළඳපොළ සංකල්පීය තරඟකාරී වෙළඳපොළකට ඉතා ආසන්න බව පෙනේ. තරඟකාරී වෙළඳපොළක් එහි ගණුදෙණු සඳහා සහභාගී වන විශාල පිරිසකට මෙන්ම සමස්තයක් ලෙස රටටද සැලකිය යුතු ප්‍රතිලාභ සපයයි. දෙවනුව, ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවා සැපයීමේ කර්මාන්තය විශාල පිරිසකට කුඩා පරිමාණ ව්‍යවසායකයින් වීමට අවස්ථා සලසයි.


ත්‍රිරෝද රථ සේවා සපයන්නෙකු ත්‍රිරෝද රථයක් මිල දී ගැනීම සඳහා මූලික ප්‍රාග්ධනයක් යෙදවිය යුතුය. බොහෝ විට මේ ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරා ගැනෙන්නේ කල්බදු පහසුකමක් හරහාය. ඉන්පසු ඉන්ධන සඳහා විචල්‍ය පිරිවැයක් දැරිය යුතුය. රියදුරු ශ්‍රමය යෙදවෙන ප්‍රධාන ආකෘති දෙකක් තිබේ. පළමුවැනි ආකෘතිය ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් සෘජුවම සේවා සැපයීමයි. මෙහිදී ව්‍යවසායකයා හා ආයෝජකයා එක් අයෙකි.

දෙවන ආකෘතිය යටතේ සිදුවන්නේ අයිතිකරු විසින් ත්‍රිරෝද රථ සේවා සැපයීම වෙනත් අයෙකුට පැවරීමයි. මෙය බොහෝ විට සිදුවන්නේ දිනකට කිසියම් කුලියක් අයකර ගැනීමේ පදනම මතයි. මෙහිදී අයිතිකරු විසින් කරන කාර්යයේ ලොකු අවදානමක් නැත. එහිදී සිදුවන්නේ ආයෝජනයකි. ව්‍යවසායකයා වන්නේ මේ ව්‍යාපාරයේ අවදානම ගන්නා, අවසානයේදී ත්‍රිරෝද රථ සේවා සපයන රියදුරාය. ත්‍රිරෝද රථ සේවා සැපයීමේ කර්මාන්තය පුළුල් වන ආකාරයෙන් පෙනෙන්නේ මේ සේවාවන් සඳහා ඇති ඉල්ලුම මෙන්ම, කර්මාන්තය වෙත ඇදෙන නව ව්‍යවසායකයින් ගණනද එන්න එන්නම වැඩි වන බවයි.


පළමුව, ඉල්ලුම් සාධක දෙස බැලූ විට මෙයින් පිළිබිඹු වන්නේ පසුගිය කාලය තුළ මැදි ආදායම් ලබන රටක් ලෙස ඉදිරියට පැමිණි ලංකාවේ ආදායම් ඉහළ ගොස් තිබීම හා ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයින් තමන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් කර ගැනීමට දරන උත්සාහයයි. උද්ධමනය අඩු මට්ටමක පැවතීම මේ තත්ත්වයට තවදුරටත් ඉවහල් වී තිබේ. ත්‍රිරෝද රථ සේවාවන් සඳහා යමෙකු මුදල් වැයකරන්නේ ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුවය.

අනෙක් අතට, මේ කර්මාන්තයට තවදුරටත් අළුත් ව්‍යවසායකයින් ඇදෙන්නේ කර්මාන්තයේ ලාභ ඇති නිසාය. දවසේ පැය ගණනක් එක තැනක නිකරුණේ කාලය ගත කළද, දුවන හයර් කිහිපයෙන් දවසේ ශ්‍රමය වෙනුවෙන් සැලකිය යුතු යමක් ලැබෙන බව පෙනේ. ඇත්තටම ත්‍රිරෝද රථ රියදුරකු දිනකට උපයන මුදලින් ඉන්ධන සඳහා වැය වන විචල්‍ය පිරිවැය හා කල්බදු වාරික හෝ අයිතිකරුගේ දෛනික කුලිය ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන මුදල ලාභයක්ම නොවේ. රියදුරුගේ දෛනික ශ්‍රමයේ වටිනාකමද එහි ඇතුළත්ය. 


ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සපයන වෙළඳපොළ වැනි විශාල තනි පාරිභෝගිකයින් පිරිසක් මෙන්ම, එවැනිම සංවිධානය නොවූ තනි සේවා සපයන්නන් විශාල ගණනක් සිටින, ඒකාධිකාර නැති, තරඟකාරී වෙළඳපොළක ඉල්ලුම හා සැපයුම ස්වයංක්‍රීයවම සමතුලිත වන අතර එය සිදුවන්නේ මිල වෙනස්වීම් මඟිනි.  මෙවැනි වෙළඳපොළක සේවා සපයන්නෙකුට තමන්ගේ ශ්‍රමයේ වටිනාකම හා ගන්නා අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් හැරුණු විට 'සුපිරි ලාභ' ලැබිය නොහැකිය. ඒ නිසා, පාරිභෝගිකයින්ට අඩුම මිලකට හොඳ සේවාවක් ලබා ගැනීමට හැකිවන අතර, මිල අඩු වුවද මේ අඩු මිල නිසා වැඩි වන ඉල්ලුම විසින් නව ව්‍යවසායකයින් දිරිමත් කරයි. 

මෙවැනි තරඟකාරී වෙළඳපොළක කිසිදු සේවා සපයන්නෙකුට අනෙක් අයට වඩා වැඩි මිලක් අය කිරීමේ හැකියාවක් නැත. වෙනත් සේවා සපයන්නන් ඕනෑ තරම් සිටින නිසා එයින් සිදුවන්නේ පාරිභෝගිකයා වෙනත් සේවා සපයන්නෙකු වෙත යාමයි. එමෙන්ම, අනෙක් අයට වඩා අඩුවෙන් අය කිරීමේ හැකියාවක්ද නැත. අය කරන මිල සේවා සැපයිය හැකි අවම මිල නිසා එසේ කිරීම පාඩුවකි. ඒ නිසා (විශේෂ තත්ත්වයන් යටතේ හැර) මිල ස්ථාවරව පවතී. ඒ නිසා, සේවා සපයන්නට තරඟ කරන්නට වෙන්නේ වඩා හොඳ සේවාවක් සැපයීම මඟිනි.

මෙය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම අපහසු නැත. බොහෝ සේවා සපයන්න
න්ට තමන්ගේම වූ පාරිභෝගිකයින් සිටින අතර ඔවුහු ජංගම දුරකථන සම්බන්ධතා හරහා සම්බන්ධීකරණය වෙති. මෙවැනි ස්ථිර පාරිභෝගිකයින් ඇති කරගැනීම මඟින් සේවා සපයන්නෝ තමන්ගේ අවදානම තරමක් අඩු කරගනිති. එමෙන්ම, එවැනි පාරිභෝගිකයෝද සිය සේවාවේ තත්ත්වය ගැන සහතිකයක්ද සහිතව හොඳ මිලක් ලබා ගනිති.

ත්‍රිරෝද සේවා සැපයුම ඉල්ලුමට වඩා වැඩිනම් මිල නියම මට්ටමටත් වඩා පහළට වැටීමෙන් මේ සේවාව මඟින් ප්‍රමාණවත් ලාභයක් ලැබිය නොහැකි වනු ඇත. මෙය සිදු වන විට මේ කර්මාන්තයට අළුතින් සේවා සපයන්නන් එකතු වීම ස්වයංක්‍රීයවම අඩුවීම නිසා නැවතත් මිල ඉහළ ගොස් ඉල්ලුම සැපයුම සමතුලිත වනු ඇත. රජය විසින් ඇඟිලි ගසා කෘතීම ලෙස ඉල්ලුම හා සැපයුම පාලනය නොකරනවානම් වෙනත් බොහෝ කර්මාන්තයන්හි වැඩි ලාභ නැතිවී මෙවැනි කාර්යක්ෂම තත්ත්වයක් ඇති වනු ඇත.

පසුගිය කාලයේ රටේ ආදායම වැඩි වීම හා අඩු උද්ධමනය ත්‍රිරෝද රථ සේවා සඳහා ඉල්ලුම වැඩි කළාක් මෙන්ම, සැපයුම වැඩි වීමට හේතු වූ කරුණුද තිබේ. කලක් පැවති සාපේක්ෂව අඩු පොලී අනුපාතික හා ස්ථාවරව පැවති විණිමය අනුපාතිකය මේ අතරින් ප්‍රධාන සාධක වූ අතර රටේ පහළ මැදි ආදායම් ලබන පුද්ගලයෙකුට වුවද ත්‍රිරෝද  රථයක් මිලදී ගැනීම කළ හැකි දෙයක් බවට පත් කර තිබේ. තෙල් මිලෙහි බලපෑමනම් මිශ්‍ර එකකි. එක් අතකින් අඩු තෙල් මිල පයින්
යන්නන් හා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් ත්‍රිරෝද රථ වෙත ආකර්ශනය කරන අතර තවත් අතකින් වැඩි තෙල් මිල පෞද්ගලික මෝටර් රථ හා ටැක්සි භාවිතා කරන්නන් ආකර්ෂණය කරයි. සමස්තයක්  ලෙස අඩු තෙල් මිල කර්මාන්තයට වාසිදායක බව මගේ අදහසයි.

ත්‍රිරෝද රථ රියදුරන් ලෙස සේවය කරන බොහෝ දෙනෙකු ඉහළ අධ්‍යාපනයක් නොලැබූ හා සමාජයේ ඉහළ ස්ථර සමඟ ලොකු සමාජ සම්බන්ධතා නොමැති අයයි. රජයේ රැකියා බලා සිටිමින් බෝක්කු උඩ හෝ පහන් කණු යට රස්තියාදු නොවී මේ කර්මාන්තයට පිවිසීම තුළින් ඔවුහු රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙති.  ඔවුන්ගේ දායකත්වය ඔබ සලකා බැලිය යුත්තේ මේ සේවාව නිසා ඔබට ඉතිරි වූ කාලය ගැන සිතමිනි.
ඔවුන් පැය ගණනක් ත්‍රිරෝද රථ ගාලක රස්තියාදු වීම ගැන සිතිය යුත්තේ මුළු දවසම නිකරුණේ රස්තියාදු වීමේ විකල්පයට සාපේක්ෂවය.

පෞද්ගලික මෝටර් රථ හිමිකරුන්වන්නම් ත්‍රිරෝද රථ නිසා ඇති වන මාර්ග තදබදය අවාසියක් ලෙස සිතන්නට පුළුවන. එහෙත්, මාර්ග නඩත්තුව සිදුවන්නේ රටේ සියල්ලන්ගේම මුදලින් නිසා එසේ සිතීම නිවැරදි නැත.

මෑතකදී ඉහළ ගිය විණිමය අනුපාතය හා බදු නිසා ඉදිරි කාලයේදී ත්‍රිරෝද රථ සේවා සැපයුම අඩු විය හැකිය. කෙසේ වුවද, විණිමය අනුපාතය වෙනස්වීම හා රාජ්‍ය අයවැය හිඟය අඩුවීම අතවශ්‍ය නිවැරදිවීම්ය. මෙහිදී ත්‍රිරෝද රථ සේවා කර්මාන්තයේ සිදුවනු ඇත්තේ මේ සාර්ව-ආර්ථික වෙනස්කම් පිළිබිඹු කරමින් ඉල්ලුම හා සැපයුම අලුත් සමතුලිතතාවයක් කරා එළැඹීමයි.

Thursday, May 26, 2016

ඩයස්පෝරා සල්ලි!

මේ වන විට ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ලොව පුරා පැතිරුණු විශාල ප්‍රජාවකි. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව, 2013 වන විට ලංකාවෙන් වෙනත් රටකට සංක්‍රමණය වී සිටි පුද්ගලයින් ගණන මිලියන 1.8ක් පමණ වේ. පසුගිය වසර තුන තුළ සංක්‍රමණය වූ පිරිස්ද එකතු කළ විට මේ ගණන මිලියන 2 ඉක්මවා තිබෙන්නට ඉඩ තිබේ. 2015 දී රටේ ජනගහණය මිලියන 21 ක් පමණක් වූ බව සැලකූ විට මේ ගණන සැලකිය යුතු ප්‍රතිශතයකි. එමෙන්ම, ඉහත ඇස්තමේන්තුවට ලංකාවෙන් පිටත ඉපදුණු දෙවන පරම්පරාවේ සංක්‍රමණිකයින් ඇතුළත්ව නැත.

තාවකාලිකව හෝ ස්ථිර ලෙස මෙසේ වෙනත් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ රට තුළ වෙසෙන සිය නෑදෑ හිතවතුන්ට වාර්ෂිකව සැලකිය යුතු මුදලක් එවති. පසුගිය 2015 වසර තුළ මෙසේ එවූ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ වේ. මේ අනුව, එක් අයෙකු විසින් එසේ එවා ඇති මුදල ඩොලර් 3,932 ක් පමණ වේ. මේ මුදල 2015 දී ශ්‍රී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 3,924ටද වඩා මඳක් වැඩි මුදලකි. පහත රූප සටහනේ ඇත්තේ පසුගිය කාලය තුළ මෙසේ සංක්‍රමණිකයින් විසින් රට තුළට එවූ අරමුදල් ඉහළ ගිය ආකාරයයි.





ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේත්, වැඩිම මුදලක් ලංකාවට එවන රට වන්නේත් සවුදි අරාබියයි. සාමාන්‍ය අදහස වන්නේ මැද පෙරදිග රටවලට රැකියා සඳහා යන පිරිස් රටට මුදල් එවන නමුත් බටහිර රටවලට සංක්‍රමණය වන පිරිස් එසේ නොකරන බවයි. ලෝක බැංකුව විසින් මේ ඇස්තමේන්තු සිදුකළ ක්‍රමවේදය ගැන මා නොදන්නා නමුත් ඔවුන්ගේ මේ ඇස්තමේන්තු අනුවනම් පෙනීයන්නේ එය එසේ නොවන බවයි. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව විවිධ රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් විසින් රට තුළට එවන සාමාන්‍ය මුදල් ප්‍රමාණයේ විශාල වෙනස්කම් නැත. වැඩිම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ප්‍රමාණයක් ජීවත් වන රටවල් 25 හා අදාළ ලෝක බැංකු ඇස්තමේන්තු පහත වගුවේ තිබේ.


[වගුවේ ඇති එක් එක් රට හා අදාළ සංඛ්‍යා ලෝක බැංකුවේ ඇස්තමේන්තු වන අතර නිල සංඛ්‍යාලේඛණ නොවේ. ලෝක බැංකුව විසින් මේ ඇස්තමේන්තු සිදු කර ඇති ක්‍රමවේදය අනුව රටවල් අතර මෙහි කර ඇති සැසඳීම නිවැරදි නොවිය හැකිය. කෙසේවුවද, රටට පැමිණි මුළු ප්‍රේෂණ ප්‍රමාණය මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ සමඟ සැසඳේ.]

Tuesday, May 24, 2016

පටිභාග නිමිත්ත කුමක්ද?


බෞද්ධ භාවනා ප්‍රධාන වර්ග දෙකකට බෙදේ. සමථ භාවනා සහ විපස්සනා භාවනා වශයෙනි. මේ දෙවර්ගයෙන් වඩා උසස් ලෙස සැලකෙන්නේ විදර්ශනා භාවනාවන්ය. සමථ භාවනා ඇත්තටම බෞද්ධ භාවනා ලෙස දියුණු කරනු ලැබූ භාවනා නොවේ. සමථ භාවනා පිලිබඳ දැනුම බුද්ධ කාලයට බොහෝ කලකට පෙර සිටම වත්මන් ඉන්දියාවට අයත් පෙදෙස් වල පැවති දැනුමකි.

බුද්ධ කාලයට පෙර, බුද්ධ කාලයේ හා බුද්ධ කාලයෙන් පසුව සමථ භාවනා පුහුණු කළ විවිධ පුද්ගලයින් අතර බෞද්ධයෝ මෙන්ම අබෞද්ධයෝද සිටියහ. සමථ භාවනා යනු බෞද්ධ සම්ප්‍රදාය තුළට අවශෝෂණය කර ගැනුණු එවකට පැවති දැනුමකි. සිද්ධාර්ථ ගෞතමයන් විසින්  බුද්ධත්වයට පෙර ආලාර කාලාම, උද්දක රාමපුත්ත ආදී ගුරුවරුන්ගේ අධීක්ෂනය යටතේ මේ සමථ භාවනා හැදෑරීය.

මා දන්නා පරිදි, සමථ භාවනාවකදී කරන්නේ යම්කිසි බාහිර නිමිත්තක් (කර්මස්ථානයක්) අරමුණු කර ගනිමින් චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීම පුහුණු කිරීමයි. බෞද්ධ භාවනා පුහුණුවීම් වලදී භාවිතා කරන මෙවැනි කර්මස්ථාන හතළිහකි. ඒ අතරින් දහයක් දස කසිණ ලෙස හැඳින්වේ.  මේ දස කසිණ වලදී අරමුණු කරන්නේ ඉන්ද්‍රියයක් හරහා ලැබෙන නිශ්චිත සංඥාවකි. එම සංඥා අතරින් හතරක් ස්පර්ශය හා මුල්ව ලැබෙන සංඥා වන අතර ඉතිරි පහක් දෘෂ්ඨිය මුල් කර ගත් සංඥාවන්ය. මා සිතන පරිදි ආකාශ කසිණයේදී අරමුණු වන්නේ දෘශ්‍ය හෝ ස්පර්ශ සංඥාවක් නොලැබීමයි. ඒ නිසා එය මේ දෙකටම සම්බන්ධය.

දස කසිණ

1.  පඨවි කසිණය
2.  ආපෝ කසිණය
3.  තේජෝ කසිණය
4.  වායෝ  කසිණය
5.  නීල කසිණය
6.  පීත කසිණය
7.  ලෝහිත කසිණය
8.  ඕදාත කසිණය
9.   ආකාශ කසිණය
10. ආලෝක කසිණය

ඉහත ලැයිස්තුවේ ඇති අවසන් කසිණ භාවනා හය දෘෂ්ඨිය හා සම්බන්ධය.  මා පෞද්ගලිකව මේ භාවනා කිසිවක් සාර්ථකව පුහුණු කර නැති නිසා එම භාවනා පුහුණු කිරීමෙන් ලැබෙන අත්දැකීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් මට නැත. එහෙත්, මේ භාවනා ක්‍රම කලක් පුහුණු කළ අය දුලබ නැත. බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකුටද එවැනි පුහුණුවක් හා අත්දැකීම් ඇති බව සටහන් කර තිබෙනු මා දැක ඇත.

බුද්ධ කාලයේ, බුද්ධ කාලයට පෙර හා ඉන් පසුව වර්තමානය දක්වා කසිණ භාවනා පුහුණු කර ඇති බෞද්ධ හා අබෞද්ධ විවිධ පුද්ගලයින් විසින් වාර්තා කර ඇති ඔවුන් ලැබූ අත්දැකීම් වල වෙනස්කම් නැත. ඒ නිසා, මේ අත්දැකීම් ඔවුන්ගේ සැබෑ අත්දැකීම් බවත්, එම භාවනා පුහුණු කරන බෞද්ධ හෝ අබෞද්ධ වෙනත් අයෙකුට අවශ්‍යනම් ලබාගැනීමට බාධාවක් නැති අත්දැකීම් බවද පැහැදිලිය.


කසිණ භාවනාවකින් (සහ වෙනත් සමථ භාවනා දොළහකින්) ලැබෙන අත්දැකීමෙහි අදියර තුනකි.
1. පරිකම්ම නිමිත්ත,
2. උග්ගහ නිමිත්ත, හා
3. පටිභාග නිමිත්ත වශයෙනි.

උදාහරණයක් ලෙස නීල කසිණය ගතහොත් මේ භාවනාව වඩන්නේ නිල් රෙදිකඩක් භාවිතා කරගෙන එහි නිල් පැහැය අරමුණු කර ගනිමිනි. පරිකම්ම නිමිත්ත මේ නිල් පැහැති රෙදිකඩයි. පළමු අදියරේදී පුහුණු වන්නේ මේ රෙදිකඩෙහි ඇති නිල් පැහැය කෙරෙහිම අරමුණු පවත්වා ගැනීමටය. දෙවන අදියරේදී, මේ රෙදිකඩ තවදුරටත් අවශ්‍ය නොවේ. වෙනතක බැලුවද, දෑස් පියාගත්තද මේ රෙදිකඩම පෙනේ. කෙසේ වුවද, මේ දෙවන අදියරේදී පෙනෙන්නේද රෙදිකඩෙහි ඇති නිල් පැහැයමය.

තෙවන අදියරේදී, මෙසේ පෙනෙන රෙදිකඩ තුලින් ඉතා දීප්තිමත් පැහැදිලි නිල් පැහැයක් පෙනේ. එය පරිපූර්ණ නිල් පැහැයකි. රෙදිකඩෙහි පෙනුණු නිල් පැහැයෙහි ඇති අඩුපාඩු එහි නැත. මේ අවසන් අවස්ථාව දක්වා පැමිණි භාවනායෝගියාට නිල් පැහැය මනසින් පාලනය කළ හැකිය. එය අවකාශය පුරා පැතිරවිය හැකිය. වෙනත්, කසිණ හා අදාළවද ලැබෙන අත්දැකීම මෙයට සමානය. ලෝහිත කසිණය වැඩූ විට අත්දැකිය හැකි පටිභාග නිමිත්ත දීප්තිමත් රතු පැහැයකි.

එසේනම් මේ පටිභාග නිමිත්ත කුමක්ද? මේ ඒ ගැන මගේ අදහසයි.


[කියවන්න: තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)
තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)]


නිල් පැහැති රෙදිකඩකින් පරාවර්තනය කර එවන්නේ දෘශ්‍ය වර්ණාවලියේ එක් අන්තයක ඇති කෙටි තරංග ආයාමයි. නිල් පැහැති රෙදිකඩක් දෙස දිගින් දිගටම අවධානයෙන් බලා සිටින විට ඇසේ නිල් කේතු සෛල එහි උපරිමයටම ආරෝපණය වේ. එහෙත්, රතු හා කොළ  කේතු සෛල ආරෝපණය වන්නේම නැත. කෙසේ වුවද, රෙදිකඩෙහි නිල් පැහැය අංග සම්පූර්ණ නිල් පැහැයක් නොවන නිසා එයින් යම් තරමකට වෙනත් තරංග ආයාමද පරාවර්තනය විය හැකිය.

එකම පැහැයක් දෙස වැඩි වේලාවක් බලා සිටින විට එම පැහැයට සංවේදී වන කේතු සෛල විඩාවට පත් වේ. මෙවැනි අවස්ථාවක වෙනත් පැහැයකින් යුතු පසුබිමක් වෙත ඇස් යොමු කළද එම සෛල ක්ෂණිකව ක්‍රියාත්මක නොවේ. උදාහරණයක් ලෙස ඔබ රතු පැහැති පසුබිමක් දෙස සෑහෙන වෙලාවක් බලා සිටීමෙන් පසු සුදු ආලෝකය දෙස බැලුවොත් ඔබට පෙනෙන්නේ කොළ පැහැයකි. ඒ, වෙහෙසට පත් ඔබේ රතු කේතු සෛල ප්‍රතිචාර දැක්වීමට කල් ගන්නා අතරතුර ඔබ දකින සුදු ආලෝකයේ රතු පැහැය රතු පෙරනයක් යෙදූ අයුරින් පෙරෙන බැවිනි. මෙසේ කේතු සෛල විඩාවට පත් වන නිසා, නිල් රෙදිකඩක් දෙස එක දිගටම බලා සිටින විට
ම කාර්යය එන්න එන්නම අසීරු වේ.

මා සිතන පරිදි සමථ භාවනාවේ දෙවන අදියරේදී වෙන්නේ මෙසේ වෙහෙසට පත්ව කහ පැහැය සොයන, නිල් අන්තයේ ආරෝපණය වී ඇති කේතු සෛල පුහුණුව මඟින් තව දුරටත් එසේම රඳවා ගැනීමයි. වෙනත් අයුරකින් කිවහොත් ඇසට වැටෙන ආලෝක තරංග වල තරංග ආයාම වෙනස් වුවද කේතු සෛල ඒවාට ප්‍රතිචාර දැක්වීම පුහුණුව තුළින් පාලනය කිරීමයි. එවිට වෙනතක බැලුවද, මොළයට යන්නේ පෙර සංඥාවම බැවින් තවදුරටත් පෙර දුටු රෙදිකඩම පෙනේ.



පෙනීම සිදුවන භෞතික ක්‍රියාවලියේදී බාහිර වස්තුව, ඇසේ කේතු සෛල, මොළයට යන විද්‍යුත් සංඥාව හා මොළයේ සිදුවන දත්ත සැකසුම පිළිවෙලින් සිදුවේ. අවසානයේදී අප දකින රූපය මොළය විසින් සිදුකරන දත්ත සැකසුමේ ප්‍රතිඵලයකි. එහෙත්, අපට සිතෙන්නේ අප දකින්නේ අපෙන් පිටත ඇති බාහිර වස්තුව බවයි.

දෙවන අදියර දක්වා පැමිණෙන කෙනෙකු බාහිර වස්තුව සහ කේතු සෛල අතර සම්බන්ධය බිඳ දමා අවසන්ය. දැන් මේ පුද්ගලයාගේ දැකීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ ඇසේ කේතු සෛල වලිනි. එම ක්‍රියාවලියට අවධානය යොමු කළ විට නිල් කේතු සෛල වලින් ලබා දෙන සංඥාව පමණක් වෙන් කරගෙන කර්මස්ථානය ලෙස භාවිතා කළ නිල් රෙදිකඩ හරියටම නිල් නොවූ නිසා රතු හා කොළ සෛල වලින් අතරින් පතර එන වෙනත් සංඥා ඉවත් කර ගත හැකිය. එසේ කළ විට පෙනෙන්නේ ඉතා පිරිසිදු දීප්තිමත් නිල් පැහැයකි. එය කෙනෙකුට දැකිය හැකි හොඳම නිල් පැහැයයි. නීල කසිණය හා අදාළ පටිභාග නිමිත්ත මෙය මෙය විය යුතුය.

කෙසේ වුවද අවසානයේදී යම් පුද්ගලයෙකු විසින් දකින නිල් පැහැය හදන්නේ නිල් කේතු සෛල විසින්ද නොවේ. එය කරන්නේ නිල් කේතු සෛල වලින් පැමිණෙන සංඥාව අවබෝධ කරගන්නා මොළය විසිනි. එසේනම්, ඇත්තටම නිල් පැහැය දකින්නට මේ සංඥාවද අවශ්‍ය නැත. බාහිර වස්තුව, ඇසේ කේතු සෛල හෝ මොළයට ලැබෙන සංඥාව නැතත් කෙනෙකුට නිල් පැහැය දැකිය හැකිය. ඒ නිල් පැහැය දැන් තමන්ගේ පාලනය යටතේ තිබේ. ඒ නිසා තමන්ගේ මොළය විසින් දකින ලෝකය තුළ ඒ නිල් පැහැය තමන්ට කැමති පරිදි පතුරුවන්නට හා පාලනය කරන්නට පුළුවන.


දෘෂ්ඨිය හා සම්බන්ධ අනෙකුත් කසිණ භාවනා වලින් කෙරෙන්නේද මෙවැන්නක් විය යුතුය.

නීල කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ කෙටි අන්තයට අවධානය යොමු කර නිල් කේතු සෛල උපරිමයට ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ලෝහිත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ දිගු අන්තයට අවධානය යොමු කර රතු කේතු සෛල උපරිමයට ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


පීත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ මැදට අවධානය යොමු කර රතු හා කොළ කේතු සෛල එක සමානව ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ඕදාත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ සමස්ත පරාසය වෙත අවධානය යොමු කර නිල්, රතු හා කොළ කේතු සෛල තෙවර්ගයම එක සමානව ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ආලෝක කසිණය: කේතු සෛල අතහැර යෂ්ඨි සෛල වලින් එන ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


මේ අනුව, මේ භාවනා පුරුදු කරන කෙනකුට තමන්ගේ දැකීමේ මෙන්ම තමන් විසින් දකින ලෝකයේද සැබෑ ස්වභාවය පහසුවෙන් තේරුම් ගත හැකිය. ඒ අයුරින්ම, ස්පර්ශය හා අදාළ කසිණ භාවනා මඟින් තමන්ට දැනෙන ලෝකයේ සැබෑ ස්වභාවයද පහසුවෙන් තේරුම් ගත හැකිය. තවත් ඉන්ද්‍රියයන් ඇති නමුත් මිනිසුන් ලෝකය අවබෝධ කරගන්නේ ප්‍රධාන වශයෙන්ම දෘෂ්ඨිය හා ස්පර්ශය මඟිනි.  

(Image: www.fryba.cz)

Friday, May 20, 2016

ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන ලෙමනේඩ් දිනය අදයි!

අද (2016 මැයි 21) උතුරු ඇමරිකාවේ ජාතික ලෙමනේඩ් දිනයයි. ඇමරිකාවේ සහ කැනඩාවේ මිලියනයක් පමණ දරුවෝ අද තමන්ගේම ව්‍යාපාරයක් අරඹා ප්‍රායෝගිකව ව්‍යවසායකත්වයේ පළමු පාඩම් ඉගෙන ගනිති. මේ පාඩම අනාගත ව්‍යවසායකයින් වීමට ඔවුන් බොහෝ දෙනෙකුට උත්තේජනයක් සපයනු ඇත.

ලෙමනේඩ් දිනය සඳහා සහභාගී වන දරුවෝ සුළු පරිමාණයෙන් වුවත් ලොකු සමාගමක් කරන සියළු කටයුතු කරන්නට උගනිති. මෙදින තමන්ගේම ලෙමනේඩ් අලෙවිසැලක් ඇරඹීමේ පළමු පියවර වන්නේ ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කිරීමයි. ලෙමනේඩ් දිනය සඳහා ලියාපදිංචි වී ව්‍යාපාරික ස්ථානයක් තෝරාගැනීමෙන් අනතුරුව ලෙමනේඩ් රෙසිපියක් සොයා ගැනීම, විකිණීමට හැකියැයි සිතන ලෙමනේඩ් කෝප්ප ග
ණන ඇස්තමේන්තු කිරීම, ස්ථිර හා විචල්‍ය පිරිවැය ගණනය කිරීම, මිල තීරණය කිරීම හා අවශ්‍ය මූලික ආයෝජනය ඇස්තමේන්තු කිරීම සිදු කළ යුතුය. අවශ්‍යනම්, මේ ව්‍යාපාරය සඳහා හවුල්කරුවෙකු හෝ සේවකයෙකු සොයා ගැනීමටද පුළුවන. ඉන්පසුව ආයෝජකයෙකු සොයාගත යුතුය. මේ ආයෝජකයා සිය දෙමවුපියන්ගෙන් කෙනෙකු හෝ වැඩ සටහනට සහයෝගය දක්වන වෙනත් බාහිර පුද්ගලයෙකු විය හැකිය.

මෙසේ අද දින මල්වර වන කුළුඳුල් ව්‍යවසායකයෙකුට දිනය අවසානයේ ලැබෙන ආදායමෙන් ආයෝජකයාගෙන් ලබාගත් මූලික ප්‍රාග්ධනය හා එයට අදාළ පොලියත්, සේවක වියදම් ඇත්නම් ඒවාත් ගෙවා දැමීමෙන් අනතුරුව ඉතිරි වන ලාභය තමන්ට කැමති පරිදි ඉතිරි කිරීමට, වියදම් කිරීමට හා/හෝ කිසියම් අරමුදලකට ප්‍රදානය කිරීමට පුළුවන. මේ සියළු කටයුතු සිදුවූ ආකාරය පිලිබඳ වාර්තාවක් ලෙමනේඩ් දින සංවිධායකයින්ට ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් ඇති අතර ඒ වාර්තා අනුව  තෝරාගන්නා ව්‍යවසායකයින්ට ත්‍යාග මුදල් හිමි වේ.

ලෙමනේඩ් දිනය මයිකල් හෝල්ට්හවුස්ගේ සංකල්පයකි.



මයිකල් ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු විසින් ආරම්භ කළ පරිගණක ජාල සේවාවන් සපයන සමාගම වසර හයක් වැනි කෙටි කලක් තුළ සේවකයන් 1600කට රැකියා සපයන, ඩොලර් මිලියන 100ක ආදායමක් උපයන ව්‍යාපාරයක් ලෙස දියුණු කළ ඔහු 1997දී මෙම ව්‍යාපාරය ස්ප්‍රින්ට් සමාගමට විකුණා දැමීමෙන් පසු වැඩි වශයෙන් පුණ්‍ය කටයුතු වල නිරතව සිටී. ව්‍යවසායකයින් සමාජ ද්‍රෝහීන් ලෙස නොව වීරයන් ලෙස සලකන ඇමරිකාවේ මයිකල්ලා වැනි සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ නිර්මාණශීලී අදහස් ක්‍රියාවට නංවමින් රටේ ආර්ථිකයට අගයක් එකතු කිරීමට, තවත් බොහෝ දෙනෙකුට රැකියා ලබා දී ආදායම් උපයා ගැනීමට උදවු වීමට, රජයට ගෙවන ආදායම් බදු හරහා පොදු කටයුතු වලට හා සුබසාධනයට දායක වීමට, ආර්ථිකයට තමන් විසින් එකතු කළ අගයෙන් වෙනත් අයගේ හා රජයේ කොටස් වෙන් කර ඉතිරිය ලබාගෙන ධනවත් වීමට මෙන්ම ඒ ධනයෙන් නැවත සමාජයට මෙහෙවරක් කිරීමටද කාලයක් තිස්සේම ඉඩකඩ සැලසී තිබුණේය. රටවල් ඉදිරියට යන්නේ මයිකල් වැනි ව්‍යවසායකයන්ගේ නිර්මාණශීලීත්වය නිසා මිස ප්‍රාග්ධනය නිසා නොවේ. නිර්මාණශීලීත්වය ඇති තැන ප්‍රාග්ධනය නිර්මාණය වේ. දැන් ඔහුගේ උත්සාහය ඇමරිකාවට තවත් ඉදිරියට යන්නට දිරි දෙන්නට තවත් අනාගත ව්‍යවසායකයින් රැසක් බිහි කිරීම සඳහා කිසියම් මෙහෙවරක් කිරීමයි. 

නිර්මාණශීලී අදහස් ඇත්තේ ඇමරිකානුවන්ට පමණක් නොවේ. කොයි රටේත් නිර්මාණශීලී මිනිස්සු සිටිති. එහෙත්, ඇතැම් රටවල මේ අදහස් වලට ප්‍රමාණවත් ඉඩක් නොලැබේ. කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව නිසා දැන් බොහෝ දෙනෙකුගේ නිර්මාණශීලීත්වයට මතුවන්නට තිබුණු බාධා ඉවත් වී තිබේ.

දුම්රිය මිතුරන්ගේ දිවා ආහාර පැකට් ගංවතුරින් විපතට පත් වූවන්ට බෙදාදීම වැනි සරල එහෙත් ඉතා සාර්ථක අදහසක් ක්‍රියාවට නංවමින් නලීන් දිල්රුක්ෂ විසින් පෙන්වා දී ඇත්තේ එයයි. පසුගිය සියවසේදී පරිප්පු මහත්තුරුන් වෙන්නට හැමෝටම බැරි වුණත්, සමාජජාල වල උදවුවෙන් ලන්ච්පැකට් මහත්තුරු වෙන්නට නලින්ලාට හැකි වී ඇති අතර ඔහුගේ සංකල්පය වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ක්‍රියාත්මක කිරීම මඟින් පෙනෙන්නේ එම සංකල්පයේ ඵලදායීත්වයයි. ලන්ච්පැකට් සංකල්පය හරහා මේ ලන්ච්පැකට් මහත්තයා විසින් ප්‍රදර්ශනය කර ඇති නිර්මාණශීලිත්වය හා ඉටුකර ඇති මෙහෙවර පසුගිය සියවසේ මුල එවැනි දේ කළ පරිප්පු මහත්තුරුන්ගේ මෙහෙවරට වඩා අඩුවෙන් තක්සේරු කළ යුතු නැත.  


(මෙම ලිපිය දිනක් කලින් පළවේ.)

(Image: bizkidsrochester.wordpress.com)

Tuesday, May 17, 2016

ග්‍රෙගෝරියන් අවුරුද්ද, නක්ෂත්‍ර අවුරුද්ද හා ඉකොනොමැට්ටාගේ අවුරුද්ද


වර්තමාන ලෝකයේ ලංකාවද ඇතුළු බොහෝ රටවල භාවිතා වන ප්‍රමුඛ දින දසුන වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ දවසක් යනු කුමක්ද යන්නත්, පැරණි සිංහල දින දසුනේ දවසක් යනු කුමක්ද යන්නත් අපි පෙර ලිපියෙකින් කතා කළෙමු. ග්‍රෙගෝරියන් දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා කරකැවී, එම අක්ෂයට ලම්බකව පිහිටි තලයකට පෘථිවි මධ්‍යයේ සිට සූර්යයා පිහිටි තැන දක්වා ඇඳිය හැකි මනඃකල්පිත රේඛාවක ප්‍රක්ෂේපනය කරා නැවත පැමිණීමට ගතවන කාලයයි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලයට වඩා මඳක් වැඩි මෙම කාලය අර්ථදැක්වීම අනුව පැය විසි හතරකි. 

දීර්ඝකාලීනව පෘථිවියේ සමකයෙන් වඩා දුරස්ථ නොවන ප්‍රදේශ වල ඇති වන දිවා රාත්‍රී චක්‍රයක සාමාන්‍ය දිග මෙවැනි පැය විසිහතරක දවසක් හා සම්පාත වේ. මෙසේ අර්ථ දක්වන පැය විසි හතරක දවස යන සංකල්පයට සාපේක්ෂව හා ඈතින් පිහිටි තරු වල පෘථිවියට පෙනෙන පිහිටීමට සාපේක්ෂව පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට පැය 23 මිනිත්තු 56 තත්පර 4.098903691ක පමණ සාමාන්‍ය කාලයක් ගතවේ. කෙසේවුවද, මේ කාලයද වෙනත් බොහෝ සාධක අනුව වෙනස් වන්නකි. එමෙන්ම, පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලය දිගුකාලීනව දිවාරාත්‍රී චක්‍රයක දිග සමඟ සම්පාත වන්නේද නැත.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු අතර සිදුවන සාපේක්ෂ චලිතය විස්තර කිරීමට දැන් යොදාගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රිය වීමට පෙර ජනප්‍රියව පැවති පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව දවසක් යනු සූර්යයාට පෘථිවිය වටා වටයක් කරකැවීමට ගත වන කාලයට මෙන්ම දිවාරාත්‍රී චක්‍රයකටද සමානය. මේ කාලය දිගුකාලීනව ග්‍රෙගෝරියන් දවසක් සමඟද සම්පාත වේ. සූර්ය කේන්ද්‍රීය ආකෘතියේදී මෙන් පෘථිවිය සිය අක්ෂය වටා සිදුකරන චලිතය හා පෘථිවිය සූර්යයා වටා සිදු කරන චලිතය ලෙස සංරචක දෙකකට විභේදනය කිරීමක් අවශ්‍ය නොවන නිසා මේ දෙවන ආකෘතිය වඩා සරලය. තේරුම් ගැනීම පහසුය.

ග්‍රෙගෝරියන් දවස පිලිබඳ සංකල්පය බිහි වුනේ සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රිය වීමට බොහෝ කලකට පෙර පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රියව තිබියදීය. ඒ නිසා, ග්‍රෙගෝරියන් දවසද පෘථිවි කේන්ද්‍රීයව බිහි වූ සංකල්පයකි. ග්‍රෙගෝරියන් දවස සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ඇසුරින් විස්තර කිරීම වඩා සංකීර්ණ කාර්යයක් වන්නේ ඒ නිසාය.


දිවා රාත්‍රී චක්‍ර වලට අමතරව චක්‍රීයව සිදුවන තවත් බොහෝ සංසිද්ධි හෝමෝ සේපියන්ස්ලා විසින් දිගුකාලීනව නිරීක්ෂණය කර තිබේ. දිවා රාත්‍රී චක්‍ර 29-30 කට පමණ වරක් චන්ද්‍ර චක්‍ර හා කාන්තාවන්ගේ ඔසප් චක්‍ර පුනරාවර්තනය වේ. එමෙන්ම, දිවා රාත්‍රී චක්‍ර 365-366 කට පමණ වරක් කාලගුණ චක්‍ර පුනරාවර්තනය වේ. මාස හා අවුරුදු යන සංකල්ප වලට පදනම් වන්නේ මේ සංසිද්ධීන්ය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, සූර්යයා, වෙනත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද පෘථිවිය වටා ගමන් කරයි. මේ ඈතින් පිහිටි තාරකාවෝ දීර්ඝ කාලයක් තිස්සේ පෘථිවියට පෙනෙන පරිදි එකිනෙක අතර ඇති දුර නොවෙනස්ව පවත්වා ගනී. අහසේ පෙනෙන්නට ඇති දහස් ගණනක් වූ තාරකාවෝ පොළොව වටා කැරකෙන්නේ එක් සමූහයක් වශයෙනි. එහෙත්, අහසේ ඇති සූර්යයා හා චන්ද්‍රයා ඇතුළු ග්‍රහවස්තු ලෙස හඳුනාගන්නා වස්තූන් නක්ෂත්‍ර තාරකා පංති ප්‍රධාන අනෙකුත් තාරකා සමූහය සමඟ රෑනේ ඉගිලෙන්නේ නැත. ඒවාට තමන්ටම ආවේණික වූ ගමන් තිබේ.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, සූර්යයා පෘථිවිය වටා ගමන් කරන්නේ නක්ෂත්‍ර තාරකා ගමන් කරනවාට වඩා අඩු වේගයකිනි. මේ නිසා කිසියම් නිශ්චිත දීර්ඝ කාලයක් තුළ පෘථිවිය වටා සූර්යයා ගමන් කරන වට ගණන පෘථිවිය වටා නක්ෂත්‍ර තාරකා ගමන් කරන වට ගණනට වඩා අඩුය. නිරීක්ෂණ ඇසුරින් කාලයක් තිස්සේ ගණනය කර ඇති මේ වට ගණන් පිළිබඳ හා කාලය පිළිබඳ සූර්ය සිද්ධාන්ත සමයේ පැවති දැනුම පහත සඳහන් ආකාරයේ එකකි.


කාලයේ ප්‍රභේද දෙකකි. අපට සංකල්පීය වශයෙන් අවබෝධ කරගත හැකි හා එසේ කළ නොහැකි කාලය වශයෙනි. අපට සංකල්පීය වශයෙන් අවබෝධ කරගත හැකි කාලයද මැනිය හැකි, සැබෑ කාලය (මූර්ත- मूर्त, මුහුර්ත- मुहूर्त) හා මැනිය නොහැකි බැවින් සැබෑ නොවන නමුත් සංකල්පීය ලෙස අවබෝධ කර ගත හැකි කාලය (අමූර්ත- अमूर्त) ලෙස ප්‍රභේද දෙකකි. (10 වන ශ්ලෝකය)

මූර්ත කාල ඒකකයක් වන නක්ෂත්‍ර අහෝරාත්‍රයක් යනු පෘථිවිය මත ඇතිවන දිවාරාත්‍රී චක්‍රයකි. [මෙය පැරණි සිංහල දවසකටද  සමානය.] අහෝරාත්‍රයකට ඝටිකා හැටකි. [මේ අනුව, ඝටිකාවක් පැරණි සිංහල පැයකි.] (12 වන ශ්ලෝකය)

ඝටිකාවකට පල හැටකි. [මේ අනුව පල එකක් සිංහල විනාඩි එකකද, ග්‍රෙගෝරියන් තත්පර 24කටද සමානය.] මේ කාලයේදී මැනීමේ හැකියාවක් තිබුණු කුඩාම කාල අන්තරය වූයේ පල එකකින් හයෙන් කොටසක් වූ ප්‍රාණ එකකි. ප්‍රාණ එකක් වත්මන් තත්පර හතරකට පමණ සමාන විය. (11 වන ශ්ලෝකය) කෙසේවුවද, සංකල්පීය වශයෙන් මීට වඩා බොහෝ කුඩා කාලාන්තර හඳුනාගෙන තිබුණේය.


මහා යුගයක් යනු නක්ෂත්‍ර තාරකාවන්ට පොළොව වටා වාර 1,582,237,828 ක් යාමට ගතවන කාලයයි (34 වන ශ්ලෝකය). මෙවැනි මහා යුගයක් තුළදී සූර්යයා පොළොව වටා වාර 1,577,917,828 ක් ගමන් කරයි (37 වන ශ්ලෝකය). කල්පයක් යනු මෙවැනි මහා යුග දහසකි (20 වන ශ්ලෝකය).  මහා යුගයක් තුළදී සුරයන්ගේ හා අසුරයන්ගේ අහෝරාත්‍රයන් 4,320,000 ක් ගෙවී යයි. සුරයන්ගේ හා අසුරයන්ගේ අහෝරාත්‍රයක් යනු මිනිසුන්ගේ වසරකි (15 හා 16 වන ශ්ලෝක).

ඉහත තොරතුරු අනුව සුර හෝ අසුර දිනක් හෙවත් මිනිස් වසරක් තුළදී සූර්යයා පොළොව වටා වාර 365.2587565 ක්ද, නක්ෂත්‍ර තාරකා වාර 366.2587565 ක්ද ගමන් කරයි.


මේ අනුව, නක්ෂත්‍ර තාරකා හා සූර්යයා වෘත්තාකාර ධාවන පථයක මැරතන් තරඟයක නිරතව සිටින බව සැලකුවහොත් අඩු වේගයකින් දුවන සූර්යයා සහ අනෙකුත් තාරකා අතර පරතරය දිනෙන් දින වැඩි වේ. එහෙත් කිසියම් කාලයකට පසුව නක්ෂත්‍ර තාරකාවන් 'රවුමක ලීඩ් එකක් ගැනීම නිසා' නැවතත් සූර්යයා සමඟ සිටින තැනටම පැමිණේ. සූර්ය සිද්ධාන්ත වසරක් යනු මේ 'රවුමේ ලීඩ් එක ගැනීමට' නක්ෂත්‍ර තාරකාවන්ට ගතවන කාලයයි. වෙනත් අයුරකින් කිවහොත් පොළොවට නිරීක්ෂණය වන පරිදි, නක්ෂත්‍ර තාරකාවන්  (සමඟ සූර්යයා) පොළොව වටා සිදු කරන නැගෙනහිර සිට බටහිරට සිදු කරන චලිතයට සාපේක්ෂව සූර්යයාට ප්‍රතිවිරුද්ධ දිශාවට පොළොව වටා වටයක් යාමට ගතවන කාලයයි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව පොළොවට සූර්යයා වටා වටයක් යාමට ගත වන කාලයද සංකල්පීය වශයෙන් මෙයමය. නක්ෂත්‍ර වර්ෂයක් (sidereal year) ලෙස හැඳින්වෙන්නේ මේ කාලයයි. 

වත්මන් මිනුම් අනුව, නක්ෂත්‍ර වසරක් යනු පැය විසි හතරේ ග්‍රෙගෝරියන් දින 365.256363004 ක් පමණ වේ. මේ කාලය සූර්ය සිද්ධාන්ත යුගයේ ඇස්තමේන්තුවෙන් වෙනස් වන්නේ මිනිත්තු 3කුත් තත්පර 26.8කින් පමණි. කෙසේ වුවද, ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ පදනම වනුයේ දින 365.242189ක් පමණ දිග, නක්ෂත්‍ර වසරකට වඩා මිනිත්තු 20කුත් තත්පර 24.6කින් කෙටි නිවර්තන වසරයි (tropical year). මේ නිවර්තන වසර ගැන පසුව වෙනත් ලිපියකින් කතා කරමු. 

ඉකොනොමැට්ටාගේ බොජුන්හල විවෘත කළේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව පසුගිය වසරේ මැයි 18 දිනයි. නක්ෂත්‍ර වසරක දිග අනුව බැළුවද, නිවර්තන වසරක දිග අනුව බැළුවද, ඇනෝමලිස්ටික් වසරක (anomalistic year) දිග අනුව බැළුවද, ඉකොනොමැට්ටාගේ බොජුන්හලට දැන් වයස වසරකි. ග්‍රෙගෝරියන් දින දසුන අනුව 2016 අධික අවුරුද්දක් වූ බැවින් දින 366 කට පසුව ඉකොනොමැට්ටාගේ පළමු උපන් දිනය හෙට (මැයි 18) එළැඹේ.



පසුගිය කැලැන්ඩර් වසර අවසානයේදී මෙන්ම, වියුණුව අරඹා ගතවෙන පළමු වසර තුළදීද ඉකොනොමැට්ටාගේ සැපයුම් ඉලක්ක, ඉල්ලුම් කළමනාකරණ ඉලක්ක ඇතුළු සියළු ඉලක්ක අපේක්ෂා කළ අයුරින්ම සැපිරී තිබේ. වසරක් ඉකොනොමැට්ටා සමඟ රැඳී සිටිමින් නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සියල්ලන්ටම ඉකොනොමැට්ටාගේ ස්තුතිය හිමි වේ.



Thursday, May 12, 2016

අලි මදිවට හරක් ප්‍රශ්න


ගව මස් කෑම හා ඒ නිසාම අනියමින් ගව ඝාතනයට අනුබල දෙන ඇතැම් අය දම්වැලින් කකුල් බැඳ පෙරහැරක ගෙන යන අලියෙකුගේ හෝ ඇතෙකුගේ 'මානව අයිතිවාසිකම්' ගැන කණගාටු වන්නේ ඇයිද යන්න ඇතැම් අයට ප්‍රශ්නයකි. ගව ඝාතනය වැළැක්වීමේ අරමුණින් ගිණි තබාගෙන සියදිවි නසාගැනීමට නොපැකිළෙන අයෙකු හෝ එවැනි ක්‍රියාවක් උත්කර්ෂයට නංවන අයෙකු කැලේ සිටින අලි පැටවෙකු මවගෙන් වෙන් කර රැගෙන විත්  'සමාජගත කිරීම' සඳහා 'නවක වදයට' ලක් කිරීම ප්‍රශ්නයක් ලෙස නොදකින්නේ ඇයිද යන්න තවත් අයට ප්‍රශ්නයකි. (සියදිවි නසාගැනීමක් නොකියා ජීවිත පූජාවක් කරන අයෙකු කියා වෙනස් අයුරකින් කිව හැකිය. කෙසේ හැඳින්වුවද, මා අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තම ජීවිතය අවසන් කර ගැනීමයි.)

මේ ආකාරයේ 'අලි මදිවට හරක්' ප්‍රශ්න වලට පිළිතුර ඇත්තේ ප්‍රශ්නය තුළමය. වෙනත්, අයුරකින් කිවහොත් ප්‍රශ්නය අසන සන්දර්භය තුළය. ඉහත ප්‍රශ්න මතුවන්නේම යම් නිශ්චිත ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂවය. ඒ නිසා, වෙනත් ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂව ඇතැම් විට මේ ප්‍රශ්නයට පිළිතුර අවිවාදිත එකක් විය හැකි අතර තවත් රාමුවකට සාපේක්ෂව මෙහි පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් නොතිබෙන්නට වුවත් පුළුවන.


ඉහත ප්‍රශ්න ඇසෙන්නේ අලියෙකුගේ ජීවිතය සහ හරකෙකුගේ ජීවිතය සමාන ලෙස සලකන රාමුවකට සාපේක්ෂවය. මෙය තවත් දිගු කළහොත් මේ රාමුව යනු පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුවයි. සංස්කෘතිකව ලංකාවේ බොහෝ දෙනෙකු කාලයක් ජීවත් වී ඇත්තේත්, දැනට ජීවත් වන්නේත් මෙවැනි සංස්කෘතික රාමුවක් ඇතුළේය. මේ රාමුවේ පදනම ප්‍රාග්-බෞද්ධ වෛදික මතවාදී රාමුවයි.

බුද්ධ කාලයට පෙර සිට වත්මන් ඉන්දියාවේ පැවති විශ්වාසයන්හි මෙන්ම අදටත් බොහෝ දෙනකු අදහන හින්දු හා ජෛන ආගම් වල භෞතික සිරුරට වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ භෞතික සිරුර තුළ ඇතැයි සැලකෙන අධ්‍යාත්මික සිරුරට නැත්නම් ආත්මයටය. මේ විශ්වාස අනුව, 'සැබෑ' පුද්ගලයා යනු මේ ආත්මයයි. භෞතික සිරුර යනු මේ 'සැබෑ' පුද්ගලයා තාවකාලිකව ජීවත් වන නිවෙසයි. මේ අතින් මේ අදහස ආබ්‍රහමික ආගම් වල දැනට පිළිගැනෙන ආත්මය පිළිබඳ සංකල්පය සමඟ ගැලපේ. (ඇතැම් දේවධර්මාචාර්යවරුන්ට අනුව ආත්මය යන අදහස ආබ්‍රහමික ආගම් වලට පසුව එකතු වූවකි. මුලදී තිබී ඇත්තේ ශුද්ධාත්ම සංකල්පය පමණි.) කෙසේවුවද, පැරණි ඉන්දියානු ආගම් ආබ්‍රහමික ආගම් සමඟ සම්පාත වන්නේ පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා පමණි.

සංසාර සංකල්පය බෞද්ධ සංකල්පයක් නොවේ. එය බුද්ධ කාලයට බොහෝ පෙර සිට පැවති සංකල්පයකි. මේ අනුව, 'සත්ත්වයා' ගිණිය නොහැකි වාර ගණනක් සංසාරයේ මැරි මැරී උපදී. මෙසේ මැරි මැරී නැවත නැවතත් උපදිද්දී විනාශ වන්නේ භෞතික සිරුර පමණි. මිය යන වාරයක් පාසා අළුත් 'නිවසක්' සොයා ගන්නා ආත්මය මරණය හේතුවෙන් විනාශ නොවේ. මරණින් මතු ලැබෙන අළුත් නිවස ගව සිරුරක් හෝ ඇත් සිරුරක් විය හැකිය. අවසානයේ විමුක්තිය ලබන්නේ මෙසේ අස්ථිර සිරුරු නිවෙස් කර ගනිමින් කාලාන්තරයක් සසර සැරි සරන ආත්මයයි.


ජීවිතය ස්වභාව ධර්මය සමඟ කරන නිරන්තර සටනක් වූ මැදපෙරදිග කාන්තාර දේශගුණයේ ජීවිතයට සාපේක්ෂව පැරණි ඉන්දියාවේ ජන ජීවිතය වඩා සුමට හා සාමකාමී එකක් විය. මේ පරිසරය තුළ ජීවත් වූ මිනිසුන්ට අලින් හා හරකුන් යනු තමන්ගේ ආහාරයක් ලෙස නොපෙනී තමන්ට දැනෙන හැඟීම් දැනීම් එලෙසින්ම දැනෙන තමන්ගේම අනෙකා ලෙස පෙනෙන්නට ඇත.

කිසියම් මතවාදී හෝ සංස්කෘතික රාමුවක් වෙනත් රාමුවකට සාපේක්ෂව ප්‍රශ්නකාරී වුවත්, අදාළ රාමුව තුළ එවැනි ප්‍රශ්නයක් නැත්නම් ඒ රාමුව කාලයක් ස්ථායීව පවතී. එවැන්නක් වෙනස් වන්නේ වෙනත් බාහිර  සංස්කෘතික රාමුවක් සමඟ ගැටුණු විටය. එහෙත්, යම් රාමුවක් එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන විට, අදාළ රාමුව ස්වාධීනවම පැවතුණේ වුවද එවැනි අභ්‍යන්තර විසංවාද ඉවත් කරගැනීම සඳහා, ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුව එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන්නකි. පළමු මූලික ගැටළුව වන්නේ පණ ඇති සත්ත්ව ජීවිතයක් යනු කුමක්ද යන්නයි. මෙහිදී ඕනෑම විශ්ලේෂණයක් ඇරඹෙන්නේ තමන්ට සාපේක්ෂවය. 'මම' යනු 'පණ ඇති ජීවියෙක්' වේනම් මා තරමට 'දියුණු' නැති මගේ අළුත උපන් දරුවාද පණ ඇති ජීවියෙක් විය යුතුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ 'මගේ ජීවිතය තරමටම වටිනා' ජීවිතය මගේ ජීවිතය තරමටම හෝ ඊට වඩා යහපත් කර ගැනීමට ලබාදෙන උදවුවක් වශයෙන් මා මගේ දරුවාව මා හොඳයයි සිතන ආකාරයට පුහුණු කළ යුතුය. මේ සංකල්පය ඉන්පසුව මගේ පවුලෙන් පිටතට හා මගේ කුලයෙන්, ජනවර්ගයෙන් පිටතට ආදී වශයෙන් පළල් කළ හැකිය. ඉන්පසු මගේ බල්ලා, පූසා, හරකා හෝ අලියා දක්වාත් මගේ නොවන වෙනත් බල්ලන්, පූසන්, හරකුන් හා අලින් දක්වාත් පුළුල් කළ හැකිය. ඇසට පෙනෙන සියළු සතුන් දක්වාත්, ඇසට නොපෙනෙන සතුන් දක්වාත් පුළුල් කළ හැකිය. සතුන් නොවන ගස්වැල් දක්වාත් පුළුල් කළ හැකිය. 



මෙසේ මා හඳුනාගන්නා මට මෙන්ම ආත්මයක් ඇති පණ ඇති සතුන් පරාසය පුළුල් කරගෙන යන විට තවත් බාධකයක් හමුවේ. ඒ මගේ ආහාර යනු මොනවාද යන්නයි.

මිනිසෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයෙකුව හෝ වෙනත් මිනිසෙකුව මරා මස් ආහාරයට ගන්නට බැරිකමක් නැත. එහෙත්, එවැනි දේ සිදුවන්නේ ඉතා කලාතුරකිනි. තමන්ගේම වර්ගයා (තමන් සමඟ සංසර්ගයෙන් සරු ජනිතයෙකු බිහි කිරීමට හැකි තරම් සමානත්වයක් ඇති ජාන දරන අය) විනාශ කරන සත්ත්ව වර්ගයකයට දීර්ඝකාලීනව වඳ වී නොසිටිය හැක්කේ කෙටි කලක් තුළ ඉතා විශාල ජනිතයන් සංඛ්‍යාවක් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාවක් ඇත්නම් පමණි. මෙවැනි හැකියාවක් ඇති සතුන් සුලභ නැත. ඒ නිසා තමන්ගේම වර්ගයාගේ මස් ආහාර ලෙස නොසැලකීමේ පදනම පැහැදිලි එකකි. එසේනම්, හෝමෝ සේපියන්ස්ලාට සංසර්ගයෙන් සරු ජනිතයින් බිහි කළ නොහැකි අනෙක් සතුන්ගේ මස්?



භෞතික සිරුර විනාශ වීමෙන් පසු තව දුරටත් ඉතිරි වන ස්ථිර ආත්මයක් ඒ තුළ තිබේයැයි සිතූ විට එවැනි ආත්මයක් සහිත ජීවියෙක් ආහාරය පිණිස හෝ වෙනත් හේතුවකට මරණයට පත් කිරීම ප්‍රශ්නයක් වේ. ඒ නිසා, ආත්මයක් සහිත "පණ ඇති" හා ආත්මයක් රහිත "පණ නැති" දේ වෙන් කර ගැනීමට නිර්ණායකයක් අවශ්‍ය වේ. ඒ සඳහා, කොතනින් හෝ ඉරක් අඳින්නට සිදු වේ. එහෙත්, මේ ඉර කාටත් එකඟ විය හැකි පැහැදිලි එකක් නොවේ.  


ආබ්‍රහමික ආගම් වල මේ ඉර ඇඳ ඇත්තේ මිනිසුන් අනෙකුත් සියළුම සතුන් හා ශාක වලින් වෙන් කරමිනි. මේ අනුව, එක්කෝ අනෙකුත් සතුන්ට මිනිසුන්ට මෙන් ආත්මයක් නැත. එසේ නැත්නම්, සතුන්ට ඇත්තේ මිනිසුන්ට ඇති ආත්මයට වඩා වෙනස් ආත්මයකි. මේ අනුව, ආහාරය පිණිස සතෙකු මැරීමේ හා තිරිඟු ගසක් කපා තිරිඟු ඇට සූරා ගැනීමේත් බිත්තරයක් තැම්බීමේ හා අර්තාපල් අලයක් තැම්බීමේත් ආකෘතිමය වෙනසක් නැත. බෞද්ධ ඉගැන්වීම් වලට වඩා පරම්පරාවකින් පරණ, පරම අවිහිංසාවාදී ධර්මයක් වන ජෛන ඉගැන්වීම් අනුව ආහාරය පිණිස සතෙකු මැරීම මෙන්ම ශාකයක් විනාශ කිරීමද වරදකි. මේ නිසා ජෛනාගමිකයෝ ආහාරයට ගන්නා කොටස ලබා ගැනීම සඳහා ජීවී ශාකයක් 'මරා දැමිය යුතු' අල වර්ග හා ළූණු වර්ග ආහාරයට නොගනිති. 

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඉගැන්වීම් අනෙකුත් සමකාලීන මෙන්ම පසුකාලීන ආගමික ඉගැන්වීම් වලින් මූලික වශයෙන්ම වෙනස් වන්නේ භෞතික සිරුර තුළ ඇති ස්ථිර හෝ සදාකාලික ආත්මයක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීම නිසාය. (ආත්මවාදය ප්‍රතික්ෂේප කළ වෙනත් ශාස්තෘවරුද බුද්ධ කාලයේ මෙන්ම ඊට පෙරත් සිටියහ.)

"කොයි සතාගේ පණත් සමානය" යන  වෛදික අදහස බෞද්ධ ඉගැන්වීම් සමඟ ගැලපෙන්නක්යයි මා සිතන්නේ නැත. බුද්ධ දේශනා වලින් බොහෝ විට ඉස්මතු වන්නේ වෙනත් සත්ත්ව ජීවිත වලට සාපේක්ෂව මිනිස් ජීවිතයක ඇති වැඩි වටිනාකම පිලිබඳ අදහසයි. සිද්ධාර්ථ ගෞතමයින් විසින් දකින මිනිසා බුද්ධිය අතින් අනෙක් සියළු සත්ත්ව වර්ග වලට වඩා ඉදිරියෙන් සිටින සතෙකි.

බෞද්ධ අවිහිංසාවාදයේ පදනම වනුයේ වැඩි බුද්ධි මට්ටමක් ඇති මිනිසුන් විසින් තමන්ට මෙන්ම හැඟීම් දැනීම් ඇති, මරණය හා දඬුවම් හේතුවෙන් බියට හා තැති ගැන්මට පත්වන තවත් සතෙකුව එසේ වේදනාවට පත් කිරීම නොතරම් දෙයක් බවයි. එය පුද්ගල නිදහස පිළිබඳ සංකල්පය හැඟීම් දැනීම් ඇති වෙනත් සත්ත්ව කොටස්ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමක් මිස හරකෙකුගේ හෝ අලියෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයක් සමඟ සමාන කිරීමක් නොවන බව මගේ අදහසයි.


ප.ලි. උඩ ඇති රූපයේ ඔබට පෙනෙන්නේ අලි ඔළුවක්ද නැත්නම් හරක් ඔළුවක්ද?

(Image: www.alamy.com)

Saturday, May 7, 2016

බල්ලන්ට හොඳ දත් දොස්තරලා සහ බල්ලන්ට විසිකරන සල්ලි


පසුගිය සතියේ දිනෙක මා දැනට ජීවත්වන නිවස අසල පිහිටි සත්ත්ව රෝහලක විවෘත දිනයක් (open house) තිබුණේය. ඇමරිකාවේ විවිධ සේවාවන් සපයන ආයතන වල සාමාන්‍යයෙන් වසරකට දිනක් හෝ දින කිහිපයක් මෙවැනි විවෘත දින පැවැත්වේ. මෙසේ විවෘත දිනක් ලෙස දැනුම් දීමක් කර ඇති විට කලින් දැනුම් දීමක් නොකර ඕනෑම කෙනෙකුට එවැනි ස්ථානයකට ඇතුළු වීමට මෙන්ම එහි විවිධ අංශ වල කටයුතු කෙරෙන ආකාරය දැක බලා ගැනීමට පුළුවන.

සාමාන්‍යයෙන් අවසරයක් නොමැතිව වෙනත් අයෙකුගේ නිවෙසකට ඇතුළු වීම සිදු නොවන ඇමරිකාවේ ඇතැම් අවස්ථා වල පුද්ගලික නිවෙස් වලද මෙවැනි විවෘත දින ප්‍රකාශ කෙරේ. බොහෝ විට එවැන්නක් සිදුවන්නේ නිවෙසක් හෝ නිවෙසක ඇති අනවශ්‍ය භාණ්ඩ විකිණීමට අවශ්‍ය වූ විටය. වෙනත් හේතු මත විවෘත දින ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාද තිබේ. මෙය වෙනත් බටහිර රටවලද සිදුවන දෙයකැයි මම සිතමි.

මා පෙර කී රෝහල විශාල එකක් නොවේ. මා හිතන පරිදි පශු වෛද්‍යවරුන් හතර පස් දෙනෙකු එකතුව කරන ව්‍යාපාරයකි. බොහෝ විට ඇමරිකාවේ සාමාන්‍ය වෛද්‍යවරුන්ද හතර පස් දෙනෙකු එකතු වී මේ අයුරින් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. ඇමරිකාවේ පශු වෛද්‍යවරු හැටපන්දාහක් පමණ සිටිති. සංසන්දනාත්මකව, වෛද්‍යවරු සහ ශල්‍යවෛද්‍ය වරු ලක්ෂ හතක් පමණද දන්ත වෛද්‍ය වරු ලක්ෂ එකහමාරක් පමණද සිටින අතර ආර්ථික විද්‍යාඥයින් සිටින්නේ විසි එක් දහස් පන්සියයක් පමණි.


කෙසේ වුවද, පශු වෛද්‍ය වරුන් සාමාන්‍යයෙන් ගොවිපොළ සතුන් සඳහා ප්‍රතිකාර කරන්නන් සහ සුරතල් සතුන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්නන් ලෙස විශේෂීකරණය වී සිටින අතර මෙයින් එක් කොටසක් සාමාන්‍යයෙන් අනිත් කාණ්ඩයේ සතුන්ට ප්‍රතිකාර කරන්නේ නැත.

ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය වන මිනිස් සම්පත් වලට සාපේක්ෂව භෞතික සම්පත් ඇත්තේ ඉතා අඩුවෙනි. එහෙත්, සංවර්ධිත රටවල දක්නට ලැබෙන්නේ එහි අනිත් පැත්තයි. ලංකාවේදී රෝගියෙකුට පෝලිමේ සිට වෛද්‍යවරයා සිටින කාමරයට යාමට සිදුවන අතර අවශ්‍ය වෙනත් පරීක්ෂණ සඳහා අදාළ තැන් වලට යාමට සිදුවේ. එහෙත්, බටහිර රටකදී (මට අත්දැකීම් ඇති රටවලට අදාළව) පළමුව රෝගියාට කාමරයක් ලැබෙන අතර වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය මෙන්ම හෙද නිලධාරියා හෝ නිලධාරිනියද කරන්නේ මේ කාමරයට පැමිණ රෝගියා හමුවීමයි.

මා පෙර කී සත්ත්ව රෝහලේ (මෙන්ම එවැනි වෙනත් සත්ත්ව රෝහල් වලද) කටයුතු සිදුවන්නේද මේ අයුරින්මය. යමෙකු තමන්ගේ සුරතල් බල්ලා හෝ පූසා සමඟ මෙවැනි රෝහලකට පැමිණි පසුවද සාමාන්‍යයෙන් මුලින්ම සිදුවන්නේ කාමරයක් ලබා දීමයි. මේ කාමරය සාමාන්‍ය කාමරයක් නොවේ. වෛද්‍ය වරයෙකුට/ වරියකට හෝ හෙද නිලධාරිනියකට/ නිලධාරියෙකුට මූලික පරීක්ෂාවන් කිරීමට අවශ්‍ය සියළු උපකරණ මෙවැනි සෑම කාමරයකම තිබේ. වෙනත් කාමරයකට යා යුත්තේ ශල්‍ය කර්මයක් හෝ දන්ත චිකිත්සාවක් වැනි කටයුත්තක් වෙනුවෙන් පමණි.

අප පෙර කී සත්ත්ව රෝහලේ ගත කළ කාලය තුළ එහි ශල්‍යාගාරයේ කටයුතු සිදුවන ආකාරයත් (සැබෑ ශල්‍ය කර්මයක් නොවේ), සතුන්ගේ දන්ත සෞඛ්‍යය සුරැකීමට කටයුතු සිදු කරන ආකාරයත් ගැන තොරතුරු දැන ගත්තෙමු. මෙහිදී, මගේ දරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහි සිටි
පශු දන්ත වෛද්‍යවරයා පැහැදිලි කළේ මිනිසුන් භාවිතා කරන දන්තාලේප වල ඇති රසායන ශරීරගත වීම බල්ලන්ගේ හා පූසන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් සතුන් සඳහා වෙනස් රසායනික අඩංගු දන්තාලේප භාවිතා කරන බවයි. එමෙන්ම, මින්ට් වැනි රසකාරක වෙනුවට මස් රස දැනෙන රසකාරක යොදාගන්නා බවයි. 

පශු දන්ත වෛද්‍යවරු  පශු වෛද්‍යවරු අතරින් තවදුරටත් විශේෂීකරණය වී සිටින වෘත්තීය කණ්ඩායමකි. අප සමඟ කතා කළ පශු දන්ත වෛද්‍යවරයා පැවසුවේ සතුන්ගේ දත් පවිත්‍ර කිරීම හා පිරවීම වැනි මූලික කටයුතු සියල්ල මේ ස්ථානයේදී සිදුකරන නමුත් වඩා විශේෂී කටයුතු සඳහා අදාළ සතාව සතුන් සඳහා ප්‍රතිකාර කරන අදාළ කාර්යය සඳහා විශේෂඥ පුහුණුවක් ඇති පශු දන්ත වෛද්‍ය විශේෂඥයෙකු වෙත (උදාහරණයක් ලෙස veterinary endodontist කෙනෙක් වැනි) යොමු කරන බවයි.

බොහෝ ඇමරිකානුවන්ට තමන්ගේ නිවසේ සිටින බල්ලා හෝ ඇතැම් විට පූසා නිවසේම සාමාජිකයෙකු වැනිය. එම සතුන් සත්ත්ව වෛද්‍ය වරයෙකු වෙත ගෙන යන්නේ රෝගී වූ විටම නොවේ. වාර්ෂික වෛද්‍ය හා දන්ත වෛද්‍ය හමු ආදිය මෙවැනි සුරතල් සතුන් හා අදාළවද සිදුවේ. මේ කටයුතු මිල අධික බැවින් සතුන් සඳහා වෛද්‍ය රක්ෂණ ලබා ගැනීමද සිදුවේ. එමෙන්ම, මේ සතුන්ට කෑම ලෙස නිවසේ ඉතිරි වන දෑ දෙන්නේ නැත. ඔවුන්ට සුදුසු ආහාර වෙනම මිලදීගෙන පිළියෙළ කර දෙන අතර, මෙවැනි සත්ත්ව ආහාර, සතුන්ගේ සෙල්ලම් බඩු, දත් බුරුසු වැනි උපකරණ ආදිය සඳහා සුපිරි වෙළදසැල් සියල්ලකම වාගේ වෙනම පේලියක් වෙන්වී තිබේ. බොහෝ නගර වල සතුන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම වෙනම උද්‍යානද තිබේ.

ඇමරිකාවේ සුරතල් සතුන් හා අදාළ ආර්ථිකය ඩොලර් බිලියන හැට ඉක්මවූ කර්මාන්තයකි. සංසන්දනාත්මකව ලංකාවේ සමස්ත ආර්ථිකයම ඩොලර් බිලියන අසූවකි. පෙර කී ඩොලර් බිලියන හැටෙන් බිලියන 23.0 ක් සුරතල් සතුන්ගේ ආහාර වෙනුවෙන්ද, බිලියන 15.4ක් පසු
පශු වෛද්‍ය සේවාවන් සඳහාද, බිලියන 14.3ක් ඖෂධ ආදී සැපයුම් වෙනුවෙන්ද වැයවේ.

අප පිවිසි ඉහත රෝහලේ ඉදිරිපස පූසන් තිදෙනෙකුද විකුණන්නට තබා තිබුණු අතර මගේ දරුවෙකු මේ පූසෙකුගේ මිල විමසීය. මිල එතරම් අධික නොවූවත් මිල දී ගන්නා අයෙකු පූසන් තිදෙනාම මිල දී ගත යුතු වීම කොන්දේසියක් විය. මෙයට හේතුව වූයේ කලක් එකට හැදී වැඩී ඇති පූසන් තිදෙනා වෙන් කරන්නට වත්මන් අයිතිකරුගේ ඇති නොකැමැත්තයි.

***

පසුගිය සතියේ අපි විවෘත දිනයක් පැවති තවත් තැනකට ගියෙමු. ඒ විවෘත දිනය පැවැත්වුනේ මා සමඟ සේවය කරන මිතුරියකගේ නිවසේය. මෙය විවෘත දිනයක් වන්නේ ඒ බව දන්වමින් අපේ ආයතනයේ සියල්ලන්ටම විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවා තිබුණු බැවින් මිස ඇගේ නිවස ඕනෑම කෙනෙකුට විවෘත කර තිබුණු නිසා නොවේ. මේ විවෘත දිනය පැවැත්වීමට හේතුව වූයේ ඇගේ දෙවන පුතු නිවසට පැමිණීමයි. මේ දරුවා අප්‍රිකානු රටක උපන් දරුවෙකි. දරුවා නීත්‍යනුකූලව භාර ගැනීම වසර දෙකකටත් පෙර සිදු කර තිබුණත් ඒ හා සම්බන්ධ නීතිමය කටයුතු නිමකර ඔහුව ඇමරිකාවට ගෙන ඒමට හිතුවාට වඩා බොහෝ කල් ගත වී තිබුණේය. ඔවුන්ගේ පළමු දරුවාද මෙසේ වෙනත් රටක මවුපියන්ට දාව ඉපදුනු දරුවෙකි.

මගේ මිතුරිය මෙන්ම ඇගේ සැමියාද ඉහළ ආදායම් ලබන රැකියා කරන අයයි. ඔවුන්ගේ ඉඩකඩ ඇති නිවස මෙන්ම ගෙවත්තද දරුවන්ට ගැලපෙන සේ මුළුමනින්ම වෙනස් කර තිබුණේය. සති දෙකකට පෙර තමන්ගේ අළුත් නිවසට පැමිණි මේ දරුවා සිටියේ ඉමහත් ප්‍රබෝධයකිනි. තවමත් ඉංග්‍රීසි නුහුරු ඔහුගේ අප්‍රිකානු-ප්‍රංශ කතා තේරෙන කිසිවකු නොසිටියත් ඔහුගේ කියවිල්ලේ අඩුවක් තිබුණේ නැත. මගේ මිතුරිය පැවසූයේ පෙර දින මේ දරුවාගේ ජීවවිද්‍යාත්මක මව සමඟ කතා කරන්නට අවස්ථාව සලසාදුන් විට ඔහු සංවේදී වනු ඇතැයි සිතා සිටියත් කිසිදු කලබලයක් නැතිව ටික වෙලාවක් කතා කර 'බායි' කියා පරිගණකයෙන් ඉවත් වූ බවයි.

***

ඇමරිකාවේ පොදු පුස්තකාල ආශ්‍රිතව විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වේ. නොමිලේ පෙන්වන චිත්‍රපටි, ඉංග්‍රීසි හා ස්පාඤඤ භාෂා පංති, පරිගණක පංති ආදිය මෙවැනි වැඩ සටහන්ය. පසුගිය සතියේ මෙවැනි වැඩ සටහන් අතර තිබුණේ මාළු ඇල්ලීමේ වැඩමුළුවකි. මෙය සංවිධානය කර තිබුණේ වැඩිහිටියන්ට හා දරුවන්ට එකට සහභාගී විය හැකි පවුලේ වැඩ සටහනක් ලෙසිනි. මාළු ඇල්ලීමට අවශ්‍ය මූලික උපකරණ මෙන්ම මූලික පුහුණුවක්ද ලබාදෙන බව සඳහන් කර තිබුණේය.

***

මගේ දරුවෝද වෙනත් සම වයසේ දරුවන් මෙන් සුරතල් සතුන්ට ලොකු කැමැත්තක් දක්වති. මෙතෙක් කල් සංචාරක ජීවිතයක් ගෙවා ඇති, ළඟදී ඒ තත්ත්වයෙන් මිදෙන්නට සැලසුමක්ද නැති මගේ විසිකර යා නොහැකි දේවල් ගොඩගසා ගන්නට ඇති විශාල නොකැමැත්ත නිසා ඔවුන්ට තවමත් මේ කැමැත්ත ඉටු කරගන්නට ලැබී නැත. කලකට පෙර මා මගේ වැඩිමල් දරුවාට ඔහුගේ උපන්දිනයට සුරතල් මසෙකු මිලදී ගෙන දුන්නෙමි. එයින් අනතුරුව සිදුවූයේ ඔහු විසින් මාළු ආහාරයට ගැනීම නැවැත්වීමයි.


(Image: southvalleyanimalclinic.com)

Wednesday, May 4, 2016

God bless Venezuela!! වෙනිසියුලාවට මොකද වෙන්නේ?


"Sri Lanka should take Venezuela as an example and follow in their footsteps. It is more effective than trying to find development models from history and the Western world."

"ශ්‍රී ලංකාව වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් ගමන් කරන මාර්ගයේ ගමන් කළයුතුයි. ඉතිහාසයෙන්  හා බටහිර ලෝකයෙන් සංවර්ධන ආකෘති සොයනවාට වඩා එය ඵලදායීයි."

ලංකාවේ හිටපු ඇමතිවරයෙකු විසින් ඉහත ප්‍රකාශය කර දැන් වසර හතර හමාරක් ගතවී තිබේ. ඒ වන විට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් සිය තෙවන ධුර කාලය නිමා කිරීමට ආසන්නව සිටි අතර පිළිකාවක් සඳහා ප්‍රතිකාර අරඹා සිටියේය. එමෙන්ම, චාවේස්ට මෙන් රටේ ජනාධිපති ධුරය තෙවන වරට හෙබවීමට ලංකාවේ පුරවැසියෙකුට තිබුණු නීතිමය බාධාව ඉවත් කරගැනීමට දහ අටවන සංශෝධනය සම්මත කරගෙන ගත වී තිබුණේ මාස ගණනක් පමණි.

2013 මාර්තුවේදී චාවේස් පිළිකා රෝගය හේතුවෙන් ජනාධිපති ධුරයේ මෙන්ම සිය දිවියේද ධුර කාලය අවසන් කළේය. එහෙත්, චාවේස්ගෙන් පසු බලයට පැමිණි නිකොලස් මදුරෝ චාවේස් ගමන් කළ මඟින් ආපසු හැරුණේ නැත. මේ අතර, 2014 ජනවාරියේ ලංකාවේ ඇතිවූ දේශපාලනික වෙනස්කම් හේතුවෙන් ඉහත ප්‍රකාශය කළ හිටපු ඇමති වරයාට ලංකාව වෙනිසියුලාව ගිය මඟ ගෙන යන්නට උත්සාහ දැරීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියේය. දහනව වන සංශෝධනය මඟින් පෙර සිදුකළ ඇතැම් වෙනස්කම් ආපසු හැරවිණි.

මෙසේ දෙමඟක යන්නට පටන් ගැනීමෙන් පසු ලංකාවේ තත්ත්වය ගැන අපි බොහෝ දෙනෙකු දන්නෙමු. එසේනම්, දැන් වෙනිසියුලාවට කොහොමද?


"I live in Carabobo, Venezuela, can confirm, i have to get up at 3 am on saturdays to wait in line, i can't go any other day because i have college, my friends are in the same spot. Waiting lines are not only "annoying" but they are dangerous, people get really freaking stressed after 8 hours waiting, there's yelling and fighting in almost every packed place with food, and when things are running out, shit gets serious. We literally have to fight for food sometimes, i live with a family of five and only my mom and i can buy things, truly, these are horrible times."

දේශ සීමා නැති අන්තර්ජාලය හරහා වෙනිසියුලානුවන්ගේ අඳෝනාවන් දැන් නිමක් නැතිව ඇසේ. කෘතීම මිල පාලනය නිසා රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වාගේ ඇණහිට ඇති අතර රටවැසියන්ට ආනයන මත යැපෙන්නට සිදුවී තිබේ. එහෙත්, රට පුරා දැඩි භාණ්ඩ හිඟයකි. පාන් ගෙඩියක් හෝ කිරි ගැලුමක් ගන්නට උදේ පාන්දර තුනේ පමණ සිට පැය හත අටක් පෝලිම් වල රස්තියාදු විය යුතුය. එසේ ලබා ගත්තද, පෝලිමේ පසුපසින් සිටි බලාපොරොත්තු කඩ වූ අයෙකු ඔබට පහර දී පාන් ගෙඩිය උදුරා ගන්නට ඉඩ තිබේ. රජයේ රැකියා හැරුණු විට රටේ කිසිදු රැකියා උත්පාදනයක් නැත. රජයේ සේවකයින් වැඩ කළ යුත්තේ සඳුදා හා අඟහරුවාදා දිනවල පමණි. සති අන්තය දින පහකි. පාසැල් සතියද කෙටි වී ඇත. දිනකට පැය හතරක් විදුලිය කැපේ. රට පුරා ජල හිඟයකි. රෝහල් වල බෙහෙත් නැති නිසා රෝහලකට ඇතුළු වූ පසු වෙනත් රෝහලකට යැවේ. එතැනින් තවත් තැනකටය. එහෙත්, රටපුරාම මේ තත්ත්වයේ වෙනසක් නැත. රජයට හා ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ සීමිත පිරිසකට පමණක් රටේ ඇති සීමිත සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව තිබේ. එහෙත්, දැන් දැන් බැරැක්ක වලටද කෑම සීමා වෙමින් පවතින අතර හමුදා සෙබළු එළුවන් හොරකමේ යති.

කලක්  කලාපයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත් පොහොසත්ම ලතින් ඇමරිකානු රටක් වූ  වෙනිසියුලාවට මෙහෙම වුනේ ඇයි? 


වෙනිසියුලාව ප්‍රධාන වශයෙන්ම තෙල් මත යැපෙන රටකි. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%ක් පමණත්, අපනයන ආදායමෙන් 95%ක්මත් ලැබෙන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදන වලිනි. මේ නිසා වෙනිසියුලා ආර්ථිකය ලෝක තෙල් මිලේ උච්චාවචයනයන්ට බොහෝ සංවේදී ආර්ථිකයකි. ලෝක තෙල් මිල ඉහළ යන විට මහන්සියකින් තොරවම එහි වාසිය ලබන වෙනිසියුලා ආර්ථිකය තෙල් මිල පහත වැටෙන විට අර්බුදයට ලක්වේ. ඊට අමතරව මේ දිනවල වෙනිසියුලාව නියඟයෙන්ද බැට කයි.

හියුගෝ චාවේස් පළමුව බලයට පැමිණුනේද වෙනිසියුලාව මෙසේ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි කාලයකට පසුවය. කෙසේ වුවද, එයින් පසු ලෝක තෙල් මිල නැවත ඉහළ යාම නිසා වෙනිසියුලාවේ ආර්ථික තත්ත්වය නැවතත් යහපත් විය. මේ 'තෙල් සෞභාග්‍යයේ' පිහිටෙන් චාවේස්ට රටේ අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගත් සුභසාධන ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකි වූ අතර ඒ හේතුවෙන් රට තුළ මෙන්ම රටින් පිටතද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගියේය. කලක් ඇමරිකාවේ පදිංචිව සිට වෙනිසියුලාවට නැවත යාමෙන් පසු සිය ඇමරිකානු මිතුරන් සමඟ සම්බන්ධතාව පවත්වා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ, දැනට ලොව පුරා ඉතා ජනප්‍රියව ඇති බ්ලොගයක් වසර දහතුනක් තිස්සේ පවත්වාගෙන යන දානියෙල් වෙනිසියුලා යන ආරූඪ නමින් ලියන බ්ලොග්කරු වැන්නෝ වෙනිසියුලානු සංවර්ධන ආකෘතියේ මායාව ගැන මුල සිටම අවබෝධයෙන් සිටියත් රටේ අවාසනාවකට බොහෝ දෙනෙකු මෑතක් වන තුරුම මේ තත්ත්වය තේරුම් නොගත්හ. 


චාවේස් නිබඳ මැතිරූ මතුර වූයේ අධිරාජ්‍ය විරෝධය හා ඇමරිකානු විරෝධයයි. රටේ සම්පත් බොහොමයක් ජනසතු කිරීමේ නාමයෙන් රජය සතු කෙරිණි. ඒවායේ පාලනය භාර කෙරුණේ චාවේස්ලාගේ පුද්ගලික හා දේශපාලන මිතුරන්ටය. තෙල් සල්ලි වල උදවුවෙන් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගෙන තිබුණු ණය මුදල් කලින්ම ගෙවා දමා, එයින් නොනැවතී 2007 මැයි දිනයේදී ප්‍රකාශයක් කරමින් එම ජාත්‍යන්තර සංවිධාන හා පැවති සම්බන්ධතාවන් කපා දැමීම එවකට ලංකාවේ ඇතැම් දේශපාලඥයින් විසින්ද දැක්කේ මහා ලොකු වීර ක්‍රියාවක් ලෙසිනි. 

කෙසේ වුවද, ලොකු සද්දයක් දැම්මත් වෙනිසියුලාව විසින් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඔවුන්ගේ වත්කම් ඉවත් කරගෙන හෝ ඡන්ද බලය අහිමි කරගෙන නැත. අවසන් වශයෙන් සිදුවී ඇත්තේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කර එහි ඇති ගැටළු හඳුනාගැනීමට හා පිළියම් යෝජනා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කලකින් ඉඩ නොදීම පමණි.

ඉහත මැයි දින කතාවේදී චාවේස් විසින් ලබා දීමට පොරොන්දු වූ පැය හයකට සීමා වූ වැඩ දිනයනම් මේ වන විට වෙනිසියුලාවේ ජනතාව භුක්ති විඳිති. රටේ රැකියා කරන ජනතාවගෙන් අති මහත් බහුතරය වන රජයේ සේවකයෝ සතියේ දින දෙකක් පමණක් වැඩ කරද්දී රටේ බොහෝ දෙනෙකු රැකියා විරහිතව නිකම්ම සිටිති. කෙසේ වුවද, චාවේස් මුල් වී යෝජනා කළ "දකුණු බැංකුව" (Bank of the South) පිලිබඳ අදහසනම් නරක එකක් නොවේ. කලාපීය ආර්ථික හා මූල්‍ය සහයෝගිතාවය තුළින් ලෝකයේ කලාප කිහිපයකටම ඉදිරියට එන්නට හැකි වී ඇති බව අපි දනිමු.

වෙනිසියුලාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විරසක වීමට එක් හේතුවක් වූයේ රටේ අනාගත ආර්ථික වර්ධන වේගය පිළිබඳවත්, චාවේස් රජයේ ප්‍රතිපත්ති නිසා ඇති විය හැකි අනාගත ආර්ථික අර්බුද ගැනත් අරමුදල විසින් සිදු කළ පුරෝකථන පිළිබඳව චාවේස් දැක්වූ නොකැමැත්තයි. රටක ආර්ථිකය අවදානම් තත්ත්වයක පැවතියද එය යම්කිසි නිශ්චිත කාලයක් තුළ අනිවාර්යයෙන්ම අර්බුදයකට යන බව ස්ථිරව කිසිවෙකුට කිව නොහැක. එහෙත්, ඒ සඳහා ලොකු ඉඩකඩක් ඇති බව කියන්නට බැරි නැත. වෙනිසියුලාව සම්බන්ධව අරමුදල විසින් කලක් තිස්සේ කළ පුරෝකථන මේ වන විට සැබෑ වී තිබේ.

රටක ආර්ථිකය වල පල්ලට යන විට පවතින රජයයන් විසින් බොහෝ විට කරන දෙයක්නම් සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ නොකර සිටීමයි. තෙල් මත ඉහළ ගිය ආර්ථිකය තෙල් සමඟම පහළ වැටෙද්දී 2014 ජනවාරි සිට වෙනිසියුලාව සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ කිරීම නැවැත්වූයේය. පසුගිය ජනවාරියේදී වසරකට පසුව වෙනිසියුලාව විසින් ප්‍රසිද්ධ කළ නිල සංඛ්‍යාලේඛණ අනුව රටේ උද්ධමනය 141%කි. නිල සංඛ්‍යාලේඛණ අනුව මෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව වෙනිසියුලාවේ සැබෑ උද්ධමනය 275%කි. මේ වසරේදී එය 720% දක්වා ඉහළ යනු ඇත. මෙය මේ වන විට ලෝකයේ කිසියම් රටක් මුහුණපාන ඉහළම උද්ධමනයයි. පසුගිය කාර්තු හත තුළ වෙනිසියුලාවේ ආර්ථිකය දිගින් දිගටම හැකිලී ඇති අතර මේ වසරේ තව දුරටත් හැකිලෙනු ඇතැයි විශ්වාස කෙරේ.


උද්ධමනයට මුහුණ දීම සඳහා මදුරෝ රජය විසින් දින දෙකකට පෙර අවම වැටුප 30%කින් වැඩි කළ නමුත් පවතින උද්ධමන වේගය අනුව ඒ වැඩිවීමෙන් ලොකු ප්‍රයෝජනයක් නැත. අනෙක් අතට, මුදල් තිබුණත් ගන්නට බඩු නැත. ලාබෙට ඇත්තේ ඉන්ධන පමණි. ටොයිලට් පේපර් රෝලක මිලට වාහනයකට ටැංකිය පිරෙන්නට ඉන්ධන මිල දී ගැනීමටනම් පුළුවන. මිල පාලනය යටතේ භාණ්ඩ වල පාලන මිල ඉතා අඩු වුවත් ඒ මිලට ගන්නට බඩු නැත. කළු කඩ මිල එමෙන් කිහිප ගුණයකි. විණිමය අනුපාතිකය පිලිබඳ තත්ත්වයද මෙසේය. ඇතැම් අවශ්‍යතා සඳහා ඇමරිකානු ඩොලරයක් බොලිවාර් 10කට මිල දී ගත හැකි වුවත් ඒ වාසිය සියල්ලන්ටම නොලැබේ. ඩොලරයක නිල නොවන මිල බොලිවාර් 1000ක් පමණ වී ඇත. බොලිවාර් 10කට ඩොලර් මිල දී ගැනීමේ හැකියාව ඇති අය කළු කඩයට ඩොලර් විකුණා ආදායම් ලබති. දරිද්‍රතාව 75% මට්ටමට ඉහළ ගොස් ඇති අතර මිනී මැරුම් හා සියදිවි නසාගැනීම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

කෙසේ වුවද, චාවේස් දිගින් දිගටම වෙනිසියුලාවේ මැතිවරණ ජයග්‍රහණය කළේ මැතිවරණ දූෂණ මඟින්ම නොවේ. ඔහුගේ සුභසාධනවාදී, ජාතිකවාදී ප්‍රතිපත්ති අඩු ආදායම් ලබන ජන කොටස් අතර ඉතාම ජනප්‍රියව පැවතුණේය. බහුතරය භක්තිමත් කතෝලිකයින් වන වෙනිසියුලාවේ චාවේස් යනු නාසරෙත්හි ජේසුස්ගේ දෙවන උපතක් වැනි විය. චාවේස්ගේ අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකය වල පල්ලට යමින් තිබුණත් ඉහළින් පැවති තෙල් මිලේ වාසිය හේතුවෙන් යටින් පැසවන මේ තුවාලය මතුපිටින් වැසී තිබුණේය. රටේ ආර්ථිකය තුළ වැඩෙමින් පැවති පිළිකාවට වඩා චාවේස්ගේ සිරුරේ පැතුරුණු පිළිකාව වේගයෙන් වැඩුණු නිසා චාවේස්ගේ ජනප්‍රියත්වය ගිලිහෙන්නට පෙරම ඔහුට ජීවිතය හැර යන්නට විය.

චාවේස් කතෝලික සාන්තු වරයෙකු සේ පෙනී සිටියාක් මෙන්ම නිකොලාස් මදුරෝ පෙනී සිටියේ දෙවන චාවේස් කෙනෙකු ලෙසිනි. චාවේස්ගේ ආත්මය කුරුල්ලෙකු ලෙසින් පැමිණ තමන්ට ආශිර්වාද කරන්නේය වැනි කතා කියමින් ඔහු වෙනිසියුලාවේ අඩු ආදායම් ස්ථර ආමන්ත්‍රණය කළේය. කෙසේ වුවද, චාවේස් මිය යන විටද ඔහු විසින් නියෝජනය කළ එක්සත් සමාජවාදී පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහෙමින් පැවතුණේය. 2013 ජනාධිපතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කළ වත්මන් ජනාධිපති නිකොලාස් මදුරෝ ජයග්‍රහණය කළේ යාන්තමිනි. ඔහු ඡන්ද 7,587,579ක් ලබන විට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් වටමේසයේ (MUD ) හෙන්රිකේ රදොන්ස්කිද ඡන්ද 7,363,980ක් ගත්තේය. කෙසේ වුවද, පසුගිය දෙසැම්බරයේ පැවති මහ මැතිවරණය රදොන්සිකි නායකත්වය දුන් දක්ෂිණාංශික සන්ධානයට තුනෙන් දෙකක ජයග්‍රහණයක් හිමි කර දෙමින් අවසන් විය.


මහ මැතිවරණ පරාජයෙන් ජනාධිපති මදුරෝ පසු බැස්සේ නැත. ජාතික සභාවේ බලය නැතත් චාවේස් හිතවාදීන් රටේ ප්‍රධාන තනතුරු වලට පත් කර ඔහු පෙර පැවති ප්‍රතිපත්ති දිගටම ගෙනයයි. චාවේස් මෙන්ම මදුරෝද රටේ මුදල් සැපයුම වැඩිවීම භාණ්ඩ මිල ඉහළ යාමට හේතුව බව පිළිගැනීමට කැමති නැත. ඒ වෙනුවට, එහි වරද සමාගම් වල අධික ලාභ බව පවසමින් මිල පාලනයට පෙළඹීම නිසා අවසාන වශයෙන් රටේ විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබේ.

වෙනිසියුලානු ව්‍යවස්ථාව අනුව මහජන පෙත්සමක් මඟින් කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරයාව ගෙදර යැවිය හැකිය. පෙරේදා වන විට අත්සන් මිලියන 1.85ක් එකතු කර අවසන් කළ වෙනිසියුලා විපක්ෂය මේ සඳහා පළමු පියවර දැනටමත් තබා අවසන්ය. කලකට පෙර චාවේස්ට එරෙහිවද මෙවැනි ජනමත විචාරණයක් පැවැත්වුන නමුත් ඒ වන විට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි චාවේස්ට එම ජනමත විචාරණය ජයගත හැකිවිය. ඉහත පෙත්සම ජාතික මැතිවරණ කොමිසම විසින් භාර ගැනීමෙන් පසුව දින තිහක් ඇතුළත එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 1% බැගින් වන අත්සන් ප්‍රමාණයක් එකතු කිරීම ඇතුළු තවත් පියවර කිහිපයක් ඇතත් පළමු වටයේදී පෙත්සමට අත්සන් කිරීමට වැල නොකැඩී ජනතාව පැමිණි ආකාරය අනුව මෙය අභියෝගයක් බව නොපෙනේ. ඉන් පසුව, නිකොලාස් මදුරෝව ඉවත් කිරීම සඳහා පවත්වන ජනමත විචාරණයකදී එසේ ඉවත් කිරීම සඳහා ඔහු 2013දී ලබාගත් ඡන්ද 7,587,579ට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිය යුතුය. එයද ලබාගැනීම වෙනිසියුලානු විපක්ෂයට අභියෝගයක් නොවනු ඇත.


පවතින තත්ත්වය අනුව මාස කිහිපයක් ඇතුළත බොහෝ දුරට වෙනිසියුලාවේ කාලයක් තිස්සේ පැවති එක්සත් සමාජවාදී  පක්ෂයේ පාලනය අවසන් වී දක්ෂිණාංශික සභාගය බලයට පත්වනු ඇත. එහෙත්, එසේ පත්වන නව රජයකට සැබෑ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙන්නේ ඉන් පසුවය. වෙනිසියුලාව දැනට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදයට චාවේස්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති බොහෝ දුරට හේතු වී ඇතත් අර්බුදයට එකම හේතුව එය නොවේ. යම් හෙයකින් වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළේ වුවද ලෝක තෙල් මිල අඩුවීම හා නියඟය වැනි බාහිර කම්පන නිසා මේ කාලයේ වෙනිසියුලාවේ ආර්ථිකය අර්බුදයකට යා හැකිව තිබුණි. කෙසේ වුවද, මාළු අහුවන දිනවල ඉදිරියේ පැමිණිය හැකි වාරකන් දින ගැන නොසිතූ නිසා වෙනිසියුලාවේ අර්බුදය මේ තරමටම උග්‍ර වී තිබේ. රජය වෙනස් වුවද, වෙනුසියුලාවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයාම පහසු නොවනු ඇත.

මේ අවස්ථාවේ වෙනිසියුලානු ජනතාව මුහුණ දෙන ආහාර හා බෙහෙත් හිඟය ඇතුළු මානුෂික ප්‍රශ්න හමුවේ වෙනත් රටවලට උදවු කිරීමට නොහැකිව ඇත්තේ ජනාධිපති මදුරෝගේ දැඩි ස්ථාවරය නිසාය. MUD පක්ෂයේ මන්ත්‍රී වර්ජිලෝ ෆෙරාර්ට අනුව මදුරෝ විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ වෙනිසියුලාවේ ලොකුම ජන ඝාතනයයි. රට තුළ ජාතික මානුෂික සෞඛ්‍ය අර්බුදයක් (national humanitarian health crisis) පවතින බවට අද දින MUD පක්ෂය විසින් ජාතික සභාවේ සම්මත කරගත් පණත අනුව වෙනිසියුලාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් රටවලින් මානුෂික ආධාර ඉල්ලා සිටීමට සහ ඒවා භාර ගැනීමට ඉදිරියේදී ඉඩ සැලසෙනු ඇති අතර වෙනිසියුලාවේ ගෞරවයට හානියක්යැයි කියමින් එම ආධාර ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති මදුරෝට පහසු නොවනු ඇත.

(Image: www.postwesternworld.com)

Sunday, May 1, 2016

Mayday! Mayday!! Mayday!!! මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!


ඇමරිකාවේ සියැටල්හි සිට ඇලස්කාව බලා ගමන් ගත්, අඩි 75ක් දිග 'උතුරු කුමාරි' (Northern Belle) යාත්‍රාව 2010 අප්රේල් 20 වනදා හවස් වරුවේදී ලොකු රැල්ලක වැදී එක්වරම පැත්ත පෙරලුනේය. ඇතැම් විට එහි ප්‍රවාහනය කෙරෙමින් තිබුණු භාණ්ඩ සමතුලිතතාවය වෙනස් වූ විට නැවත ස්ථාවර වන පරිදි නිසි පිළිවෙලට අසුරා නොතිබුණා විය හැකිය. 


ඇලස්කා බොක්කේදී මෙසේ උතුරු කුමාරිය පැත්ත පෙරලෙන විට යාත්‍රාවේ කප්පිත්තා වූ රොබට් රෝයර් ඇතුළු සිවු දෙනෙකු  එහි වූහ. හදිස්සියට කොරොස් කටේවත් අත දාගැනීම අමාරුය. ගැටගසා තිබුණු ජීවිතාරක්ෂක බෝට්ටු ලිහා ගැනීමට අපහසු වූයෙන් රොබට් රෝයර් හැර ඉතිරි තිදෙනාම කළේ ජීවිතාරක්ෂක ඇඳුම් ඇඳගෙන මුහුදට පැනීමයි.

යාත්‍රාවේ වූ හදිසි අනතුරකදී තමන් සිටින ස්ථානය රේඩියෝ සංඥාවක් මඟින් ස්වයංක්‍රීයව සන්නිවේදනය කළ හැකි (Emergency Position Indicating Radio Beacon -EPIRB) බීකනය ක්‍රියාත්මක කර නොතිබුණේය. ඒ නිසා, අනෙක් තිදෙනා සමඟ වහාම මුහුදට පනින්නට ඉක්මන් නොවූ රොබට් රෝයර් ඇමරිකානු වෙරළාරක්ෂක හමුදාවට
අනතුර හා තමන් සිටින ස්ථානය දැනුම්දීමට වෙලාව ගත්තේය. ඔහුගේ අනතුරු හැඟවීම නිසා අනෙක් තිදෙනාගේ දිවි ගැලවුනත් රොබට්ට සිය ජීවිතය අහිමි විය.

පහත වීඩියෝවේ ඇත්තේ රොබට්ගේ මේ අවසන් අනතුරු හැඟවීමයි.



ගුවන් යානාවක් හෝ මුහුදු යාත්‍රාවක් අනතුරට පත් වූ විට එය දැනුම් දෙන සංකේතය "මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!" යන්නයි. මේ වචනයේ මුල "මට උදවුකරන්න" යන තේරුම ඇති "මේ ඩේ!" (m’aider) යන ප්‍රංශ වචනයි. ප්‍රංශ ශබ්දය අනුකරණය කරන ඉංග්‍රීසීහු එය MayDay ලෙස ඉංග්‍රීසියෙන් ලියන්නට පටන් ගත්හ. 1927දී මේ කේතය ජාත්‍යන්තර සම්මතයක් ලෙස තීරණය කෙරිනි.

තාක්ෂණික වචනද වැඩිපුර යොදාගනිමින් ඉංග්‍රීසියෙන් ලියූ මගේ පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වමින් එක් පාඨකයකු සටහන් කර තිබුණේ එහි ලියා ඇති සියල්ල කෙසේ වෙතත් 'නැව ගිලෙන්නට යන බව'නම් තේරෙන බවයි. ලිපියේ අදහස වචන කිහිපයකට කෙටි කිරීමට ඊට වඩා හොඳ ක්‍රමයක් නැත.


"මේ ඩේ" හෙවත් මැයි දිනය ලෙසද හැඳින්වෙන ලෝක කම්කරු දිනය අදයි.  මැයි දිනයට දින දෙකක් තිබියදී, රජය විසින් ගිලෙන්නට යන නැව බේරාගන්නට ඉදිරිපත් වන මෙන් කළ ඉල්ලීමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. මේ අනුව, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලැබෙන්නට නියමිතය. ඒ සමඟම ඩොලර් මිලියන 650ක වෙනත් බහු පාර්ශ්වීය හා ද්වී පාර්ශ්වීය ණය පැකේජයක්ද ලැබෙන බැවින් ඩොලර් බිලියන 2.2ක පමණ අරමුදලක් ණය ලෙස ලැබේ.

මේ අරමුදල් මඟින් නැව ගිලෙන්නට නොදී බේරාගන්නට හැකි වනු ඇති බව මගේ අදහසයි. ඒ අනුව, කෙටිකාලීනව ප්‍රශ්නය විසඳී තිබේ. එහෙත්, දිගුකාලීනව ප්‍රශ්නය එසේමය. නැව ගිලීම වැළැක්වීම ප්‍රමාණවත් නැත. අවසානයේදී, එය පිළිසකර කර ගමන යා යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම සඳහා රජය විසින් අත්සන් කෙරෙන ගිවිසුමෙහි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක්ම තිබේ. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් පනවා ඇති කොන්දේසි නොවේ. ඔවුන් එකඟ වී ඇති, රජය විසින් ඉදිරිපත් කළ, රජයේ සැලසුම්ය. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිනම් එය රටේ දිගුකාලීන යහපතට හේතු වනු ඇත.

කෙසේවුවද, යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දේශපාලනිකව පහසු කරුණක් නොවනු ඇත. පෙනෙන්නට ඇති පරිදි, මේ යෝජනා එජාපයේ යෝජනාය. එම යෝජනා හා අදාළව රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ප්‍රතිරෝධයක් ඇති බව පෙනේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රීලනිප පාර්ශ්වයට පැහැදිලි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන මුළුමනින්ම කෙසේවුවත් සාපේක්ෂව වඩා හොඳ අවබෝධයක් අගමැති වරයා ප්‍රධාන රජයේ එජාප පාර්ශ්වයට ඇති බව පෙනේ. එහෙත්, ඒ සඳහා යෝජිත විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි දේශපාලනික ගැටළු පිළිබඳව එම පාර්ශ්වය ගැඹුරෙන් සිතන බවක් නොපෙනේ. රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයට මේ තත්ත්වය ගැන වඩා හොඳ අවබෝධයක් තිබේ.

අද රටේ දේශපාලනික තත්ත්වය ජේආර් විසින් 1977දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට පැවති තත්ත්වය නොවේ. ආර්ථික ප්‍රශ්න වලට වහා පිළියම් සෙවිය යුතුය. එහෙත්, එසේ කිරීමේදී හැකිතාක් පාරදෘශ්‍ය වෙමින් ජනතාව සමඟ සක්‍රිය සංවාදයක් පවත්වා ගැනීමද අත්යවශ්‍ය කරුණකි. ඊට පෙර රජය තුළ සිටින එජාප හා ශ්රිනිප පාර්ශ්ව අතර ඉදිරි ආර්ථික සැලසුම් පිලිබඳ සම්මුතියක් ඇති විය යුතුය. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ යෝජනා සිංහල පත්තරයක පළ කිරීම හොඳ ප්‍රවේශයක් වන්නට පුළුවන.)


රජයේ ප්‍රධාන පක්ෂ දෙකට අයත් කොටස් විසින් සංවිධානය කෙරෙන මැයි රැළි තුනක් අද පැවැත්වේ. මේ මැයි දිනය ශ්‍රී ලංකා දේශපාලනයේ කිසියම් හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කරන්නට ඉඩ ඇති දිනයකි. ඉහත කී ප්‍රධාන මැයි රැළි තුනෙන් එකකදීවත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා නොවේ. ජාත්‍යන්තර කියා කීවත් මැයි දිනයේදී සැමරෙන සිදුවීම සිදුවූ ඇමරිකාවේ කම්කරු දිනය සැමරෙන්නේ අද නොවේ. සැප්තැම්බර් මාසයේදීය. මෙහි ඇත්තේ මා ඒ ගැන පෙර ලියූ සටහනකි.

චිකාගෝහි පිහිටි ලොවපුරා කම්කරු දිනය සැමරීමට මුල් වූ සිදුවීම හා අදාළ තැන් දැක බලාගන්නට මට කලක සිට 'උණක්' තිබුණේය. වසර ගණනාවකට පෙර චිකාගෝ නගරයට ගිය අවස්ථාවක මේ සඳහා උත්සාහයක් දැරුවත් මෙවැනි සිදුවීමක් ගැන අඩු වශයෙන් බොහෝ දෙනෙකු අසා තිබුණේවත් නැති නිසා මගේ අදහස ඉටු නොවීය. කෙසේ වුවද, පසුගිය වසරේ සියළු අවශ්‍ය තොරතුරු සොයාගෙන මම එහි ගියෙමි. ලොකුම අමාරුවේ වැටුනේ හැමතැනම ස්මාරක පිරුණු මේ විශාල සුසාන භූමියට ඇතුළු වූ පසුවය. කෙසේවුවද, මේ ස්මාරකය ඇති තැන ජීපීඑස් ඛණ්ඩාංක අන්තර්ජාල අඩවියක සටහන් කර තිබුණු නිසා කෙසේ හෝ අදාළ ස්මාරකය දැක ගැනීමට හැකිවිය.


(Image: http://www.seattletimes.com/)

Gadget

This content is not yet available over encrypted connections.