Thursday, October 29, 2015

යුද අපරාධවලට වගකිව යුත්තේ කවුද?

ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිවුහෙවන්හි ක්ෂණික ආහාර විකුණන අවන්හලක පැයකට ඩොලරයක් වූ අවම වැටුපට සේවය කළ කොනර් දවසේ වැඩ නිමාකර අසල වූ සුපිරි වෙළඳසැලකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගෙන ආපසු යද්දී එහි දැන්වීම් පුවරුවක වූ නිවේදනයක් ඔහුගේ ඇස ගැසුණේය.

"මතකය පිළිබඳ පරීක්ෂණයක් සඳහා පුද්ගලයින් අවශ්‍යයි. පැයක කාලය වෙනුවෙන් ගෙවීම ඩොලර් හතරයි."

නැවතී සම්පුර්ණයෙන් කියවීමට තරම් මේ දැන්වීම කොනර්ට ආකර්ෂණීය වීම පුදුමයක් නොවේ. එහි ඇති විස්තර අනුව, යේල් විශ්ව විද්‍යාලය මඟින් කරන මේ පර්යේෂණය සඳහා වයස 20-50 අතර, පාසැල් හෝ විශ්ව විද්‍යාල සිසුන් නොවන, පිරිමින් පන්සියයකගේ සේවය අවශ්‍යව තිබේ. තමන්ට පහසු පරිදි පැයක කාලයක් මේ පරීක්ෂණය සඳහා යෙදවීම වෙනුවෙන් ඩොලර් හතරක ගාස්තුවකට අමතරව ප්‍රවාහන ගාස්තු ලෙස තවත් ශත පණහක් ලබා ගත හැකිය.


(Photo credit: https://en.wikipedia.org/wiki/Milgram_experiment)
දැන්වීම් පුවරුවෙන් කූපනයක් ඉරා ගත් කොනර් සාක්කුවෙන් පෑනක් ගෙන අදාල විස්තර පුරවා ළඟපාතක වූ තැපැල් පෙට්ටියකට දැමීමට දෙවරක් හිතුවේ නැත.

***

සතියකට පමණ පසු හවස් වරුවක වැඩ ඇරී ගෙදර පැමිණ ටික වේලාවකින් කොනර්ගේ දුරකතනය නාද විය. ඇමතුම යේල් විශ්ව විද්‍යාලයෙනි. කෙටි සාකච්ඡාවකින් අනතුරුව ඊළඟ බ්‍රහස්පතින්දා හවස හතරට පරීක්ෂණය සඳහා කොනර්ට කාලය වෙන් කෙරිණි.

රෝස්ටරයකට අනුව වැඩ කළ කොනර්ට බ්‍රහස්පතින්දාව විවේක දිනයකි. ඒ නිසා අදාල දවසේදී ප්‍රමාද වීමට ඔහුට කිසිදු හේතුවක් නොවීය. යේල් විශ්ව විද්‍යාලයේ නියමිත ගොඩනැගිල්ල සොයාගත් ඔහුට පිළිගැනීමේ නිලධාරිනිය විසින් දැනුම් දුන්නේ කැඳවීමක් කරන තුරු අසල වූ ආලින්දයක අසුන් ගන්නා ලෙසයි.

***

"ශුභ සන්ධ්‍යාවක්! මම ස්ටැන්ලි. ඔබත් මම හිතන්නේ පරීක්ෂණය සඳහා සහභාගී වීමට පැමිණි කෙනෙක්?"

ආලින්දයේ අසුන්ගෙන සිටි මැදිවිය ඉක්මවූ පුද්ගලයා පෙනුමෙන් මෙන්ම කතාවෙන්ද මිත්‍රශීලීය.

"ශුභ සන්ධ්‍යාවක්! මම කොනර්. මම හිතන්නේ මේ මහාචාර්ය මිල්ග්‍රම් වෙන්න ඇති?"

"අපොයි නෑ. මම ස්ටැන්ලි ගෝල්ටන්. පළමු නම එක වුනත් මම ස්ටැන්ලි මිල්ග්‍රම් වගේ මහාචාර්යවරයෙක්නම් නෙමෙයි. මම ඇවිල්ලා රථාචාර්යවරයෙක්. නිකම් කාර් බස් නෙමෙයි. ට්‍රක්. හැබැයි පොඩි හාට් කේස් එකක් ඇවිත් දැන් මාස දෙක තුනක ඉඳලා ඒකත් නවත්තලා ගෙදර ඉන්නේ. නිකං ඉන්න එකේ හිතුවා ඩොලර් හතරක් අතාරින්නෙ මොකටද කියලා."

"සතුටුයි අඳුනගන්න ලැබීම ගැන. අද මගේ ඕෆ් ඩේ එක. ඉතින් මාත් හිතුවා නිකන් ඉන්න එකේ ඇවිල්ල බලන්න."

***

"ශුභ සන්ධ්‍යාවක්! මම ස්ටීව්. මහාචාර්ය මිල්ග්‍රම්ගේ සහායකයෙක්. අපි යමු ඇතුලට."

"මේ පර්යේෂණය මතකය ගැන පර්යේෂණයක් බව අපි මුලින්ම කිවුවනේ. මේ සඳහා අපට ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු අවශ්‍යයි. අපි කුසපත් ඇදලා ගුරුවරයාව සහ ගෝලයාව තෝරාගනිමු. මේ තොප්පියේ තියෙන තුණ්ඩු කෑලි දෙකෙන් කැමති එකක් ගන්න."

කොනර් තුණ්ඩුවක් තෝරාගත්තේය. ස්ටැන්ලි ඉතිරි තුණ්ඩුව අතට ගෙන දිගහැර බලන්නට විය.

"මම ශිෂ්‍යයා" ස්ටැන්ලි කියද්දී කොනර් ඔහු අත වූ තුණ්ඩු කෑල්ලට ඇස යොමු කළේය.

"හරි, මගේ තුණ්ඩුවේ තියෙන්නේ ගුරුවරයා කියා."

"ශිෂ්‍යයා මේ දකුණු පැත්තේ කාමරේට යන්න. ගුරුවරයා මාත් එක්ක වම් පැත්තේ කාමරයට එන්න."


***

"දැන් ඔබ ගුරුවරයනේ. ඔබේ ශිෂ්‍යයා අල්ලපු කාමරේ ඉන්නවා. මේ ඉයර්ෆෝන් දාගත්තහම ඔබට ඔහු සමඟ කතා කළ හැකියි. මේ කඩදාසියේ වචන ලැයිස්තුවක් තියෙනවා. ඔබට තියෙන්නේ ඒ වචන වල තේරුම ඔබේ ශිෂ්‍යයාට ඉගැන්වීමයි. මේ සඳහා ඔබට විනාඩි පහළොවක් තියෙනවා."

ලැයිස්තුවේ ඇත්තේ සාමාන්‍යයෙන් භාවිතා නොකරන බර වචනයි. ඒවායේ තේරුම්ද සටහන් කර ඇති නිසා වැඩේ එතරම් අමාරුවක් නැත. පැයකට හෝ ගුරුවරයෙකු වන්නට ඇත්නම් කාටද ආඩම්බර?

කොනර් කාමරය සිසාරා ඇස් යැවුවේය. ඔහු ඉදිරිපිට ඇති මේසයේ විවිධාකාර ස්විච් කිහිපයක් සවිකර තිබේ. ඒ පිළිබඳව ඔහුට යම් කුතුහලයක් ඇති නොවුනා නොවේ.

"කැම්පස් එකක්නේ. ඔය වගේ තැන්වල මේ වගේ එක එක ගැජට් ඇති. මඤ්ඤොක්කා ගන්න ආවනම් වත්තේ හතර මායින් හොයන්නේ මොකටද? හතරයි පණහ අරගෙන ගෙදර යනව මිසක්!"


***

"දැන් උගන්වන්න තියෙන කාලය ඉවරයි. ඊළඟට තියෙන්නේ ඉගෙනීම පරීක්ෂා කිරීමයි. මේ වචන වල තේරුම දැන් එකින් එක ඔබේ ශිෂ්‍යයාගෙන් අහන්න. වැරැද්දුවොත් මේ ස්විච් එක ඔබන්න. එවිට ඔහුට පොඩි විදුලි සැරයක් වදිනවා"

"විදුලි සැරයක්?"

"ඔවු, ඔබේ ශිෂ්‍යයාව වයරයකට සම්බන්ධ කරලයි තියෙන්නේ. ඔබ මේ ස්විච්චය එබුවහම ඔහුට වෝල්ට් පහළොවක විදුලි සැරයක් වදිනවා."

"ඒක වේදනාකාරී දෙයක්නේ..."

"පොඩ්ඩක් රිදෙනවා තමයි. ඒත් ඒක ඒ හැටි දෙයක් නෙමෙයි. ඕනෑනම් ඔබත් මේ ගැජට් එක අතට දාගෙන බලන්න."

කොනර් පිළිතුරක් දීමටත් පෙරම මහාචාර්යවරයාගේ සහකරු ස්ටීව් ඔහුගේ අතට යම් උපකරණයක් සම්බන්ධ කර "වෝල්ට් 15" ලෙස සඳහන් ස්විච්චය එබුවේය. කොනර්ගේ අත දිගේ විදුලිය ගලා යද්දී ක්ෂණික කම්පනයක් ඇති වුණත් එය දරා ගැනීමට අපහසු වුණේ නැත.

"ලොකු අමාරුවක්නම් නෑ තමයි. ඒත් පොඩ්ඩක් රිදෙනවා. දැන් මොකක්ද මේ වැඩේ තේරුම?"

"මේක තමයි අපේ පරීක්ෂනය."


 

(Photo credit: http://www.simplypsychology.org/milgram.html)


ස්ටීව් පිළිතුරු දුන්නේ කොනර්ගේ අතට සම්බන්ධ කර තිබුණු උපකරණය ගලවන අතරේය. කොනර් මේසයේ පසෙක වූ යතුරු පුවරුව දෙසට නෙත් යොමු කළේය. එහි ස්විච් තිහක් තිබේ. පළමුවැන්නේ 15V ලෙස සඳහන්ව ඇත. ස්ටීව් ක්‍රියාත්මක කළේ ඒ ස්විච්චයයි. ඉතිරි ස්විච්ච වල වෝල්ටීයතාව 30V, 45V ආදී වශයෙන් වෝල්ට් 450 දක්වා ක්‍රමයෙන් වැඩිවේ.

"දැන් මේ අනිත් ස්විච්චුත් ඔබන්න වෙනවද?"

"සමහර විට ඕනෑ වෙන එකක් නැහැ. පළමුවෙනි පාරට වැරැද්දුවහම වෝල්ට් 15යි. වරද්දන පාරක් ගානේ ෂොක් එකේ වෝල්ටීයතාව පහළොවකින් වැඩි කරන්න ඕනෑ."

"හාරසිය පනහට යනකං?"

"ගුරුවරයා හරියට උගන්නලනම්, ශිෂ්‍යයා හරියට ඉගෙනගෙනනම් විදුලිසැර ඕනෑ නොවෙන්නත් පුළුවන්."

කොනර්ට කිසියම් වරදකාරී හැඟීමක් ඇතිවේ.

"ඒත් මේ ප්‍රශ්න අමාරු ප්‍රශ්න නෙමෙයිනේ. වැඩිම වුනොත් එකක් දෙකක් වරද්දයි."

***

ස්ටැන්ලි බලාපොරොත්තු වූ තරම් දක්ෂ ශිෂ්‍යයෙකු නොවන බව කොනර්ට අවබෝධ වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මේ වන විට ලබා දෙන විදුලි සැරයේ වෝල්ටීයතාව අනූව දක්වා වැඩි කර ඇත.

"මේ යකා පුදුම හරකෙක්නේ. මෙච්චර ලේසි ප්‍රශ්න වලටත් උත්තර දෙන්න බැරිනම් මූට කරන්ට් වද්දල මදි."

කොනර් තමන් පෙළන වරදකාරී හැඟීමෙන් මිදෙන්නට හේතුවක් සොයයි.

"යකෝ මේ මනුස්සයට හාට් කේස් එකකුත් තිබුණ කිවුව නේද? හදිස්සියෙවත් මොනව හරි වුනොත් මටත් බඩු."

ඒ සමඟම ඔහුට සිහිවෙයි. කොනර් ස්ටීව්ගේ මුහුණ දෙසට නෙත් යොමු කළේය.

"මේ කරන්ට් වැඩේ කරන්නම ඕනෑද? දැන් අනූවයි."

"කරගෙන යන්න."

ස්ටීව් පිළිතුරු දෙන්නේ ඔළුව හරවා බලන්නේවත් නැතුවය.

"බලමු මේ යකා දැන්වත් හරියට උත්තර දෙයිද කියලා."

ස්ටැන්ලි දෙන පිළිතුරු අතර හරි ඒවාට වඩා වැඩිපුර තියෙන්නේ වැරදි ඒවාය. දැන් වෝල්ටීයතාවය එකසිය හැටපහකි.

"මේ වැඩෙන් මේ මනුස්සයට මොනවා හරි වෙයිද?"

කොනර් නැවතත් ස්ටීව් විමසීය.

"මේ පරීක්ෂණය සාර්ථක කරගන්නනම් ඔබ මෙය දිගටම කරගෙන යා යුතුයි. ටිකක් රිදෙන එකේ අමාරුව විතරයි. මේ වැඩෙන් කිසිම ස්ථිර හානියක් වෙන්නෙ නැහැ."

කොනර් නැවතත් ප්‍රශ්න අසන්නට පටන්ගත්තේය. වෝල්ටීයතාව මේවනවිට දෙසිය හතළිහ දක්වා ඉහළ නැංවීමට සිදුවී තිබේ. දැන් විදුලි සැරයක් ලබා දෙන විට ස්ටැන්ලි කෑගසන හඬ බිත්තිය පසාරු කරගෙන කොනර්ගේ දෙසවනට පිවිසේ. වෝල්ටීයතාව වැඩි කරද්දී ස්ටැන්ලි කෑගසන හඬේ තීව්‍රතාවයද වැඩිවේ.

"මේ මනුස්සයට දැන්නම් හොඳටම අමාරුයි වගේ. මේ වැඩේ දිගටම කරන්න ඕනෑද?"

"ඔබ මෙය දිගටම කරගෙන යාම අනිවාර්ය අවශ්‍යතාවක්!"

වෝල්ටීයතාව දැන් හාරසිය විස්සේය. ස්ටැන්ලි කෑගසනවාට අමතරව වේගයෙන් බිත්තියට ගසයි. ඔහුට මේ වදයෙන් ගැලවෙන්නට අවශ්‍ය බව ඉතා පැහැදිලිය.

"දැන්නම් මට මේ වැඩේ නවත්තන්නමයි හිතෙන්නේ."

"ඔබට මෙතන තෝරාගැනීමක් නැහැ. වැඩේ දිගටම කරගෙන යන්නම වෙනවා."

කොනර්ට පරීක්ෂණය නැවැත්වීමට අවසරයක් ලැබෙන්නේ උපරිම වෝල්ටීයතාව වන හාරසිය පණහේ  සීමාවට ලඟා වීමෙන් පසුවය.

***

ඉහත විස්තර කෙරුණේ මහාචාර්ය ස්ටැන්ලි මිල්ග්‍රම් විසින් සිදුකළ සමාජ විද්‍යා පර්යේෂණයකි. මෙය සිදු කළේ අද ඊයේ නොවේ. අඩ සියවසකටත් පෙර, 1961 ග්‍රීස්ම සෘතුවේදීය.

මේ කතාවේ ස්ටැන්ලි ගෝල්ටන් ඇත්තටම කොනර් මෙන් දැන්වීමට ප්‍රතිචාර දැක්වූවෙකු නොවේ. මේ පරීක්ෂණයේදී ඔහු කරන්නේ රඟපෑමකි. ඒ අනුව, ඇත්තටම පර්යේෂණයට මුහුණ දෙන්නේ කොනර් පමණි.

බොරුවට කරන කුසපත් ඇදීමෙන් හැමවිටම ගුරුවරයා වෙන්නේ කොනර් මෙන් දැන්වීමට ප්‍රතිචාර දක්වමින් පරීක්ෂනයට සම්බන්ධ වූ අයෙකි. තුණ්ඩු කෑලි දෙකේම ලියා ඇත්තේ ගුරුවරයා යනුවෙනි. රඟපෑමක් කරන සහායකයා ඔහුට ලැබී ඇති උපදෙස් අනුව තමන්ට ලැබුනේ ශිෂ්‍ය අවස්ථාව බව බොරුවට කියයි.

ස්ටැන්ලි ගෝල්ටන්ට ඇත්තටම වදින විදුලියක් නැත. ඔහුගේ කෑගැසීම්ද රඟපෑම්ය. වැරදි පිළිතුරු දෙන්නේත් සැලසුම්සහගතවය. එමෙන්ම ඔහුට ඇති හාට් කේස් එකක්ද නැත.

***

මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වුනේ විධානයකට යටත් වන පුද්ගලයෙකු අකැමැත්තෙන් තවත් පුද්ගලයෙකුට පීඩාවක් කිරීමට ඇති ඉඩකඩ ගැන හැදෑරීමයි. යෙරුසලමේදී ඇඩොල්ෆ් අයිච්මාන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කෙරුණේ මේ කාලයේදීය.

(Photo credit: http://www.jpost.com/National-News/ON-THIS-DAY-Nazi-war-criminal-Adolf-Eichmann-executed-by-Israel-354942)


අයිච්මාන් යනු හිට්ලර්ගේ විධාන අනුව දෙවන ලෝක යුද සමයේදී යුදෙව්වන් මිලියන හයක් පමණ ඝාතනය කිරීමට මුල්වූ පුද්ගලයෙකි. ඔස්ට්‍රියාව හරහා ආර්ජන්ටිනාවට පැනගත් අයිච්මාන් 1960 වන තුරු එහි රහසිගතව ජීවත් වූ නමුත් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ උකුසු ඇසින් ගැලවෙන්නට ඔහුට නොහැකි විය.

***

"අයිච්මාන් ඇත්තටම මේ සමූහ ඝාතනයට වරදකරුද? එසේ නැත්නම් ඔහු කළේ ඉහළින් නිකුත් වූ අණ පිලිපැදීමක් පමණක්ද?"

මේ පැනය අදාල කාලයේදී පුළුල් ලෙස විවාදයට ලක්වූවකි. ආචාර ධාර්මික හේතු මත පසුකාලීනව බොහෝ විවේචනයන්ට ලක් වූ නමුත් සමාජ විද්‍යා විද්‍යාගාර පරීක්ෂණ සම්බන්ධ පූර්වාදර්ශයක් සැපයූ, ඉහත විස්තර කළ මිල්ග්‍රම් පරීක්ෂනය මඟින් සෙවූයේ මේ පැනයට විසඳුමකි.

සරසවි සිසුන් යොදාගෙන සිදුකළ සමීක්ෂණයක ප්‍රතිපල අනුව පෙනී ගිය පරිදි, පරීක්ෂණය ආරම්භයේදී අපේක්ෂා කළේ 'ගුරුවරු' බොහෝ දෙනෙකු මේ 'කරන්ට් වැද්දීම' අතරමඟ නවත්වනු ඇති බවයි. සමීක්ෂණයට මුහුණ දුන් සිසුන් සියල්ලෝම වාගේ සිතුවෝ කලාතුරකින් කෙනෙකු මිස යමෙකු වෝල්ට් තුන්සීය නොඉක්මවනු ඇති බවයි.

සැලසුම් කළ ආකාරය අනුව, යමෙකු පරීක්ෂණය නැවැත්වීමට අවශ්‍ය බව පැවසූ විට ඉහත විස්තර කළ පරිදි සිවුවරක් එය දිගටම කරගෙන යන දෙස ඔවුන්ට දන්වනු ලැබීය. පස්වන වරටත් ඉල්ලීමක් නොකළේනම් සහ වාචික නියෝග නොසලකමින් පරීක්ෂණය මඟ නැවැත්වූයේ නැත්නම්, උපරිම වෝල්ටීයතාව ලබා දෙන තුරු පරීක්ෂණය දිගටම පැවැත්වුනේය.

පරීක්ෂණයට මුහුණ දුන් 'ගුරුවරු' හතළිහකගෙන් විසිහයදෙනෙකුම (65%) අකමැත්තෙන් වුවද තමන්ගේ ශිෂ්‍යයන්ට උපරිම වෝල්ටීයතාව වන වෝල්ට් 450 ලබා දීමට පසුබට වූයේ නැත.

වරින්වර නැවත සිදුකෙරුණු මිල්ග්‍රම් පරීක්ෂනයේ ප්‍රතිඵල අනුව මේ මිනිසුන්ගේ ස්වභාවයයි!

***

මිල්ග්‍රම් පරීක්ෂණය සිදුකර මේ වනවිට අඩ සියවසක් ගත වී ඇත. හෝමෝ සේපියන්ස්ලා පරිණාමය වෙති. මේ කාලය තුල මිනිසුන්ගේ හැසිරීම වෙනස් වී ඇත්තේ කෙසේද?

සැන්ට ක්ලේරා සරසවියේ ජෙරී බර්ගර් විසින් 2009 වසරේදී ආචාර ධාර්මික හේතු මත සිදුකළ සංශෝධන සහිතව මිල්ග්‍රම් පරීක්ෂණය නැවත සිදු කරමින් නිරීක්ෂණය කළේ මිනිසුන්ගේ හැසිරීම පිලිබඳ මිල්ග්‍රම්ගේ නිරීක්ෂණ අදටත් වලංගු බවයි. එමෙන්ම, ඇමරිකාවෙන් පිටත ආසියා, අප්‍රිකා, යුරෝපා සහ ඕස්ට්‍රේලියා මහාද්වීප වලද මිල්ග්‍රම් ආකෘතියේ පරීක්ෂණ සිදුකර ඇති අතර නිරීක්ෂණ වල විශාල වෙනස්කම් නැත.

මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය!

***
මිල්ග්‍රම් පරීක්ෂනයට මුහුණ දුන් පුද්ගලයින්ට වාචික නියෝග ලබා දෙනු මිස වෙනත් බලපෑම් කිසිවක් කෙරුණේ නැත. මේ නියෝග ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන්ට අහිමි විය හැකිව තිබුණේ ඩොලර් හතරක දීමනාව පමණි.

බොහෝ තැන්වලදී පොඩ්ඩන්ට ලොක්කන්ගේ නියෝග පිළිපැදීමට වෙන්නේ මීට වඩා දැඩි පීඩනයකට මුහුණ දෙමින් බව මා විශේෂයෙන් කිව යුතු නැත.

(කොනර්, ස්ටීව් සහ ස්ටැන්ලි ගෝල්ටන් මනඃකල්පිත චරිතයන්ය.)

Monday, October 26, 2015

අපේ ස්ට්‍රෝබෙරි සහ අපි කැමති චෙරි


කුඩා කල කිරි රසට පුරුදු වුනත් චෙරි රස නොවිඳි මා චෙරි රසයයි සිතා මුලින්ම වින්දේ තරුණ වයසේදී ඇස ගැටුණු ගැටෝ කේක් ගෙඩියක රැඳුනු සීනි පෙඟවූ  චෙරි ගෙඩියක රසය විය යුතුය. මේ රස පළමු වරම සිත පැහැරගත් බව නොකිවමනාය. බාහිර ආටෝප වලින් ස්වභාවික රසය යටපත් කර තිබුණු මෙවැනි චෙරි ගෙඩි වල රසට හුරු වී සිටි මට මුල්වරට රස විඳි නැවුම් චෙරි ගෙඩිය දැනවුයේ ප්‍රසන්න හැඟීමක් නොවේ. කෘතීම චෙරි රසය සැබෑ රසය ලෙස හඳුනාගෙන සිටි මට ස්වභාවික චෙරි රසය දැනුනේ කෘතීම බෙහෙත් රසක් ලෙසිනි. මෙය පොදු අත්දැකීමක් බව පෙර ලිපියේ කමෙන්ටු කියවූ විට පෙනේ.

(Photo credit: https://www.pinterest.com/pin/206321226650240658/)


දැනටත් මගේ ප්‍රියතම පලතුරු ලැයිස්තුවේ ස්ට්‍රෝබෙරි සහ චෙරි වලට ඇති තැන අඹ සහ රඹුටන් වලට වඩා බොහෝ පහළ තැනකි. මේ මගේ සංස්කෘතියේ බලපෑමද?

මගේ කුඩා කාලයේ පලතුරු සිහින වල අඹ, රඹුටන්, මැන්ගුස් ආදිය මිස චෙරි හෝ ස්ට්‍රෝබෙරි තිබුනේ නැත. ලෝකයට විවෘත නොවූ වෙළඳපොලක ළමා කාලය ගෙවන දරුවෙකුගේ පලතුරු සිහින වල ලෝකයේ අනෙත් පස වැවෙන පලතුරකට ලොකු ඉඩක් ඉතිරි නොවේ. ළමා කාලයේදී ඇස ගැටුණු අඹ, රඹුටන්, මැන්ගුස් අපේ පලතුරු වෙන්නේත් පසුව හඳුනා ගන්නා චෙරි සහ ස්ට්‍රෝබෙරි අපේ නොවන රට පලතුරු වෙන්නේත් ඒ නිසාය.

චෙරි කෙසේ වෙතත් ස්ට්‍රෝබෙරි දැන්නම් නුවරඑළියේ වගා කෙරේ. එහෙත්, තවමත් ස්ට්‍රෝබෙරි අඹ, රඹුටන්, මැන්ගුස් මෙන් අපේ පලතුරක් නොවේ. ස්ට්‍රෝබෙරි අපේ පලතුරක් වන්නට තවත් කාලයක් ගතවනු ඇත.

මා ළමා කාලය ගෙවූ බොහෝ ප්‍රදේශ වල උඩරට එළවලු වැවුනේ නැත. මේ ප්‍රදේශ වල මට වඩා පරම්පරා දෙකක් ඉහලින් සිටි ඇතැම් වැඩිහිටියෝ එළවළු ලෙස හැඳින්වුවෝ බටු, බණ්ඩක්කා, පතෝල, වැටකොළු, ඉන්නල ආදියයි. ලීක්ස්, බීට්, අර්තාපල්, ගෝවා ආදී 'ඉංගිරිසි එළවළු' මේ සාමාන්‍ය එළවළු වලින් වෙන්කර හඳුනා ගැනුණේය. තවත් අය මේවා 'කොටු එළවලු' සහ 'කඩ එළවළු' ලෙස වෙන්ව හැඳින්වූහ. ගහ දන්නා කෙනාට කොළ කඩා පාන්නට අවශ්‍ය නැතත්, ගහ නොදන්නා කෙනාට කොළ, අල හෝ ගෙඩි දුටු විට දැනෙන්නේ ආගන්තුක හැඟීමකි.

ධර්මසේන හිමියන් විසින් අඹ ඉල්ලූ විට දෙල් දෙන්නන් ගැනත්, බිඩලු එකිනෙක ගලවා ලූ පසු හරයක් ඉතිරි නොවන කෙසෙල් ගස් ගැනත් සටහන් කළත් රඹුටන්, මැන්ගුස් හෝ දුරියන් ගැන කතා නොකරන්නේ දඹදෙණි යුගයේදී චෙරි සහ ස්ට්‍රෝබෙරි මෙන්ම මේ පළතුරුද අපට ආගන්තුක වූ බැවිනි. දෙමුහුන් පලතුරක් වන දැනට ප්‍රචලිත ස්ට්‍රෝබෙරිනම් උපත ලබා ඇත්තේම දහඅට වන සියවසේදීය.

මැලේසියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිත පෙදෙස් නිජබිම් කරගත් රඹුටන්, මැන්ගුස් හා දුරියන් ලංකාවට පැමිණෙන්නේ පෘතුගීසි සහ ලන්දේසි යුගයන්හිදීය. මල්වාන බලකොටුව අවට මුලින්ම රඹුටන් වැවෙන්නේ ඒ නිසාය. අප තවමත් භාවිතා කරන මේ පළතුරු වල නම් මැලේ වචනයි. කෙස් සහ කටු සඳහා භාවිතා වන මැලේ වචන වලින් රඹුටන් සහ දුරියන් වල නම් සැදී තිබේ.



(Photo credit: http://stamps-gallery.blogspot.com/2015/02/fruits-of-malaysia-definitives-stamps.html)

ප්‍රංශයේදී උපත ලැබූවත් ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය අතින් මේ වන විට ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. දෙවැනි විශාලතම ස්ට්‍රෝබෙරි නිෂ්පාදකයා තුර්කියයි. ඇමරිකා එක්සත් ජනපදයේ මුළු ස්ට්‍රෝබෙරි නිෂ්පාදයෙන් සියයට අනූවකටත් වඩා සිදුවන්නේ කැලිෆොර්නියා ප්‍රාන්තයේය. ඉතිරියෙන් වැඩි ප්‍රමාණයක් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිපදවේ. ඇපල්, මිදි සහ දොඩම් හැරුණු විට ඇමරිකාව තුල නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින පලතුර ස්ට්‍රෝබෙරිය.

යම් රටක සුලභව ඇති, කුඩා කල සිටම සංස්කෘතිකව සමීප පලතුරක් එසේ නොවන පලතුරකට වඩා ජනප්‍රිය වීම තේරුම් ගැනීමට අපහසු නැත. එසේ වුවත්, ඇමරිකාවේ පාරිභෝගිකයින් අතර ජනප්‍රියම පලතුර ඇපල්, මිදි, දොඩම් හෝ ස්ට්‍රෝබෙරි නොවේ. ප්‍රධාන වශයෙන්ම ආනයනික පලතුරක් වන කෙසෙල්ය. වසරකට ඇපල් රාත්තල් දහසයක් කන ඇමරිකානුවෙකු කෙසෙල් රාත්තල් විසිපහක් කයි. මේ ඇම්බුන් කෙසෙල් ගෙඩි සියයක පමණ ප්‍රමාණයකි. මේ පලතුරු ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ දකුණු ඇමරිකානු රටවල්ය. ලෝක කෙසෙල් වෙළඳපලෙන් සියයට අසූවක්ම එන්නේ දකුණු ඇමරිකානු රටවලිනි. මේ අපනයන වලින් 27%ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයටත් තවත් 27%ක් යුරෝපයටත් යැවේ.

ආසියාතික රටවල් අතරින් විශාලතම කෙසෙල් අපනයනකරු පිලිපීනයයි. ලෝකයේ ලොකුම කෙසෙල් නිෂ්පාදකයා වන ඉන්දියාව මෙන්ම දෙවැන්නා වන චීනයත් සිය මුළු නිෂ්පාදනයම පාහේ යොදා ගන්නේ දේශීය පරිභෝජනය සඳහාය.

පලතුරු සඳහා වන පුද්ගල රුචිකත්වයට සංස්කෘතික සාධක වලින් යම් බලපෑමක් ඇතිවුණත් එය සංස්කෘතික සාධක ඉක්මවූ දෙයකි. මානව පරිණාමය සිදුවූ දීර්ඝ කාලය තුල බොහෝ විට ක්ෂණික ශක්තිය සැපයූ ප්‍රධාන ආහාර විශේෂය වූයේ කවර හෝ පලතුරකි. මෙවැනි 'ෆාස්ට් ෆුඩ්' හැමවිටම ලැබුනේ නැත. ඉදුණු පලතුරු වල ඇති පැණිරසයට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත දැන් අපේ විනාශයට හේතුවක් වී ඇතත් ආහාර හිඟයන්ට මුහුණ දෙමින් ගතකල අපේ දීර්ඝ අතීතය තුල පැණිරසයට ඇති කැමැත්ත මඟින් ඉටුවුණේ සාධනීය කාර්යයකි.




කිසිදින රඹුටන් හෝ මැන්ගුස් ගෙඩියක් ඇස නොදුටු දරුවෙකු මේ පලතුරු රස විඳින මුල්දිනයේම ඒවාට පෙම් බඳින බව මගේ පෞද්ගලික අත්දැකීමයි. එහෙත්, නිතර ඇස ගැටුණේ වුවද චෙරි හෝ ස්ට්‍රෝබෙරි වලට ස්වභාවිකව ඇතිවන්නේ මෙයට වඩා අඩු කැමැත්තකි. කුඩා ළමුන්ගේ උපන්දින සාද වැනි අවස්ථා සඳහා චොකලට් තවරා (උණුකළ චොකලට් බඳුනක ගිල්ලවා නිවෙන්නට හැර) ස්ට්‍රෝබෙරි පිළිගන්වන්නට වෙන්නේ පුද්ගල කැමැත්ත අගයන සමාජයක වුවද මේ පුද්ගල නිර්වචනය තුලට ඇතුලත්වන්නේ යම් කඩඉමක් දක්වා පරිණත වුනු හෝමෝ සේපියන්ස්ලා පමණක් බව පෙන්වා දෙමිනි.

ඇමරිකානුවන් අතර ජනප්‍රියම පලතුර කෙසෙල් වන්නේ ස්වභාවිකවම හෝමෝ සේපියන්ස්ලාගේ විවිධත්වයට ඇති කැමැත්තත්, යම් සීමාවන් යටතේ වුවත් ඇමරිකානු පලතුරු වෙළඳපොල ලෝකයට විවෘතව තිබීමත් හේතුවෙනි. ඇමරිකානුවකුගේ පලතුරු පරිභෝජනය තුල ආනයනික පලතුරු වල සංයුතිය පසුගිය වසර විසිපහ තුල සියයට දහයක සිට සියයට තිස්පහක් පමණ දක්වා වර්ධනය වී තිබේ. කෙසේවුවද, ඇමරිකාවට පලතුරු අපනයනය කිරීම සඳහා වෙනත් රටක අපනයනකරුවෙකු දැනටත් නියාමන බාධක වලට මුහුණ දිය යුතුය.

ඇතැම් නුපුරුදු කෑමක් මුල්වර රස විඳින විට එහි රසයට ලොකු කැමැත්තක් ඇති නොවුනත් ඒ රසයට පුරුදු වූ විට කැමැත්තක් මෙන්ම ඇබ්බැහියක්ද ඇති විය හැකිය. අපි නරක අඹයක් හොඳ අඹයකින් වෙන්කර හඳුනාගන්නේ කුඩා කළ සිට විශාල රස පරාසයක අඹ කා ඇති පලපුරුද්දෙනි.

ගැටෝ කේක් ගෙඩියක ඇති කෘතීම රස එක්කළ චෙරි වල රසට පුරුදු වුනු බොහෝ දෙනෙකුගේ මොළ පළමුවරට රසවිඳින ස්වභාවික චෙරි ගෙඩියක් ආදරයෙන් පිළිගන්නේ නැත. මොළය අපේක්ෂා කරන්නේ මේ දැන් අතේ ඇති චෙරි ගෙඩියේ නොදන්නා රසයනම් එය කවරක් වුවද එහි රසයක් මිස හොඳක් හෝ නරකක් නැත. එහෙත්, අතේ ඇති චෙරි ගෙඩියෙන් මොළය අපේක්ෂා කරන්නේ කලකට පෙර රසවිඳි ගැටෝ කේක් ගෙඩියක තිබුණු චෙරි ගෙඩියේ රසයනම් (වඩාත් නිවැරදිව එහි තිබුනායැයි ඔබ සිතා සිටින රසයනම්) අතේ ඇති චෙරි ගෙඩියෙන් යමෙකුට අවසාන වශයෙන් ලැබෙන්නේ අතෘප්තිය පමණි.

අතීතයේදී හමුවූ, රස විඳි හෝ නොවිඳි ගැටෝ චෙරිගෙඩි අමතක කර අතේ ඇති චෙරි ගෙඩියට අවධානය යොමුකිරීමටද පුහුණුවක් අවශ්‍යයය.

Monday, October 19, 2015

මේ ඇන්ටන් චෙකොෆ් වැවූ චෙරිවත්ත නොවේ.

මා සයවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදී මසකට පමණ වරක් සති අන්තයේදී ගිය එක්තරා ගමනක් විය. ප්‍රධාන පාරෙන් නොගොස් එවකට අප පදිංචිව සිටි නිවසේ සිට අතුරු පාරවල් ඔස්සේ සැතපුම් තුනක් පමණ වූ දුරක් කඳුවැටි, ඕවිටි, පාළු සොහොන්පිටි, රබර්වතු, තේවතු පසු කරමින් එවකට මගේ සිංහල ගුරුතුමියගේ නිවසට මෙසේ ඇවිදගෙන ගියේ රත්තරන් හෙලේනාව හඳපානේ කැන්දන් එන්නට නොවේ. රත්තරන් හෙලේනා කුමරිය ඒ වනවිටත් වසර කිහිපයක සිටම පොත් රාක්කයේ වසීලිස්සා පොත ඇතුලේ සිටි නිසා එවකට මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇය නොසිටියාය.

මේ ගුරුතුමිය අදාල කාලයේදී එක්තරා දුරකට මගේ වීරවරියකි. මේ දිනවල 'වයසට වඩා පැහී සිටි' මා සම්බන්ධව වැඩිහිටියන්ගේ ප්‍රතිචාර වර්ග තුනක් තිබුණේය. පළමු කොටස සිතුවේ මා ඕනෑවට වඩා පණ්ඩිත බවයි. ඔවුන්ට අනුව මගේ දෙමවුපියන් මා කියවන දේ පිලිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. එදිනෙදා උගන්වන පාඩම් පමණක් යන්තම් උඩින් පල්ලෙන් බලාගෙනවිත් තරමක් වෙනස් ප්‍රශ්නයක් ඇසූවිට ඇණගෙන නොදන්නාකම කටෙන් සහ වේවැලෙන් වසාගන්නා ඇතැම් ගුරුවරුද සිටියේ මේ ගොඩේය. මේ අයව මට ඇල්ලුවේම නැත.

දෙවන කොටස මේ පණ්ඩිතකමින් විනෝදයක් ලැබූ අයයි. වැඩිහිටියන්ගේ සාකච්ඡාවක් මැද්දට හදිසියේම මා කැඳවන මෙවැනි කෙනෙකු මගෙන් 'බරපතල' ප්‍රශ්නයක් අසයි. ඔවුන් මේ ප්‍රශ්නය අසන්නේ පිළිතුර දැනගැනීමට අවශ්‍ය නිසා නොව පොඩි එකා දෙන ලොකු උත්තරයෙන් ෆන් එකක් ගැනීම සඳහාය. ඇතැම් විට මෙය ඉලක්කම් තුනක සංඛ්‍යාවක් තවත් ඉලක්කම් තුනක සංඛ්‍යාවකින් මනසින් ගුණ කිරීම වැනි දෙයකි. මෙවැන්නක් ඒ කාලයේදී තරමක විනෝදජනක දෙයක් වූ අතර මගේ පිළිතුර පරීක්ෂා කිරීමට ගණක යන්ත්‍රයක් බොහෝ විට ළඟ පාතක නොතිබුණු නිසා උත්තරය හරියටම නිවැරදි නොවීම ලොකු ප්‍රශ්නයක් වුනේ නැත. එසේ නැත්නම් කෙනෙකුගේ උපන්දිනය සහ වෙලාව පවසා ලග්නය ඇසීම වැනි දෙයක් විය හැකිය. මෙවැනි වැඩිහිටියන් හමුවේදී 'පොරක් වීමෙන්' සතුටක් ලැබුණත් මේ දෙවන කාණ්ඩයේ අයගෙන්ද ගන්නට යමක් නැතිබව ඒ කාලයේදීම මට තේරුණේය.

මා ඉහත කී සිංහල ගුරුතුමිය ඇතුළු සුළු පිරිසක් තුන්වන කාණ්ඩයට අයත්විය. කුඩා දරුවෙකු යනු අර්ධ මිනිසකු නොවන බව සලකමින් මා නොදන්නා දේ විස්තර කරන අතරම, නොදන්නා දේ නොදන්නා බව නොපැකිල පවසමින්, මගේ අදහස් වලටද හොඳින් සවන් දුන් මේ තුන්වන කාණ්ඩයේ අය අදත් මගේ මතකයේ රැදී සිටිති. මා බොහෝ දේ උකහා ගත්තේ මෙවැනි අයගෙනි. එවැන්නන් සමඟ පැය ගණනක් එක දිගට කතා කරන්නට මට බොහෝ දේ තිබුණේය.

මේ ගමනින් ලැබුණු එකම ප්‍රයෝජනය පුරාවිද්‍යාව, ඉතිහාසය, ආගම්, නාට්‍ය, සාහිත්‍යය ඔස්සේ ඇදී ගිය මෙවැනි කතාබහ පමණක් නොවේ. එවකට අවිවාහකව සිටි මේ ගුරුතුමිය වාසය කළ ඇගේ දෙමවුපියන්ගේ නිවසට උදේ කාලයේ යන මා එහිදී දිවා ආහාරයද ගෙන හැන්දෑ වරුවේ ආපසු එන විට රැගෙන ඒමට බරටම දේවල් තිබුණේය. පළමුව, මේ නිවසේ වූ පොත් රාක්කයකින් එකතුකර ගන්නා පොත් හත අටකි. දෙවනුව, ආයුර්වේද වෛද්‍යවරයෙකුද වූ ඇගේ පියාගේ ලොකු එළවළු කොටුවෙන් එකතු කර දෙන එළවළු සහ අලවර්ග මල්ලකි. තෙවනුව, අදාල කාලය අනුව මේ වත්තෙන් එකතු කරගන්නා රඹුටන්, මැන්ගුස්, වෙරළු, නමිනං වැනි පලතුරු මල්ලකි. වසරකට පමණ පසු මේ ගුරුතුමිය විවාහ වී නිවසෙන් පිටව යන තුරු, ගෙනගිය පොත් කියවා අවසන් වීමෙන් පසු ඒවාද රැගෙන මා නැවත නැවතත් එහි ගියෙමි.

මේ ගුරුතුමියගේ නිවස 'කැම්පස් ගෙදරකි'. සාමාජිකයින් හත් අට දෙනෙකුගෙන් යුතු මේ පවුලේ එවකට අවිවාහකව නිවසේ සිටියේ බාලම සාමාජිකාවන් දෙදෙනා පමණි. පවුලේ වැඩිමලා එවකටත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මෙන්ම ශාස්ත්‍රීය පොත් ගණනාවක් පළ කර තිබුණු ප්‍රසිද්ධ ලේඛකයෙකි. මේ සියල්ලන්ගේම පොත් එකතු සහිත රාක්ක කිහිපයකින්ම සිත් සේ පොත් තෝරාගැනීමේ නිදහස මා සතුවිය. ඇන්ටන් චෙකොෆ්ගේ චෙරිවත්ත නාට්‍යයේ පරිවර්තනය මා මෙසේ රැගෙන ගොස් කියවූ පොතකි. මාර්ටින් වික්‍රමසිංහට ගම්පෙරලිය ලිවිම සඳහා ප්‍රස්තුතය සැපයුවේ චෙකොෆ්ගේ චෙරිවත්ත බවට අදහස් පලවී තිබේ. එමෙන්ම. චෙකොෆ් සැබෑ ජීවිතයේදීද චෙරිවත්තක් වවා ඇති බව සඳහන්ය.

මගේ මතකය පරිදි චෙරිවත්ත පරිවර්තනය එතරම් ආකර්ෂණීය නිමාවක් නොතිබුණු කුඩා පොතක් වූ අතර ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පලකළ සෝවියට් පොතක් නොවීය. එහෙත්, පොතේ අන්තර්ගතයෙහි වරදක් තිබුණේ නැත. වසර දෙකතුනකට පසුව චෙරිඋයන නම් වූ මේ පොතේම වෙනත් පරිවර්තනයක්ද මට කියවන්නට ලැබුණේය.

චෙකොෆ්ගේ චෙරිවත්ත කුඩා කාලයේදීම රසවින්දත් එහි නව නළු රස හැර චෙරි රසක්නම් මට එවකට දැනුණේ නැත. ඒ එවකට මා ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත හා ශාන්ත රස මිස චෙරි රස හඳුනාගෙන නොසිටි බැවිනි. ඔය කිවුවාට මා වාසය කළ වෙනත් ප්‍රදේශයක ළඟ පාත ගෙදරක චෙරිගසක් කියා ගසක් තිබුණේය. එහි කිසියම් ගෙඩි වර්ගයකුත් හැදුනේය. එහෙත්, ඒවායේ තිබුණේ පැණි රසක් හෝ ඇඹුල් රසක් නැති නොඉදුණු දන් ගෙඩියක් කන විට දැනෙන රස වැනි රසකි.

මා කුඩා කාලයේ නිවසට එනකෙනෙකු ළඟපාත කඩේකින් බිස්කට් පැකට්ටුවකට විකල්පයක් ලෙස ඇතැම් විට ගෙන ආ කේක් ගෙඩිය බොහෝ විට බටර් කේක් එකක් හෝ ඉඳහිට සම්ප්‍රදායික අයිසිං කේක් එකක් වුවා මිස ගැටෝ කේක් එකක් වුනේ නැත. ඒ අයුරින්ම, අයිස් පලම්, අයිස් චොක්ස් හෝ අයිස් කෝන් එකක් මිස අයිස්ක්‍රීම් සන්ඩේ ගැන ඒ දිනවල මා අසා තිබුණේ නැත. මේ නිසා අයිස්ක්‍රීම් සන්ඩේ එකක් සමඟ එන චෙරි ගෙඩියක් හෝ චෙරි ගෙඩි හයක් ගැසූ ගැටෝ කේක් එකක් සමඟ චෙකොෆ්ගේ වත්තට රිංගන්නට මට අවස්ථාවක් ලැබුණේ අනූව දශකයේදී විය යුතුය. මේ කාලයේදී චෙරි ගෙඩි ලෙස හඳුනාගත් සීනි ගුලි නියම චෙරියයි තවත් වසර ගණනාවක් මම සිතා සිටියෙමි.

චෙරි වත්තකට රිංගා, චෙරි ගසකට නැඟ බඩකට පිරෙන්නට චෙරි ගිල දැමීමේ අවස්ථාව ලැබෙන කාලය වනවිටනම් සැබෑ චෙරි රස විඳීමේ අවස්ථා ඕනෑ තරම් ලැබී තිබුණත් බොහෝ විට මෙසේ රසවිඳ තිබුණේ සාමාන්‍යයෙන් යුරෝපීය සහ උතුරු ඇමරිකානු වෙළඳපලේ බහුලවම දක්නට ලැබෙන තද දම් පැහැති චෙරි වර්ගයයි.

ප්‍රධාන වශයෙන්ම චෙරි වර්ග දෙකක් තිබේ. මෙයින් පළතුරක් ලෙස ආහාරයට ගන්නා පැණි රසක් ඇති ප්‍රභේද 'ස්වීට් චෙරි' ලෙසත්, ඇඹුල් රසැති ප්‍රභේද 'ටාර්ට් චෙරි' හෝ 'සවර් චෙරි' ලෙසත් හැඳින්වේ. ටාර්ට් චෙරි ප්‍රයෝජනයට ගන්නේ චෙරි යුෂ, වියලි හෝ ටින් කළ චෙරි ආදිය සෑදීම සඳහා පමණි. ඉතා ඉක්මණින් නරක් වන පලතුරක් වන චෙරි දින කිහිපයකට වඩා කල් තබා ගත නොහැක. මේ නිසා ඇපල් හෝ මිදී මෙන් වසර පුරාම වෙළඳපොලේ චෙරි දක්නට නොලැබේ. උත්තර අර්ධ ගෝලයේ චෙරි වැවෙන රටවල පලදාව නෙලන්නේ වසරේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුලදීය. දක්ෂිණ අර්ධ ගෝලයේ රටවල දෙසැම්බර් ආසන්නයේ චෙරි ගස් පලබර වේ.

සාපේක්ෂව වගා කිරීමට අසීරු පළතුරක් වන චෙරි ඝර්ම කලාපීය රටවල වැවිය නොහැක. චෙරි වැවෙන්නේ සමකයෙන් ඈත්ව පිහිටි නිශ්චිත උෂ්ණත්ව පරාසයක් පවතින ප්‍රදේශ වලය. ස්වීට් චෙරි මෙන්ම ටාර්ට් චෙරි නිෂ්පාදනය අතින්ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ තුර්කියයි. ස්වීට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉතාලිය සහ ස්පාඤඤය වැනි දකුණු යුරෝපීය රටවල් සහ ඉරානයද ස්වීට් චෙරි නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින රටවල්ය. ටාර්ට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ රුසියාවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්වීට් චෙරි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ සිදුවන්නේ කැලිෆෝර්නියා, ඔරිගන්, වොෂින්ටන් යන බටහිර වෙරළබඩ ප්‍රාන්ත වලය. කැලිෆෝර්නියාවේ දකුණු ප්‍රදේශ වල චෙරිගස් අප්‍රේල් වෙද්දී පලබර වන අතර උතුරට යද්දී මේ අස්වනු කාලය ක්‍රමයෙන් පමා වෙයි. බටහිර වෙරලේ උතුරින්ම පිහිටි වොෂින්ටන් ප්‍රාන්තයේ කැනඩා මායිම ආසන්න කඳුකර පෙදෙස් වල චෙරි ගස් පලබර වන්නේ අගෝස්තු ආසන්නවය.

චෙරි ගස උගුරැස්ස හෝ ලොවි ගසක් වැනි මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහෙත් උගුරැස්ස ගසක මෙන් කටු නැත. මලින් බර වූ චෙරිගසක් ඉතා ප්‍රිය දසුනකි. ජපානයේ සකුරා යනුද චෙරි වර්ගයේම ගසකි. බහුලවම දක්නට ඇති තද දම් පැහැති චෙරි වලට වඩා පෙනුමෙන් පැහැදිලිව වෙනස් තැඹිලි පැහැති රේනර් චෙරි මිලෙන්ද තරමක් වැඩිය. උඩින්ම ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ පලබර වී ඇති රේනර් චෙරි ගසකි. මේ ප්‍රභේද දෙකේ අතරමැද පැහැයක් ගන්නා දෙමුහුන් චෙරි ප්‍රභේද රැසක් තිබේ. රතු පැහැති වර්ගයද එවැන්නකි.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි ඇතැම් චෙරි වතු වල චෙරි පලදාව 'යූ-පික්' ක්‍රමයට ඉඩමේදී විකිණේ. මෙහිදී අපට චෙරි වත්තට ඇතුළු වී අවශ්‍ය පමණ චෙරි කඩා ගත හැකිය. පිටතට ගෙන යන චෙරි වලට බර අනුව මුදල් ගෙවිය යුතුය. බඩකට පිරෙන්නට චෙරි වත්තේදීම ගිල දමන චෙරි වෙනුවෙන් මුදල් ගෙවීමක් නැත. සාමාන්‍යයෙන් දෙතුන් වරක් අස්වනු නෙලීමෙන් පසු ඉතිරිවන චෙරි මේ ක්‍රමයට අලෙවි කරන්නේ කම්කරුවන් යොදවා චෙරි නෙලීමට වඩා මේ ක්‍රමය වාසිදායක නිසාය.

එකම කෘතියක් වුවත් චෙරිවත්ත හා චෙරිඋයන ලෙස දෙදෙනෙකු පරිවර්තනය කළ විට දැනෙන්නේ එකම රසය නොවේ. චෙකොෆ්ගේ නාට්‍යයේ මෑතකාලීන පරිවර්තනයක් වන 'ඉඩමේදී විකිණේ' රසවිඳීමේ අවස්ථාව මට හිමිවී නොමැති නිසා එහි රස ස්වීට් චෙරි රසක්ද නැත්නම් ටාර්ට් චෙරි රසක්ද කියා මා දන්නේ නැත.





Wednesday, October 14, 2015

නීතියේ සාධාරණත්වය සහ නෛතික වැරදි කිරීමේ ආවස්ථික පිරිවැය

අපරාධ හා වැරදි යන සංකල්පද වෙනත් සංකල්ප මෙන්ම සාපේක්ෂ සංකල්පයි. මේ සංකල්ප වල නිර්වචන කලින් කලට, තැනින් තැනට වෙනස් විය හැකි බැවින් කෙනෙකු වරදක් ලෙස දකින දෙයක් තවත් කෙනෙකුට වරදක් නොවිය හැකිය. නීතිය මෙයට එක විසඳුමකි. මෙහිදී යම් සමාජයක බහුතරය (හෝ ඇතැම් තත්ත්වයන් යටතේදී සුළුතරය) විසින් අපරාධ හා වැරදි නිශ්චිත ලෙස අර්ථ දක්වන අතර මේ සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු යම් ක්‍රියාවක් වරදක් ලෙස නොපිළිගන්නේ වුවද එවැනි ක්‍රියාවක් නෛතිකව වරදක් විය හැකිය. මෙහි අනෙක් පැත්තද සිදු විය හැකිය.

සමාජයක වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් අපරාධ හා වැරදි කරන පුද්ගලයින්ට දඬුවම් දීමක් සිදුවේ. මෙවැනි දඬුවමක ස්වභාවය අවසාන වශයෙන් තීරණය කරන්නේද පොදු සමාජය විසිනි. යම් නිශ්චිත සිදුවීමකට අදාලව මේ තීරණය ගැනීම සඳහා පොදු සමාජය මඟින් නිර්මාණය කරගෙන ඇති ආයතනික පද්ධතිය අධිකරණ පද්ධතිය ලෙස හැඳින්වේ.

විවිධ සමාජ විසින් නිර්මාණය කරගත් විවිධ අධිකරණ පද්ධති සහ ඒවාට අදාල නීති සහ දඬුවම් ක්‍රම තිබේ. ලංකාවේ දැනට භාවිතා වන නීති ක්‍රමයේ හරය රෝම ලන්දේසි නීතියයි. එයට ඉංග්‍රීසි පොදු නීතියේ කොටස්ද සෑහෙන දුරට බද්ධ වී තිබේ. මේ හැරුණු විට, යම් නිශ්චිත ජන කොටස් වලට අදාලව සීමිත තත්ත්වයන් යටතේදී උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීතිත්, ඇතැම් විශේෂිත තත්ත්වයන්ට අදාලව ජාත්‍යන්තර නීතියත් ක්‍රියාත්මක වේ.

බොහෝ නීති පද්ධතීන්හි ප්‍රමුඛම මුලධර්මයක් වන්නේ නීතිය සැමට සමව ක්‍රියාත්මක විය යුතු බවයි. සමානාත්මතාවය පිලිබඳ මේ අදහස නීති ක්ෂේත්‍රයේ බහුලව උපුටා දැක්වෙන පහත ලතින් පාඨ දෙකෙන් සංක්ෂිප්තව දැක්වේ.
- Audi alteram partem (අනෙක් පාර්ශ්වයට සවන් දිය යුතුය)
- Nemo judex in causa sua (තමන්ගේ විනිසුරු තමන් නොවිය යුතුය).

විනිශ්චයක් ලබා දීමට පෙර චුදිතයෙකුට සිය නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා පුළුල් ඉඩකඩක් ලබා දෙන්නේ පළමු මූලධර්මය අනුවය. යුක්තිය ඉටුවීම ප්‍රමාණවත් නොවන බවත්, එය එසේ සිදුවනබව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බවත් ප්‍රකාශ වන්නේ දෙවන මුලධර්මය අනුවය. ප්‍රායෝගිකව අකාර්යක්ෂමතා තිබුණත් සැමට සමානාත්මතාව යනු අධිකරණ පද්ධතියක මූලිකාංගයකි.

කාර්යක්ෂම හෝ අකාර්යක්ෂම අධිකරණ පද්ධතියක් තිබූ පමණින් කිසියම් සමාජයක නෛතික වැරදි සිදුවීම සම්පූර්ණයෙන්ම නැතිවන්නේ නැත. ඒ නෛතික වරදක් කිරීමෙන් වාසියක් ලැබීමේ අවස්ථාව පුද්ගලයෙකු සතු වන බැවිනි. යමෙකු ළමා අපචාරයක් කර වින්දිතයා මරා දමන්නේත්, පොදු දේපලක් අනිසි ලෙස පරිහරණය කරන්නේත්, හොරෙන් අල්ලපු වත්තේ පොල් කඩන්නේත්, රථවාහන වේග සීමා ඉක්මවන්නේත්, උසාවි තහනමක් නොතකා කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවකට සහභාගී වන්නේත්, අනුන්ගේ වියුණු සටහනක් එහි හිමිකරුගේ කැමැත්තෙන් තොරව උපුටාගෙන තමන්ගේ වගේ පළකරන්නේත් එයින් යම් වාසියක් සැලසෙන බැවිනි. මේ වාසිය මුදල් වාසියක්ම විය යුතු නැත.

අධිකරණ පද්ධතිය කාර්යක්ෂම වන තරමට සමාජයක නෛතික වැරදි සිදුවීම අඩුවේ. කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් මඟින් නෛතික වැරදි සිදුකරන අවස්ථාවන් හඳුනාගෙන දඬුවමක් දීම මඟින් වැරැද්ද කිරීමෙන් ලැබෙන වාසියට අවාසියක්ද එකතු කරයි. එවිට යමෙකු නෛතික වරදක් කිරීමට පෙළඹෙන්නේ එයින් සෘජුව ලැබෙන වාසිය දඬුවමේ අවාසියට වඩා වැඩිනම් පමණි. කෙසේවුවද, අධිකරණ පද්ධතිය මඟින් චුදිතයෙකුට සිය නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා විශාල ඉඩකඩක් ලැබෙන බැවින් මේ අවාසිය සිදුනොවීමටද යම් ඉඩකඩක් තිබේ.

ඉහත තත්ත්වය ගණිතමය ආකෘතියක් යොදාගෙන පැහැදිලි කළ හැකිය.

B  - නෛතික වරදක් කිරීමෙන් ලැබෙන සෘජු වාසිය
C - දඬුවමක් ලැබීමෙන් සිදුවන අවාසිය
p - වරදකරු වීමට ඇති සම්භාවිතාව

මේ අනුව, නෛතික වරදක් කිරීමේ ශුද්ධ වාසිය (B - pC) වේ. මේ අගය ධන අගයක්නම් යමෙකු නෛතික වරදක් කරනු ඇත.

රටක අධිකරණ පද්ධතිය ඉතා කාර්යක්ෂමනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට p වෙනස් වන්නේ නැත. මෙවැනි තත්ත්වයක් යටතේදී, වඩා හොඳ සමාජ-ආර්ථික තත්ත්වයක් ඇති අයෙකු වරදක් කිරීමට පෙළඹීමට ඇති ඉඩකඩ එසේ නොවන කෙනෙකුගේ එම ඉඩකඩට වඩා අඩුය. මෙසේ වන්නේ (B නොවෙනස් ලෙස සැලකුවහොත්) නීතියෙන් එකම දඬුවම ලබන පුද්ගලයන් දෙදෙනෙකුගේ ආවස්ථික පිරිවැය සමාන නොවන බැවිනි. අයෙකුට එය 'බෝඩිමේ නිවාඩුවකි'. තවත් අයෙකුට තමන් සභාපතිත්වය දරන සමාගම් දෙසිය ගණනක් මෙහෙයවීමට ඇති අවස්ථාව අහිමි වීමකි. මේ නිසා කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ඇති විට සමාජයේ පහළ ස්ථර වල ආර්ථික, අධ්‍යාපනික සහ සමාජ තත්ත්වයන් වැඩිදියුණු කිරීමෙන් නෛතික වැරදි සහ අපරාධ අඩුකිරීමට පිටිවහලක් ලැබේ.

එමෙන්ම, බැලූ බැල්මට පෙනෙන පරිදි දඬුවමේ හානිය (C) හෝ දඬුවම් ලබාදීමේ සම්භාවිතාව (p) වැඩිකිරීමෙන් වැරදි කිරීම අඩුකරගත හැකිය. එල්ටීටීඊ පාලනය යටතේ උතුරේ ප්‍රදේශ වලත් දේජව්‍යා මඟින් 88/89 කාලයේදී පාලනය කෙරුණු ග්‍රාමීය ප්‍රදේශ වලත් C බොහෝ සේ වැඩි වූ නිසා මේ කණ්ඩායම් වලට සම්බන්ධ නැති සිවිල් පුද්ගලයින් විසින් කළ සුළු වැරදි වල යම් අඩුවීමක් විය.

වරදකරුවෙකුට බේරීයාමට ඇති ඉඩප්‍රස්තා සීමාකිරීම මඟින් p වැඩිකිරීම සාධනීය දෙයකි. කෙසේවුවද, චුදිතයෙකුට සිය නිවැරදිතාව තහවුරු කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමෙන් p වැඩි කළ විට මේ දෙය මේ ලෙසින්ම සිදුනොවේ. ඒ, එවිට නිවැරදිකරුවෙකු වුවද දඬුවම් විඳීමේ හැකියාවක් ඇතිවන බැවිනි. අපි මේ සම්භාවිතාව p0 ලෙස සලකමු. එවිට, දඬුවමේ පිරිවැය මෙසේය.

වරද කළොත්: p*C
වරද නොකළොත්: p0*C

යම් තීරණයක නියම වියදම එහි ආවස්ථික පිරිවැයයි. ආවස්ථික පිරිවැය ගණනය කරන්නේ අනෙතුත් විකල්පයේ පිරිවැයට සාපේක්ෂවය. මේ අනුව, දඬුවමේ පිරිවැය  p*C - p0*C = (p - p0)*C වේ. වරද කළත් නොකළත් දඬුවම් විඳීමට සිදුවීමේ ඉඩකඩ සමානනම් p = p0 නිසා C කෙතරම් විශාල වුවත් (p - p0)*C = 0 වේ. හාවන් වලසුන් කිරීමෙන් අපරාධ අඩුවනු වෙනුවට වැඩිවිය හැක්කේ මේ නිසාය.

ඇතැම් අධිකරණ පද්ධතීන්හි සියල්ලන්ම සමාන ලෙස සලකන නමුත් ඇතැමුන් වඩාත් සමානය. මේ වඩාත් සමාන අයගේ p අනෙත් අයගේ p වලට වඩා බෙහෙවින්ම අඩුනිසා ඔවුන්ගේ දඬුවම් පිරිවැය ඉතා කුඩාය. එවිට ඔවුන්ට බය නැතුවම නෛතික වැරදි කිරීමේ ඉඩකඩක් තහවුරු වේ. මෙවැනි තත්ත්වයක් යටතේ, මෙසේ වඩා සමාන නොවන සාමාන්‍යයෙන් සමාන අයගේ ස්ථාවරය කුමක් වනු ඇත්ද?

වඩාත් සමාන කෙනෙකු වීම සාමාන්‍යයෙන් සමාන අයෙකුගේ තාර්කික ඉලක්කයකි. එහෙත්, සියල්ලන්ටම සත්ව ගොවිපලේ ඌරන් වන්නට නොහැකිය. මෙයින් නොසන්සිඳුණු ඉල්ලුමක් ජනිත වේ. මා කැමති, එහෙත් මට කළ නොහැකි දෙයක් කළ අයෙකු මගේ වීරයෙකි. මගේ වීරයෙකු තරඟයකදී පළමුවැනියා වූ විට මට ෆිටේ ෆිට්ය. ඒ වෙනුවෙන් මට කළ හැකි උදවුවක් කිරීමට මා සූදානම්ය.

එසේනම්, රත්නපුරේ සහ ගාල්ලේ ඡන්දදායකයින් වැරදිද?

Saturday, October 10, 2015

අපරාධය සහ දඬුවම සහ ආවස්ථික පිරිවැය


අඩ සියවසකට හෝ ඊටත් පෙර, කේටරින් සර්විස් වලට කොන්ත්‍රාත් නොදී හත් දොහක් මඟුල් කන යුගයේදී ගමේ ප්‍රභූ වරයෙකුගේ නිවසක පැවති මංගල උත්සවයකට සහභාගී වී බඩ පැලෙන්නට කෑමබීම සහ අතුරුපස ගිලදමා උස්මුරුත්තා වී, හුස්ම ගැනීමට පවා අපහසුව දඟලන ජෙමා ගැන අනුකම්පා සිතුණු ගමේ වෙදමහත්තයා ඔහුට මෙවැනි උපදෙසක් දුන් බව කියවේ.

"ජෙමෝ, ඇඟිල්ලක් උගුරට දාල වමනෙ කරපං. එතකොට ඕක හරියයි!"

එවිට ජෙමාගේ පිළිතුර වී ඇත්තේ මෙවැන්නකි.

"කොහේ ඇඟිලි ගහන්නද වෙද මහත්තයෝ! ඇඟිල්ලක් ගහන්න ඉඩක් ඉතුරුවෙලා තිබුනනං මම තව කෙහෙල් ගෙඩියක් කනවනේ."

ඇඟිල්ලක් ගසන්නට හැකි ඉඩක් ඉතුරු කර ගැනීමේ ආවස්ථික පිරිවැය තවත් කෙසෙල් ගෙඩියක් කෑමට ඇති අවස්ථාවයි.

***
සාහිත්‍ය මාසය තුළ සාහිත්‍යයට අදාළ බ්ලොග් සටහන් රැසක් ලියවී තිබුණේය. සාහිත්‍යය ගැන කතා කිරීමට සාහිත්‍ය මාසයක්ම අවශ්‍ය වේයැයි මා සිතන්නේ නැත. මේ අයුරින්ම කාන්තාවන්, දරුවන්, ආබාධිතයින් හෝ වෙනත් විශේෂ විෂයයක් ගැන කතා කිරීම විශේෂ දින වලම සිදුවීම අවශ්‍ය නැත. එහෙත්, මෙවැනි දින හෝ මාස නම් කර තිබීම නිසා ඒ කාලය තුළ හෝ අදාළ විෂයය ගැන විශේෂ අවධානයක් යොමුවීම එසේ නොවනවාට වඩා සාධනීය දෙයකි.

සාහිත්‍ය මාසය තුළ සාහිත්‍යය ගැන කතා කිරීමට යම් තරමකින් බාධාවක් වූයේ අදාළ මාසය තුළ සිදුවූ කණගාටුදායක සිදුවීම් කිහිපයක් නිසා බොහෝ දෙනෙකුට සාහිත්‍යය පැත්තකින් තබා අපරාධ සහ දඬුවම් ගැන කතා කිරීමට සිදුවීමයි.

බ්ලොග් ලිවීම පිරිවැය අධික කටයුත්තකි. අපායේ ඉන්ටවල් එකක් වැනි කාලයකදී බ්ලොග් ලිවීම ඇරඹු මා මේ දිනවල වැඩේ ඇදගෙන යන්නේ අන්තිම කෙසෙල් ගෙඩිය ඔබා ගැනීමට ඇති ඉඩකඩද ප්‍රයෝජනයට ගනිමිනි. මෙසේ අමාරුවෙන් කාලය සොයාගනිමින් යමක් ලියන බොහෝ දෙනෙකුට අපරාධ සහ දඬුවම් ගැන කතා කරන්නට වෙන්නේ සාහිත්‍යය වැනි වෙනත් කරුණක් ගැන කතා කිරීමට ඇති අවස්ථාවක් නැති කර ගනිමිනි. මේ මෑතකාලීන අපරාධ වල තවත් 'වියදමකි'.

***
ෆියෝදර් දොස්තොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත්, සාමාන්‍යයෙන් පොත් කියවන අය අතරින් වුවද බොහෝ දෙනෙකු මේ පොත කියවා නොමැති බව මගේ අදහසයි. එසේ කියවා නැත්තේ මේ පොත කියවීමේ 'විශාල' ආවස්ථික පිරිවැය නිසාය. මේ පිරිවැය විශාල වන්නේ මේ පොත අනෙක් පොතකට සාපේක්ෂව විශාල ලෙස මිල අධික එකක් නිසා නොවේ. පොත නොමිලේ ලැබුණද එය කියවීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි. ඒ කාලය තුළ වෙනත් සරල පොත් කිහිපයක් කියවිය හැකිය. අපරාධය සහ දඬුවම වැනි කෘතියක් කියවා තෘප්තියක් ලැබිය හැක්කේ කලක් පොත් කියවා පුහුණුවක් ඇති කෙනෙකුටය. සාමාන්‍යයෙන් පොත් නොකියවන කෙනෙකුට මෙවැනි 'බර' පොතකින් තෘප්තියක් ලැබීම අපහසුය.

***
දශක කිහිපයකට පෙර අපරාධ මුල්කර ගත් ත්‍රාසජනක 'මාරක' කතා ප්‍රමුඛ සරල පොත් දහසකට අධික ගණනක් ලියූ ඩීමන් ආනන්දව කිසිවිටෙකත් සම්භාව්‍ය ලේඛකයෙකු ලෙස සැලකුණේ නැත. කෙසේවුවද, ඔහු ලියූ මේ සම්භාව්‍ය නොවන පොත් ඒ දිනවල උණුකැවුම් මෙන් විකිනුණේය. අසංග අබේසුන්දරගෙන් ලබාගත් තොරතුරු අනුසාරයෙන්, පසුගිය වසරේ සාහිත්‍ය මාසයේදී නාලක ගුණවර්ධන විසින් සටහන් කර ඇති පරිදි සාහිත්‍යකරණයට විශාල උනන්දුවක් තිබූ ඩීමන් ආනන්දගේ මුල්ම සාහිත්‍ය නිර්මාණය වී ඇත්තේ දොස්තොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම කෘතියේ සිංහල පරිවර්තනයකි. එහෙත්, වෙළඳපොළ සාධක මත මේ අත්පිටපතේ ආයුකාලය දිගු එකක් වී නැත. එයින් පසුව ඩීමන් ආනන්ද විසින් 'විකිණෙන පොත්' ලියන්නට පටන්ගෙන තිබේ. ප්‍රකාශකයෙකු සොයාගත නොහැකිව ගිණිතබා පුළුස්සා දැමීම සඳහා අත්පිටපතක් ලිවීමට ආවස්ථික පිරිවැයක් දැරීමට වඩා විකිණෙන පොතක් වෙනුවෙන් ඒ පිරිවැය දැරීම පලදායක බව ඔහුට තේරී ඇත.


***
තමන්ගේ නිර්මාණකරණයේ සමාජ දායකත්වය පිළිබඳව ඩීමන් ආනන්දගේ අදහස වී ඇත්තේ මෙවැන්නකි.

‘‘රේස් කොලේ කියමින් සිටි වැඩ කරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි!’’

‘‘අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා.’’

(උපුටා ගැනීම: http://nalakagunawardene.com/2014/09/24/)

පොත් නොකියවන කෙනෙකු කවර අයුරකින් හෝ පොත් කියවීමට හුරුවූ පසු තවතවත් පොත් කියවීමට පෙළඹීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. ඒ අනුව, ඩීමන් ආනන්දගේ පොත්වලින් යහපතක් සැලසී ඇත. අනෙක් අතට, මෙවැනි පොත් වලින් කියවීම අරඹන ඇතැමුන් පසුකාලීනව වඩා ගැඹුරු පොත් කියවීමට යොමුවිය හැකිවුවත් මෙවැනි මට්ටමකින් කියවීම අරඹන පාඨකයෙකු අපරාධය හා දඬුවම වැනි පොතක් රස විඳිය හැකි මට්ටමට රුචිකත්වය පුළුල් කර ගැනීම සුලභ සිදුවීමක්යැයි මා සිතන්නේ නැත. ඩීමන් ආනන්දගේ පොත් සහ දොස්තොයෙව්ස්කිගේ පොත් වල පරිවර්තන ආදේශක ලෙස සැලකිය හැකිනම් ඒවා ඉතා දුර්වල ආදේශක විය යුතුය. කෙසේවුවද, දොස්තොයෙව්ස්කිගේ පොතක් කියවන මට්ටමට පාඨකයෙකුගේ රුචිකත්වය වර්ධනය නොකිරීම නිසා රේස් කොළය පමණක් කියවන කෙනෙකුට මොනවා හෝ පොතක් කියවීමට පුරුදු කිරීමේ සමාජ වටිනාකම අවතක්සේරු කළ යුතු නැත.

***
කියවීම මඟින් මිනිසෙකු 'හොඳ' මිනිසෙකු කෙරෙන බව පැවසේ. මෙහි 'හොඳ' යන්නෙන් අදහස් වෙන්නේ දියුණු සමාජ හැසිරීමකි. මේ පදනම මත වැඩි සමාජ වාසියක් සැලසෙන්නේ අපරාධය හා දඬුවම වැනි පොතකින්ද නැතහොත් මාරක කතා පොතකින්ද?

මේ ප්‍රශ්නය බැලූ බැල්මටම පෙනෙන තරම් සරල ප්‍රශ්නයක් නොවේ. අපරාධය හා දඬුවම වැනි පොතක් සාමාන්‍යයෙන් කියවන්නේ කලක් තිස්සේ පොත් කියවීම පුහුණු කළ සාපේක්ෂව හොඳ සමාජ හැසිරීමක් ඇති, පුළුල් සමාජ දෘෂ්ඨියක් ඇති අයෙකි. මෙවැන්නෙකු අපරාධය හා දඬුවම නොකියවූ පමණින් දරුණු සමාජ විරෝධියෙකු වීමට විශාල ඉඩකඩක් නැත. අනෙක් අතට, රේස් කොළය පමණක් කියවන්නෙකු සමාජ විරෝධී පුද්ගලයෙකු වීමට වැඩි ඉඩකඩක් තිබේ. එවැන්නෙකු, 'පොතක් පත්තරයක් කියවීමට' හුරුකිරීමේ ආන්තික සමාජ වටිනාකම කොහොමටත් සමාජ විරෝධියෙකු වීමට අඩු ඉඩකඩක් ඇති අයෙකුට සම්භාව්‍ය කෘතියක් කියවීමට ඉඩ සැලසීමෙන් ලැබෙන ආන්තික සමාජ වටිනාකමට වඩා වැඩි විය හැකිය.

එක් පිස්සෙක් තවත් පිස්සෙක්ට ඉරට වඩා ප්‍රයෝජනවත් වන්නේ හඳ බව කියා ඇත. ඉර පායන්නේ කොහොමටත් එළිය ඇති දවල් කාලයේය. හඳ පායන්නේ එළියක් නැති රෑටය. ඒ නිසා, හඳ විසින් කරන්නේ ඉරට වඩා වැඩි සේවයකි. උඩින් මා කියා ඇති දෙය, මේ කතාව වැනි එකක් නොවේ.

***
සාහිත්‍ය මාසයේදී නිර්මාණ හැකියාවක් ඇති ඇතැම් අයට අපරාධ ගැන සහ ඒවාට ලබාදිය යුතු දඬුවම් ගැන කතා කිරීමට කාලය යෙදවීමට සිදුවීමෙන් සිංහල සාහිත්‍යයට යම් පාඩුවක් වූවා විය හැකිය. රසික විසින් පෙන්වාදී ඇති පරිදි සිංහල බ්ලොග්ද සිංහල සාහිත්‍යයේ කොටසක් බැවිනි. කෙසේවුවද, වෙනත් හේතුවක් නිසා මේ අවාසිය අඩුවී තිබේ.

සාමාන්‍යයෙන් අපරාධ සහ දඬුවම් සම්බන්ධ කටයුතු වෙනුවෙන් කාලය යොදවන ආයතනයක් මෙවර සාහිත්‍ය මාසය තුළ ප්‍රබන්ධකරණය සඳහා විශාල කාලයක් යෙදවීම ඉතා වැදගත් සිදුවීමකි. වයස වසර එකසිය හතලිස් නවයක් වුවත් තවමත් "ලොකු වී" නැති මේ ආයතනයට මීළඟ සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ප්‍රබන්ධය සඳහා සම්මානය හිමිවන්නට ඉඩතිබේ.

***
අන්තිම කෙහෙල්ගෙඩියත් ගිලනොදමා, හදිසියේ උස්මුරුත්තා වුවහොත් වමනය දැමීම සඳහා ඇඟිල්ලක් ගැසීමට ඉඩක්වත් ඉතිරි කර ගත හැකිනම් ඒ ආයතනයේ පමණක් නොව රටේත් සෞඛ්‍යයට හොඳය.

(Photo credit: https://bookinfosl.com/Book/Details/11/aparadhaya-saha-danduwama)

Thursday, October 8, 2015

සූරසේන වෙනස්වෙලා...

කලක් එකට සිටි මිතුරෙකු විදේශගතව සිට නිවාඩුවට පැමිණෙන විට ඔහුගේ වෙනස ගමේ යාළුවාට දැනෙන ආකාරය ගැන කවි පන්තියක් පසුගිය සතියේ ඉවාන් විසින් පළ කර තිබුණේය. මේ කවි පංතියෙන් ඇවිස්සුණු මතකය ඔස්සේ ගොස් මගේ පැරණි සටහන් ගොමුව පීරූ විට සියවස් කාලකට පෙර මේ තේමාව යටතේ මා ලියූවක් හමුවිය. තේමාව එකම වුවත්, මා ස්පර්ශ කරන පරාසය ඉවාන්ගේ කවි පන්තියේ පරාසය මෙන් පුළුල් එකක් නොවන නිසා මෙහි අන්තර්ගතයේ පසුබිම ගැන කුඩා හෝ විස්තරයක් මුලින්ම කළ යුතුය.

කාල සටහනින් අඩක් පමණ විද්‍යාගාර පර්යේෂණ, සැලසුම් ඇඳීම් සහ බිම්මැනීම් වැනි ප්‍රායෝගික කටයුතු සඳහා වෙන් වී ඇති ඉංජිනේරු පීඨය වැනි පීඨවල මේ ක්‍රියාකාරකම් බොහොමයක්ම සිදුවන්නේ තුන් දෙනෙකුගේ සිට පස් දෙනෙකු දක්වා සිසු පිරිසකගෙන් සමන්විත වූ කුඩා කණ්ඩායම් මට්ටමින් බැවින් මෙවැනි කටයුතු මෙහෙයවීමට සහ අධීක්ෂනය කිරීමට සැලකිය යුතු අධ්‍යයන කාර්ය මඬුල්ලක් අවශ්‍ය වේ. මේ කටයුතු සඳහා කථිකාචාර්යවරුන්ගේ කාලය වැය නොකෙරෙන අතර ඒ සඳහා උපදේශකයින් හෙවත් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා නම් වූ කොටසක් බඳවා ගැනේ. මොවුන්ව සිසුන් විසින් හඳුන්වන්නේ 'ඉන්ටෝ' ලෙසිනි. වෙනත් ඇතැම් පීඨ වල මෙවැනි කාර්යයක් කරන අය ඩිමොන්ස්ට්‍රේටර්ස්ලා හෙවත් ඩිමෝලා ලෙසද හැඳින්වෙති.

ඉන්ස්ට්‍රක්ටර් තනතුර තාවකාලික 'ගන්ධබ්බ' තනතුරකි. මේ තනතුරට බඳවා ගැනෙන්නේ අවසාන විභාගයට පෙනී සිටි සිසුන් අතරින් විභාග ප්‍රතිඵල අනුව ඉහළින් සිටින සිසුන්වය. ඉන්ස්ට්‍රක්ටර් තනතුරු සඳහා බඳවා ගන්නා අවස්ථාව වන විට අවසාන වසරේ විභාග ප්‍රතිඵල නිකුත්ව නොමැති නිසා මෙහිදී සලකා බැලෙන්නේ පෙර වසරේ විභාග ප්‍රතිඵලයයි. මේ තනතුරට අදාල වැටුප බාහිර රැකියාවකට සාපේක්ෂව එතරම් ආකර්ෂණීය නැති සුළු වැටුපකි. එහෙත්, බාහිර රැකියාවක් ලැබෙන තුරු ඇති ගන්ධබ්බ සමය තුළ අතේ සතේ නැතුව සිටීමේ විකල්පයට සාපේක්ෂව මෙන්ම සිසු සමයේ ලැබෙන මහපොළ ශිෂ්‍යත්වය වැන්නකට සාපේක්ෂව මේ වැටුප ආකර්ෂණීය නැත්තේත් නැත. වැටුපට වඩා ඉන්ස්ට්‍රක්ටර් තනතුරක ඇති ආකර්ෂනීයත්වය වනුයේ තමන්ට වඩා පහළ කණ්ඩායම් වල සිසුන් මත යම් අධිකාරිත්වයක් පවත්වා ගැනීමේ හැකියාවයි. මේ තනතුර තමන්ගේ යම් නොමනාපයක් ඇති කනිෂ්ඨ සිසුවෙකුව 'ඇන්නවීමට' ඇති හොඳ අවස්ථාවකි.

සිසු අවදියේදී රැවුල වවාගෙන, පොඩි වූ ටී ෂර්ටයක් සහ ඩෙනිමක් ඇඳ, රබර් සෙරෙප්පු පළඳින සිසුවෙකු ඉන්ටෙකු වූ පසු රැවුල පිළිවෙලකට කැපීමට පටන් ගැනීම, සපත්තු දැමීම මෙන්ම මැදපු ඇඳුම් ඇඳීම වැනි වෙනස්කම් මඟින් බාහිර රැකියාවකට සූදානම් වන අතරම තමන් තව දුරටත් සිසුවෙකු නොවන බව ප්‍රදර්ශනය කිරීමට පටන් ගැනීම දුලබ සිදුවීමක් නොවේ. මෙවැනි ඇතැම් ඉන්ටෝ සිසුන් සමඟ වූ ඇයි හොඳයිකම්ද සීමා කරන්නේ ඔවුන්ට 'කරේ නඟින්නට ඉඩදුන් විට' තමන්ගේ රැකියාව කරගැනීම අපහසු වන බව සිතමින් විය යුතුය. පෞද්ගලික හිතවත්කම් සහ රැකියාව එකිනෙකින් වියුක්ත ලෙස නොදකින ලාංකීය සංස්කෘතිය තුළ මේ හැසිරීම ස්වභාවික එකකි. පහත ඇති පදපේලි වලින් විස්තර කෙරෙන්නේ මේ පොදු අත්දැකීමයි.

***
සූරසේන වෙනස්වෙලා...

නිවාඩුවට ගෙදර ගිහිං
ආපහු කැම්පස් එනකොට
කලින් තිබුණු හැම දෙයක්ම
පොඩ්ඩ පොඩ්ඩ වෙනස්වෙලා

ෆැකල්ටියට ඇවිල්ල මං
කොරිඩෝ එක දිගේ ටිකක්
කැරකෙද්දී ඉස්සරහට
මේං එනව සූරසේන.

අවුරුද්දක් මාත්තෙක්ක
අල්ලපු කාමරේ හිටපු
සබන්කෑලි ටූත්පේස්ට්
කොච්චරවත් ගජේගහපු
මිනිහ නේන්නං එන්නේ!

මාව දැක්කෙ නැතුවවද්ද?
අඳුනගන්න බැරුව වාගෙ
අහක බලාගෙන යන්නේ!
ආයෙ හිනාවෙලා බලමු
මිනිහට මං මතක නැද්ද?

වැරදීමක් වෙන්නම බෑ
මැදපු ඇඳුං ඇඳල වුනත්
රැවුල කපල දාල වුනත්
සපත්තුවට බැහැල වුනත්
මේනං සූරයම තමයි!

දැනුයිනෙ මට මතක් වුනේ
සූරය ඉස්ටාෆ් කියල
මඟදී කවුදෝ කිවුවනෙ!

ඒත් මොකද අහක බලං...?
මාත්තෙක්ක හිනා වුනොත්
තත්තෙට හොඳ මදිවවද්ද?

හිනාවුනේ නැතුවටනම්
මගේ කිසිම තරහක් නෑ
ඒ වුනාට මට උඹ ගැන
හිතන කොටත් හරි පුදුමයි.

අප්පච්චී මං බලන්ට
ගෙදර ඉඳං ආ දවසේ
මටත් කලිං උඹයි සූරෙ
බත්තෙක ඇරගෙන කෑවේ

මාවත් ඇදගෙන දවසක්
සොක බලන්න එගොඩ ගිහිං
කිරි ටොයි ෆ්‍රෙෂියක් දැකලා
උඹට මොනාදෝ හිතිලා
ළඟ පුටුවක් අල්ලගන්න
අපි දෙන්නා දඟලපු හැටි
දැන් අමතක වෙලාවද්ද?

රාවය අස්සේ හංගං
වැල පත්තරයක් ගෙනල්ල
කාමරයේ දොර වහගෙන
බැළුවත් උඹ ඉඳල හිටල
පස්සෙ ඒක මටත් දුන්න.

එහෙව් උඹත් එක්කල මං
තරහ වෙන්නෙ කොහොමද බං...?
ඒකයි හිත හදාගත්තෙ
උඹ ගැන මං මෙහෙම හිතල

අල්ලපු කාමරේ හිටපු
සූරසේන මැරිල ගිහිං
අළුත් සූරසේන කෙනෙක්
ඇවිල්ල ඉස්ටාෆ් එකට.

Sunday, October 4, 2015

අක්බාර් කෑම වේලට බලපෑ උද්ධමනය සහ හිල්ඩා සල්ලි


පසුගිය ලිපියට කිහිප දෙනෙකු විසින් දක්වා ඇති ප්‍රතිචාර කියවාගෙන යන කෙනෙකුට පේරාදෙණියේ අක්බාර් කැන්ටිම ඇතුළු අනෙකුත් කැන්ටින් වල කෑම වේලක මිලත්, අඩුවක මිලත් දශක දෙකක පමණ කාලයක් තුල සිවු ගුණයකින් වැඩි වී ඇති ආකාරය පෙනී යයි. බොහෝ භාණ්ඩ වල මිල කාලයත් සමඟ මෙසේ වැඩිවන්නේ උද්ධමනය නිසාය.

උද්ධමනය ලෙස හඳුන්වන්නේ රටේ සියළුම භාණ්ඩ හා සේවා වල මිල මට්ටමේ සිදුවන සාමාන්‍ය වැඩිවීමකි. කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩයක මිල වැඩි වීම උද්ධමනය ලෙස සැලකෙන්නේ නැත. කෙසේ වුවද, අක්බාර් කෑම වේලේ හෝ හෝටලයක සාමාන්‍ය කෑම වේලක මිල වැඩි වන්නේ බොහෝ දුරටම උද්ධමනයේ බලපෑම අනුවය.

මෙවැනි පිසූ කෑම වේලක් සැකසීම සඳහා යන පිරිවැයට හාල්, එළවළු, මස්, මාළු, තුනපහ, පොල් ආදී ආහාර ද්‍රව්‍ය රැසක මිල වෙනස්වීම් වලින් බලපෑමක් වේ. එමෙන්ම, විදුලි ගාස්තු, ප්‍රවාහන වියදම් ආදියේ බලපෑමද මෙයට එකතුවේ. ඊට අමතරව සේවක වැටුප් වල සිදුවන වෙනස්කම්ද මේ පිරිවැයට බලපෑමක් කරයි. මේ අනුව, පිසූ කෑම වේලක් යනු හාල් කිලෝවක්, පොල් ගෙඩියක් වැනි එක් භාණ්ඩයක්ම නොවේ. ඒ නිසා, සාමාන්‍ය පවුලක මාසික වියදමෙන් වැඩි ප්‍රමාණයක් ආහාර සහ බිල්පත් ගෙවීම් සඳහා වැය කරන ලංකාව වැනි රටක පිසූ කෑම වේලක මිල යනු සෑහෙන දුරකට උද්ධමනය මැනිය හැකි නිර්ණායකයකි. සරසවි කැන්ටින් වල කෑම වේලක මිල කිසියම් නියාමනයකට ලක් කර තිබුණද, රටේ උද්ධමනයේ බලපෑම නිසා සිදුවන නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් මේ මිල නිදහස් නැති බව පැහැදිලිය.

උද්ධමනය නරක දෙයක් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම නිසාම නොවේ. එහි ඇති වෙනත් වක්‍ර බලපෑම් නිසාය. උද්ධමනයේ හානි බොහෝ ඇතත් සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවාවල මිල වැඩි වන විට වැටුප් වැඩිවී, ආදායමද වැඩි වන නිසා භාණ්ඩ වල මිල වැඩි වීම සෘජු ලෙසම ප්‍රශ්නයක් වන්නේ නැත. භාණ්ඩ වල මිල වැඩිවන විට භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතනයන්හි ආදායම්ද සමානුපාතිකව වැඩි වී වෙළඳපොළ බලවේග අනුව වැටුප්ද වැඩි වේ. කෙසේ වුවද, බොහෝ දෙනෙකු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන වල වැඩ කරන නිසා ලංකාවේදීනම් මේ වැටුප් වැඩිවීමේ ක්‍රියාවලිය ස්වභාවිකවම සිදුවන්නේ නැත.

අධ්‍යාපනය ලබන කාල සීමාව තුලදී, ලංකාවේ සරසවි සිසුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් යැපෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව දීමනාවෙනි. තවත් සුළු පිරිසකට ශිෂ්‍යාධාර හෝ වෙනත් ශිෂ්‍යත්ව හිමි වේ. මෙවැනි කටයුත්තක් සඳහා ලංකාවේ පවුලක ආදායම මැනීමේ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතා නිසා මවුපිය දෙදෙනාම ගුරු වෘත්තීය වැනි වැටුප් ලබන සාමාන්‍ය රැකියා කරත්නම් සරසවි සිසුවෙකුට හෝ සිසුවියකට බොහෝ විට මේ ශිෂ්‍යත්ව හිමි නොවේ. එහෙත්, මවුපියන් සුළු ව්‍යාපාරිකයින්, ඉඩම්හිමි වැවිලි කරුවන් හෝ වෙනත් වැටුප් නොවන ආදායම් ලබන්නන්නම් ආදායම අඩුවෙන් පෙන්වා ශිෂ්‍යත්වයක් ලබා ගත හැකිය. උසස්පෙළ ලකුණු අනුව ආදායම නොසලකා කුසලතා ශිෂ්‍යත්ව යම් ප්‍රමාණයක් ද ලබා දේ.

මා සරසවියේ සිටි කාලය තුළ අක්බාර් කෑම වේලක මිල මෙන්ම මහපොළ ශිෂ්‍යත්ව වාරිකයද වරින් වර වැඩි වුණේය. මෙය මුලින්ම රුපියල් තුන්සිය පණහක් විය. පසුව, පන්සීය සහ හයසිය පණහ දක්වාත් අවසානයේදී රුපියල් දහස දක්වාත් වැඩිවිය. කුසලතා ශිෂ්‍යත්වයකට සාමාන්‍ය ශිෂ්‍යත්වයකට වඩා රුපියල් පණහක් වැනි මුදලක් වැඩිපුර හිමිවූ අතර ශිෂ්‍යාධාර වාරිකයක් මහපොළ ශිෂ්‍යත්ව වාරිකයකට වඩා තරමක් අඩුය.

මේ අවසාන වැඩිවීම අවස්ථාව අනුව ඉබේටම මෙන් ගැනුණු ක්ෂණික තීරණයකි. මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට පළමු වාරිකය සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ උත්සවාකාරයෙනි. මෙය සිදුවන්නේ මහපොළ සංවත්සර ප්‍රදර්ශනයකට සමගාමීවය. මහපොළ නිර්මාතෘ වූ ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කණ්ඩායමක් ප්‍රේමදාස රජයට දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාව දක්වා මේ උත්සව වල මුල්තැනක් හිමි වුනේ ඇතුලත්මුදලි මහතාටය. දෝෂාභියෝග සමයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මේ සිද්ධියට අදාළ මහපොළ සංවත්සර වේදිකාවට ඇතුලත්මුදලි මහතා ගොඩවන විට විශාල ලෙස එක් රැස්වී සිටි සරසවි සිසුන් ඇතුළු ජනකායෙන් නැඟුනේ දීර්ඝ, උත්කර්ෂවත් අත්පොළසන් නාදයකි. ඒ වන විටත් ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි, සරසවි සිසුන්ගේ ප්‍රසාදය කොහොමටත් දිනා නොසිටි රාජ්‍ය නායකයාට මෙවැනි පිළිගැනීමක් නොලැබීම මදිකමක් වූවා විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ක්ෂණික තීරණයකින් මහපොළ වාරිකයේ මේ අනපේක්ෂිත වැඩිවීම සිදුවිය. (මේ අවස්ථාවට මා පෞද්ගලිකව සහභාගී වූයේ නැත. මේ එයට සහභාගී වූ මිතුරන්ගෙන් දැනගත් කරුණුය.)

රුපියල් දහසක් යනු ඒ කාලයේදී වුවද චැලියකට පෙට්‍රල් ගසා නඩත්තු කිරීමට ප්‍රමාණවත් විශාල මුදලක් නොවීය. සරසවි සිසුන්ගේ සටන් පාඨ වල රජයෙන් ඉල්ලා තිබුණේ මීට වඩා වැඩි වාරික මුදලකි. කෙසේ වුවද, මේ මුදලින් අමාරුවෙන් වුවත් වියදම් පිරිමසාගැනීමේ හැකියාවක් නොතිබුණා නොවේ.

පසුගිය සටහනේ ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු 'අක්බාර් මුදල් ඒකක'  කලින් කලට සරසවියේ විවිධ ආපනශාලා වලින් නිකුත් විය. මා සිටි කාලයේ මේ වැඩේ ලොකුවටම සිදුවුණේ හිල්ඩා ඔබේසේකර ශාලාවේය. හිල්ඩා ශාලාව පිහිටා ඇත්තේ ගඟෙන් එගොඩ ගලහ පාර අයිනේය. ඉංජිනේරු පීඨයට ආසන්නව පිහිටි එම පීඨයේ සිසුන් වැඩිපුර නවාතැන් ගත් අක්බාර් ශාලාව හෝ වෛද්‍ය පීඨය ආසන්නව පිහිටි වෛද්‍ය සිසුන් වැඩිපුර නවාතැන්ගත් මාර්ස් ශාලාවෙන් වෙනස්ව, හිල්ඩා ශාලාවේ බොහෝ විට පේරාදෙණි සරසවියේ සෑම පීඨයකම සිසුන්ගේ මිශ්‍රණයකි. හිල්ඩා ශාලාවට ආසන්නව කිසිදු අධ්‍යයන පීඨයක් පිහිටා නැති නිසා අක්බාර් ශාලාවේ මෙන් ලොකු දිවා ආහාර පෝලිමක් හිල්ඩා ශාලාවේ නැත. එහි නේවාසික සිසුන් බොහෝවිට හිල්ඩා ආපනශාලාවෙන් ලබා ගත්තේ උදේ සහ රාත්‍රී ආහාරයි. දිවා ආහාරය සඳහා තරමක ලොකු පෝලිමක් පැවතියේනම් ඒ සති අන්තයේදී හෝ විභාග කාලයේදීය.

මේ කාලයේදී මහපොළ වාරිකයක් රුපියල් පන්සීයක් හෝ හයසිය පණහකි. 'පොළ ගත්' දවසට බොහෝ සිසුන් අතේ සීයේ පටි කැරකේ. මේ සීයේ නෝට්ටුවක් දී කෑම ගත් පසු හිල්ඩා මුදලාලිගෙන් ඉතුරු නොලැබේ. ඒ වෙනුවට ලැබෙන සීල් එකක් ගසා ඇති කාඩ්බෝඩ් කෑල්ලේ උඩින්ම රුපියල් සීයක් සටහන් කර ඇති අතර දෙවන පේලියේ ලබා ගත් කෑම වල මිල සටහන් කර ඇත. දෙවන වරට කෑම ගැනීමේදී අදාල මුදලද මේ කාඩ් පතේ සටහන් වේ. අඩුවක් ගත්තොත් අඩුවේ මිලද සටහන් වේ. කාඩ්පත පහළට මෙසේ ගණන් සටහන් වී පේලි දහයක් දොළහක් එක් වූ විට හිල්ඩා මුදලාලි ගණන් එකතු කර ඉතිරිය ලංකාවේ වලංගු මහ බැංකුව මඟින් නිකුත් කර ඇති මුදලින් ආපසු දෙයි. මේ වන විට බොහෝ විට ඉතිරිය රුපියල් විස්සක තිහක පමණ හෝ ඊටත් අඩු මුදලකි.

හිල්ඩා නෝට්ටු මුලින්ම නිකුත් කරන විට සිසුන් මේවා භාර ගත්තේ කැමැත්තෙන් නොවේ. සාමාන්‍ය මුදල් නෝට්ටුවක් මෙන් පිළිවෙලක් නොතිබුණු මේ කාඩ්බෝඩ් කෑල්ල කොහේ හෝ හලා ගත්තොත් රුපියල් සීයට බඩුය. අමතක වීමෙන් මේ හිල්ඩා නෝට්ටුවේ තීරුවක් ඉරා හොට් ප්ලේටයකට අල්ලා සිගරැට් දැල්වූ අවස්ථා තිබුණේය. කලිසම් හෝදද්දී සාක්කුවේ තිබී පෙඟී ගිය අවස්ථා තිබුණේය. කලිසම් සාක්කුවේ අමතක වී හිල්ඩා ගිණුමේ ශේෂය දියවී යාම මටද වරක් සිදුවී ඇති පාඩුවකි.

හිල්ඩා කැන්ටිමෙන් කෑවේ එම ශාලාවේ නේවාසිකව සිටි සිසුන් පමණක් නොවේ. ඇතැම් විට, හිල්ඩා ශාලාව ඉදිරිපස ගලහ පාරේ අනිත් පැත්තේ ඇති ජේම්ස් පීරිස් ශාලාවේ නේවාසික සිසුහු වෙනසක් සඳහා ජේපී කන්ද බැස හිල්ඩා ශාලාවට පැමිණියහ. බොහෝවිට විභාග කාලය මුස්ලිම් වරුන්ගේ රාමසාන් කාලය සමඟ සම්පාත වේ. හිල්ඩා ශාලාවේ සිටි මුස්ලිම් සිසුන් වෙනුවෙන් නෝම්බි ඇල්ලීමට පෙර කුස පුරවාගැනීමට පාන්දර පහට විශේෂ ආහාර වේලක් සකස් විය. මේ ආහාර වේලක් විකිණුවේ සාමාන්‍ය ආහාරවේලක් විකුණන මිලට වඩා සිවුගුණයකටත් වඩා වැඩි මිලකටය. අධ්‍යයන නිවාඩු සමයේ දවල් වන තුරු නිදාගෙන, හවස් වරුවේ රස්තියාදුවක් ගසා ඇඳිරි වැටෙද්දී 'බොගට සෙට් වී' පාන්දර වන තුරුම අදිමින් නිශාචර මාසයක් ගෙවමින් සිටි අපිද ඇතැම් දිනවල විට නිදාගැනීමට පෙර මේ කෑම වේල භුක්ති විදීමට හිල්ඩා ශාලාවට බසින මාකස් ප්‍රනාන්දු හා  ජේම්ස් පීරිස් ශාලාවල නේවාසික මුස්ලිම් සිසුන්ට එකතු වුනෙමු.

හිල්ඩාවෙන් මෙසේ අතරින් පතර කෑම වේලක් ගන්නා ළඟ පාත පිහිටි අනෙකුත් ශාලා වල නේවාසික සිසුන්ට මෙන්ම, සාමාන්‍යයෙන් එහි නොපැමිණෙන නමුත් කවර හෝ කාර්යයකට පැමිණි අක්බාර්, මාර්ස් වැනි දුරින් පිහිටි ශාලාවක වසන සිසුවෙකුට හිල්ඩා නෝට්ටු වාතයක් වූ බව කිවයුතු නැත. මේ නෝට්ටු මුදල් කර ගැනීමට නැවත හිල්ඩා ශාලාවටම පැමිණිය යුතුය.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබේ. මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු වල මෙන් එළියකට ඇල්ලු විට පෙනෙන්නට නොතිබුණත් වැඩි කලක් නොගොස් හිල්ඩා නෝට්ටු වල ඇති රිදී රේඛා හොයා ගැනීමට නොහැකි තරමේ නිර්මාණශීලිත්වයේ අඩුවක් සරසවි සිසුන්ට තිබුණේ නැත. ඒ නිසා ටික දවසක් යද්දී හිල්ඩා නෝට්ටු සිසුන්ට ලාභ උපදවන මඟක් බවට පත් විය. මුදලාලි නෝට්ටුවේ ගණන් එකතු කරන්නේ එහි පහළ දක්වා ගණන් ලියවී ඇති බව පෙනුණු විටය. අඩුකෑමට ගෙවීම වැනි සුළු මුදල් අතින් ගෙවා ලොකු වියදම් හිල්ඩා නෝට්ටුවට බැර කළ විට පේලි හත අටකින් රුපියල් සීය පැන්නිය හැකිය. දෙදෙනෙකුගේ කෑම සඳහා එකවර මුදල් ගෙවූ විට එහි ලකුණු වන්නේ එක් සටහනක් පමණි. මෙවැනි විටක ගිණුමේ බැර එකතුව රුපියල් සීයට වඩා වැඩි වුවත් මුදලාලිට එය ක්ලික් වන්නේ නැත. හිල්ඩා නෝට්ටුව පැත්තකට විසිකර දැමූ විට රුපියල් කිහිපයක් ලාබය. අනෙක් ක්‍රමය වූයේ මේ කාඩ්බෝඩ් නෝට්ටුවේ යටින් ගණන් සඳහන් කොටස්ද සමඟ කුඩා තීරුවක් කතුරකින් කැපීමයි. එවිට ඉතුරු ලැබෙන්නේ කපා දැමූ තීරුවේ ඇති මුදල් සැලකිල්ලට නොගනිමිනි. කෙසේ වුවද, මගේ අදහස පරිදි මෙවැනි දේ ඇතැම් විට ඇතැම් සිසුන් කළ දේ මිස බහුලව සිදුවූ දේවල් නොවේ.

හිල්ඩා මුදල් වලට සීමිත හුවමාරු වටිනාකමක් තිබුණේය. ඇතැම් විටෙක සිසුවෙකු තවෙකෙකුට "මචං, අදනං කන්නවත් සල්ලි නෑ. රුපියල් පණහක් තියෙනවනං දියං. හෙට පොළ ගත්තහම දෙන්නං." කියූ විට "සල්ලිනං මගෙ අතෙත් නෑ මචං. ඉඳා, මේකෙන් කාපන්. මටත් එනකොට පොල් රොටී දෙකක් අරන් වරෙන්" කියා තමන්ගේ හිල්ඩා නෝට්ටුව දීමත්, හිල්ඩා සිසුවෙකු දුරින් පිහිටි ශාලාවක නේවාසිකව සිටි මිතුරෙකු හමුවීමට ගිය විට "මචං, මට හිල්ඩා එකෙන් සීයක ඉතුරු ගන්න තියෙනවා. ඒ පැත්තේ යන්න වෙලාවකුත් නෑ" කියා හිල්ඩා නෝට්ටුවක් දික්කළ විට අතේ ඇති මුදලින් ඔහුට ගණන් බේරා හිල්ඩා නෝට්ටුව ලබා ගැනීම වැනි දේද සිදුවිය හැකිව තිබුණු දේවල්ය.

පේරාදෙණියේ කැන්ටින් මුදලාලිලා අතර වර්ග දෙකක් සිටිති. එක කොටසක් සිස්ටම් එක අල්ලා ගත් අයයි. දෙවන කොටස සිස්ටම් එක නොදන්නා ආවා-ගියෝ මාදිලියේ අයයි. පේරාදෙණිය වැනි නේවාසික සරසවියක වාසය කරන විට උත්තර ධ්‍රැවය ඇත්තේ ගලහ හන්දියේ බවත් දක්ෂිණ ධ්‍රැවය ඇත්තේ රාමනාදන් හන්දියේ බවත් සිතීම පටු චින්තනයක්ම නොවේ. මේ සංවෘත පද්ධතිය ඇතුළත බොහෝ අවශ්‍යතා පිටත සම්බන්ධයකින් තොරව පහසුවෙන් ඉටු වේ. සිසුවෙකුගේ ෆැන්ටසිය බිඳ දැමූ විට ඇති වන වේදනාව බත් හැන්දක් හෝ මස් කෑල්ලක් අඩුවූ විට දැනෙන වේදනාවට වඩා වැඩි බව සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා දනිති. ඔවුන් දිගින් දිගටම කැන්ටින් කිරීමේ රහස එයයි.

කෑම පිඟානේ මොන අඩුපාඩු තිබුණත් මුදල් ගෙවා මිලදීගෙන, යාන්තම් අතගා කටක් දෙකක් ගිල දමා, ඉතිරිය සද්ද බද්ද නැතිව කුණු බක්කියට හලා බඩගින්නේ දවස ගෙවන සිසුහුද සිටිති. ඒ වගේම සුළු අඩුපාඩුවකට වුවත් ලොකුවටම සද්ද දාන සිසුහුද සිටිති. සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා මේ සිසු කාණ්ඩ අත්දැකීමෙන් හෝ 'ඉවෙන්' හඳුනා ගනිති. මෙසේ නිතරම 'අදින' සිසුවෙකු පෝලිමේ එද්දී ඇතැම් විටෙක කෑම නිකුත් කරන සේවකයා 'මේ පිඟානට අඩුවෙන් බත් වැටිලා තියෙන්නේ. තව හැන්දක් දාල එවන්න' කියා බත් බෙදන සේවකයාට පිඟාන ආපසු යවන්නේ එවැනි සිසුවෙකු වචනයක් හෝ පැවසීමට පෙරය. යම් හෙයකින් වචන හුවමාරුවක් සිදුවුවහොත් තවත් සිසුන් වහා එකතු වන බවත්, කෑම ගෙන ඉක්මණින් ඊළඟ දේශනයට යාමට බලාගෙන පෝලිමේ නොඉවසිල්ලෙන් සිටින සිසුන් ආවේගශීලී වන බවත් මේ සේවකයා පළපුරුද්දෙන්ම දනී. එමෙන්ම, දිගු කාලයක් කැන්ටින් කිරීමටනම් කුණුහරුප වලට ඇතුළු විය නොහැකි ස්වභාවික පෙරණයක් උපතින් කන් වල පිහිටා තිබිය යුතුය. සිස්ටම් එක අල්ලා ගත් මුදලාලිලාට උපතින්ම මේ ජානය පිහිටා තිබුණේය.

සිස්ටම් එක නොදන්නා කැන්ටින් මුදලාලිලා ලොකුවට පටන් ගනිති. මේ අය දෙන කෑම වල තත්ත්වය ආරම්භයේදී ඉහළ මට්ටමක පවතී. මා පෙර කී හිල්ඩා නෝට්ටු නිතුත් කළේද එවැනි මුදලාලි කෙනෙකි. කෙසේ වුවද, මෙවැනි මුදලාලිලා සාමාන්‍යයෙන් මාස දෙක තුනකට වඩා කැන්ටින් නොකරති. ඔවුන්ට හිටිවනම දමා ගසා ඉවත්වීම අපහසු කරුණක් නොවන්නේ කැන්ටින් කිරීමට ගන්නා ලොකු භාජන වැනි බොහෝ උපාංග සරසවිය සතු ඒවා වීම නිසාය. මෙසේ දමා ගසා ගිය විට ඔවුන්ට අහිමි වන තැන්පතු මුදල විශාල එකක් නොවේ.

"මචං, අන්න හිල්ඩා එකේ කැන්ටින් කාරයා අකුලාගෙන යන්න සෙට් වෙනවා. උඹේ සල්ලි ගන්න තියෙනවනං ඉක්මණට පලයං." කියා සගයකු දැනුම් දුන් විට වහාම ක්‍රියාත්මක වූ සිසුන්ට ඔවුන්ගේ හිල්ඩා නෝට්ටු නැවත මුදල් කරගත හැකි වුවත් ඇතැම් අය එහි යන විට ප්‍රමාද වැඩිය. හිල්ඩා නෝට්ටු භාවිතා කිරීමෙන් ඇතැම් සිසුන් වරින් වර යම් ලාභ ලැබුවත් අවසාන වශයෙන් ශුද්ධ ලාභයක් ලබන්නට ඇත්තේ කැන්ටින්කරුවාය.

මා සිටි කාලයේ ඇත්තටම ඉතිරි දීමට නැති අවස්ථා වලදී අනිත් කැන්ටින්කරුවන්ද මෙවැනි නෝට්ටු නිකුත් කළත් ඒවා හැකි පළමු අවස්ථාවේදීම මුදල් කර දීමට ඔවුහු වගබලාගත්හ. මෙය පුරුද්දකට කළේ මාස කිහිපයක් හිල්ඩා කැන්ටිම කළ ආවා-ගියෝ මුදලාලි කෙනෙක් පමණි.

හිල්ඩා නෝට්ටු ව්‍යාප්ත කිරීමට කැන්ටින්කරුට හැකි වුණේ සරසවි සිසුන් මේ සීල් ගැසූ කාඩ්බෝඩ් කෑලි වල හුවමාරු වටිනාකම ගැන විශ්වාසය තැබූ නිසාය. නිකම්ම නිකම් කඩදාසි කෑලි වන ෆියට් මුදල් හෙවත් ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම රඳා පවතින්නේ ඒ පිළිබඳව සමාජයේ ඇති විශ්වාසය මතය. ඒ හැරුණු විට මේ මුදල් වල නෛසර්ගික වටිනාකමක් නැත. මහ බැංකුවෙන් නිකුත් කරන මෙවැනි කඩදාසි කෑලි වල හිල්ඩා මුදලාලිගේ සීල් එක වෙනුවට මහ බැංකු අධිපතිගේත්, මුදල් ඇමතිගේත් අත්සන් තිබේ. ඒවා වඩා හොඳ කඩදාසිවල ආකර්ශනීය නිමාවකින් මුද්‍රණය කර තිබේ. ඒ හැරුණු විට ඒවාත් හිල්ඩා නෝට්ටු වගේම කඩදාසි කෑලිය. ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් හෝ යුරෝ වලට වුවද මේ කතාව එලෙසින්ම අදාලය.

හිල්ඩා මුදලාලි කැන්ටිම අතහැර ගියපසු සිසුන් අත ඉතිරිව තිබුණු හිල්ඩා නෝට්ටු වල හුවමාරු වටිනාකම ශුන්‍ය වී නිකම්ම නිකම් කඩදාසි කෑලි බවට පත් විය. ලෝකයේ ඇතැම් රටවල මහ බැංකු මඟින් නිකුත් කළ මුදල් වලටද මේ සන්තෑසියම සිදු වූ අවස්ථා තිබේ. හිල්ඩා මුදලාලි දිගටම කැන්ටිම කරගෙන සිටියේනම්, රුපියල් සීයක් හිල්ඩා මුදලාලිට දී ලබාගන්නා හිල්ඩා නෝට්ටුවක් මාසයකට පසු ආපසු ඉදිරිපත් කළ විට නැවත රුපියල් සීයක් ලබා ගැනීමේ අවස්ථාව තිබුණේය. එහෙත්, මාසයකට පෙර ඇමරිකානු ඩොලර් තිස්හතක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුවට දී ලබාගත හැකිව තිබුණු රුපියල් පන්දාහේ නෝට්ටුවක් දැන් ආපසු ඉදිරිපත් කළහොත් ආපසු ලැබෙන්නේ මුලින් දුන් ඩොලර් ගණනට වඩා ඩොලර් දෙකක් පමණ අඩුවෙනි.

(Photo credit: www.serendib.btoptions.lk)

Gadget

This content is not yet available over encrypted connections.