Saturday, June 27, 2015

ඡන්දයක වටිනාකම ආන්තික තෙරපුමක් යෙදීමට ඇති හැකියාවේ ප්‍රමාණයටය.

දෙමසකටත් වඩා කෙකර ගගා සිටි කිකිළිය අවසානයේදී බිජුව හෙලා තිබේ. ඒ කිකිළියගේ බඩ පලා බිජුව ගැනීමට තිබුණු තර්ජනය නිසා නොවේ. ගැබ තුළ කුණුවෙමින් පැවති බිජුව පිපිරී කිකිළිය ආසාදනය වීමට පෙර එය ඉවත හෙළිය යුතු වූ බැවිනි. බිජුව රන් බිජුවක් නොවූවත් ඔම්ලටයක් සාදා ගැනීමට නොහැකි තරමට තවමත් කුණුවී නොමැති නිසා එහි තවමත් ආර්ථික වටිනාකමක් තිබේ. දැන් ඇත්තේ අවශ්‍ය පරිදි ඔම්ලටය සාදා ගැනීමේ අවස්ථාවයි. ඔම්ලටය රස වනු ඇත්තේ කෝකියන්ගේ දක්ෂතාවයන්හි ප්‍රමාණයටය. මෙලෝ රහක් නැති ස්ක්රෑම්බල් බිත්තරයක් වීමට ඉඩ නොහැර ලුණු ගම්මිරිස් වැටුණු හොඳ ඔම්ලටයක් සාදාගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව අත නොහැරිය යුතුය.


මේ එළැඹෙන්නේ වසර තුළ පැවැත්වෙන දෙවැනි ජාතික මැතිවරණයයි. මෙය වසර මුල පැවති ජනාධිපතිවරණය තරමටම උණුසුම් හා තීරණාත්මක වන ලකුණු පෙනුණේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමටද පෙර සිටය. ජාතික මැතිවරණයකින් පසුව අප වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය අපේ ගරු නියෝජිතයින්ට පවරා වසර ගණනක් බකන්නිලාගෙන සිටීමට සිදුවීම අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය නිසා ජාතික මැතිවරණයකදී අපට හිමිවන වරණීය අයිතියට ලොකු වටිනාකමක් තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලැබූ ඡන්ද කුට්ටි වල සංයුතිය පිළිබඳව කතිකාවක් ඇති විය. බොහෝ විට ඡන්ද මළු විසංයෝජනය කෙරුණේ ජාතීන් හෝ ආගම් මත පදනම්වය. නෛතික වශයෙන් ජනාධිපතිවරණයකදී ලකුණු කෙරෙන ඡන්දයක වටිනාකම ජාතිය, ආගම හෝ වෙනත් නිරීක්ෂණය කළ හැකි සාධකයක් අනුව වෙනස් නොවන බව මෙහිදී ඉස්මතු වුණු නිවැරදි කරුණකි.


ඡන්දදායකයාගේ ජාතීය හෝ ආගම මත ඡන්දයක නෛතික වටිනාකම වෙනස් නොවූවත් නෛතිකව සමාන වටිනාකම් ඇති ඡන්ද වල ආර්ථික වටිනාකම් සමාන විය යුතුම නැත. ඡන්දයක ආර්ථික වටිනාකම හෙවත් සැබෑ වටිනාකම තීරණය වන්නේ එමඟින් ආන්තික තෙරපුමක් යෙදීමට ඇති හැකියාවේ ප්‍රමාණයටය.


ආරම්භයේදී ග්‍රීසියේ පැවති සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඡන්දයකට නෛතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද තිබුණේ (සාපේක්ෂ අර්ථයකින්) සමාන වටිනාකමකි. මේ තත්ත්වය වෙනස් වූයේ සෘජු ප්‍රජාතන්ත්‍රවායෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරු වීමත් සමඟද නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂ මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසට පරිණාමය වීම නිසාය. මැතිවරණ මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන සෑම රටකම පාහේ වර්තමානයේදී එය සිදුවන්නේ දේශපාලන පක්ෂ හරහාය.


යම්කිසි තෝරාගැනීමක් සඳහා පුද්ගලයකු සතු වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දේශපාලන පක්ෂ තුළ දියවී යද්දී දේශපාලන පක්ෂ වෙත සම්ප්‍රේෂණය වන වරණීය බලය ඒ තුළ සංකේන්ද්‍රණය වන සාමාජික සංඛ්‍යාවට අනුපාතිකව වෙනස් වේ. මේ මඟින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී එක් එක්  දේශපාලන පක්ෂය සතුවන ආන්තික තෙරපුමක් යෙදීමේ හැකියාව තීරණය කෙරේ. කෙසේ වුවද දේශපාලන පක්ෂයක් සතුවන ආන්තික තෙරපුමක් යෙදීමේ ශක්තිය එහි සාමාජික සංඛ්‍යාවට හැමවිටම අනුපාතික වන්නේ නැත.


උදාහරණයක් ලෙස සාමාජිකයන් සියදෙනෙකුගෙන් යුතු ආයතනයක් සලකමු. මෙහි ඕනෑම සාමාජිකයෙකුගේ ඡන්දයක් නෛතික වටිනාකමින් සමාන වන අතර සරල බහුතරයකගේ තීරණය ක්‍රියාත්මක වේ. දැන් අපි විවිධ සංයුතීන් යටතේ තීරණ ක්‍රියාත්මක කිරීමේ සැබෑ බලය දේශපාලන පක්ෂ අතර බෙදී යන ආකාරය සලකා බලමු.


අවස්ථාව-1:


කොළ - 51, නිල්- 45, කහ-3, රතු-1


මෙහිදී වෙනත් කිසිවකුගේ උදවුවක් නොමැතිව ආන්තික බලය යෙදීමේ හැකියාව (51වන ඡන්දය) කොළ පක්ෂය සතු වන අතර කොළ පක්ෂය ඇතුළත් නොවන කිසිම සංයෝගයකට ආන්තික බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. ඒ අනුව සැබෑ බලය සම්පුර්ණයෙන්ම කොළ පක්ෂය සතුවන අතර අනෙක් දේශපාලන පක්ෂ වලට සිය තීරණ ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නැත.


දේශපාලන බලය බෙදීයාම: කොළ - 100%, නිල්- 0%, කහ-0%, රතු-0%


මෙවැනි අවස්ථාවකට හොඳම නිදසුන 1977 පාර්ලිමේන්තුවයි. මේ පාර්ලිමේන්තුව තුළ සරල බහුතර රීතිය පමණක් නොව 2/3 රීතිය යටතේද තීරණ ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ අයිතිය ජේආර් ජයවර්ධනගේ එජාපය සතුවිය. කලවාන අසුන බහුතර ඡන්දයෙන් දිනූ අපේක්ෂකයාව ඡන්ද පෙත්සමකින් පරාජය කරමින් මේ පාර්ලිමේන්තුවට පැමිණ ජේආර්ගේ මුල් පාර්ලිමේන්තුවේ සිටි එකම වාමාංශික දේශපාලනඥයා වූ සරත් මුත්තෙටුවේගමට මෙන්ම හොඳටම කෙට්ටු වී සිටි ශ්‍රීලනිපයේ අනාගත අපේක්ෂාව හා චතුර කථිකයා වූ නුවරඑළිය-මස්කෙළිය බහු අසුන නියෝජනය කළ අනුර ප්‍රියදර්ශී බණ්ඩාරනායකටත් අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් අවකාශයක් මේ පාර්ලිමේන්තුව තුළ පැවති නමුත් ඒ අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු ශක්‍යතාවක් නොවීය. එක් පක්ෂයකට නියෝජිත සංඛ්‍යාවෙන් බහුතරයක් ඇත්නම් සරල බහුතර රීතිය යටතේ තීරණ ගැනීමේ බලය න්‍යායාත්මකව සම්පූර්ණයෙන්ම එම පක්ෂය සතුවේ.


අවස්ථාව-2:


කොළ - 48, නිල්- 48, කහ-3, රතු-1

මෙහිදී කිසිදු පක්ෂයකට තනිවම තීරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ආන්තික තෙරපුම යෙදිය නොහැකිය. ඒ සඳහා අඩුම වශයෙන් පක්ෂ දෙකක් එකතු විය යුතුය. මේ පක්ෂ දෙක කොළ, නිල් සහ කහ යන පක්ෂ තුනෙන් ඕනෑම දෙකක් විය හැකි අතර එසේ පක්ෂ දෙකක් එක් වූ පසු තුන් වන පක්ෂයක වටිනාකමක් නැත. වැදගත් කරුණ වන්නේ මේ ආයතනය තුල විශාල නියෝජනයක් ඇති කොළ සහ නිල් පක්ෂ වලට ඇති දේශපාලන බලයම සාපේක්ෂව සුළු නියෝජනයක් ඇති කහ පක්ෂයටද තිබීමයි. එහෙත් රතු පක්ෂයට කිසිදු දේශපාලන බලයක් නැත.


දේශපාලන බලය බෙදීයාම: කොළ - 33.3%, නිල්- 33.3%, කහ-33.3%, රතු-0%


ඇතැම් තත්ත්වයන් යටතේ සුළු පක්ෂ තමන්ගේ නියෝජනය ඉක්මවන ශක්තියක් පෙන්වීම මේ අනුව න්‍යායාත්මකව පැහැදිලි කළ හැකිය. 1994, 2000, 2001, 2004 පාර්ලිමේන්තු මැතිවරණ මෙසේ ඇතැම් සුළු පක්ෂ වලට ඔවුන්ගේ නියෝජනයට වඩා විශාල දේශපාලන බලයක් හිමි කර ගත හැකිවූ අවස්ථාවන්ය.


උදාහරණයක් ලෙස 2004 පාර්ලිමේන්තුවේ සංයුතිය මෙසේ විය.
සන්ධානය- 105
එජාප -82
ටීඑන්ඒ -22
හෙළ උරුමය-9
මුකො-5
කඳුරට-1
ඊපීඩීපී-1
(එකතුව- 225)


මෙහිදී ඇතිවිය හැකි ආන්තික බලය යෙදවීමේ ශක්‍යතාවක් ඇති සංයෝජන මෙසේය. (මේ ඇතැම් සංයෝජන ප්‍රායෝගිකව බිහිවීමේ හැකියාවක් නොමැතිවීම මෙන්ම සන්ධානය සමජාතීය නොවූ එකතුවක්ය යන්නද නොසලකා ඇත.)
1. සන්ධානය+එජාප
2. සන්ධානය+ටීඑන්ඒ
3. සන්ධානය+හෙළ උරුමය
4. එජාප+ටීඑන්ඒ +හෙළ උරුමය


ඇතිවිය හැකි සංයෝජන හතරෙන් තුනකටම සන්ධානය ඇතුලත් වන අතර එජාප, ටීඑන්ඒ සහ හෙළ උරුමය අයත් වන සංයෝජන දෙක බැගින් තිබේ. ඉතිරි පක්ෂ තුනෙන් එකකටවත් ආන්තික බලය යෙදීමේ හැකියාව නැත.


මේ අනුව අපේ සරල උපකල්පන  යටතේ එක් එක පක්ෂ සතු සැබෑ බලය මෙසේය.
සන්ධානය- 33.3%
එජාප -22.2%
ටීඑන්ඒ -22.2%
හෙළ උරුමය-22.2%
මුකො-0%
කඳුරට-0%
ඊපීඩීපී-0%


භාවිතා කළ ඡන්ද වලින් 6%ක් ලබා පාර්ලිමේන්තුවේ 4%ක නියෝජනයක් ලැබූ හෙළ උරුමයට ඡන්ද වලින් 38%ක්  සහ පාර්ලිමේන්තුවේ 37%ක නියෝජනයක් ලැබූ එජාපය තරමටම බලයක් හිමිවීම මෙහිදී සැලකිය යුතුය.


යම් පක්ෂයක් ඔවුන්ගේ නියෝජනය ඉක්මවන 'ලොකු දේවල්' ඉල්ලීම මේ අනුව විශේෂ සිදුවීමක් නොවේ. සැබෑ බල සමතුලිතතාව අනුව සිදුවිය යුත්තකි. එහෙත් යම් පක්ෂයක් ඔවුන්ගේ ආන්තික බලය යෙදවීමේ හැකියාව ඉක්මවා යමක් ලබාගනීනම් එය එම පක්ෂයේ නායකයින්ගේ ක්‍රමෝපායික දක්ෂතාවය වන අතර තමන්ගේ සැබෑ බලය නොසලකා හරීනම් එය ක්‍රමෝපායික දුර්වලතාවයකි.



මාස කිහිපයකින් පසු  බිහිවීමට නියමිත නව පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන අනාවැකි කීමට තවමත් කල් වැඩි නමුත් ඇතැම් සුළු පක්ෂවලට තම නියෝජිත අනුපාතය ඉක්මවන බලයක් එහි හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.












Tuesday, June 23, 2015

සුපිරි වීරයන් බිහිකරන ආන්තික තල්ලුව



ගොම්මන් අඳුර වැටෙද්දී සිය සුපුරුදු දින චරියාව වෙනස් නොකරමින් කළුවා බුලත්කොහුපිටිය හන්දියට ඇදෙන විට ඔහුගේ අතීසාර මිත්‍රයන් වන තරංග, කවිරත්න සහ රිටිගල බරපතල වැඩකට අතගහලාය. ඔවුහු ඇඟේ ඉතුරු වී ඇති මුළු වීරියම දමා තරංගලාගේ තාත්තාගේ තවමත් කෑලි නොහැලෙන ඓතිහාසික කණේ මයිල් වොක්ස්වැගනය තල්ලු කරති. වාහනේ මේ දැන් තල්ලු වෙනවා වගේ දැනේ. ඒත් ඒක එක තැනමය. හරියට පාර්ලිමේන්තුව විසිරුවන එක වගේය.


"අඩෝ, කළුවා. උඹ එනකම් තමයි මේ හිටියේ. මේකට පොඩ්ඩක් අතගහපන්."


රිටිගලයා ඕක කිවුවත් නොකිවුවත් කළුවා මල් වට්ටියට අතගහනු ඇත. කළුවාගේ කෙට්ටු දෑත් කණ්ඩායමේ මුල් අත් හයට එකතු වෙද්දී දහනම වෙනි සංශෝධනය පාස් වුණා සේ සීරුවෙන් ඉදිරියට ඇදුනු වොක්ස්වැගනයේ කණේ මයිල් කෙළින් කරමින් එන්ජිම ඉස්ටාට් විය.


"ඒකනේ! කළුවාම එන්ඩ ඕනෑ."


වොක්ස්වැගනය පණගැන්වුණේ කළුවා නිසායැයි කීවොත් එය වැරදි නැත. කළුවා නොආවානම් වාහනය අඟලක් හෝ නොසෙල්වෙනු ඇත. එහෙත් කළුවාට ඔය වාහනයම තනියම තල්ලු කිරීමනම් හිතීමටවත් බැරි දෙයකි. බුලත්කොහුපිටියේ කළුවා තඹුත්තේගම හේරත් බණ්ඩාගේ හෝ සාංචි ආරච්චිගේ ජිනදාසගේ ළඟ නෑයෙක් නොවේ.

අවශ්‍ය ජවය ලබා නොදී වාහනය තල්ලු කළ හැකිනම් නිවුටන්ගේ හතරවන නියමය බොරු නොවන නමුත් දෙවන නියමය බොරුවිය යුතුය. කළුවාගෙන් වොක්ස්වැගනයට ලැබුණේ එය චලනය කිරීමට අවශ්‍ය වන ආන්තික ජවයයි. මේ ආන්තික ජවය මහ ලොකු එකක් නොවුවත් එයින් අවශ්‍ය වැඩේ සිදුවිය. කළුවාගේ පොඩි තල්ලුවෙන් වාහනය පණගැන්වුණේ ඒ වන විටත් අත් හයක තල්ලුව වාහනයට ලැබී තිබුණු නිසාය.


මේ ආන්තික ජවය ඉතා ප්‍රබල දෙයකි. අවශ්‍ය තත්ත්වයන් සපිරී ඇතිවිට ඉතා සුළු බලයක් යෙදීමෙන් ලොකු වෙනසක් සිදුවේ.


බොහෝ ආර්ථික විද්‍යා න්‍යායයන් සහ ප්‍රායෝගික යෙදීම් සඳහා ආන්තික විශ්ලේෂණ උපයෝගී කර ගැනේ. තරංගලාගේ තාත්තාට වොක්ස්වැගනයෙන් නිදහස් වීමට අවශ්‍ය වූ විට සිළුමිණ පත්තරේ දැන්වීමක් දමනු ඇත. සෙනසුරාදා උදේ සිට කාර් එක බැලීමට සෙනඟ ඇදෙනු ඇත. ඒ අයට තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ දැනගන්නට ලැබෙනු ඇත.

ඔය තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ ඇත්තටම තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ නොවේ. ඊට වඩා වැඩි ගාණකි. කවුරු හරි වැඩියෙන් ගෙවනවානම් ඒ කැමැත්තෙනි. ඉතිං අපිට මොකෝ?


ඔය කිවුවාට තරංගලාගේ තාත්තා කියන අස්ප ගණන් වලට වොක්ස්වැගනය ගැනීමට කැමති මෝඩයෙක් සොයාගැනීම පොරොන්දු වූ දේ ඒ විදිහටම කරන ජනාධිපති අපේක්ෂකයෙක් හොයා ගන්නවාටත් වඩා අමාරුය. මේ බව තරංගලාගේ තාත්තා නොදන්නවා නොවේ. ඒ නිසා කාර් එකට කැමති අයට තමන්ගේ අර්පණයන් ඉදිරිපත් කිරීමට බාධාවක් නැත.


රත්නායකට කාර් එක අල්ලලා යයි. පොඩි අවුල් ටිකක් ඇතත් හත්-අට දාහකින් ගොඩදමා ගැනීමට අමාරු නැත. වාහනේ යන්ඩ ඇරියොත් අපරාදේය. හැබැයි පේන හැටියට ටිකක් අඩුවට ගන්ඩත් පුළුවන් වගේය. ඔෆර් එක ගොඩක් අඩුවුණොත් වැඩේ මිස් වෙන්නත් ඉඩ තිබේ. ඔය සියළු කරුණු සැලකිල්ලට ගෙන රත්නායක ඔහුගේ අර්පණය ඉදිරිපත් කරනු ඇත.


දවස අන්තිමේ තරංගලාගේ තාත්තාට අර්පණ තුන හතරක් ලැබේ. රත්නායකගේ අර්පණයට වඩා රුපියල් පන්දාහක් වැඩි අර්පණයක් ඇති නිසා වොක්ස්වැගනය රත්නායකට හිමි නොවනු ඇත. වාහනය හිමිකරගැනීම සඳහා අවශ්‍ය වූ ආන්තික තල්ලුව රත්නායකට දැමිය නොහැකි වූ අතර වෙන අයෙකු ඒ තල්ලුව දමා තිබේ.

නිෂ්පාදකයන් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල ගණනක් සමබන්ධ වන තරඟකාරී පුළුල් වෙළඳපලකදී අවසානයේ මිල තීරණය වන්නේ එක් ආන්තික පාරිභෝගිකයෙකු ගෙවීමට කැමති වන සහ එක් නිෂ්පාදකයෙකු විකිණීමට කැමති වන මිල අනුවය. එහෙත් මේ ආන්තික පාරිභෝගිකයා සහ ආන්තික නිෂ්පාදකයා නිර්මාණය වන්නේ තවත් දහස් ගණනක් නිෂ්පාදකයින් සහ ඊටත් වඩා ගණනක් පාරිභෝගිකයින්ගේ සාමුහික චින්තනය තුළිනි.


පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති වරයා (මෛත්‍රී) ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගත් අතර හිටපු ජනාධිපති වරයා (මහින්ද) ඡන්ද පනස් අට ලක්ෂයක් ලබාගත්තේය (පහසුවට කොටේ හලා තිබේ). මෛත්‍රීව ජනාධිපති කිරීමට අවශ්‍ය වූ ආන්තික තල්ලුව ලැබුණේ එක් ආන්තික ඡන්දදායකයෙකුගෙනි. මේ සුවිශේෂී පුද්ගලයා කවුද? (අනේ මමනම් නෙමේ.)


මෛත්‍රීට ජනාධිපතිවීමට අවශ්‍ය වූයේ ඡන්ද පනස් අට ලක්ෂයක් සහ තවත් එකකි (හරි ගණන නොවේ. පහසුවටය.) ඒ අනුව අන්තිම ලක්ෂ හතරෙන් කිසිම වැඩක් වී නැත. ඒ අනුව අන්තිම ලක්ෂ හතර අතහැරියහොත් මහින්දට වඩා මෛත්‍රීට ඇත්තේ එක ඡන්දයකි. ගොඩවල් දෙකම සමානව තියෙද්දී මෛත්‍රී වෙනුවෙන් තම අම්බානක් වටිනා ඡන්දය පාවිච්චි කළ මේ මනුස්සයා මෛත්‍රීව ජනාධිපති ලෙස පත් කළේය. බොහොම වටිනා මනුස්සයෙකි.


සුදු වෑන් තවම ගරාජ් වල නිසා ඔය මනුස්සයාව අඳුනා ගැනීමට ඉකොනොමැට්ටාට පොඩි උදවුවවක් කළ හැකිය. ඒක කරන්නේ මේ විදියටය.



පුද්ගලයා හඳුනාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් එක්කෝටි විසි ලක්ෂය එක්තරා ක්‍රමයකට පෝලිම් ගැස්සවීමට සිදුවේ. ඉදිරියෙන්ම ඉන්නේ කැපුවත් මෛත්‍රීට කට්ටියයි. කැපුවත් මහින්දට කට්ටිය පිටිපස්සෙන්ම සිටිති. (ඉස්සරහ පස්ස මාරු කළත් ප්‍රශ්නයක් නැත.) මේ දෙගොල්ලන්ගේම පක්ෂපාතීත්වය පිලිබඳව මෛත්‍රීට හෝ මහින්දට කිසිදු සැකයක් නැත. මැදින් සිටින්නේ 'ප්‍රතිපත්තියක් නැති' වැනෙන අයයි. මේ මැද සිටින අය සිතීමේ සහ තීරණ ගැනීමේ භයානක හැකියා ඇති දරුණු පුද්ගලයින් වන අතර ඡන්දය මහින්දට මෙන්ම මෛත්‍රීටත් දීමේ සම්භාවිතාවක් ඇති පිරිසකි. එහෙත් මේ සම්භාවිතාව පණහට පණහ නොවේ. සියයට එකේ සිට අනූ නවය දක්වා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය.


දැන් අපිට උවමනා වුනේ අර ආන්තික ඡන්දදායකයා සොයාගැනීමයි. ඒ සඳහා පෝලිම ඉදිරියට ඇදෙන විට ඔළුව වසා ගෙන පරීක්ෂාවෙන් සිටින බිල්ලෙකු අවශ්‍ය නොවේ. කළ යුත්තේ ඔය මැද කණ්ඩායමද මෛත්‍රීට ඡන්දය දීමේ සම්භාවිතාව වැඩිවන (සහ මහින්දට ඡන්දය දීමේ සම්භාවිතාව අඩුවන) අනු පිළිවෙලට පෙළගැස්වීමයි. එසේ පෙළ ගැස්වීමෙන් අනතුරුව පෝලිමේ මුල සිට ලක්ෂ පනස් අටක් ගණන්කර ඉවත් කළ යුතුය. දැන් ආන්තික ඡන්දදායකයා ඉදිරියෙන්ම සිටී. බඩු මාට්ටුය.


ආන්තික ඡන්දදායකයා හඳුනාගත් පසු ඔහුගේ (හෝ ඇයගේ) ලිපිගොනුව හිස් නොවේනම් ඉතා පහසුවෙනුත් එසේ නැත්නම් තරමක් අමාරුවෙනුත් ආන්තික ඡන්දදායකයාගේ තීරණය වෙනස් කර ගැනීමට බැරි නැතත් එය අත්දුටුවයි සත්තයි ප්‍රතිකර්මයක් නොවන්නේ ආන්තික ඡන්දදායකයාගේ තැන ගැනීමට තවත් ලක්ෂ හතරක් මේ පෝලිමේ සිටින නිසාය. එහෙත් ඔය උපස්ථ (බැක්-අප්) විකල්ප හැමවිටම හමුනොවේ. උපස්ථ විකල්ප අඩුවන තරමට ඡන්දදායකයෙකුගේ වටිනාකම ඉහළ යයි. 


පාවෙන ඡන්දදායකන්ගේ ඡන්දය දීමේ සම්භාවිතාවන් හරියටම හඳුනාගත නොහැකි නිසා ඔය මැද කණ්ඩායම නිවැරදිව පෙළගැස්වීම අමාරු වැඩකි. මේ නිසා ආන්තික ඡන්දදායකයෙකුට ලැබිය හැකි මිල කණ්ඩායමක් අතර බෙදී යා හැකිය. ජාතික මැතිවරණයකදීනම් මේ කණ්ඩායම ඉතා විශාලය. පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීමකදී සාපේක්ෂව අවිනිශ්චිතතාව අඩු නිසා ආන්තික ඡන්දදායකයා හඳුනා ගැනීම පහසුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ මිල ඉහළය.

වසර හතරකට පෙර අවසන් ගමන් ගිය සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා පිලිබඳ තවමත් අසම්පුර්ණ සිංහල විකිපීඩියා පිටුවේ සඳහන් පරිදි "2011 වසරෙහිදී මිය යාමට වසර දෙකකට ඉහතදී යකඩයා අරලියගහ මන්දිරයෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමුවීමට වරම් ලැබීය. පෙරදී කුප්‍රකට සාපරාධියෙක් සුපිරි වීරයෙක් කිරීමට මෙම සිදුවීම ඉවහල් වූයේ යැයි කියති."


විකිපීඩියා අනුව පැහැදිලි වන්නේ රටේ ජනාධිපතිවරයා හමුවූවිට කුප්‍රකට සාපරාධියෙකුට වුවද සුපිරි වීරයෙක් වීම සඳහා අවශ්‍ය වන ආන්තික තල්ලුව ලැබෙන බවයි. ඔය තල්ලුව ලබා ගැනීමට ඇති පෝලිමනම් තවමත් අඩුවන පාටක් නැත.


(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Sunday, June 21, 2015

ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?





"ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?"


සංගීතා චිත්‍රපටියේ රඟපෑ විජයගේ මුවින්, ජෝතිගේ හඬින් ඇසුණු ප්‍රශ්නයකි. ඇත්තටම කවුද?


සහශ්‍ර ගණනක් තිස්සේ ජනශ්‍රතිය තුළ පරිණාමය වන හින්දු විශ්වාස අනුව විශ්වය පාලනය කරන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර නම් වූ ත්‍රිමූර්තියකි. ඔවුහු පිළිවෙලින් ජනනයට, පැවැත්මට හා විනාශයට අධිපතියෝය. මෙයින් විෂ්ණු විවිධ ස්වරූප වලින් නව වරක් පොළොවේ පහළ වී ඇති අතර තවත් වරක් පහල වීමට නියමිතය.


විෂ්ණුගේ දස අවතාර පිළිබඳව ව්‍යාසගේ විෂ්ණු පුරාණයේ විස්තර කෙරේ.


සත්‍ය යුගය ඇරඹුණේය. විෂ්ණුගේ ප්‍රථම සම්ප්‍රාප්තිය සිදුවිය. මත්ස්‍යයෙකුගේ ස්වරූපයෙනි. දෙවනවරට පැමිණියේය. උභයජීවියෙකු වන ඉබ්බෙකු ලෙසිනි. තෙවන සම්ප්‍රාප්තියද සිදු විය. සිවුපා ක්ෂීරපායී සතෙකු වන ඌරෙකුගේ වෙසිනි. සිවුවන වරටද පැමිණියේය. මෙවර පැමිණියේ සිංහයෙකුගේ මෙන් ඉදිරියට දික් වූ, රෝම පිරුණු මුහුණක් ඇති මිනිසෙකු මෙන් දෙපයින් සිටගත් නරසිංහයෙකු ලෙසිනි. සත්‍ය යුගය අවසන් විය.


ත්‍රෙත යුගය ඇරඹුණේය. විෂ්ණු ආවේය. මිනිස් ස්වරූපයට තරමක් කිට්ටු වාමනයෙකුගේ වේශයෙනි. මේ විෂ්ණුගේ පස්වන සම්ප්‍රාප්තියයි. නැවතත් ආවේය. සයවන වරටය. මෙවර මිනිස් වෙසිනි. පරශුරාම නම් වූ ප්‍රාථමික අවියක් අතින් ගත් දඩයක්කාරයාය. මේ අවිය සොයා ගැනීමට පරශුරාමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. විෂ්ණු සත්වන වරටත් ආවේය. රාම නම් වූ තරමක් දියුණු අවි දැරූ සටන්කරු ලෙසිනි. රාම සිය මතවාද සහ විශ්වාස වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළේය. ත්‍රෙත යුගය නිමා විය.


ද්වාපර යුගය ඇරඹුණේය. විෂ්ණු අටවන වරට පහළ විය. ක්‍රිෂ්ණා නම් වූ ගොපල්ලෙකුගේ වේශයෙනි. නවවන වරටද පහළ විය. බුද්ධ නම් වූ බුද්ධිමත් ජීවියා ලෙසය.


ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට කල්කී නම් වූ විෂ්ණුගේ දසවන සහ අවසාන ස්වරූපය දැකගත හැකි වනු ඇත.


ව්‍යාසගේ විෂ්ණු පුරාණය ව්‍යාසගේ පරිණාමවාදය ලෙස හෝ ඩාවින්ගේ විෂ්ණු පුරාණය ලෙස නැවත ලිවීමට බැරිකමක් නැත.


වසර මිලියන පන්සියයකට පෙර පැලසොයික යුගය ඇරඹුණේය. පළමුව මත්ස්‍යයෝද, දෙවනුව උභයජීවියෝද පහළ වූහ. තෙවනුව ක්ෂීරපායීන් බිහිවිය. පසුව වාමන විශේෂ පරිණාමය විය. සත්‍ය යුගය අවසන් විය.


වසර මිලියන හතරකට පෙර ඔස්ට්‍රලෝපිතකස් මානවයා බිහිවිය. පසුව හෝමෝ ගණයේ මිනිස් විශේෂ ඇති විය. මිනිස්සු විශාල පරිශ්‍රමයක් දරා ප්‍රාථමික ආයුධ සොයාගත්තේය. හෝමෝ සේපියන්ස්ලාද පරිණාමය විය. වඩාත් දියුණු ආයුධ භාවිතය ඇරඹිණි. චින්තන විප්ලවයද ඇරැඹී හෝමෝ සේපියන්ස්ලාගේ සංස්කෘතික පරිණාමය ආරම්භ විය. ත්‍රෙත යුගය නිමා විය.


වසර දොළොස්දහසකට පෙර කෘෂිකාර්මික විප්ලවය ඇරඹුණි. ජනාවාස ආරම්භ විය. දඩයම් ජීවිතයට සමුදුන් හෝමෝ සේපියන්ස්ලා බෝග වගාව හා සත්ත්ව පාලනය ඇරඹුහ. සම්පත් අතිරික්තයක් සමඟ හෝමෝ සේපියන්ස්ලාට සිතීමට ඇති අවකාශ පුළුල් විය. විවිධ දර්ශනවාද බිහිවිය.


තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වේ. ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට හෝමෝ සේපියන්ස්ලාගේ මීළඟ ස්වරූපය වන අනාගත මිනිසා බිහි වනු ඇත.


මිනිසා සමඟ දෙවියාත් පරිණාමය වී ඇත. එකම ආකාරයකටය.


දෙවියන්ව මැවුවේ මිනිසානම් ඔහු එය කර ඇත්තේ තමාගේ ස්වරූපයෙනි. අපට මවා ගත හැකි දෙවියා අප දැක ඇති පරිපූර්ණම මිනිසාය. නැත්නම් අප දන්නා වෙන් වෙන් පුද්ගලයින් හෝ සතුන් සතු හොඳම ලක්ෂණ වල එකතුවකි. අපිට දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ලැබෙන්නේ අපේ ස්වරූපයෙන් නිසා අපට පරිණාමය විය හැකිනම් දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ඉබේම පරිණාමය වෙනු ඇත.


අනෙක් අතට, මිනිසුන් සෙමින් පරිණාමය වෙද්දී විෂ්ණුට ඔවුන් හා සන්නිවේදනය කරන්නට ඔවුන්ගේ ස්වරූපය ගන්නට සිදු වූවා විය හැකිය. විෂ්ණුට වුනත්, රෝමයට යන්නට වෙන්නේ රෝමන් කාරයෙකු ලෙසිනි. දෙකේ පන්තියේ නංගිලා මල්ලිලා ගොඩ දාන්නටනම් තුනේ පන්තියටවත් බැසිය යුතුය. පවන රළු වැඩි බව තේරෙන විට සිංදු හෝඩියෙන් නැවතත් පටන් ගත යුතුය. ඔස්ට්‍රලෝපිතකස්ලාට උදවුවක් කළ හැක්කේ වාමන අවතාරයට හෝ වැඩිම වුනොත් පරශුරාමට මිස කල්කීට නොවේ.


නෙලුම්යායේ තලවකැලේ ට්‍රිප් එකට සුභපැතුම්!

Friday, June 19, 2015

සාක්කුව පිරෙන්න රිදී ඕනෑද?


ඉකොනොමැට්ටාගේ භෝජනශාලාව විවෘත කර දැනට මාසයකි. මාසයකට කලින් ඔන්න ඔහේ නිකම්ම පටන් ගත්තත් මාසයේ ප්‍රගතිය නරක නැත. මාසෙට කෑම වට්ටෝරු විසි දෙකක් හදා තිබේ. බලාගෙන ගියාම ලොකු ගානකි. කෑම පිඟන් හාරදාහක් ඉක්මවා විකිණී ඇත. තව පිඟන් දාහත් දාහක් ඉක්මවා ගූගල් ප්ලස් වලින් විකිණී ඇත.

මේ සෙනඟ ආවේ මුල සිටම කිහිප දෙනෙකුගෙන් ලැබුණු ආධාර උපකාර නිසාය. ඉකොනොමැට්ටාගේ කෑම හොඳද නරකද කියා ඉකොනොමැට්ටාට  තීරණය කළ නොහැකි නිසා ඉකොනොමැට්ටා රේඩියෝ පත්තර වල ඇඩ් දැම්මේ නැත. කඩේ දාපු බෝඩ් ටික පමණි. ඉකොනොමැට්ටාගේ ප්‍රතිපත්තිය කඩේට එන පාරිභෝගිකයින්ට පුළුවන් තරම් හොඳින් සැලකීමයි.

මේ මාසය තුළ ඉකොනොමැට්ටා ගොඩක් දේවල් ඉගෙන ගත්තේය. ඒ අනුව පටන් ගන්න කොට තිබුණු චිත්තරේ ගොඩක් වෙනස් විය. බ්ලොග් අවකාශය පිරී ඇත්තේ මුලින් හිතා හිටි විදියට හිච්චි කොල්ලන්ගෙන් නොවේ. පරිණත අයගෙනි. එය සතුටට කරුණකි. ඒ වගේම දුකටද කරුණකි. කොහොමත් හොඳ කෑම කන අයට ඉකොනොමැට්ටාගේ කෑම වලින් වැඩක් තියේදැයි වෙලාවකට හිතේ.

තවත් ටිකක් ඇනලයිස් කර බැලූ විට ඉකොනොමැට්ටාගේ පාරිභෝගිකයින්ගෙන් හරි අඩකට වඩා ඉන්නේ ලංකාවෙන් පිටය. දිනපතා පැමිණෙන පාරිභෝගිකයින්ද සිටින නමුත් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකු කඩේට එන්නේ දවස් තුනකට වරකි. ආ විට සාමාන්‍යයෙන් කෑම පිඟන් තුනක් පමණ අවසන් කරයි.

මේ අනුව ඉකොනොමැට්ටාගේ මැටි මොළේට තේරුම් ගියේ මුලින් වැඩිපුර මෙනු අයිටම් ටිකක් දමා තිබීම හොඳ වුණත්, අජීර්ණ ඇති නොවීමටනම් සතියකට අළුත් වට්ටෝරු තුනක් පමණ හඳුන්වා දීම හොඳ ඉලක්කයක් බවයි.

ඒ වගේම, දැනට ඇති සංඛාලේඛණ අනුව පෙනී ගියේ වැඩි දෙනෙකු ජංජාලගත වන්නේ සතියේ දිනවල වැඩ කරන වෙලාවේ බවයි. (වැඩ කරන වෙලාවට එහෙම දෙයක් හරි කිරීම ලොකු දෙයකි.) මේ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා හොඳ දවස් ලෙස තෝරාගත් ඉකොනොමැට්ටා රාහුකාලය පන්නා හොයාගත් ශුභ මුහුර්තයකට කෑම මේසයට ඔටෝ සර්ව් වන පරිදි ඊළඟ කෑම පිඟාන ශීතකරණයේ තැන්පත් කළේය. ඊළඟ සතිය ඉකොනොමැට්ටාට ගමන් බිමන් හා වැඩ අධික වීමත් මෙයට හේතු විය.

බ්ලොග් වලට ඇබ්බැහිවීම පරාභවයට කරුණකි යන රසිකභාෂිතය සත්‍යයක් බව පසක් කරමින් උදේ පාන්දරම ලැබුණු ඊයක් නිසා සියල්ල අවුල් විය.

ඇමරිකාවේ ප්‍රධාන ගුවන් සමාගමක තාක්ෂණික අංශයක සේවය කරන මගේ උගත් මිතුරා කියවා හෝ නොකියවා යොමු කළ ඊය අනුව මගේ සාක්කු රිදී වලින් පුරවා ගැනීමේ ස්වර්ණමය නොවූවත් රජතමය අවස්ථාව දැන් මා හමුවේ ඇත.

මෙය වසර 823කට වරක් එළෙඹෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. එසේ වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුන බැගින් ඇති අගෝස්තු මාසයක් 2015දී උදාවන නිසාය.

චීන ෆෙන්ග් ෂුයි අනුව මේ 'සිල්වර්- පොකට්ස් ෆුල්' වාසනාව ලැබීමට කළ යුත්තේ වහාම මේ ඊය මිතුරන් කිහිප දෙනෙකුට යොමු කිරීමයි. වැඩේ මිස් කරගත්තොත් තව අවුරුදු 823ක් බලා සිටීමට සිදු වනු ඇත. ඒ විතරක්නම් මදැයි? දවස් හතරකින් මාව දුප්පත් වීමටත් නියමිතය. (ඉකොනොමැට්ටා කොහොමටත් ඉතිං දුප්පතා නිසා ඒකෙනෙම් අවුලක් නැත.)

යාළුවන්ට මේ ඊය යවා උන්ගේ සාක්කු රිදී වලින් පුරවන්ඩ ඉකොනොමැට්ටාට ටිකක් කිචි වගේ නිසා ඉකොනොමැට්ටා වැඩේ අල්ලලා දැම්මේය. අනෙක් අතට, සාක්කුවේ රිදී කාසි පිරුණාම ඉකොනොමැට්ටාට කොහොමත් අවුල්ය. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්නේ ඒ නිසාය.

යාලුවාට පහතින් ඇති පිළිතුර ලියා යැවූ ඉකොනොමැට්ටා අද ඔටෝ සර්ව් වීමට නියමිතව තිබුණු කෑම පිඟාන පොඩ්ඩක් පස්සට තල්ලු කර මේ සැලඩ් එක සර්ව් කරන්නේ ඒ අනුවය.

"ඕකේ තියෙන්නේ පට්ටපල් බොරුවකි. අමු ජෝක් එකකි.

1. වසර 823කට පෙර මෙය අත්හදා බැලීමට ඒ කාලයේ චීනයේ ඊ-මේල් තිබෙන්නට ඇතැයි සිතමි.
2. වසර 823කට පෙර චීන කැලැන්ඩර් වල අගෝස්තු මාසයක් තිබුණාද කියා මම නො අසමි.
3. මෙය සම්භාවිතාව අනුව සාමාන්‍යයෙන් (පිළිවෙලින් නොවූවත්) වසර 7කට වරක් සිදු වන නිසා වසර 823ක් බලා සිටීමට අවශ්‍ය නැත. පසුගිය 2014දී මෙය සිදු වූ අතර 2022දී මෙන්ම 2025දීත් නැවත සිදුවනු ඇත.
4. (හොඳම එක) 2015 අගෝස්තු මාසයේ සිකුරාදාවල් පහක් ඇත්තේ චීන කැලැන්ඩර් වල විය යුතුය. මගේ කැලැන්ඩරේනම් ඇත්තේ හතරකි.

කොහොම වුනත් දවස් හතරකින් සල්ලි හම්බ වුනොත් අපිටත් කියන්ඩ, හොඳේ! :)"

යාළුවා තාමත් යාළුවෙක්යැයි සිතමි.

(ඇත්තටම 2022දී මෙය නැවත සිදු නොවන අතර 2025 හා 2031දී සිදු වේ. කී දෙනෙක් චෙක් කළාද?)

Wednesday, June 17, 2015

පොල් ලෙලිගසන මැෂිම සහ වතුරෙන් දුවන කාර්

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඉකොනොමැට්ටාගේ යාළුවෙක් පොල් ලෙලිගසන මැෂිමක් හැදුවේය. යාළුවෙක් කිවුවාට ටිකක් ජේෂ්ඨ උත්තමයෙකි. හැදුවේ ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ කම්මලේ සංවත්සර ප්‍රදර්ශනයකටය.


මේ මැෂිමේ ඇති විශේෂත්වය වන්නේ එහි ක්‍රියාකාරීත්වය සඳහා කිසිදු බාහිර ශක්ති ප්‍රභවයක් අවශ්‍ය නොවීමයි. එහි එක් පසෙක ඇති විවරයකින් ලෙල්ල සහිත පොල් ගෙඩියක් ඇතුළු කළවිට අනෙක් පස ඇති විවරයකින් ලෙලි ගැසුණු පොල්ගෙඩිය එළියට එයි. මේ සඳහා විනාඩි දෙකක් පමණ ගත වේ.


මේ පොල් ලෙලිගසන මැෂිම ඉංජිනේරු විද්‍යා ප්‍රදර්ශනයේ නැගලා යන අයිටම් එකකි. දිවා ආහාර පැය වෙනුවෙන් ප්‍රදර්ශනය පැයකට තාවකාලිකව නවත්වන විටත් මැෂිම බැලීමට පෝලිමේ සෙනඟය.


දිවා ආහාර පැයෙන් පසු ප්‍රදර්ශනය ආපසු විවෘත විය. අක්බාර් කැන්ටිමෙන් අඩුවක් අසා වෙලාවටම පැමිණි ජේෂ්ඨ උත්තමයා ලෙල්ල පිටින් පොල් ගෙඩියක් මැෂිමට ඇතුළු කළේය. විනාඩි දෙකක් ගියේය. පොල් ගෙඩිය ලෙලිගැසී එලියට ආවේ නැත. විනාඩි තුනක් ගියේය. හතරකුත් ගියේය. ඒත් නැත.


ජේෂ්ඨ උත්තමයා දැන් හොඳටම නොසන්සුන්ය. ප්‍රදර්ශන කුටිය තාවකාලිකව වසා දැමූ ජේෂ්ඨ උත්තමයා එහි පැත්තක වූ තහඩුවක් ඉවත් කර මැෂිම ක්‍රියා විරහිත වීමට හේතුව සොයාගත්තේය.


"අඩෝ, එන්ජිමා! නැගිටපන් යකෝ. එළියේ සෙනඟ පෝලිමේ."


මැෂිම ඇතුළේ තිබුණු පොල්උලට හේත්තුවී හොඳට නිදාගෙන සිටි ෆ්‍රෙෂා ඇහැරුණු පසු හවස් වරුවේත් මැෂිම ලෙඩ නොදී හොඳට වැඩ කළේය.


ඔය ඇතුළේ සිටි ෆ්‍රෙෂා ටිකක් සීනියර් වී ජේෂ්ඨ උත්තමයෙක් වූ පසු ඔහුට වතුරෙන් දුවන මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට අදහසක් ඇතිවිය. එක පාරටම වැඩේට නොබැස ඔහු පළමුව කළේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමයි. ඔහොම එකක් හදාගත් විට මුලින්ම පත්තර කාරයෙක්ව කඩේ යවා දෙවනුව ලොකු මෝරෙක් මරා ගැනීමට බැරි නැත.


පැට්‍රල් වාහන ගෑස් වලට පරිවර්තනය කිරීම නැගලා ගිය ඔය කාලයේ එන්ජිමා කල්පනා කළේ සරල තාක්ෂණයක් යොදාගෙන පැට්‍රල් කාරයක් වතුරෙන් දිවිය හැකි පරිදි පරිවර්තනය කර ගැනීමටය. ඔහුගේ ගණන් බැලීම් අනුව වැඩේට මාස තුනක් පමණ ගතවනු ඇත.


පළමුවෙන් කළ යුත්තේ පැට්‍රල් ලීටරයකට වතුර බින්දුවක් දමා වාහනය ධාවනය කිරීමයි. වාහනය සාමාන්‍යයෙන් දුවන එකක්නම් අවුලක් නැතුව පණගැන්වී ධාවනය වනු ඇත. ඉන්පසු, වතුර ප්‍රමාණය බිංදුවෙන් බිංදුව වැඩි කරමින් මෙය දිගටම සිදු කළ යුතුය. එක වතුර බිංදුවක් වැඩි වුණා කියා වාහනය ධාවනය නොවීමට ඉඩක් නැති නිසාය. අවසානයේදී  පැට්‍රල් නැතුවම වතුරෙන් වාහනය දුවනු ඇත.


පසුව වෙන ව්‍යාපෘතියක් පටන්ගෙන ගඟෙන් එගොඩ පැදීමට පටන් ගැනීම නිසා එන්ජිමා මේ ව්‍යාපෘතිය අත්හැර නොදැමුවානම් අද අපි කාර් දුවන්නේ වතුරෙනි.


ඔය තාක්ෂණයම උපයෝගී කරගෙන සාමාන්‍ය වැඩිහිටියෙකුට වැඩුණු හරකෙකු අත්දෙකෙන් එසවීමට පුළුවන. මේ සඳහා කළයුත්තේ වහුපැටියා ඉපදුණු දින ඌව අවශ්‍ය පරිදි එසවීමයි. (ඒකවත් බැරි අයටනම් මේ තාක්ෂණය හරියන්නේ නැත.) ඉන්පසු, මෙය දිනපතාම කළ යුතුය. අද උස්සපු හරකා හෙට ඉස්සීමට බැරිකමක් තිබිය නොහැක. වහුපැටියා ක්‍රමයෙන් ලොකු වන විට ලොකු හරකෙකු පහසුවෙන් එසවීමට ඔබට හැකි වනු ඇත. අත්දුටුවයි! සත්තයි!!

එන්ජිමා වැඩේ අතහැර දැම්මාට වෙන ගොඩක් අය වැඩේ දිගටම ගෙන ගියේය. 2008 වසරේදී, ශ්‍රී ලාංකික තරුණයෙක් සෑදූ වතුරෙන් දුවන මෝටර් රථයකින් තවත් බොහෝ දෙනෙකු සමඟ එවකට අගමැති වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාද කඩේ ගියේය. කඩේ යාමෙන් අනතුරුව "මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කළේය".


http://www.silumina.lk/2008/07/20/_art.asp?fn=af0807201


මේ තරුණයාව මුදල් වංචා මත සිරගත කෙරුණු බව පසුව වාර්තා විය.
http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html


වසර හතරකට පසු 2012 මැදදී පකිස්ථානුවෙක් නැවතත් මෙවැනිම නිර්මාණයක් කළේය. බලශක්ති සීමා වලින් මිදුණු නව පකිස්ථානයක අරුණලු වැටෙද්දී මේ මෝටර් රථයෙන්ද පකිස්ථානයේ පකිස්ථාන් විද්‍යා සහ කාර්මික පර්යේෂණ කවුන්සිලයේ විද්වතුන් සහ දේශපාලන නායකයින් ඇතුළු බොහෝ දෙනෙකු කඩේ ගියෝය.
http://tribune.com.pk/story/416542/the-water-car-fraud/


මේ නිෂ්පාදකයාද අවසානයේදී නැවතුනේ සිරමැදිරියකය.


ජලය සෑදී ඇත්තේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අනු වලින් නිසා ඒවා නැවත වෙන් කර හයිඩ්‍රජන් ලබාගත හැකිය. මෙසේ ලබා ගන්නා හයිඩ්‍රජන් දහනය කිරීමෙන් ශක්තිය ලබාගත හැකි අතර මෙහිදී නැවතත් ජලය සෑදේ. කෙසේ වුවද, ජල අනුවක් බිඳීමට අවශ්‍ය ශක්තිය හයිඩ්‍රජන් දහනයේදී නිදහස් වන ශක්තියට සමාන නිසා වෙනත් ශක්ති ප්‍රභවයක් නැතිව තනිකරම වතුරෙන් කාර් දිවවීම තාපගතික විද්‍යා නියමයන්ට අනුවනම් කළ නොහැක්කකි. (හයිඩ්‍රජන් මිශ්‍ර කර වෙනත් බලශක්ති ප්‍රභවයක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි දෙයක් කළ හැකි විය හැක.)


කෙසේ වුවද, මෙවැනි 'විද්‍යාත්මක' මිත්‍යාවක් එළියට දැමූ විට වෙනත් 'මිත්‍යාවන්ට' ගරහන අයද ඇතුළු බොහෝ දෙනෙක් කඩේ යාමට ඉදිරිපත් වන නිසා වතුරෙන් දුවන කාර් තවමත් හොඳ ආදායම් උල්පතකි.


(රසාස්වාදය සඳහා උඩින්ම ඇති කතා දෙක ඉකොනොමැට්ටාට පේටන්ට් අයිතියක් නැති කාඩ් දෙකකි. ඉකොනොමැට්ටා පොඩ්ඩක් ස්පයිස් එකතු කළා පමණි.)

Tuesday, June 16, 2015

හලාල් ආහාර වලට වැඩිපුර ගෙවිය යුතුද?



සසංක කන දේවල් තිබේ. නොකන දේවලුත් තිබේ. නිර්මාංශිකයෙකු නොවන සසංක කුකුළු මස් හා ගව මස් වලට මෙන්ම සූකර මාංශයටද ගිජුය. ඔහුට මස් හලාල්ද නැද්ද යන්න වැදගත් කරුණක් නොවේ. අබ්දුල් සූකර මාංශ නොබුදී. ඔහු කුකුළු මස් හා ගව මස් වලට ප්‍රිය කරන නමුත් ඒවා ආහාරයට ගන්නේ හලාල්නම් පමණි. නිර්මාංශී නොවන රසිකාත්, සතියේ ඇතැම් දිනවල නිර්මාංශීව සිටින කමලිනීත් කුකුළු මස් ආහාරයට ගනිති. එහෙත් ඔවුහු අනෙකුත් 'ගොඩ මස්' වර්ග නොබුදිති.

වෙළඳපළෙහි විකිණෙන කුකුළු මස් හලාල්නම් මේ සිවු දෙනාම මස් මිලදී ගැනීමේ ඉඩ කඩක් තිබේ. එහෙත්, මස් හලාල් නොවේනම් අබ්දුල් මස් මිලදී නොගනු ඇත. මේ නිසා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කළ විට ඉල්ලුම වැඩි වේ. එහෙත්, එවිට නිෂ්පාදන පිරිවැය සුළු වශයෙන් හෝ ඉහල යයි. මේ ඉහල යන පිරිවැය අවසානයේදී දරන්නේ කවරෙක්ද?

මෙහි ඇත්තේ න්‍යායාත්මකව විශ්ලේෂණය කළ හැකි ආර්ථික විද්‍යා ගැටලුවකි.

මේ ගැටළුව විශ්ලේෂණය කිරීම සඳහා අපට ආර්ථික විද්‍යා ආකෘතියක් සකස් කර ගැනීමට සිදුවේ. අපි සරල ආකෘතියකින් පටන් ගනිමු.

වෙළඳාම සඳහා බාහිරට විවෘත නොවූ නිශ්චිත ප්‍රදේශයක් ඇතැයි අපි පළමුව උපකල්පනය කරමු. මේ ප්‍රදේශය තුළ කුකුළු මස් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා පාරිභෝගිකයන් සිය දෙනෙකු අතර  'රතු' සහ 'කොළ ' නම් වූ පාරිභෝගිකයෝ දෙවර්ගයක් සිටිති. කොළ පාරිභෝගිකයෝ හලාල් කුකුළු මස් පමණක් ආහාරයට ගනිති. රතු පාරිභෝගිකයෝ හලාල්ද නැද්ද යන්න නොසලකා අඩු මිලට ඇති තැනෙකින් කුකුළු මස් මිලදී ගනිති.

කුකුළු මස් නිෂ්පාදකයෙකු සාමාන්‍ය මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී කුකුළු කෑම ආදිය සදහා රුපියල් 200ක විචල්‍ය පිරිවැයක්ද සේවක වැටුප් ආදිය සඳහා රුපියල් 500ක ස්ථිර පිරිවැයක්ද දැරිය යුතුයැයි සිතමු. හලාල් ක්‍රමයට නිෂ්පාදනය කළහොත් විචල්‍ය පිරිවැය රුපියලකින් වැඩිවී රුපියල් 201ක් වේයැයිද, ස්ථිර පිරිවැය රුපියල් සියයකින් වැඩිවී රුපියල් 600ක් වේයැයිද සිතමු. කුකුළු මස් කිලෝවක් රුපියල් 225ක් වේනම් සෑම පාරිභෝගිකයෙකුම කුකුළු මස් කිලෝවක් බැගින් මිලදී ගන්නේයැයි සිතමු. කෙසේ වුවද, කොළ පාරිභෝගිකයින් මස් මිලදී ගන්නේ මස් හලාල්නම් පමණි.

අවස්ථාව 1- තනි රතු රට:

රතු රටේ පාරිභාගිකයින් සිය දෙනාම රතු අයයි. ඒ නිසා නිෂ්පාදකයෙකුට වැඩි පිරිවැයක් දරා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 25ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය (ස්ථිර පිරිවැය නොසලකා) රුපියල් 2500කි (25x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 500ක් වන බැවින් නිෂ්පාදකයන් පස් දෙනෙකුට මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත. නිෂ්පාදකයින් ගණන එයට වැඩි වුවහොත් දීර්ඝකාලීනව කිසිවකුට ලාභයක් ලැබිය නොහැක.


අවස්ථාව 2- තනි කොළ රට:

කොළ රටේ පාරිභාගිකයින් සිය දෙනාම කොළ අයයි. මේ වෙළඳපොළෙහි සාමාන්‍ය කුකුළු මස් සඳහා කිසිදු ඉල්ලුමක් නොමැති බැවින් සෑම නිෂ්පාදකයෙකුටම  හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමට සිදුවේ. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 24ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2400කි (24x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 600ක් වන බැවින් නිෂ්පාදකයන් සිවුදෙනෙකුට පමණක් මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත.

අවස්ථාව 3- රතු බහුතර රට:

රතු බහුතර රටේ රතු පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. කොළ පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ අනූවකි. මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2250කි (25x90). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි. දිගුකාලීන ලාභය රුපියල් 62.50කි.

අනෙක් අතට, ඔවුන් හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු සාමාන්‍ය කුකුළු මස් නිපදවනු ඇත. මෙහිදී රතු බහුතර රටේ සුළුතර කොළ පාරිභෝගිකයින්ගේ ඉල්ලුම සැපිරී නැත.

පස් වන නිෂ්පාදකයෙකු හලාල් කුකුළු මස් නිපදවීමට සිතන්නේනම් මස් කිලෝ දහයක ඉල්ලුමක් ඇත. මේ නිෂ්පාදකයාට තම ස්ථිර පිරිවැය පියවා ගැනීම සඳහා මස් කිලෝවක් රුපියල් 261කට (201+600/10) විකිණීමට සිදුවේ. මේ අනුව කොළ පාරිභෝගිකයෙකු මස් කිලෝවක් සඳහා ගෙවීමට කැමති උපරිම මිල රුපියල් 261ට අඩුනම් රතු බහුතර රටේ හලාල් මස් නිෂ්පාදනය නොවනු ඇත.

ඒ මිල ඊට වැඩිනම් රුපියල් 225කට සාමාන්‍ය කුකුළු මස් අලෙවි වෙත්දී රුපියල් 261කට හලාල් කුකුළු මස් අලෙවි වනු ඇත. හලාල් කුකුළු මස් සඳහා වැඩි මිලක් ගෙවීමට රතු පාරිභෝගිකන් සූදානම් නැති නිසා ඔවුන් හලාල් මස් වලට අකමැත්තක් නැතත් හලාල් මස් මිල දී නොගනු ඇත. මෙහිදී හලාල් කුකුළු මස් සහ සාමාන්‍ය කුකුළු මස් වෙනස් ආර්ථික භාණ්ඩ දෙකක් ලෙස පවතිනු ඇත.

අවස්ථාව 4- කොළ බහුතර රට:

කොළ බහුතර රටේ කොළ පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. රතු පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ දහයකි. මුළු ලාභය රුපියල් 250කි (25x10). මෙය එක් නිෂ්පාදකයකුගේ හෝ ස්ථිර පිරිවැය නොපියවයි. ඒ නිසා කිසිදු නිෂ්පාදකයෙකු හලාල් නොවන කුකුළු මස් නොනිපදවනු ඇත.

මේ අනුව, සියළුම නිෂ්පාදකයෝ හලාල් කුකුළු මස් නිපදවති. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු හලාල් කුකුළු මස් නිපදවනු ඇත. වෙළඳපලෙහි හලාල් නොවන සාමාන්‍ය කුකුළු මස් දක්නට නොලැබෙනු ඇත. ඒ අනුව රතු පාරිභෝගිකයන්ටද හලාල් කුකුළු මස් මිලදී ගැනීමට සිදුවන නමුත් ඒ සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවිය යුතු නොවේ.

අවස්ථාව 5- රතු කොළ සම රට:

රතු කොළ සම රටේ කොළ පාරිභෝගිකයෝ පනස් දෙනෙකි. රතු පාරිභෝගිකයෝද පනසෙකි. මෙහිදී විශ්ලේෂණය තරමක් සංකීර්ණය.

විකල්පය-1:
ඇතැම් නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ පනහකි. මුළු ලාභය රුපියල් 1250කි (25x50). නිෂ්පාදකයින් ගණන දෙකකට වඩා වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 625කි. දිගුකාලීන ලාභය රුපියල් 125කි. එහෙත් මේ ලාභය ලබාගත හැක්කේ හලාල් කුකුළු මස් නිෂ්පාදකයන් කිසිවෙකු නැත්නම් හෝ හලාල් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 225කට වඩා වැඩිනම් පමණි. නැතහොත් හලාල් කුකුළු මස් නිෂ්පාදකයන්ගේ තරඟය හමුවේ මේ ලාභය දිය වී යනු ඇත.

මෙහිදී කොළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටු නොවන බැවින් එම වෙළඳපොල ගැන පමණක් සිත් යොමන හලාල් නිෂ්පාදකයකුට ලැබිය හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 600කි (24x50/2). දිගුකාලීන ලාභයක් නැත. මේ නිසා හලාල් නිෂ්පාදකයින් රතු වෙළඳපොලටද පිවිසෙනු ඇති අතර එවිට සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින්ගේ ලාභය අඩු වනු ඇත. ඒ නිසා ඉහත වෙළඳපොළ සැලැස්ම සිදු විය නොහැක්කකි.

විකල්පය-2:
නිෂ්පාදකයෝ සියල්ලෝම හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මෙහිදී සිය පාරිභෝගිකයන්ගෙන් හරි අඩක් හලාල් මස් නොඉල්ලන නිසාත්, සාමාන්‍ය මස් විකිණීමෙන් ලාභය වැඩි කර ගත හැකි නිසාත් ඇතැම් හලාල් නිෂ්පාදකයෝ සාමාන්‍ය මස් නිපදවීමට පෙළඹෙනු ඇත. මේ නිසා මෙයද සිදු විය නොහැක්කකි.

විකල්පය-3:

තෙවන විකල්පය යටතේ හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් දෙවර්ගයක් සිටියත් මස් වල මිලෙහි වෙනසක් නැත. මෙහිදී  රතු කොළ සම රටේ වෙළඳපලෙහි දිගුකාලීන ලාභය හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් අතර බෙදෙනු ඇත.

සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 22.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි (25x 22.5). දිගුකාලීන ලාභය රුපියල් 62.50කි. හලාල් කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 27.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 660කි (24x 27.5). දිගුකාලීන ලාභය රුපියල් 60කි. නිෂ්පාදකයන්ගේ ලාභය (ආසන්නව) සමාන වන අතර දෙවන විකල්පයේදී ලැබෙන ලාභයට වඩා වැඩිය.

මේ නිසා රතු කොළ සම රටේ මෙවැනි මිශ්‍ර සමතුලිතතාවක් ඇති වනු ඇත.

ඉහත අවස්ථා සියල්ල සලකා බැලූ විට මේ සරල ආකෘතිය අනුව යම් කිසි නිශ්චිත ප්‍රදේශයක කොළ පාරිභෝගික ප්‍රතිශතය වැඩිවෙද්දී හලාල් නිෂ්පාදකයින් වැඩි වන ආකාරය අපට තේරුම් ගැනීමට පුළුවන. ලෝකය පුරා මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල විසිරී සිටින මේ සටහන කියවන්නට මෙවැනි ප්‍රදේශ හඳුනා ගත හැකි වනු ඇත.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩුනම් හලාල් ආහාර සඳහා සාමාන්‍ය ආහාර වලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙය මුදල්මය මිලක් හෝ දුර බැහැරකට යාමේ අවශ්‍යතාව වැනි මුදල්මය නොවන මිලක් විය හැකිය.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය තරමක් වැඩි වෙද්දී හලාල් සහ හලාල් නොවන ආහාර මිල සමාන වනු ඇත. එහෙත් මෙහිදී සිදුවන්නේ හලාල් නොවන ආහාර වල මිලටම හලාල් ආහාර මිල අඩුවීම (රතු පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා) මිස හලාල් නොවන ආහාර මිල වැඩිවීමක් නොවේ.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා වැඩිනම් හලාල් ආහාර පමණක් වෙළෙඳපොලේ පවතිනු ඇත. මෙහිදී රතු පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩු නිසා හලාල් නොවන ආහාර වලට වඩා හලාල් ආහාර නිෂ්පාදන වියදම (ස්ථිර වියදම්ද එකතු කළ විට) අඩුය. ඒ අනුව මෙහිදීද රතු පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට  සිදු නොවේ.
ඉහත විග්‍රහය හැකිතාක් සරලව සිදු කර තිබේ. එහෙත් වඩා සංකීර්ණව මේ විග්‍රහය කළද අවසාන ප්‍රතිපලය වෙනස් නොවේ. මේ විග්‍රහය හලාල් සහ කොෂර් ආහාර වලට මෙන්ම අසාත්මිකතා ඇති කරන ආහාර සඳහාද යොදා ගත හැක. උදාහරණයක් ලෙස රටකජු වලට අසාත්මිකතා ඇති (කොළ) අය සැමවිටම රටකජු නොමුසු  ආහාර සොයන අතර අසාත්මිකතා නොමැති (රතු) අයට මෙහි වෙනසක් නැත.

යම් කිසි ප්‍රදේශයක කොළ ප්‍රතිශතය නිශ්චිත සීමාවක් ඉක්මවූ විට ඔවුන් මිල දී නොගන්නා නිෂ්පාදන වෙළඳපළෙන් ඉවත් වීම (වෙළඳපොල ආර්ථිකයක් යටතේ) ස්වභාවිකවම සිදු වනු ඇත. මේ ප්‍රතිශතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා ඇති ඉල්ලුමේ ස්වභාවය, විචල්‍ය පිරිවැය වෙනස සහ ස්ථිර පිරිවැය වෙනස මතය.
කෙසේ වුවද, රතු සහ කොළ පාරිභෝගිකයින්ට අමතරව හලාල් නොවන ආහාර පමණක් මිලදී ගන්නා 'කහ' පාරිභෝගිකයින්ද සුළු ප්‍රතිශතයක් හෝ සිටීනම් මේ සීමාවන් විශාල ලෙස වෙනස් වනු ඇත. එහෙත්, මෙහිදී කහ පාරිභෝගික ප්‍රතිශතය විශාල නොවේනම් ඔවුන්ටද කොළ පාරිභෝගිකයින්ට මෙන්ම වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත.


(විග්‍රහය ඉකොනොමැට්ටාගේය. ඡායාරූප අන්තර්ජාලයෙනි.)








Monday, June 15, 2015

හාල් නැතුව බත් කන්නම්! හරක් නැතුව මස් කන්නම්!!


හැත්තෑවේදී ඩඩ්ලිව එළවා දැමූ දෙවන එලිසබෙත් රැජිනගේ ලංකා කොලනියේ අපි හතළිස් අටේ සිටම නොකපා තිබූ අපේ එංගලන්ත පෙකණි වැල කපා දැම්මෙමු. එතෙක් අප සතු නොවූ ප්‍රජාතන්ත්‍රවාදය එසැණින්ම අපට ලැබුණේය. සත් තිස් වසරකට පෙර ජේ ආර් විසින් ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබ තවමත් අප තළු මරමින් භුක්ති විඳින සමාජවාදය එවකට අපට සිහිනයක් පමණක් වූ නිසා සමාජවාදය සොයා පෝලිම් වල කල් ගෙවීමටද අපි නොපැකිලුනෙමු.

සමාජවාදය හමුවන තුරු අපට බඩගින්නේ සිටීමට සිදුවිය. එහෙත්, දේශප්‍රේමය (හෝ වෙන යම්කිසි දෙයක්) අපේ කුසගිණි යටපත් කළ නිසා අපිට "බුදු අම්මෝ! බඩගිනියෝ!!" කියා කෑ ගැසුණේ නැත. අපි කෑගැසුවේ වෙන විදියකටය.

"සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
අම්ම අපිට කියනවනම්
පිදුරු වුණත් අපි කන්නම්"

අම්මා හෝ අප්පච්චී දෙන පිදුරු සීනි නැතුව අමුවෙන්ම ගිල දැමීමට සූදානම් බව බය නැතුව ලොවට පෙන්වීමට වත්පොත් නොතිබුණු මේ කාලයේ සිය වැඩිහිටියන් පෙළපාලි යද්දී ගෙදර තිබූ දුඹුරු සීනි බෝතලයේ අඩිය හොරෙන් සීරූ පොඩි එවුන් දැන් මැදි වයසත් පහු කරලාය. ඔවුහු පෙර කල පෙළපාලි ගිය සිය වයෝවෘද්ධ දෙමවුපියෝද සමඟ දැන් සීනි නැතුව තේ බොති. ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අම්මාගෙන් හෝ අප්පච්චීගෙන් නොවේ. පවුලේ වෛද්‍යවරයාගෙනි. හැමදාම කෙසේ වෙතත් සීනි පරීක්ෂා කරන දවස කිට්ටු වෙද්දී සීනි නොකා ඉන්නේ දියවැඩියාවට බය නිසාය. ප්‍රතිපලය සීයට අඩුනම් හවසට තේ කෝප්පයට වෙනදාටත් වැඩියෙන් සීනි වැටේ. සීයට වැඩිනම් "කාල මරණ අකාල මරණ" පොර ටෝක් ටික දවසකට ඕෆ් වේ.

කවුරුත් වගේ දන්නා එක් පැරණි රසාංගයක සිටි එතරම්ම පැරණි නැති පොරක් ඔයාකාරයට සීනි පරීක්ෂා කළේය. බෙහෙත් පාවිච්චි කරන්නට තරම් නොවූවත් සීනි වැඩිය. "කෑමෙන් පරිස්සම් වෙන්ඩ වෙයි!" දොස්තර මහත්තයා කීවේය. "මොනවාද සාමාන්‍යයෙන් කන්නේ?"

"උදේට?"
"පොල් සම්බෝලයි බතුයි. බත් කිවුවට හීල්බත්. සමහර දවසට කිරිබත්."
"දවල්ට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, කරවල බැදුමක්, තව මැල්ලුමක් වගේ."
"එතකොට රෑට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, තව මොනවා හරි එළවළු මාළු දෙයක්."
"ඔය කෑම රටාව ටිකක් වෙනස් කරන්ඩ වෙයි!"
"ඒ කිවුවේ?"
"බැරිවෙයිද රෑට පාන් පෙති දෙකක් වගේ කන්ඩ?"

මලකඩ රස රෝස පාට බෙහෙත් වතුර බොනවාට වඩා, පෙති කරල් අමාරුවෙන් ගිලිනවාට වඩා  පාන් පෙති දෙකක්ගිල දැමීම කොයි තරම් පහසුවක්ද?  දොස්තර මහත්තයා මොහොතකට මතු බුදුවෙයි. ඒත් ගෙදර යාමට පෙර හරියටම පැහැදිලි කරගත යුතුය.
"දොස්තර මහත්තයා, ඔය කියන පාන් පාමසියකින් ගන්ඩ ඕනෑද?"
"පාමසි? පාමසි වල කොහෙද ලොකු උන්නැහැ පාන් හදන්නේ? යන්ඩ බේකරියකට."
"මටත් එහෙම හිතුණා. මං මේ ඉස්තිරේටම දැන ගන්ඩයි ඇහුවේ."
"ඒකට කමක් නෑ. දැන් පැහැදිලියිනේ. කෑම පාලනේ කල්ලා හය මාසෙකින් පස්සේ ආයේ ඇවිත් සීනි පරීක්ෂා කර ගන්ඩ. තව ප්‍රශ්න මුකුත් තියෙනවාද?"
"සමාවෙන්ඩ ඕනෑ දොස්තර මහත්තයා තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය පාන් පෙති දෙක කන්ඩ තියෙන්නේ බත් කන්ඩ කලින්ද බත් කාලද?"

ඔය පැරණි රසාංගයේ සිටි මනුස්සයා තාමත් ජීවත් වේ. ඒ අපි තුළමය. වෙන මොනවා කෑවත් බත් ඩිංගක් බඩට වැටෙන තුරු බඩ පිරෙන්නේ නැත්තේ ඒ නිසාය. බත් කෑවත්, පාන් කෑවත් ඔය දෙකේම ඇත්තේ ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨ ධාතුවයි. සිංහලෙන්නම් කාබෝහයිඩ්රේට්ය. අප කාබෝහයිඩ්රේට් වලට ඇබ්බැහි වන හේතුව පරිණාමික මනෝ විද්‍යාවෙන් පැහැදිලි කළ හැකිය. මේ කැමැත්ත අපේ හෝමෝ සේපියන් ජාන වලම ලියවී තිබේ. එහෙත්, බත් වලට අප ඇබ්බැහි වන්නේ අපේ සංස්කෘතිය නිසාය. බත් වල අන්තර්ගත ප්‍රධානම සංඝටකය වන කාබෝහයිඩ්රේට් වලට ඇති අපේ ජානමය කැමැත්තට අමතරව එහි හැඩයට, පැහැයට හා සුවඳට අපේ සංස්කෘතිය අපව ආකර්ෂණය කරයි. මේ අයුරින්ම අර්තාපල්, පාන් වැනි වෙනත් කාබෝහයිඩ්රේට් ප්‍රභව වලට ඇතැම් රටවල වැසියෝ ඇබ්බැහි වෙති.

පාන් හෝ බත් වැනි කාබෝහයිඩ්රේට් ප්‍රභව ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර එකතුවීම සෞඛ්‍යමය ගැටළු ඇති කරවයි. එහෙත්, බොහෝ විට අපේ ජානමය හා සංස්කෘතික ඇබ්බැහිය වඩා හොඳ ශරීර සෞඛ්‍යයක් සඳහා වන රුචිය අභිබවන නිසා ආහාර රටාව වෙනස් කිරීම පහසු නැත. වෙන තැන් වලදී මෙන්ම මෙහිදීද අපේ උදවුවට එන්නේ තාක්ෂණයයි. ඒ අනුව, තිරිඟු පිටි නොවන වෙනත් ධාන්‍ය යොදා සකස් කළ පාන් වර්ග මෙන්ම සමතුලිත ආහාර වේලක් සඳහා අත්‍යාවශ්‍ය සංඝටක එකතු කර සැදූ පාන් වර්ගද ලංකාවේ කෙසේ වෙතත් පාන් ප්‍රධාන ආහාරය වූ බටහිර රටවල අඩු නැත. පිදුරු එකතු නොකළත් මේ පාන් වර්ග වල තන්තු සංයුතිය ඉහළ නැංවීමට නිෂ්පාදකයෝ ක්‍රියා කරති.

බත් කන ලංකාවේ අපිට මේ ආකාරයෙන් බත් වල සංයුතිය වෙනස් කර ගත හැකිනම් අපේ මානසික හා සෞඛ්‍යමය අවශ්‍යතාවන් එක් වර සපුරාගනිමින් රැවුලත් කැඳත් දෙකම බේරා ගත හැකිය. එහෙත්, වෙළඳපොල සාධක මත බත් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණය පාන් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය.

අප මෙන්ම බත් කන ඉරානයේ පර්යේෂිකාවක වන ආචාර්ය දර්යාමේහාර් කේෂානි (Daryamehr Keshani) විසින් 2012 අගෝස්තුහිදී නැනෝ තාක්ෂනය යොදාගෙන විවිධ සංයුතීන්, රසයන්, වර්ණයන් සහ පැහැයන් ඇති කෘතීම සහල් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් සඳහා පේටන්ට් අයිතිය ලබාගෙන තිබේ. ඇගේ ක්‍රමවේදය පෙර වූ කෘතීම සහල් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ ඇය ප්‍රථම වරට ස්වභාවික සහල් හෝ ස්වභාවික සහල් ආශ්‍රිත අමුද්‍රව්‍ය කිසිවක් උපයෝගී නොකරගෙන සහල් නිපදවන බැවිනි. සුවඳින්, රසයෙන් සහ පැහැයෙන් ස්වභාවික සහල් සහල් වලට සමාන වුවත් මේ සහල් වල සංයුතිය ස්වභාවික සහල් වලට වඩා වෙනස්ය. කාබෝහයිඩ්රේට් වලට අමතරව ප්‍රෝටීන්, ලිපිඩ, ඛනිජ ලවණ, විටමින් වර්ග ආදියද මේ සහල් වල සැලකිය යුතු තරමක් අඩංගු වනු ඇත.

අඩු මිලකට, මහා පරිමාණයෙන් නිපදවිය හැකි කේෂානිගේ 'කාර්මික සහල්' (මැෂින් හාල්?) නිෂ්පාදනය කිරීම සඳහා ඉරිඟු, තිරිඟු, බාර්ලි, කඩල හා අර්තාපල් ප්‍රධාන වශයෙන්ද, හරක් මස් සහ කුකුළු මස් කොටස් ඇතුළු තවත් බොහෝ දේ සුළු වශයෙන්ද යොදා ගනු ඇත. කේෂානිගේ යන්ත්‍රයට අමතරව චීනය, ඉන්දුනීසියාව වැනි වෙනත් 'බත් කන' රටවලද කෘතීම සහල් නිපදවන යන්ත්‍ර දැනටමත් ප්‍රයෝජනයට ගැනේ. පිදුරු අමුද්‍රව්‍යයක් ලෙස යොදා නොගත්තත් මෙවැනි යන්ත්‍ර උපයෝගී කරගෙන  වැඩි තන්තු සංයුතියක් ඇති සහල් නිපදවා ගත හැකිය.

හාල් නැතුව බත් කෑම සරල හා ලාභදායී කටයුත්තක් වුවත් සත්ත්ව ඝාතනයෙන් වැලකී මස් කෑම එතරම් පහසු වැඩක් නොවේ. පහසු නොවූවද, සතෙකු නොමරා ඉවත් කර ගන්නා සත්ත්ව සෛලයක් පටක තාක්ෂනය යොදාගෙන විද්‍යාගාරයක් තුළ වර්ධනය කර ගැනීම මඟින් කෘතීම මස් නිපදවා ගැනීම තව දුරටත් හිතළුවක් පමණක් නොවේ. සෛද්ධාන්තිකව, එක් සෛලයකින් පටන්ගෙන ප්‍රෝටීන ප්‍රභේදයක් මඟින් වර්ධනය කර ගැනීමෙන් අවශ්‍ය ඕනෑම මස් ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. 2013 අගෝස්තු මාසයේදී, නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය මාර්ක් පෝස්ට් විසින් මෙසේ නිෂ්පාදනය කල හරක් මස් කෑල්ලකින් සෑදූ හැම්බර්ගරයක් ලන්ඩනයේදී ප්‍රසිද්ධියේ රස විඳීමේ අවස්ථාව අනාගත ආහාර ගැන බොහෝ අදහස් සටහන් කර ඇති ඇමරිකානු ගත් කතුවර ජෝෂ් ශෝන්වල්ඩ්ට සහ ඔස්ට්‍රියානු ආහාර පර්යේෂක හානි රට්ස්ලර්ට හිමි විය.

ශෝන්වල්ඩ් සහ රට්ස්ලර් රස බැලුවේ රුපියල් මිලියන හතළිහක් පමණ වටිනා හැම්බර්ගරයකි. මෙවැනි හැම්බර්ගර් දෙකතුනක් වුණත් දවසකට ගිල දැමිය හැකි ඇතැම් අය ලංකාවේ සිටින නමුත් මේ මිල බොහෝ දෙනෙකුට සිතිය නොහැකි ප්‍රායෝගික නොවන මිලකි. මහාචාර්ය පෝස්ට් සිතන පරිදි මේ තාක්ෂණය ආර්ථික වශයෙන් වාසිදායක වන ලෙස දියුණු කිරීමට තව වසර 10-15ක කාලයක් ගත විය හැකිය. කෙසේ වුවද අඩු මිලක් වැයකර සතුන් නොමරා හදන මස් කරියක් අපේ නිවසක ඉදෙන දවසක් ගැන අපිට දැන් බලාපොරොත්තුවක් තිබේ.

(ඡායාරූපය නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයට සම්බන්ධ culturedbeef.net වෙබ් අඩවියෙනි.)



Friday, June 12, 2015

අඟහරුගේ හාල් තිබේද?

එක ඇමීබා අම්මාගේ කෑලි කඩාගෙන ඉපදුණු අහසේ පියාඹන නානාවිධ කුරුල්ලෝ සහ අපි මුහුදේ පීනන මාළුවෝ ලෙසින්ද ගොඩබිම සෙල්ලම් කරන උරගයෝ ලෙසින්ද එක්ව කාලය ගෙවා දැම්මෙමු. පසුව අපි දෙමඟක ගියෙමු. ඩයිනෝසරයෝ වූ කුරුල්ලෝ අපෙන් වෙන්ව දුර අහසේ පියඹා ගියහ. ක්ෂීරපායීන් වූ අපි වානරයින් හා මිනිසුන් ලෙස ලොකු මහත් වී සේපියන්ස්ලා ලෙස පරිණත වුනෙමු.


හෝමෝ සේපියන්ස්ලා වන අපේ අවුරුදු එක්ලක්ෂ පනස් දහසක වයසින් හරි අඩකටත් වඩා අපි අපේ දුර නෑයන් වන කුරුල්ලන් අහසේ පියාඹනු ඔහේ බලා සිටියෙමු. පියෑඹීම කුරුල්ලන්ගේ දෛවය බවත් පයින් ඇවිදීම අපේ දෛවය බවත් යථාර්ථවාදී ලෙස තේරුම් ගත් අපි මේ ලෝක ස්වභාවය ගැන සතුටු හෝ කම්පා නොවීමු.


අවුරුදු හැත්තෑ දහසකට පෙර මේ ඔහේ බලා සිටීම වෙනස් විය. එතැන් සිට, ලෝක ස්වභාවය නොවූවත්, කුරුල්ලන් මෙන් අහසේ පියෑඹීම අපේ සිහිනයක් විය. අහසේ පියෑඹිය හැකි මනඃකල්පිත චරිත අපේ වීරයෝ වූහ. ඔවුහු අපේ පුද පූජා වල හිමිකරුවෝ වූහ. අපට ළඟා විය නොහැකි අහසේ ඉතා ඉහළ අපේ සිහින, පැතුම් මෙන්ම, දුක් වේදනාද තැන්පත් විය. ඒ වෙනුවෙන් අපි නිර්ලෝභීව අපේ සම්පත් වැය කළෙමු.


ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ මිල්විල්හි ඉපදී පසුව සිය දෙමවුපියන් සමඟ ඔහායෝ ප්‍රාන්තයේ ඩේටන් නගරය කරා සංක්‍රමණය වී එහි ජීවත් වූ විල්බර් රයිට් සහ ඩේටන්හි ඉපිද එහිම ජීවත් වූ ඔහුගේ මලණු ඕවිල් රයිට් දෙසොහොයුරෝද හෝමෝ සේපියන්ස්ලා අවුරුදු හැත්තෑ දහසක් තිස්සේ දුටු අහස ජය ගැනීමේ සිහිනය දුටුවහ. ඔවුන් ඔවුන්ගේ පුර්වගාමීන්ගෙන් වෙනස් වූයේ ඔවුන්ට මේ සිහිනය සැබෑ කර ගත හැකි වූ නිසාය.


වසර එකසිය දොළහකට පෙර රයිට් දෙසොහොයුරන් සැබෑ කළේ අවුරුදු හැත්තෑ දහසක් තිස්සේ ජීවත් වූ හෝමෝ සේපියන්ස්ලා බොහෝ දෙනෙකුගේ සිහිනයයි. ඒ සිහිනය ඔස්සේ අපි දැන් බොහෝ දුර පියාඹා ඇත්තෙමු. මහාද්වීප තරණයට අමතරව, සොහොයුරු හෝමෝ සේපියන්ස්ලාගේ හිස මතට රසායනික බෝම්බ, පොකුරු බෝම්බ හා පරමාණු බෝම්බ හෙළීමටත්, බලහත්කාරයෙන් පරිප්පු හෙලීමටත්, නිවුයෝර්ක්හි ලෝක වෙළද සංකීර්ණ ගොඩනැඟිල්ල වැනි දැවැන්ත ගොඩනැඟිලි පොළොවට සමතලා කරමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමටත් රයිට් දෙසොහොයුරන්ගේ තාක්ෂණය අපට ඉඩ සලසා තිබේ.


අහස ජයගත් මිනිසාගේ ඊළඟ සිහිනය වූයේ අභ්‍යවකාශය ජය ගැනීමයි. එය අහස ජය ගැනීම මෙන් ද්වි පුද්ගල ප්‍රයත්නයක් නොවීය. එය සාමූහික ප්‍රයත්නයකැයි කීමද නිවැරදි නොවන්නේ ඇත්ත වශයෙන්ම එය වෙන් වෙන් සාමූහික ප්‍රයත්නයන් දෙකක් අතර වූ තරඟයක් බැවිනි. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර වටාත් ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර වටාත් එකතු වූ හෝමෝ සේපියන්ස්ලා අභ්‍යවකාශය ජය ගැනීම සඳහා වෙන් වෙන්ව දැරූ ප්‍රයත්න අවසන් වූයේ සෝවියට් කඳවුරේ ජයග්‍රහණයෙනි.


රුසියානුවෙකු වූ යූරි ගගාරින්ගේ පළමු අභ්‍යවකාශ පිවිසුම නිවේදනය වූයේ ඇමරිකානු අභිමානය පොළොවටම සමතලා කරමිනි. පසුකාලීන ලේඛකයෙකු පළමු අභ්‍යාවකාශ ගමනින් අනතුරුව පැවති ඇමරිකානු මානසිකත්වය එයින් දශක හතරකට පසු සිදු කෙරුණු ලෝක වෙළද සංකීර්ණ ප්‍රහාරයෙන් පසුව පැවති මානසිකත්වය හා සමව දැක තිබුණි. හැටේ දශකය අවසන් වීමට පෙර සඳ මඬල ජය ගැනීමේ සටනට ඇමරිකානු කඩු මුවහත් විය. උණුවතුර බෝතලයක් ගැනීමට මුලින්ම සම්මාදම් රවුම කැරකෙද්දී මේ දවස් වල අතේ සතේ නැතිව කෝඩය ගසා සිටින බුලත්කොහුපිටියේ කළුවාගේ සිරුර උණුවතුර උගුරු දෙකතුනකින් රත් වෙද්දී නැති සල්ලි නිකන්ම එළියට ඇදෙනවාටත් වඩා ඉක්මණින් ඇපලෝ ව්‍යාපෘතියට මුදල් අනුමත විය. හැටේ දශකය නිම වීමට පෙර, ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රයිට් දෙසොහොයුරන්ගේ ගම කිට්ටුවම ඉපදී ජීවත් වූ නීල් ආම්ස්ට්‍රෝන්ට සඳ මතුපිට සිය පා සටහන් ලකුණු කළ හැකි විය.


සෝවියට් රුසියාව අභ්‍යාවකාශය ජයගැනීමත්, ඇමරිකාව සඳ තරණය කිරීමත් දෙකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාමූහික ප්‍රයත්නයන්ය. යූරි ගගාරින් අභ්‍යාවකාශයට යැවීමේදී සෑම රුසියානුවෙකුගේම පාන් සලාකය කුඩා වන අතර නීල් ආම්ස්ට්‍රෝන්ගේ ඇපලෝ බරපැන ඇමරිකානුවෙකු පාන් ගෙඩියකට ගෙවන මිලට එකතු වේ. එහෙත් මේ කැපවීම කරන්නට බහුතර ඇමරිකානුවන් මෙන්ම රුසියානුවන්ද කැමැත්තෙන් සිටි බව ඉකොනොමැට්ටාගේ අදහසයි. එසේනම්, එමඟින් ඔවුන්ට ලැබුණු හෝ ලැබේයැයි අපේකෂා කළ වටිනා යමක් වූ බව සැලකීම වැරදි නැත.


ඇමරිකාව ආම්ස්ට්‍රෝන්ව හඳට යැවීමට සූදානම් වෙද්දී දෙවන එලිසබෙත් රැජිනගේ ලංකා කොලනියේ අපි ඊට වඩා ලොකු වැඩකට සරම් පිටපොට ගැහුවෙමු. චීත්ත තදකර ඇඳ ගත්තෙමු. ඒ ඩඩ්ලිව ගෙදර යැවීමටය. වැඩේ පහසු නොවූ නිසා ලොකු පොරොන්දු අවශ්‍ය විය.


“මම කොහොම හරි ජනතාවට සහල් සලාකය දෙනවා. මේ රටේ හාල් ප්‍රමාණවත් නැතිනම් පිටරටින් ගෙන්වනවා. පිටරට හාල් නැත්නම් හඳෙන් හරි හාල් ගෙන්වලා දෙනවා” අගමැති අපේක්ෂිකාව අපට පොරොන්දු විය. (උපුටා ගැනීම: http://www.lankateam.com/2014/03/25-350.html).  "අපේ අම්මා ළඟ එනවා - හඳෙන් හාල් ගෙන එනවා” ජනතාව පෙළපාලි ගියහ.


අම්මා ආවේය. ඒත් හඳෙන් හාල්නම් නොආවේය. ඒ වෙනුවට ආවේ හාල් පොලුය. මේ ගැන පසුව විමසීමේදී මෙවැනි පිළිතුරක් ලැබුනේයැයි මා අසා තිබේ. "ඇමරිකන් කාරයා හඳට ගිහින් හොයාගෙන තියෙනවා හඳේ හාල් නැති බව."


හඳේ ඇත්තටම හාල් තිබුණේ නැත. ඒත් ඇමරිකන් කාරයා හඳට ගියේ ඒ බව නොදැන නොවේ. ලංකාවේ අම්මා පොරොන්දුව දුන්නේත් ඒ බව නොදැන නොවේ.


හඳට මිනිසෙකු යැවීම ලොකු ආර්ථික තීරණයකි. ඉතා වියදම් අධික වැඩකි. මෙවැනි තීරණයක් තාර්කික වන්නේ ඒ ගමනින් ඊට වඩා මිලකට විකිණිය හැකි යමක් ලැබේනම් පමණි. හාල් නැති හඳෙන් ආම්ස්ට්‍රෝන් එකතු කරගත් ගල් කෑලි ටික සමඟ විකිණිය හැකි තවත් දෙයක් පැකේජ් විය. ඒ ඇමරිකානු අභිමානයයි. මේ පැකේජයට ඉහළ මිලක් ලැබුණේය.


ගගාරින්ගේ අභ්‍යාවකාශ තරණය සමඟ ඇරඹී ආම්ස්ට්‍රෝන්ගේ සඳ ගමණින් කෙළවර වුණු හැටේ දශකය සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර සහ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර අතර පැවතී නිරවි යුද්ධයේ උච්චතම අවදියයි. මේ ලොක්කන් දෙදෙනා ලෝක සිතියමෙහි ආසන්නව සමාන කොටස් හිමි කරගෙන සිටිද්දී ලංකාවේ අපි මෙන්ම තවත් බොහෝ පොඩි අය ඔය කඳවුරු දෙක අතර දෝලනය වෙමින් මධ්‍යස්ථව සිටියෙමු. ඇමරිකාවේදී ඇමරිකානු අභිමානය ලොකු මිලකට විකුණාගත හැකි වූයේ සෝවියට් කඳවුර සමඟ වූ තරඟය නිසාය. ඒ මිල සඳ තරණය ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කළේය.


හැටේ දශකයේදී සිදු වූ ඇඟට දැනෙන දියුණුවෙන් කුල්මත් වූ හෝමෝ සේපියන්ස්ලා ඉතා නුදුරේම අඟහරු ඇතුළු අනෙකුත් ග්‍රහ ලෝක තරණය කරමින් ඒවායේ පිහිටුවන ජනාවාසයකින් ඉඩම් කෑල්ලක් අරන් දැමීමට සිහින මැවූහ. එහෙත් සඳ තරයෙන් පන්සාළිස් වසක් ගෙවී ඇතත් හෝමෝ සේපියන්ස්ලා මෙවැනි ජයග්‍රහණයක් තවමත් ලබා නැත. ඒ ඇයි?


අසූව දශකය අවසන් වූයේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික හේතූන් මුල් කරගෙන (මගේ අදහසයි) සෝවියට් කඳවුර බිඳ වට්ටවමිනි. ආර්ථික අවපාත කිහිපයකින්ම බැට කෑ ඇමරිකාවේ ආර්ථිකයද පෙර තරම්ම සරු වූයේ නැත. මේ නිසා අභ්‍යාවකාශ තරණ සැලසුම් මන්දගාමී විය. කෙසේ වුවද ඒවා නැවතුනේ නැත.


අඟහරු වෙත මිනිස් කණ්ඩායමක් යැවීම සඳහා ඇමරිකාව දැනටත් වැඩ කටයුතු කරමින් සිටිති. මෙය වසර ගණනක් ගත වන දැවැන්ත කාර්යයකි. මුලින්ම සිදු වනු ඇත්තේ මිනිසුන් රහිතව එහි යන රොබෝ කණ්ඩායම් විසින් මිනිස් වාසයට සුදුසු නිවහනක් අඟහරු මත තැනීමයි. සිවුදෙනෙකුගෙන් යුත් මුල්ම මිනිස් කණ්ඩායම 2030-2035 පමණ වන විට අඟහරු වෙත පා තබනු ඇත. ඒ සඳහා උපයෝගී කර ගැනීමට නියමිත ඔරියන් යානයේ පළමු පරීක්ෂණ ගමන (මිනිසුන් රහිතව) පසුගිය දෙසැම්බර් මාසයේදී සිදු කෙරිණි.


එහෙත් තවත් කළ යුතු දෑ බොහෝය. චැලෙන්ජර් ඛේදවාචකයෙන් පාඩමක් ඉගෙනගෙන සිටින ඇමරිකාව සෑම කුඩා දෙයක් පිළිබඳවම තව දුරටත් අධ්‍යයනය කරනු ඇත. උදාහරණයක් ලෙස ආම්ස්ට්‍රෝන් හඳ මත පැන පැන මෙන් යන්නේ එහි ඇති අඩු ගුරුත්වය නිසාම පමණක් නොවේ. ඔහුගේ අභ්‍යවකාශ ඇඳුමේ ඇති සීමාවන්ද එයට හේතුවකි. අඟහරු වෙත යන නියමුවන්ගේ ඇඳුමනම් මෙයට වඩා බොහෝ නම්‍යශීලී වනු ඇති අතර එය ඇඳගෙන ට්‍රෙඩ්මිල් එකක ඇවිදීමටද ඔවුන්ට හැකිය.


කෙසේ වුවද දැනටමත් කිහිප වරක්ම සිදුවී ඇති පරිදි ආර්ථික හේතුන් මත මේ අභ්‍යවකාශ ගමන සඳහා කෙරෙන මුදල් ප්‍රතිපාදන කපා හැරුණහොත් මේ කාර්යය පමා වනු ඇත. අනෙක් අතට චීනය වැනි වෙනත් රටක තරඟය හමුවේ ඇමරිකානු අභිමානයේ මිල ඉහල ගියහොත් නැති සල්ලිත් එළියට ඇදී හාල් නැති අඟහරු වෙත මිනිසෙකු පාතබන දිනය වඩාත් ලංවීමට වුවද බැරි කමක් නැත.


(ඡායාරූප: ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ඩේටන්හි රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුරේ පිහිටි, ඇමරිකානු ගුවන් හමුදාවේ ජාතික කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශිත කිහිපයකි. අනුපිළිවෙලින් රයිට් දෙසොහොයුරන් විසින් තැනු ගුවන් යානයක්,  ඇපලෝ 15 සඳ ගමන සඳහා උපයෝගී කරගත් 'එන්ඩීවර්' පාලන මැදිරිය සහ නිරවි යුද සමයේ ලෝකය බෙදී තිබුණු අයුරු  පෙන්නුම් කෙරේ.)



Wednesday, June 10, 2015

කළු තක්කාලි සමඟ අඳුරේ දිලිසෙන සූකරයෙකුගේ මේද රහිත මස්


අපි දන්නා තක්කාලි අමුවෙන් කොළ පාටය. ඉදුණු විට රතු පාටය. පොල් සම්බෝලයකට එකතු කර අනාගත් විට උණු පාන් බාගයක් සමඟ ගිල දමන්නට මරුය. කරවල හොද්දකට එකතු කළ විටත් නියමය. හන්දියේ චීන අවන්හලෙන් ඇනවුම් කළ ඩෙවිල් කළ කුකුළු මස් දීසියේ කුකුළු මස් කෑලි සොයා ගත නොහැකි තරමට මාළු මිරිස් හා තක්කාලි පිරී ඇති විටනම් තක්කාලි එපා වේ.


පොල් සම්බෝල සමඟ ආවත්, ඩෙවිල් චිකන් සමඟ ආවත් තක්කාලි රතුය. ඒ ලංකාවේය. ලංකාවේ එහෙම වුනත් ඇමරිකාවේ එහෙම වෙන්නේ නැත. ඇමරිකාවේ සුපිරි වෙළඳසලකට ගොඩ වූ විට මේ රතු තක්කාලි වලට අමතරව කළු තක්කාලි, දුඹුරු තක්කාලි, කහ තක්කාලි සහ සුදු තක්කාලි ඇතුළු වයිවාරන්න තක්කාලි වර්ග හමුවේ. ඒ විතරක් නොවේ. දැන් ලංකාවේ දුලබ නැති සුදු මල් ගෝවා හෙවත් බ්‍රොකලි වලට අමතරව දම්, තැඹිලි හා කොළ පැහැති මල් ගෝවා වර්ග තිබේ. මේවා ජාන ඉංජිනේරු විද්‍යාවේ වැඩ කෑලිය. [කරුණාකර පසු සටහන බලන්න. ]


ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හඳුන්වන්නේ ස්වභාවිකව සිදුවන පරිණාමීය ක්‍රියාදාමය සේපියන්සලා වන අපේ ඕනෑඑපාකම් අනුව වෙනස් කර ගැනීමයි. මේ වැඩේ අපි පටන් ගත්තේ අද ඊයේ නොවේ. අවුරුදු දහ-දොළොස් දාහකට කලින් කෘෂිකාර්මික විප්ලවය ඇරඹුණු අළුතමය. වැඩි අස්වැන්නක් ලබාදෙන බවබෝග වලට වැඩි සැලකිලි ලැබුණේය. කිකිළියන්ව පට්ටි ගැස්වීමට තෝරා ගත්තේ හොඳින් මස් ආරා ඇති මහතම කුකුළාය. මේ නිසා අළුත් පරම්පරාවල බවබෝග වැඩි අස්වැන්නක් ලබාදුන් අතර කුකුල්ලු වඩාත් තරබාරු වූහ. කෙසේ වුවද මේ දේවල් පහු වී හෝ ස්වභාවිකවමත් සිදුවිය හැකිව තිබුණි.



අඳුරේ කොළ පැහැයෙන් දිලිසෙන සුදෝ සුදු හා පැටියෙක් සුරතලෙකු ලෙස තබා ගන්නට ඔබ කැමතිද? අවුරුදු දහස් ගණනක් බලා සිටියත් මෙවැනි සතෙකු ජාන විකෘතියක් හා ස්වභාවික වරණය තුළින් බිහිවීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩකි. ඒත් අප දැන් අඳුරේ දිලිසෙන හාවුන්, මීයන්, වඳුරන්, පූසන් මෙන්ම ඌරන්ද බිහි කරගෙන ඇත්තෙමු. ඒ මෙසේ දිලිසෙන ජෙලිෆිෂ් කෙනෙකුගේ ජානයක් කෘතිමව එකතු කිරීමෙනි. වෙනත් ශාකයක ජානයක් එකතු කර තක්කාලි ගෙඩියක පැහැය වෙනස් කර ගන්නා අයුරින්මය. මේ ආකාරයෙන්ම වැඩි කලක් ජීවත් විය හැකි, බුද්ධියෙන් දියුණු හා පූසන්ට බය නැති මීයන් ජාන තාක්ෂණය භාවිතයෙන් බිහි කරගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.


වැඩි කලක් ජීවත් විය හැකි මීයන් අපට අවශ්‍ය වන්නේ ඇයි? ඇත්තටම අපට මේ මීයන්ගෙන් වැඩක් නැත. එහෙත්, මේ පර්යේෂණ වල සාර්ථකත්වයෙන් පෙනෙන්නේ සේපියන්සලා වන අපටත් ජාන තාක්ෂනය මගින් ආයුෂ වැඩි කර ගැනීමේ හැකියාව ඇති බවයි. එය පමා වන්නේ මිනිසුන් සඳහා ජාන තාක්ෂණය යොදා ගැනීමට ඇති නීතිමය හා සදාචාරාත්මක තහංචි නිසා පමණි.


ජාන තාක්ෂණය මඟින් බිහිකළ පිරිමි මදුරුවෝ දැන් ලොව පුරා ගැහැණු ඩෙංගු මදුරුවන් (මැදිරියෝද? අනේ මන්දා) සමඟ එකතු වෙමින් ඩෙංගු බෝ නොකරන ජනිතයෝ බිහි කරති. කොලෙස්ටරෝල් ඇති අයට ඌරු මස් කෑමට ඇති බාධක මඟ හරිමින් අහිතකර සංතෘප්ත මේද වෙනුවට හිතකර අසංතෘප්ත මේද වලින් පිරුණු ඌරන්ද ජාන තාක්ෂණයෙන් බිහි වී තිබේ. අපේ සංකල්ප තුළ ජීවත්වන නරසිංහයෙකු, ගජසිංහයෙකු මෙන්ම අත්-දොළසක් හෝ හස්ති ශීර්ෂයක් ඇති දෙවියෙකු බිහි කර ගැනීමද තව දුරටත් හිතළුවක්ම නොවේ.


ජාන තාක්ෂණය මඟින් සිදු කළ හැක්කේ දැනට ජීවත්වන සතෙකුගේ හෝ ශාකයක ජානයක් වෙනත් සෛලයකට එකතු කිරීම පමණක් නොවේ. එමඟින් දැනට වඳ වී ඇති සතෙකු නැවත බිහි කර ගැනීමද කළ හැක්කක් වන අතර අපි එය දැනටමත් කරමින් සිටිමු. වසර හාරදහසකට පෙර මියගිය අයිස් ඒජ් චිත්‍රපටියේ මැනීගේත් එලීගේත් එකම දියණිය පීචස් ආසියානු ඇතින්නියකගේ කුසින් ඇමරිකාවේදී ඉදිරි වසර කිහිපය තුළ නැවත ඉපදීමට ඇත්තේ ලොකු ඉඩකි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මේ වන විටත් අධික ශීතලට ඔරොත්තු දීමට අවශ්‍ය වන ඇඟ වසාගත් ලොම් හා අමතර මේද ස්ථර ආදිය මැමත්ලාට උරුම කරදුන් ජාන 14ක් සජීවී හස්ති සෛලයකට සාර්ථකව එකතු කර තිබේ.


නියන්ඩතාල් ජෙනෝමය මේ වන විට පරිගණකගත කර ඇති අතර එය සේපියන් ජෙනෝමයට 99%ක පමණ සමානත්වයක් දරයි. (චිම්පන්සි ජෙනෝමයද මේ තරමටම හෝ මීටත් වඩා සේපියන්ස් ජෙනෝමයට සමානය.) අපට අවශ්‍යනම් හස්ති කළලයක් වෙනස් කර මැමත් කෙනෙකු බිහිකර ගන්නා අයුරින්ම සේපියන් කළලයක් වෙනස් කර නියන්ඩතාල් දරුවෙකු බිහි කර ගැනීමටද බැරිකමක් නැත.


සේපියන්ස්ලා වන අපේ හැකියාවන් අසීමිත ලෙස පුළුල් වී තිබේ. අපි මේ හැකියාවන් නිදහසේ භාවිතා කරන්නෙමු. එහෙත් ඒ කුමක් සඳහාදැයි අපි නොදනිමු. අවබෝධයකින් තොරව තුවක්කුවක් අතින් ගත් තණ්හා රතී රඟාහි සිරිතුංගගේ දරුවාට වඩා අපි වෙනස් නොවෙමු. ඒත් අපේ අතේ ඇති අවිය ඊට වඩා සියදහස් වාරයක් ප්‍රබලය. බ්‍රහ්මයාගේ මැවීමේ බලයත් ඊශ්වරයාගේ විනාශ කිරීමේ බලයත් දෙකම එහි තිබේ.


(ඡායාරූප අන්තර්ජාලයෙනි. ඇතැම් කරුණු හා අදහස් සඳහා හරාරිගේ පොත පාදක වී තිබේ.)


පසු සටහන: කළු තක්කාලි ඇතුළු වෙනස් පැහැයෙන් යුතු එළවලු ජාන වෙනස් කළ ප්‍රභේදයන්ය යන්න නිවැරදි නොවිය හැකියැයි සිතමි. මේ වෙනස් පැහැයෙන් යුතු එළවලු ලෝකයේ ඇතැම් ප්‍රදේශ වල ස්වභාවිකව තිබී ඇති බව හා යම් රසායනයන් වැඩිපුර එක් කර ගැනීමෙන්ද බිහි කර ගත හැකි බව වැඩිදුර කරුණු සොයා බැලීමේදී දැනගත හැකි විය. කෙසේ වුවද, ඇමරිකන් වෙළඳපලේ පළතුරු වැනි නැවුම් ආහාරද ඇතුළුව ජාන වෙනස් කළ ආහාර ද්‍රව්‍ය රැසක් දැනටත් විකිණෙන බවද, තක්කාලි වර්ගද එසේ විකුණා ඇති බවද, ජාන තාක්ෂණයෙන් මෙවැනි වෙනස් ප්‍රභේද බිහිකර ගත හැකි බවද තහවුරු කළ හැකි කරුණුය. ඇමරිකන් වෙළඳපලේ ජාන තාක්ෂණයෙන් බිහි කළ ආහාර විකිණීමේදී ඒ බව සඳහන් කිරීම අනිවාර්යය නොවන නිසා ඒවා හරියටම අඳුනා ගැනීම අසීරුය.

Tuesday, June 9, 2015

චම් බකට් බාල්දි හෙල්මට් විකිණීමට තිබේ.


අසාර්ථක මෙහෙයුම් ගණනාවකින් පසුව අවසානයේදී බිකිනි බොටම්හි පිහිටි මිස්ටර් ක්‍රැබ්ගේ ක්‍රස්ටි ක්‍රැබ් බොජුන්හලින් ක්‍රැබි පැටි වට්ටෝරුව කෙසේ හෝ සොරාගන්නා ප්ලැන්ක්ටන් ක්‍රස්ටි ක්‍රැබ් පාරිභෝගිකයින් සැවොම ඔහුගේ චම් බකට් බොජුන්හලට ආකර්ෂණය කරගනී. චම් බකට් බොජුන්හලෙන් කෑමගන්නා සියළුම පාරිභෝගිකයන්ට නොමිලයේ චම් බකට් බාල්දි හෙල්මටයක් ලැබෙන අතර එය පැළඳ ගන්නා පාරිභෝගිකයෝ සතුටින් පිටව යති. මේ හෙල්මටය සිතිවිලි පාලකයක් බව ඔවුන් දන්නේ නැත. හෙල්මටය පැළඳගත් මොහොතේ සිට ඔවුන් ක්‍රියා කරන්නේ ප්ලැන්ක්ටන්ගේ දුරස්ථ පාලකයෙන් මෙහෙයවෙන රොබෝවන් ලෙසිනි. ඔවුන් කරන්නේ "ප්ලැන්ක්ටන්ට ජයවේවා!" යයි කෑගසමින් පෙළපාලි යාම පමණි.

ඉහත සිදුවීම දැකගත හැක්කේ සිංහලෙන්ද දෙබස් කවා විකාශනය කෙරුණු ජනප්‍රිය ඇමරිකානු කාටුන් කතාංග මාලාවක් වූ ස්පන්ජ්බොබ් ස්ක්වයාපෑන්ට්හි එක් කතාංගයකය.

ඇමරිකානු විදුලි කාර්මිකයෙකු වූ ජෙසී සුලිවන්ට අතපසු වීමකින් වෝල්ට් 7000ක විදුලි රැහැනක් ස්පර්ශ විය. මේ හේතුවෙන් 2001 දී ඔහුගේ අත් දෙකම කපා ඉවත් කිරීමට සිදුවිය. සුලිවන්ට පිහිට වූයේ කෘතීම අතකි. එහෙත් එය සම්ප්‍රදායික යාන්ත්‍රික අතක් නොවේ. සාමාන්‍ය අතක් සේම මේ කෘතීම අත පාලනය වන්නේ සුලිවන්ගේ සිතුවිලි මඟිනි.

ජෙසී මෙවැනි බයෝනික් අතකට හිමිකම් කියූ පළමුවැන්නාය. මෙහිදී පළමුව ඔහුගේ බාහුවේ වූ අතේ අහිමි වූ කොටස පාලනය කරන ස්නායු තන්තු ඉවත් කරගෙන ඒවා ඔහුගේ පපුවේ වූ මාංශ පේශීන් කිහිපයකට සම්බන්ධ කෙරිණි. මෙය නිසි ලෙස සම්බන්ධ වූ පසු ඔහුගේ පපුවට සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩ මගින් මේ ස්නායු වල සංවේදන කියවා ප්‍රක්‍රමයක් මඟින් විශ්ලේෂණය කර තේරුම් ගත හැකිය. එම තොරතුරු කෘතීම අතෙහි ඇති විද්‍යුත් පරිපථ වෙත සන්නිවේදනය කළ විට අත ප්‍රතිචාර දක්වයි. මේ අනුව ජෙසී අත එසවීමට සිතන විට අත එසැවේ.

දහනම හැවිරිදි ඉංග්‍රීසි ජාතික තරුණයෙක් වූ එවාන් රෙනෝල්ඩ්ස් 1986 ග්‍රීෂ්ම සෘතුවේදී මිතුරෙකුගේ මෝටර් රථයෙන් නිවසට පැමිණියේ රථයේ වීදුරුව පහත් කර පොර සේ අත එළියට දාගෙනය. පාර අයිනේ වූ ලී කණුවක වේගයෙන් වැදුණු අත සිරුරෙන් වෙන් වී බිම වැටුනේ ඇසි පිය ගහන නිමේෂයකිනි. එය නැවත සිරුරට බද්ධ කළ හැකි තත්ත්වයක තිබුණේ නැත. රෙනෝල්ඩ්ස්ට පිහිට වුයේද බයෝනික් අතකි. සුලිවන්ගේ අතට වඩා අංග සම්පුර්ණ ක්‍රියාකාරිත්වයක් ඇති මේ අත බාහුවේ උඩ කොටසේ ඇති ස්නායු තන්තු මඟින් පාලනය වන අතර එය සිරුරට සම්බන්ධ කිරීම සුළු කටයුත්තක් විය. ඔහුට මේ අලුත් අතට පුරුදු වීමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණි.

එවාන් මෙන්ම දහනම හැවිරිදි වියේදී අනතුරකට මුහුණ පෑ ඇමරිකානු තරුණියක වූ ෂෙරී රොබට්සන්ට 1984දී ඇගේ දෑසම අහිමි විය. දශක දෙකක් අඳුරේ සිටි ඇයට නැවත ආලෝකයක් දැකිය හැකි වූයේ බයෝනික් ඇසක උදවුවෙනි. එහෙත් බයෝනික් ඇසක් සම්බන්ධ කිරීම බයෝනික් අතක් සම්බන්ධ කරන තරම් සරල නැත. පළමුව හිස් කබල විවෘත කර මොළයේ පෙනීම සඳහා උපකාරී වන ප්‍රදේශය මතුපිටින් ඉලෙක්ට්‍රෝඩ තැන්පත් කළ යුතුය. ඉන් පසුව උපැස් යුවලකට සවිකෙරුණු සියුම් කැමරා කාච මඟින් ග්‍රහණය කරගන්නා දර්ශන විද්‍යුත් චුම්භක තරංග බවට හරවා මේ ඉලෙක්ට්‍රෝඩ මඟින් මොළයට සම්බන්ධ කෙරේ.

ජෙසීගෙන් වසර පහළොවකට පසුව මේ තාක්ෂනය දැන් බොහෝ සේ දියුණු වී තිබේ. ජෙසී, එවාන් හා ෂෙරී හැර තවත් බොහෝ සයිබෝග්ලා දැන් අප අතර සිටිති. එමෙන්ම අන්තර්ජාලය හරහා වුවද මිලදී ගත හැකි සිතිවිලි මඟින් පාලනය කළ හැකි සරල සෙල්ලම් බඩු පවා දැන් අඩු නැත. උදාහරණයක් ලෙස ඇමසන් මගින් ඇනවුම් කළහැකි 'ස්ටාර් වෝර්ස් සයන්ස් ෆෝර්ස් ට්‍රේනර්' පැකේජයේ ඇති රැහැන් රහිත හෙඩ්ෆෝනය මඟින් සිතුවිලි මඟින් ඇතිවන විද්‍යුත් චුම්භක තරංග සම්ප්‍රේෂණය කර කුඩා පිංපොං බෝලයක් ඉහළ පහළ යැවිය හැකිය.

ඉහත පර්යේෂණ වල දිගුවක් ලෙස මෑතකදී හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ටෙලිපති ආකාරයේ සිතුවිලි සන්නිවේදනයන්ද සිදු කළ හැකි බව පෙන්වා දී තිබේ. මෙහිදී මීයෙකුගේ හිසට ලබා දෙන විද්‍යුත් චුම්භක සංවේදන හරහා පර්යේෂකයෙකුට සිතීමෙන් පමණක් මීයාගේ වලිගය සෙලවිය හැකිය.

මේ දැනුම් සම්භාරය සමඟ මිනිසාට විශාල බලයක් ලැබී තිබේ. සදාචාරාත්මක හේතුන් මත පර්යේෂණ සිදු නොකිරීම නිසා නොවේනම් චම් බකට් බාල්දි හෙල්මටයක් නිපදවීම වැඩි දුරක නොවනු ඇත.

එහෙත් මෙය වඳුරාට ලැබුණු දැලි පිහියක් වැනිය. මෙවැනි බලයක් ඒකාධිපති මානසික ලෙඩෙකුට ලැබුනහොත් සිදු විය හැකි විනාශය සිතාගැනීමට අපහසු නැත.

Sunday, June 7, 2015

අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


සිංහලුන්, දෙමළුන්, ඇමරිකානු පුරවැසියන්, සිංගප්පූරු පුරවැසියන්, ශ්‍රී ලාංකික හා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියන් මෙන්ම මොන පුරවැසිකමක්වත් නැති රෝහින්ගා මුස්ලිමුන් හා මැද පෙරදිග බිඩූන්ලා දක්වා අපි සියල්ලෝම හෝමෝ සේපියන්ස්ලා වෙමු. එසේ වෙන්නේ ජීව විද්‍යා වර්ගීකරණය අනුවය. හෝමෝ නැත්නම් 'මිනිස්' කියන්නේ අපේ 'ගණය' හෙවත් පවුලයි. සේපියන්ස් කියන්නේ මේ ගණයට අයත් අප සත්ත්ව කොට්ඨාශය අයත් වන විශේෂයයි. ජීවවිද්‍යාවේදී සතුන්ට නම් දාන්නේ මේ අයුරින් පවුලේ නම සහ සතාගේ නම එකතු කිරීමෙනි.



පූසන්ට කොටියන්, සිංහයන්, චීටාවන් වැනි බළල් පවුලේ නෑයෝ බොහෝ සිටිති. බල්ලන්ටද නරින්, වෘකයින් වැනි ළඟ නෑයෝ සිටිති. ඇමීබාවාගේ සිට ඔය කොයි සතාටත් දුර නෑකමක් අපට තිබේ. ඒත් හෝමෝ සේපියන්ලා වන අපට වෙන මිනිස් නෑයින් නැත. අපේ පවුලේ ළඟ නෑයන් නොමැති නිසා අපි අනිත් සතුන් සහ අප අතර ලොකු වැටක් ගහගෙන පොරවල් වී සිටිමු. අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


දැන් නැති වුවත් ඉතා මෑත කාලයක් දක්වා අපට ළඟ නෑයෝ සිටියහ. වසර මිලියන දෙකහමාරකට පෙර අප්‍රිකාවේ ජීවත් වූ ඔස්ට්‍රලෝපිතකස් හෙවත් දකුණේ වානරයාගෙන් පැවතුනු මිනිස් දරුවෝ ලොව පුරාම විසිරුනහ. ඔවුන් වෙනස් දේශගුණික තත්වයන්ට හැඩ ගැසෙද්දී මිනිස් වර්ග රැසක් බිහිවිය. පුරා විද්‍යා සාධක අනුව අපේ ඔස්ට්‍රලෝපිතකස් අප්පච්චී අඩුගානේ තවත් දරුවන් පස් දෙනෙක්වත්වත් ජාතක කර තිබේ. මේ අනිත් දරුවෝ වරින් වර මහ පොළොවෙන් තුරන් වී ගියහ. මානව ඉතිහාසය හා සසඳන කළ ඉතා කෙටි කලක් ලෙස සැලකිය හැකි වසර දොළොස් දහසකට පෙරත් අපේ නියන්ඩතාල් අයියා ජීවත් වී තිබේ.


හෝමෝ සේපියන්ලාට වඩා විශාල සිරුරකට මෙන්ම විශාල මොළයකටද හිමිකම් කියූ හෝමෝ නියන්ඩතාල්ලා දරුණු හිම යුගයද සාර්ථක ලෙස ජය ගනිමින් යුරෝපයේ සහ බටහිර යුරෝපයේ විශාල පෙදෙසක සිය ආධිපත්‍යය පතුරා සිටියදී හෝමෝ සේපියන්ලා අප්‍රිකාවේ කොටසකට සීමා වූ සාපේක්ෂව නොවැදගත් ජීවී කොට්ඨාශයක් විය.


වසර 150,000කට පෙර ඇරඹුණු හෝමෝ සේපියන්ලාගේ මුල් අවුරුදු අසූදහස මෙසේ පතෝල ලෙස නිකම්ම ගෙවී ගියත් වසර හැත්තෑ දහසකට පෙර හදිසියේම වෙනස් දෙයක් සිදු විය. වසර දහසක් වැනි ඉතා කෙටි කලක් තුල බොහෝ දේ ඉගෙන ගනිමින් 'දියුණු වූ' හෝමෝ සේපියන්ලා අරාබි මුහුද තරණය කරමින් මැද පෙරදිගටත් එතැනින් ආසියාව හරහා යුරෝපයටත් ව්‍යාප්ත වෙමින් ඇරඹු සම්ප්‍රදායික නියන්ඩතාල් නිජ භූමි ආක්‍රමණය සහ වර්ග සංහාරය අවසන් වූයේ නියන්ඩතාල්ලා සම්පූර්ණයෙන් මිහිපිටින් අතුගා දැමීමෙනි.


ශරීර ප්‍රමාණයන් මෙන්ම බුද්ධියෙන්ද සේපියන්ස්ලාට වඩා ඉදිරියෙන් සිටි නියන්ඩතාල්ලාව ඔවුන්ගේ වාස භූමි වලදීම පරාජය කිරීමට සේපියන්ලාට හැකි වූයේ කෙසේද? ජෙරුසලමේ හීබෘ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය යුවාල් නෝවා හරාරි මෙය සිදු වූයේ හෝමෝ සේපියන්ලා දෙවියන්ගෙන් දැනුම ලබා ගත් නිසායැයි කියන්නේ නැත. ඔහුගේ 'සේපියන්ස්: මිනිසුන් ගැන කෙටි ඉතිහාස කතාවක්' නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි මෙයට හේතුව අදාළ කාලයේදී සිදුවූ වාසිදායක ජාන විකෘතියකි.


චින්තන විප්ලවය ලෙස හරාරි විසින් හඳුන්වන මේ ජාන විකෘතිය මභින් පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන සැබෑ ලෝකයේ නැති දේවල් ගැන සිතීමේ හැකියාව හෝමෝ සේපියන්ලා සතු විය. ඒ අනුව, සිංහ ඔලුවක් ඇති මිනිසුන්, ලොව මැවූ දෙවියන්, මුදල්, ධනවාදය, සමාජවාදය, මානව හිමිකම්, ජාතිය, යහපාලනය වැනි සංකල්ප නිර්මාණය කර ගැනීමට සේපියන්ස්ලාට හැකිවිය. මේ මඟින් ඇතැම් ජීව විද්‍යා සීමාවන් අතික්‍රමණය කිරීමට සේපියන්ස්ලාට හැකි විය.


ස්වභාවික පරිසරයකදී කිසියම් සත්ත්ව කණ්ඩායමක විශාලත්වය 150කට වඩා වැඩිවන්නේ ඉතාම කලාතුරකිනි. සංඛ්‍යාව වැඩි වීමත් සමඟ කණ්ඩායම් හැඟීම ඇතිවීමට අවශ්‍ය අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැංවීම අපහසු වන බැවිනි. චින්තන විප්ලවය මඟින් මේ සීමාව අතික්‍රමණය කිරීමට හෝමෝ සේපියන්ලාට ඉඩ සැලසිනි. දෙවිකෙනෙකු වැනි සංකල්පයක් පොදුවේ පිළිගත් විශාල කණ්ඩායමක සාමාජිකයන් අතර විශ්වාසය තහවුරු විය. මේ නිසා ඔවුන්ට සාමුහිකව ක්‍රියා කළහැකි විය.


සේපියන් මිනිසෙකු බොහෝවිට නියන්ඩතාල් මිනිසෙකුට පරාජය විය. සේපියන්ලා සියයක් බොහෝවිට නියන්ඩතාල්ලා සියයකටද පරාජය විය. එහෙත් සේපියන්ලා දහසකට පහසුවෙන් නියන්ඩතාල්ලා දහසක් පරාජය කළ හැකිවිය.


හරාරි ඉදිරිපත් කරන තර්ක හිතළු නොවේ. ඉතිහාසය, පුරා විද්‍යාව, මානව ජීව විද්‍යාව, ජීව විද්‍යාව, පරිණාමික මනෝ විද්‍යාව ආදී ක්ෂේත්‍ර වල අලුත්ම පර්යේෂණ මත ඒ තර්ක පදනම් වී තිබේ. ඉතා සංකීර්ණ ප්‍රශ්න වලට සරල විද්‍යාත්මක විසඳුම් ඇති බව හරාරි අපට පෙන්වයි.


හරාරිට අනුව සේපියන්ස්ලාගේ අවසානය ඉතා නුදුරේය. එහෙත් සේපියන්ස්ලා වඳ වී යනු ඇත්තේ ඔබට එක් වරම සිතිය හැකි විනාශයක් නිසා නොවේ. ඔවුන් සිය සීමාවන් තව දුරටත් ඉක්මවමින් වඩාත් දියුණු ජීවී කොට්ඨාශයක් (ඔහුගේ වචන වලින් දෙවිවරුන්) බවට පරිණාමය වීමෙනි. ජීවතාක්ෂණික, පරිගණක වැනි ක්ෂේත්‍ර වල සිදුවන දියුණුව සමඟ මෙය දැනටම සිදු වෙමින් පවතී.


හීබෘ භාෂාවෙන් ලියා ඇති හරාරිගේ කෘතිය ඉංග්‍රීසි ඇතුළු භාෂා තිහකට පමණ දැනටම පරිවර්තනය වී ඇත. දන්නා තරමින්නම් සිංහල පරිවර්තනයක් තවම නැත.


(ඡායාරූප අන්තර්ජාලයෙනි)



Friday, June 5, 2015

"මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද?"



මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද?


ප්‍රශ්නය මගේ නොවේ. දිනේෂ් ගුණවර්ධනගේය. අසා ඇත්තේ අගමැතිගෙනි. පාර්ලිමේන්තුවේදීය. තියෙන්නේ දිවයිනේය.


http://www.divaina.com/2015/06/04/news02.html


මට ඇති ප්‍රශ්නය වෙන එකකි.


"මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ වීමේ හෝ නොවීමේ ඇති වැදගත්කම කුමක්ද?"


මා කියවා ඇති තොරතුරු අනුව වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උපතින් ශ්‍රී ලාංකිකයෙකි. පසුව සිංගප්පූරු පුරවැසි භාවය ලබා ඇත. සිංගප්පූරු පුරවැසියන්ට තවත් රටක ද්විත්ව පුරවැසි භාවය පවත්වා ගත නොහැක. අර්ජුන මහේන්ද්‍රන් බොහෝ විට ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ නොවිය හැකිය.


දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රශ්නයෙන් මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ නොවේනම් එය ප්‍රශ්නයක් විය හැකියැයි අදහසක් ඇති කෙරේ.


රටක නීතිය ඒ රටේ ජනතාවගේ සුභ සාධනය අරමුණු කරගත් නිමැවුමක් වන අතර වෙනස් නොවිය යුතු, ස්ථිර පැවැත්මක් ඇති දෙයක් නොවේ. එසේ වුවද, මෙය රටේ නීතිය හා කෙසේ ගැලපේදැයි පළමුව විමසීම යෝග්‍ය වේ.


ශ්‍රී ලංකා මහ බැංකුව පිටවනු ලැබුවේ 1949 අංක 58 දරන මුදල් නීති පනතේ නීතිමය ප්‍රතිපාදන අනුවය. මහ බැංකු අධිපති වීමට ඇති නුසුදුසුකම් (2002දී සංශෝධිත) එහි 11 වන ඡේදයේ දැක්වේ. ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම එවැනි නුසුදුසුකමක් නොවේ.


අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ දොළොස්වන අධිපති වරයා විය. අනුපිලිවෙල අනුව අර්ජුන මහේන්ද්‍රන් එහි දහතුන්වන අධිපතිවරයා විය යුතුය.


දහතුන අවාසනාවන්ත අංකයක් ලෙස සැලකේ. අපේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැලකූ විටනම් මෙය ඇත්තක්දැයි සිතේ. දහතුන අවාසනාවන්ත අංකයක් නිසා කොටුවේ පිහිටි මහ බැංකු ගොඩනැඟිල්ලේ දහතුන්වන මහලක් නැත. දොළොස්වන මහලට ඉහළින් ඇත්තේ දහහතරවන මහලයි. මේ අනුව අර්ජුන මහේන්ද්‍රන් සැලකෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දහහතර වන අධිපති වරයා ලෙසදැයි ඉකොනොමැට්ටා නොදනී.


ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපති වරයා වූයේ ජෝන් එක්ස්ටර්ය. ඔහු ශ්‍රී ලාංකිකයෙකු නොවීය. ඇමරිකානුවෙකි. මේ අනුව වෙනත් රටක පුරවැසියකු මහ බැංකු අධිපති වීම පිලිබඳ පූර්වාදර්ශයක් අපට හමු වන්නේ මහ බැංකුවේ ආරම්භයේදීමය.


මහ බැංකුවේ අධිපති ධුරය නිශ්චිත රැකියාවකි. මේ රැකියාවට අදාළ නිශ්චිත කාර්ය භාරයක් ඇති අතර ධුරය දරන්නෙකු ඒ වගකීම නිසියාකාරව ඉටු කරනවානම් ඔහුගේ පුරවැසි භාවය ප්‍රශ්නයක් විය නොහැක. එහෙත් මේ ධුරය හිමි විය යුත්තේ රටේ පුරවැසියෙකුට පමණෙකැයි රටේ පුරවැසියෝ බහුතරයක් සිතත්නම් එහිද වරදක් නැති අතර එසේනම් කළ යුත්තේ මේ බාධකය රටේ නීති පද්ධතියට ඇතුලත් කිරීමයි.


එංගලන්ත බැංකුව ලෝකයේ දෙවන පැරණිතම මහ බැංකුවයි. එහි වත්මන් අධිපති මාර්ක් කාර්නිය. කාර්නි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු නොවේ. කැනේඩියානු පුරවැසියෙකි. එංගලන්ත බැංකුවේ අධිපති ධුරය භාර ගැනීමට පෙර ඔහු කැනේඩියානු (මහ) බැංකුවේ අධිපති වරයාය.


ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ වත්මන් සභාපතිනිය ජැනට් යෙලන්ය. ඇයනම් යුදෙව්වියක වුවත් ඇමරිකාවේ ඉපදුනු තැනැත්තියකි. ඇගේ පියා පෝලන්ත සංක්‍රමණිකයෙකි. ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ සභාපති වීමේ විභවයක් ඇති එහි වත්මන් නියෝජ්‍ය සභාපති ස්ටැන්ලි ෆිෂර් සංක්‍රමණික යුදෙව්වෙකි. ඇමරිකාවේ මෙන්ම ඊශ්‍රායලයේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ඊශ්‍රායල (මහ) බැංකුවේ අධිපති ධුරයද හොබවා තිබේ. ජැනට් යෙලන්ට පෙර ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරුන් වූ බෙන් බර්නැංකි මෙන්ම ඇලන් ග්‍රීන්ස්පැන් ද ඇමරිකානු යුදෙව්වෝය.


ෆෙඩරල් සංචිත බැංකුවේ කටයුතු බොහෝ කරුණු මත බොහෝ දෙනාගේ විවේචනයට ලක්වේ. එහෙත් ඇමරිකානු ජනගහණයෙන් සියයට දෙකක් වන යුදෙව්වන් අවශ්‍ය ප්‍රමාණයට වඩා එහි නියෝජනය වේයැයි කිසිවකු චෝදනා නොකරති.


අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීමෙන් පසු ඔහුගේ ක්‍රියාකාරීත්වය විවේචනයට ලක් විය. කමිටුවක් මඟින් ඔහුව නිවැරදිකරු කරනු ලැබීය. කමිටුවේ තීන්දුව සතුටුදායක නොවේනම් එය තව දුරටත් සාකච්ඡා විය යුතුය. මෙහිදී විවේචන සඳහා පදනම් විය යුත්තේ නීතිමය කරුණු හා නීතිමය කරුණු පසුබිමේ ඇති සදාචාරාත්මක කරුණුය.


මවගේ අවමංගල කටයුතු අවසන් වීමටත් පෙර පෙම්වතිය හා මුහුදු වෙරළේ සතුටු වීම මර්සොල්ට්ව අරාබි කාරයාගේ මරණයට වරදකරු කිරීමට හේතුවක් නොවිය යුතුව තිබිණි. විල්පත්තුව විනාශ කලේනම් බදුර්දීන් වරදකරුවෙකු වියයුත්තේ ඔහු මුසල්මානුවෙකු වීම නිසා නොවන්නා සේම අභ්‍යන්තර වෙළඳාමක් සිදු වී ඇත්නම් අර්ජුන මහේන්ද්‍රන් වරදකරුවෙකු වියයුත්තේ ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම හෝ නොවීම සලකා නොවේ.


පලුද්ද නැති තැනක කොන්ක්‍රීට් ඇතිල්ලීමෙන් කඩතොළු තවත් වැඩිවේ.
(ඡායාරූපය දෙරණ වෙබ් අඩවියෙනි.)

පවතින ක්‍රමය වෙනස් කිරීමේදී ඇතැම් දේ අහිමි වේ.


ඉකොනොමැට්ටා බොග පටන්ගත්තේ රනිල් අගමැතිකම භාරගත්තාටත් වඩා හදිස්සියෙනි. රනිල්ට අගමැතිකම් කර පළපුරුද්දක් තිබුණාට ඉකොනොමැට්ටාට  බොග දමා පළපුරුද්දක් තිබුණේ නැත. අඩුගානේ සිංහල කොටා පළපුරුද්දක් තිබුනේද නැත. මේ නිසා ඉකොනොමැට්ටාටත් වුනේ පළමුවෙනි වතාවට කැබිනට් ඇමති කමක් භාරගත් සජිත් වාගේ වැඩි කතා නැතුව මේ රස්සාවට අදාළ තාක්ෂණික කරුණු අතපත ගා ඉගෙන ගන්නටය. මෙසේ කිරීමේදී ව්‍යවස්ථා සංශෝධන කීයක් ඉබේ පාස් වුනාද කියා දිමුට තරමවත් අවබෝධයක් ඉකොනොමැට්ටාට නැත. ඒ නිසා නිකමට වාගේ දහඅටක් ලකුණුකර අද සිදුකළ දහනමවැනි සංශෝධනය ගැන කතා කරමු.


දහනමවැනි සංශෝධනය අමාරුවෙන් සම්මත කර දැමීමට විධායක ඒකාධිපති ඉකොනොමැට්ටාට හිතුනේ ජනතා ඉල්ලීම් සලකමින්ය. ජනතාව කිවුවට සූ ගාලා දෙන්නෙකි. රසිකොලොජිස්ට් සහ අටම්පහුරයි. මේ ජනතා ඉල්ලීම වුනේ ඉකොනොමැට්ටාගේ දැන්වීම් පුවරුව බ්ලොගර් කමෙන්ට් ක්‍රමයට මාරු කිරීම හොඳ බවයි. ඉතිං ඔය ලොක්කෝ කාටත් වගේ ඉකොනොමැට්ටාටත් ජනතා ඉල්ලීම ඇහුනාට ඕක තේරුණේ නැත. ඒ නිසා අඳුරේ සෑහෙන්න අත පත ගාන්නට සිදු විය.


පසුව අවබෝධ වූ පරිදි ඉකොනොමැට්ටා බොග පටන් අරන් තිබුනේ ගූගල්ගේ 'ඩිෆෝල්ට්' හිත නොරිදවමනි. අර ඩීඑස් මුලින්ම සුද්දන්ගේ හිත නොරිදවා පටන් ගත්තා වගේය. දවසක් දෙකක් යනකොට එක එක ගැජට් කෑලි අහුවිය. මෙයින් එකක් පාවිච්චි කර ගූගල් ප්ලස් සමඟ තානාපති සම්බන්ධතා ඇති කර ගත හැකිවිය. ඒත් ගැටයක් තිබුණේය. ඒක ඉකොනොමැට්ටා අවබෝධ කරගෙන නොහිටි නිසා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට අසුවී තිබේ.


ඉකොනොමැට්ටා හිතුවේ මේ සංශෝධනය (අපි නිකමට කියමු දහඅටවන සංශෝධනය කියා) කළවිට ගූගල් ප්ලස් ජනතාවටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදය තවත් පුළුල් වනු ඇති බවයි. ඒත්, අම්මටසිරි, සිදු වී ඇත්තේ හිතූ දෙයම නොවේ. ගූගල් ප්ලස් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබී තිබේ. හැබැයි උන්ට විතරය. අනිත් එවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඩී එස් ගේ හතලිස් අටේ පණතින් ඉන්දියානු දෙමළුන්ට අහිමි වුන විදියටම නිකම්ම නැති වෙලාය.


ඉකොනොමැට්ටාටත් ගොඩක් ලොක්කන්ට වගේ රසිකොලොජිස්ට් සහ අටම්පහුර ඇඟිල්ලෙන් ඇන පෙන්වන තුරු සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නය තේරුණේම නැත. කඩේට ගොඩ වෙන සෙනඟ හැටියට කෑම කා යන අයගේ සද්දයක් නැති නිසා ඉකොනොමැට්ටා හිතුවේ ඉකොනොමැට්ටාගේ ෆ්‍රයිඩ් රයිස් වල පතෝල වල වගේ කියන්ඩ තරම් ගුණයක් හෝ අගුණයක් නැති බවයි.


කෙසේ හෝ අන්තිමේදී යූඇම්පියට විධායක ජනාධිපති ක්‍රමයේ නරකත්, ශ්‍රී ලංකා එකට පළාත් සභා වල හොඳත්, හෙළ උරුමයට මහින්දගේ අඩුපාඩුත් අවබෝධ වුණා වගේ ඉකොනොමැට්ටාටත් දන්නෙම නැතුව (අර අනිත් දහඅටට අත ඉස්සුවා වගේ) සම්මත කර තිබුණු දහඅටවන සංශෝධනයේ අඩුපාඩු අහුවුණු නිසා එය රිවර්ස් කිරීමට දහනව වෙනි සංශෝධනය දෙකෙන් දෙකේ ඒකච්ඡන්දයෙන් සම්මත කළ බව මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් නැති නිසා ඉකොනොමැට්ටා වන මා විසින්ම සතුටින් දැනුම් දෙමි. මේ අනුව ඇනෝලා ඇතුළු ගූගල් ප්ලස් නැති හුදී ජනයාගේ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය නැවතත් තහවුරු කර ඇත.


ඒ අතරම මේ වැඩේ කරන්නට ගොස් ගූගල් ප්ලස් හරහා පැමිණ බැබලි බැබලී තිබුණු අතලොස්සක් වූ වටිනා කමෙන්ට්ස් රැසක්ම සුදු වෑන් නැතුවම අතුරුදහන් වී ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.


උතුරේ ජීවත් වූ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත වූ විට සිදු වූ අයුරින්ම කලින් කමෙන්ට්ස් දැමීමට නොහැකි වූ කියවන්නන්ගේ අදහස් එකතු කළ විට ලොකු වෙනසක් වී කලින් නොපෙනුණු වෙනත් අඩුපාඩු ගොඩක් පෙනී යා හැකිය. ඒවා භාරගැනීමට සහ සලකා බැලීමට ඉකොනොමැට්ටා තව දුරටත් සුදානම්ය.


(මීට වඩා සිරා දෙයක් කියවන්ඩ බලාගෙන ආවනම් සොරි මෙයාලා...)

Wednesday, June 3, 2015

අන්න සුදෝ අර ප්‍රාස වලා


මියුරු ගීයක සංගීතයට පළමුව පෙම් බඳින හිරිමල් වියටද නො එළඹුණු රසිකයෙකුට ගීතයේ පදවැල හා අරුත එතරම් වැදගත් නැත. වැල්ලවත්තආරච්චිගේ ආබ්‍රහම් සිල්වා ලියූ ජනප්‍රිය නවකතාවක් වූ කැලෑහඳ ඇසුරින් බී එම් ඩබ්ලියු ජයමාන්න අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ එම නමින්ම වූ ජනප්‍රිය චිත්‍රපටියේ මියුරු ගී රැසක්ම තිබුණේය. "මැවිලා පෙනේවි රූපේ", "මගේය ප්‍රේම මාලනී", "පරණ පිනක් මගෙ ඉහේ කඩාගෙන වැටුණා" එයින් කීපයකි. පොසොන් දන්සැල් වලත් පොසොන් පොහොය වෙනුවෙන් රඟදැක්වෙන රූකඩ සංදර්ශන වලත් මේ සින්දු තවම ඇසේ.



කැලෑහඳ චිත්‍රපටියේ තිබූ තවත් ජනප්‍රිය ගීයක් වනුයේ තලාත් මොහොමඩ් සහ ලතා මංගේෂ්කාර් ගැයූ ජනප්‍රිය හින්දි ගීයක තනුවට හර්බට් එම් සෙනෙවිරත්නයන්ගේ පද වැල් එක් වී මොහිදීන් බෙග්ගේත් ඩේසි රාසම්මා ඩැනියෙල්ස් නොහොත් රුක්මණී දේවියගේත් හඬින් අපට ඇසුණු "අන්න සුදෝ" ගීතයයි. පොසොන් සැමරූ බහුතර සිංහල බෞද්ධයන්ට ගස් බැඳ ඇති ලවුස්පීකර් වලින් ඇසෙන මියුරු ගී තනු රස විදිනු මිස ඒ සඳහා දායක වූ අය පන්සිල් රකිනවාදැයි සොයන්නට හෝ අඩුම වශයෙන් ගීයේ අරුත් විමසන්නටවත් අවශ්‍ය නොවීය.


ඔය සිංදුව අසා සිටි තරිඳුට සින්දුවේ පදවැල් මතක හිටියේ මේ විදියටය.


"අන්න සුදෝ අර ප්‍රාස වලා- සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති වෙලා....හා හා ප්‍රීති වෙලා..."


ඕක ඉතිං ලොකු ප්‍රශ්නයක් නොවේ. සමහර සින්දු වල වචන සියල්ලම පැහැදිලිව ඇසුනත් එක් එක් අය තේරුම් ගන්නේ එක් එක් ආකාරයටය. කොහොමවුනත් මේ සින්දුවේනම් Hotel California සින්දුවේ හෝ බස්සීගේ තිස්ස කවියේ මෙන් යටි පෙළක් තිබීමට ඇති ඉඩකඩ අඩුය. ඒ වුනාට කෙනෙකුට අවශ්‍යනම් එහෙම එකක් යෝජනා කිරීමට බැරි කමක්ද නැත.


උඩින්ම ඇති ඡායාරූපය රසිකොලොජිස්ට් විසින් මා වෙත යොමු කර ඒ පිලිබඳ මගේ විශ්ලේෂණය කවරෙක්දැයි අසා ඇත. "අසන්නන්ගේ ඉල්ලීමක්" බැවින් ඒ සඳහා ඉඩක් වෙන් කළ යුතුමය. කෙසේ වුවද නොවැලැක්විය හැකි පරිදි මා තුළ සිටින ආර්ථික විද්‍යාඥයා පසෙකට තල්ලු කරමින් දාර්ශනිකයා, රසවතා, දේශපාලනඥයා, පිස්සා ආදී මෙකී නොකී බුවාලා ඉස්සරහට පනිති. බටර් සූරා දමා පාන් කෑල්ල තමන් කැමති හොද්දක් සමඟ ගිල දැමීම කියවන්නාගේ වැඩකි.


වත්පොතට ඉහත ඡායාරූපය උඩුගත කර තිබුනේ (නම අනුව බොහෝ දුරට) ඉස්ලාම් මුස්ලිම් පුද්ගලයෙකි. (මට අනුව මේ වර්ගීකරණයම ජාතිවාදීය. හේතුවක් ඇතුව සිතාමතාම එසේ කරමි.) ලංකාවේ මුස්ලිම් වරුන් සියල්ලෝම වාගේ අදහන ඉස්ලාම් ආගම මෙන්ම බහුතර සිංහලයන් අදහන බුද්ධාගමත් දානය උසස් දෙයක් ලෙසත් මත්පැන් පානය නොකළ යුතු දෙයක් ලෙසත් පෙන්වා දෙයි. මේ අනුව මේ කුලක දෙකට අයත් බොහෝ අයට මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලිගේ පොසොන් මහා බත් දන්සැල විසංවාදයකි.


මේ කාලයේ ලංකාවේ සිංහල බෞද්ධ නොවන පුද්ගලයින් සිතන ආකාරය දැනගැනීමට ඉකොනොමැට්ටාට තරමක උනන්දුවක් ඇති නිසා බොහෝ දුරට ලංකාවේ ඉපදුනු ඉස්ලාම් මුස්ලිමුන් විය හැකි පුද්ගලයන් විසින් ඉංග්‍රීසි සහ දෙමළ බසින් ලියා තිබුණු විචාරයන් (කමෙන්ට්ස්) කියවා බැලුවෙමි. මගේ දෙමළ දැනීම ඉතා සීමිත වුවත් ඒ කිසිවක සමච්චලයේ සීමාවන් ඉක්මවන ද්වේශයක් හෝ ජාතිවාදී/ ආගම්වාදී නැඹුරුවක් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඇතැම් අය මෙය කොමිස් ගහන 'අපේ අය' පල්ලියට ලොකු මුදලක් ප්‍රදානය කිරීම සමඟ (නිවැරදි ලෙස) සසඳා තිබුණි.


දානය ලෝකයේ ප්‍රධාන සංස්කෘතීන් බොහොමයක අගය කෙරුනද මත්පැන් පානය පිලිබඳ එවැනි ඒකමිතියක් නැත. ඇතැම් සංස්කෘතීන්හි මත්පැන් පානය වැරදි දෙයක් නොවේ. මත්පැන් පානය අනුමත නොකෙරෙන බෞද්ධ මෙන්ම ඉස්ලාම් සමාජයන්හිද මත්පැන් පානය කරන්නෝ සිටිති. ඔවුහු මත්පැන් පානයෙන් සතුටට පත් වෙති. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව ඔවුන්ට මත්පැන් විකුණන මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලි කරන්නේ, මත්පැන් වල ආදීනව උගන්වන සමාජ සේවකයා සහ මත්පැන් බී සිරෝසියස් හදාගත් රාමචන්ද්‍රන්ට බෙහෙත් කරන වෛද්‍යවරයා මෙන්ම සමාජ සේවයකි (යම් සීමාවන් යටතේ). මිනිස්සු මත්පැන් පානය නොකළ යුතුයැයි රජය සිතන පොසොන් පෝදා වැඩි මිලට පසුපස දොරෙන් විකිණීමද එවැනිම සේවයකි. මේ අර්ථයෙන් මත්පැන් වෙළඳාම අනෙකුත් රැකියාවලින් වෙනස් සුවිශේෂී එකක් නොවේ.


කෙසේ වුවද මත්පැන් වෙළඳාම ආර්ථික විද්‍යා මූලධර්ම අනුවම හැමවිටම නොවූවත් ඇතැම් තත්ත්වයන් යටතේ සමාජ විරෝධී කටයුත්තක් විය හැක. මෙය පසු ලිපියකින් සාකච්ඡා කරමි.


ආර්ථික විද්‍යා මූලධර්ම කෙසේ වුවත් ලංකාවේ වැඩි දෙනා සිතන පරිදි මත්පැන් පානයත්, ඒ නිසාම මත්පැන් වෙළඳාමත් සමාජ විරෝධී කර්තව්‍යයන්ය. අනෙක් අතට ආර්ථික විද්‍යාව යනු සමාජ සුබසාධනය ඉලක්ක කරගත් විද්‍යාවක් බැවින් එය යම් කිසි සමාජයක බහුතරයක් සිතන පතන දෙයින් ස්වායත්ත නැත. මේ අනුව ලංකාවේදී (මෙන්ම වෙනත් බොහෝ රටවලදී) මත්පැන් වෙළඳාම කිසියම් නියාමනයකට ලක්වීම ආර්ථික විද්‍යා මූලධර්ම වලට එකඟය.


සදාචාරාත්මක හේතු මත ලංකාවේ බොහෝ ව්‍යවසායකයෝ ලාභය පෙනුණු පමණින්ම මත්පැන් වෙළඳාමට නොපෙළෙඹෙති. ඒ ගැන සිතන්නෙකුටද නියාමන කඩඉම් පැනීමට සිදුවේ. ලංකාවේදී මේ නියාමනය බොහෝවිට විනිවිදභාවයකින් තොරව සිදුවන අතර දේශපාලනය හා දැඩි ලෙස සම්බන්ධ වී තිබේ. අද වන විට මත්පැන් විකිණීමේ අවසරපත් ඇති "පරණ පිනක් හිසේ කඩා වැටී ඇති" බොහෝදෙනා ප්‍රාදේශීය දේශපාලනඥයින් හෝ ඔවුන්ගේ ගජ මිතුරන්ය. මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලිද එවැන්නෙකු වීමේ වැඩි ඉඩකඩක් පවතී. මේ අය වර්තමාන ශ්‍රී ලංකාවේ නොගිණිය නොහැකි තරමේ බලවේගයකි. තරුණියන් දූෂණය කරමින්, එය සැමරීමට මිතුරන් සමඟ සන්ධ්‍යා සාද පවත්වන "ප්‍රා.ස. වලා" ලා සිටින්නේත් මේ බලවේගය තුළමය.


එසේ වූ පලියටම මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලි පොසොන් පෝයට බත් දන්සැලක් දීමට නුසුදුස්සෙක් වන්නේ නැත. සාරංග ඇබිත්ත කොලුවා සමඟ ඔහුගේ අකැමැත්ත නොතකා සමලිංගික සේවනයේ යෙදෙන රතනසාර හිමිගේ අනුශාසකත්වයෙන්, පියසීලි ඉස්කෝලේ හාමිනේට විදුහල්පති නිල නිවාසයේදී පාඩමක් කියාදෙද්දී උසස්පෙළ සිසුවකුගේ අතටම අසු වූ චන්ද්‍රසේකර උපාසක තැනගේ අනුශාසකත්වයෙන්, උපතිස්ස, ප්‍රසන්න, රෝහිත ඇතුළු "මාකොළ හන්දියේ තරුණ කැල"ට දන්සැලක් දීමට ඇති නීතිමය හා සදාචාරාත්මක අයිතියම මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලිටත් තිබේ. ඉස්ලාම් භක්තිකයෙක් වන ඉබ්‍රාහිම් මුදලාලිටත් මේ අයිතියම තිබේ.


වයින් ස්ටෝර්ස් මුදලාලි දන්සැල දෙන්නේ හන්දියේ තරුණ කැල මෙන් අනුන්ගෙන් සම්මාදම් කළ අරමුදල් වලින් නොවේ. තමාගේ ලාභයෙන් කොටසක් වැය කරමිනි. දන්සැල දුන් පලියට ඔහුට පාරිභෝගිකයන් වැඩිවනු ඇතැයි සැලකීම අසීරුය. දන්සැල නුදුන් පලියට ඔහුහේ පාරිභෝගිකයන් අඩු වීමටද ඉඩක් නැත. මේ අනුව ඔහු වැය කරන්නේ ඔහුට වෙනත් කටයුත්තක් සඳහා වැය කළ හැකි ඔහුගේ පෞද්ගලික මුදල්ය. එය ඔහුට අනුව සුළු මුදලකි. මෙහිදී, ඔහු ඒ මුදල් උපයාගත් ආකාරය වැදගත් නැත. එසේ කිරීමෙන් තමාගේ පින්-පවු අරමුදලේ සෘණ ශේෂය අඩු කරගැනීමට හෝ තමාගේ "හොඳ ගතිගුණ" ප්‍රදර්ශනය කිරීමට ඔහු අපේක්ෂා කළා විය හැකිය. වැදගත් කරුණනම්, වයින් ස්ටෝර්ස් මුදලාලිගේ දන්සැලෙන් සිදුවන සමාජ සත්කාරයේ වටිනාකම ආගමික සංකල්ප අනුව කෙසේ වුවත් ආර්ථික විද්‍යා සංකල්ප අනුවනම් සම්මාදම් දන්සැලකින් සිදුවන සමාජ සත්කාරයට වඩා වැඩි බවයි.


හන්දියේ තරුණ කැල සංවිධානය කරන දන්සැලද බොහෝ විට අවසන් වන්නේ සන්ධ්‍යා සාදයකිනි. මේ සාදය සඳහා එක්වන තරුණ කැල වයින් ස්ටෝර්ස් මුදලාලිගේ සේවය අගය නොකළොත් පුදුමයකි. ඇතැම් විට දන්සැලක් සමාප්ත කිරීමෙන් පසු පැවැත්වෙන මෙවැනි සාදයකට "ප්‍රා.ස. වලා" සතුටු වන වෙනත් දේද රැගෙන ඒම දුලබම නැත.  "ප්‍රා.ස. වලා" මෙන් සන්ධ්‍යා සාදයට අවශ්‍ය දේ සපයා ගැනීමට බලහත්කාරය යෙදීමේ හැකියාවක් නැති නිසා තරුණ කැලට සිදුවන්නේ ඒ දේවල් දන්සැලේ ලාභය යොදවා මුදලට ගැනීමටය.  "ප්‍රා.ස. වලා"ලා පාවිච්චි කරන බඩු මෙන් මේවා නැවුම් නැත. ඒ නිසා ආරක්ෂාකාරී පියවරක් ලෙස ප්‍රීති වෙලාගැනීමට සිදුවේ.


පොසොන් පෝදා දන්සැල අවසානයේ අපේ සම්මාදම් මුදල් වලින් සන්ධ්‍යාවේ විනෝදේ සඳහා ප්‍රීති වෙලාගෙන රූකඩ නටවන්නේ ප්‍රාස වලාලා විතරක් නොවේ.




(මාකොළ වයින් ස්ටෝර්ස් ඉදිරිපිට ඇති දන්සැලට එහි අයිතිකරුගේ කිසිදු සම්බන්ධයක් නැති වියහැකි අතර ඔහු මේ වෙළඳාම කළත් යුක්තිගරුක පුරවැසියෙකු විය හැක. ඔහුට අපහාසයක් කිරීමේ අදහසක් නැත.)





Tuesday, June 2, 2015

දන්සැල් නොමිලේද?


චින්තක ගීතදේව කියන විදිහටනම් හැම තැනම මරුවැල්ය. හැබැයි වෙසක් දවසට හෝ පොසොන් දවසට පාරට බැස්සොත්නම් හැමතැනම දන්සැල්ය. කෑම නොමිලේය. කෑම කියා කිවුවාට ෆ්‍රයිඩ් රයිස්, සව් කැඳ, අයිස් ක්‍රීම්, සිසිල් බීම, මඤ්ඤොක්කා, පරිප්පු සමඟ පාන්, කොළ කැඳ වැනි වයිවාරන්න දේවල්ය. නිකං ඉන්න එකේ ෆ්‍රයිඩ් ඉකොනොමික්ස් දන්සැලක් දාන්නට ඉකොනොමැට්ටාටත් හිතේ.

කියන විදිහට මේ දන්සැල් වල කෑම නොමිලේය. හැබැයි ඉකොනොමිස්ට්ලා කියන විදිහටනම් කොහේවත් නොමිලේ කෑම නැත. පිකට් වලට ගොස් පොලීසියෙන් නොමිලේ හම්බ වන කෑම වල සිට ජනතාව වෙනුවෙන් පාරට බැස වීදි නාට්‍ය පෙන්වීමට යාමේදී හෝ අනුන්ගේ මැයි රැළි වලට හොම්බ දැමීමේදී හම්බ වන කෑම මෙන්ම අන්තිම මොහොතේ ගිලෙන නැවකට පැන ඉල්ලාගෙන කන කෑම දක්වා සියළුම කෑම වලට ආර්ථික විද්‍යාව අනුවනම් මිලක් තිබේ. මේ මිල රුපියල් සත වලින් මැනිය හැකි මිලක් වීම අවශ්‍ය කරුණක් නොවේ.

දන්සැලක නොමිලේ බෙදන කෑම සඳහා කිසිවකු මිලක් ගෙවා ඇති බව වැඩිපුර පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ඒ වුනාට කන අයට නොමිලේ නොවේදැයි කෙනෙකුට ඇසිය හැකිය. කන අය දන්සැල දෙන අයට මුදලක් නොගෙවන බව සාමාන්‍ය අර්ථයෙන් ඇත්තකි. එහෙත් කෑම නොමිලේ බවක් එයින් අදහස් නොවේ.


දන්සැල ඇත්තේ ගෙදර ඉස්සරහම නොවේ. හන්දියේය. බයිසිකලේ ගියොත් පැට්‍රල් පිච්චේ. පයින් යාමට ටිකක් දුර වැඩිය. ආපහු කාස්ටක අවුවේ ගෙදර එනවිට නොමිලේ කාපු කෑම ටික දිරවලාය. දන්සැලට ගිය ගමන්ම කෑම නොලැබේ. එතැන පෝලිමකි. පෝලිමේ ගතවෙන්නේ පොඩි එකාගේ ගෙදර වැඩ ටිකට උදවු කරන්නට ඇති කාලයයි. ඔය දන්සැල් දුන්නාට කෑම ෂුවර් නැත. බඩේ අමාරුවක් හැදුනොත් මල වාතයකි. හන්දියේ දොස්තර ගාවත් පෝලිමේ ඉන්නට සිදු වේ. සල්ලිත් යයි. වැඩට යන්නට බැරි වුනොත් ඉවර වෙන්නේ හදිස්සියකට ගන්නට ඇති සික් ලීව් ටිකය. ඕවා ඔක්කොම වියදම්ය.


පර්යේෂණ අනුව කෑම ගන්නා අවස්ථා මිනිස්සු වැඩියෙන්ම සතුටුවන අවස්ථා වලින් එකකි. එය එසේ වෙන්නේ ඇයි කියා විමසීමක් ආර්ථික විද්‍යාවේ නොකෙරේ. සබ්ජෙක්ට් එක පටන් ගන්නේ මිනිසුන් ඇතැම් දේවලින් වැඩිපුරත් තවත් දේවලින් අඩුවෙනුත් සතුටුවන බව පිළිගනිමිනි. මිනිසුන් එදිනෙදා ගන්නා තීරණ දෙස බලා සිටීමෙන් ඔවුන් වැඩිපුර සතුටුවන දේවල් සහ අඩුවෙන් සතුටුවන දේවල් හඳුනා ගැනීමට පුළුවන. එසේ වන්නේ ඇයි කියා පැහැදිලි කිරීමට පරිණාමික මනෝවිද්‍යාව වැනි වෙනත් විෂයයන් තිබේ. ඒ දේවල් ගැන වෙන වෙලාවක කතා කල හැකිය.

දන්සැලේ නිකම් බෙදන කෑම මිනිසුන් සතුටු කරයි. අනික් අතට මේක කෑම පිලිබඳ ප්‍රශ්නයක්ම නොවේ. දන්සැලේදී ගමේ යාලුවෝ සෙට් වේ. කන අතරේ චැට් එකක් දැමිය හැක. "පෝලිමේ මැද- හිටියට පාඩු වෙනවද- ඔය තරුණියන් මැද ඔහෙලට සොමියක් නැද්ද" සුනිල් පෙරේරා අසයි. "මොකෝ බං  නැත්තේ?"


එහෙමත් දේවල් තිබේ. තව ඕන්නං මොබයිල් එකෙන් සෙල්ෆියක් අරගෙන කෑම කන හැටි ෆේස්බුක් එකේ දාන්නත් ඇහැකිය. වැටෙන ලයික් හීනෙනුත් පෙනේ. කලින් කතා කලේ වියදම් ගැනය. මෙහි ඇත්තේ එහි අනිත් පැත්තය. සතුටු විය හැකි කරුණුය. මේ සතුටු විය හැකි කරුණු වල මුළු එකතුව වියදම් වල එකතුවට වැඩිනම් කළුවා බුලත්කොහුපිටිය හන්දියේ ඇති දන්සැලට යනු ඇත. එසේ නැත්නම් වැඩක් බලාගෙන ගෙදර සිටිනු ඇත. මෙතෙන්දී කළුවා ඉකොනොමික්ස් පාවිච්චි කරයි. එහෙත් ඒ සඳහා විධිමත් ආර්ථික විද්‍යා අධ්‍යාපනයක් ලබා තිබීම අවශ්‍ය කරුණක් නොවේ.


දැන් මෙතන සිදුවන්නේ හොඳ දෙයක්ද? දන්සැලට යන අය එසේ යන්නේ ඔවුන්ට හොඳක් වන නිසාය. නොයන අය නොයන්නේ දන්සැල් කෑමෙන් ඔවුන්ට නොහොඳක් වන නිසාය. නොයා සිටීමෙන් ඔවුන්ට සිදුවන හොඳක් හෝ නොහොඳක් නැත. එහෙම බැලුවාම අවසානයේ වෙන්නේ හොඳකි.


දැන් අපි දන්සැල් දෙන අයගේ පැත්ත බලමු. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ. දන්සැල් දෙන අය එසේ දෙන්නේ එයින් ලැබෙන තෘප්තිය යන වියදමට වඩා වැඩි නිසාය. බලාපොරොත්තු වන ලාභය මරණයෙන් මතු ලැබෙන දෙයක් ගැන සිතා දැන් ලබන සතුටක් විය හැකිය. වෙනත්  මුදලින් මැනිය හැකි ලාභයක්ද විය හැකිය. බොහෝ විට මේ දන්සැල් දෙන්නේ අනුන්ගෙන් සම්මාදම් එකතු කර ලැබෙන මුදලිනි. එහෙම බැලුවාම වියදම මහන්සිය පමණි. කොහොම වුනත් අවසාන වශයෙන් සංවිධාකයින්ට වෙන්නේ හොඳකි.

වැඩේට තවත් අය හවුල්වෙන නිසා ඒ පැත්තත් බැලිය යුතුය.  සම්මාදම් දෙන අය එසේ දෙන්නේ හොඳ හිතින් විය හැකිය. නොදී බැරි නිසා අකැමැත්තෙන් වෙන්නත් පුළුවන. පිනකට හවුල් වෙන්නේ කොහොමද කියා බල බලා ඉන්නා කෙනෙකුටනම් මේ දන්සැල් සම්මාදම් කරුවන් කරන්නේ ලොකු සේවයකි. එහෙත් ඉකොනොමැට්ටාගේ අදහස අනුවනම් සල්ලි ලෑස්ති කරගෙන සම්මාදම් කාරයෙක්  තට්ටු කරන තුරු බලා ඉන්නා පිරිස මහ  ගොඩක් විය නොහැකිය. එහෙම නැති ගොඩක් දෙනෙකුට මේ සම්මාදම් කාරයන් මළ වාතයකි.


"කැමති නැත්නම් බෑ කියා නොදී සිටින්නට පුළුවන්නේ" කියා යමෙකුට කිව හැක. එහෙත් මෙය බොහෝ දෙනෙකුට කළ හැකි තෝරා ගැනීමක් නොවේ. ගමේ කොල්ලො සෙට් එක තරහා කර ගැනීමේ ප්‍රතිවිපාක දරුණු විය හැකිය. සමහර විට ප්‍රතිපල එසැණින් වන අවස්ථාත් අඩු නැත. හොඳම දේ වැඩි කතා නැතිව කීයක් හෝ දීමයි. මෙහිදී සිදුවන්නේ අකැමැති තෝරාගැනීම් දෙකකින් අඩුවෙන් අකැමැති (සාපේක්ෂව කුඩා අලාභයක් සිදුවන) විකල්පය තෝරා ගැනීමයි. මේ අනුව අවසාන ප්‍රතිපලය (සම්මාදම් දෙන අයට) නොහොඳක් විය හැකිය.


ඔය කිවුවාට තවත් විකල්පයක් ඇත. ඒ දොර ජනෙල් වසාගෙන ගෙදර කවුරුත් නැති රඟපෑම කිරීමයි. එසේ කිරීමෙන් තරහකාරයන් ඇතිකරගැනීමෙන් වැළකිය හැකි අතර මුදලත් බේරේ. එහෙත් අවසාන ප්‍රතිපලය නොහොඳකි. ඒ සම්මාදම් කාරයන් දොර ජනෙල් සියල්ලට තඩි බා මිදුලේ බඩ් අඹ ගහේ  ගැට ටිකත් කඩාගෙන යන තුරු ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සි ගත වීමේ අපහසුතාවයයි.


දන්සැල් වාතයක් වන්නේ මේ අවසාන කණ්ඩායමට පමණක් නොවේ. නොමිලේ කෑම අවශ්‍ය නැතත් පාරේ යාම අවශ්‍ය තවත් හුදී ජන කණ්ඩායමකටත් දන්සැල් වාතයකි. බෞද්ධ කොඩි වලින් සැදූ මාර්ග බාධක වල වාහනය නැවැත්විය යුතුය. බොහෝ විට අකැමැත්තෙන් වුවත් යමක් කෑමට සිදුවේ. එයින් වැඩි වන්නේ සතුට නොව අසතුටයි.


අවසාන වශයෙන් ඉකොනොමැට්ටාට මෙසේ කිව හැකිය. දන්සැල් දීමෙන් ඒවා සංවිධානය කරන අයටත්, කැමැත්තෙන් පැමිණෙන අයටත්, කැමැත්තෙන් ආධාර කරන අයටත් හොඳක් සිදුවේ.  අකැමැත්තෙන් ආධාර කරන අයටත්, එසේ නොකර මඟ හරින අයටත්, අකැමැත්තෙන් ආහාර පාන ගන්නා අයටත් වන්නේ නොහොඳකි. එසේනම්, සමස්ත ප්‍රතිපලය හොඳක්ද? නොහොඳක්ද?


මෙය 'සමාජ සැලසුම්කරුවකු' ලෙස ක්‍රියා කරන ආර්ථික විද්‍යාඥයකු විසඳිය යුතු පැනයකි. විසඳුම සරල නැත. එසේ සරල නොවන්නේ එක් අයෙකුට සිදුවන හොඳක් වෙනත් අයෙකුට සිදුවන නොහොඳක් වෙනුවෙන් නිශේධනය කළ හැකි නිශ්චිත ක්‍රමවේදයක් නොමැති බැවිනි.


මේ ක්‍රමවේදය තීරණය කිරීම ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික කාර්යය නොවේ. එය දේශපාලන කටයුත්තකි. සමස්ත සමාජය විසින් දේශපාලනිකව  තීරණය කළයුතු කරුණකි. ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික කාර්ය භාරය වනුයේ සමාජයේ යහපත උපරිමයක් වන ක්‍රමවේදය සමස්ත සමාජය විසින් දේශපාලනිකව තීරණය කළ පසු අදාළ ඉලක්කය කාර්යක්ෂම ලෙස සපුරා ගැනීම සඳහා දායකත්වයක් සැපයීමයි.


මෙහිදී එක් පුද්ගලයකු ලබන තෘප්තිය තවත් අයෙකු ලබන තෘප්තිය හා සැසඳීම අසීරුම කාර්යයයි. ප්‍රාග්ධනය මූලික කරගත් සමාජ ක්‍රමයක අඩිතාලම වනුයේ මේ සැසඳීම සඳහා මුදල් යොදා ගැනීමයි. ඒ අනුව යමක් ලබාගැනීම සඳහා පුද්ගලයෙකු ගෙවීමට සූදානම් මුදලින් එමඟින් ඔහු හෝ ඇය ලබන සතුට පිළිබිඹු වේයැයි උපකල්පනය කෙරේ. මේ අනුව වැඩිම මුදලක් ගෙවිය හැකි පුද්ගලයෙකුට භාණ්ඩයක් හිමිවීම තුළ සමස්ත සමාජයේ තෘප්තිමත් භාවය උපරිමයක් වන බව අදහස් කෙරේ (විශේෂිත තත්ත්වයන් යටතේ හැර).



පසුගිය ජනාධිපති වරයා විසින් අරලියගහමන්දිරයේ පැවැත්වූ දන්සැල් පිළිබඳව ලොකු කතිකාවක් පහුගිය කාලයේ සිදුවිය. අලුත් ජනාධිපතිවරයාත් නීතිඥවරුන්ට නැවත දන්සැල ඇරීමට වූ උත්සාහයක් ආරාධිතයන් රැසක්ම පැමිණීම තහවුරු නොකළ නිසා කල් දැමූ බව සැලවිය. අහවලාට ඉන්විටේෂන් තුනයි මට දෙකයි වැනි පෞද්ගලික කාරණා මත ඇතැමුන්ද යහපාලන ප්‍රතිපත්ති වලට එකඟ නොවීම මත තවත් අයද ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ. නීතිඥවරුන් වැනි ඇතැම් විශේෂිත කණ්ඩායම් වලට අරලියගහමන්දිරයේ දන්සැල අනාදිමත් කාලයක සිට, ඉකොනොමැට්ටා දන්නා පරිදි අඩුම වශයෙන් පසුගිය රජයට පෙර පැවති ආණ්ඩු දෙක-තුනක්වත් යටතේ, පැවැත්වුණු බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. පසුගිය ජනපතිවරයා කළේ එතෙක් එක්තරා කොටසකට සීමා වූ මේ දන්සැල සමෘද්ධි නියාමකයන්, පෙර පාසැල් ගුරුවරුන් හා ග්‍රාම නිලධාරීන් වැනි සමාජයේ පහළ ස්ථර වෙත ව්‍යාප්ත කරමින් පුළුල් කිරීමයි. මෙතනදී පිළිබිඹු වූයේ පෙම්වතාගෙන් අමාරුවේ වැටුණු තරුණියට කොටන්නට බලා සිටින, එක් අයෙකු කුණු කවරයක් හලා ගිය පසු එතැන කුණු කන්දක් ගොඩ ගසන අපේ සමාජයේ පොදු මානසිකත්වයට වඩා වෙනස් දෙයක් නොවේ.


සම්මාදම් වලින් වියදම පියවේනම් දන්සලේ සංවිධායකයාට හොඳක් මිස නරකක් වීමට ඉඩ නැත. සම්මාදම කැමැත්ත අකැමැත්ත නොවිමසා ස්වයංක්‍රීයවම එකතු කෙරේනම් දායකයන්ට නරකක් මිස හොඳක් වීමට ඉඩ නැත. දන්සලට ගිය අය එසේ ගියේ අඩු නොහොඳ තෝරා ගනිමින්නම් (එසේ විය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීමට ඉඩ නොගනිමි.) සහභාගී වූ සියල්ලෝම පස් වණක් ප්‍රීතියෙන් පිනා ගියේයැයි සිතීම වරදකි. දන්සැලට ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කළ (ඇතැම් ප්‍රසිද්ධ කලාකරුවන් වැනි) අය පෙරද වූහ. මේ තෝරාගැනීම කිරීමට වැඩි දෙනෙකුට හැකිවීම පමණක් සාපේක්ෂ ප්‍රගතියකි.

(කාටූනය exploremysrilanka.weebly.com වෙබ් අඩවියෙන් වන අතර ඡායාරූපය Sunday Times වෙබ් අඩවියෙනි.)

Gadget

This content is not yet available over encrypted connections.