Saturday, February 24, 2018

පොහොට්ටුවට කැපූ වලේ අලියා වැටීම හා මහින්ද බිල්ලා ඉනිමඟ


එජාපය ඉතා පරිස්සමෙන් කෑම මේසය සකස් කළේය. මෙසේ කෑම මේසය සකස් කරද්දී තමන් ඇතුළු එක් එක් පුද්ගලයින්ට අසුන් ගන්නට සිදුවන තැන් ගැන අදහසක් එජාපයට තිබුණේය. ඒ අනුව, හොඳම රසමසවුළු දීසි තමන් අසුන් ගන්නට සිටි අසුන ආසන්නයේ ස්ථානගත කෙරුණු අතර ඒ කෑම බඳුන් බොහොමයක් තබා තිබුණේ පොදුජන පෙරමුණ අසුන් ගනු ඇතැයි පෙනෙන්නට තිබුණු පැත්තට හැකි තරම් දුරස්ථවය. එහෙත්, අවසානයේදී එජාපයට අසුන් ගන්නට සිදු වී තිබෙන්නේ කෑම මේසයේ විරුද්ධ පැත්තේය.

පළාත් පාලන ආයතන වලට කාන්තා නියෝජිතයින් පත් කිරීම හා අදාළව ඉහත තත්ත්වය විශේෂයෙන් කැපී පෙනේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර 3445න් 3266ක්ම කොට්ඨාශ මන්ත්‍රීධුරයි. කිසියම් පක්ෂයක සමානුපාතික නියෝජනය කොට්ඨාශ මන්ත්‍රීධුර වලින් දැනටමත් සම්පූර්ණ වී ඇති විට පණත අනුව 25% කාන්තා නියෝජනය අදාළ නොවේ. එමෙන්ම, එජනිස/ශ්‍රීලනිප හා ජවිපෙ ඇතුළු අනෙකුත් බොහෝ පක්ෂ 20% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගනිමින් අඩුම වශයෙන් ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් හිමි කර ගෙන ඇත්නම් ඒ ඉතාම සීමිත තැන් කිහිපයක පමණි. ඒ නිසා, එජාපය හැර අනෙකුත් පක්ෂ කිසිවකට 25% කාන්තා නියෝජනය බරක් වන්නේ නැත.

එහෙත්, එජාපයේ මන්ත්‍රීධුර 2,436න් 1,570ක්ම ලැයිස්තු මන්ත්‍රීධුරයි. එමෙන්ම, එජාපය ආයතන බොහොමයක 20% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇති අතර අවම වශයෙන් මන්ත්‍රීධුර 4ක් හිමි කරගෙනද තිබේ. ඒ නිසා, 25% කාන්තා නියෝජනයේ බර වැඩිපුරම වැටෙන්නේ එජාපය මතය. කිසියම් දේශපාලන පක්ෂයකට වාසි වන පරිදි මැතිවරණ නීති සකස් කිරීමේ ඇති අවුල මෙයයි. ඡන්දදායක හැසිරීම කිසිවෙකුට හරියටම පුරෝකථනය කළ නොහැකි නිසා මෙවැනි අපේක්ෂිත වාසියක් ඉතා පහසුවෙන් අවාසියකට හැරෙන්නට පුළුවන.

මෙවර පළාත් පාලන මැතිවරණ වලින් පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලක්ෂ 51.25ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා තිබේ. මෙය පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ලක්ෂ 47.3ක ඡන්ද ප්‍රමාණය ඉක්මවන්නකි. වලංගු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස මෙය මහ මැතිවරණයේ එජනිස ඡන්ද ප්‍රතිඵලයට වඩා අඩු වන්නේ 1.1%කින් පමණි. ශ්‍රීලනිපය හෝ එජනිසය විසින් මෙවර ලබාගෙන තිබෙන්නේ ඡන්ද ලක්ෂ 15.0 ක් හෙවත් මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් 31.67%ක් පමණි. ඊට අමතරව, මහ මැතිවරණයේදී එජනිසයට සහාය දුන් ලංකා කම්කරු කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලයි පුලිකල්, ජාතික කොංග්‍රසය ඇතුළු වෙනත් පක්ෂ විසින් මෙවර තවත් ඡන්ද ලක්ෂ 1.84ක් ලබා තිබේ. මේ ඡන්දද ඉවත් කළ විට, මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද වලින් අඩුම වශයෙන් ඡන්ද ලක්ෂ 30.50ක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබේ.

කෙසේවුවත්, පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලබා ඇති මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 51.25ක් පමණ වන අතර ඒ ප්‍රමාණය ඉහත ගණනට වඩා ලක්ෂ 20.75කින් වැඩිය. මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 10.35කින් අඩු ඡන්ද ප්‍රමාණයකි. මේ ඡන්ද මහ මැතිවරණයේදී භාවිතා නොවුණු බව පෙනෙන්නට තිබුණේය. ඒ, වලංගු ඡන්ද සංඛ්‍යාවද ඊට ආසන්න ප්‍රමාණයකින් (ලක්ෂ 9.56කින්) පහළ යාමත්, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය ඔහුට සහාය දැක්වූ පක්ෂ වල ඡන්ද වල එකතුවට ආසන්නව සමාන වීමත් සැලකූ විටය.

පළාත් පාලන ඡන්ද වලදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 12.42කින් ඉහළ ගිය නිසා මේ ඡන්ද මෙවර පොදුජන පෙරමුණ විසින් ආකර්ෂණය කර ගෙන ඇතැයි සිතිය හැකි වුවත්, පොදුජන පෙරමුණ හා සහායක පක්ෂ විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය තවත් මිලියනයකින් පමණ වැඩිය.

මහ මැතිවරණයේදී ජවිපෙ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙවර ලක්ෂ 1.7කින් වැඩි වී ඇති අතර ද්‍රවිඩ සන්ධානයේ ඡන්දද අඩු වී නැත. ලක්ෂ 14.49කින් විශාල ලෙස අඩු වී ඇත්තේ එජාපයේ ඡන්දයි. මෙයින් ලක්ෂ 1.64ක් පමණ මහ මැතිවරණයේදීදී එජාපයට සහාය දැක්වූ වෙනත් පක්ෂ අත ඇතත් තවත් ලක්ෂ 12.85ක පමණ අඩුවක් තිබේ. මෙවර සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද භාවිතය මහ මැතිවරණයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් මේ ඡන්ද භාවිතා නොවූ ලෙස සැලකිය නොහැකිය.

ජනාධිපතිවරණයට සාපේක්ෂව බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඡන්ද පනස් දහසක පමණ අඩුවක් හා ගම්පහ ඡන්ද දස දහසක පමණ සුළු අඩුවක් දැකිය හැකි වුවත් ඉතිරි සෑම දිස්ත්‍රික්කයකම වලංගු ඡන්ද ප්‍රමාණයන් ඉහළ ගොස් ඇත. මේ අනුව, එජාපය විසින් මහ මැතිවරණයේදී ලබාගත් නාගරික ඡන්ද හැටදහසක් පමණ භාවිතා නොවූ බවත්, තවත් ලක්ෂ 1.7ක් පමණ ජවිපෙ වෙත සම්ප්‍රේෂණය වූ බවත් සැලකුවහොත් තවදුරටත් ලක්ෂ 10.5ක පමණ අඩුවක් තිබේ.

මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණ අතර ඡන්ද වෙනස් වීම් සැලකූ විට මෙවර ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලැබූ ඡන්ද ලක්ෂ 15 පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්දම සේ සැලකුවහොත් මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් ඡන්ද වලින් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සම්ප්‍රේෂණය වී තිබිය යුතුය. එජාපය විසින් 2015දී ලබාගත් පාවෙන ඡන්ද කිසියම් ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සෘජුවම මාරු වී තිබිය හැකි වුවත් බොහෝ විට සිදුවී තිබෙනවා විය හැක්කේ එජනිස ඡන්ද වලින් තවත් මිලියනයක් පමණ පොදුජන පෙරමුණ වෙතත්, එජාප ඡන්ද එපමණම ප්‍රමාණයක් ශ්‍රීලනිපය හෝ එජනිසය වෙතත් සම්ප්‍රේෂණය වීමයි.

එසේනම් එජනිසය මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 47.3න් ලක්ෂ 41ක් පමණම එනම් 87%ක් පමණම ලබාගෙන ඇත්තේ පොදුජන පෙරමුණයි. එජනිස වෙත ඉතිරිව ඇත්තේ එම ඡන්ද වලින් 10%කට නොවැඩි ප්‍රමාණයකි. එනම් ප්‍රමාණාත්මකව ලක්ෂ පහකට නොවැඩි ඡන්ද ප්‍රමාණයකි. එජනිසයේ ඉතිරි ඡන්ද මිලියනයක් පමණ මහ මැතිවරණයේදී එජාපය වෙත ලැබුණු ඡන්දයි.

පළාත් පාලන මැතිවරණ වලින් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණ මැතිවරණයට පෙර අප විසින් සිතා සිටි ප්‍රමාණ වලට සමානය. ශ්‍රීලනිප හා එජනිස විසින් ලබාගෙන ඇති ලක්ෂ 15ක පමණ ඡන්ද ප්‍රමාණයද නිවැරදි වුවත් ඒ වැරදි උපකල්පන කිහිපයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුන්‍ය වී ඇති බැවිනි.

පළමුව, එජනිස ඡන්ද වලින් අවම වශයෙන් 20%ක්වත් එම පක්ෂය වෙත රැඳෙනු ඇතැයි මා සිතුවත් එසේ රැඳී ඇත්තේ 10%ක පමණ ඡන්ද ප්‍රමාණයකි. එම ඡන්ද වලින් 90%කට ආසන්නවම ලබාගන්නට පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

දෙවනුව, ජනාධිපතිවරණයේදී භාවිතා වී මහ මැතිවරණයේදී භාවිතා නොවුණු මිලියනයක් පමණ වූ ශ්‍රීලනිප ඡන්ද ආණ්ඩු බලය වෙනස් නොකරන පළාත් පාලන මැතිවරණයකදී පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වනු ඇතැයි මා සිතුවේ නැත. එහෙත්, එය එසේ සිදුවී තිබේ.

තෙවනුව, මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් පාවෙන ඡන්ද වලින් කොටසක් ශ්‍රීලනිප/එජනිස හා ජවිපෙ වෙත ආකර්ශනය වනු ඇතැයි මා සිතා සිටියත් ඒ ප්‍රමාණය පිළිබඳව මගේ ඇස්තමේන්තුව වූයේ මීට වඩා අඩු එකකි. මා සිතා සිටියේ එජාපය ලක්ෂ 40 ඉක්මවා, බොහෝ විට ලක්ෂ 41-42ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවයි. ඒ අනුව, මෙවර එජනිසයට 2015 එජනිස ඡන්ද ලක්ෂ 10ක් පමණ හා 2015 එජාප ඡන්ද ලක්ෂ 5ක් පමණ ලැබෙනු ඇතැයි මා සිතා සිටියත් ඔවුන්ට ලැබී ඇති බව පෙනෙන්නේ එජාප ඡන්ද ලක්ෂ 10ක් පමණ හා එජනිස ඡන්ද ලක්ෂ 5කට නොවැඩි ප්‍රමාණයකි.

මා ලංකාවේ ඉදිරි දේශපාලන ප්‍රවණතා තේරුම් ගන්නේ එජනිස ඡන්ද වල මේ සංයුතිය අනුසාරයෙනි.

පොදුජන පක්ෂයේ වත්මන් ශක්තිය 41.2% පමණ වන අතර එජාපයේ ශක්තිය 29.4%කි. ඇතැම් අය විසින් කරන පරිදි එජනිසයේ 12.1% එජාපයට එකතු කළද, එහි තිබෙන්නේ 41.5%කි.

මේ අතර මහින්දවාදීන් විසින් පොදුජන පක්ෂයේ ඡන්ද හා එජනිස ඡන්ද එකතු කරමින් ගණන් හදති. මේ ගොඩවල් දෙක එකතු කළ විට 53.3%ක් පමණ වේ. ඉදිරි මැතිවරණයකදී එජනිස වෙත තවමත් ඉතිරිව ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් පොදුජන පෙරමුණ විසින් ආකර්ශනය කරගනු ඇති නමුත් එජනිස විසින් මෙවර ලබාගෙන ඇති මිලියනයක් පමණ වූ පාවෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳව එවැනි සරල උපකල්පනයක් කළ නොහැකිය.

ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ගැන බොහෝ දෙනෙක් කතා කළත් එවැනි ජාතික මැතිවරණයක් පැවැත්වෙන්නට පෙර මුලින්ම පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. අලුත් පළාත් සභා මැතිවරණ ක්‍රමය හා අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය අතර එක් පැහැදිලි වෙනසක් තිබේ.

පළාත් පාලන මැතිවරණ සඳහා අදාළ වූ 60:40 අනුපාතය පළාත් සභා මැතිවරණ වලදී 50:50 ලෙස වෙනස් වේ. ඒ නිසා, කිසියම් පළාත් සභාවක බලය පිහිටුවීම සඳහා එම පළාත් සභා බල ප්‍රදේශයේ සියලුම කොට්ඨාශ ජයගැනීම ප්‍රමාණවත් සාධකයක් නොවේ!

අලුත් මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභාවක බලය පිහිටුවීමටනම් අවම වශයෙන් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි. දැනට පවතින ඡන්ද සංයුතිය එසේම තිබුණොත් පොදුජන පෙරමුණට බලය පිහිටුවන්නට ඉඩක් ලැබෙනු ඇත්තේ දකුණු පළාත් සභාවේ පමණි. මේ ප්‍රතිඵලය අනුව, වෙනත් කිසිදු පළාත් සභාවක් තුළ කිසිදු තනි පක්ෂයකට බලය පිහිටුවන්නට ඉඩක් නැත.

පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් ඔවුන්ට ලබාගත හැකි ඡන්ද විශාල ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන අවසන් නිසා ඉතිරි තීරණාත්මක ඡන්ද ප්‍රමාණය ආකර්ශනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ අතරම, දැනට ඔවුන් සමඟ රැඳී සිටින ඡන්දදායකයින් එසේම රඳවා තබා ගැනීමද අවශ්‍ය වේ. මෙයින් දෙවැන්න සාපේක්ෂව පහසු කටයුත්තකි. මාධ්‍ය හරහා පුළුල් ලෙස ප්‍රචාරය කෙරෙන 45% බොරු ඡන්ද ප්‍රතිශතය මෙන්ම  කුරහන් පාටින් පාට කර ඇති බොරු සිතියමද මේ දෙවන කටයුත්තට උපකාරී කරනු ඇතත්, ඒ හරහා එජනිස ඡන්ද සියල්ලම ආකර්ෂණය කර ගත හැකියැයි සිතන්නේනම් එය මුලාවකි.

ශ්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් 90%කටත් වඩා සිටින්නේ මහින්ද සමඟ බව පැහැදිලි කරුණක් වුවත් උග්‍ර මහින්ද විරෝධී ශ්‍රීලනිප පාක්ෂිකයෝද යම් ප්‍රමාණයක් සිටිති. මේ වන තුරුත් මෛත්‍රී වෙත රැඳී ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් යම් ප්‍රමාණයක් මෙවැන්නන්ගේ ඡන්දයි. එමෙන්ම, එජනිසය මෙවර ලබා ඇති පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක්ද මහින්ද විරෝධී ඡන්දයි. එජාපයෙන් කැඩී එජනිසයට ඡන්දය දෙමින් ඔවුන් එජාපය වෙතද සිය විරෝධය පෙන්වා ඇතත්, ඔවුන්ට මහින්ද නැවත බලයට පත්වනු දකින්නට අවශ්‍ය නැත. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ මහින්ද බලයට එනු වැළැක්වීම සඳහා මේ ඡන්දදායකයින් විසින් ඕනෑම තත්ත්වයක් යටතේ එජාපය වෙත ඡන්දය භාවිතා කරනු ඇති බව නොවේ.

මේ වන විට ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලයට පාවෙන ඡන්දදායකයින්ගේ බලපෑම පෙරටත් වඩා ඉතා විශාලය. 2015 ජනවාරියේදී මෙන්ම මෙවරද ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළේ මේ පිරිසයි. දශක කිහිපයකට පෙරද මෙවැනි කොටසක් සිටියත් ඔවුන්ට තනි පුද්ගලයින් ලෙස තීරණ ගන්නවා හැර අද තරම් විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැත. එහෙත් දැන් ඔවුන්ට අදෘශ්‍ය සංවිධානයක් ලෙස එකතු වන්නට සමාජ මාධ්‍ය විසින් වේදිකාවක් සපයා තිබේ. ඒ නිසා, ඔවුන්ගේ තීරණ තනි තීරණ වුවත් ඒවා අහඹු තීරණ නොවේ. ඒ තීරණ වල දිශානතියක් හා රිද්මයක් තිබේ. එමෙන්ම මේ පිරිස දැන් සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතයක් ලෙසද ඉතා විශාලය. ඒ හේතුව නිසා ලංකාවේ කිසියම් හෝ ඉදිරි මැතිවරණයක ප්‍රතිඵලය පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත.

ඇතැම් අයට අනුව මෙවර පොදුජන පෙරමුණ ලැබූ ජය වාර්තාගත එකකි. ඔවුන් කියන පරිදි මෙතෙක් කිසිදු පළාත් පාලන මැතිවරණයකදී බලයේ සිටින පක්ෂය පරාජය වී නැත. මේ කරුණ මා විසින් සනාථ කරගෙන නැතත් එය එසේ වන්නට පුළුවන. පළාත් පාලන මැතිවරණයකදී බලයේ නොසිටින පක්ෂයකට ඡන්දදායකයින් ආකර්ෂණය කරගැනීම ඉතා අසීරුය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද වලින් මහ මැතිවරණයේදී එජනිසය වෙත නොලැබුණු ඡන්ද මිලියනය මෙවරද භාවිතා නොවනු ඇති මා විසින් උපකල්පනය කළේද මේ පදනමිනි.

කෙසේ වුවත්, පොදුජන පෙරමුණ විසින් මේ ඡන්ද මුළුමනින්ම වාගේ ආකර්ෂණය කරගෙන තිබේ.

වෙනත් අයුරකින් සිතා බැලුවොත් ඉතිහාසයේ සිදුවී ඇති දෙය හා මෙවර සිදුවී ඇති දෙය අතර ලොකු වෙනසක්ද නැත. පළාත් පාලන මැතිවරණයක් ජයගැනීම අසීරු වන්නේ බලයේ නැති පක්ෂයකටය. එහෙත්, 2015 මැතිවරණ පරාජයෙන් පසු දිගින් දිගටම මහින්දවාදීන් හැසිරුණේ පරාජිතයින් ලෙස නොවේ. තවදුරටත් බලය ඇත්තන් පරිද්දෙනි. අනෙක් අතට ආණ්ඩුවේ පාර්ශ්ව දෙක හැසිරුනේද තවදුරටත් මහින්ද අතේම බලය තිබෙන්නාක් මෙනි. මේ ආණ්ඩුව බලයට පත් වී සෑහෙන කාලයක් යනතුරුම මහින්ද බිල්ලා පෙන්නනවා හැරෙන්නට ආණ්ඩුවට වෙනත් පෙන්නන්නට යමක් තිබුණේ නැත. අන්තිමේදී රටේ ඡන්දදායකයින්ට නිතර අහන්නට ලැබුණු මහින්ද බිල්ලාගේ කතාව එපා විය.

මෙසේ ආණ්ඩුව විසින් මහින්ද බිල්ලා ගැනම කියනවා හැර වෙනත් යමක් නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එජාපය වෙත 2015දී ආකර්ෂණය වූ පාවෙන ඡන්ද සියල්ලම වාගේ ඔවුන්ගෙන් ගිලිහීමයි. එහෙත්, මහබැංකු බිල්ලා පෙන්වමින් මේ ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් රඳවා ගන්නට මෛත්‍රීපාල සිරිසේන විසින් සමත් වී තිබේ. තවත් කොටසක් ජවිපෙ වෙත විතැන් වී ඇති අතර මුස්ලිම් ඡන්ද හා කොළඹ ආශ්‍රිත දෙමළ ඡන්ද ජනවාර්ගික පක්ෂ වෙත විතැන් වී තිබේ.

මේ බොහෝ පාවෙන ඡන්දදායකයින්ට මහින්ද බිල්ලා ගැනම අසා එපා වී තිබුණත් ඔවුන්ට මහින්ද රාජපක්ෂ යනු තවදුරටත් බිල්ලෙකි. අනෙක් අතට ආණ්ඩුවට මහින්ද බිල්ලාම නැවත කෙසේ හෝ විකුණනවා හැරෙන්නට විකුණන්නට වෙනත් දෙයක් ඇත්තේද නැත. කෙසේ වුවත්, 2015 ඡන්දයේදී මෙන්ම ඉන් පසුව දෙවසරක් පමණ තිස්සේද විකිණූ මහින්ද බිල්ලා නැවත විකුණන්නටනම් වෙනස් අසුරනයක් අවශ්‍යය.

මෙවර මැතිවරණයේ වැරදි සමස්ත ප්‍රතිඵලය හා කුරහන් පාට ලංකා සිතියම මුලින්ම ඉදිරිපත් කළේ දෙරණයි. මේ වන විට එය ඇත්ත ප්‍රතිඵලය බවට පත්ව තිබේ. ඕනෑම සති අන්ත පුවත් පතක් හෝ විවිධ බ්ලොග් සටහන් ඇතුළු මැතිවරණය පිළිබඳව ලියැවුණු වෙනත් ලිපි කියවූ විට මෙය පැහැදිලිය. දෙරණ යනු පසුගිය ආණ්ඩුව කාලයේ සිය ව්‍යාපාර දියුණු කරගත් ලංකාවේ ජාතිකවාදීන් අතර ජනප්‍රිය මාධ්‍ය ආයතනයකි. පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය උත්කර්ශයට නැංවීමට මීට වඩා හොඳ මාධ්‍ය ආයතනයක් තවත් නැත. කෙසේ වුවද, මෙවර එජාප මැතිවරණ ප්‍රචාරණ කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේද එම ආයතනයටමය.

කෙසේවුවත්, මේ කටයුත්තේදී එජාපයේ හා පොදුජන පෙරමුණේ අවශ්‍යතා පුදුමාකාර ලෙස සමපාත වී තිබේ. පොදුජන පෙරමුණට ඔවුන්ගේ ඡන්ද දායකයින්ට ළඟ පෙනෙන ජයග්‍රහණය පෙන්විය යුතුය. එජාපයට ඔවුන්ගෙන් ගිලිහී සිටින පාවෙන ඡන්දදායකයින්ව කීද්දුවා නැවතත් මහින්ද බිල්ලා පෙන්වන්නට අවශ්‍යය. එහෙත් එය කළ යුත්තේ පෙර මෙන් සෘජු ලෙස නොව ඇඟට නොදැනෙන පරිද්දෙනි. දැන් වැඩේ ගොඩය. මෙවර එජාපයට අවශ්‍ය ප්‍රචාරක කටයුත්ත කරන්නේ මහින්දවාදීන් විසින්මය. එජාපයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ හෝ කතා කළ ඇතැමුන් දැනටමත් නැවත එජාපය දෙසට හැරී තිබීම තුළ පෙනෙන්නේ මේ ප්‍රචාරක උපක්‍රමය සාර්ථක බවයි.

Friday, February 23, 2018

ඡන්ද දෝස මෝහ

පළාත් පාලන මැතිවරණයේ 'නිවැරදි' සමස්ත ප්‍රතිඵලය ඊයේ මෙහි පළ කෙරුණේය. එහෙත්, මෙහිදී නිවැරදි යන වචනය භාවිතා කරන්නේ සාපේක්ෂ අර්ථයකිනි. මාධ්‍ය හරහා ප්‍රචලිතව ඇති ප්‍රතිඵල අනුව ඡන්දය පැවැත්වුණු ආයතන 340ම කිසියම් පක්ෂයක් විසින් ජයගෙන ඇති බව පෙනුණත් ආයතන 200කම කිසිදු තනි පක්ෂයකට බහුතර බලයක් ලැබී නැත. ඒවායේ බලය තීරණය වන්නේ පක්ෂ එකිනෙක සන්ධානගත වන ආකාරය අනුවය.

කෙසේවුවද, ඉහත නිරීක්ෂණය පදනම් වන්නේද වැරදි රාශියක් දැකිය හැකි නිල මැතිවරණ ප්‍රතිඵල පාදක කරගනිමිනි. ලිපි දෙකක් පුරා මෙවැනි වැරදි ගණනාවක් දැනටමත් පෙන්වා දී ඇතත් එසේ පෙන්වා දී තිබෙන්නේ බැලූ බැල්මටම පෙනෙන වැරදි පමණි. මේ වැරදි පෙන්වා දීමේදී, මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීධුර බෙදාහැර ඇති ක්‍රමය පණත අනුව නිවැරදියැයි සලකා තිබේ. වැරදි ලෙස දක්වා ඇත්තේ මැතිවරණ කොමිසම විසින්ම අනුගමනය කර ඇති සාමාන්‍ය ක්‍රමවේදය පවා අනුගමනය කර නැති තැන්ය.

මෙයින් අදහස් වන්නේ මැතිවරණ කොමිසම විසින් අනුගමනය කර ඇති සාමාන්‍ය ක්‍රමවේදය පණත අනුව නිවැරදි බව නොවේ. එහිද ප්‍රශ්න තිබේ. ඊට අමතරව පනතේද ප්‍රශ්න තිබේ. ඒ අනුව, මේ මැතිවරණ ප්‍රතිඵලය තනිකරම අවුල් ජාලයකි. තවමත් නිල වශයෙන් මන්ත්‍රීධුර පුරප්පාඩු සඳහා පත්වන පුද්ගලයින් නම් කර නැත්තේ මේ අවුල් ලිහා ගන්නට අසීරු නිසා විය හැකිය. සන්ධාන ඇති වීම හා මන්ත්‍රීවරු අලෙවිවීම හරියටම ඇරඹෙනු ඇත්තේ මන්ත්‍රීධුර පුරප්පාඩු පිරවුනු පසුවය.

අලුත් මැතිවරණ ක්‍රමය ගැන මීට පෙර මෙහි ලිපියක් පළ කර තිබේ. එහෙත්, මැතිවරණ කොමිසම විසින් අනුගමනය කර ඇති ක්‍රමය හරියටම එම ලිපියේ මා විසින් විස්තර කර ඇති ක්‍රමයම නොවේ. මගේ අදහස අනුව, පණත අනුව මා විස්තර කර ඇති ක්‍රමය නිවැරදිය. එහෙත්, මා නීති විශාරදයෙක් නොවන බැවින් මට මේ ගැන සහතික විය නොහැකිය. කෙසේ වුවත්, මා දකින වැරැද්ද මෙහි සටහන් කර තැබිය යුතුය. මා සිතන පරිදි පණත අනුව නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළහොත් මීට වඩා වැඩි ආයතන ගණනක බහුතර බලය කිසියම් හෝ පක්ෂයකට ලැබෙන අතර අමතර මන්ත්‍රීධුර ගණනාවක් සඳහා වැය වන මහජන මුදල්ද ඉතිරි වේ. මා පෙන්වා දෙන තාක්ෂණික වරදට පදනමක් නැත්නම් අවශ්‍ය කෙනෙකුට එය පැහැදිලි කිරීමේ අයිතිය තිබේ. එහෙත්, එය එසේ නොවේනම් අගතියට පත්ව ඇති පාර්ශ්ව වලට නීතිමය පිලිසරණ පැතීමේ හැකියාව තිබේ.

අලුත් ක්‍රමයට මන්ත්‍රී පුරප්පාඩු පුරවන ආකාර තුනක් තිබේ. ඒ පහත පරිදිය.

1) කොට්ඨාශ ජයග්‍රාහකයින් (පණතේ 65B ඡේදයේ 1 අනුකොටස)
2) සමානුපාතික ක්‍රමයට හිමිවන පූර්ණ මන්ත්‍රීධුර (පණතේ 65B ඡේදයේ 3 අනුකොටස)
3) සමානුපාතික ක්‍රමයට හිමිවන "කොටෙන් ගොඩයන" මන්ත්‍රීධුර  (පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස මා තේරුම් ගන්නා ආකාරය අනුව ඉහත (3) ක්‍රමයට මන්ත්‍රීවරුන් පත් කළ යුත්තේ (1) හා (2) ක්‍රම වලට අවශ්‍ය මන්ත්‍රී පුරප්පාඩු පිරවිය නොහැකිනම් පමණි. එහෙත්, සිදුව ඇත්තේ එය නොවේ. මෙහි ප්‍රතිඵලය ලෙස පණත අනුව නියමිත ගණනට වඩා එල්ලෙන මන්ත්‍රීධුර එකතු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක අතකින් පොදු පිරිවැය ඉහළ යද්දී අනෙක් අතින් ආයතන ගණනාවක බහුතර බලය කිසිදු පක්ෂයකට නැතිව ගොස් ඇත.

මෙය පැහැදිලි කිරීම සඳහා අපි පහත උපුටා දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රතිඵලය දෙස බලමු.

එජාප     131,353
ශ්‍රීලපොපෙ 60,087
එජනිස    31,421
එප්‍රස     27,168
ජවිපෙ     14,234
ස්වාධීන-2 4,833
එසාස     4,700
ශ්‍රීලජාබ  3,251
ලකස      2,853
යජාපෙ  2,771
එජනිපෙ     1,380
ස්වාධීන-1 929
එකතුව     284,980


කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීධුර ගණන 110ක් ලෙස නිර්ණය කර ඇති අතර එයින් 60%ක් එනම් 66ක් කොට්ඨාශ මන්ත්‍රීධුර වේ. නගර සභා බල ප්‍රදේශයේ ඇති කොට්ඨාශ 41න් එක් එක් කොට්ඨාශයේ වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට මේ මන්ත්‍රීධුර හිමිවේ. බහුමන්ත්‍රී කොට්ඨාශයන්හි වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ පරිදි මන්ත්‍රීධුර 2ක් හෝ 3ක් හිමි වේ. ඒ අනුව, කොට්ඨාශ මන්ත්‍රීධුර 66 බෙදී ගොස් ඇත්තේ පහත පරිදිය.

එජාප     60
ශ්‍රීලපොපෙ 3
එජනිස    2
එප්‍රස     1

මැතිවරණ කොමිසම විසින් මේ කොටස නිවැරදිව කර ඇති අතර අවුල තිබෙන්නේ ඉතිරි මන්ත්‍රීධුර 44 හා අදාළවය. මේ මන්ත්‍රීධුර 44 සමානුපාතික ක්‍රමයට බෙදීම සඳහා පළමුවෙන්ම "අදාළ ඡන්ද සංඛ්‍යාව" සොයාගත යුතුය. මෙය මුළු වලංගු ඡන්ද ගණන මන්ත්‍රීධුර ගණනෙන් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. 264,980/110=2,590.727 වන නිසා මෙහිදී අදාළ ඡන්ද සංඛ්‍යාව වන්නේ 2,590යි. මේ අනුව එක් එක් දේශපාලන පක්ෂය හෝ කණ්ඩායම විසින් ලබාගත් සෑම ඡන්ද 2,590ක් වෙනුවෙන්ම එක් මන්ත්‍රීධුරයක් වෙන් විය යුතුය. මෙය එක් එක් පක්ෂයේ ඡන්ද ගණන 2,590න් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. මේ ගණන් පහතින් දක්වා තිබේ.

එජාප     131,353 50.72 50
ශ්‍රීලපොපෙ 60,087 23.20 23
එජනිස    31,421 12.13 12
එප්‍රස     27,168 10.49 10
ජවිපෙ     14,234 5.50 5
ස්වාධීන-2 4,833 1.87 1
එසාස     4,700 1.81 1
ශ්‍රීලජාබ  3,251 1.26 1
ලකස      2,853 1.10 1
යජාපෙ  2,771 1.07 1
එජනිපෙ     1,380 0.53 0
ස්වාධීන-1 929 0.36 0
එකතුව     284,980 105

මැතිවරණ කොමිසම විසින් මේ දෙවන පියවරද නිසිපරිදි අනුගමනය කර තිබේ.

දෙවන පියවරෙන් පසුව එක් එක් පක්ෂයට හෝ කණ්ඩායමට පණතේ 65B ඡේදයේ 3 අනුකොටස අනුව හිමි විය යුතු සමානුපාතික මන්ත්‍රීධුර ගණන හා 65B ඡේදයේ 1 අනුකොටස අනුව දැනටමත් හිමි වී ඇති කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන පරීක්ෂා කළ විට පෙනෙන්නේ එජාපය දැනටමත් අමතර මන්ත්‍රීධුර 10ක් ලබාගෙන ඇති බවයි. ඒ මන්ත්‍රීධුර ගණන අඩු කළ නොහැකි නිසා මේ වන විට මන්ත්‍රීධුර බෙදී ගොස් ඇති ආකාරය පහත පරිදි වේ.

එජාප     60
ශ්‍රීලපොපෙ 23
එජනිස    12
එප්‍රස     10
ජවිපෙ     5
ස්වාධීන-2 1
එසාස     1
ශ්‍රීලජාබ  1
ලකස      1
යජාපෙ  1
එජනිපෙ     0
ස්වාධීන-1 0
එකතුව     115

මේ අනුව දැනටමත් නියමිත ආසන ගණන වන 110 පිරවී තවත් අමතර ආසන 5ක්ද පිරවී අවසානය. ඒ නිසා, දැනටමත් පණතේ 65B ඡේදයේ 4(a) අනුකොටස අනුව එල්ලෙන මන්ත්‍රීධුර 5ක් තිබේ. ඒ නිසා, පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස අනුව "කොටවලින්" මන්ත්‍රීධුර පිරවීමේ අවශ්‍යතාවයක් නැත. 4(b) අනුකොටස ක්‍රියාත්මක විය යුත්තේ 1 හා 3 අනුකොටස් අනුව පුරප්පාඩු පිරවීමෙන් පසුව තවත් පුරප්පාඩු ඇත්නම් පමණි.

මා සිතන පරිදි පණතේ විස්තර කර ඇති නිවැරදි ක්‍රමය ඉහත ක්‍රමයයි. එහෙත්, මැතිවරණ කොමිසම විසින් කර ඇත්තේ එය නොවේ. ඔවුන් පණතේ ඇති අනුපිළිවෙල වරද්දමින් පළමුව 3 අනුකොටසත්, දෙවනුව 4(b) අනු කොටසත් ක්‍රියාත්මක කර ඇති අතර 1 අනුකොටස දෙස අවධානය යොමු කර තිබෙන්නේ එයින් පසුවය.

මේ අනුව, 3 අනු කොටස අනුව ඉහත පෙන්වා ඇති පරිදි මන්ත්‍රීධුර 105ක් පිරවීමෙන් පසුව එජාපය විසින් දැනටමත් අමතර ආසන 10ක් ලබා ඇති බව නොසලකමින්, 4(b) අනුකොටසේ විස්තර කර ඇති ආකාරයට තවත් පුරප්පාඩු 5ක් පුරවා තිබේ. ඒ සමානුපාතික ක්‍රමයට මුළු මන්ත්‍රීධුර ගණන වන ධුර 110ම පිරෙන පරිදිය. ඔවුන් කර ඇති දෙය තේරුම් ගැනීමට එක් එක් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට දැනටමත් ලැබී ඇති මන්ත්‍රීධුර වෙනුවෙන් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඉවත් කළ විට ශේෂය දෙස බැලිය යුතුය. මේ ශේෂය දෙස බලමින් වැඩිම ශේෂය ඇති පක්ෂ හෝ කණ්ඩායම් 5ට අමතර මන්ත්‍රීධුර වෙන් කර තිබේ.

එජාප     131,353 50.72 50 129,500 1853 1 51
ශ්‍රීලපොපෙ 60,087 23.20 23 59,570 517 23
එජනිස    31,421 12.13 12 31,080 341 12
එප්‍රස     27,168 10.49 10 25,900 1268 10
ජවිපෙ     14,234 5.50 5 12,950 1284 1 6
ස්වාධීන-2 4,833 1.87 1 2,590 2243 1 2
එසාස     4,700 1.81 1 2,590 2110 1 2
ශ්‍රීලජාබ  3,251 1.26 1 2,590 661 1
ලකස      2,853 1.10 1 2,590 263 1
යජාපෙ  2,771 1.07 1 2,590 181 1
එජනිපෙ     1,380 0.53 0 0 1380 1 1
ස්වාධීන-1 929 0.36 0 0 929 0
එකතුව     284,980 105 271,950 13,030 5 110

මැතිවරණ කොමිසම විසින් 1 අනුකොටස අනුව කළ යුතු දේ පරීක්ෂා කර ඇත්තේ එයින් අනතුරුවය. මෙහිදී ඔවුන්ට එජාපය විසින් මන්ත්‍රීධුර 9ක් දැනටමත් වැඩිපුර ලබාගෙන ඇති බව පෙනී ගොස් ඇති අතර ඒ අනුව එල්ලෙන ආසන 9ක් නම් කර තිබේ. එහෙත් ඇත්තටම තිබිය යුත්තේ එල්ලෙන ආසන 5ක් පමණි. මේ හේතුව නිසා කොළඹ මහ නගර සභාවේ සමස්ත ප්‍රතිඵලය වෙනස් වී ඇති ආකාරය පහත දැක්වේ.

එජාප     60 60
ශ්‍රීලපොපෙ 23 23
එජනිස    12 12
එප්‍රස     10 10
ජවිපෙ     5 6
ස්වාධීන-2 1 2
එසාස     1 2
ශ්‍රීලජාබ  1 1
ලකස      1 1
යජාපෙ  1 1
එජනිපෙ     0 1
ස්වාධීන-1 0 0
එකතුව     115 119

පණතේ විධිවිධාන නිසිපරිදි අනුගමනය කළේනම් එජාපයට අනෙක් පක්ෂ සියල්ලටම වඩා ඡන්ද 5ක් ඇතත්, මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීධුර බෙදා ඇති ආකාරය අනුව දැන් තිබෙන්නේ එක් වැඩි ඡන්දයක් පමණි. මේ අනුව, නගරාධිපතිගේ තීරක බලය නැතිව එජාපයට කොළඹ මහා නගර සභාව තුළ තනිව යෝජනාවක් සම්මත කළ නොහැකිය. වැරදි ක්‍රමය නිසා 0.48% තරම් අඩු ඡන්ද ප්‍රතිශත ලබාගත්, පණත අනුව තැන්පත් කළ ඇප මුදල් හෝ ආපසු නොලබන දේශපාලන පක්ෂ වලටද මන්ත්‍රී ධුර හිමි වී ඇති අතර විශාල හෙට්ටු කිරීමේ බලයක්ද ලැබී තිබේ.

මැතිවරණ කොමිසම විසින් සෑම ආයතනයක් හා අදාළවම අනුගමනය කර ඇත්තේ ඉහත ක්‍රමයයි. ඒ නිසා, නියම ක්‍රමය අනුගමනය කළේනම් කිසියම් හෝ පක්ෂයකට බලය හිමිවන ආයතන ගණනාවකම බලය කිසිදු තනි පක්ෂයකට නොලැබී ගොස් ඇති අතර මේ හේතුව නිසා ඉතා සුළු ඡන්ද ප්‍රතිශත ලබා කොට වලින් ගොඩ ගිය වලිග වලට ආයතන බල ප්‍රදේශ තුළ මුල් තැනට පැමිණි බල්ලන් නැටවීමේ හැකියාව ලැබී තිබේ.

මේ අවුල ඇති වීමේ මුල 2017 නොවැම්බර් 2 දිනැති අංක 2043/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයයි. එහි කොළඹ මහ නගර සභාව ඇතුළු එක් එක් පළාත් පාලන ආයතනය සඳහා සමානුපාතික ක්‍රමයට පත් කරගත යුතු සභික සංඛ්‍යාව නිශ්චිත ලෙස සඳහන් කර තිබේ. මේ ගැසට් පත්‍රයට අනුව මැතිවරණ කොමිසම නිවැරදිය. එහෙත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පණත අනුව මේ අයුරින් නිශ්චිත ලෙස ගැසට් කල යුත්තේත්, එසේ කිරීමේ හැකියාව ඇත්තේත් එක් එක් ආයතනය සඳහා තේරී පත් විය යුතු කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන පමණි. දෙවන ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරුන් ගණන එසේ නිශ්චිත ලෙස ගැසට් පත්‍රයේ සඳහන් කිරීමට අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නොමැත.

කෙසේවුවත්, දෙවන ලැයිස්තුවේ මන්ත්‍රීධුර ගණනද නිශ්චිත ලෙස ගැසට් කර ඇති අතර එම ගැසට් පත්‍රය නිසා මැතිවරණ කොමිසමද අමාරුවේ වැටී තිබේ. මගේ අදහස අනුවනම් ගැසට් පත්‍රය හා පණත අතර නොගැලපීමක් ඇති විට අනුගමනය කළ යුත්තේ පණතේ ඇති ක්‍රියාපටිපාටියයි.

මෙය අපගේ පෞද්ගලික අදහස වන අතර මේ ලිපියේ සඳහන් නීතිමය කරුණු නිවැරදි නොවන්නට ඉඩ තිබේ. ඒ නිසා, අප කරන්නේ මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරවීමක් පමණි. අවශ්‍ය අයෙකුට මේ කරුණු ඔස්සේ වැඩිදුර සොයා බලන්නට හා ඉන් අනතුරුව මැතිවරණ ප්‍රතිඵල නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කරන්නට පුළුවන.

Thursday, February 22, 2018

ඇත්ත ඡන්ද ප්‍රතිඵලය Sri Lanka local election results 2018


මෙවර පළාත් පාලන මැතිවරණයෙහි සමස්ත ප්‍රතිඵල සාරාංශයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළේ නැත. බොහෝ දෙනෙකු විසින් ජාතික මැතිවරණයක් සේ සලකා කටයුතු කළත් මෙවර පැවැත්වුණේ තනි ප්‍රාදේශීය මැතිවරණ 340ක් බැවින් ඒවා එකතු කර සමස්ත නිල ප්‍රතිඵලයක් නිකුත් කිරීමේ වගකීමක් මැතිවරණ කොමිසමට නැත.

කෙසේ වුවත්, බොහෝ දෙනෙකුට රටේ සමස්ත ප්‍රතිඵලය දැනගන්නට අවශ්‍ය වූ අතර මේ අඩුව පිරෙවුවේ දෙරණ, ලංකාදීප හා හිරු වැනි මාධ්‍ය ආයතන විසිනි. මේ ආයතන විසින් ප්‍රචාරය කළ වැරදි ප්‍රතිඵලය මේ වන විට ඇත්ත ප්‍රතිඵලය බවට පත් වී තිබේ. පුදුම සහගත ලෙස මාධ්‍ය ආයතන සියල්ලටම වැරදී තිබෙන්නේ එකම අදහසක් මතු කරන අයුරකිනි.

පහත ප්‍රතිඵල සාරාංශය ඉදිරිපත් කරන්නේ වඩා නිවැරදි ප්‍රතිඵලයක් කොහේ හෝ සටහන් වී තිබිය යුතු බැවිනි. ලංකාවේ වත්මන් දේශපාලන බලතුලනය තේරුම් ගැනීමට නිවැරදි ප්‍රතිඵලය දැන සිටීම මෙන්ම ප්‍රතිඵලය නිවැරදිව කියවීමද ඉතා වැදගත්ය.

කෙසේ වුවත්, මෙහිදී අප නිවැරදි ප්‍රතිඵලය යන වචන භාවිතා කරන්නේ සාපේක්ෂ අර්ථයකිනි. මේ සාරාංශය පිළියෙළ කිරීම සඳහා අප විසින් පාදක කරගෙන ඇති නිල මැතිවරණ ප්‍රතිඵලද දෝෂ සහගත වීම ඊට හේතුවයි. එවැනි තත්ත්වයක් යටතේ නිවැරදි ප්‍රතිඵලය වන්නේ පණත අනුව නිවැරදි දෙයද නැත්නම් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති දෙයද යන්න ගැටලුවකි. ඊට අමතරව අප අතින් සිදු වී තිබිය හැකි අත්වැරදි හා අපේ උප විඥානය කියවීමේ හැකියාව ඇති ඇනෝලාට පෙනෙන වෙනත් අඩුපාඩුද තිබිය හැකිය.

Election commission of Sri Lanka did not publish a national summary of the results of local authority elections 2018. The commission was not required to do so since this was not a national election, but 340 separate elections conducted simultaneously.

However, many treated this election as a one with national importance and consequently there was a demand for some summary statistic.  Some media websites including Derana, Daily Mirror and Hiru filled this gap with incomplete, incorrect and misleading summary statistics which have now been publicized internationally by international media and even magazines like The Economist and knowledge repositories like Wikipedia.

We publish the following table for the sake of recording a more accurate summary of results somewhere. The accuracy of these summary statistics too, however, are subjected to the accuracy of official results which are not free from simple arithmetic mistakes and possible data entry errors as well as our own data entry and computational errors.

economatta@gmail.com



Wednesday, February 21, 2018

මැකෝට වැරදුණු තවත් තැන්!


පසුගිය ලිපියෙන් වැරදි නිල ඡන්ද ප්‍රතිඵල කිහිපයක් පෙන්වා දීමෙන් පසුව වැරදි ඇත්තේ මෙපමණදැයි කතා කතු විසින් විමසා ඇත.

නැත!

නිල ඡන්ද ප්‍රතිඵල වල වැරදි අපමණය. වැඩි වැඩියෙන් විමසන තරමට තව තවත් වැරදි හමුවේ. මේ වැරදි මැතිවරණ කොමිසමටම මිස අපට සිල්ලරට ගොඩ දැමිය හැකි මට්ටමක නැත. ඇතැම් ප්‍රතිඵල අදාළ පළාත් පාලන ආයතනයේ බල තුලනයටද බලපායි. සියලු නිල ප්‍රතිඵල නැවත විමර්ශනය කළ යුතුයැයි අප යෝජනා කරන්නේ එබැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදයක මූලිකම අංගයක් වන්නේ මැතිවරණයි. ඒ නිසා මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය බිඳ වැටීම සුළුපටු කරුණක් නොවේ. මේ ප්‍රතිඵල නිවැරදි නොකෙරුනහොත් ඉදිරියේදී මැතිවරණ පෙත්සම් ගණනාවක් ගොනු වන්නට ඉඩ තිබේ.

පහතින් ඇත්තේ තවත් වැරදි ගණනාවකි.

9. පොළොන්නරුව දිස්ත්‍රික්කය දිඹුලාගල ප්‍රාදේශීය සභාව: මෙහි කොට්ඨාශ ඇත්තේ 12ක් පමණක් වුවත් අංක 1 දිඹුලාගල කොට්ඨාශය සඳහා මන්ත්‍රී වරුන් දෙදෙනෙකු පත් විය යුතුය. ඒ අනුව කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 13ක් විය යුතු වුවත්  මැතිවරණ කොමිසම නම් කර ඇත්තේ කොට්ඨාශ මන්ත්‍රීධුර 12ක් පමණි. ඉතිරි මන්ත්‍රීධුර සමානුපාතික ක්‍රමයට බෙදා හැර තිබේ. මේ කොට්ඨාශය ජයගෙන ඇත්තේ පොදුජන පෙරමුණනම් එම පක්ෂයට තවත් මන්ත්‍රීධුරයක් හිමිවිය යුතුය.

10. ගම්පහ දිස්ත්‍රික්කය -ජාඇල නගර සභාව: අංක 7 කපුවත්ත බහු මන්ත්‍රී කොට්ඨාශය සැලකූ විට කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 10ක් විය යුතු වුවත් නම් කර ඇත්තේ 9ක් පමණි. මේ කොට්ඨාශය ජයගෙන ඇත්තේ පොදුජන පෙරමුණනම් එම පක්ෂයට තවත් මන්ත්‍රීධුරයක් හිමිවිය යුතුය.

11. මාතලේ දිස්ත්‍රික්කය -මාතලේ ප්‍රාදේශීය සභාව:  අංක 10 දොරකුඹුර හා අංක 13 අලුවිහාරය බහු මන්ත්‍රී කොට්ඨාශ සැලකූ විට කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 18ක් විය යුතු වුවත් නම් කර ඇත්තේ 16ක් පමණි. මේ නිසා බොහෝ විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුරයක් අඩු වී තිබෙන්නට ඉඩ තිබේ.

12. බදුල්ල දිස්ත්‍රික්කය -හපුතලේ නගර සභාව: කොට්ඨාශ තිබෙන්නේ 7ක් පමණක් වුවත් කොට්ඨාශ මන්ත්‍රීධුර 10ක් නම් කර තිබේ. එජාප කොට්ඨාශ මන්ත්‍රීධුර 3 අත් වැරදීමක් විය හැකිය.

13. පොළොන්නරුව දිස්ත්‍රික්කය -පොළොන්නරුව ප්‍රාදේශීය සභාව: එක් කොට්ඨාශ මන්ත්‍රීධුරයක අඩුවක් පෙනේ.

14. රත්නපුර දිස්ත්‍රික්කය -බලන්ගොඩ නගර සභාව: එජාප මන්ත්‍රීධුර ගණන 3ක් නොව 6ක් විය යුතුය.

15. ගාල්ල දිස්ත්‍රික්කය -ගාල්ල මහ නගර සභාව: අංක 15 තලපිටිය හා අංක 16 මකුළුව  බහු මන්ත්‍රී කොට්ඨාශ සැලකූ විට කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 20ක් විය යුතු වුවත් නම් කර ඇත්තේ 21ක් පමණි. පවතින බල තුලනය අනුව මෙයින් කිසිදු පක්ෂයකට අවාසියක් සිදුවී නැති වන්නට පුළුවන.

අප මේ වැරදි හොයාගෙන තිබෙන්නේ ඇල්ගෝරිදමයක උපකාරයෙන් මිස මැතිවරණ ප්‍රතිඵල එකින් එක පරීක්ෂා කිරීමෙන් නොවන නිසා අපට අපට වරකට හමු වන්නේ අප සොයන රීතියට යටත් නොවන ආකාරයේ සරල වැරදි පමණි. වෙනත් ආකාරයන්හි වැරදි, උදාහරණයක් ලෙස එක පක්ෂයකට හිමි විය යුතු මන්ත්‍රී ධුරයක් වෙනත් පක්ෂයකට ලැබී ඇති අවස්ථා වැනි දේ අප විසින් විමසා නැත.

Tuesday, February 20, 2018

මැකෝට වැරදුණු තැන්!


මෙවර පළාත් පාලන මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වුණු බව බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා දෙයකි. එහෙත්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදීනම් මැතිවරණ කොමිසම හොඳටම නාගත්තේය. මේ පිළිබඳව සමාජ මාධ්‍ය වල පළ වූ විවේචන වලට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමසාරිස් වරයා නිවේදනයක්ද නිකුත් කර තිබුණේය.

අවුලට හේතු වී තිබුණේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා යොදාගන්නට සැලසුම් කර තිබුණු පරිගණක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. ඒ හේතුව නිසා මැතිවරණ කොමිසමට ප්‍රතිඵල ගණනය කරන්නට සිදු වී ඇත්තේ අත්හුරු ක්‍රමයටය.

මේ ආකාරයේ අනපේක්ෂිත තාක්ෂණික ගැටළු මතුවීම කිසිවෙකුට වැලැක්විය නොහැකිය. කොපමණ පෙර සූදානමක් තිබුණත් එවැනි දේ සිදුවන්නට පුළුවන. ඒ නිසා, පරිගණක පද්ධතියේ උපකාර නොලබමින් වුවද මැතිවරණ කොමිසම විසින් කෙසේ හෝ ප්‍රතිඵල නිකුත් කිරීම අපට අගය කල හැකිය. කෙසේ වුවත්, එවැනි තත්ත්වයක් යටතේ වුවද අවම වැරදි සහිතව ප්‍රතිඵල නිකුත් කිරීම ඉතා වැදගත්ය.

මැතිවරණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පෙර පහළ නිලධාරීන් විසින් සකසන නිල ප්‍රතිඵල ලේඛන සියල්ලම එකින් එක ගණක යන්ත්‍රයක උපකාරයෙන් නැවත පරික්ෂා කිරීම මැතිවරණ කොමසාරිස් වරයාට කළ නොහැක්කකි. ඔහුට ප්‍රායෝගිකව කළ හැක්කේ පහළ නිලධාරීන් විසින් සකසන නිල ප්‍රතිඵල ලේඛණ වලට කණ අස්සන ගැසීම පමණි. එසේ වුවත්, මේ ප්‍රතිඵල සම්බන්ධව වග කිව යුත්තේ මැතිවරණ කොමසාරිස් වරයාය.

නිල ප්‍රතිඵල ලේඛණ පරීක්ෂා කරන විට බොහෝ තැන් වල යම් යම් වැරදි හමුවේ. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ වැනි ඇතැම් ප්‍රතිඵල ලේඛණ වල මෙවැනි වැරදි හදා සංශෝධිත ප්‍රතිඵල ලේඛණ නැවත ප්‍රකාශයට පත් කර ඇතත් තවත් තැන් ගණනාවකම බැලූ බැල්මටම පෙනෙන වැරදි දකින්නට පුළුවන. මේ වැරදි සුළු වැරදියයි යම් අයෙකුට කියන්නට හැකි වුවත්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී සිදුවන වැරදි කිසිවක් සුළු වැරදි ලෙස නම් කළ නොහැකිය. සුළු වුවත්, එවැනි වැරදි නිසා බිඳ වැටෙන්නේ මැතිවරණ ක්‍රමය ගැන පවතින විශ්වාසයයි.

මා හිතන පරිදි මැතිවරණ කොමසාරිස් විසින් නිල ප්‍රතිඵල ගැසට් කරන්නට පෙර කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කණ්ඩායමක් යොදවා සියලුම නිල ප්‍රතිඵල ලේඛණ නැවත පරික්ෂා කළ යුතුය. ඉතා සංකීර්ණ ක්‍රමයක් වන අලුත් මැතිවරණ ක්‍රමය අනුව එක ඡන්දයකින් වුවත් ප්‍රතිඵලය සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි අතර පළාත් පාලන ආයතන දෙසීයකට වැඩි ගණනක් තුළ කිසිදු පක්ෂයකට බහුතර මන්ත්‍රීන් නොමැති තත්ත්වයක් යටතේ මෙවැනි වෙනසක ජාතික මට්ටමේ බලපෑමක් වුවද තිබිය හැකිය.

නිවැරදි කළ යුතු බව බැලූ බැල්මටම පෙනෙන වැරදි කිහිපයක් පහත පෙන්වා දී තිබේ.

1. මහනුවර දිස්ත්‍රික්කය- තුම්පනේ ප්‍රාදේශීය සභාව: පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර ගණන 13ක් නොව 16ක් විය යුතුය. පණත අනුව කොට්ඨාශ වලින් තේරී පත් වී ඇති මන්ත්‍රීවරුන් තේරීපත් නොවන්නේ නැත.

2. බදුල්ල දිස්ත්‍රික්කය- ඌවපරණගම ප්‍රාදේශීය සභාව: කොට්ඨාශ මන්ත්‍රීධුර තිබිය හැක්කේ 21ක් පමණි. පොදුජන පෙරමුණ  17 හා එජාප 4 විය යුතුයැයි සිතමි.

3. අනුරාධපුර දිස්ත්‍රික්කය- ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාව: වලංගු ඡන්ද 3ක් ආගිය අතක් නැත.

4. යාපනය දිස්ත්‍රික්කය - වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාව: ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 13ක් නොව 16ක් විය යුතු බව පෙනේ. 

5. වවුනියා දිස්ත්‍රික්කය - වවුනියාව නගර සභාව: ප්‍රතිඵල ලේඛණයේ ඊපීඩීපී නමින් පේලි දෙකක් තිබේ. දෙකෙන් එකක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හෝ වෙනත් පක්ෂයක් විය යුතුය.

6. මඩකලපුව දිස්ත්‍රික්කය- එරාවුර් පත්තු ප්‍රාදේශීය සභාව: වලංගු ඡන්ද සංඛ්‍යාව 36,613 ලෙස සඳහන්ව ඇතත් පක්ෂ හා කණ්ඩායම් විසින් ලබා ඇති ඡන්ද වල එකතුව ඊට වඩා 500කින් වැඩිය. ඒ නිසා, ප්‍රතිශත වල එකතුවද 100% ඉක්මවයි.

7.  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය- සේරුවිල ප්‍රාදේශීය සභාව: භාවිතා කළ ඡන්ද සංඛ්‍යාව නිවැරදි නොවන බව පෙනේ.

8. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- මොරවැව ප්‍රාදේශීය සභාව: පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර ගණන 4ක් නොව 7ක් විය යුතුය.



Sunday, February 18, 2018

මැතිවරණ ප්‍රතිඵල හා නිර්මිත යතාර්ථය

කූඹියෝ ටෙලි නාට්‍යය තවමත් අවසන් වී නැතත් එය අවසන් වෙන්නට තවත් ඇත්තේ කොටස් කිහිපයක් පමණක් විය යුතුය. ටෙලිනාට්‍ය රචකයා විසින් මේ වන විට කිහිප වරක්ම ප්‍රේක්ෂකයින්ව කරකවා අතහැර තිබේ. තමන් නරඹන්නේ ටෙලිනාට්‍යයක් බව මේ නරඹන්නන් "දන්නා" නිසා කතාවේ පෙර කොටස් නරඹද්දී තමන් "දැන සිටි" දේවල් ඇත්ත නොවන බව, එසේ නැත්නම් කවදාවත්ම ඇත්ත නොවූ බව, ඔවුන්ට පසුව තේරේ.

ඊයේ විකාශනය වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ 51 වන කථාංගයෙහි ජෙහාන් ප්‍රියන්තට මෙසේ කියයි.

"උඹ ඔය දකින ගොඩක් දේවල් ඇත්ත නෙමෙයි!"

කූඹියෝ ටෙලිනාට්‍යයේ ඉහත කථාංගය විකාශනය වන විට ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වී සතියක් ගතවී තිබේ. එහෙත්, පසු මැතිවරණ කම්පන තරංග වල තීව්රතාව තවමත් අඩු වී නැත. තවමත් එළියට නොපෙනෙන පුංචි මැතිවරණයේ ලොකු ප්‍රතිඵල අපට ඉදිරියේදී දකින්නට හැකි වනු ඇත.

පෙනෙන්නට ඇති පරිදි මැතිවරණයෙන් පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා තිබේ. මාධ්‍ය වාර්තා අනුව පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන 231ක් හෝ වැඩි ගණනක් ජයගෙන ඇති අතර ඒ බව විදහා දැක්වෙන සිතියම් මාධ්‍ය වල පළවී තිබේ. මේ සිතියම මේ වන විට විකිපීඩියාවේද දැකිය හැකිය. එහෙත්, ඇත්තටමනම් පොදුජන පෙරමුණට බහුතර බලය ලැබී තිබෙන්නේ පළාත් පාලන ආයතන 121ක හෝ ආසන්න ගණනක පමණි. පළාත් පාලන ආයතන 340න් 200කටත් වැඩි ගණනක කිසිදු තනි පක්ෂයකට බහුතර බලය ලැබී නැත. ඒ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම තීරණය වන්නේ පක්ෂ හා කණ්ඩායම් සන්ධානගත වන ආකාරය අනුවය.

ඉහත කරුණ බොහෝ දෙනෙකුට රහසක් නොවූවත්, මහින්ද පාක්ෂිකයින් හා මහින්ද විරෝධීන් වෙනසක් නැතිව විශාල පිරිසක් විසින් විශ්වාස කරන දෙවන බොරුව වන්නේ පොදුජන පක්ෂය විසින් 45%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි. "දි ඉකොනොමිස්ට්" වැනි සඟරා හරහා බටහිර ලෝකය වෙත සම්ප්‍රේෂණය වෙමින් තිබෙන්නේද මේ නිර්මිත යථාර්තයයි. එහෙත්, ඇත්තටම මේ ප්‍රතිශතය 40.5%කට පමණ වඩා වැඩි නැත. පොදුජන පෙරමුණේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් හා පක්ෂ විසින් ලබාගත් හා එම පක්ෂය තරඟ කළේනම් ලබන්නට තිබූ ඡන්ද ප්‍රමාණයද ප්‍රතිශතයක් ලෙස 0.6-0.8% නොඉක්මවයි.

මාධ්‍ය වල පළවී ඇති ප්‍රතිශත ගණනය කර තිබෙන්නේ පොදුජන පෙරමුණ, එජාප, එජනිස හා ශ්‍රීලනිප, ජවිපෙ හා ඉලංගෛ තමිල් අරසු කච්චි යන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන පහ හැර අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් විසින් ලබාගෙන ඇති ලක්ෂ 12කට ආසන්න ඡන්ද ප්‍රමාණය නොසලකා හරිමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ලෙස බොහෝ දෙනා දන්නා දේ තනිකරම නිර්මිත යථාර්තයකි. එහෙත් ඒ මත පදනම්ව මේ මොහොත වන විටත් ඉතා වැදගත් දේශපාලන තීන්දු ගැනෙමින් පවතී. ලංකාවේ මහ පොළොවේ දේශපාලනයට තීරණාත්මක බලපෑමක් සිදුවිය හැකි දේ ලියන්නට අප අකැමැති නිසා මේ ගැන වැඩිපුර කතා කරන්නට කැමති නැතත්, කාලයක් යද්දී මේ නිර්මිත යථාර්තය "සැබෑ" යතාර්ථය බවටත්, ඉතිහාසය බවටත් පත් වනු ඇත.

මෙහිදී නිර්මිත යතාර්ථයක් ගැන අප කතා කරන්නේ සැබෑ යතාර්ථයකට සාපේක්ෂව නොව තවත් නිර්මිත යතාර්ථයකට සාපේක්ෂවය. ඒ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල මැතිවරණ ප්‍රතිඵලයි. අප දන්නා තරමින් කිසියම් හේතුවක් නිසා ආනමඩුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නැති අතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත නිල ප්‍රතිඵලය සංශෝධනය කර නැවත ඉදිරිපත් කර තිබේ.

පළාත් පාලන ආයතන දහයකටත් වැඩි ගණනක නිල ප්‍රතිඵල වල මේ වන විටත් බැලූ බැල්මටම පෙනෙන වැරදි දැකිය හැකිය. නිවැරදිම ප්‍රතිඵලය දැක ගන්නටනම් මේ වැරදිද නිවැරදි විය යුතුය. එවිට අපට දැකිය හැකි වනු ඇත්තේ සැබෑ යතාර්ථයද? ඡන්ද ප්‍රතිඵල වලින් පිළිබිඹු වන්නේ ඡන්දදායකයින්ගේ "සැබෑ" කැමැත්තද?

ප්‍රියන්ත, උඹ ඔය දකින ගොඩක් දේවල් ඇත්ත නෙමෙයි!

Wednesday, February 14, 2018

මැතිවරණ ප්‍රතිඵල- ගම්පහ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් විශාල කොටසක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන ඇති බවයි. මේ ප්‍රමාණය එජනිසය විසින් මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයටද වඩා වැඩිය. ඒ අතර එජාපය විසින් පසුගිය මහමැතිවරණයේදී ලබාගත් නාගරික හා අර්ධ නාගරික ඡන්ද විශාල හෝදාපාළුවකට ලක්වී ඇති අතර එම ඡන්ද වලින් කොටසක් එජනිසය වෙතත්, තවත් කොටසක් ජවිපෙ හා වෙනත් පක්ෂ වෙතත් කාන්දු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵලය ඉහත කරුණු තවදුරටත් සනාථ කරයි.

පොදුජන පෙරමුණ විසින් මෙවර ගම්පහෙන් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 655,554 ක් වන අතර මේ ප්‍රමාණය මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 105,596කින් වැඩිය. මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ භාවිතා වූ ඡන්ද ප්‍රමාණයද පසුගිය මහමැතිවරණයේදී සිට වැඩි වී ඇත්තේ 108,400 කිනි. මේ අනුව, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලැබූ ඡන්ද 664,347 අතරෙන් මහමැතිවරණයේදී එජනිසයට නොලැබුණු කොටසෙන් විශාල ප්‍රමාණයක් නැවත ආපසු ලබාගන්නට පොදුජන පෙරමුණ සමත් වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි වූ ඡන්ද වලින් 3,196ක් හැර ඉතිරිය මෙසේ පොදුජන පෙරමුණ විසින් නැවත ලබාගත් ඡන්දයි.

මේ අයුරින් පොදුජන පෙරමුණ මහින්දගේ ඡන්ද නැවත එකතු කර ගනිද්දී එජාපයේ ඡන්ද ප්‍රමාණය 181,644 කින් අඩු වී තිබේ. ගම්පහෙන් ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද 136,298හිත්, ජවිපෙ වැඩිපුර ලබාගත් ඡන්ද 14,297හිත්, වෙනත් පක්ෂ විසින් වැඩිපුර ලබාගත් ඡන්ද 33,853හිත් එකතුව ඡන්ද 184,448 කි. මේ අනුව, අලුත් ඡන්ද තුන්දහසක් පමණ හැරුණු විට මෙසේ බෙදී ගොස් ඇති ඉතිරිය එජාපයෙන් අඩුවූ ඡන්ද ප්‍රමාණයට සමානය. මෙසේ එජාපය විසින් අහිමි කරගෙන ඇත්තේ, වැඩි වශයෙන්ම, තෙවසරකට පෙර ආකර්ශනය කරගත් පාවෙන ඡන්දයි. කොළඹින් හා ගම්පහෙන් පමණක් එජාපය විසින් අහිමි කරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 411,865 කි.

ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම ඡන්දදායකයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කයයි. එමෙන්ම, ශ්‍රීලනිපයේ නිර්මාතෘන් වන බණ්ඩාරනායකලාගේ බලකොටුවයි. එම දිස්ත්‍රික්කය තුළ පොදුජන පෙරමුණ හමුවේ ශ්‍රීලනිපයේ පසුබෑමෙන් පිළිබිඹු කරන්නේ ශ්‍රීලනිපයේ මළගමයි. මින් ඉදිරියට බණ්ඩාරනායක පවුලේ ජීවත්වන සාමාජිකයින්ට හෝ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට ලංකාවේ දේශපාලනය කෙරෙහි මෙතෙක් කළ බලපෑම කළ හැකියැයි නොපෙනේ.

ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන පක්ෂ දෙකකට මිස තෙවන පක්ෂයකට පාලන බලය ලබාගත හැකි බලවේගයක් ලෙස පැවතිය හැකි රික්තකයක් නොමැත. එසේ තෙවන පක්ෂයක් ලෙස මතු වූ පක්ෂ කිසිවකට වැඩි ආයු කාලයක් තිබී නැත. එහෙත්, පොදුජන පෙරමුණ විසින් මේ වන විට ශ්‍රීලනිපය විස්ථාපනය කරමින් මේ අභියෝගය ජයගෙන ඇති අතර ඒ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රීලනිපයට අත්වනු ඇත්තේ පැරණි වාමාංශික පක්ෂ වලට අත් වූ ඉරණමයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාශ 416කින් ශ්‍රීලනිපය මුල් තැනට පැමිණ ඇත්තේ කොට්ඨාශ 6 කදී පමණි. කොට්ඨාශ 67ක්  එජාපය විසින් ජයගෙන ඇති අතර ඉතිරි කොට්ඨාශ 343ම ජයගෙන ඇත්තේ පොදුජන පක්ෂයයි. කෙසේවුවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් අතරින් පොදුජන පෙරමුණට බහුතර බලය ඇත්තේ ආයතන 10ක පමණි. එක් ආයතනයක බලය එජාපයට ලැබී ඇති අතර ඉතිරි ආයතන අටක බලය පිහිටුවිය හැක්කේ පක්ෂ දෙකක හෝ කිහිපයක සන්ධානයකට පමණි. ඒ නිසා, ගම්පහ දිස්ත්‍රික්කය තුළදීද මේ වෙලාවේ කොළඹදී මෙන් ශ්‍රීලනිපය සතුව සැලකිය යුතු තීරක බලයක් තිබේ.





Monday, February 12, 2018

මැතිවරණ ප්‍රතිඵල- කොළඹ දිස්ත්‍රික්කය

පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර අවසානය. මේ මැතිවරණය මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මැතිවරණයයි. මැතිවරණය සාමකාමී හා සාධාරණ ලෙස පැවැත්වුණු බව පොදුවේ පිළිගැනෙතත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදීනම් කොමිසම එතරම්ම කාර්යක්ෂම නොවූ බව පැහැදිලිව පෙනුණු කරුණකි.

මේ මැතිවරණය පැවැත්වුණේ අලුත් හා ඉතා සංකීර්ණ ක්‍රමයකටය. මැතිවරණ ක්‍රමය අනුව කිසියම් පළාත් පාලන ආයතනයක් සඳහා තේරීපත් වන නියෝජිතයින් කවුද යන්න පමණක් නොව කොපමණද යන්නත් ප්‍රතිඵල පිටවන තුරු දැනගත නොහැකි වීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කොළඹ මහ නගර සභාව සඳහා නියමිත මන්ත්‍රීධුර ගණන 110ක් වුවත්, මෙවර මැතිවරණයෙන් මන්ත්‍රීවරු 119ක් තේරී පත් වී සිටිති. මේ අයුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වැඩිපුර තේරීපත් වී ඇති මන්ත්‍රීවරුන් ගණන 29කි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව එක් එක් ආසනයේ වැඩිම ඡන්ද ලබාගත් පක්ෂ දැක්වෙන සටහනක් වේගයෙන් සංසරණය විය. එහෙත්, රටම එක් මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකෙන ජනාධිපතිවරණයකදී එවැනි සිතියමක ලොකු තේරුමක් තිබුණේ නැත.

මෙවරද එවැනිම සිතියම් දකින්නට ලැබේ. මේ සිතියම් පාට කර තිබෙන්නේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ අනුවය. එහෙත් ඇත්තටම මේ සිතියමේද වැඩි තේරුමක් නැත. අලුත් මැතිවරණ ක්‍රමය අනුව කිසියම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක වැඩිම ඡන්ද ලබාගත් පමණින් එහි බලය පිහිටුවිය නොහැකිය.

අලුත් මැතිවරණ ක්‍රමය සමානුපාතික හා කොට්ඨාශ ක්‍රම වල මිශ්‍රණයක් වුවත් මේ කොට්ඨාශයක් යනු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත පිහිටි කුඩා ප්‍රදේශයකි. එවැනි එක් එක් කොට්ඨාශය වෙනුවෙන් වැඩි ඡන්දයෙන් නියෝජිතයින් තෝරා ගැනුණේය. අලුත් මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වුනේම මේ අයුරින් කොට්ඨාශයකට නිශ්චිත මන්ත්‍රීවරයෙකු තෝරා පත් කර ගැනීමට ඉඩ සැලසීමයි. මට අනුව, මෙය අලුත් මැතිවරණ ක්‍රමයේ පැවති ප්‍රධානම සාධනීය අංගයයි.

මැතිවරණය ක්‍රමයට ගැලපෙන පරිදි මේ එක් එක් කොට්ඨාශය තුළ වෙන වෙනම ඡන්ද ගණන් කිරීමද සිදුවිය. අදාළ ඡන්ද ප්‍රතිඵල මාධ්‍ය වෙතද ලැබී ඇති අතර ඇතැම් වෙබ් අඩවි හරහාද දැක බලාගන්නට පුළුවන. එහෙත්, මේ කොට්ඨාශ ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. මැතිවරණයට පෙර මා අපේක්ෂා කළ පරිදි මේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූවානම් ලංකාවේ ඡන්දදායකයින්ගේ හැසිරීම පිළිබඳ විස්තරාත්මක තොරතුරු රැසක් දැක බලාගන්නට ඉඩ තිබුණේය. වඩා තේරුමක් ඇති සිතියමක් වන්නේ මේ එක් එක් කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ පක්ෂය දැක්වෙන සිතියමකි.

අලුත් මැතිවරණ ක්‍රමයේ වැදගත්ම අංගය එක් එක් කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිටීම වුවත්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදී මැතිවරණ කොමිසම විසින් මේ කරුණ නොසලකා හැර තිබුණේය.

අලුත් ක්‍රමයකට පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීම අභියෝගයක් වුවත් මැතිවරණ කොමිසමට ඒ සඳහා නිසි පෙර සූදානමක් තිබුණේද යන්න සැක සහිතය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී සාමාන්‍යයෙන් පෙර මැතිවරණ වලදී දැකිය නොහැකි වූ තරමේ අත් වැරදි දකින්නට ලැබුණේය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන නිල වෙබ් අඩවියට දැන් පිවිසුනත් ලංකාවේ කොහේවත් නැති "මීගමුව දිස්ත්‍රික්කයේ" පළාත් පාලන ආයතන වල ඡන්ද ප්‍රතිඵල බලාගන්නට පුළුවන. මුලින්ම ප්‍රකාශයට පත් කළ ඡන්ද ප්‍රතිඵල තුනෙන් එකක් වූ කිරින්ද-පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ප්‍රතිඵල ලේඛණයේ වූ වැරදි නිවැරදි කරමින් මේ වන විට අලුත් ප්‍රතිඵල ලේඛණයක් නිකුත් කර තිබේ. තවත් මෙවැනි අත්වැරදි කොපමණ ඇත්දැයි කිව නොහැක.

මැතිවරණ ප්‍රතිඵලය තේරුම් ගන්නටනම් එක් එක් පක්ෂය ලැබූ ඡන්ද, මන්ත්‍රීධුර මෙන්ම කොට්ඨාශ ජයග්‍රහණ ගැනද විමසිය යුතුය. පහතින් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය හා අදාළ එවැනි දත්තයි.





පළාත් පාලන මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 521,656 ක් ලබාගෙන ඇති අතර මේ ප්‍රමාණය 2015 මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද 474,063 ට වඩා 47,593කින් වැඩිය. එහෙත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද 562,614ට වඩා 40,958කින් අඩුය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ඡන්ද 725,073 ක් ලබාගත් අතර මහ මැතිවරණයේදී එජාපය හා ජවිපෙ එකතුව ගත් ඡන්ද ප්‍රමාණය 722,134කි. මේ අනුව, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලද ඡන්ද මහමැතිවරණය වන විට කොටස් දෙකකට බෙදෙනු හැර වෙනත් වෙනසක් සිදු නොවුණු බව පැහැදිලිය.

මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 88,551ක් අඩුවෙනි. ඒ අතරම භාවිතා වූ මුළු ඡන්ද ප්‍රමාණයද 87,461කින් අඩු විය. මේ අනුව, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලැබූ ඡන්ද 88,000ක් පමණ මහමැතිවරණදී භාවිතා නොවූ බව සිතිය හැකිය. මේ ඡන්ද වලින් අඩකට වඩා මඳක් වැඩියෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නැවත ලබාගෙන තිබේ. ඒ අනුව, වලංගු ඡන්ද සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.

අනෙක් අතට එජාපය විසින් මෙවර කොළඹින් ලබාගෙන ඇත්තේ ඡන්ද 410,522ක් පමණි. මෙය ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකි. රනිල් වික්‍රමසිංහ අවසන් වරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ 2005දී කොළඹින් ඡන්ද 569,627ක් ලබාගත් අතර, මහින්ද රාජපක්ෂ යුද්ධය නිමවා අති විශිෂ්ඨ මැතිවරණ ජයක් වාර්තා කළ 2010දීද සරත් ෆොන්සේකා ඡන්ද 533,022ක් ලබාගත්තේය. මෙවර සිදුව ඇත්තේ එජාප ඡන්ද වල පෙර නොවූ විරූ නාය යාමකි.

පසුගිය මහ මැතිවරණයේදී (මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද වලින් ජවිපෙ ඡන්ද ඉවත් වීමෙන් පසු) එජාපය ඡන්ද 640,743ක් ලබා ගත්තේය. ඒ අනුව, පසුගිය වසර තුනක කාලය තුළ කොළඹින් පමණක් එජාපයේ ඡන්ද 230,221ක් අඩු වී ඇත. පොදුජන පෙරමුණට මෙතරම් ඉදිරියට එන්නට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ ඡන්ද වැඩි වූ නිසා නොව එජාපයේ ඡන්ද මේ තරමටම අඩු වූ නිසාය. මේ ඡන්ද වලට සිදුවුණේ කුමක්ද?

කොළඹින් මෙවර එජනිසය විසින් ලබාගෙන ඇති මුළු ඡන්ද ගණන 134,147කි. ජවිපෙ ඡන්ද ප්‍රමාණය 23,316කින්ද, වෙනත් පක්ෂ වල ඡන්ද 58,696කින්ද ඉහළ ගොස් තිබේ. මේ සියල්ලම එජාපය විසින් මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලෙස සැලකුවත් තවත් ඡන්ද 14,000ක පමණ අඩුවක් තිබේ. පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය 47,000කින් පමණ ඉහළ ගියත්, වලංගු ඡන්ද වැඩිවී තිබෙන්නේ 33,000කින් පමණ නිසා ඉතිරිය මෙවර භාවිතා නොවුණු එජාප ඡන්ද විය හැකිය. එජනිසයට, ජවිපෙට හා වෙනත් පක්ෂ වෙත විතැන් වුනු හෝ භාවිතා නොවුණු එජාප ඡන්ද 230,000න් වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී ආකර්ෂණය වූ පාවෙන ඡන්ද විය හැකි වුවත් එජාපයේ පසුගිය ඡන්ද පදනම් දෙස බැලූ විට එජාපයේම ඡන්ද වලින්ද යම් කොටසක් එජාපය විසින් මෙවර අහිමි කරගෙන ඇති බව පෙනේ. මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන බල ප්‍රදේශයකින් 50% ඉක්මවා ඡන්ද ලබාගන්නට එජාපය සමත් වී නැත.

එජාපයේ මේ පෙර නොවූ විරූ පසුබෑම හමුවේ පොදුජන පෙරමුණ කොළඹින් පවා මුල් තැනට පැමිණියත් ඔවුන්ටද 50% ඉක්මවන්නට හැකිව තිබෙන්නේ ආයතන බල ප්‍රදේශ හතරකදී පමණි.

අලුත් මැතිවරණ ක්‍රමය අනුව කිසියම් ආයතන බල ප්‍රදේශයක කොට්ඨාශ සියල්ලේම හෝ ආසන්න ගණනක මුල් තැනට පැමිණෙන පක්ෂයට හෝ කණ්ඩායමට විශේෂ වාසියක් ලැබේ. මේ වාසිය ලබමින් එජාපය ආයතන දෙකකත්, පොදුජන පෙරමුණ ආයතන හයකත් බහුතර බලය ලබා ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ඉතිරි පළාත් පාලන ආයතන පහක බහුතර බලය කිසිදු පක්ෂයකට ලැබී නැත. මේ ඇතැම් ආයතන වල බලය පිහිටුවීමේ තීරක බලය එජනිසය සතුව ඇත.


Sunday, February 11, 2018

යහපාලනය ඉවරද?


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මේ වන විට බොහෝ දෙනෙකුට රහසක් නොවේ. අලුත් දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එක්සත් ජාතික පක්ෂය අභිබවමින් දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින ප්‍රදේශ විශාල ප්‍රමාණයක මුල් තැනට පැමිණ තිබේ.

මේ මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවේ. එමෙන්ම, කිසියම් පළාත් පාලන බල ප්‍රදේශයක මුල් තැනට පැමිණීම අදාළ පළාත් පාලන ආයතනයෙහි බලය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සාධකයක්ද නොවේ. එහෙත්, මේ මැතිවරණ ප්‍රතිඵලය ලංකාවේ ඉදිරි දේශපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි එකකි.

මැතිවරණ ප්‍රතිඵලය විසින් මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම මෙන්ම එජාප, ජවිපෙ වැනි පක්ෂ වල ඡන්ද පදනම් පිළිබඳවද වඩා යාවත්කාලීන තොරතුරු ප්‍රදර්ශනය කර තිබේ. මේ මැතිවරණයේදී සිදුවී තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම වැඩිවීමකට වඩා ඔහු සතුව කොහොමටත් තිබුණු ඡන්ද පදනම හරියටම දැකගන්නට ලැබීමකි. අනෙක් අතට එජාපය ඔවුන්ගේම වූ සැබෑ ඡන්ද පදනම දක්වා තල්ලු වී තිබේ.

මෙහිදී මා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දයැයි නොකියා මහින්ද රාජපක්ෂගේ ඡන්දයැයි කියන්නේ මේ ඡන්ද පක්ෂයක ඡන්ද වලට වඩා පුද්ගලයෙකු ලෙස මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වන ඡන්ද බව පෙනෙන බැවිනි. දැන් පෙනෙන්නට තිබෙන පරිදි, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවද, ලක්ෂ පණහක් ඉක්මවන මේ ඡන්ද මහින්ද රාජපක්ෂ විසින් ලබා ගනු ඇතැයි සිතිය හැකිය.

මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 58ක් ලබාගත්තේය. ඊටත් පෙර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 60ක් ලබාගත්තේය. එහෙත්, ඒ දෙවරම මේ ඡන්ද ලබාගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා වශයෙන්ද වූ නිසා, ඒ ඡන්ද වලින් පෞද්ගලිකව ඔහු වෙත ආකර්ෂණය වූ ඡන්ද ප්‍රමාණය පැහැදිලිව දැනගන්නට හැකියාවක් නොතිබුණේය. සාමාන්‍යයෙන් එජාප හෝ ජවිපෙ වැනි පක්ෂයක නියෝජිතයෙකුට ලැබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් නියෝජිතයා කවුරු වුවත් ලැබෙන පාක්ෂික ඡන්දයි. එජනිසයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනිපයටද එවැනි ඡන්ද පදනමක් තිබේ.

මීට පෙර දේශපාලන පක්ෂ වල නායකයින් මුල් පක්ෂ වලින් වෙන්වී අලුත් පක්ෂ පිහිටුවා ගත් අවස්ථා බොහොමයකදී ඔවුන්ට මුල් පක්ෂය අභිබවන්නට ලැබී නැත. මීට පෙර එසේ සිදුවූ ප්‍රධාන අවස්ථාව 1956දී සිදුවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ජයග්‍රහණයයි. මෙයද කිසියම් අයුරකින් ඒ ජයග්‍රහණයට සමාන කළ හැකි වුවත් වෙනස්කම්ද රැසක් තිබේ.

මේ වන විට එජනිසයේ හා ශ්‍රීලනිපයේ නායකයාව සිටින්නේ එජනිස ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිවාදියා ලෙස තරඟ කර එජනිස අපේක්ෂකයාව පරාජය කළ, එජනිස පාක්ෂිකයින්ගේ ඡන්ද නොලබමින් ජයග්‍රහණය කළ අයෙකි. එහෙත්, ඔහු එජනිසය මැතිවරණය කරා මෙහෙයවූයේ දිගුකාලීන ඉතිහාසයක් ඇති පක්ෂයක නිල අයිතිය මෙන්ම රාජ්‍ය බලයද අතැතිවය. අනෙක් අතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව රාජ්‍ය බලය හෝ දිගුකාලීන ඉතිහාසයක් නොතිබුණේය.

දැන් පෙනෙන්නට ඇති පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගෙන ඇති ඡන්ද ප්‍රමාණය 2015 මැතිවරණයෙදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයද ඉක්මවයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සිටින්නේනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ඔවුන්ට විශාල තර්ජනයක් නොවේ. මේ ප්‍රමාණය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයටද වඩා අඩුය. එමෙන්ම, එම පක්ෂ දෙකට එක්ව පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණ ඇති පළාත් පාලන ආයතන ගණනාවක බලය පිහිටුවන්නට වුවද පුළුවන.

ආණ්ඩුවේ පැත්තෙන් ගත් විට ප්‍රශ්නය එය නොවේ. මේ මැතිවරණ ප්‍රතිපලය නිසා එජාපයේ අපේක්ෂිත සැලසුම් උඩුයටිකුරු වී තිබේ.

නිල ශ්‍රීලනිපය තිබුණේ මෛත්‍රීපාල සිරිසේන සතුව නිසා එජාපය අපේක්ෂා කරන්නට ඇත්තේ එජනිසයේ 2015 ඡන්ද පොදුජන පෙරමුණ හා එජනිසය අතර බෙදීයාමෙන් එජාපයට වැඩි පළාත් පාලන ආයතන ගණනක මුල් තැනට එන්නට ලැබෙනු ඇති බවයි (මැතිවරණයට පෙර මා සිතුවේද එසේ වනු ඇති බවයි). එසේ වූවානම්, ඊළඟ අදියරේදී සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේනද අවලංගු කාසියක් වීමයි. මෛත්‍රීපාල සිරිසේන විසින් අවසන් සති දෙක තුනේදී සීමාවෙන් ඉදිරියට පැමිණ පහර දෙන්නට පටන් ගත්තේ මේ ගැන ඉවෙන් මෙන් දැනුනු නිසා වන්නට පුළුවන.

දැන් පෙනෙන්නට ඇති පරිදි, සිදු වී තිබෙන්නේ පොදුජන පෙරමුණ විසින් එජනිසයේ ඡන්ද පදනම මුළුමනින්ම වාගේ ආකර්ෂණය කරගෙන තහවුරු කර ගනිද්දී එජාප ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් එජනිසය වෙත විතැන් වීමයි. මෙය එක් අතකින් මෛත්‍රී විසින් රැගෙන ආ දේ ඔහු විසින්ම ආපසු ගෙනයාමක් ලෙසද හැඳින්විය හැකිය.

එජාපය මුල් තැනට පැමිණි තැන් ගණනාවක්ම පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනයි. ඉතිරි ඒවායින්ද බොහොමයක එජාපයට තනිව බලය පිහිටුවීමේ හැකියාවක් නැත. අනෙක් අතට, පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණි ආයතන ගණනකද ඔවුන්ට තනිව බලය පිහිටුවිය නොහැකිය. ඒ නිසා, මතුපිටින් එකවර නොපෙනෙතත්, එජනිසයට මේ මැතිවරණ ප්‍රතිඵලය හරහා විශාල හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබී තිබේ. ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ ජනාධිපතිවරයා විසින් ඒ හෙට්ටු කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුවය.

Friday, February 9, 2018

කළු බළල්ලු හා කළුවර කාමර


කළු බළල්ලුන්ට හා කළුවර කාමර වලට බයෙන් ජීවත් වන්නට වූ කාලයක් තිබුණේය. ඒ දශක තුනකට පමණ පෙරය. දර්ශනවාදය, ආගම හා විද්‍යාව සසඳමින් කළු බළල්ලු හා කළුවර කාමර ගැන කතා කෙරෙන ජනප්‍රිය සාදෘශ්‍යයක් තිබේ. එය මෙවැන්නකි.

-දර්ශනවාදය යනු කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.
-පාරභෞතික විද්‍යාව යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සෙවීම වැන්නකි.
-දේවධර්මවාදය යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සොයමින් "මම සොයාගත්තා!" කියා කෑගැසීම වැන්නකි.
-විද්‍යාව යනු විදුලි පන්දමක් රැගෙන කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.

මේ සාදෘශ්‍යය හරහා මතු කරන්නේ "ආගම් චොරය- එහෙත් විද්‍යාවනම් පට්ට සිරාය" කියන අදහසයි.

මා ආගම් අදහන්නෙකු නොවේ. ඒ මොන දෙයක් වුවත් ඇදහීම මට ඉතා අසීරු බැවිනි. එවැනි අසීරුතාවයක් නැති අය වෙනත් අයට කරදරයක් නොවන පරිදි තමන්ට අවශ්‍ය දෙයක් අදහාගත්තාට මට කිසිදු ප්‍රශ්නයක්ද නැත.

ඉහත ප්‍රකාශය හරහා එළි දක්වන්නේ විද්‍යාව අදහන්නන්ගේ දෘෂ්ඨියයි. එහෙත්, ඔවුන් පෙන්වන්නට හදන්නේ ආගම් අදහන්නන් මෙන් කිසිවක් නොඅදහන තමන් මාාාාර​ බවයි.

විද්‍යාව ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම හා විද්‍යාව ඇදහීම දෙකකි. විද්‍යාවට මොනවා හෝ දෙයක් එකතු කරන මා දන්නා කිසිවෙකු විද්‍යාවේ ක්‍රමවේදය භාවිතා කරන්නෝ මිස විද්‍යාව හරහා මතුකරගන්නා දේ අදහන්නෝ නොවෙති. එහෙත්, තමන් හැමවිටම විද්‍යාවම අනුගමනය කරන බව හිතන, පරිධියේ ඉන්නා බොහෝ දෙනෙකු ඒ වෙනුවට කරන්නේ විද්‍යාව ආගමක් මෙන් ඇදහීමයි.

ඉහත සාදෘශ්‍යය ජීවිතාදර්ශය කරගත් "බුද්ධිමත්" විද්‍යා ආගමිකයින් සිතන්නේ පහත පරිදි විය හැකිය.

"කළුවර කාමරයේ කළු බළලෙකු සිටින්නට හෝ නොසිටින්නට පුළුවන. ඒ නිසා, මා කළ යුත්තේ ආගම් අදහන්නෙකු මෙන් පූර්ව නිගමන වලට නොඑළඹී, එමෙන්ම අඳුරේ අතපත නොගා, විදුලි පන්දමක් රැගෙන මේ ගැන සොයා බැලීමයි. එහෙත්, ආගම් අදහන්නා කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු සිටින බව විශ්වාස කරමිනි. ඔහු එහි ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව තහවුරු කර ගත හැකි එකම මාර්ගය වන විදුලි පන්දමක් හෝ නොමැතිවය. නිසි පරීක්ෂාවකින් තොරවම කාමරයේ කළු බළලෙකු සිටින බව ඔහු නිගමනය කරයි."

බැලූ බැල්මටම පෙනෙන්නේ මේ විද්‍යා ආගමිකයා පරීක්ෂණ හා නිරීක්ෂණ මත පමණක් නිගමන වලට පැමිණෙන පූර්ව නිගමන වලට නොඑළඹෙන සිරා පොරක් බවයි. එහෙත්, ඇත්තටම ඇයද සිටින්නේ පූර්ව නිගමන ගණනාවක් ඇතුළේ සිරවය.

මේ ජාතියේ විද්‍යා ආගමිකයින් ඔවුන්ගේ ඇදහීම් අනුව විවිධ මට්ටම් වල සිටින්නට පුළුවන. උදාහරණයක් ලෙස අපි ජිල් හා සූසන් නම් වූ විද්‍යා ආගමිකයින් දෙදෙනෙක් ගැන සිතමු.

ආගම් අදහන්නන් විසින් කාමරයේ කළු බළලෙකු සිටිතැයි ඇදහීම විවේචනය කරන ජිල් වැනි අය කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු නැතැයි අදහමිනි. ඇය කාමරයට යන්නේම ඇගේ මේ පූර්ව නිගමනය තහවුරු කිරීම සඳහා සාක්ෂි එකතු කරන්නටය.

බොහෝ විද්‍යා ආගමිකයින් ජිල් වැනි අය වුවත්, ඊට වඩා පියවරක් ඉදිරියෙන් සිටින සූසන් වැනි අයත් සිටිති. සූසන් කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු ඇතැයි හෝ නැතැයි යන පූර්ව නිගමයක සිටිමින් නොවේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඇය පූර්ව නිගමන වල නිරතව නොසිටින බව නොවේ.

පළමුව, ජිල් මෙන්ම සූසන්ද කාමරයේ සිටියත් නැතත් වෙනත් කොහේ හෝ කළු බළලෙකු කියා වාස්තවික යථාර්තයක් ඇතැයි අදහයි. දෙවනුව, අඳුරු නිසා නොපෙනුණත් කළුවර කාමරයක් තුළ කළු බළලෙකු සිටින්නට ඉඩක් ඇති බව අදහයි. තෙවනුව, එසේ කළුවර කාමරය තුළ කළු බළලෙකු සිටීනම් විදුලි පන්දම් එළියට පෙනිය යුතු බව අදහයි. සිවුවනුව, විදුලි පන්දම් එළියට නොපෙනේනම් කාමරය තුළ කළු බළලෙකු සිටිය නොහැකි බව අදහයි. එහෙත්, මේ සියල්ල ඇදහීම් පමණි.

පළමුව "කළු" කියා භෞතික දෙයක් නැත. අපට යමක් කළු පැහැයෙන් පෙනීම යනුවෙන් අදහස් වන්නේ අපේ ඇස් වල ඇති කේතු සෛල හා යෂ්ඨි සෛල කිසියම් වස්තුවකින් පරාවර්තනය වී එන ආලෝකයට ප්‍රතිචාර නොදක්වන බවයි. අපට කළු පැහැයෙන් පෙනෙන සතෙකු වෙනත් බොහෝ සතුන්ට වෛවර්ණව පෙනේ. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති හෝමෝ සේපියන්ස් කෙනෙකුට වුවද වෙනත් අය කළු ලෙස හඳුනාගන්නා කිසියම් දෙයක් වර්ණවත්ව පෙනෙන්නට පුළුවන. වස්තුවක් මොළය විසින් කළු ලෙස හඳුනාගන්නවා මිස නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළු පැහැයක් නැත. කළු මෙන්ම අනෙකුත් සියළු පැහැයන්ද භෞතිකව පවතින දේවල් නොවේ. එසේනම් නිරීක්ෂකයාගෙන් ස්වායත්තව කළු බළලෙකු සිටිය නොහැකිය. 

"කළු" බළලා මෙන්ම "කළුවර" කාමරයද තිබෙන්නේ නිරීක්ෂකයාගේ මනසේය. ඒ හැර නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළුවරක් කියා දෙයක් නැත. අඳුරු කාමරයක සිට මඳ අඳුරේ ඇති කාමරයකට පැමිණෙන අයෙකු දෙවන කාමරය එළිය තිබෙන කාමරයක් ලෙස හඳුන්වන්නට ඉඩක් නැතත්, මිදුලේ තද අවුවේ සිට එහි ඇතුළු වන කෙනෙක් ඒ කාමරයම කළුවර කාමරයක් ලෙස හඳුනාගන්නට පුළුවන. කාමරයක් කළුවර කාමරයක් හෝ කළුවර නැති කාමරයක් ලෙස නිශ්චිත ලෙස හඳුනාගත හැකි, සියළු දෙනාටම එකඟ විය හැකි නිශ්චිත සීමා ඉරක් නැත. එක් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට ප්‍රමාණවත් නොවන මඳ ආලෝකයක් තවත් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට පුළුවන.

කළුවර නැති තැනක සිටින "සුදු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය බොහෝ දෙනෙකුගේ ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය කරතත්, එවැනි තැනකම සිටින "කළු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය එසේ යෂ්ඨි සෛල උත්තේජනය නොකරයි. ඒ නිසා, එක් බළලෙක් කළු බළලෙකු ලෙසත් අනෙක් බළලා සුදු බළලෙකු ලෙසත් අපට වෙන් කර හඳුනාගත හැකිය. එහෙත්, කළුවර කාමරයක් ඇතුළේදී මේ බළලුන් දෙදෙනාගෙන් එකෙක්වත් ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය නොකරන නිසා බළලුන් දෙදෙනා වෙන් කර හඳුනාගත නොහැකිය. හරියටම කියනවානම් කළුවර කාමරයක සිටිය හැක්කේ කළු බළලුන් පමණි.

එහෙත්, කාමරයෙන් එළියේ සිටින සුදු බළලෙකුත් කාමරයට රිංගීමෙන් අනතුරුව කළුවට පෙනෙන බළලෙකුත් එකම වාස්තවික යථාර්තයක් බව අපේ මනස තීරණය කරයි. ඒ අනුව, කාමරයෙන් එළියේදී බළලා සුදුනම් කාමරය ඇතුළේ සිටින බළලාත් සුදු විය යුතු බව හිතන්නට මනස අපව පොළඹවයි. එහෙත්, ඇත්තටමනම් කාමර ඇතුළට රිංගන බළලුන් තවදුරටත් එළියේ සිටිය බළලුන්ම නොවේ. මැතිවරණයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙකු තවදුරටත් කලින් සිටි පුද්ගලයාම නොවේ.

ජනාධිපති කොමිසමක් දැමීම හොරු ඇල්ලිය හැකි එකම ක්‍රමය නොවන්නාක් සේම විදුලි පන්දමක් ඇල්ලීම කාමරයේ කළු බළලෙකු සිටින බව තහවුරු කරගත හැකි එකම ක්‍රමය නොවේ. කළු බළලෙකු කාමරයට රිංගනු දුටු අයෙකුට උගේ හඬින් හෝ ස්පර්ශයෙන් වුවද බළලා හඳුනාගත හැකිය. ඒ බව නිගමනය කළ හැකි තවත් බොහෝ ක්‍රම තිබේ. මේ ක්‍රම කිසිවක් වරදින්නට කිසිදු ඉඩක් නැති ක්‍රම නොවේ.

ආගම් අදහන බොහෝ දෙනෙකු කළුවර කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව අදහමිනි. මේ කළු බළලා ඇත්තටම සිටින්නේ ඔවුන්ගේ මනසේය. ඒ නිසා, කාමරයට ඇතුළු වන ඔවුන්ට බොහෝ විට මේ කළු බළලා හමුවේ. ඒ සඳහා විදුලි පන්දමක් අවශ්‍ය වන්නේ නැත. එහෙත්, විද්‍යාව අදහන අයට විදුලි පන්දමක් නැතිව කළු බළලා දැකිය නොහැකිය. අවසාන වශයෙන් විදුලි පන්දමක උපකාරයෙන් කළුවර කාමරයේ කළු බළලා දකින විද්‍යාව අදහන්නන් දකින බළලා සිටින්නේද ඔවුන්ගේ මනසේය. එපමණක් නොව කළු නොවන වෙනත් බළලුන් සිටින්නේද, කළුවර නැති වෙනත් කාමර හා විදුලි පන්දම් තිබෙන්නේද ඔවුන්ගේ මනසේය.

මා දකින අඩි සලකුණු කයෝටියෙකුගේ, කෝයිවෘකයෙකුගේ හෝ බල්ලෙකුගේ වන්නේ ඒවා දකින අවස්ථාවේදී මගේ මනස පිළිගන්නට වඩාත්ම කැමති අර්ථකතනය අනුවය.

ඒ කෙසේ වුවත්, ලිපිය ආරම්භයේදී පළ කළ සාදෘශ්‍යය කලක් තිස්සේ ප්‍රචලිතව ඇති එකකි. අර්නස්ට් ගෙල්නර් වැනි ඇතැම් අය එයට තවත් කොටස් එකතු කර තිබේ. පහතින් ඇත්තේ එවැන්නකි.

"මාක්ස්වාදය යනු ඉතා විශාල කළුවර කාමරයක එහි නැති ඉතා කුඩා කළු බළලෙකු සොයමින් බලළාව අල්ලාගත් බවත් බළලා ගැන සියළු දේ දන්නා බවත් පෙනෙන්නට සැලැස්වීමයි."

Gadget

This content is not yet available over encrypted connections.